Saturday, September 3, 2011

කෙලී ගෙන්........

වර්ෂය 1982 සැප්. 05 වෙනිදායි.  එදා ඉරිදාවකි.  සවස 6.15ට පමණ උතුරු මිචිගන් පාරේ ගමන් ගත්තේ තිදෙනෙකුගෙන් සමන්විත මෝටර් සයිකලයකි.  එය පැදවූයේ පියාය.  ඔහුගේ පිටුපසින් වාඩිගෙන සිටියේ ඔහුගේ දියනියන් දෙදෙනායි.

වංගුවක් පසුකරත්ම ඉදිරිපස මාර්ගයේ තිබූ වලක් නොදැකීම නිසා මෙම දරුවන්ගේ පියාට වාහනය පාලනය කර ගැනීමට නොහැකි විය.  බයිසිකලය වලේ වැටුනි.  පිටුපසින් සිටි සිගිති දැරිය උඩින් විසිවී ගොස් මහා මාර්ගයට වැටුනි.  ඇයගේ හිස පදික වේදිකාවේ වැදීම නිසා කම්පනයට පත්වීමෙන් සිහිමුර්ජා විය.

එකොලොස් හැවිරිදි කෙලී රේෆලැනරි තම පියා සමග සති අන්තය ගත කිරීම සදහා යමින් සිටියදී මේ අවාසනාවන්ත අනතුරට ගොදුරු වූවාය.  දගකාර දැරියක වූ කෙලී බාලදක්ෂිකාවක් වූවාය.  නිතරම සිනාමුසු මුහුනින් කාලය ගත කල ඇය දැන් පසු වන්නේ නිහඩවමය.  දීප්තියෙන් බැබලුනු දෑස වැසී ගොසිනි.  සිහිසුන්ව සිටි මේ දැරිය පොරෝනා අතර උණුසුම සොයමින් සෑගිනොව් නගරයේ සාන්ත මේරිස් රෝහලේදී ජීවත් වීම සදහා මරණය සමග පොර බදන්නට විය.

ඒ අවස්ථාවේ නගරයේ රිච්මන්ඩ් රෝහලේ මාරයාට පිටුපාමින් ජීවත්වීමට දගලමින් සිටියේ එකොලොස් හැවිරිදි පීලිෂියා හොලන්ඩ්ය.  හදවතේ සැත්කම් තුනකට භාජනය වීමෙන් පසුව ඇගේ හදවත අප්‍රාණික ව ඉතා දුර්වල අන්දමින් ක්‍රියා කරමින් ජීවත් වීම සදහා රුධිරය සපයමින් සිටියාය.  ඇයට හිමිවූයේ සදාකාලික ඇදයි.  පාසැල, ක්‍රීඩා පිටිය මෙන්ම ඇදේ කෙලින් සිටීම පවා ඇයට අහිමි විය.

පිලීෂියාගේ වෛද්‍යවරයා වූ ආතර් රැල්ටෝගික් රිච්මන්ඩ් නගරයේ ඇති විශේෂ පර්යේෂන රෝහලකට මේ දැරිය යවනු ලැබුවේ මේ දැරිය වෙනුවෙන් කලහැකි වෙනත් කිසිවක් නොවූ බැවිනි.  හෘද බද්ධ කිරීම සදහා එක්සත් ජනපදයේ වූ රෝහල් 10න් මෙයද එක් රෝහලකි.  එහි විශේෂඥ මතය වූයේ හෘදයක් බද්ධ නොකලහොත් ඇයව තෙමසකට වඩා ජීවත් නොවිය හැකි බවයි. මේ නිසා හෘදයක් අවශ්‍ය ලැයිස්තුවට ඇගේ නමද ඇතුලත් විය.

කෙලී අනතුරට පත් වූ දිනයේදී දහ හැවිරිදි ශෙරී මොරිස් සිටියේ ඩාලින්ග්ටන් නගරයේ ඇගේ දෙමාපියන් සමගයි.  ඊට පෙර මාස 5 ඇතුලතදී තෙවරක්ම මරණාසන්නව ලේ ගැලීමකට ලක්වූ ඇගේ අක්මාව දරුණු අන්දමින් කැලැල් වී තිබුණි.  එන්සිම ආබාධයක් ඇතිව උපන් ශෙරී තවත් ජීවත් කරවීමට නම් අක්මාවක් බද්ධ කලයුතුම විය.

