Wednesday, August 31, 2011

හොර රා බිව් වගයි

මීට වසර හැටකට පමණ පෙර මෙරට පැවතියේ ගම්මුලාදෑණි යුගයකි. ගමේම පාලකයා වූයේ මේ ගම්මුලාදෑනි උත්තමයාය.  එදා සමාජයේ මේ ගම්මුලාදෑණියාට ගමේ වැසියන් බෙහෙවින් බය පක්ෂපාත වූ අතර අති මහත් ගෞරවයක් දැක්වීය.  ගමේ හැමෝම ඇති තැනදී මෙන්ම නැති තැනදීද ඔහු අමතන ලද්දේ ගම්මුලාදෑණි ඇත්තෝ ලෙසයි.  ගමේ සිදුවන සෑම සියලු වැදගත් කටයුත්තකදීම මුල් තැන ගන්නා ලද්දේ මුලාදෑනි උත්තමයායි.  එමෙන්ම ගමේ ගෙදරකට ලැබෙන ඕනෑම දෙයකින් අඩක් මුලාදෑණි ගෙදරට ලැබුණේය.  ගැමියෙකුගේ රා පොල්කට්ටක් තොල නොගෑ රාළහාමි කෙනෙකු ඒ කාලයේ කිසිම ගමක සිටියේ නැත.
ඒ කාලයේ එක් ගැමි ගෙදරක ඇදක් යට සිටි ගමේ ආරච්චි ඇත්තෙක් “මගේ වැයික්කියේ මට කොහේ ඉන්න බැරිදැයි අසමින් ඇද යටින් එලියට ආ පුවතක් අපේ ජනප්‍රවාදයන්හි ඇත.  

ගමේ මුලාදෑණියාගේ හා ගැමියන්ගේ සුහදත්වය මේ සියල්ල එකට කැටි කොට ගත් කල දක්නට ලැබුනු නිසා රාළහාමිගේ රාජකාරී වැඩ වලට ඉන් කිසිම බාධාවක් ඇති නොවුනු බවද පෙනෙන්නට තිබුණි.
ගම්මුලාදෑණියාගේ බිරිදද ඔහු තරමටම ගමේ ඇත්තන්ගෙන් ගරු සැලකිලි ලබා ගත් අතර රාළහාමිද බොහෝ අවස්ථාවලදී ගැමි ජනතාවගේ රාජකාරි කටයුතු සදහා උපදෙස් ලබා ගත්තේද ඇයගෙනි.  මේ නිසා රාළහාමි හාමිනේද මේ රාජකාරී කටයුතුවල පංගුකාරියක් හැටියට සැලකුනු අවස්ථා නැතුවාම නොවේ.  එපමණක් නොව මුළු ගම්තුලානටම අණසක පතුරුවන රාළහාමි ගෙදර හාමිනේට බොහෝම භය පක්ෂව සිටි බවද නොරහසකි.  

මේ කියන කාලයේ සඹරගමු පලාතේ ඈත කෝරළයක එක් වසමක් බාරව සිටි රාළහාමි කෙනෙක් ගමට ඉතා හිතවත්ව ගැමියන්ගේද සැලකිල්ල ලබමින් රාජකාරියද අකුරටම ඉටු කල පුද්ගලයෙකු ලෙස නම් දරා සිටියේය.  මේ හාමිනේද සිය සැමියාට ඉතා හිතවත්ව සිටි අතර ගැමියන්ගේද ගරු සැලකිලි ලබමින් ජීවත්වූ තැනැත්තියක් වූවාය.
 
රාළහාමි ටිකක් සැර ජාති පානයට ඇබ්බැහි වී සිටි අයෙකි.  මත්වූ දවසට ඔහු හොදින් ඉන්නා දවසටත් වඩා හොද බව ගැමියෝ පැවසූහ.  සැර ජාති කෙසේ වෙතත් මත් වෙනවා නම් රාළහාමි ඒවා පානය කලේය.  රාළහාමි සූර් වී ඉන්නවාට ඔහුගේ හාමිනේ කැමැත්තක් දැක්වූයේම නැත.  එහෙත් බොන්න එපා කියමින් රාළහාමිට තදින් අවවාද කරන්නටද ඇය ඉදිරිපත් වූයේ නැත.  රාළහාමි නැති තැන මේ ගැන යම් ප්‍රශ්ණයක් මතුවුවහොත් ඇය කා සමගත් කීවේ “ඔන්න ඔහේ ටිකක් බිව්වාම මොකෝ රාළහාමිත් පිරිමියෙක්නේ...කියාය. 

රාළහාමිගේ මේ පුරුද්ද නිසා ඇතැම් ගැමියන් හොරට පෙරන මත්පැන් රාළහාමිගේ නිවසටද ගෙනැත් දීමට තරම් බිය සැකෙන් තොර වූ බව පැවසේ.  ඒ වැඩේ කෙසේ වෙතත් හොර සුරා ගැන දැඩි ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නෙකු බව ඔහු අනුන් ඉදිරියේ පෙන්නුම් කලේය.  මාසයකට දෙකකට සැරයක් හොර සුරා පොළවල් වටලා ගම් සභා උසාවියේ නඩු පැවරීමටද ඔහු කටයුතු කලේය.  බොහෝ විට මෙසේ නියම කරනු ලැබූ දඩය ගෙවනු ලැබුවේද රාළහාමි විසිනි.

සුරා පෙරා හසුවූ අයට ඔහු අවවාද කලේ කරගන්න රක්ෂාවක් හරියට කරගනිල්ලා, කවුරුත් බඩගින්න නිවා ගන්න එපායෑ කියමිනි.  හැබැයි මාව විතරක් ගස් යවන්න එපා කියන්නටද ඔහු අමතක නොකලේය. මේ ආකාරයෙන් කාට කාටත් සාධාරණව ගමේ උදවිය එක්ක සුහදව කල් ගෙවූ රාළහාමිට දවසක් ලොකු ඇබැද්දියකට මුහුණ දෙන්නට සිදුවිය.  


එදා පුර පසලොස්වක පෝය දිනයක් විය.  දවල් දවස කෙසේ හෝ ගෙවා ගත් රාළහාමිට සවස් කාලයේදී මත් නොවී සිටින්නට බැරි තත්වයක් ඇති විය.  රෑ බෝ වෙන්නට වෙන්නට ඔහුට මේ අවශ්‍යතාවය තදින්ම දැනෙන්නට විය.  


රාළහාමි කවදත් නිදන්නේ ඉස්සරහ කන්තෝරු කාමරයේය.  රෑ දහය පසුවෙත්ම හෙමින් හෙමින් ඇදෙන් බැස ගත් රාළහාමි ගෙදර අය නින්දේ පසුවේදැයි හොදින් සවන් යොමන්නට විය.  ඒ පිළිබදව සැකයක් ඇති නොවූ කල ඔහු කළු ඉරි වැටුනු සරමට කලු කෝට් බෑයද හැද විදුලි පන්දමද අතට ගත්තේය.  කෝට් එක ඇන්දේනම් පුරුද්දටයි.  ටික වේලාවකින් ඉදිරි දොර හැරගත් ඔහු කාටත් නොඇසෙන්නට පොළවටත් නොදැනෙන ආකාරයෙන් උඩින් උඩින් අඩි තබමින් මිදුලට බැස්සේය.  දවල් වාගේ හොදින් එළිය වැටී තිබුණ හදපානේ සැතපුම් කාලක පමණ දුරක් ගිය ඔහු මුදියන්සේ ආතාගේ රබර් කට්ටිය ලගින් ඇති අඩි පාර දිගේ තේමිස්ගේ හොර සීනි රා පොළට කිට්ටු කලේය.  දම් පදුරු වලට මුවා කොට කැකිල්ල ගාල අස්සේ සගවා තිබූ රා මුට්ටිය අත පත ගා සොයා ගත් රාළහාමි කලය මත තිබූ රා පොල්කටුව ගෙන පුරවා එක හුස්මක් ගෙන එය ඉවර කලේය.  තවත් කට්ටක් දා ගත්තේය.  පසුව ටිකක් දහඩිය දමන්නට වූ නිසා කෝට් එක ගලවා පැත්තකින් තැබුවේය.  


ටික වේලාවකින් කලයෙන් තවත් රා පොල්කටුවක් නවාගත් රාළහාමි ඒකත් ගෙන එක උගුරටම බීගෙන බීගෙන ගොස් පොල් කටුවද විසි කර විදුලි පන්දම අතට ගෙන සරමද පැත්තකින් උස්සාගෙන ආපසු නිවෙස බලා පිටත් විය.  කන්තෝරු කාමරයේ දොර අමාරුවෙන් ඇරගත් ඔහු ඇදට වැටී තද නින්දකට පිවිසියේය.


පසුදා උදෑසනම රාළහාමි අවදිවන්නටද පෙරාතුව ගැමියන් හත් අටදෙනෙකු හෙමින් හෙමින් කඩුල්ල පැන රාළහාමිගේ නිවසේ මිදුලේ සිටිනු දක්නා ලදී.  සීනි රා පෙරන තේමිසාද ඒ අතර විය.  


පැයකට පමණ පසු රාළහාමි අවදිවී කාමරයෙන් එළියට විත් ඉස්තෝප්පුවේ වූ ඇදි පුටුවේ දිගෑදුනි.  
“මොකද බං උඹලා උදැහැනැක්කෙම.........ඊයේ රෑ ටිකක් නිදි මැරුවා. ඒක නිසා වැඩියෙන් නින්ද ගියා....යි කියූ රාළහාමි ඔවුන් දෙස යටැසින් විපරමින් බලද්දී හඩ ඇසී කුස්සිය පැත්තේ සිටි හාමිනේද ඉදිරිපස දොර හැරගෙන ඉස්තෝප්පුවට ආවාය.


“අද නම් ආවෙ රාළහාමිගේම වැඩකට....ඉදිරියට ආ තේමිස් එසේ කියා පිටුපස හැරී වෙනත් අයෙකුට අතින් සංඥාවක් කලේය.  


“ඊයේ රෑ තේමිසාගේ රා මුට්ටිය හොරෙන් කවුදෝ බීලා ගිහින්. ඒ මදිවට රාළහාමිගේ කෝට් එක මේ ගෙදරින් කවුදෝ හොරෙන් අරන් ගිහින්ද කොහේද රා පොලේ කැකිල්ල ගාලේ දාලා ගිහින්.  මේන් අපි කෝට් එක අරන් ආවා......කියා පිටුපස ගැමියෙකු අත නවා තිබූ කෝට් එක හාමිනේගේ අතටම දුන්නේය.  


“කොහේද ඉලව්වේ රාළහාමිගේ කෝට් එක තේමිසාගේ රා පොලේ රෑ තිස්සේ බඩගාන්නේ.  රාළහාමිනම් ඔහොම රෑ තිස්සේ රා පොලවල් ගානේ යන්නේ නැහැනේ. රාළහාමි අවදි වුනෙත් දැන් නොවැ....යි හාමිනේ ඇසුවාය.  


“ඔව්...ඔව්..එහෙමයි....ගැමියෝ එකවරම පිලිතුරු දුන්හ.  හාමිනේ රාළහාමිගේ මුහුණ දෙස බැලුවාය.  රාළහාමිගේ මුහුණත් හාමිනේගේ මුහුණත් එක් වරම එකට මුණ ගැසුනි.  රාළහාමි වහාම ඉවත බලා ගත්තේය.  පින්නෙන් තෙත බරිත වී තිබූ කෝට් බෑය ගෙන එය බිත්තියේ ගසා තිබූ ඇණයේ එල්ලුවාය. අනතුරුව සාලයට ගිය ඇය අල්මාරිය උඩ තිබූ කෝටුව අතට ගෙන යලිත් ඉස්තෝප්පුවට ආවාය.  මොනවා කරන්නට යනවාදැයි තේරුමක් නොතිබූ රාළහාමි හෙමින් සීරුවේ පුටුවෙන් නැගිට කන්තෝරු කාමරය දෙසට ගියේය.


ඒ එක්කම හාමිනේ මල් කෝටුවෙන් එල්ලා තිබූ කෝට් එකට පාරවල් හත අටක් කීස් ගා ගහගෙන ගහගෙන ගියාය.


“මං කියලා තියෙනවා නේද රාළහාමි ගෙදර ඉන්න වෙලාවට එහේ මෙහේ ඇවිදින්න යන්න එපා කියලා.  දෙයියනේ කියලා බිත්තියේ එල්ලිලා ඉන්න බැරි මොකෑ...කෝට් එකක් උනත් කියන දේ අහන්න එපැයි....ආයේ පාරක් ඔය රෑ තිස්සේ රා පොලවල් ගානේ ඇවිදින්න ගියොත් හතරට ඉරලා ලිපේ ඔබනවා දැනගන්.....උඹ දන්නේ නෑ කෝට් රාළ මගේ හැටි.....


එසේ කියූ හාමිනේ කෝටුවෙන් තවත් දෙක තුනක් ගසා මිදුලේ දෑස් අයා බලා සිටින ගැමියන් අමතා මෙසේද කීවාය.


“මීට පස්සේ මේ කෝට් එක රාළහාමි නැතුව ගමේ රා පොළක හරි කොහේ හරි තියෙනවා දැක්කොත් මටම ඇවිදිල්ලා කියාපල්ලා....එදාට මීට වඩා දඩුවමක් මෙයාට දෙනවා.


ගැමියන් සිදුවූ කාරණය තේරුම් ගත්තාදැයි නොදත් නමුත්, දක්නට ලැබුනේ ඒ එක්කම තේමිසාද පෙරටු කොට ගත් ගැමියන් හෙමින් හෙමින් කඩුල්ල පැන ඈත ගුරු පාර දිගේ ඔවුන්ගේ ගෙවල් දොරවල් වලට ඇදෙනවා පමණි.










ඈත අතීතයේ සිදුවූ සත්‍ය පුවතක් ඇසුරිනි.

Tuesday, August 30, 2011

කතරගම ගමන

පහුගිය දවස් දෙක තුනේ පොඩි වෙනසකටත් එක්ක අපි කරතගම පැත්තේ ගියා. මෙහේ වගේ නෙමයි ඒ පැත්තට වැහි පොදක ලකුණක් වත් නැහැ. ගස් කොලන් හොදටම වේලිලා.  

අපි යන ගමන් බූන්දල ජාතික වනෝද්‍යානය පැත්තෙත් ගියා.  විශේෂයෙන්ම අලි ඉන්නවද බලන්නයි අපට උවමනාව තිබුනේ. අලි බෙටි නම් තිබුණා. ඒත් හොඩවැලක් වත් දකින්න ලැබුණේ නැහැ.  ඒ පලාතේ ගස් කොලන් වේලිලා ගිහින්. මුවෝ, හාවෝ, මොනරු වගේ සතුන් නම් දැක්කා. උන්ගෙනුත් වැඩිහරියක් හිටියේ මොනරු.  දෙවියන්ගේ අඩවිය නිසාද කොහෙද මොනරුන් නම් හොදින් හිටියා. වැඩි පිරිසක් දකින්නත් ලැබුණා.  ගස් කොළන් පවා වේලිලා නිසා සතුන් කොහොම මොනවා කාලා ජීවත් වෙනවද කියලා හිතුනා.  සමහර තැන්වල වතුර තිබුණු ජලාශ හිදිලා ගිහින්. 
දිය කාවෝ, කොක්කු වගේ කුරුල්ලන් නම් ගොඩක් හිටියා.  ඒත් නම් වශයෙන් අපි දන්න කුරුල්ලනුත් බොහෝම අඩුවෙන් තමයි දැක්කේ.  රටේ සංවර්ධනය දකිනකොට හිතට සතුටක් දැනුනත්, අතර මගදී ගහ කොළ වලට වෙන විනාශය ගැන නම් එතරම් සතුටක් නැහැ.  අනාගතයේදී ගමක් කියලා දකින්න දෙයක් ඉතිරිවේදැයි සැකයකුත් හිතට ආවා. කාටවත් දොස් කියනවා නෙමෙයි.  හිත රිදෙන කෙනෙකු ඉන්නවා නම් සමා වෙන්න ඕනෑ. මගේ දැනුමේ හැටියටයි මෙහෙම ලියවෙන්නේ. සතා සීපාවා ගැන ගහ කොළ ගැන මම යහමින් හිතන නිසා.
කතරගම නගරය හා ඒ අවටත් විශාල දියුණුවක් දකින්න ලැබුණා. පාර තොට ගැන හොද පැහැදීමක් ඇතිවුනත් කොළඹ නගරයට ආසන්නව ඇති මහා මාර්ග ගැන හිතන කොට ලොකු දුකක් දැනුනා. මොකද පුංචි වැස්සකටත් ඒවා වාරි මාර්ග වෙන නිසා.  දවසක් වැස්සොත් ඉස්සන් කොටු හදන්න පුඵවන් තරමට ඒවා දියුනු වෙලා නිසා.  මම මේ ආපහු කියන්නේ හිත රිදෙනවා නම් මට සමාව දෙන්ට ඕනෑ හොදේ.

අපි 27 වෙනිදා රෑ ඕං ගියා කිරි වෙහෙර වදින්ට.  මල් පූජා කරන්න ඕනෙ නිසා තෙල් මල් ගන්න පොඩි කඩපිලකට ගොඩවුණා.  මලක් රුපියල් විස්සයි.  ඒකනම් කමක් නැහැ කියමුකෝ. ඒකත් එක්කෝ දහයක් නැත්නම් 20ක් ගන්න ඕනේ.  දහයක් නොගත්තොත් ඒ ඇත්තිට ගණන් හදාගන්න අමාරුලු.  මම ඉතිං මල් 7ක් අරගෙන එයාට ගාන හදලා දුන්නා. මං ඉතිං ගණන් කාරිනේ. අනික ඒ අක්කා පවුනේ.  මයේ අප්පේ එතන හිටිය සෙනග කන්දරාව. ලොකු පිං කමක් නිසා බොහෝම දෙනෙක් එතැනට රැස් වෙලා හිටියා.  ඒත් මම නම් හිත පිරෙන්න වැද පුදා ගත්තා.  ඒ එන ගමන් කතරගම දේවාලයටත් ගියා. අපිත් ඕං පූජා වට්ටියක් හිසේ තියාගෙන ගියා. හත්වලාමේ පූජා වට්ටි තියන් පෝලිමේ යන්නත් වුණා. පෝලිමේ කෙලවර හොයන්න ත්‍රී වීල් කටුවකින් තමයි ගියේ. ඒ තරමට බැති මත්තු. එහෙම වෙන එක හොදයි ඒත් .......පූජා බිමෙන් එලියට එන්නේ බෝතලේ කටේ තියාගන්න බලාගෙන නිසා භක්තියේ තරම හිතා ගන්න අමාරුයි. ඔන්න ඉතිං අපේ පූජා වට්ටියත් දීලා දෙවියන් වැදලා අපිත් පල්ලම් බැස්සා.  අපේ නඩේ 15ක් විතර. සතුටුයි කියන්න අපි නම් මස් මාංශයෙන් තොරවෙලයි ගියේ. 

ඕං පහුවෙනිදා පාන්දරම .....පාන්දරම කිව්වට 9.00ට විතර අපි ගියා වැඩිහිටි කන්ද වදින්න.  කන්ද පාමුල තියෙන කඩ පොඩියකට ගොඩවැදුනා තෙල් මල් ටිකක් ගන්න. බොලේ තෙල් කාලක් රු 100ක්.  මෙහේදි අපි ඕකෙන් දෙකෙන් පංගුවයි නේ දෙන්නේ.  අපේ අප්පෝ......තෙලුයි හදුන්කූරුයි කපුරු පැකට් 1 ගත්තේ. ගාන රු. දෙසියගණනක් වුනා. බැරි අමාරුකම් තියෙන කෙනෙකුට අපේ රටේ ප්‍රසිද්ධ ස්ථාන වැද පුදාගන්ට නම් පොළියටවත් සල්ලි හොයාගන්න වෙයිනේ.  ඕං බලන්න ඉතිං සිංහලයා සිංහලයාවම ගසා කන හැටි.  ඔන්න ඉතිං අපි වැඩිහිටිකන්ද වැදපුදා ගෙන ආපහු එනිං ගමන පිපාසාව නිසා කඩේකට ගොට වැදුනා. සීතල බීම එකක් බොන්න. දෙයියන්ට ඔප්පු වෙච්චාවයි අපි මෙහේ බඩී කියන බීම බෝතලයක් එහේ රුපියල් 100ක්. මයේ හිතේ දුර යන්ට තියෙන නිසා වෙන්න ඇති ගාන වැඩි. නේද ඈෑෑ....මං හිතුවෙම අක්කාට ගාන වැරදිලා කියලා.  බලනකොට මටයි වැරදිලා තියෙන්නේ.  

ඔන්න ඉතිං අපි ආපහු ගෙදර එන දවසේ උදේ 9.00 ට විතර පිටත් වෙලා කිරින්දෙ විහාරෙත් වැද පුදාගෙන ඇඹිලිපිටිය හරහා තමයි එන්න පිටත් වුණේ.  මගක් දුරදි අපි වැවක් ලග නාන්න නතර වුණා. අපි නාන අතරේ දුටුවා බොහෝම ඉහලින් සප්පායම් වුන දෙන්නෙක් ත්‍රීවීලයක දමාගෙන ඉස්පිරිතාලෙට දක්කනවා. ඒ දෙන්නට වැඩි වෙලාලු. මයේ හිතේ වතුර පෙවිලාද මන්දා.......ඉතින් ඔන්න අපි නාලා එහෙම ඇවිත් එතන තිබුණු පුංචි කඩේක අම්මෙක් එක්ක පුංචි කතාවක් දැම්මා.  එතකොටයි දැනගත්තේ අපේ උන්දලාගේ භක්තියේ තරම. වන්දනාවේ ගිහින් එන නඩේ බොහෝම දෙනෙක් එතනින් නාලා යන්න එනවලු. ඉටි කොළ, කෑම පැකට් කරපු රිජිපෝම් කෑලි, එතකොට ප්ලාස්ටික් වතුර බෝතල් අඩුවක් නැතුවම තිබුණා.  වටපිටාව බලන්න ලස්සනයි.  අපි එතනට ගියදාට කලින්දාත් කට්ටියක් එතන නාලා. ඒ අයයි ගමේ උදවියයි අතරේ ලොකු බහින්බස් වීමක් ඇති වෙලා. ඒක අවසාන වෙලා තියෙන්නේ කතාවට සහභාගී වෙච්ච කෙනෙක්ව කපා කොටා මරා දැමීමෙන් පස්සෙලු. එයාලා හොදට සප්පායම් වෙලාලු හිටියේ. ගමේ උදවියත් එක්ක අරියාදුවට ආපු අය මොරටුව පැත්තේ කියලත් ආරංචි වුණා.  ඒ තොරතුරුත් දැනකියාගෙන අපි නැවතත් අපේ ගම් බිම් බලා එන්න පිටත් වුණා. 

