Friday, September 30, 2011

පොත් පත් කියවීම

මේ සාහිත්‍ය මාසය නිසා පොත් පත් ගැන හුගාක් කතා කරනවනේ. මේ තරම් දේවල් ලියන එකේ පොත්පත් කියවීම ගැන නොලීවොත් ලොකුම ලොකු අඩුවක්.  ඉස්සර කන්නෙ බොන්නෙත් නැතිව පොත් පත් කියෙව්වා. දැන් නම් ටිකක් විවේකය අඩු නිසා ඒ තත්වයේ පුංචි වෙනසක් වෙලා. ඒත් හොද පොතක් ලැබුනොත් ඒක නම් අත්හරිනවා බොරු!!!!

කියවීමෙන් මිනිසා පරිපුර්ණ තැනැත්තෙක් කරනවා කියලා ඉංග්‍රීසි ජාතික පඩිවරයෙකු වූ බේකන් මහතා සදහන් කලා.  පොත් පත්, සගරා ආදිය මුළු ලෝකය පුරාම විවිධාකාරයෙන් තියෙනවා.  එක් එක් භාෂාවන්ගෙන් එක් එක් විෂයන් සම්බන්ධයෙන් ලියවුනු පොත් පත් රාශියක් විසිරිලා. මේ පොත පත පරිශීලනයෙන් අපිට විශාල දැනුම් සම්භාරයක් ලැබෙනවා.


මේ වෙනකොට අපේ ලේඛන කලාව විශාල දියුණු තත්වයකට පත්වෙලා තියෙනවා.  හැම විෂයයක් සම්බන්ධයෙන්ම නොයෙකුත් භාෂාවන්ගෙන් ලියු පොත් පත් රාශියක්  ලොව පුරා විසිරි ඇති නිසා කෙනෙකුට තමන්ගේ දැනුම වැඩිකර ගන්නට කල්පනා කරමින් කාලය ගත කරන්නට අවස්ථාවක් නැහැ.  ලෝක භාෂාවන්ගෙන් එකක් හෝ ඉන් වැඩි ගණනක් දැනගෙන සිටීමෙන් අපේ දැනුම තවත් පුළුල් කරගන්නට ලොකු පිටුවහලක් වෙනවා.  කෙසේ වෙතත් අපේ රටට පමණක් ආවේනික සිංහල භාෂාව වැනි භාෂා මාධ්‍යයකින් පවා වටිනා පොත පත ලියැවී තියෙනවා.  කාලයකට ඉහතදී නම් සිංහල භාෂාවෙන් පවා ලියැවුනු පොත පතෙහි හිග කමක් තිබුණා.  ඒ වෙනකොට සාක්ෂරතාව ගැන යම් යම් ගැටළු තිබුණ නිසා මෙසේ වුවා වෙන්නට ඇති. අපි වසර පන්සීයක් තරම් කාලයක් විදේශිකයන්ගේ ආධිපත්‍යයට යටත්ව සිටි නිසා මේ තත්වය ඇති වෙන්නට ඇති.

මුල් කාලයේ අමාවතුර, බුත්සරණ, පූජාවලිය වගේ පැරණි පොත ඇසුරු කිරීමෙන් අපගේ සුචරිත වර්ධනයට බෙහෙවින් පිටිවහලක් වුනා. අපගේ බාහිර මෙන්ම අභ්‍යන්තර දියුණුවටද එය හේතුවක් වුනා.  නමුත් අද කාලයේ නම් බොහෝ දෙනා මේ පොත් පත් ගැන කතා කරන්නේ ඒවා යල් පැනගිය ඒවා ලෙසටයි. නමුත් නූතන සාහිත්‍ය පොත් පත් කියවන අතරේ අපේ මුතුන් මිත්තන්ගෙන් අපට ලැබුණු පැරණි පොත පත පිළිබදවද දැනුමක් අප තුල තිබිය යුතුයි.  රුසියාවේ අසහාය ලේඛකයෙක් හැටියට සැලකුම් ලබන මැක්සිම් ගොර්කි තමන්ගේ රටේ ජනතාව අතර මෙවන් අදහස් පහල වනු දුටු විට කියූවේ නූතන සෝවියට් සාහිත්‍යයේ දියුණුව ඇති කිරීමට නම් රුසියාවේ පැරණි සාහිත්‍ය මෙන්ම විශ්ව සාහිත්‍යයේ දැනුමත් ලබා ගත යුතු බවයි. ඔහුගේ මේ කියමන අප රටටත් උචිත කියමනකි.  


විශේෂයෙන්ම බාල පරම්පරාව පොත් පත් කියවීමට යොමුවීම ඔවුන්ගේ යහපතටම හේතුවක් වේ.  කුඩා කාලයේ ඉදන්ම පොත් පත් කියවීම බුද්ධි වර්ධනයට බෙහෙවින් ඉවහල් වන කරුණක්.  උසස් ලේඛකයින් බවට පත්වූ බොහෝ දෙනෙක් විවිධ භාෂාවන්ගෙන් ලියවුනු පොත පත කියවීමෙන් තම රචනා කෞශල්‍යයයන් දියුණු කර ගත් අයයි.  පොත් පත් කියවීමෙන් භාෂා දැනුම පමණක් නොවෙයි විෂය කරුණු පිළිබදව අනල්ප දැනුමක්ද ලබා ගත හැකියි.  පොත් පත් කියවීමට පුරුදු වූ කෙනෙකුට එය විනෝදාංශයක් ලෙසද කල හැකියි. තමන්ගේ විවේකය අපතේ නොයවා මෙවැනි කරුණක් කෙරෙහි සිත යෙදවීමෙන් ලැබෙන ප්‍රයෝජන අනන්තයි.  විනෝදය සදහා කියවන නවකතා කෙටිකතා ආදියෙන්ද අපට මිනිස් සමාජය ගැන විශාල අවබෝධයක් ලැබේ.  නමුත් මේ සදහා අප තෝරා ගත යුත්තේ ජීවිතයත් ජන සමාජයත් විවරණය කෙරෙමින් ලියු උසස් කෙටි කතා හෝ නවකතාවන්ය.


