Thursday, September 29, 2011

රන් තෝඩු දැමූ ආදා

හුගාක් පරණ නිධානයක් ආරක්ෂා කරමින් ජීවමානව සිටින සත්වයෙක් ගැන කාලයකට පෙර අහන්නට ලැබුනා.
මේ ගම තියෙන්නේ ගාල්ල ප්‍රදේශයේ, නමින් බද්දේගම. එහි පිහිටි සන්දරවල නම් ස්ථානයේ පැරණි නිධානයක් ආරක්ෂා කරමින් ඉන්න සත්වයෙක් ගැන ඒ ගමේ මිනිසුන් අතර නොයෙක් අන්දමේ කතා තියෙන බව හෙලිවුනා.
මේ ස්ථානය හුගාක් පැරණි තැනක් බවයි දැනගන්න ලැබෙන්නේ.

මේ සන්දරවල කරවන ලැබුවේ දුටුගැමුණු රජතුමාගේ පියා වන කාවන්තිස්ස රජතුමා විසින් කියලයි ඇතැම් අය විශ්වාස කරන්නේ.  එතුමා කීඹි ඇලට සම්බන්ධ කර මෙමගින් කුඹුරුවලට ජලය බෙදා හැරි බවට මිනිසුන් විශ්වාස කරනවා.  සන්දරවලට රන් දොරක් දමා ඒ සොරොව්වෙන් ජලය බෙදා හැරිය නිසා මුලින් මේ රන්දොර නමින් ප්‍රචලිත වූ බවත් කාලයක් ගතවුනාට පස්සේ රන්දොරවල සන්දරවල වූ බවත් කියවෙනවා.

දුටුගැමුණු රජතුමා රුහුණෙන් අනුරාධපුරයට සංක්‍රමණය වුනාට පස්සේ හිටපු එළාර රජතුමාගේ ප්‍රබල සෙනවියෙක් තම අතවැස්සන් ද සමග රුහුණට පලා ගියා.  මේ සෙනවියා ගාල්ල බද්දේගම ප්‍රදේශය තමාට සැගවී ඉන්නට සුදුසු තැනක් ලෙස සැලකුවා.  මේ නිසා බද්දේගම පිහිටි බෞද්ධ විහාරස්ථානවලට දෙමළ මිනිසුන් ආවා.  මොවුන් මේ විහාරවල තිබුණු වටිනා වස්තූන් කොල්ලකෑ බව කියවෙනවා.  ඔවුන් විසින් කොල්ල කා ගත් විහාරස්ථානය හැදින්වෙන්නේ හැඩිදෙමල කන්දේ විහාරය යන නමිනි.  හැඩිදෙමල කන්දේ කොල්ලකාර දෙමළ පිරිසක් සැරිසරන බව දුටුගැමුණු රජතුමාට ආරංචි වුනා.  දෙමළ කොල්ලකාරයන්ට තවදුරටත් ඔවුන් බලාපොරොත්තු වන ආකාරයට මේ ප්‍රදේශයෙන් ලැගුම් ගෙන සිටින්නට නොහැකි බව පෙනී ගියේ විශාල සේනාංකයක් ඔවුන් වටකරගෙන ඔවුන්ට පහර එල්ල කරන බව ඔවුන් නොදත් නිසාය.  දෙමල සේනානායකයා කලින්ම ඉරනම සොයා ගියා.  එසේ නොවන්නට සතුරන් අතට පත්වීමෙන් තමන්ට සිදුවිය හැකි විපත ඔහු තේරුම් ගත්තා.  එසේ තේරුම් ගත් නිසා තමාට අයත් සියලු වස්තු සම්භාරයන් මේ වලට  දමා සන්දරා නම් වූ තම සේවකයාට පමණක් මේ රහස පවසා ඔහු සිය අතින්ම ගෙල සිදගනු ලැබුවා.  ගැමුණු රජුගේ භටයන් අතින් සන්දරාගේ හිස සිදි බවත් මරණයෙන් පසුව ඔහු ආදෙක් වී ඉපදී එහි ඇති වස්තුව ආරක්ෂා කරන බව ගැමියන්ගේ විශ්වාසයයි.  සන්දරා නම් වූ සේවකයා නිසා මේ වල සන්දරවල නම් වූ බවත් ඉන් පැහැදිලි වේ.

මේ නම ඇතිවුනේ කෙලෙස වුවත් මේ වලේ රන් තෝඩු දැමූ ආදෙකු විසින් එහි තියෙන මහා නිධානයක් ආරක්ෂා කරන බව ගැමියන්ගේ විශ්වාසයයි.  සමහර අය කියන විධියට මේ ආදා තල් කදක් තරම් විශාල එකෙක්.  ඔහු සන්දරවලෙහි රන් දොරටුව අසලට වී එහි තියෙන මහා නිධානය මිනිසුන් අතට යන්නට නොදී ආරක්ෂා කරන බවත් කිසිවෙක් ආදාට විපත්තියක් කලහොත් ඒ පුද්ගලයා විනාශවන බවත් කියනවා.