Wednesday, August 24, 2011

කිරි අම්මාවරුන්ගේ දානය










 







ජාතියක ජීවය රදාපවතින්නේ මවක් නිසාය.  රටක් ජාතියක් පවතින්නේ මවක් නිසාමය. එබැවින් ලොව පූජා වස්තු අතරින් උදාර මාතෘත්වයට හිමිවන්නේ මුල් තැනයි. විශ්වයේ ආරම්භයත් සමගින් කාලයෙන් කාලයට එක ලෙස වැදුම් පිදුම් ලැබූ මාතෘත්වය ලොව පවතින උත්තරීතර තත්වයකි.  ඒ නිසා මාතෘත්වය පූජනීය කොට සලකමු.  ඒ උදාර මාතෘත්වය වෙනුවෙන් කැපවූ කටයුතු අතරින් මුල් තැනක් ගන්නා කිරි අම්මා වරුන්ගේ දානය අපේ සංස්කෘතියේ කැපී පෙනෙන ලක්ෂනයක් ලෙස සැලකිය හැකිය.  එය අත්‍යාවශ්‍යම කාර්යයක් සේද සලකනු ලැබේ.  පත්තිනි මෑනියන් වෙනුවෙන් කෙරෙන භාරයක් ලෙසින් බිහිවූ කිරි අම්මා වරුන්ගේ දානය මහගු ගුණ දෙන ශාන්ති කර්මයක් ලෙස අදටත් පිළිගනු ලැබේ.


සංස්කෘතීන් දෙකක සංකලනයක් ලෙසින් සැලකිය හැකි කිරි අම්මාවරුන්ගෙ දානය බෞද්ධ සංස්කෘතියේ ලක්ෂණයක් ලෙස පිළිගැනීමට නොහැක්කේ එය දෙවියන් හා බැදුනු කටයත්තක් නිසාය. හින්දු පුරා වෘත්ත හා බැදුනු පත්තිනි මාතාවන් උදෙසා කෙරෙන ආගමික කටයුත්තක් වුවද අද එය සිං‘හල බෞද්ධයින් අතර ජනප්‍රිය චාරිත්‍රයක් ලෙස බෞද්ධ මුහුණුවරකින් ද පෝෂණය වී ඇත.  හින්දු ආගමට නෑකම් කියන කිරි අම්මා දානය කෙසේ සිංහල සංස්කෘතියට එක්වූයේදැයි කීමට නොහැක.  හින්දු ආගමික බලපෑම් ලංකාවට ආ දා සිට රජවරුනගේ සහායෙන් මේ කටයුතු සිදුවන්නට ඇතැයි සිතිය හැක.  නගරයට වඩා ගම්බද ප්‍රදේශයන්හි ඉතාමත් සුලබ ලෙස දැකිය හැකි කිරි අම්මාවරුන්ගේ දානය ඉතාමත් භක්තියෙන් යුතුය ඉටුකරනු ලබන කාර්යයකි.  මේ කාර්යයේදී වඩාත් උනන්දු වන්නේ ගම්බද කාන්තාවන්ය.  දාර්ශනික වටිනාකම කෙසේ වෙතත් චේතනාවත් ඉන් වන මෙහෙයත් ගැන සිතා සිංහල කාන්තාවන් මේ දානමය කාර්යය ගැන බෙහෙවින් උනන්දු වන බව පෙනේ.  


විශ්මය ජනක ලෙස නමුත් රසවත් පුරාවෘත සමගින් අප අතරට ආ පත්තිනි මෑනියෝ කාන්තාවන්ගේ ඉමහත් ගෞරවාදරයට භක්තියට ලක්වූ දේවතාවියකි.  ඈ වෙනුවෙන් වූ බාර ඔප්පු කිරීම සදහා සිදුවන කිරිඅම්මා වරුන්ගේ දානය බරකින් නිදහස් වීමට කරනු ලබන්නකි.  යම් යම් ලෙඩ රෝග හා වෙනත් ආපදාවන් ඇතිවන්නේ දෙවියන් කෝප වීම නිසා බව අදත් අප අතර පවතින මතයකි.  සත්‍යතාවය කෙසේ වෙතත් එවන් ලෙඩ රෝග වලින් මිදීමට නම් දෙවියන් උදෙසා භාර හාර කල යුතු බව පිළිගැනීමයි. කිරි අම්මාවරුන්ගේ දානයද එබදු විශ්වාස පදනම් කරගෙන සිදුකරනු ලබන්නකි.  


අම්මාවරුන්ගේ ලෙඩ ලෙස සැලකෙන රෝග රැසක් ඇතැයි සලකන ගැමියන් ඒවායෙහි ඇති භයානක කම ගැන සිතා බේත් කිරීමට පෙර බාර හාර වීමෙන් හිත හදා ගනිති.  එවන් විටෙක පත්තිනි මෑනියන් උදෙසා භාරයක් වීම අදටත් අපේ ගැමියන් අතර තිබෙන සිරිතකි.  සරම්ප, කම්මුල්ගාය වැනි රෝග මේ අතුරින් මුල් තැනක් ගනී.  මෙවැනි රෝගයක් තමන්ගේ ගෙදර කිසිවෙකුට වැළදුනු විට ගම්බද ගෘහ මූලික කාන්තාව කරන්නේ පත්තිනි මෑනියන් උදෙසා කිරි අම්මාවරුනගේ දානයක් දෙන ලෙසට බාර වීමයි.  එපමණක් නොව තද උණක් වැළදුනු විට පවා ගම්බද අම්මලා මෙම දානය දීමට සූදානම් කරති. 


මෙවන් විටෙක වනිතාවක් කිරි අම්මාවරුන්ගේ දානයක් දීම සදහා ක්‍රම දෙකක් අනුගමනය කරති.  දෙහි යුෂ වලින් පිරිසිදු කරනු ලබන කාසිය පිරිසිදු රෙදි කැබැල්ලකින් ගැට ගසා පඩුරක් සකස් කොට  එය දෙවියන් වෙනුවෙන් ගැට ගසයි. එසේත් නැත්නම් ගස් අතු බැදීමක් කරනු ලබයි.  පත්තිනි මෑනියන් වෙනුවෙන් පොල්, කෙසෙල්, වැනි පලදායි ගසක් වෙන් කොට ඇප තබයි.  එම ගස අනෙක් ගස්වලින් වෙන් කොට දැන ගැනීම සදහා ගොප් කොළ කීපයකින් එය සරසනු ලබයි.  එම ගස් කද වඩා ගොප් කොළයක් ඔතා එහි එක් ගොක් කොළයක් එල්ලයි.  ගස මුල පිරිසිදු කොට සුවදදුම් අල්ලා පත්තිනි දෙවියන් සිහිකර පින්දී ඒ  බලයෙන් රෝගය සුවවේවායි ප්‍රාර්ථනා කරයි.  බාරය ඔප්පු කිරීමට ගතවන කාලය බාරය ඔප්පු කිරීම් වස් පිරි නැමෙන දානයට කැදවන අම්මාවරුන්ගේ ගණන පිරිනැමිමට බලාපොරොත්තු වන පූජා ද්‍රව්‍ය ගැන මෙනෙහි කෙරේ.   බාරය ඔප්පු කිරීමේදි ඒ ආකාරයෙන්ම ඔප්පු කිරීමට කාන්තාවන් උනන්දු වෙයි.


අසනීප දුක් කරදර නිමවූ මොහොතේ සිටම බාරය ඔප්පු කිරීමට සූදානම් වන වනිතාව ඒ සදහා අවශ්‍ය ද්‍රව්‍ය එක් රැස්  කරන්නේ මහත් බලාපොරොත්තුවකිනි.  කවර හෝ කරදරයක් වූ මොහොතක ඇය සිතන්නේ එවැනිදේ වන්නේ බාරය ඔප්පු කිරීමට නොහැකි වූ නිසා බවයි.  එනිසා හැකි ඉක්මනින් බාරය ඔප්පු කිරීමට කටයුතු සලසයි.  සියලුම අවශ්‍ය දේ සපුරාලීමෙන් පසු ඈ බලාපොරොත්තු වන්නේ මව්වරුන්ට ඇරයුම් කිරීමයි.


දානය පිරිනැමීමට බලාපොරොත්තු වන දිනට පෙර දින හෝ ඊටත් කලින් දින උදාර මව් ගුණයෙන් පිරි මව්වරුන් සොයා බුලත් හුරුල්ලක් රැගෙන නිවසින් පිටත් වෙයි.බුලත් හුරුල්ල පිරිනමා ඇරයුම් කරනු ලබන මව්වරුන් ගැන ගෘහනිය තුල උදාර විශ්වාසයක් ඇති බව පෙනේ.  දූ දරුවන් මුනුබුරු මිනිබිරියන්ගේ ඇසුර ලද ඔවුන් කරා ඇගේ අවධානය යොමු වෙයි.  මව්වරුන් ඇයගේ ඇරයුම් ආදරයෙන් පිලිගන්නේ ඒ තුලින් ලැබෙන උදාර ගුණයන් නිසාය. මෙහිදී විශේෂයෙන් ඇරයුම් ලබන්නේ හත, දාහතර, විසිඑක වැනි හතෙන් බෙදෙන සංඛ්‍යාවකි.  අඩුම සංඛ්‍යාවේ මව්වරුන් සත් දෙනෙකි.  


මෙහිදී නිවස හොදින් පිරිසිදු කර නිවස අවටත් හොදින් පිරිසිදු කරනු ලබයි.  නියමිත දින හිරු උදාවනවිට දානය පිරිනැමෙන නිවස අමුතුම සිරියාවකින් හැඩ වෙයි.  උත්සව මුහුණුවරක් ගන්නා නිවස කරා හිමිදිරි උදෑසන ලගාවන කිරි මව්වරුන් සුදෝ සුදු වතින් සැරසී සිටිති.  කිරිමවුවරුන් තම මුඵ සිරුරම වැසෙන සේ සුදු ඇදුමින් සැරසිය යුතුයි. ඔවුන්ගේ දෙවුර මුඵමනින්ම වැසී තිබිය යුතුය.  කිරි අම්මාරුන් ලෙස දනට වඩින කාන්තාවන් කිසිදු විටක කලින් දින දානය තිබෙන ගෙදර වැඩ වලට උදව් වීමට නොපැමිණෙන්නේය. එය නුසුදුසු කටයුත්තක් සේ සලකති.  එසේම මෙය දෙවියන් උදෙසා කරන කටයුත්තක් බැවින් ඔවුන් ඉතා පිරිසිදු විය යුතුය.  මාස් ශුද්ධිය වැනි අවස්ථාවන් වලදී මේ දානමය කටයුතු වලින් කාන්තාවන් ඉවත් වෙති.  සන්සුන් ගමනින් නිවසට ලගාවන විට ගෙහිමි කාන්තාව මේ අම්මාවරුන්ව පිලිගනු ලබයි.  ගේ ඉදිරිපස තබා ඇති දෙහි ඇඹුල් මිශ්‍ර ජලයෙන් දෙඅත් හා මුවද සෝදා පිරිසිදු කරගත් කිරි වම්වරුන් උදෙසා සියලු කටයුතු සූදානම් කර ඇත‍.  ගෙතුල බිම එළා ඇති පැදුරු මත කිරිමව්වරුන් වාඩි වෙති.  නිවැසි කාන්තාව ඇතුඵ හැමදෙනාම ඉන් අනතුරුව දානය පිරිනැමීමට සැරසෙයි.  නිවසේ කාන්තාව පිරිසිදුව සැකසූ කෙසෙල් කොළ ඒ ඒ කිරිමව්වරුන් ඉදිරියේ තැන්පත් කරන්නේ මහත් බලාපොරොත්තුවකිනි.  අනතුරුව තමාගේ බාරයට අනුව සැකසූ සියලු ආහාර (කිරිබත් 7, හැදි කැවුම්7, කිරියා 7 කෙසෙල් 7, අඹ,තැඹිලි, හකුරු, බුලත්, ඇතුඵව වර්තමානයේදී නම් මුදල්ද තබනු ලබයි.) ඒවාට බෙදයි. මෙහිදී මුල් තැනක් ගන්නේ කිරිබත්ය.  බෙදා අවසන් වූ පසු අම්මාවරුන් ඉදිරියේ ඇති පොල් තෙල් පහන දල්වනු ලබයි. බුදුන් ට අමතරව පත්තිනි මෑනියන්ගෙ රූව ඉදිරියේද පහනක් දල්වනු ලබයි. 


දානය පිළිබදව වැදගත්ම කටයුත්ත වන්නේ මේ මොහොතේය.  කිරි අම්මාවරුන් හැමදෙනාම “නමෝතස්ස භගවතෝ පාඨයෙන් පටන් ගෙන තිසරන සහිත පන්සිල් බුදු ගුණ දහම් ගුණ හා සඝ ගුණ කියා දෙවි දේවතාවන්ට පින්පෙත් දී නිහඩ වෙති.  නමුත් ඇතැම් පෙදෙස්වල පත්තිනි දෙවියන් උදෙසා කවිද ගායනා කරති.  කිරිමව් වරුන් අතරින් නායකත්වය ගෙන කටයුතු කරන අම්මා මොවුන් අතුරින් වැඩිමලාවේ.  ආතුරයා ඇතුඵ හැමදෙනා අමතන ඇය දේශණයක් කරන්නේ බාරවූ කාන්තාවගේ පැතුම් ඉටුවන අන්දමිනි.  මින්මතු ලෙඩදුක් අපල ඇති නොවන බවත්, තෙරුවන් සරණ හා දේව පිහිට නිසා යහපත උදාවන බවත් පවසන ඈ හැම දෙනාටම දිගාසිරි හා නිරෝගී සුවය පතයි.  ඇයගේ දේශනය අවසාන වන්නේ පත්තිනි දේව මාතාවන්ට මේ පින් ලැබේවා.  අදින් බාරය නිදහස් යන වැකිය මුවින් පිට වූ පසුයි.  අනුභවය නිමවී නැගී සිටින කිරි මව්වරු ඉදිරියෙන් දල්වා ඇති පහන ළගට යති. එහි ඇති පොල් තෙල් රැගෙන ආතුරයාගේ හිසෙහි ගල්වන්නේ ආශිර්වාද ප්‍රාර්ථනා කරමිනි.  පත්තු කරන ලද පහන් තිර ගෙන ආතුරයා ඇතුඵ සැමගේ හිස වටා එය හත් වරක් කරකවා කිරි භාජනයක පොගවා නිවා දමති.  මෙහිදී තමන්ගේ හා තම තමන්ගේ හිස්හි තෙල් ගල්වා ගැනීමට සැමදොනාම අමතරක නොකරති.  හැමදෙනාටම ආසිරි පතා නිවසින් පිටවන කිරි මවුන් අත ඔවුන් වෙනුවෙන් වෙන් කෙරුනු ආහාර කොටස් සහිත පාර්සලයකි.  මෙම කෑම සහිත පාර්සලය කිසිදු විටෙක එල්ලා ගෙන යනු ලබන්නේ නැත.  එසේ කිරීම හොද නැති කටයුත්තක් ලෙස ඔවුන් සලකයි. තම දෙඅත්ල මත තබා පපුවට තුරුලු කොට ගෙනය ඔවුන් එය රැගෙන යන්නේ.   තම නිවසේ පැවති කිරිමව්වරැන්ගේ දානයට පැහමිණි මව්වරුන්  සන්සුන් ගමනින් ආපසු යනු බලා සිටින බාරවූ ගෘහනිය ඉමහත් ප්‍රීතියට පත්වෙයි.  මෙලෙසින් පත්තිනි දෙවියන් වෙනුවෙන් වූ බාරයෙන් ඇය නිදහස් වෙයි.  එමෙන්ම කිසිදු විටෙක දනට සහභාගී වූ අම්මාවරුනගේ ගෙවල් වලට නැවත කැම බෙදීමක් කෙරෙන්නේද නැත. එයත් නුසුදුසු කටයුත්තක් සේ සලකති.  


මෙම කිරි මව්වරුන්ගේ දානය පින් කමක් මෙන්ම ඉමහත් භක්තියෙන් කරනු ලබන කටයුත්තකි.  උදාර මාතෘත්වය කෙරේ ඇති භක්තිය මොනවට පිළිබිඹු කරවන්නකි.  මෙම කිරිදානයක් නොදුන් නිවසක් සොයා ගැනීමට නොහැකි තරම්ය.  නමුත් මෙම සිරිත් විරිත් පළාත අනුව සුඵ සුඵ වෙනස්කම් වලට භාජනය වේ. ඇතැම් අයගේ මතය අනුව කිරිමව්වරුන් 7 දෙනෙකුට වඩා එක අවස්ථාවක වාඩි කරවන්නේ නැත.  එසේම එලෙස වාඩිවන කිරිමවුවරු අප අත්තම්මා යනුවෙන් හදුන්වන පරම්පරාවේ අය පමණක් වාඩි කරවන පළාත්ද වෙති. ඇතැම් කොටසක් දෙවර්ගයේම දරුවන් සිටින කාන්තාවන් පමණක් මේ සදහා තෝරා ගනිති. ඇතැම් පෙදෙස් වල කිරි දෙන අම්මාවරුන්ම සොයා යයි.  දරුවන් නොලැබු කාන්තාවන් කිසිසේත්ම කිරි දානයකට වඩම්මවන්නේ නැත.  සැමියා මල කාන්තාවන් නොගන්නා පළාත්ද අප රටේ වෙයි.  සත්‍ය සත්‍යතාවය කෙසේ වෙතත් මෙය ඉමහත් භක්තියෙන් යුතුව කරනු ලබල කාර්යයකි.  ඉතාමත් පිරිසිදුවට පිලිවෙලට ආහාර පිළිවෙල කරනු ලබන අතර අනවශ්‍ය කතාබහෙන් වැලකී සිටීමට හැමදෙනාම ප්‍රවේසම් වෙති.  කොතැන කොයි අන්දමින් සිදු වුවද උත්තරීතර මාතෘත්වය උදෙසා පිදෙන උපහාරයක් ලෙස කිරි අම්මාවරුන්ගේ දානය හැදින්විය හැකිය.





Monday, August 22, 2011

හොද අම්මා කෙනෙක්

පිණි පළස බ්ලොගයේ “දරුවන් ඇති අම්මලා......ලිපිය කියෙව්වම මට මෙහෙම ලියන්න හිතුනා. 
                 
දැනට අවුරුදු හතකට විතර කලින්  කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ 4 වාට්ටුවට අවුරුදු 5ක විතර දරුවෙක් අරගෙන අම්මා කෙනෙක් ආවා.  මේ දරුවා රැගෙන ආපු අම්මා විශේෂ කෙනෙක්.  (මේ මට දැනුන විදිය) ඇය ඒ වනවිට වැලිකඩ හිර ගෙදර නේවාසිකයෙක්. ඒ කියන්නේ මත් ද්‍රව්‍ය වගයක් ලග තබාගෙන හිටියයි කියන චෝදනාවට දඩුවම් විදිමින් සිටි කෙනෙක්. (ඇය මත් ද්‍රව්‍ය පාවිච්චි කලේ නැහැ. මං හිතන්නේ විකුනන්න ඇති.) ඇය මට කිව්වේ ඇගේ මල්ලි ඒවා පාවිච්චි කරනවා කියලයි.  ඇගේ දඩුවම් කාල සීමාව වසරක්. මම මේ කියන කාල සීමාව වෙනකොට ඉන් මාස 10ක් ගෙවිලා ගිහින්.


ඉතින් මේ අම්මා ගෙනාවේ පිරිමි දරුවෙක්. හොද ලස්සන පෙනුමක් තියෙන හොදට ඇග පත හැදිච්ච පිරිමි දරුවෙක්. මේ දරුවත් විශේෂයි. හේතුව දරුවාගේ ඇස් පේන්නේ නැහැ. කන් ඇහෙන්නේ නැහැ. ඇවිදින්න බැහැ. බාහිර පෙනුම හොද උනාට දරුවා ආබාධිතයි.  


ඉතින් මම මේ අම්මා ලගට කිට්ටු කරලා දරුවා ගැන විස්තර ඇහුවා. ඒ අම්මා දරුවව හොදට පිරිසිදුවට පිළිවෙලට තියාගෙන හිටියා.  දරුවට පැම්පස් දාලා තිබුණා.  අම්මාගේ ආරක්ෂාවට ආරක්ෂක නිලධාරිනියන් දෙදෙනෙකුත් රෝහලේ හිටියා. 


බැලූ බැල්මටම පෙනුනා ඇය දරුවා බොහෝම ආදරෙන් කරුණාවෙන් බලාගන්නා බව. සතුටක් වගේම දුකක් දැනුනා. දරුවා ආබාධිත දරුවෙක් නිසා. කෙසේ වෙතත් මේ අම්මාට තමන්ගේම දරුවන් තුන්දෙනෙකු ඉන්නවා. කසාද බදින වයසේ. (නමුත් ඇය ඒ වනවිටත් වයස අවු. 45ක විතර පෙනුමැති කාන්තාවක්).  ඇගේ දරුවන් ලොකු මහත් වෙච්ච අය නිසා ඇය කොළඹ කාසල් රෝහලෙන් දරුකමට හදාගන්න දරුවෙක් සොය සොයා ඉන්න කොට තමයි මේ දරුවා ලැබිලා තියෙන්නේ.  


