දළදා පෙරහැර ඉතිරි කොටස

දැන් පැවැත්වෙන් දේව පෙරහැර අතරින් මුල් තැන ගන්නේ නාථ දේවාලයේ පෙරහැරයි.  දෙවැන්න විෂ්ණු දේවාලයේ පෙරහැරයි.  තෙවැන්න කතරගම දේවාලයේ පෙරහැරය.  සිව්වැන්න පත්තිනි දේවාලයේ පෙරහැරය.  මෙම පෙරහැරවල අනුපිළිවෙල සකමා ඇත්තේ බුදු සමයට විශේෂ තැනක් දෙමින් බව පෙනී යයි.  නාථ අවලෝකිතේශ්වර මහායාන බෞද්ධ මතය අනුව මෛත්‍රී බෝසතාණන් වහන්සේය.  මෙම මතය ලංකාවේද භාවිතා වන බවට නොයෙක් සාධක අනුව පෙන්විය හැකිය.  ස්ත්‍රී දේවතාවියක් වන පත්තිනි දේවිය වෙනුවෙන් පැවැත්වෙන පෙරහැර අවසාන පෙරහැර වීමෙන් යම්කිසි විශේෂතාවයක් පෙන්නුම් කරයි.  ඉහත කාලයේදී රජතුමා පෙරහැරේ ගමන් කල බවත් දැන් ඒ සිරිත නැති බවත්, නොක්ස්ගේ වාර්තාවල සදහන්වේ.  එහෙත් සැලකිය යුතු කරුණක් දෙකක් ගැන අපේ අවධානය යොමු කරමු.  වර්ෂයක් පාසාම දේවාල පෙරහැර ඇරඹෙන්නේ කප් සිටුවීමේ චාරිත්‍රයෙන් පසුය.  

දළදා සිරිත නම් ඉපැරණි පොතේ “වැසි නොවස්නා කල මෙම ලෙසින් දළදා පූජා කරනු වසා“ යන වැකිය දක්නා ලැබේ.  දළදා වහන්සේ ගදකිළියෙන් බැහැර කළ විටත් පෙරහැර අවසානයේත් වැසි ඇතිවීම සිරිතකිත  පුරාණයේ පටන් මෙම ප්‍රාතිහාර්යය සිදුවූ බවට කදිම සාක්ෂියෙකි එම වාක්‍යය.  දීර්ඝ කාලයකට පසු අංග සම්පූර්ණ පෙරහැරක් පළමුවරට මහනුවර පවත්වා ඇත්තේ 1828 දීය.  එම කාලයේ ලංකාව පාලනය වූයේ ඉංග්‍රීසි ක්‍රීටය යටතේය.  එඩිවර්ඩි බාන්ස් ආණ්ඩුකාරවරයාගේ අනුමතියෙන් එම පෙරහැර අනු පැරණි සිරිත් අනුවම කරන ලද්දකි.  එය ලංකාව පුරාම බලපෑ මහ නියග සමයෙකි. පෙරහැර පැවැත්වෙද්දී මහ වැසි වැටෙන්නට පටන් ගත්තේය.  ලංකාවේ සියලු ඇළ දොළ ගංගා උතුරා ගියහ.  මහනුවර වැවේ ජල මට්ටම නැග ඉවුරු පැන මුඵ නගරයම යටවූ බව අපේ පැරැණියෝ කියති.  ඒ මහා වතුර අපේ පැරැණි ජනතාව අතර දළදා වතුර නමින් ව්‍යවහාර විය.  1817 දී දළදා පෙරහැරක් පවත්වා ඇත.  එය සියසින් දුටු ඩේව් දොස්තර මහතා සම්පූර්ණ විස්තර වාර්තාවක් සකස් කර තිබේ.  ඩේව් මහතාගේ විස්තරය අනුව එදා දළදා පෙරහැරේ ධාතු කරඩුව පිරිවරා මහා සංඝ රත්නය ගමන් කර ඇත.  අද ඒ සිරිත නැත.  පෙරහැරේ පිළිවෙල සදහටම එකසේම නොවූවත් ඒ පිළිබදව මූලික ලක්ෂණ නොනවත්වාම පවතී.  සිංහල නරපතීන්ගෙන් පසු දළදා මාලිගයේ ගෘහස්ත නායකයා ඒ රජුන් විසින්ම පත්කරනු ලැබූ දියවඩන නිළමේ පෙරහැරේ ප්‍රධාන පාලකයාය.

දේවාල පෙරහැර වල ප්‍රධානත්වය ඒ ඒ දේවාලවල බස්නායකවරු දරති.  සිංහල බෞද්ධයාගේ ආදි ප්‍රෞඩත්වය කෞශල්‍ය ශ්‍රද්ධා භක්තිය ආදී දහසක් සංස්කෘතික ලක්ෂණ පිළිඹිඹු කරන මෙම මහා සංදර්ශනය අද වන තෙක් නොවෙනස්ව ආරක්ෂා වීමට ප්‍රධානව හේතුව වී ඇත්තේ ඒ හා සම්බන්ධ රාජකාර්යය ක්‍රමයක් පෙර වීසු දූර දර්ශී  භක්තිමත් රජදරුවන් විසින් මනා පිළිවෙලකට කර තිබීමයි.  ඒ රාජකාර්යය ක්‍රමය නැතිවන්ට ඉඩ නොසැලසුනහොත් පමණකි සමස්ත ලෝක ගෞරවයට පාත්‍රවී ඇති මේ මහා පෙරහැර අනාගත පරම්පරාවලට දක්නට ලැබෙන්නේ.  





  අවුරුදු පන්දහසක බුද්ධ ශාසනය මෙම ලක්දිව පැවතීමට නරපතීන් විසින් පූජා කර ඇති ඉඩකඩම් කුඹුරු පනතට යටවීම. කුඹුරු පනතට විරුද්ධ නැතත් එය අත්‍යාවශ්‍යෙයන්ම වුවමනා දෙයක් බව සිතමි.  මෙම පනත ඉදිරිපත් කරන ලද්දේ දුප්පත් ගොවි ජනතාවට සහනය සැපසීමට බව සැබෑවකි.  නමුත් එය දළදා මාලිගාවටත් විහාර දේවාලවලට අයිතිය ඇති කුඹුරුවලට බලපෑම අයුතු දෙයක් බව පෙනේ.  කෙසේ වෙතත් අපේ සංස්කෘතිය ආගම, අපේ ශ්‍රේෂ්ටත්වය රදාපවත්නා ලෝකය ඉදිරිපට අපට ආඩම්බරයෙන් පෙනීසිටීමට හැකි අපේ   දළදා පෙරහැරත් අපේ පූජා ක්‍රමත් රැකගතයුතුව ඇත.  බුද්ධාගම රැකෙන්නේ ඒ උදාර වත් පිළිවෙත් සිරිත් විරිත් ආරක්ෂා වුවහොත් පමණි.  නීති රීති හා වෙනත් බාධා මධ්‍යයේ වුවද පැරැණි තත්වයෙන් අදත් පවත්වාගෙන යනු ලබන ශ්‍රී දළදා මාලිගාවේ ශ්‍රී දළදා පෙරහැර තුලින් පැරැණි රජදරුවන් කල පැවැත්වූ රජ පෙරහැරක් නැවතත් මහනුවරදී දැකීමට බෞද්ධයින්ට අවස්ථාවක් සැලසෙන්නේය.




පැරණි ලිපියක් ඇසුරිනි.