බාලයන්ගේ සිත් ගැනීම පිණිස ලියැවුන බාල කාමුක කතා කියවීමෙන් අපට වන යහපතක් නැත.  එය එක්තරා ක්‍රමයකින් බාල පරම්පරාව නොමග යවන තත්වයකි.  ශ්‍රේෂ්ට පුද්ගලයන් පිළිබද ලියැවුනු චරිත කතා බාල පරම්පරාවට ඉතා යෝග්‍ය බව මාගේ අදහසයි.  මන්ද යත් මේ බොහෝ දෙනා ලෝකයක් පිළිගත් පුද්ගලයින් බවට පත්ව ඇත්තේ උපතින්ම ගෙනෙන ලද වත්පොහොසත් කම් නිසා නොවේ.  බොහෝ දෙනෙක් ඉතා දුක් ගැහැට විදි පුද්ගලයින්ය.  මේ බව ඔවුන්ගේ ජීවිත කතා කියවන විට පැහැදිලි වෙයි.  එයින් අපේ බාල පරම්පරාවට ගත හැකි ආදර්ශයන් බොහෝය.  


අද අප දකින විදියට ඇතැම් ලේකකයින් දැනුම පිණිස නොව මුදල් ඉපයීමේ පරමාර්ථයෙන්ම නවකතා ආදිය පල කරන ආකාරයක් දක්නට ඇත.  එසේම බාල වර්ගයේ පත්තර පවා දක්නට ලැබේ.  කියවීම මිනිසා දියුනු කලත්, මේ ආකාරයේ දේ කියවීමෙන් නම් දියුණුවක් කෙසේ වෙතත් මනස විකෘති වීමක් නම් දැකිය හැකියි.  එසේම පොදු ජනතාව තුල සාහිත්‍ය පිලිබදව හොද දැනුමකුත් ලේඛකයාට ධෛර්යයකුත් යන දෙකම ලබා දීම රජයේද වගකීමකි.  දැන් බොහෝ පරිවර්තන කෘති ද අපට කියවන්නට ලැබෙන නිසා විශ්ව සාහිත්‍ය පිළිබද අනල්ප දැනුමක්ද අප සතුව ඇත.  අනෙක් අතට බලන විට ලොකු කුඩා බේදයක් නොසලකා සෑම නගරයකම පාහේ මහජන පුස්තකාල පිහිටුවා ඒවාට පොත පතින් ආධාර කිරීම මගින් බොහෝ දෙනෙකු කියවීම කෙරෙහි නැඹුරු කර ගත හැකියි.


වසර කිහිපයක සිට සාහිත්‍ය මාසය වෙනුවෙන් පැවැත්වෙන පොත් සල්පිල ඉතා අගය කල යුතුව ඇත.  අනෙක් කාලවලදී පොත පතට නැඹුරු නොවන අය පවා මේ පොත් සල්පිල නැරඹීමටත් එක් පොතක් හෝ මිලට ගැනීමටත් බෙහෙවින් උනන්දු වෙති.  අනෙක් කරුණ නම් අපට අවශ්‍ය පොත් සමහර අවස්ථාවලදී පොත් සාප්පුවකින් සොයා ගැනීමට නොහැකියි. ඉතින් මේ සල්පිල පැත්තේ ගියානම් ඔන්න පොත් ඕනෑතරම්. 

Thursday, September 29, 2011

තනිවෙමි



                   ජීවන කතරෙ බෝ බාධා                            ඇතිවෙනවා
                   හමු වී වෙන්වීම ලෝ දම                                පවසනවා

                   ඇතිවූ වියෝවෙන් මගෙ   හද                       කකියනවා
                   තවමත් නුඹ ගැනම මා සිත                            විමසනවා

                   මගෙ සිහිනයේ නුඹ රජවී   ඉන්න                         ඇතී
                   ඒ සිහිනයේ මා රැජිනගේ තැන ගන්න                   ඇතී
                   පෙර සසරෙදිත් මේ ලෙස රිදවන්න                      ඇතී
                   පුරුදු ලෙසම මා තනිකර  යන්න                           ඇතී

                   පායන සදේ නුඹ ඇති දැයි                            සෙව්වාට
                   නුඹ සිහිවෙලා නෙතු කදුලින්                         පිරුනාට
                   මගෙ තනි නොතනියට නුඹ නැති බව දැනෙන       විට
                   සිත සනසා ගනිමි සුසුමින් ලය පිරෙන                   විට

                   සිදුවූ වරද යළි කිසිදින                            නොමවන්න
                   හමුවූ දෙනෙත්  කවදාවත්                       නොදකින්න
                   නිමවූ සෙනෙහසේ අරුමය                     නොපතන්න
                   සිතුවෙමි සිතමි සැමදා තනිවී                             ඉන්න

                   දකිනා හැම මොහොතකම පුරහද  අහස්            ගැබේ
                   ඉමිහිරි අතීතය සිහිවෙයි සිතට                            මගේ
                   පායන විලස රන් තරුවක්   ගුවන්                      ගැබේ
                   ආලෝකමත් වේවා ජීවිතය                                 ඔබේ