මේ පුතාගේ ඇත්ත අම්මා අවු.16ක පුංචි කෙල්ලක්. නුවර පලාතේ.  තමන්ගේ පෙම්පතාගෙන් වෙච්ච අකරතැබ්බෙක ප්‍රථිපලය තමයි මම මේ කියන පිරිමි දරුවා.  ඉතින් දරුවා නැති කරන්න අම්මා බෙහෙත් බීලා. ඒවායේ ඵලවිපාක අන්තිමේදී අසරණ දරුපැටියා පිටින් ගිහින්. ඔහු ගොඵයි. බිහිරියි.  හදාගන්න අම්මා දරුවා අරගෙන මාස 3-4කට විතර පස්සේ තමයි දන්නේ දරුවාගේ සැබෑ තත්වය. නමුත් ඇය දරුවාව කුණු කානුවට නොදමා, ටොයිලට් වලකට නොදමා, එහෙම නැත්නම් පාරක අයිනේ හොරෙන්ම දාලා යන්නේ නැතිව ආදරෙන් හදා ගත්තා.  දරුවාව අවශ්‍ය කරන හැම තැනකටම ගෙනිහින් පෙන්නුවා. විශේෂඥ වෛද්‍ය සහාය පැතුවා.  දරුවා හොද කරන්න බැරි වුනත් ඇය තමන්ගේම දරුවෙක් වගේ මේ අහිංසක දරුවාව රැක බලා ගත්තා.


වෛද්‍යවරු දරුවා අන්ධයි කියද්දී, ඔහුව වෛද්‍යවරුන් කිහිපදෙනෙකු ගාවටම ගෙනිහින් පෙන්නලා දරුවාට යන්තම් ඇස් පේන බව දැනගෙන උපැස් යුවළක් දමා තිබුනා.


ඊට පස්සේ වසර ගණනාවක් යනතුරුත් මේ අම්මා අර දරුවා රැගෙන ළමා රෝහලේ සායනයට ආවා. ඇය ඇගේ අත් දෙකෙන් මේ දරුවා හරහට වඩාගෙන යන අයුරු මම මගේ ඇස් දෙකෙන් අනන්තවත් දුටුවා. (ඇය හිරෙන් නිදහස් වූ පසුත්). මම මෙහෙම කියන්නේ අවුරුදු 5ක් විතර යනකන් දරුවෙක් වඩාගෙන යන්න පුළුවන්. ඒත් අතපය පණ නැති දරුවෙක් වඩාගෙන යන එක එතරම් ලේසි වැඩක් නෙමෙයි. අනික හොදට අංග සම්පූර්ණ හැදිච්ච දරුවෙක්.


දැනට වසර තුනකට විතර පෙර මේ දරුවා වකුගඩු රෝගයට ගොදුරු වුණා. ඒ අම්මා ඒත් දරුවාව රැගෙන විත් බෙහෙත් කලා. (මේ අම්මාට අපහාසයක් නොවේවා කියලා ප්‍රාර්තනා කරනවා. මම අදටත් ඇයට ගරු කරනවා). ඒ අතර ඇය ඇගෙ නීත්‍යානුකූල සැමියා අතැර වෙනත් කෙනෙකු සමග දීග ගියා (කොටින්ම කිවුවොත් පැනලා ගියා).  හැබැයි ඇය මේ දරුවාව ඇස් දෙක වගේ රැක බලා ගත්තා. ඇය ගියේ දරුවාත් රැගෙනයි.  (ඒකයි මම ඇයට ගරු කරන්නේ).


එහෙත් දැනට වසරකට පමන පෙර මේ පුතා මෙලොවින් සමුගත්තා. මිය යනකොට දරුවාට වයස අවුරුදු 13ක්.  දරුවාව ආදරෙන් රැකබලාගත් අම්මා කතෝලික කාන්තාවක්. කොළඹ නගරයට නුදුරුව ඇය දැනටත් පදිංචිව ඉන්නවා. මොන දේ මොන විදියට සිද්ධ වුනත් මේ නම් සැබෑම අම්මා කෙනෙක් කියලයි මගේ අදහස. මම තාමත් ඇයට ගරු කරනවා. අහිංසක දරුවෙක්ට හැබෑම අම්මා කෙනෙක් වුනාට. මේ වගේ පරිත්‍යාගයක් කරන්න පුඵවන් බොහෝම අතලොස්සකට විතරමයිනේ...............





නෙතට කදුලක් නැගුන සත්‍ය සිද්ධියක්.

නයි පොළොං වෛරය

වතුර හොයාගෙන ආපු නයිහාමි කෙනෙක් දරුවෙකුගේ නාන බේසමකින් වතුර බිව්වා.  නයිහාමි
වතුර බොනකොට අතේ තිබුණු පොල් කටුවෙන් දරුවා නයිහාමිට ගැහුවා.
වතුර විසි කලා.
ඒත්
සෙල්ලමට කරන පහර දීම් නයි හාමි ගනන් ගත්තේ නැහැ.
එයා ආපහු යනකොට වතුර හොයාගෙන එන
පොළොං හාමි හමුවුණා.
එයා නයිහාමිගෙන්
වතුර තියෙන තැන ඇහුවා
නයිහාමි, පොළොං හාමිට වතුර බිව් හැටි කිව්වා.
“හැබැයි දරුවාට විපතක් කරන්න එපා.....“
පොළොං හාමිගෙන් දිවුරා පොරොන්දු ගත්තා.

දිවුරා පොරොන්දු ගත්තත්, නයිහාමිට
පොළොං හාමි ගැන සැකයක්
ඇතිවුණා.
නයිහාමි 
ආපහු දරුවා හිටි තැනට ආවා.
ඒ එනකොට
පොළොං හාමි වතුර බීලා
දරුවාටත් දෂ්ට කරලා ගිහින්.
දරුවා සිහිය නැතිව 
වැටිලා හිටියා.
නයිහාමි
තුවාලයට කට තබා
විෂ උරා දරුවා සනීප කලා.

පසුව පොළොං හාමි සොයා ගිය
නයිහාමි
පොළොං හාමි කළ දුෂ්ටකමට
සාප කලා.
නයි පොළොං වෛරය 
පටන් ගත්තේ 
ඔන්න ඔහොමයි......!!!




(සිසිර කුමාර මහවෙදගේ - කතන්දර පොතක් ඇසුරින්)
 

Sunday, August 21, 2011

අම්මාවරු

විප්ලවීය ගරිල්ලා භට කණ්ඩායමේ ඔත්තු සේබා බලඇණියට සම්බන්ධව ඉදිරියට ගමන් කල අනිකුත් භටයන් ගෙන මම පමණක් මගහැරී ගියේ කෙසේ දැයි ප්‍රෙහේලිකාවකි.  අප සියලු දෙනාම පිළිපදිනු ලැබුවේ එකම නීති රීති පද්දතියකි.  ඈතින් ඈතට යන පියවර කීපයක හඩ පමණක් දැන් මට ඇසේ.  මා දැන් අතරමං වී ඇත.  

ස්වල්ප වේලාවකින් මම එලිමහනකට පැමිණියෙමි.  රාජ්‍ය හමුදා ඒකකය තිබෙන්නේද මා සිටි තැනට නුදුරිනි.  මා සිටින තැනට ඉහළින් ගන කැලෑවකි.  පහලින් ගෙවල් 30ක් පමණ පෙනේ.  මෙම කුඩා ගම්මානයේ මිනිසුන් ආර්ථික තත්වයෙන් පහත් අඩියක සිටියත් ආගන්තුක සත්කාරයට ඔවුහු උපන් හපනුන් බව පෙනේ.  යම් දිනෙක ඔබද මේ ගම්මානයේ ගමන් කලහොත් ඔබව ඔවුන් නොහදුනතත් හමුවන පළමුවැනි පුද්ගලයාම තොරතුරු අසා ඔහුගේ නිවසට ඔබව කැදවාගෙන යයි.  එහිදී ඔහුට කෑමට කිසිවක් නොතිබුණත් ඔහු ඔබට කෑමට යමක් සොයා දෙනු ඇත.

මම එම ගම්මානය දෙසට යාමට තීරණය කොට ඉදිරියට පිය මැනීමි.  ආගන්තුක සත්කාරය සදහා කෙනෙකු ඉදිරිපත් නොවේවා යන සිතුවිල්ලෙන් යුතුව රිවෝල්වරයත් බෝම්බයත් කබායට මුවා කරගනිමින් මම ගමන ඉක්මන් කෙලෙමි.  නමුත් මා හට ගම්මානයේ ඇති පළමු නිවස පසුකරගෙන යාමට නොහැකි විය.  

අත් නැති කබායකින් සැරසුණු මැදිවියේ කතක් සිනාමුසු මුහුණකින් යුතුව මා ඉදිරියේ පෙනී සිටියාය.  
“සුභ උදෑසනක් වේවා පුතනුවනි, ඇය සුභ පැතුවාය.  මමත් පෙරළා සුබ පැතීමි.  

“ඔබේ නම කුමක්ද? ඇය ඇසුවාය. මා මොම්චිල් යැයි පැවසූ සැනින් ඇයගේ මුහුණ පෙරටත් වඩා උනන්දුවකින් හා ප්‍රාණවත් බවකින් එළිය වැටුණාය.  “මගේ පුතාගේ නමත් මොම්චිල්නේ...............එයා සොල්දාදුවෙක්....අහෝ....!!  ජේසුනි....නුඔලා ආදරයෙන් හදා වඩා ගත්තත්  උන් නුඔලා යුද්ධයට ගෙනියනවානේ.  ඊය පස්සේ අපට නුඹලා බලාගන්නවත් ලැබෙන්නේ නැහැනේ.  ඔබ .....ඔබ ...??? මේ කොහේද යන්නේ????  ඇය ඇසුවාය.  මම කොහේදෝ ගම්මානයක නමක් සදහන් කලෙමි.
ඈ මගේ පිළිතුරෙන් විශ්මයට පත් වූවා. “ඕ එහාට සෑහෙන්න දුරයි නේද? ඔබ මේ එන්නේ කොහේ ඉදලද? මම තවත් කොහේදෝ ගම්මානයක නමක් සදහන් කල විට ඈ සතුටින් අත් පොලසන් දුන්නාය. “මං එහේ ඉන්න හැමදෙනාම අදුරනවා. ඔබ මොන පවුලකින් පැවත එන කෙනෙක්ද? ඈ ඇසුවාය. මගේ බොරු කීමේ සීමාව අවසන් වුනි. කලබලයට පත් වුනු මම පිළිතුරක් දී ගත නොහැකිව ගොඵ වුනෙමි. අනතුරුව මම කට හඩ අවදි කලෙමි. වෙනත් ප්‍රශ්ණ අහන්න එපා මං කොහේ කෙනෙක්ද කොහාට යන කෙනෙක්ද කියන්න සුදුසු තත්වයක නොවෙයි මම දැන් ඉන්නේ? කාන්තාවගේ දෙනෙත විශ්මයෙන් දිළිසුනාය. “මට සමාවෙන්න දරුවා. ඇසිය යුතු ප්‍රශ්ණත් නොඇසිය යුතු ප්‍රශ්ණත් අහන්න අපි පුරුදු වෙලා ඉන්නවා.

මා පිළිබදව කිසිවෙකුට කරුණු නොදන්වන ලෙස ඇයගෙන් අයැද සිටියෙමි. ඇය එක තැනම හිටගෙන සිට නැවත දිවවිත් මගේ අතින් තරයේ අල්වා ගත්තාය. “ එන්න මා සමග අපේ ගෙදර ගිහින් මොනවා හරි කන්න. ඇයගෙන් ගැලවී යන්නට තැත් කලත් එය අපහසු වූ නිසා ඈ සමග යන්නට තීරණය කලෙමි. ඇගේ නිවසේ දී කෑමට යමක් සුදානම් කරන අතර ඇගේ පුතා මා මෙන්ම කඩවසම් තරුණයෙකු බව ඕ මගේ දෙනෙත දෙස බලාහිදිමින් පැවසුවාය. ටික වෙලාවකට ඉස්සර මං සොල්දාදුවන් පිරිසක් දැක්කා. සමහර විට ඔබේ පුතාත් ඒ අතර සිටියද දන්නේ නෑ.
මා පැවසූ විට ඈ නිසොල්මනේ හිටගෙන “නෑ පුතා එයා මීට බොහෝම ඈත සෝමෙන් වලයි හමුදා සේවයේ යෙදී ඉන්නේ.යි ඈ පැවසුවාය. නිවස පිටතින් ගැහැණු කටහඩක් ඇසුනි. “ රෙන්ජිවා........මොම්චිල් නිවාඩුවට ඇවිත්ද?
කාන්තාව මොහොතකට නිශ්ශබ්ද වූවාය. කතාකල කාන්තාව ජනේලයෙන් එබී බැලූ නිසා ඇයට පිළිතුරු දී සිටිය නොහැකි විය.

“ඹව් ඹව්.....මේ මොම්චිල් තමයි.......ඒත් මගේ මොම්චිල් නොවෙයි. රන්චා මේ අපේ නෑයෙක් වෙන තරුණයෙක්. කාන්තාව පැවසුවාය.

“තරුණයෙක්???? ආ....මටත් එයාව බලන්න පුඵවන්ද? ඇයි දන්නවද යුද්ධයට ගිය මගේ පුතා නික්ලීන් නැතිව මං දැන් හරිම කණගාටුවෙන් කාලය ගතකරන්නේ?? රන්චා පැවසුවාය. අනතුරුව කාමරයට පැමිණි ඈ නික්ලින්ගේ හැඩරුවත් මගේ හැඩරුවට සමාන බව කීවාය. මේ අතර ඈත කදු මුදුනේ සොල්දාදුවන් පිරිසක් මෑත් වෙනවා ජනේලයෙන් දුටු නිසා මම පළා යෘමට සැරසුනෙමි. කාන්තාවන් දෙදෙනා තුෂ්නිම්භූතවූහ. සොල්දාදුවන් දෙසට ඇගිල්ල දිගු කල මම දොරටුව වෙත පිය නැගුවෙමි.

“නැහැ පුතා. ඔබ දැන් ගියොත් උන් ඔබව දකීවි. යි පැවසුවාය. ඇයගේ කියමන සත්‍යෙයන් පිරුණ එකක් විය. නමුත් මෙතැන මා තවදුරටත් රැදී සිටීමෙන් මා ඔවුනට අසුවෙනවා නිසැකය.

“ඔවුන් ලවා ඔබේ ගෙදරට ගිණි තියා ගැනීමට ඔබ කැමතිද? මම ප්‍රශ්ණ කලෙමි. “නෑ ඹවුන් මෙහේ එන එකක් නෑ....ඇය පැවසුවාය.

“නෑ නෑ අනුමානයක් නෑ ඔවුන් මෙහි එනවා. ඇය හිස අත් බැදගත්තායය.
“දෙයියනේ ඔබ දැන් එළියට ගියොත් ඔවුන් ඔබව මරාවි....මෙහෙන් ඉදගන්න. ඔබ මගේ පුතා මොම්චිල්, මේ නිවාඩුවට ගෙදර ඇවිත්. සිනාසෙමින් ඇය පැවසුවාය. මම ඇයගෙන් මිදී යන්නට සැරසුනෙමි.

“නෑ ඔහොම ඉන්න. මගේ ස්වාමියාගේ නිළ ඇදුම ගෙදර තියෙනවා. එයා අද උදෙන්ම දර කඩන්න කැළයට ගියා. ඇය පැවසුවාය.

කදු මුදුනින් පහළට බැසගත් සොල්දාදුවෝ රෙන්ජිවාගේ නිවස දෙසට එන්නට විය. වෙන කළ හැකි කිසිම දෙයක් නොවූයෙන් මම තරමක් විශාල වූ එම නිල ඇදුම කඩිනමින් හැද ගැනීමට සැරසුනෙමි. කාන්තාවන් දෙදෙනාම එය මට ඇන්දවීමට උදව් වූවාය. එක් කාන්තාවක් ගීතයක් ගායනා කලේය.

ගායනයේ උච්ච අවස්ථාව වන විට රාජ්‍ය හමුදාවේ සැරයන්වරයෙකු ප්‍රධාන සොල්දාදුවන් පිරිස නිවසේ දොරට තට්ටු නොකරම ඇතුඵ වූහ. රෙන්ජිවා ඔවුනට මිදි යුෂ වලින් තැනූ බ්‍රැන්ඩි ප්ලාස්කුවක් පිරිනමමින් “ඔබලා ආවේ හොද දවසකනේ. අද මගේ පුතා මොම්චිල් නිවාඩුවට ගෙදර ඇවිත්. එන්න මේ වයින් බීලා ප්‍රීති වෙන්න......ඈ ඇරයුම් කලාය.

සැරයන් වරයා අදිමදි කරමින් ප්ලාස්කුව අතට ගත්තේය. අනිත් කාන්තාව ඔවුනට හිදගැනීමට පුටු ගෙනැවිත් තැබුවාය. බ්‍රැන්ඩි වීදුරුවක් පානය කල සාජන්වරයා මගේ සේවාස්ථානය පිළිබද විමසීය.

“සායුමේන්වල.....මම පිළිතුරු දුනිමි. අනතුරුව බ්‍රැන්ඩි වීදුරු අතිනත යනු පෙනුනි.
“බොන්න දරුවනේ. බොන්න....රන්වා පැවසුවාය.
“ඕ...බොහෝම ස්තුතියි. බ්‍රැන්ඩි නම් පංකාදුයි. සොල්දාදුවෝ පැවසූහ.
“හා..හා...දැන් බීම නවත්තනවලා. මොකද ඇවිත් තියෙන රාජකාරිය අමතක වුනාද?
සාජන් තැන ගෙරවීය. ඊට සුඵ නිශ්ශබ්දතාවක් ඇතිවුනි. ඔහු මගෙන් තවත් මොනවාදෝ අසන්නට සැරසෙනවාත් සමගමරන්වා මට ගීතයක් ගායනා කලාය.

“දැන් ටිතතට ඉස්සර ඔබ අර කදු මුදුනින් පහළට බැස්සා නේද?යි මා දෙස යටැසින් බැලු සැරයන්වරයා ප්‍රශ්ණ කලේය.
“මං....!!!!! යැයි විශ්මය පළකල මම සිනාසුනෙමි.
“ඔව් ඔබ??? නමුත් ඒ පැත්තෙන් පාරක් එහෙම නෑ නේද???යි ඔහු කෝපයෙන් යුතුව ඇසීය.
“ආ...ඔව් මම කෙටි පාරකින් ආවේ... සමහර විට ඔබ වෙන කවුරු හරි දකින්න ඇති, යි පැවසූ මම යළිත් සිනාසීමට උත්සාහ කලෙමි.

“වෙන කවුරුත්??? හ්ම්.....වෙන කවුද? සැරයන්වරයා නැවතත් සැරවීය.
“මා දන්නේ නෑ.... සැරයන්වරයා සොල්දාදුවන් දෙස බලා හිස වනා “මට දැන් ඔබගේ හදුනාගැනීමේ ලියකියවිලි බලන්න ඕනෑ.....යැ පැවසීය.

මේ අතර රන්වා තවත් බ්‍රැන්ඩි බදුනක් ගෙන ඒමට යන බව පවසා එතැනින් පිට වූවාය.
“ඉන්න.....මම ඒවා අරන් එන්නම්....හැබැයි ඒවා තියෙන්නේ අල්ලපු ගෙදර හොදද?? පැවසූ මම යටි සිතින් පැනයාමට සැලසුම් කරමින් පියවරක් ඉදිරියට තැබීමි. නමුත් සාජන්වරයා මා පසුපසින් ආවේය.

මේ අවස්ථාවේ කලබලයෙන් එතැනට පැමිණි එළියට ගිය කාන්තාව “ඔබලා මෙහේ මේ ළමයා අල්ලාගෙන දගලනවා. අරෙහෙ ඔයගොල්ල හොයන මිනිහා මගේ අශ්වයාත් අරගෙන පැනලා ගියා. යි හති දමමින් කීවාය. එය ඇසූ සැරයන්වරයාගේ ඇස් උඩ ගියේය.

“මිනිහා අතේ ආයුධ තිබුනද? සැරයන්වරයා කලබලයෙන් ඇසීය.
“ඔව් ඔව්...එක අතක තුවක්කුවක් තිබුණා. ආ...තව බෝම්බ වගයකුත් ඉනේ බැදගෙන හිටියා... යයි කාන්තාව විස්තර කලාය.

“හොදයි මිනිහා පැනලා ගිය පැත්ත අපිට පෙන්නන්න පුඵවන්ද? සැරයන්වරයා ඇසීය. කාන්තාව කඩුල්ල ළගට විත් දකුණු පැත්තට අත දිගු කර ඔහු ඒ පැත්තට ගිය බව කීවාය. සොල්දාදුවන් පිරිස වහා වහා ඒ දෙමට දිව ගියහ.

ඔවුන් ගිය පසු මව්වරුනට මුව නොසෑහෙන සේ ස්තුති කළ මම ඉදිරියට පියමැනීමි. අනතුරුව ඔවුන්ගේ උපායශීලී ඥානයෙන් මගේ දිවි ගැනවුනු අයුරු දිවිතෙක් සිහියේ තබාගනිමි“ යන පැතුම සිත්හි ධාරණය කරගනිමින් ඉදිරියටම ගියෙමි.



මව් ගුණය ඇති කාන්තාවකට සෑම කෙනෙක්ම තමන්ගේ දරුවෙක්
බල්ගේරියානු ජාතික කෙටිකතා කරුවෙකු වූ
ඩොමරි සොටෙව්ගේ නිර්මාණයක් ඇසුරිනි.