පිට්ස්බග් විශ්ව විද්‍යාලයට අනුබද්ධ රෝහලක අක්මා බද්ධ කිරීමේ අංශයේ අත්‍යාවශ්‍ය ලැයිස්තුවේ මුලින්ම සදහන් වූයේ ශෙරීගේ නමයි.  මහා මාර්ග සේවයේ පොලිස් නිලධාරියකු ලෙස කටයුතු කල ඇගේ පියාගේ අතෙහි හැම මොහොතකම තිබුනේ රෝහලට කතා කල හැකි යන්ත්‍රයකි.

කෙලී රෝහලට ඇතුලත් කර එම දිනයේදීම කැල්කසා නගරයේ පිච් වගාකරුවෙකු වූ ඩන්කන් ඒ ඇන්ගර් තම බිරිද සමග පීච් කඩමින් සිටියේය.  ඩන්කන් දරුනු ලෙස දියවැඩියා රෝගයට ගොදුරු වූවෙකි. අවුරුදු දෙකක් තිස්සේම ඔහු ජීවත් වූයේ වකුගඩු යන්ත්‍රයක ආධාරයෙනි.  එය ඔහුගේ නිවසේම සවි කර තිබුනේ රෝගයේ ඇති දරුණුකම නිසාමය.  සතියකට තෙවරක් මේ යන්ත්‍රෙය් මාර්ගයෙන් ඩන්කන්  තම සිරුරේ රුධිරය පිරිසිදු කර ගන්නේය.  ඩන්කන්ගේ වකුගඩු දෙකම ඉදිමී ඝනවී තිබුණේ දරුණු දියවැඩියා රෝගය හේතුවෙනි.  ඔහුගේ ලේ පිරිසිදු කිරීමට නොහැකි තත්වයකින් තිබූ වකුගඩු ක්‍රියාත්මක වුනේ යන්ත්‍රයේ ආධාරයෙනි.  මේ යන්ත්‍ර භාවිතා කරන ඇමෙරිකානුවන් 58,000ක් පමණ සිටියද එහි ප්‍රයෝජනය පවා හීනවෙමින් තිබුණු රෝගියෙකි ඩන්කන්.

ඔහුගේ ජීවිතය රැකගැනීමට නම් වකුගඩුවක් බද්ධ කල යුතුම විය.  මිචිගන්හි අවයවයන් බද්ධ කිරීමේ ආයතනයට ඔහුගේ නමද ඇතුලත් වූයේ මේ නිසාය.  ඩන්කන් ජීවත් වූ මිචිගන් නගරයේ ඔහුගේ නිවසට සැතපුම් 50ක් පමණ ඈතින් ජිවත් වූයේ 31 හැවිරිදි බ්‍රැඩ්ෆර්ඩ් කෙෂ්ඩය. දරුණු රෝගයකට ගොදුරු වූ ඔහුගේද වකුගඩු ක්‍රියාවිරහිත වෙමින් තිබුණි.  සීඝ්‍රෙයන් දුර්වල වූ වකුගඩු යන්ත්‍රයේ ආධාරයෙන් ක්‍රියාත්මක වුවද එයද බලාපොරොත්තු තබාගත නොහැකි බව වැටහුනෙන් ඔහුගේ නමත් මිචිගන් නගරයේ අවයව බද්ධ කිරීමේ ආයතනයට ඇතුලත් කරන ලදී.

මේ සිවුදෙනා තමතමන්ගේ සිරුරු ක්‍රියාත්මක කරවමින් තවත් දිගු කලක් ජිවත්විම සදහා අවශ්‍ය අවයව බලැපොරොත්තුවෙන් ඉන්නා අතර කෙලී මාරයා සමග සටන් වදිමින් සිටියාය.

අනතුර නිසා නහානි පැමින තිබුනේ කෙලීගේ මොළයටයි.  එය තැලී තිබුණි.  මොළය ඉදිමීමෙන් තොර වූවොත් කෙලී පසුදින උදයේ නෙත් හරිනු ඇතැයි වෛද්‍යවරු කීහ.