ඒ නිසා මිනිසුන් සන්දර වලෙහි මසුන් බිලි බාන්නට හෝ වෙනත් දේකට හෝ නොයන්නට පරෙස්සම් වුනා.  ආදා පිලිබදව පැතිර ඇති කතා විශ්වාස නොකල එක් ගැමියෙක් කණගාටුදායක ඉරණමකට පත්වුනා.  පුර පසලොස්වක පොහෝ දිනවල මේ ආදා සදරැස් බිබි ගොඩබිම සැරිසරන බව ගැමියන් දැනසිටියා.  මේ කියන ගැමියා එදින රැක සිට ආදා ගොඩ බිමට ආපසු වලවටා අලු ඉස ආදාගේ ගමනට බාධා කලා. ඉන්පස්සේ කඩුවකින් කෙටුවා.  කඩුවෙන් කෙටුවාට පස්සේ හිස කොටස වලටම ගියා.  ගොඩ ඉතිරිවූ කොටස ගැමියා විමින් ගෙදර ගෙනගොස් අසල්වැසියන්ටද දී අනුභව කලා.  මේ ආදා මාඵ අනුභව කල අය දින ගණනාවක් තුල ලේ අතීසාරය වැලදී මියයන්නට පටන් ගත්තා.  දියට වැටුනු ආදාගේ හිස කොටස අදත් තියෙන බව කියවෙනවා.

ඉස්සර කාලයේ වරින් වර නියං කාලයක් ඇවිත් කුඹුරු වතුපිටි පාළුවෙන්නට පටන් ගත්තම මේ සන්දරවල ඉසීම පුරුද්දක් වශයෙන් කරන්නට ගොවියන් දැන සිටියා.  සන්දරවල ඉසින්නට පටන් ගත්තාට පසුව මහා ධාරානිපාත වර්ෂාවක් වැටෙන බව ගැමියෝ විශ්වාස කරනවා.  වරක් මහා නියගයක් ඇවිත් මුඵ ප්‍රදේශයට පාලුවට ගොස් තිබුනා.  නමුත් මේ සන්දරවලෙහි ජලය අඩු වැඩි නොවී තිබීම කාගේත් විමතියට හේතුව වුනා.  සන්දරවල ඉස්සොත් වහීවි.  යන විශ්වාසය ගැන කල්පනා කොට ගැමියන් එකතුව වල හිස් කරන්නට පටන් ගත්තා.  ඔවුනට එසේ කරන්නට හැකි වුනේ ඉතාමත් සුළු වෙලාවකට විතරයි.  රන්දොර අසල ආදා රැක සිටියා.  ඔහුගේ එක් පැත්තක කඩුක්කමක් තිබුනා. ආදා දැකීමෙන් තැතිගත් ගැමියන් හිස් ලූ ලූ අත දුව ගියා.  ගතවුනේ සුළු මොහොතයි.  ගම් නියම් ගම් සෝදා යන තරම් මහා ධාරානිපාත වර්ෂාවක් ඇති වී ඇල දොලවල් පිරී ඉතිරි දෙගොඩ තලා ගියා.

මේ සන්දරවලෙන් වටිනා වස්තු ලැබුනු අයත් ඉන්නවා.  නමුත් ඔවුන්ට ඒ වස්තුව ප්‍රයෝජනයට ගත නොහැකි වුනා.  ඒ වස්තු ලැබුනු අය බලවත් විපත්තීන්ට භාජනය වුනා.

මෙහි නිදන් රක්නා ආදා නිකම්ම ආදෙකු නොවෙයි.  කඩුක්කන් පැළදි එකෙකු බවද කියවේ.  නමුත් මේ ආදාට කඩුක්කන් පැළදවූයේ කවුද? කවදාද යන්න ප්‍රශ්ණයක්.  නමුත් මේ කතාව නිකම්ම මතයක් ලෙස අහක දැමිය නොහැකි බව සිතිය හැක්කේ ඉතිහාස සිද්ධියක්ද මෙයට මුල් වෙලා තිබෙන බැවිනි.


8 comments:

  1. මම නම් මේ කතාව ඇහුවෙත් අදමයි. ගොඩක් ස්තුතියි මල්මි අක්කා මේ වගේ වටින ලිපි ලියනවට.

    ReplyDelete
  2. මධු...
    අපි කරන්නේ දැනුම බෙදාගැනීමක්.

    ReplyDelete
  3. කඩුක්කන් දාන්න ආඳියෙක් වෙන්න ඕනෙ. ආඳන්ට කන් තියෙනවද ?

    ReplyDelete
  4. චානක...
    ඇයි හත්වලාමේ දැන් ඔය කකුල් දෙකේ ගල් ආදොත් කඩුක්කන් දාන එකේ ඕකත් කජ්ජක්ද?

    ReplyDelete
  5. ඒ වුණාට මේ ආඳා පරණ කාලෙ කෙනෙක්නෙ :)

    ReplyDelete
  6. හැඩි දෙමළ කන්දේ අදත් මගේ වීරයෙක් ජීවත් වෙනවා. බද්දේගම සමිත හාමුදුරුවෝ. ඔහෙත් ඒ පැත්ත ගැන දන්නවනම් මෙතුමා ගැනත් දන්නවා ඇති. අති සුන්දර ගමක්. මගේ හාමිනේ ඒ පලාතේ..

    ReplyDelete
  7. මාතලන්...
    එහෙනම් ඔයා තවත් හොදට තොරතුරු දන්නවා ඇති.

    ReplyDelete
  8. රන් තෝඬු එහෙමත් නැත්නම් කඩුක්කන් දැමූ ආඳන්ගේ කතා ප්‍රචලිතයි පැරණි පොකුණු තියෙන ප්‍රදේශවල

    ReplyDelete

කියවලා බලලා හිතට දැනෙන අවංකම දේ මෙතන කුරුටු ගෑවොත් ඒක මට ලොකු ශක්තියක්. ඒ නිසා ඔයාලගේ හැගීම් වචන වලට පෙරලන්න අමතක කරන්න එපා...!!!!!