Wednesday, August 17, 2011

හැන්සාඩ් වාර්තාවේ උපත

පාර්ලිමේන්තු කතා බහ සටහන් කර තබන ග්‍රන්ථය හැන්සාඩ් වාර්තාව ලෙස හදුන්වමු.  පාර්ලිමේන්තු ක්‍රමය මෙන්ම හැන්සාඩ් වාර්තාවත් අපට ලැබුණේ බ්‍රිතාන්‍ය දායාදයක් ලෙසයි.  නමුත් පාර්ලිමේන්තු කතා බහ අඩංගු පොතට හැන්සාඩ් යන නම ලැබුණු අයුරු ඔබ දන්නවාද?  එය ටිකක් පුදුම සහගත කතාවකි.

දහහත්වන සියවස දක්වාම පාර්ලිමේන්තුවේ සිදුවන කිසිදු කතාබහක් පොදු ජනතාවට ඇහුම්කන් දීමට නොහැකි විය.  ඒවා දේව රහස් බදු විය.  මේ පිලිබදව කෙමෙන් වර්ධනය වෙමින් කරන ලද උද්ඝෝෂණ දාහත්වන ශතවර්ෂයේදී විශාල ලෙස පැතිරුණි.  තමා විසින් පත් කල නියෝජිතයන් තමා වෙනුවෙන් උත්තරීතර පාර්ලිමේන්තුව තුලදී කුමක් කතා කරන්නේ දැයි දැන ගැනීමට ජනතාවට අවශ්‍ය වීම මේ උද්ඝෝෂණවලට හේතුවු කරුණයි.

දහත්වන ශතවර්ෂයේ අවසන් භාගයේදී මෙම කතා බහ පිළිබද පුංචි ආරංචියක් කළ එළි බැස්සේය.  පුවත් පත් ප්‍රසිද්ධ කිරීමට සුඵවෙන් හෝ පාර්ලිමේන්තු තොරතුරක් සොයා ගැනීමට කර්තෘවරු දැඩි මහන්සියක් ගත්හ.  මේ හේතුව නිසාම ඔවුන් පාර්ලිමේන්තුවෙන් කරන ලද ඉල්ලීම් ප්‍රතික්ෂේප විය.  මේ නිසා මොවුන් අතර ගැටුම් සුලභ විය.  පුවත් පත් මගින් පාර්ලිමේන්තුව දිගින් දිගටම විවේචනය කරන ලදී.  මේ සටන නිසා 1800 දී විලියම් කොබට් නැමැත්තාට පාර්ලිමේන්තු කතා බහ මුද්‍රණද්වාරයෙන් පිට කිරීමට අවසර දෙන ලදී. ඔහුගේ කර්තෘත්වයෙන් පාර්ලිමේන්තුවේ වාද විවාද මුල්වරට නිකුත් කලේ “විලියම් කොබට් ගේ මුද්‍රණාලයේ තාවකාලික මුද්‍රණ කරුවෙකු ලෙස සේවය කල දුප්පත් මුද්‍රණ කරුවෙකි.

1833 දී ඔහු මියගිය පසු ඔහුගේ පරපුර දිගටම මේ කාර්යයේ නියුතු විය.
පෞද්ගලික අංශයේ ව්‍යාපාරයක්ව පැවති පාර්ලිමේන්තුවේ වාද විවාද 1908 දී පාර්ලිමේන්තුව විසින් සම්මත කරගන්නා යෝජනාවක් අනුව රජය විසින්ම පවරා ගනු ලැබීය.

1909 දී බ්‍රිතාන්‍යෙය් සිටි දක්ෂම වාර්තා කරුවන් 4 දෙනෙකුගෙන් සමන්විත තෝරාගත් කර්තෘ මණ්ඩලයක් මගින් පාර්ලිමේන්තු වාද විවාද වාර්තා කොට මුද්‍රණය කරවීම රජයේ අනුග්‍රහයෙන් රජය යටතේම කරන ලදී.

මුලින්ම 1909 දී පිටවූ මුල්ම පාර්ලිමේන්තු වාද විවාද කාණ්ඩයට එම වාද විවාද මුද්‍රණය කල මුල්ම මුද්‍රණකරුවා වූ විලියම් කොබට්ගේ මුද්‍රණාලයේ වැඩ කල දුප්පත් මුද්‍රණකරුවාගේ නම තබන ලදී.  ඔහුගේ නම “හැන්සාඩ්ය.

එතැන් පටන් මව් පාර්ලිමේන්තුවේ සිට අනෙක් සියලුම පාර්ලිමේන්තු දක්වාද “හැන්සාඩ් වාර්තාව විහිදී ගියේය.  

අවසාන මොහොතේවත් තමාගේ නම මෙතරම් අමරණිය වේයැයි හැන්සාඩ් මහතා සිතන්නට නැත.






පැරණි ලිපියකින් උපුටා ගත්තකි.

අංක 13

ඔබ මේ අංක 13 ගැන සිතන්නේ මොනවාද? මට මේ ලිපිය ලියන්නට සිතුනේ ඊයේ රූපවාහිනී පුවත් බලන විට අසන්නට ලැබුණු ශෝචනීය පුවතක් නිසයි.  ගිය මාසේ වාහනයක් මිලදී ගත් පුද්ගලයෙක් ඔහුගේ බිරිද පුතුන් හා මව්පියන් සමග බාරයක් ඔප්පු කරන්න අනුරාධපුරය බලා යන්න පිටත් වෙලා.  ගම්පහ නගරයට ආසන්නයේදී ඔවුන්ගේ රිය වෙනත් බස් රියක වැදීමෙන් ඒ තරුණ මහතාත්, ඔහුගේ බිරිද හා එක් දරුවෙක් එතැනම මියගිහින්.  ප්‍රවෘත්තියේ සදහන් වූ ආකාරයට මේ වාහනයේ අංකවල එකතුව 13 බවත් ඒ නිසාම ඒ පුද්ගලයාගේ යහඵවන් වාහනය මිලදී ගන්නට එපා කියා තිබියදීත්, මේ වාහනය ගත් බවයි සදහන් වුනේ. 

මේ පුවත ඇසුවාම  මේ ලිපිය  ලියන්නට සිතුනා.  ඉස්සර ඉදලම එන විවිධ මතිමතාන්තර කෙරෙහි අපේ යම් යම් විශ්වාසයන් තියෙනවා.  ඒවා විශ්වාස කරන අය වගේම නොකරන අයත් අප අතර ඉන්නවා.  මේවායේ තියෙන සත්‍ය අසත්‍යතාවය ගැන මා යමක් නොදනිතත් එම විශ්වාසයන්ගේ හේතුව නිසාම විවිධ කරදර වලට මුහුණ දුන් හා ඒ උපද්‍රව වලින් මිදුනු මිනිසුන් පිලිබදව නම් අසා තිබෙනවා.

අංක 13 අවාසනාවත්ත අංකයක් විදියට සැලකීම ඈත අතීතයේ පටන්ම බොහෝ ජනයා අතර මුල් බැසගත්තක්.  වර්තමානයේදී පවා මේ තත්වයේ වෙනසක් නැහැ.  මේ විශ්වාසයේ ආරම්භය මොකක් වුනත් අංක 13 හා සම්බන්ධ සිදුවීම් රාශියක් තියෙන බවට සාක්ෂි නම් තියෙනවා.  ඒවා බොහෝමයක් ඉතාමත් අවාසනාවන්ත සිදුවීම්  බව නම් රහසක් නෙමෙයි.  මිනිසුන් මේ අංකය කෙරෙහි බිය වන්නට ඇත්තේද මේ නිසාම විය හැකියි.  

යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තමන්ගේ ගෝලයන් වෙනුවෙන් පැවැත්වූ අන්තිම භෝජන සංග්‍රහයට වාඩි වූ ගණන 13ක්.  ඊට පසුදා එතුමාට ඉතාමත් අවාසනාවන්ත ලෙස කුරුසියේ තබා ඇණ ගසන්නට යෙදුනා.  මේ හේතුව නිසාම සමහර බටහිර රටවල පුද්ගලයන් කෑම මේසයකදී 13වෙනියා වනවාට කැමති නැහැ.  භෝජන සංග්‍රහ පිළියෙල කරන්නන්ද 13 දෙනෙකුට ආරාධනා නොකිරීමට වගබලා ගනිති.   සුප්‍රසිද්ධ ප්‍රංශ ජාතික ගත්කතුවරයෙකු වන වික්ටර් හියුගෝ කිසි දිනෙක කෑම මේසයකදී හෝ යම් කිසි රැස්වීමකදී  දහතුන්වෙනියා ලෙසින් සහභාගීවීමට කැමති වූයේ නැතිලු.  

රුසියාවේ පාලකයෙකු වූ නීකිතා කෘෂෙප්  මහතා බලයෙන් පහකරන ලද්දේ 1964 ඔක්තෝම්බර් මාසයේ දහතුන්වෙනිදායි.  එමෙන්ම වර්ෂ 1970 දී අභ්‍යවකාශ ගත කරන ලද ඇපලෝ දහතුන යානය ගුවනේදීම විනාශයට පත් විය.  එහි ඇති තවත් විශේෂත්වයක් නම් එම යානය ගුවන් ගත කර තිබුණේ පැය දහතුනයි විනාඩි දහතුනට වීමයි.  1972 අගෝස්තු මස 13 වැනි දින රාජකීය තායි හමුදාවේ යුධ සෙබලුන් දහතුන් දෙනෙකු රැගෙන පියාසර කරමින් තිබුනගුවන් යානයක් කඩා වැටීම නිසා එහි සිටි සෙබලුන් දහතුන් දෙනාම ජීවිතක්ෂයට පත් වූ බව ඒ දිනවල පුවත් පත් වල පලවූයේය.

රොයිස් බිල් නමැති අමෙරිකන් ජාතික පිරිමි ළමයෙක් හා අංක දහතුන අතර තිබුණේ පුදුමාකාර සම්බන්ධකමක්.  ඔහු උපන්නේ 1913 ජුනි 13 වෙනිදායි.  උපන් වේලාව වූයේ පස්වරු එකය.  පැය ගනනින් බැලුවොත් දහතුන්වෙනි පැය වශයෙන් දැක්විය හැකිය.  ඔහුගේ දෑතේ එක් අතක ඇගිලි හයකුත්, අනෙක් අතේ ඇගිලි හතකුත් බැගින් ඇගිලි දහතුනක් විය.    එමෙන්ම රොයිස් බිල් එම පවුලේ දහතුන්වෙනි සාමාජිකයා විය.  වයස අවුරුදු 13 දී දිනක් පාසැල ඇරී ගෙදර එමින් සිටියදී හෙතෙම දහතුන්වැනි මාර්ග සැතපුම් කණුව අසලදී අංක එක්ස් ඩී 13 දරණ මෝටර් රථයට යටවීම නිසා නගරයේ රෝහලේ අංක දහතුනේ වාට්ටුවට ඇතුලත් කර ස්වල්ප වේලාවකින් මිය ගියේය.  ඔහු මියගියේ දහවල් දොලහ පසුවී විනාඩි හතලිස් හතටය.  එනම් දහතුන් වෙනි පැයට විනාඩි දහතුනක් තිබියදීය.


මෙපමණ වේලාවක් මා සදහන් කලේ අංක 13 ඇති අවාසනාවන්ත පැත්තයි.  එහෙත් බොහෝ දෙනෙකු අවාසනාවන්ත යයි පිළිගන්නා එම ඉලක්කම වාසනාව ගෙනදුන් අවස්ථා ගැනද කලාතුරකින් හෝ අසන්නට ලැබේ.  


ජර්මනියේ ප්‍රසිද්ධ වෙලද ව්‍යාපාරිකයෙකු ලෙස කටයුතු කල මාර්ක් විල්සන් නමැත්තා දිනක් හදිසි අවශ්‍යතාවයක් සදහා ඇමෙරිකාවට පැමිණියේය.  ඔහු එදින ගුවන් තොටුපලට ලගා වන විට රාත්‍රි හතයි තිහට පිටත්වීමට තිබූ ගුවන් යානට පිටත්වීමට තිබුනේ තවත් විනාඩි පහළොවක් පමණි.  කාලසටහනට අනුව එදින එම ගුවන් තොටුපලෙන් පිටවීමට තිබුනු 13 වෙනි ගුවන් යානය එය විය.  එහෙත් මාර්ක් විල්සන්ට එම ගුවන් යානයෙන් ගමන පිටත් වීමට කල් වේලා මදි විය.  එසේ වූයේ ඔහුගේ ගමන් බලපත් හා සෙසු ලියකියවිලි සකස් කර ගැනීමට කල් වේලා මදිවීමයි.  මේ අවස්ථාවේදී ගුවන් තොටුපලේ ප්‍රවේශපත් කවුඵව අසල යම්කිසි කැලඹීමක් දකින්නට ලැබීම නිසා මාර්ක් එම කලබලය කුමක්දැයි විපරම් කර බැලුවේය.  සිදුවී තිබුනේ මෙයයි.  ඒ ගුවන් යානයෙන් පිටත්වීම සදහා දහතුන්වෙනි අංකය ලබා සිටි පුද්ගලයා එම ප්‍රවේශපත්‍රය ප්‍රතික්ෂේප කර සිටීමයි.  ඔහු කියා සිටියේ අංක 13 දරණ ගුවන් යානයේ අංක 13 දරණ ප්‍රවේශ පත්‍රය ලබාගෙන ගමන් කිරීමට තමා අකමැති බවයි.  එය මහත් අසුභ ලකුනක් වශයෙන් ඔහු සැලකුවේය.  තමාගේ ගමන ඉතාමත් හදිසි එකක් බැවින් වහා ක්‍රියාත්මක වූ මාර්ක් අංක 14 දරණ ඊලග ගුවන් යානයෙන් පිටත්වීමට අවස්ථාව ඉහත පුද්ගලයාට ලබා දී හෙතෙම එම මගියාගේ ප්‍රවේශ පත්‍රය ඉල්ලා සිටියේය.  ගුවන් තොටුපල අධිකාරීන්ගේ අවසරය මත මාර්ක් එම ටිකට් පත හුවමාරු කරගත්තේය.  ඒ අනුව අංක 13 ටිකට් පත ලබාගෙන දහතුන යානයෙන් ඔහු පිටත් විය.  අංක 13 ප්‍රතික්ෂේප කල මගියා ඊලග යානයෙන් පිටත් වීම සදහා සදහා නතර වුනේය.  ඊට පැය 10කට පමණ පසු මාර්ක්ට අසන්නට ලැබුනේ ඔහුට ගමන් කිරීමට තිබු අංක 14 දරණ ගුවන් යානය මුහුදට කඩා වැටී එහි සිටි සියලුම දෙනා ජීවිතක්ෂයට පත් වූ බවයි.  අංක 13 ප්‍රතික්ෂේප කල පුද්ගලයාද එම යානයේ සිට ඇත.


ප්‍රංශ ජාතික රෙනෝල්ඩ් රස්ටෝල්ඩ් නැමැත්තා ලොතරැයියක් මිලදී ගැනීම පුරුද්දක් කරගෙන සිටියේය. වසර ගණනාවක් තිස්සේ මේ පුරුද්දට ඇබ්බැහි වූ ඔහු වරකට ලොතරැයි පත් තිහක් හතලිහක් පමණ කිසිම ලෝබකමක් නැතිවම මිලදී ගත්තේය.  එහෙත් ඔහු කිසිදු දිනෙක අංක 13 සහිත ලොතරැයි පත් මිලදී ගැනිමට කැමති නොවූයේය. ඒ එය අසුභ අංකයක් ලෙස ඔහු තුල වූ දැඩි විශ්වාසය නිසාමය.  මෙසේ වසර ගණනාවක් තිස්සේ මොනතරම් ලොතරැයි පත් මිලදී ගත්තත් ඔහුට එකම එක සැනසිලි දිනුමක් වත් ඇදුනේ නැත.  දිනක් අහම්බෙන් මෙන් අංක 13 දරණ ලොතරැයි පත් අතර අංක 13 දරණ ලොතරැයි පතක් ඔහුට ලැබුණි.  නමුත් මෙවන් ලොතරැයි පතක් මිලදී ගැනීම හා තමන්ගේ ලොතරැයි ගොඩට එකතු වීම ඔහුගේ කනස්සල්ලට හේතු විය.  ඔහු එම ලොතරැයි පත අනෙක් ලොතරැයි පත්වලින් වෙන් කර මේස ලාච්චුවේ මුල්ලකට විසිකර දැමුවේය.  එහෙත් දින කිහිපයකට පසු සිදු කෙරුණු දිනුම් ඇදීමේදී රස්වෝල්ඩ් මිලදී ගත් අංක 13 දරණ ලොතරැයි පතට මුල් දිනුම හිමිවී තිබුනි.  ජීවිත කාලයක් පුරා ප්‍රතික්ෂේප කල අංක 13ට පිංසිදු වන්නට රස්වෝල්ට් ප්‍රංශයේ ඉහල පෙලේ ධනවතකු වූයේය.


මේ සියලු සිදුවීම් ගැන මෙනෙහි කොට බලන විට අංක 13 කෙතරම් දුරට වාසනාව හා අවාසනාව ගෙනදෙන්නේදැයි සිතීම උගහටය.  කෙසේ වුවත් අප කරන හොද හෝ නරක අනුව ඒවායේ ප්‍රථිපල හොද හෝ නරක වන බව පමණක් මම විශ්වාස කරමි.

Tuesday, August 16, 2011

ඩොට් ඇන්ඩ් කැරී



සමහර අතීත සිද්ධීන්  අපේ මතකයෙන් ගිලිහී නොයයි.  නිතර නිතර මනසේ හොල්මන් කරයි.  මෙය කොතරම් පුදුම සහගතද?  මෙයත් එවැනිම පැරණි සිද්ධියකි.  එය බොහෝ පැරණි සිද්ධියකි.  එහෙත් මගේ සිතේ මෙතරම් පැහැදිලි ලෙසත් දැඩි ලෙසත් සටහන් වී තිබෙන්නේ ඇයිදැයි මටම නොතේරේ.  මේ සිදුවීමෙන් පසුද ඉතා කළකිරෙන සුඵ සිද්ධීන් මා දැක ඇති නමුත් අවුරුදු දහයේදී හෝ දොළහේදී පමණ මට මුණ ගැසුනු මහඵ ඩොට් ඇන්ඩ් කැරී ගේ මුහුණ මගේ මතකයට නොඑන එක් දිනක් හෝ මෙතෙක් නොතිබුනු තරම්ය.


ඇය ඇදුම් සකස් කරන මහඵ ස්ත්‍රියක් වූවාය.  පැරණි ඇදුම් සකස් කරදීම සදහා සතියේ සැම අගහරුවාදා දිකම ඈ මගේ මාපියන් ගේ නිවසට පැමිණියාය.

කුඩා ගොවිපලවල් කිහිපයකින් වටවූ කෝනාකාර උස් වහළයකින් යුතු ෂැටු නමින් හැදින්වෙන පැරණි ග්‍රාමිය නිවසක මගේ මාපියෝ ජීවත් වූහ.

මීට යාර සිය ගණනකට එහායින් දේවස්ථානය පිහිටා තිබුනේය.  එහි බිත්තිවල රතු ගඩොල් කාලය විසින් කලු පැහැ ගන්වා තිබුනු අතර විශාල ගම්මානයකින් හා කුඩා නගරයකින් එය වටවී තිබුණි.

සෑම අගහරුවාදාම උදේ හයහමාරටත් හතටත් අතර වේලාවක අපේ ගෙරට පැමිණෙන ඩොට් ඇන්ඩ් කැරී කෙලින්ම රෙදි කාමරයට ගියේ ඇගේ කාර්යය ඉටු කිරීමටය.  ඇය උස් හීන්දෑරි කාන්තාවකි. පුදුමාකාර එසේම බලාපොරොත්තු විය නොහැකි රැවුලක් ඇගේ මුහුණ පුරා වැඩි තිබුණි.  නිල් කබායක් ලාගත් පොලිස් භටයෙකුගේ විශාල මුහුණ මත වැඩී ඇති රැවුල පිස්සකු විසින් සකස් කර ඇති ආකාරයෙන් කැරැලි ගැසුණු රෝම ඇගේ මුහුනේ තැන් තැන්වල එක්කාසු වී වැඩි තිබුණි.  ඇගේ නාසය මතත් එහි තුලත් එය ව‍ටාත් නිකටේත් දෙකොපොල්වලත් ඇහි බැහි මතත් දුඹුරු පැහැති  ඉතා දික්වූත් ඝන වූත් රැවුලුගස් වැඩී තිබුනේ හරියට වැරදීමකින් උඩු රැවුලු දෙකක් එම මුහුණ මත පිහිටා ඇති ආකාරයටය. 

ඇය ඇවිද්දේ නොන්ඩි ගසමිනි.  එය කොරවූවකු ඇවිදින ආකාරයට නොව නැංගුරම් ලා ඇති නැවක් පැද්දෙන ආකාරයටය.  හිද ගැනීමට තැත් කරද්දී එක් පසෙකට බරවූ ඇගේ ඇටසැකිලි සිරුර චණ්ඩ ප්‍රවාහයකට මුහුණ දීමට මෙන් කෙලින් කර ගන්නා ඇය ආගාධයකට පැන නොපෙනී යන ආකාරයෙන් එකවරම ඇද වැටී පොළවට කිදා බසී.  ඇය ඇවිදින විට කෙරතරම් දරුණු ලෙස ඇගේ සිරුර පැද්දුනේද යත් චන්ඩමාරුතයක සිතුවිලි සිහියට නංවයි.  ඇගේ හිස නිතර සුදු පාට බොනට්ටුවකින් ආවරණය වී තිබුණි.  ඈ ගමනේ යෙදී සිටි සෑම අවස්ථාවකම එම බොනට්ටුවෙන් ඇගේ පිටුපසට හලා වැටුන රිබන් පටි ඈත ක්ෂිතිජය උතුරේ සිට දකුණටත් දකුණේ සිට උතුරටත් ගමන් කරන ආකාරයක් දැක්වීය‍.  මම මහඵ ඩොට් ඇන්ඩ් කැරී ට ඇලුම් කලෙමි.
අවදි වූ විගස ඉහල මාලයේ වූ අපේ රෙදි පිළි කාමරයට දිවයන මට උනුසුම් කරණ උපකරණය සිය පා යටින් තබාගෙන මැහුම් මසමින් සිටින ඩොට් ඇන්ඩ් කැරී හමුවෙයි.  මා එහි ගිය වහාම එම උනුසුම්කරණය ගෙන මා හිදින අසුන යටින් තබන්නේ ඉහළ මාලයේ වූ ඒ කාමරයේ දීමට සෙම්ප්‍රතිශ්‍යාව නොවැළදිය යුතු හෙයිනි.