සදුදාට පහන්වත්ම කෙලීගේ සිරුරේ උෂ්ණත්වය වැඩිවෙන්නටත් රුධිර ධාවනය වැඩිවෙන්නටත් පටන් ගන්නට විය. උදේ 6.15 පමණ වන විට ඇයට හුස්ම ගැනීම අසීරුවූයෙන් ආශ්වාස ප්‍රස්වාස යන්ත්‍රයක් සවි කරන ලදී.  කෙලීගේ මොළය ඉදිමීම නිසා එය අක්‍රීය වෙමින් පැවතින.  සදුදා ගෙවීයත්ම ඇයගේ තත්වය වඩාත් දරුණු අතර හැරෙන්නට විය.  අගහරුවාදාට එළිවනවිට මොළයේ ක්‍රියාකාරීත්වය සම්පූර්ණයෙන්ම පාහේ ක්‍රියාවිරහිත වී තිබුණි.  බදාදාද එලෙසින්ම ගෙවී යත්ම කෙලීව පරීක්ෂා කල ස්නායු වෛද්‍යවරයෙක් ඇය ඇත්ත වශයෙන්ම මිය ගොස් ඇති බව පැවසීය.

ඔහු ඉන්පසු මේ පුවතත් සමගම මුණගැසුනේ ඇගේ දෙමාපියන්වයි.  කෙලීගේ අවයව පරිත්‍යාග කිරීම ඇය වෙනුවෙන් කරනු ලබන විශාල සෙතක්  පමණක් නොව ඇය ජීවමානව තබා ගැනීමක් යැයි පැවසූ වෛද්‍යවරයාගේ මතයට මවත් පියාත් එකග විය.

1982 සැප්. 08 වන දින සවස 2.45 ට කෙලී රේ ප්ලැනරි ජීවිතක්ෂයට පත්වූ බව පවසමින් වෛද්‍යවරයා සහතිකය අත්සන් කලේය.

අවසාන වතාවට මවත් පියාත් නිහඩව නිදන කෙලී ගේ ඇද අසලට ගියේ සමුගන්නයි.  ජීවිතකාලයේදී ආදරය බෙදමින් ආදරය ලබමින් කෙලිලොල් ජීවිතයක් ගතකල කෙලී අවසාන ගමන යෑමට සූදානම්ව සිටියේ තවත් කිහිප දෙනෙකුට ජීවත් වීමට වරම් උදාකරමිනි.

මිචිගන් නගරයේ අවයව බද්ධ කිරීමේ ආයතනයට රෝහල විසින් මෙම පණිවුඩය යවන ලදී.  මෝටර් බයිසිකල් අනතුරින් මියගිය එකොළොස් හැවිරිදි දැරියගේ දෙමාපියන්  විසින් ඇගේ අවයව අවශ්‍ය අයට බද්ධ කිරීමට අවසර දී ඇත.  පීටස්බග්හි අක්මා බද්ධ කිරීමේ රෝහලටද එම පණිවුඩය යවන ලදී.  ඇගේ ලේ අයත්වන ශ්‍රේණිය හා අක්මාවේ ප්‍රමාණයද එහි අඩංගු විය.  රිච්මන්ඩ් නගරයේ වර්ජීනියා වෛද්‍ය විද්‍යාලයටද පණිවුඩය ලැබුනි.  රාත්‍රී 9 වන විට රිච්මන්ඩ් හි ඩෙට්ට්‍රොයිම් හා පීටර්ස්බර්ග් හි සිට ගුවන් යානා තුනක් සගිනොව් කරා ගුවන් ගතවිය.  රිච්මන්ඩ් හි වෛද්‍යවරු පැමිණියේ ජෙට් යානාවකිනි.  ඒ කෙලී ගේ හදවත ගෙනයාම සදහාය.  බද්ධ කරන ලද හදවත පැය 4ක් ඇතුලත ක්‍රියාත්මක විය යුතුය.  වේගය හා ඉක්මන අවශ්‍ය වූයේ එබැවිනි.  වෛද්‍ය කණ්ඩායම් තුනම ලෝගු ලා ගෙන කෙලී  අසලට ගියහ.

පළමුවාරය ලැබුණේ හෘද වෛද්‍යවරුන්ටය.  මිනිත්තු හතක් ඇතුලතදී කෙලීගේ හදවත වෛද්‍යවරයෙකුගේ අතට පත්විය.  එය අයිස් වතුරෙන් නාවා ප්ලාස්ටික් අසුරණයක හොවා අයිස් වලින් පිරවූ පෙට්ටියක තැන්පත් කරන ලදී.  මොහොතකින් කෙලීගේ හදවත වෛද්‍ය කණ්ඩායම සමග ගුවන් ගත විය.