“මේකෙන් හිසේ සිට ලේ අද්දචනවා...... ඇය කීවාය.

යුහුසුඵව ක්‍රියාකරන ඇගේ සෘජුව නොපිහිටි ඇගිලි වලින් අදුම් මසන ගමන්ම ඇය මට කතා කියා දුන්නාය.  කාලය විසින් දුර්වල කරනු ලැබූ ඇගේ දෑස මත පිහිටි කුඩා ෆද් ලොකු කර පෙන්වන උපැස් යුවළ තුලින් විශාල පුදුමාකාර ලෙස ගිලී ගිය ඇගේ ඇස් පෙනුනේ සාමාන්‍ය ප්‍රමාණයට වඩා දෙගුණයක් විශාලවය.





























Monday, August 15, 2011

ඌරුපැලැස්සේ ඉතිරි කොටස

ඌරුපැලැස්සේ ගම මහගේට දූවරු දෙදෙනෙක් වූහ.  එකකු රන් මැණිකාය.  බාල දූ කඵ මැණිකා වූවාය.  තම ගෙදරට අලුත ආ කොලුවා කවරකු වුවද වාසනාවන්ත උත්සාහවන්ත කොලුවකු බව ගම දෙමහල්ලෝ මැනවින් දත්හ.  එහෙයින් ඔහු බෑනා කරගැනීම ගැන ඔවුන් අතර විවාදයක් නොවීය.  එහෙත් සරණ පාවා දිය යුත්තේ දියණියන්ගෙන් කවරකුදැයි යන්න තරමක ප්‍රශ්ණයක් විය.  මන්ද වැඩිමහල් දියණිය වූ රන්මැණිකා එද්දළයා සමග විවාහයට අකමැති වීම නිසයි.  එහෙත් බාල දියණිය කඵ මැණිකා මාපියන්ගේ ඉල්ලීම පිළිගත්තාය. මාපියෝ තම දරුවන්ගේ දියුණුවම පතන්නේය.  එහෙයින් මාපියන්ගේ අණ පිළිගන්නට මා සුදානම් යයි කඵමැණිකා කීවාය.  එද්දළයා ද අකමැත්තක් නැතිවම යෝජනාව පිළිගත්තේය.  එහෙයින් එද්දළයා හා කඵමැණිකා අතර විවාහය අප්‍රසිද්ධියේම සිදු විය.

දිනක් කුමාරයා කුඹුරෙහි වැඩකොට වෙහෙස මහන්සි වී ක්ෂුධාව නිසා පැලටවී සිටියේය.  වැඩි වේලාවක් යන්නට පෙරාතුව කඵමැණිකා කෑම ද ගෙන කුඹුරට පැමිණියාය.  ඔහු කෑම කා සැප නින්දට වැටුණි.  කඵමැණිකා පවන් සලන්නට විය.  මද වේලාවකින් ඔහුගේ සැප නින්දට බාධා පමුණුවමින් භයානක සිහිනයක් දැක අඩ නින්දෙන් අවදි වූහ.  මේ සිහිනය තමාට රජ සැපක් ලැබෙන බවට පෙර නිමිත්තක් බව කුමාරයා නිසැකවම දත්තේය.  

මේ අවධියේදී කාවන්තිස්ස රජ්ජුරුවෝ මියගොස් තිබිණ.  ඇමතිවරු රාජ්‍ය කටයුතු පැවරීමට ගැමුණු කුමරු සොයමින් කොත්මලය ප්‍රදේශය සිසාරමින් ඇවිද්දාහ.  කුමරු වඩා හිදුවා ගෙන යාම සදහා ගෙනා වෙළඹ මාස්වෙලදී කුමරුගේ ඉව දැන නැවතුනාය.  මෙතැනදී ඇමැතියෝ තමන් ගෙනා සක නාද කරන්නට වූහ.  අදත් මෙතැන සක්මඩගල නමින් ගලක් තිබේ.  වෙළඹ එරුණු තැනට වලාහක කුඹුර යයි කියති.

මේ වනවිට කුමරු සිහිනය දැක සත් දිනක් ගත වී තිබුණෙන් අද නම් තමා සොයා ඇමැතියන් නොඅනුමානවම එතැයි බලාපොරොත්තුවෙන් විහාරයෙහි පින්කමටද සහභාගී වෙමින් සිටියේය.  තූර්යනාද සහිත පෙරහැර විහාරය අසලට පැමිණෙන විට එහි සිටි ඇතැම් ගමරාළලා කුඹුරට සමච්චල් කරමින් “කාවන්තිස්ස රජ්ජුරුවන් වහන්සේ මළ හෙයින් ඌරුපැලැස්සේලාගේ හරක් බලන ගොම්බෙටි එද්දළයා රජකමට ගැනීමට පෙරහැරක් එතැයි කියන්නට වූහ.  පෙරහැර විහාරය අසලටම ඇවිත් නැවතිණ.  වෙළඹ කුමරු ළගට ගොස් දණ නමා ඔහු කරපිට හිදුවා ගන්නා විට ගමරාළලා ක්ලාන්තව ගියහ. මෙතැනදී කුමරු කෘතවේදී පුද්ගලයෙකු හැටියට තමාගේ ආදරණිය බිරිද අමතක නොකලේය.

“දුල ගාමිණි කුමරු කරනට කාර                                සුබ
  රන් මැණිකෝ පින් නොකලේ මන්ද                        නුබ
  හෙළ දිව කිරුළ මපියාගෙන් මෙදින                         ලැබ
  රජ කරනට කඵ මැණිකෝ වරෙන්                            නුබ

දන් පින් කරන අයමයි සොද රජ                              වෙන්ට
අනේ බැරිවෙච්චි රන් මැණිකට                                  යන්ට
ආලයෙන් සිටපු නුඹ සරි                                         සැමදාට
කඵ මැණිකෝ වරෙන් දැන් මාගම්                              යන්ට
 
කුමාරයා වෙළඹගේ පිටට නැග කියුවේ යැයි ජනප්‍රවාදයේ එන කවි දෙකකි ඒ.  මෙය කුමාරයාගේ ප්‍රබන්ධයක් නොව පසු කාලයකදී ගැමියන් විසින් ප්‍රබන්ධ කරන්නට ඇතැයි මුඛ පරම්පරාවෙන් එන්නකි.  කව් කෙසේ කවුරුන් කියූවද මෙවැනි රචනයක් ඇති වුයේ සිද්ධිය සත්‍යවූවක්ම නිසාවෙනි.  ඒ හැරෙන්නට ගැමුණු කුමරු කඵ මැණිකා මාගමට ගෙන ගිය බවද සත්‍යයකි.  ඇගේ පුත්‍රයා සාලිය කුමරු බවට පිළිගැනීමක් ඇත.  සාලියට රාජ්‍යෙයේ උරුමය නොලැබුනේ සැඩොල් ස්ත්‍රියක් විවාහ කරගැනීම පමණක්ම නොව ඇගේ මවගේ සිද්ධිය බවද පැරැන්නන්ගේ විශ්වාසයයි.


පැරණි පොත පතින් උපුටා ගත්තකි.

ඌරුපැලැස්සේ ගෙදර එද්දළයා



ඉතාමත් ශ්‍රෙෂ්ට ජාතික වීරුවෙකු වූ ගැමුණු රජු පිළිබද සැගව ඇති තොරතුරු ද නැත්තේ නොවේ.  ගැමුණු කුමාරයා තම පියාණන් වූ කාවන්තිස්ස රජ්ජුරුවන් හා ඇතිවූ භේදයක් නිසා කොත්මලයට පලා ගියේය.  ඔහු කොත්මලයේ කඩදොර නම් ගමෙහි ඌරුපැලැස්සේ නමැති ගමරාළගේ ගෙදරය නවාතැන් ගත්තේ.  ගමමහගේ පමණක් නොව මේ ගමරාළද අලුත පැමිණි තරුණයාට අතිශයින් ප්‍රිය කරන ලද්දේ ඔහු පැමිණි පසු ගෙදරට කිරි උතුරන්නට මෙන් වීම නිසා යැයි කියති.  ගැමුණු කුමාරයාට ගමරාළගේ ගෙදරදී නම් කොට තිබුණේ එද්දලයා කියාය.  හිත්-දළයා යන්නෙහි විකෘතියක් වන්නටද බැරි නැත.  ගැමුණු කුමරු සහජයෙන්ම දළදඩු ගතිපැවතුම් ඇත්තෙකු විය.  අයුක්තියක්, අසාධාරනයක් ඉදිරියෙහි ඔහු කගවේනෙකු මෙන් නැගී සිටියේය.  තම පියාට පවා විරුද්ධව රජ සැප හැර දමා ගම ගෙදරක ජර දුක් විදින්නට සිද්ධ වූයේද මේ දළදඩු ගති නිසාමය.  ගැමියන් හිත්-දළයා යැයි උසුරුවන ලදැයි කීම එඩිතර බුද්ධියට කරගන්නා නින්දාවක් නොවේ.

ගැමුණු කුමාරයා ඌරුපැලැස්සේ ගෙදර ගමරාළ ලග නැවතී සිටියදී ගමමහගේට ආධාර සදහා දරකඩා ගෙනැවිත් හෙලූ තැනට දර පනා හෙළ යැයි කියනු ලැබේ.  ඔහු වැපිරූ කුඹුර රජතලාවෙල නමින් හැදින්වෙයි. සාමාන්‍යයෙන් අස්වැද්දීමට අමාරු වූ ප්‍රදේශයක මේ කුඹුර පිහිටා ඇත.  මේ අමාරුකම් නිසාම ගොවිරාළ තම ගෙදර සිටින කොලුවාට කුඹුර භාරදුන් බවට සැකයක් නැත.  සූර වීර කොලුවා ඇසූ දුටු අය පුදුමයෙන් පුදුමයට පත් කරමින් කුඹුර අස්වද්දනු ලැබීය.  ජන කතාවන් ගෙන් නම් කියැවෙන්නේ දෙවියන්ගේ හාස්කමින් මේ කළ හැකි වූ බවයි. සූර වීර මිනිසුන් විසින් ස්වශක්තියෙන් කරන ලද දෙයට එකල සිටි මිනිසුන් විසින් දේවත්වයෙක් ගන්වන ලද්දේ එයින් වඩාත් ගෞරවයක් ලබාදෙනු පිණිස මිස ගර්භාවට බදුන් කරනු පිණිස නොවේ.  එහෙත් අවාසනාවකට මෙන් පුද්ගලයෙකුගේ දක්ෂභාවය දෙවියකුට පැවරීම නිසා යටකී පුද්ගලයාගේ වීර වික්‍රමාන්විත භාවයට වඩා පසුකල මිනිසුන් දෙවියන් කෙරෙහි ඇති භක්තිය ඔප මට්ටම් කර ගැනීමට ඇදී යනු පෙනේ.  මේ කුඹුරට වතුර ගැනීම සදහා කුමාරයා කැපූ ඇල රජඇල නමින් හැදින්වෙයි.    

මේ සියල්ලටම වඩා රසවත් සිද්ධිය වන්නේ කුඹුර වැපිරීමට වී සෙවීමය.  වී වපුරා හමාර වී තිබුන හෙයින් කොයි කා ළගවත් වී නොතිබුණේය.  මේ නිසා එද්දළයාට ලැබුණේ බොල් වී පමණෙකි.  එද්දළයා ගේ කුඹුර අස්වැද්දීම සිහින ලොවක රජවිමකැයි ගමරාළ සිතීය.  බොල් වී වලින් කුඹුරු වපුරන්නට නොහැකි බව ගොවියෝ මැනවින් දනිති.  එද්දළයාට ලැබුණේ බොල් වී පමණක් බවද ඔහු දැන සිටියේය.  එහෙයින්ම ඔහුට එද්දළයා පිළිබදව ඇතිවූයේ ශෝකයත් අනුකම්පාවත් මුසුවූ දයාවකි.  ගමරාළට එසේ වුවද එද්දළයාට නම් එසේ නොවීය.  තමාගේ කුඹුර අස්වැද්දීම පිළිබද ඔහුගේ හැගීම් උණුසුම් සහගතය.  පුර පසලොස්වක දිනක හධ අහසට නැගීම සත්‍යයක් විය හැකිවාක් මෙන්ම තමාගේ කුඹුරද අස්වද්දනු ලැබීම ඔහුට සහතිකය.  වාසනාවකට දෝ එද්දළයා වැපුරූ බොල් වී පැල වී තිබුණේය.  පැලවුණා පමණක් නොව හාත්පස ප්‍රදේශයේ වූ හැම කුඹුරකටම වඩා ඉහළින් සරුසාර බවක්ද පළ කලේය.  ගොවීන්ගේ ඇස් ඇරුණේය.  කන් පෑදුනේය.  එද්දළඝයා පිළිබදව තමන් කෙරෙහි පැවති හැගීම් වෙනස් කර ගන්නට ඔවුනට සිදුවෙතැයිඇතැම්මු සැක කලහ.  මේ කුඹුර අස්වැද්දීම පිළිබද සිද්ධිය අස්වාභාවික දෙයක් හැටියට ඔවුහු සැලකූහ.  ගමරාළ පමණක් නොව ගමමහගේද කොලුවාට තුබූ ආදරය සිය දහස් ගුණයෙන් වැඩි වන්නට වූයේය.  ඇත්ත වශයෙන්ම ඔවුන්ටග් ආදරය වැඩී වැඩිවත්ම අසල්වැසි ගොවීන්ගේ ආදරයද ලියැලුවේය.  

ගැමුණු කුමාරයා ඌරුපැලැස්සේ ගමයාගේ ගෙදර නැවතී සිටියදී දිය නෑමට භාවිතා කල පීල්ලට නාග පීල්ල යැයි දැනුදු භාවිතා කරයි.  ඔහු මේ පීල්ලෙන් දිය නෑමට පැමිණි විට ඇදුම් උනා තැබූ ගලට සලුගල යැයි නම් කොට තිබේ.  සලුගල නමැති මේ ගල තවමත් ඒ ප්‍රදේශයේදී දැක්ක හැකිය.



ආලෝකය විහිදුවන සත්තු

සත්ව ලෝකයේ උපත ලෝකාරම්භය දක්වාවූ ඈත අතිතය කරා දිවෙන්නක් ලෙස පෙනේ.  අවුරුදු දහස් ගණනකටත් වඩා එපිට කාලසීමාවක පටන්ම ගොඩබිමත්, සමුදුරත්, සත්ව ලෝකයේ පැවැත්ම සදහා උපකාරී වූ බවත් පෙනේ.  දහස් ගනනක් වූ සත්ව කොට්ඨාශ  අතරින් විවිධාකාර ගති පැවතුම් ඇති සත්වයන් පිලිබදව අපට අසන්නට ලැබේ.  සමහර තොරතුරු ඉතා පුදුම සහගතය.  එමෙන්ම රසවත් තොරතුරුද ඇත‍.  මේ අතුරින් තම ශරීරයෙන් යම් කිසි එළියක් විහිදුවමින් ජීවත් වෙන සත්වයින් කීපදෙනෙකු පිළිබදව දැනගන්නට ලැබේ.

පෙරදිග සයුරේ ජීවත් වන “දියවැලි මැක්කා නම්වූ සත්වයා තම සිරුර තුලින් විහිදුවන එළිය චමත්කාරජනකය.  අදුර රජයන රාත්‍රී කාලයේදී වෙරලේ වැලිතලා අතරින් මතුවෙන මොවුන් අදුරට පත්වූ පලාතම එළිය කරති.  ජීවත්ව සිටින කාලයේදී මෙන්ම දියවැලි මැක්කන් මළ පසුද ඔවුනගේ සිරුරු තුලින් නික්මෙන ආලෝකය නොසිදී පවතින බවක්ද පොත පතේ සදහන්වේ.  මියගිය සතුන්ගේ සිරුරු වියලා අඹරාගෙන දෙවන ලෝක යුද්ධ අවදියේදී සිතියම් ආදී දේ කියවීම සදහා ජපන් යුධ සෙබලුන් ආලෝකයක් වශයෙන් භාවිතා කල බවක්ද කියවේ.

බටහිර ඉන්දීය දූපත් ජන්ම භූමිය කොටගත් “කුකුජෝ නමැති කෘමි ගනයේ ප්‍රාණීන් විශේෂයද එවැනිම සත්ව පරපුරකි.  බඩ පැත්තේ හා නිය අසල  විශාල ලෙස විසිරී ඇති තියුණු ආලෝක සෛල නිසා ඉගිලෙන විටදී තාරුකා පොදියක් මෙන් දිලිසෙයි.  බටහිර ඉන්දීය දූපත්වල  ජීවත්වෙන තරුණියෝ මේ “කුකුජෝ නම් වූ සතුන් තම රූප ශෝභාව වැඩි දියුණුවට පත් කරන සජීවී ආභරණ ලෙසින්ද බාවිතා කරති.  දිගු කෙස් වැටි අතරින් ඇදුම් පැලදුම් අතරත් මේ ප්‍රානීන් අමුනාගෙන එයින් තම සිරුරු වලට ලැබෙන රූප සම්පත්තිය බලා ප්‍රීතියෙන් තෘප්තිමත් වීම ඒ තරුණියන් අතර එදා පටන් මේ දක්වාම සිදුවෙන්නකි.  එපමණක්ද නොවේ.  ස්පාඤ්ඤ  ඇමෙරිකා යුද්ධ සමයේදී විලියම් ශේක්මන් නම්වූ වෛද්‍යවරයා විදුලි බලය ක්‍රියාවිරහිත වූ අවස්ථාවන්හිදී මේ ප්‍රාණීන්  විශේෂය පිරවූ බෝතල් එළිය භාවිතා කරමින් හදිසි ශල්‍යකර්ම පවා සිදු කර ඇත.

දකුණු අමෙරිකාවේදී දක්නට ලැබෙන රේල් පනුවාද එළිය විහිදුවන සත්වයෙකි.  හැඩයෙන් රේල්ලුවක් මෙන් වූ නිසාම මේ සත්වයාට රේල් පනුවා යන නම් ලැබී ඇත‍.  දිගින් අගල් 3 සිට අගල් 8 දක්වා දික් වූ මේ සත්වයාගේ සිරුර දෙපසින් කොළ හා නිල් පැහැය වශයෙන් සමාන්තරව දිව යන එළි වැල් දෙකකි.  ඊටත් වඩා ලස්සන හිසෙහි ඇති ලේ රතුපාට එලියයි.  මේ එළි වැල් සියල්ල එක් වර හෝ එකක් දෙකක් වශයෙන් හෝ තමාට අභිමත අන්දමට දල්වාලීමේ හැකියාව රේල් පනුවා සතුව ඇත.

ගී කියන මාඵවා ජීවත් වන්නේ කැලිපෝනියා මුහුදෙහිය.  ගී කියන මාලුවා තුල ආලෝක ග්‍රන්ථි 800-900ත් අතර ප්‍රමාණයක් පිහිටා ඇත.  ඇතැම් රාත්‍රී කාලවලදී මෙන්ම දහවල් කාලයේදී ද මුහුද යට විදුලි බුබුලු රැසක් දැල්වූ ආකාරයට මෙන් මේ ගී කියන මාලුන් නිසා ආලෝකමත් වෙයි.

මේ ලෙසින් සදහන්  කල සත්ව විශේෂය අප දැක නැත්තෙමු.  එසේ වුවද ඇතැම් රාත්‍රි කාලවලදී රොතු බුරුතු ගණන් අපේ මිදුල් උඩින් වෙල් අද්දරින් පියඹා යන කණාමැදිරියන් අප දැක ඇත්තෙමු.  ඇත්තෙන්ම කණාමැදිරියාද එළිය විහිදුවන සත්වයෙකි.

ජපානයේ පෞරාණික සම්ප්‍රදාය උළෙලක්වූ කණාමැදිරි උත්සවය ගැනද මතක් කරමි.  මේ උත්සවය අවස්ථාවේදී වටපිට පරිසරය ඔපවත් කිරීම සදහා දස දහස් ගනනක් කණාමැදිරියන් එකතු කොට මුදවා හරිති.


පොත පත ඇසුරිනි.

අහිමි වූ වාසනාව

මහන්සි වී ගොවිතැන් කලත් කිසිමදාක සරු අස්වැන්නක් නොලැබූ ගොවිරාල කෙනෙක් හිටියා.  එයා ඒ ගැන හුගක් දුක් වුණා.  නිතරම කල්පනා කලා.

දිනක් අමුත්තෙක් ගොවිරාළ ඉදිරියට ඇවිත් “අර තුඹස ලගින් හැමදාම හවසට කිරි බදුනක් තබන්න.....කියලා
නොපෙනී ගියා.  ගොවිරාළ එදා හවසම කිරි බදුනක් තිබ්බා.  ඈතට වෙලා බලා සිටියා.  ඔන්න ලොකු නයෙක් ආවා.  බදුනේ කිරි ඔක්කොම බිව්වා.  ඊට පස්සේ නයා කිරි බදුනට මැණිකක් දාලා තුඹසට ගියා.

දෙවැනි දවසත් උදාවුණා.  එදා ගොවිරාලට හදිසි දුර ගමනක් යන්න සිදුවුණා.  “හවසට තුඹස ලගින් කිරි බදුන තබා නාගයා දෙන මැණික අරන් තියන්න...... කියලා එයා පුතාට කිව්වා.

පුතා තාත්තා කිව්ව විදියටම කලා.  නයා කිරි බීලා මැණිකක් දීලා තුඹසට ගියා.  තුඹස ඇතුලේ මැණික් ගොඩක් ඇතැයි ගොවි පුතාට හිතුණා.  එයා උදැල්ලකින් කොටා තුඹස කඩා බැලුවා.  ඒත් මැණික් තිබුණේ නැහැ.

පසුවදා ආපු ගොවිරාළ තුඹස දිහා බලාගෙන විලාප දුන්නා.  දුක් ගැනවිලි කිව්වා.  ඒත් නයා ආයිත් කවදාවත් කිරි බොන්න ආවේ නැහැ.

මරුවා පැරදවූ හැටි

දිනක් අවුරුදු සීයක් සම්පූර්ණ වුනු සීයා කෙනෙකු හමුවීමට මරුවා පැමිණියා.  “ඔබට දැන් මැරෙන්න කාලය ඇවිත්. මරුවා සීයාට කිව්වා.  සීයා මරණයට සූදානම් වීම සදහා මරුවාගෙන් දින තුනක් කල් ඉල්ලුවා.  මරුවා දින තුනක් සීයාට ලබා දුන්නා.


මරණයට සූදානම් වීම සදහා සීයා දින තුනක් කුමක් කරනවාදැයි දැනගැනීමට මරුවාට ආශාවක් ඇති වුණා.


පළමු දිනයේ මරුවා එනවිට සීයා පැලයක් සිටුවමින් සිටියා.


දෙවන දිනත් මරුවා එනවිට සීයා පැළයක් සිටුවමින් සිටියා.  තුන්වන දිනයේදී සීයා කුමක් කරනවාදැයි බලා ගැනීමට මරුවා නොඉවසිල්ලෙන් පසුවුණා.  තුන්වන දිනත් සීයා පැළයක් සිටුවමින් සිටියා.


“හෙට මැරෙන්න ඉන්න ඔබ මේ පැළ සිටවීමෙන් ඇති වැඩේ මොකක්ද??? මරුවා සීයාගෙන් ඇහුවා.  
“ඇයි වැඩක් නැත්තේ? මම පැළ සිටුවන්නේ ජීවත්වෙන මිනිසුන් වෙනුවෙන්.......සීයා උත්තර දුන්නා.
හොදටම බියපත් වූ මරුවා පසු නොබලා දුවගොස් කැලයට වැදී සැගවුණා.





චපල සිතක්

දෙයියෝ දීලා දෙයියෝ ගත්තා. දෙයියෝ දීලා දෙයියෝ ගත්තා......
ආන් සුදු කුමියා කෑගහනවා.  කුනු දූවිලි තැවරුණ හිසකෙස් බොර බාට ඇස් දෙක, දිගටි රැවුල ඒ මුහුණ මතක් වෙද්දී හිතට දැනෙන්නේ දැඩි බියක්, කිලිටි වෙඵම් පටියකින් පය වෙලාගෙන නොන්ඩි ගගහ අර ඈත එන්නේ සුදුකුමිය නේද?  තාමත් සැලී ඇවිත් නෑ නොවැ.  දෙයියනේ එදා වගේ අදත් ඈ වෙන අම්බලමක නවතියිද?  එහෙම වුනොත් රෑ ජාමෙට මට සුදුකුමියගෙන් බේරුමක් නැති වෙයි.  

බඩගින්නෙම නිදාගෙන ඉන්න නේපාල්ගේ මුහුණ දකිද්දී පපු කැනැත්ත දාලා යනවා.  දවස ගානේම නගරයේ ඇවිදලා කීයක් හරි හොයාගෙන මමත් නේපාලුත් රෑ ගත කරන්න එන්නේ මේ අම්බලමට.  මම වගේම අනාථ වෙච්ච හත් අට දෙනෙක් මෙතැනට එනවා.  එක්කෙනෙක් තමයි සැලී.  ඈ නම් සුදුකුමියගේ පස්සෙන්මයි.  හරියට කරත්තෙට ඇදිච්ච රෝදෙ වගේ.  ඒත් දෙයියනේ හිගන්නියක් උනත් ලේ ඇට මස් වලින් හැදිච්ච ගැහැණියක් නොවෙයිද ඈ.  ඒත් මම?????  ජීවිතේ එපා වෙච්ච ගැහැණියක් මං............ජීවිතේ ගැන කිසිම ආසාවක් බලාපොරොත්තුවක් මට නැහැ.  තමාගෙම හොටින් අත්තටු සිදගත් කිරිල්ලියක් ගානයි මං.  නේපාල් හින්ද නොවෙයිනම් මෙලහකට මමත් පස් යට. 

සුදුකුමියත් හතර පස් දෙදෙකුත් මුල්ලකට එකතු වෙලා සල්ලි ගණිනවා.  මෙතැන ඉන්න කවුරුත් බොරුවෙන් චාටුවෙන් මිනිසුන්ව මුලා කරල සල්ලි හොයන අය.  සුදු කුමියට පිස්සු හැදෙන්නේ නගරෙට ගියාම විතරයි.  නේපාල්ගෙ මුහුණ දකිද්දී මට කවුරුත් අනුකම්පා කරනවා.  ගිය සුමානේ සුදු නෝනා කෙනෙක් සල්ලි කොළයක්ම දුන්නේ ඒ හින්දා වෙන්න ඇති.  හරිම පිං වන්ත නෝනා.  ඒත් ඒ මුදල චපාති කන්නම වියදම් වෙලා ගියා.

මෙහෙම මුල්ලක වකුටු වෙලා ඉන්න කොට බොසාන් වීදිය හොදාකාර පේනවා.  අහස දිහෑ බැලුවත් මහ පාඵගතියයි.  හතර වටේම කලු කරලා.  උඩට නැගුනු රාජාලි පැටව් ගුවනේ ඔහේ පාවෙනවා.  ශීත සෘතුව පහුවෙලත් තාම වැඩි දොහක් නැහැ.  හුළගත් සමග එක පාරටම දූවිලි උඩ ගහන්න පටන් ගත්තේ දූවිලි කුණාටුවක් එන්න හින්දා. මෙහෙම වෙලාවට මුඵ නගරයම දූවිලි වලින් වැහිලා යනවා.  රට ඉදි ගහට වහපූ නීලකොබෙයියා දෙපැත්තට වැනි වැනී කෑ ගහන්න ගත්තේ හරියට ඉස්සර  වගේ පුඵවන් නම් දැනුත් මට විදපං කියන්න වගේ.  එකපාරටම මගේ පපුව හෝස් ගාලා පත්තු වුනේ අතීතය මතක් වෙලා.  මගේ ආදරවන්ත සැමිය ඉටු දෙවියෙක් වගේ හිටිය සැමිය.  දෙයියනේ මං වගේ පව්කාරියක්!!!!!!!!!!

දූවිලිත් කදුඵත් එකට එකතු වෙලා දෙනෙත රිදුම් දෙනවා.  මතකයට නැගෙන අතීතය අමතක කරන්නයි  නේපාල්ව තුරුල් කරගෙන දෙනෙත පියාගත්තේ.  ඒත්....... අහසේ ඇදෙන විදුලිය රේඛා වගේ පසුගිය දේවල් මටත් හොරා හිතට නැගෙනවා.  

නිල් පාට සෙල්වාර් එක සුදු කමිසයක් එක්ක ඇදලා සිනිදු දූපට්ට එක උරහිසෙන් පල්ලෙහාට එල්ලෙන්න දැන්මම ඉස්සර මං හරි ලස්සනයි.  හරිම තැන්පත් පාටයි.  හරියට යමක් කමක් තියෙන පවුලක ගෑණු දරුවෙක් වගේ.  අන්ඩදාපු කලිසමක් ඇදලා අලුත් වාරේ පටන් ගත්තුදා ඔහු මගේ ලගින් ඉදගද්දී පන්තියේ ළමයි සේරම බක බක ගාල හිනා වුණා.  පොළවට කිදාබහින්න තරම් ලැජ්ජාවක් ඇතිවෙච්ච හින්දා වෙන්න ඇති බිම බලාගෙන පොළොව හෑරුවේ.  ඒ වෙලාවෙ ඔහු ගැන ලොකු අනුකම්පාවක් මට ඇති වුනේ.

ඔහු මා අදුනගත්තේ සෙල්ලම් කරන වයසෙදිමයි.  එකට සෙල්ලම් බත් උයපු හැටි, දර කඩපු හැටි, කුරුල්ලන්ට විද්ද හැටි , ගොම රොටි අහුලන්න ගියහැටි මට තාමත් මතකයි.  මම කොතැනද ඔහුත් එතැනයි.  දවසක් වෙල් යාය මැද කුඹුරුවල නියර වල් දිගේ අත් පද්ද පද්දා යද්දී...........

“ඉතින් ඔයා ලොකු උනාම මොකද කරන්නේ?  මම ඇහුවා.
“මම ලොකු මිනිහෙක් උනාම අර ඈත පේන කන්ද ගාව චූටි පැලක් හදල කුඹුරක් වපුරගෙන ලස්සන නෝනා කෙනෙක් එක්ක පැලපදියම් වෙලා කුරුඵ ජෝඩුවක් වගේ ජීවත් වෙනවා.

මගේ හිතට ඇතිවෙච්ච සතුට ඒ වෙලාවේ කියලා නිම කරන්න බැහැ.  ඒත් එකපාරටම මූන මැලවිලා  ගියේ ඔය කියන්නේ මටද එහෙම නැත්නම් වෙන කාටවත් දෝ කියලා හිතුන හින්දා.  මගේ වෙනස ‍ඔහුට තේරිලා වෙන්න ඇති මගේ නිකටෙන් අල්ලගෙන ඇස් දෙක දිහෑ ගිලින්න වගේ බලාගෙන හිටියේ.

ඕලු මල් එකට හැප්පි හැප්පි හිනාවුනේ අර බලපන්, අර බලපන් කියන්න වගෙයි.  තවත් බලාගෙන ඉන්න බැරිව ගොයමට වහපූ වී කුරුඵ රෑන ඉගිලිලා යන්න ගියේ ලැජ්ජාවෙන්. ගොයම් ගස් හුළගට උස් පහත් වෙද්දී මට තේරුනේ පොඩි දරුවන් වැනි වැනී අපේ ආදරයට ආසිරි ගී ගයන්න වගෙයි.  ඉර බැහැගෙන යන මොහොතේ අපේ හෙවනැලි එකට එක එක්වෙලා දිගට ඇදිලා තිබුන වගේ මට මතකයි.  අපි ආදරය අදුනගත්තේ අන්න එදා.

දර කඩන්න යද්දී, ගොම රොටී අහුලන්න යද්දී ,  නාන්න යද්දී මගේ හෙවනැල්ල වගේ ඔහු හිටියා.  හැමදාම විනෝදෙට ඔහු කුරුල්ලන්ට විද්දා. එක පාරින් කුරුල්ලෙක් බිම හෙලන්න තරම් ඔහු දක්ෂයි.  මමත් කුරුල්ලෝ විදින හැටි ඉගෙන ගත්තා.  

මං උන්නු හිටපු ගමන්මයි ඔහු එක්ක පැලපදියම් වුනේ.  ඔහු කිව්වා වගේම ඒ කන්ද ගාව චූටි පැලක් හැදුවා.  එහි අපි සතුටින් ජීවත් වුනේ කුරුඵ ජෝඩුවක් වගේ.  හැමදාම ඔහු දඩයමට ගියා.  ඒකෙන් තමයි අපි ජීවත් වුනේ.  ඔහු එනතෙක් උඵවස්සට හේත්තුවෙලා මම මග බලාගෙන හිටියා.  එක පතේ කෑම කෑවේ හරිම සතුටකින්.  එක කැදැල්ලේ කුරුඵ යුවලක් වගෙයි අපි සතුටින් ජීවත් වුනේ.

ඒත් ටික කලක් යද්දී දුක, වේදනාව බඩගින්න අපටත් දැනෙන්න පටන් ගත්තා.  ඔහු හිස් අතින් ආපු දවස් අනන්තයි.  ඒ එන හැම දවසක්ම අපි බඩගින්නෙන් පීඩා වින්දා.  මට තාම මතකයි එදා මොර සූරන වර්ෂාව.  ඔහු ඔහේ බලාගත්තු අතේ බලාගෙන හිටියා.  වහලින් වැටෙන වැහි බිදු පට පට ගාල වැටෙද්දී ගොම පොලව බී ගත්ත.  බඩගින්න වැඩිකමටයි මා වකුටු වෙලා නිදාගත්තේ.  කවදාවත් නැතිව ඔහු කෙරෙහි හීන් කේන්තියක් මට ඇති වුනා.  අතපාල හරි යමක් හොයාගෙන එන්නයි ඔහු උන්නු හිටපු තැනින් නැගිට්ටේ.  ඒත් මම ඒකට ඉඩ නොදුන්නේ හිගාකෑම තත්වෙට මදිකමක් හින්දා.  ඔහු ආත්මශක්තියක් නැති දීන පුද්ගලයෙක් හැටියටයි මට එදා පෙනුනේ.  පැමිණි දුක් පැණි රසයි කියා මට එදා එය විදගන්න බැරිවුනා.

දවසින් දවස ඔහුගෙන් හිත වෙන්වෙද්දී රණා කෙරෙහි හිත ඇදී ගියේ මහ පුදුම විදියට.  දවස ගානෙම බැටලුවන් බලාගන්න එගොඩහ ලන්දට ඔහු ආවා.  ඒ බට නලා හඩට මගේ පියවර මැනුනේ මාත් නොදැනුවත්වම.  අපි හැමදාමත් හමුවුණා.  අපේ සම්බන්ධය හුගාක් දුර දිග ගියා.  සැමියා ජීවතුන් අතර සිටින තෙක් මට රණා එක්ක එකට ජීවත් වෙන්න බැරි බව තේරුම් ගියා.  රණාටත් හොරා මම සැමියා නැති කරන්න උත්සාහ කලා.  මම ඒක කලා.  ඒත් නේපාල් බඩට ආපු හැටියෙම රණා ආගිය අතක් නැතිව ගියා.
කැදැල්ලේ හිටපු කිරිල්ලී කුරුල්ලව විනාශ කරලා වෙනත් කැදැල්ලකට යන්න හැදුවා. මං වගේ පවුකාර චපල ගැහැණියක්.  කන්දෙන් පල්ලෙහාට පෙරලෙද්දී ඔහුගේ ඒ අදෝනා හඩ මරලතෝනියක් වගේ අදත් දෝංකාර දිදී මට වද දෙනවා.  අනේ දෙයියනේ.........ඒ ගැන මට තවත් හිතන්න බැහැ.

දෙනෙතින් වැටෙන කදුඵ බිදු කිලිටි හැට්ටය බී ගන්නවා.  නේපාල් කෙදිරි ගාමින් මගේ පපුවට තුරුලුවෙන්නේ බඩගින්න වැඩිකමට.  ඒත් කිරි හිදිලා මාස ගානක් වෙනවා.  වියලුනු පියයුරු උරද්දී මට දැනෙන්නේ දැඩි වේදනාවක්.  අම්බලම දැඩි අදුරකින් ගිලිලා.  අවට රැහැයියන්ගේ හඩින් පාලු ගතිය තවත් වැඩි කරනවා.  බොසාන් වීදියේ යන ටොන්ගා කරත්තවල හඩ නින්දට මහ කරදරයක්.  නේපාල්ව තුරුලු කරන් බිම දිග ඇදුනේ දැඩි වේදනාවකින්.  ඒත් එකපාරටම මගේ ගතට දැනුනේ සීතලක්.  දෙයියනේ.........සුදු කුමිය අදත් ඇවිත්..............!!!!!!!!!!!!




ඇය තවත් එක් ගැහැණියක්
ඒත්
චපලකමට දඩුවම් විදින
ගැහැණියක්!!!!!!


Saturday, August 13, 2011

දළදා පෙරහැර

සමස්ත බෞද්ධ ලෝක ජනතාවගේ මුදුන් මල් කඩක් සේ සැලකෙන දන්ත ධාතූන් වහන්සේ  වෙනුවෙන් හා දෙවිවරුන් වෙනුවෙන් පැවැත්වෙන දළදා පෙරහැර සමයයි මේ.  දිවයිනේ ඇසළ වකවානුව යනු බෞද්ධ ජනතාවගේ පෙරහැර පැවැත්වෙන සමයයි.  පෙර කාලයේ පටන් විහාර දේවාලයන්හි පවත්වාගෙන එන ඇසළ පෙරහැර අතර මුල් තැනක් ගන්නා ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහැර වීථි සංචාරයේ යෙදෙයි.  සතර දේවාලයන්හි ඇසළ කප් සිටුවා පැරැණි චාරිත්‍රානුකූලව මෙය ආරම්භ කෙරේ.  

සිංහල ජාතියේ පැවැත්ම වෙනුවෙන් සෑම අවස්ථාවකදීම සිංහලයාට පිහිට වූයේ අප දිවා රෑ දෙකේදී දිවි දෙවැනි  කොට ආරක්ෂා කර ගත් දළදා වහන්සේයි.  මෙය රැක ගැනීම සදහා අපේ සිංහල රජවරුන් දළදා වහන්සේට කුඹුරු යායවල් පූජා කළා.  ගම්වර පූජා කළා.  මේවායින් ලැබෙන ආදායමෙන් අස්වැන්නෙන් දළදා මාලිගාවේ පුජා විධි ඉටුකරන සම්ප්‍රදායක් ඇති කර ගත්තා.  මෙම සම්ප්‍රදායයන් අද දක්වාත් නොකඩවාම පවත්වාගෙන එන්නේය.  මෙම හේතුව නිසා අද අපට සාඩම්බරයෙන් කතා කල හැක.  මුඵ ලෝකය පුරා පතල කීර්තියක් ඇති අපේ දළදා පෙරහැර අදත් උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට හැකිවී ඇත්තේ මෙම ගම්වර වෙල් යායවල් පූජා කරමින් මහත් කැපවීමෙන් අපේ මුතුන් මිත්තන් විසින්  දළදා වහන්සේ මහත් ගෞරව භක්තියෙන් යුතුව ආරක්ෂා කරගෙන ආ නිසාවෙනි.

මේ නිසා ලෝකයේ කිසිම රටකට නොමැති ගෞරවයක් ලංකාවට ලැබී ඇත.  මහනුවර වැඩ සිටින බුදුරදුන්ගේ වම් දළදාව අපට ලැබුණේ බු.ව.854 දී බව ඉතිහාසයෙන් හෙලිවේ.  දළදා වහන්සේ ඉතා ගෞරවයෙන් පිළිගත් පැරණි රජ දරුවෝ අනුරාධපුර ථුපාරාම චෛත්‍යය අසල මන්දිරයක් කරවා පුද පූජා පැවැත්වූහ.  එදා එහි සිට වර්ෂයක් පාසා දළදා වහන්සේ මහ පෙරහැරින්  මහා විහාරයට වැඩම කොට පිළිවෙලින් තුන් මාසයක් පුද පූජා පැවැත්වූහ.  ඉන්පසු අනුරාධපුරයේ පරිහානියෙන් පසු පොළොන්නරුවට වැඩම වූ දළදා වහන්සේට පළමුවැනි පරාක්‍රමබාහු රජතුමා සැට පැයක් ඇතුලතදී දළදා මැදුරක් නිමවා දළදා හිමියන් එහි වඩා හිදුවා පුද පූජා පැවැත්වූ බව ඉතිහාසයෙහි දැක්වේ.  
 
ඉන්පසු දඹදෙණි යුගය ආරම්භ වූ විට දළදා වහන්සේ එහි වැඩම කරවා සිරිත් පරිදි නොකඩවා පෙරහැර හා පූජා පැවැත්වූයේය.  සොළී මාඝ ආදීන්ගේ උවදුරු සිදුවන්නට පටන්ගත් විට දළදා වහන්සේ බේරා ගැනීමට ජීවිත පූජාවෙන් වැඩ කළ සිංහල රජදරුවනුත් සංඝ රත්නයත්  මහා ජනයාත් ක්‍රියා කල හැටි අපේ වංශ කතාවල සදහන්ව ඇත.  යාපහුව, කුරුණෑගල, බෙලිගල, ගම්පොළ, කෝට්ටේ, සීතාවක, කුන්ඩසාලේ , දෙල්ගමුව ආදී ස්ථානවලට දළදා වහන්සේ ගෙනයෑමට සිදුවූ බව ඉතිහාසයෙන් පෙනේ.  දෙල්ගමුව විහාරයේ ඉතා රහසිගතව වැඩසිටි දළදා හිමි වෙනුවෙන් එකල රජකල පළමුවන රාජසිංහ රජතුමාගේ නියෝගයෙන් දොළොස් වසරක්ම පෙරහැර  පවත්වා ඇත.  දළදා හිමි මහනුවරට වැඩම කරන ලද්දේ පළමුවෙනු විමලධර්මසූරිය රජතුමා විසින්ය.  දළදා මැදුර පිහිටා ඇති භූමි භාගයෙහි තැනූ මැදුරක වඩා හිදුවන ලද දළදා හිමි දැනට වැඩ සිටින මාලිගය තනවන ලද්දේ කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා විසිනි.  රජමැදුරට ආසන්නව දළදා මැදුර කරවීම පෙර සිට පැවති සිරිතය. එදා සිට අද දක්වාත් නොකඩවාම මෙම පෙරහැර පවත්වාගෙන එනු ලබන්නේය.

වර්තමානයෙහි මහනුවර පැවැත්වෙන දළදා පෙරහැර අරඹා ඇත්තේ කීර්ති ශීර්‍ රාජසිංහ රජතුමාගේ කාලයේදීය.  එය ඇරඹීමට උනන්දු කරවීමේ ගෞරවය හිමිවන්නේ එහෙමපිටින්ම නැතිවී  ගොස් තිබුණ ලංකාවේ ඇතිකරන ලද සියම් දේශයෙන් මෙහි වැඩම කළ උපාලි හිමියන්ට සහ වැලිවිට සංඝරාජ හිමියන්ටය.