ඊළගට අක්මාව අංශයේ වෛද්‍ය කණ්ඩායම ඔවුන්ගේ කාර්යය අවසන් කොට ගුවන් ගත විය.  ඉතිරි වෛද්‍ය කණ්ඩායම කෙලීගේ වකුගඩු සමග ගුවන් ගත විය.  සැප් 08 වෙනි දින සවස 5.25ට බිල් මොරිස්ගේ අත් ගුවන් යන්ත්‍රය ක්‍රියාත්මක විය. “ශෙරීට අක්මාවක් ලැබුණා. ඉක්මනින් ඇය කැටිව එන්න.

පිලීෂියා හොලන්ඩ්, ඩන්කන් ඇන්ගර හා බ්‍රැඩී ෂෙකඩ්ටද ලැබුනේ එවැනිම පණිවුඩයි.

තෝමස් ස්ටාසල් වෛද්‍යවරයා ශෙරීගේ ක්‍රියා විරහිත අක්මාව ඉතා සීරුවෙන් ඉවත් කර ඒ තැනට බද්ධ කලේ කෙලීගේ අක්මාවයි.  කෙලීගේ දෙවන තෑග්ග ලැබුණේ පිලීෂියා හොලන්ඩ්ටයි. ඒ කෙලීගේ හදවතයි.  අවසාන මැස්ම දැමූ වෛද්‍යවරයා රුධිරය හදවතට පොම්ප කලේය.  අවට සිටි සියල්ලෝම බලාපොරොත්තු පොදි බැදගෙන සීරුවෙන් සිටියහ.  හුස්ම ඉහල පහල යන හඩවත් එහි නොවීය.  සියල්ල බලාසිටියදී ඒ කුඩා හදවත සෙමෙන් සෙමෙන් ගැස්සෙමින් ක්‍රියාත්මක වන්නට විය.  පැය බාගයක් ඇතුලත කෙලීගේ හදවත පිලීෂියාට නව පණක් ලබා දෙමින් ස්පන්දනය වන්නට පටන් ගත්තේය.

තෙවනුව කෙලීගේ වකුගඩු තෑගි වශයෙන් ලැබුනේ ඩන්කන් හා බ්‍රැඩීටයි.  මේ සිව්දෙනා ජීවත් කරලීම සදහා ජීවිතයක් නැති වූ බව ඔවුන්ටත් ඔවුන්ගේ පවුලේ උදවියටත් අමතක වී නොමැත.  තමන්ට අත්වූ අධික වේදනාව විද දරා ගෙන තවත් කෙනෙකුගේ වේදනාව තුනී කිරීමට තරම් කෙලීගේ දෙමාපියන් මිනිසත් කමින් පිරිපුන් වීම කෙතරම් වාසනාවක්ද?

කෙලීගේ මව තව තවත් ආගමික වතාවත් වලට නැඹුරු වී දුක තුනී කරගැනීමට උත්සාහ දැරුවාය.  කෙලී ජීවත් වෙනවා. හතර තැනක ඇය ජීවත් වෙනවා.  මේ සිතුවිල්ල ඇයට සැනසුම ලගාකර දුන්නාය. 

කෙලීගේ මරණයට පෙරදින ඇගේ බයිබලයේ කෙලී විසින්ම ඉරි ගසා තිබූ කොටසක් වෙත ඇගේ මවගේ දෙනෙත යොමු විය.

“මම පුනර්ජීවනයයි.  මම ප්‍රාණ නාලියයි.  මා කෙරෙහි විශ්වාස තබන්නා මැරුණත් ජීවත් වන්නේය.  එලසින්ම මා කෙරෙහි විශ්වාස තබා ජීවත් වන්නා කිසිදාක මිය නොයන්නේය......


(රීඩර් ඩයිජස්ට් සගරාවේ පලවූ සත්‍ය පුවතක් ඇසුරිනි. පරිවර්තක මම නොවේ.)





1 comment:

  1. ගොඩක් දුක හිතෙන සිදුවීමක්.
    ඒ වගේම තමන්ගේ අවයවයක් හරි කාගේ හෝ යහපතට දෙන්න පුළුවන් නම් එක ලොකු පිනක්.

    ReplyDelete

කියවලා බලලා හිතට දැනෙන අවංකම දේ මෙතන කුරුටු ගෑවොත් ඒක මට ලොකු ශක්තියක්. ඒ නිසා ඔයාලගේ හැගීම් වචන වලට පෙරලන්න අමතක කරන්න එපා...!!!!!