 

Friday, August 12, 2011

බුලත් කොලේ කතාව

බුලත් කොලය අපි කවුරුත් හොදට දන්නවානේ.  අපි බුලත් විට කනවා. තව විශේෂ අවස්ථාවලදී බුලතට සිංහල අපි මුල් තැන දීලයි කටයුතු කරන්නේ. වැඩිහිටියන්ට ආචාර කරනකොට, මගුලක තුලාවකදී, මළගෙදරකදී , මේ කොහේ බැලුවත් බුලත් නැතිවෙන්නේ නැහැ. ඒ තරමටම බුලත අපේ ජීවිත වලට සමීපයි.  

මේ බුලත් කොළය හැදෙන්නෙ වැලක. ඒ බුලත් වැල හැදුනේ මෙන්න මෙහෙමයි.
සක්‍ර දෙවියෝ නොයෙක් වෙස් අරගෙන රටේ තැනින් තැන මිනිස්සු අතර ඇවිදීම පුරුද්දක් කරගන හිටියා.  දවසක් ඔහු මහඵ මිනිසෙකුගේ වෙස් අරගෙන ගමකට යෑමට කැලයක් මැදින් ගියා.  කැලේදී ගලක් උඩ හිටපු හාවෙක් දැක්කා.  

“අනේ හාවෝ මට හරිම බඩගිනියි. මට කන්න මොනවා හරි දෙන්න පුඵවන්ද කියලා ශක්‍ර දෙයියෝ ඇහුවා.
“අනේ මා ලග නම් මොකුත් නැහැ මම මගේ මස් දෙන්නම් ඔතන ගිණි මැලයක් ගහන්න. මම අර ගල උඩට ගිහින් ගින්නට පනින්නම් එතකොට මගේ මස් කන්න.  හාවා පැවසුවා.  

ඉතින් සක් දෙවිදු ගිණි මැලයක් ගැහුවා.  හාවා ගල උඩට ගිහින් ගින්දරට පැන්නා.  පනිනකොටම සක්‍ර දෙවියෝ නියම වෙස් ගෙන හාවා දෑතින් වඩාගෙන දිව්‍ය ලෝකෙට ගෙන ගියා.  හාවාගේ කරුණාගුණය පෙන්වීමට සදා සිහිවටනයක් බවට පත් කිරීමට හාවාගේ රූපය හදේ ඇන්දා.  
මේ රූපය ඇදලා ඉවර වුනහම ඒ පිහාටු පින්සලය පොළවට දැම්මා.  දිව්‍ය ලෝකෙ ඉදලා පොළවට වැටුන පින්සලය මහ පොළව දෙබෑ කරගෙන නාග ලෝකයට ගියා.  නාග ලොවේ නාග රජුගේ ඇගේ පින්සලය වැදුන නිසා නා රජු එතනම මැරුණා.

සතියක් පමණ දුකින් පෙඵන නාග ලොව වැසියෝ කදුඵ සළමින් නා රජු භුමදානය කලා.  ටික දවසක් ගත වුණා.  සොහොනෙන් වැල් වගයක් ඇදෙන්න පටන් ගත්තා.  මේ වැල් උඩට උඩට ගිහින් පොළෝ තලයට ඇදුනා.  පොළවට ඇදිලා නැට්ටේ කොළ හැදෙන්න පටන් ගත්තා.
එක් ගැමියෙක් මේ කොළයක් කඩාගෙන කෑවා.  ඒක හරි රසයි.  මත් ගතියක් දැනුනා.  මත් ගතිය නිසා ඇගත් තරමක් ප්‍රාණවත් උනා.  මේ ආරංචිය පැතිරුණා.  කවුරුත් මේ කොළය කන්න පටන් ගත්තා.  නාග ලොවින් ආ නිසා නාග වල්ලි බුලත්“ කියා කොළය නම් කළා.
දෙකට නමන බුලත් කොළය නාග පෙනයකට සමාන බව මිනිස්සු දුටුවා.  ඒ නිසා බුලත් කොළය කෑමට පෙර දෙකට නවා නැට්ටත් තුඩත් කඩා ඉවත දමන්න පුරුදු වුණා.
  
නාග රජුගේ සොහොනෙන් ඇතිවූ නිසා තමයි එහෙම අගිස්ස කඩන්නේ. මොකද මිනිස්සු තාමත් හිතනවා බුලත් කොලේ දෙකෙලවරේ නයි විස ඇති කියලා. 

අදත් මේ සිරිත අප අතර පවතිනවා.  

රජුට යුධ කරන හැටි උගන්වයි

අප රටේ බොහෝ කාලයක් දේශපාලන සිරකරුවෙකු වශයෙන් සිටි රොබට් නොක්ස් නම් ඉංග්‍රීසි ජාතිකයා ලියූ ථෙතිහාසික ග්‍රන්ථයේ අප ගැන බොහෝ දේ සදහන්ය.  හොද පැත්ත මෙන්ම නරක පැත්ත ගැනද එහිදී ඔහු කතා කරයි.  “සිංහල මිනිසා උපතින්ම ගොවියෙකි.  ඔවුහු දක්ෂ ගොවියෝය.  මඩෙහි සිටිමින් ගොවිතැන් කරන සිංහල මිනිසෙකු එයින් ගොඩගෙන සිංහාසනේ තැබුවහොත් රාජ්‍ය කිරීමට තරම් ප්‍රජා පාලනය පිළිබද සියුම් බුද්ධියක් ඔවුන් තුළ ඇත්තේය.  නොක්ස් ඔහුගේ පොතෙහි එක් තැනක සදහන් කර තිබේ.

මේ කියමන බොහෝ දුරට සැබෑ බව අපේ රටේ ඉතිහාසය දෙස බැලීමෙන් පෙනේ.  

සිංහල මිනිසුන් අතර රාසිං දෙයියෝ නමින් පසු කලෙක පුද පූජා පැවැත් වීමට තරම් මහා බලසම්පන්න යුද්ධ කාමියෙකුව සිටියාවූද පරංගීන් විසින් මහා රණශූර යුද්ධ නායකයෙකු වශයෙන් පිළිගත්තාවූද රාජසිංහ රජු යුද කිරීම සදහා අහිංසක ගම්බද මැහැල්ලකගෙන් උගත් බව  ජනප්‍රවාදයෙහි සදහන්වේ.
රාජසිංහ රජු බොහෝ විට වෙස්වලාගෙන යෑමට පුරුදුව සිටියෙකි.  රටේ සිදුවන නොයෙක් මාදිලියේ අපරාධ හා අසාධාරණකම් ඔහුට සියැසින් දැක ගන්නට මේ නිසා අවස්ථාව ලැබුනු බවත් රට පාලන යන්ත්‍රය මැනවින් ගෙනයාමට මේ නිසාම ඔහුට පහසුවූ බවත් කියති.

වරක් රජතුමා හුදෙකලාවම සතුන් දඩයම් කිරීම පිණිස වල් වැදුනේය.  සාමාන්‍ය දඩයක්කාරයෙකුගේ පෙනුමට වඩා අමුත්තක් ඔහු කෙරෙහි නොවීය.  වල් වැදුනු රජු බොහෝ වේලා වනයෙහි ගත කළ නමුත් දඩයම් කිරීම පිණිස සෑහෙන සතෙකු සොයා ගැනීමට නොහැකි විය.  විඩාවත්, පිපාසාවත්, සාගින්නත් යන  තුනම ඔහුට තදින් දැනෙන්නට විය.  එහෙයින් හැකි තරම් ඉක්මනින් මාලිගාවට යනු පිණිස හේ වහ වහා පියවර මනින්නට විය.  මාළිගාවට යෑමට ඔහු තුළ තිබූ ඉක්මන් කමට වඩා වැඩි වේගයකින් හේ අතරමංවිය.  බොහෝ වේලා වනයෙහි ඒ මේ අත ඇවිද යන්තමින් ගම්මානයකට පැමිණුන රජතුමා කුඩා පැලක් දැක සැනසුම් සුසුම් හෙලුවේ පිපාසාවට වතුර පොදක් ලබා ගැනීමට තිබූ අවශ්‍යතාවය අන්තිම තැනට නැග තිබුණු බැවිනි.  
“ගෙදර කවුද?
“මේ ගෙදර කවුරුත් නැද්ද?
රජතුමා දෙවරක් ම හඩ ගෑ නමුත් කිසිවෙකු ගෙයින් එළියට නොආයේය.  වතුර පොදකින් දිව තෙමා ගැනීමට ඔහු තුළ තිබූ බලාපොරොත්තුව යළිත් කල් දමන්නට සිදුවන සෙයකි.

“ගෙදර කවුද?

ඔහු මහා හඩින් හඩගෑය.  මැහැල්ලක් පැලෙන් මෑත් වූවාය.
“මගේ කණ ඇහෙන්නේ නෑ. උඹට මොනවද පුතේ ඕනෑ?

මෙතෙක් වේලා ගෙදරින් කිසිවෙකු එළියට නොආයේ මැහැල්ල පමණක් සිටි හෙයිනි.  අවාසනාවකට මෙන් ඇගේ කන් ද නෑසිනි.  රජු පසුබට වූයේ නැත.  මැහැල්ලගේ කණට මුව ලං කර පිපාසාව ඉතාම තද බවත් වතුර ටිකක් අවශ්‍ය බවත් කියා සිටියේය.  මැහැල්ල වහාම වතුර ටිකක් ගෙනවිත් ඔහුට බොන්නට දුන්නාය.  
රජු යළිත් වරක් මැහැල්ලගේ කණට මුව ලංකලාය.

“මට හොදටම බඩගිනියි. කන්ට මොනවත් නැද්ද??
“මුඵ ගෙටම තියෙන්නේ කුරක්කන් ටිකක් විතරයි.  පුතේ උඹට හොදටම මහන්සි බව පේනවා.  මෙතැනින් ටිකක් ඈදි ගනින්, මම කුරක්කන් තලප ටිකක් පිළියෙල කරන්නම්.

මැහැල්ල කීවාක් මෙන්ම රජු වෙහෙස නිවා ගැන්මට ටිකක් හාන්සි විය.  වැඩි වේලාවක් යා නොදී මැහැල්ල කුරක්කන් තලප පිලියෙල කොට ගෙන ආවාය.  රජුට තුබූ බඩගින්න මොන තරම් දරුණුද කිවහොත් ඔහුට ඒ මොහොතෙහි මොන දෙයක් වුවද ගිල දැමීමට හැකි  විය. එහෙයින් උණු උණුවේ ගෙනා කුරක්කන් තලප ටික බුදින්නට විය.  උණු වැඩි නිසා ඔහුට පිළිවෙලකට කන්නට නොහැකි වූයේ ඒ කොනින් ද මේ කොනින්ද ටික ටික අදිමින් කන්නට විය.  රජුගේ කුරක්කන් කෑම මැහැල්ලගේ සිත් නොගත්තාය.  ඈ ඒ බව ඔහුගේ මුහුණටම කීවාය.
“පුතේ උඹ කුරක්කන් කන්නේ රාසිං දෙයියෝ යුද්ධ කරනවා වගේනේ......?

කුරක්කන් තලප උණු උණුවේ කන්නට ගොස් රජ්ජුරුවන්ට සෑහෙන තරමට දහඩිය ඒ වනවිටත් ගලමින් තිබිණ.  මැහැල්ලගේ වචනය කණට වැටෙන විට ඔහුගේ හෘද ස්පන්දනයේ අමුත්තක්  සිදුවන බව ඔහුටම දැනෙන්නට විය.  කුරක්කන් කෑම වෙනුවට ඔහු නැගිට්ටේය.  මැහැල්ලට මුව ලංකොට බලවත් ආයාසයෙන් මෙන් කුරක්කන් කන්නේ කොහොමදැයි විමසීය.   

“රාසිං දෙයියෝ පරංගියා එක්ක යුද්ද කරන්නෙත් උඹ කුරක්කන් කන විදියටයි.  ඕක නිවිහැනහිල්ලේ එක් කොනක ඉදලා කන්න එපායැ?  එහෙම කනකොට අනික් කොන නිවිලා තියෙයි.  එතකොට ඔය තරම් දාඩිය පෙරාගන්න ඕනවෙන්නේ නැහැ නොවෑ.  රාසිං දෙයියොත් පරංගියා පන්නන්න යුද්ද කරනවා.  අද යුද්ධ කරනවා මෙතන ඉදලා.  තව මාස ගාණකින් යුද්ධ කරනවා තව තැනකින්.  පරංගියාට එකෙන් පාඩුවක් දැනෙන්නේ නැහැ.  අපේ රාසිං දෙයියන්ටමයි හැති වැටෙන්නේ.  එක් කෙළවරක ඉදල පිළිවෙලට යුද්ධ ආයුධ එහෙම ලකලෑස්ති කරගෙන යුද්ධ කලානම් පරංගියා ගිය තැන් හොයන්න එහෙනම් අංජනම් බලන්න වේවි......

මැහැල්ල කියු වචන රජුට දැනුනේ ටොන් ගණනක බර හිස මත පැටෙව්වාක් මෙනි.  ඔහු කුරක්කන් තලප පිගාන ඒ කෙළවරේ සිට මේ කෙළවරට පිලිවෙලින් කෑවේය‍.  වතුරත් බී මැහැල්ලට කතා කලේය.


“අම්මේ මං තමයි රාසිං දෙයියෝ...............අද කැලෑවෙ ඇවිදින්න ඇවිල්ලා අතරමං වුණා.


රජුට කියන්නට ලැබුණේ එපමණකි.  මැහැල්ල රජුගේ දෙපා ළග වැද වැටී අඩන්නට වූවාය.  රජු මැහැල්ල නගාසිටුවා තමාට කළ උදව්වට සිහිවටනයක් වශයෙන් ඈ පදිංචිව සිටි ගම් පළාත ප්‍රවේනි කොට පවරා දුන්නේය.  ඔහු මැහැල්ලගේ අවවාදය අනුව ක්‍රමවත්ව යුද්ධ ආයුධ රැස්කොට කොළඹ කොටුවට එක් කෙළවරක සිට පහර දෙන්නට ද වූයේය.  පරංගීන් සිංහල සේනා ඉදිරියේදී ඇද වැටෙන තුරු පහර දෙන්නටත් ආසියාතික ජාතියක් ඉදිරියේ පරංගීන් පළමු වර ඇද දමන්නටත් ඔහු සමත්විය.  ඔහුට මෙම අවවාදය ලැබුනේ කලින් සදහන් කළ ගම්බද මැහැල්ලගෙනි.




වචනයේ අර්ථයට පමණක් සීමාකොට ගැහැණියකගේ නුවන හැදි මිටකට උපමා කිරිම උචිත වේදැයි
තීරණය කිරීමට ඔබට අවස්ථාවක් ලබා දෙන මම සිතුවිල්ල...............

කඵ බෝනික්කා




කුලී රිය අපිළිවෙල පරණ ගොඩනැගිලි සහිත වීදියකට වැටුණි.  යාන්තමට හිස  හැරවූ රියදුරා “නෝනා මේ තමයි පෙටුනියා වීදිය“  යි කීය.  දිරාපත් ගොඩනැගිලි අතරට හිරවී තිබූ එවන් පටු වීදියක් ඈ ඊට පෙර කිසි දිනෙක දැක තිබුණේ නැත.  වරාය දෙසින් හමා ආ කරදිය ගද එකතු වූ කුණු ගද තුළ මුඵ වීදියම ගිලී ගොස් තිබිණ.  

රිය කවුඵවට මුහුණ තදකරගත් ඕ විමසිලිමත්ව බැලුවාය.  මේ අදුරු ලෝකයට ගලා එන්නට අකමැති වූ හිරු එළිය ඊට වඩා හොද පෙදෙසක් සොයා ගියාක් මෙන්, දිගින් දිගටම පෙනුණේ මැදින් උස්වී දෙපසට ඇලවී ගිය වහලවල් හා දිගු පැතලි වහලවල් සමුදායක් පමණකි.  එකට යාව පිහිටි ගෙවල්වල විවර කොට තිබූ කවුඵ ඇය දෙස බලාසිටි කිසියම් අද්භුත සත්වයකු ගේ ඇස් මෙන් පෙණින.  
“පෙටුනියා වීදිය“  විශ්වාස කල නොහැකි ගතියකින් ඕ තමාටම කියා ගත්තාය.  අනතුරුව ඇය ගෙළ බැදි මාලයත්, එදින උදයේ කේශ කල්‍යාණ නිරූපිකාව විසින් සැකසූ කෙස් වැටියත් වෙත අත යවන්නට වූයේ ඉබේමය.  

“මගේ දුව මෙහේ ඉන්නවා!“  අවට තිබූ දිළිදු අසරණ පෙනුම තේරුම් ගත් ඇය මුමුණා ගත්තාය.  
“අනේ දෙයියනේ ඒකිට පිස්සුද කොහේද?  මං ගෙදර යන්න ඕනි.  ලින්ඩා!  ඉක්මනට ගෙදර යන්න ඕනි.  ලින්ඩා ඔය ළමයගේ හිත පිස්සු වැටෙන්න කලින් ගෙදර යන්න ඕනි“.

අහල පහල වැඩි දෙනෙකු පෙනෙන්නට සිටියේ නැත.  මහත ස‍්ත්‍රියක් වේවැල් කූඩයක් අතින් ගෙන වෙළද කවුඵවක් අසලට වී බලා සිටියාය.  මළානික මිනිසෙකු කානුවක් අද්දර ඇන තියාගෙන සිටියේ අප්‍රාණික විලාශයෙනි.  ලාම්පු කණුවක් යටට වී සිටි ළමෝ යටිගිරියෙන් කෑ ගසමින් එකිනෙකා පසුපස එළවමින් සිටියහ‍. ඉතාම කුඩා එකකු බෙහෙවින් අපිරිසිදු මුහුණකින් යුක්තව කලිසමක් රහිතව දුවමින් සිටියේය.  දිවීම නැවතූ ඔහු එක් අතකින් නැහැය හාරමිනුත් අනෙක් අතින් ලිංගේන්ද්‍රිය අතගාමිනුත් කුලී රිය දෙස බලාගෙන සිටින්නට විය‍. ඒ වන විට රියෙහි වේගය බාල කොට ඔවුහු නිවාස අංක පිරික්සමින් සිටියහ.  අපිරිසිදු ළමයා දුටු ඕ දැඩි පිළිකුලෙන් ඉවත බලාගත්තාය.  


“දෙවියන්ට ස්තුති වන්න තාත්තා දන්නේ නැහැ දූ ඉන්නේ කොහේද කියලා.  දෙයියෝ තමයි දන්නේ තාත්තාට මොනවා හිතෙයිද කියන්නයි සිතු ඇගේ වේදනාව හිටිවනම වඩාත් තියුණු ලෙස දැනෙන්නට විය.  


“අනේ....ඇයි ?   ඇයි? ඔයා අපට මෙහෙම කලේ.  ඇයි ලින්ඩා! ඔයාට හොද ගෙදරක් තිබුණා.  හොද දෙමාපියන් ඉන්නවා.  හොද ඉගෙනීමක් තියෙනවා.  ඒත් ඔයා පැනලා ගියා නිකන්ම නිකන් තුට්ටු දෙකේ නාවිකයෙක් කසාද බැදගෙන. දැන් ඔයා මේ වාගේ පරිසරයක ජීවත් වෙනවා.  


කුලී රිය නතර වුණි.  

“මේක නොම්මර දා හත නෝනා යි කී රියදුරා ඇය දෙසට හැරුණේ අප්‍රසාදයෙන් පිරි මුහුණකිනි.  


“නෝනා එනකල් ඉන්න ඕනිද?“


,අපොයි ඔව් මං එනකල් ඉන්න ඕනේ“

වීදිය වටා පරීක්ෂාකාරීව බැලූ රියදුරු තැනගේ මුහුණෙහි කිසියම් අනුකම්පාවක් පහළ විය.  

“මං නෝනා එක්ක ඇතුළට එන්න ඕනද?


ඇය වහා දොරටුව දෙස බැලුවාය.  අව්, වැසි, සුළං වලට හසුවී සායම් පතුරු ගැලවී ගිය එය හිරු එළියට පිලිස්සුණු හමක් මෙන් විය.  නොම්මර දාහතේ අංක තහඩුව බුරුල් ලෙස එල්ලී සිටයේ එකම එක ඇණයකිනි.  දොරටුව ඉදිරිපස බිම දමා තිබු ගෙවී ගිය පාපිස්ස මත  හිස් සිගරැට් පැකැට්ටුවක් තිබිණ.  නැව් වලින් හමන මුහුදු සුවද රථය තුළටත් ගලා ආවේය.


“මේ මිනිහා එක්ක ගියොත් ලින්ඩා කැමති වෙන එකක් නැහැ. මං ටිකක් හිත තද කරගන්න ඕනි.  අනේ ලින්ඩා කොහොමද මේ වගේ දෙයක් කලේ?  කොහොමද........කොහොමද? ඕ සිතුවාය.


“නෑ බොහොම ස්තුතියි.  මෙහෙන් ඉන්න මං එනතුරු......


“හොදමයි නෝනා කැමති විදියක්...........ඔහු රියෙහි දොර විවර කලේය.  


ඈ පඩි තුනක් නැග දොරටුවට ළගා වූවාය.  එහි තිබූ කවුඵ සියල්ල තමා දෙස ඔරවා බලා සිටින කැත සත්ත්වයෙකුගේ ඇස් මෙන් විය.  


දොරටුවේ සීනුවක් නොවීය.  ඒ අපිරිසිදු ලෑලි වලට තට්ටුකල යුතු වූයේ අතින් මය.  තම අලංකාර අත් මේස් ගැලවිය යුතු දැයි නැති දැයි ඕ මොහොතක් සිතා බැලුවාය.  එක් ඇනයකින් එල්ලී සිටින අංක තහඩුව ගලවා දොරට තට්ටු කළ යුතුයයි සිතී ඇයට තනිවම සිනහා පහළ විය.  ඕ වහා එය මැඩගෙන දෙතොල් තද කර ගත්තාය.  


දෙවරක් තට්ටු කළ මුත් කිසිවෙක් පැමිණියේ නැත.  රියදුරා ප්‍රශ්ණාර්ථයක් නගාගත් මුහුණින් ඇය දෙස බලා සිටියේය.  ඉතා අප්‍රසන්නවූත් නොසන්සුන්වූත් ගතියකින් ඕ ගැහෙන්නට වූවාය.

“අනේ දෙවියනේ පෞද්ගලික පරීක්ෂකයෙකුට සල්ලි දීලා බොහෝම අමාරුවෙන් ලින්ඩාගේ නිවසේ ලිපිනය හොයාගත්තට පස්සේ මේක පාලු ගෙදරක් කියලා නම් කියන්න එපා“  යි ඕ සිතෙන් යැද්දාය.  එවිටම ගෙතුලින් හඩක් ඇසිණි.  එය සෙරෙප්පු සද්දයකි.  නිරාවරන ලෑලිමත රෙරෙප්පු දමා ඇවිදින සද්දයකි.!

මෙවැනි තැනක නිරාවරණ ලෑලි පොළවක් අපේක්ෂා කළහැක.  නමුත් මේ වේලාවට සෙරෙප්පු දමාගෙන සිටින්නට තරම් පහත් තත්වයකට පත් වීමට ලින්ඩාට පුඵවන්ද?  ඒ වනවිට සෙරෙප්පු හඩ දොරේ අනෙක් පස අයිනටම පැමිණ තිබිණ.  සිතුවිලි පාලනය කරගෙන කල්පනාකාරීව හැසිරිය යුතුයයි ඇය සිතා ගත්තාය.  කාරුණික විය යුතුය.  එහෙත් සමාව දෙන්නාවූ මවකගේ විධානාත්මක ස්වරය පාවිච්චි කළ යුතුය.  තමාට කියන්නට තිබෙන්නේ  “ලින්ඩා ......ලින්ඩා රත්තරං.......!  අම්මා ආවා ඔයා ගෙදර එක්කරගෙන යන්න“ කියාය.


දොර විවර විය.  මුලින්ම පෙනුණේ කලහකාරි ගතියක් පළ කළ කටකට ඉහලින් පිහිටි කුඩා දෙනෙතකි.  ඉන්පසු ඒ නොපියවූ කිමෝනාවක් අතින් අල්ලා තද කරගනිමින් කය වසාගෙන සිටි ගැහැණියක වග පෙනින.  ඇගේ හිස සති කිහිපයකින් නොපීරුවා සේය.  කැමරන් මැතිණිය මේ බිය කරු සත්වයා දැක තිගැස්සී මදක් පසුබෑවාය.  එවිට ගැහැණිය සැක සහිත ලෙස බලා කථා කලාය.  


“මොකද?“
“මේ.....මේ...... ඇයට ලින්ඩාගේ විවාහක නම මොහොතකට අමතක විය.  


,මේ  මේ සැම්බුලි නෝනා ඉන්නවද?“ එය උච්චාරණයට අපහසු නමකි.  විශේසයෙන්ම කැමරන් කෙනෙකුට එය අපහසුය.  ගැහැණිය උඩ සිට පහළට ඉතා පරීක්ෂාකාරීව බැලුවාය.  


“එයා ඉන්නේ මෙහේ තමයි. මේ වෙලාවට ගෙයි ඉන්නවද දන්නේ නැහැ.  පඩිපෙළ නැගලා ගියාම දකුණු පැත්තේ තියෙන පළවෙනි දොරයි“කී ගැහැණිය දොර නොවසාම ගෙතුළ අදුරට මුසුවී ගියාය. 


දොර වැසිය යුතුද නැද්ද කියා කැමරන් නෝනා කල්පනා කලාය.  කොයි එකටත් දොර ඇර තිබීම හොදයි.  තමා කොයි එකටත් යනුවෙන් අදහස් කලේ කුමක්දැයි  සිතී ඕ බියෙන් සැලුනාය.  කෙසේ වුවද එය විවරව තිබූවිට අවශ්‍ය වුවහොත් රියදුරාට කතා කළ හැක.  ඇය තරප්පුවේ තිබූ අපිරිසිදු ලී වැට ඇල්ලුවේ නැත.  තොල් තද කරගෙන හිස සෘජුව තබාගත් ඈ පඩි පෙළ උඩට නගින විටත් වරායෙහි හා  නැව්වල සුවද අවට දැවටෙමින් තිබිණ.

ඒ පඩිපෙළ අවසානයෙහි තවත් පඩි පෙළකි.  එහි කෙළවර කවුඵවකි.  එහි දූවිලි බැදී තිබේද නැතහොත් ඒ ලේස් තිර රෙද්දක් දැයි ඕ සිතුවාය.  නමුත් ඇයට එම කවුඵව අසලට යාමට අවශ්‍ය නොවීය.  සෝදා පිරිසිදු කළ දොරක් ඇය නෙත ගැටිණ.  එහි පිත්තල දොර බෝලය හොදින් මැද තිබේ.  කෙසේ වුවද හොද ගෙයක් තිබියදී මෙවන් කාමරයක ජීවත් වීමට නම් ලින්ඩාගේ ඔලුව නරක් වී තිබිය යුතුය. එහි සීනුවක් නැත.  මේ අපිරිසිදු දොරටු නිසා තම අත් මේස් කුට්ටම හොදටම නරක් වනු ඇත.  


දොරට තට්ටු කල හඩ කාමරය තුළ විනිවිද යනු ඇසිණ.  ඕ කිහිප වරක් දොරට තට්ටු කළාය.  ඒ සෑම විටෙකම ප්‍රතිචාරයක් අපේක්ෂාවෙන් බලා සිටියදී ඇගේ සිතෙහි කනස්සල්ලක් වැඩෙමින් පැවතිණ.  දොර විවර වුණි.  ලින්ඩා !ඇගේ මෝඩ පුංචි කෙල්ල ලින්ඩා කිමෝනාවකින් සැරසී එය අතකින් අල්ලා ගෙන සිටියේ පහත මාළයෙහි සිටි සක්කරවට්ටම මෙන්මය.  


“අම්මා!!!!!  ලින්ඩා පුදුමයෙන් පස්සට වූවාය.  “  ඔව් ලින්ඩා...... ඕ නොසැලී පැවසුවාය.  “මං ආවේ........
“ෂ්.......ෂ්........“ ලින්ඩා ඇගිල්ලක් දෙතොලට තබා නිශ්ශබ්ද වන ලෙස ඇගවූවාය.  ගෞරවනීය බියකින් සැලුනු ඇගේ දෑස් කාමරයේ එක් පසෙකට යොමු විය.  


“නමුත් ලින්ඩා මං ඔයාගේ අම්මා.... මං පිට.....“

“ඔච්චර හයියෙන් කතා කරන්න එපා අම්මේ.  අනේ.....“ එවර ලින්ඩා ඇගිල්ලක් උලුක් කර පෙන්වූයේ දගකාර දරුවෙකු යම්කිසි හිතුවක්කාර කමකින් වළකන්නට තැත් කරන්නාක් මෙනි.  

“හැරී තාම නිදි“
“හැරී????
“මගේ මහත්තයා“

ලින්ඩා ඒ වචන උච්චාරණය කලේ දෙවියකු ගැන පවසන්නාක් මෙනි.  දේව පූජාවේ දී ශුද්ධ වූ සක්‍රෙම්න්තුව ගැන කථා කරන අයුරින් ඒ මිනිහා ගැන කතා කරන්නට ලින්ඩාට ඉඩදිය නොහැක.  


“මං ඔයාව බලන්න ආවෙත් ඒක නිසා තමයි ලින්ඩා,  කැමරන් නෝනා එසේ කීවේ තමා ට රගපාන්නට තිබෙන කොටස ගැන මෙනෙහි කරමිනි.  දියණියගේ තීරණය ගැන නොතකාම දෙඩිය යුතුය. මේ මධ්‍යාහ්නයෙහි කිමෝනාවක් ඇද සිටින්නට තරම් බලවත් වරදක් කර තිබෙන ලින්ඩාගේ විලාශය දැකීමෙන් ඒ හැගීම වඩා බලවත් වී විශාල ධෛර්යයක් ඉපදුණි.  තමා යටත් කරගන්නට දෝනියන්දෑට ඉඩදිය නොහැක.


“මං ඇතුලට එන්න ඕනෙ.“

“ඔව් අම්මේ ඇත්තටම සතුටුයි අම්මා දකින්න ලැබුණුට.  හැබැයි සද්ද කරන්න නම් එපා.  හැරී ගෙදර ඉන්න දවස්වලදී හොදට නිදාගන්න ඕනිනේ.  මෙහෙන් වාඩිවෙන්න.  “   කිමෝනාවේ විවරය අතින් තදකොට ගත් ලින්ඩා පරණ තාලයේ සෝපාවක් දැක්වූවාය‍.  එය නවීන මෝස්තරයක් සහිත රෙද්දකින් ලිහිල්ව ආවරණය කොට තිබුණි. 


“මං ඉන්න විදිය ගණන් ගන්න එපා“ ඕ සමාව අයදින විලාශයෙන් කිමෝනාව අල්ලාගෙන පැවසුවාය.  


“හැරී ගෙදර ඉන්න කොට මං ජීවත් වෙන්නේ එයාගේ වැඩ පිළිවෙල අනුවයි.  එයා ආයෙත් නැවට ගියාම මම සාමාන්‍ය විදියට වැඩ කරනවා“  


මෙවැනි ස්ථානයක සාමාන්‍ය ආකාරයට වැඩ කළ හැකිද?  ඈ වටපිට බැලුවාය.  කාමරයේ බිත්ති දෙකක් තද කොළ පාටකින් සායම් කොට ඇත.  වීදිය දෙසට මුහුණලා  පිහිටි ජනේලයක් සහිත බිත්තියෙහි හුණු හූරා  දමා තිබිණ.  එහි තැනින් තැන කලින් අලවා තිබූ බිත්ති කරදාසිවල සළකුණු පෙණින.  සිවිලිම හරහා සිතියමක රේඛා මෙන් තැනින් තැන පැලුණු පාරවල් විය‍.  


“මම මේවාට සායම් ගානවා.  මගේ අනික් චිත්‍ර වැඩ ඇරුණම මේක හරි විනෝදයක්


ලින්ඩාගේ අනෙක් චිත්‍ර නිකම්ම දිය සායම් හෝ තෙල් සායම් පැල්ලම් සටහන් කිරීමකි.  කාමරයේ එක් කෙළවරක කැන්වස් හා කරදාසිවල සටහන් වූ එවැනි චිත්‍ර කිහිපයක්, චිත්‍ර රදවන රාමුවක් වටා විසිරී තිබිණ.  චිත්‍ර රාමුව ඉදිරියෙහි කුඩා බංකුවකි.  නියම පිළිවෙලකට පාට කරනවා නම් ඇගේ චිත්‍රය හොදය.  නමුත් මහාචාර්යවරයාත් දියණියත් කිසිවිටෙක චිත්‍ර ඇදීම බරපතල ලෙස ගණන් ගත්තේ නැත.  පියාගේ අඩිපාරේ ගිය දුව විද්‍යාවට දස්කම් දැක්වූවාය.  ලින්ඩා ඉතා බුද්ධිමත්ය.  එහෙත් පසුව ඈ විද්‍යා විෂයයන් අත හැරියාය.  දැන් ඈ චිත්‍ර අදියි.  නමුත් එය ක්‍රමානුකූලව කරන පාටක් නැත.  මේ ඉරි බෝල හා පෙට්ටි සහිත විකාරයකි.  හොදට අදින්න හැකි උදවිය මේ විකාර නොකොට හොද චිත්‍ර ඇදිය යුතුය.



ලින්ඩා පුතකු වුවානම් ඔවුනට තවත් දරුවකු සිටියානම් තත්වය වෙනස්ය.  විද්‍යාව යනු ගැහැණු දරුවෙකුට උචිත විෂයක් නොවිය හැක.  නමුත් එය ලින්ඩාගේ හෝ තමාගේ වරදක් නොවේ.  මහාචාර්යවරයාගෙන් දරුවෙකු ලබා ගන්නට තිබු අමාරුව දන්නේ දෙවියන් පමණකි.  දැන් එය තේරුමක් නැති වී තිබේ.  දුව විශ්වවිද්‍යාලයට යන තුරුම ජේම්ස් ඇය ගැන උනන්දු වූයේ නැත‍.  මේ සියල්ල සිදුවී තිබෙණුයේ ඉතාම අවාසනාවන්ත ලෙසය. මේ බුද්ධිමත් තාත්තාත් දුවත් අතර ජීවත් වීම සදහා ඇයට විශාල සටනක් කරන්නට සිදු විය.  එනමුදු මේ දෙදෙනාගෙන් එක් අයෙකු හෝ තේරුම් ගැනීමට ඕ අපොහොසත් වූවාය.  සැම විටම ඔවුන්ගේ ඇසුරෙන් තමා පහකරන ලද්දාසේ ඇයට දැණින.  ඕ නිරන්තරයෙන්ම කාන්දම් දෙකක් මැද තිබූ ඇල්පෙනෙත්තක් බදු වූවාය.  


එය ඉතා දුෂ්කර ජීවිතයකි.  ලින්ඩා ඉපදීමට පෙර වුවද කිසිම දෙයකින් ජේම්ස් සතුටු කිරීම අපහසු කරුණක් විය.  ලෝකයේ මිම්මෙන් මෙතරම් හොද ස්වාමියෙක් ලැබෙන්නේ නැතිව නිකම් සාමාන්‍ය මිනිසෙකු හා විවාහ වූවා නම් කෙතරම් හොදදැයි ඇය නිතර සිතුවාය.  මේ මහා බුද්ධ්මතුන් හා එකට විසීම අමාරුය.  බුද්ධිමතුන්ට සාමාන්‍ය මිනිසුන්ගේ ලෝකයට පිවිසිය නොහැක.  


“අම්මේ තේ ටිකක් බොමුද?
“තේ.....? නෑ ඕන නෑ මේ දැන් මං......
“කොහොමටත් දැන් හැරීට තේ හදන්න ඕනේ.
“දැං මට නම් එපා ළමයො මට දැන් උවමනා....
“අම්මේ කරුණාකරලා මතක තියා ගන්න මම ළමයෙක් නෙවෙයි.


“ලින්ඩා තාත්තායි මායි කියන්න කැමතියි ඔයාට උවමනානම් ඕනිම වෙලාවක අපේ ගෙදර එන්න පුඵවන් “  ලින්ඩා පුදුමයෙන් බලාසිටි නිසා ඈ කතාව නැවැත්වූවාය. 


“ගෙදර එන්න???? දුව හිස සොලවමින් සිනහා වන්නට වූ නිසා අම්මා විමතෙියෙන් ගල් ගැසුනාය.  කර සෙලවීම නිසා කිමෝනාව මෑත්වී ඇගේ කුඩා පියයුරු පෙනෙනතුරුත් ඕ සිනහා සුනාය.  දෙයියනේ....!කිමෝනාව යටින් මේ කෙල්ල කිසිම දෙයක් ඇදලා නෑ! කිසිම දෙයක් ඇදලා නෑ!


“ගෙදර එන්න?? ලින්ඩා පුනරුච්චාරණය කලාය.  ඇගේ සිනහව නිසා කාමරය පුරා කිසියම් අසහනකාරී ගතියක් පැතිරිණ.  


“ මේ සේරම දාලා යන්න???? අම්මා හරිම විහිඵකාරියක්නේ.  


“මට ඒකේ කිසිම විහිඵවක් පේන්නේ නෑ ලින්ඩා මං හිතුවා මේ වෙනකොට ඔයා කරපු මෝඩකම ගැන තේරිලා ඇති කියලා.  නැවතත් වැරදි කතාවක් කියවේදැයි ඕ මොහොතකට සිතා බැලුවාය.  සෑම විටෙකම ඈ අතින් කියැවෙන්නේ වැරදි වචනය.  ජේම්ස් හා දොඩනවිට වුවද එසේමය.  මේ ගමනට ඔහු පැමිණිය යුතුව තිබිණ.  මෙවැනි උගතුන් දෙදෙනකු අතර තමා පමණක් තැලී පොඩිවීම අසාධාරණය.  ඈ තාත්තාත් දුවත් අතර නිරන්තරයෙන් එහාට මෙහාට විසිවනුයේ පිහාටු පොරොප්පයකු සහිත පන්දුවක් මෙනි.  ආපස්සට........ඉදිරියට.......ආපස්සට.........ඉදිරියට  තමා නියම පිහාටු පොරොප්පයකි.  දුවගේ මුව දරදඩු වී යනු අම්මා දුටුවාය.  එය අම්මා හොදින් දන්නා ලක්ෂනයකි.  තමා අතින් වැරදි යමක් කියවුනිදැයි ඕ නැවත සිතුවාය.  ලින්ඩාගේ දෙනෙත්වල කෝපය සනිටුහන් විය.  මෙය ඉතා දුෂ්කර අවස්ථාවක් වනු ඇත‍. මදක් හැඩිය යුතුද? දැන්මම නොව කදුඵ පසුවට තබාගත යුතුය.  දැන් තමා සංසුන්ව ස්ථිරව සිටියයුතු අවස්ථාවය.  පන්දු පිටියේ ජේම්ස් ගේ පැත්තට පැන ගතයුතු වෙලාවය.


“තාත්තා මට කිව්වා ඔයාට කියන්න කියලා.....!
“අනේ අම්මේ පිං සිද්ධ වෙයි.  මං හරිම සතුටුයි අම්මා දකින්න ලැබුණට. අම්මා දකින්න මං කවදත් සතුටුයි.  ඒ වුණාට මේ පරණ මෝඩ කතා ඇදගන්න එපා.  මට තාත්තා ගැන අහන්නවත් තාත්තා දකින්නවත් උවමනා නැහැ.  තාත්තා කියන්නේ මට පේන්ඩ බැරි නාකි මිනිහෙක්.


“ලින්ඩා ..... ඇයට කියවුනේ දැඩි ස්වරයකිනි.  එය සගවා ගත හැකි දෙයක් නොවීය.  පාලුවෙන් තනිකමෙන් ගෙවී ගිය කාලය ගැන ලින්ඩා දන්නෙහිද?  එහෙත් දැන් ගැන සිතීම විශාල දුක් ගින්දරකි.  ඇය ඉතා අසරණ ලෙස කාමරය සිසාරා බැලුවේ තමා වැටුණ තැනින් ගොඩ එන්නට ආධාරකයක් සොයමිනි.  දැන් සදහටම වැලලී ඇතැයි සිතූ ඒ දුක් මුසු අතීතයෙන් ගොඩ එන්නට කුමක් හෝ කරුණක් සොයා ගැනීම අවශ්‍ය විය.  


ඇත්ත වශයෙන්ම ඇය ගලවාගන්නට දෙයක් ඒ කාමරයේ තිබිණි.  මුල්ලග තිබූ පුටුවක් මත කඵ රෙදි බෝනික්කකු විය.  


“ලින්ඩා  ඔයා ලග තාම ඩොගල්ස් ඉන්නවනේ,........!  නැවතත් අප්‍රසාදයෙන් මව දෙස බැලූ ලිනඩා පසුව සිනහසුනාය.  


“ආ.....ගොලියෝග්ද අම්මේ. අනේ මගේ අම්මා කොච්චර හොදද?  ඔව් මං ඒක තියාගෙන ඉන්නවා. ඒක මට දුන්නේ අම්මා නේද?


කඵ රෙදි බෝනික්කා දකින්නට ලැබීම කෙතරම් හොදද?  එයින් අප්‍රසාදය මකා ගත හැකිය.  පෙරට වඩා සමීප ගතියක් ඇතිවී නැවතත් ඔවුහු අම්මා  දුවගේ තත්වයට පත් විය.  අම්මා ගොලියෝග්  දෙස බැලුවේ ඉතා ස්තුතිවන්තවය.


“තාත්තා කිවුවා ඒක මහ මෝඩ තෑග්ගක් කියලා.  
එවර ඔවුහු නැවතත් දෙපසට වන්නට පටන් ගත්හ.  


“එයා එහෙම තමයි. පුදුමයි මට ගණිත චක්කර පොතක් තෑගි නොදීපු එක!

“අනේ ලින්ඩා කරුණාකරලා.......... කැමරන් මැතිණිය නැවතත් ක්‍රීඩා පිටියේ මැද්දට වැටී තිබේ.  ඇතැම් විටෙක ඕ සැමියාටත් දියණියටත් වෛර කලාය.  ඒ දෙදෙනා නිසා තමා කෙතරම් දුක් විදිය යුතුදැයි ඔවුන් දන්නේනම් කෙතරම් හොදද?


“අම්මාට තේ ටිකක්?
“මං අම්මට තේ ටිකක් හදන්නම්.  ලින්ඩා උපක්‍රමශීලීව කතා කලාය.  
“හැරී ඉක්මනට නැගිටීවි. එයා නැගිටිනකොට මම තේ හදලා තියන්න ඕනේ.  


කිමෝනාවක් දවටගත් දියණිය කාමරයෙන් පිටවී කුස්සි පොඩ්ඩකට යනු ඈ බලාසිටියේ එක්තරා සතුටකිනි.  ගෑස් උදුන පත්තු කරන හඩත්, කෝප්ප පීරිසි හෝදන හඩත් ඇසිණ.  සැම විටකම ගේ දොර කටයුතු කෙරෙන හඩ ඇයට සමීප ගතියක් දනවයි.  ඕ වඩාත් පරික්ෂාවෙන් කාමරය සිසාරා බැලුවාය. 



කුඩා කුස්සියට යන්නට තිබූ දොර හැරෙන්නට තවත් දොරක් තිබුණි.  ඒ ඔවුන්ගේ නිදන කාමරය විය යුතුය.