Monday, August 15, 2011

ඌරුපැලැස්සේ ඉතිරි කොටස

ඌරුපැලැස්සේ ගම මහගේට දූවරු දෙදෙනෙක් වූහ.  එකකු රන් මැණිකාය.  බාල දූ කඵ මැණිකා වූවාය.  තම ගෙදරට අලුත ආ කොලුවා කවරකු වුවද වාසනාවන්ත උත්සාහවන්ත කොලුවකු බව ගම දෙමහල්ලෝ මැනවින් දත්හ.  එහෙයින් ඔහු බෑනා කරගැනීම ගැන ඔවුන් අතර විවාදයක් නොවීය.  එහෙත් සරණ පාවා දිය යුත්තේ දියණියන්ගෙන් කවරකුදැයි යන්න තරමක ප්‍රශ්ණයක් විය.  මන්ද වැඩිමහල් දියණිය වූ රන්මැණිකා එද්දළයා සමග විවාහයට අකමැති වීම නිසයි.  එහෙත් බාල දියණිය කඵ මැණිකා මාපියන්ගේ ඉල්ලීම පිළිගත්තාය. මාපියෝ තම දරුවන්ගේ දියුණුවම පතන්නේය.  එහෙයින් මාපියන්ගේ අණ පිළිගන්නට මා සුදානම් යයි කඵමැණිකා කීවාය.  එද්දළයා ද අකමැත්තක් නැතිවම යෝජනාව පිළිගත්තේය.  එහෙයින් එද්දළයා හා කඵමැණිකා අතර විවාහය අප්‍රසිද්ධියේම සිදු විය.

දිනක් කුමාරයා කුඹුරෙහි වැඩකොට වෙහෙස මහන්සි වී ක්ෂුධාව නිසා පැලටවී සිටියේය.  වැඩි වේලාවක් යන්නට පෙරාතුව කඵමැණිකා කෑම ද ගෙන කුඹුරට පැමිණියාය.  ඔහු කෑම කා සැප නින්දට වැටුණි.  කඵමැණිකා පවන් සලන්නට විය.  මද වේලාවකින් ඔහුගේ සැප නින්දට බාධා පමුණුවමින් භයානක සිහිනයක් දැක අඩ නින්දෙන් අවදි වූහ.  මේ සිහිනය තමාට රජ සැපක් ලැබෙන බවට පෙර නිමිත්තක් බව කුමාරයා නිසැකවම දත්තේය.  

මේ අවධියේදී කාවන්තිස්ස රජ්ජුරුවෝ මියගොස් තිබිණ.  ඇමතිවරු රාජ්‍ය කටයුතු පැවරීමට ගැමුණු කුමරු සොයමින් කොත්මලය ප්‍රදේශය සිසාරමින් ඇවිද්දාහ.  කුමරු වඩා හිදුවා ගෙන යාම සදහා ගෙනා වෙළඹ මාස්වෙලදී කුමරුගේ ඉව දැන නැවතුනාය.  මෙතැනදී ඇමැතියෝ තමන් ගෙනා සක නාද කරන්නට වූහ.  අදත් මෙතැන සක්මඩගල නමින් ගලක් තිබේ.  වෙළඹ එරුණු තැනට වලාහක කුඹුර යයි කියති.

මේ වනවිට කුමරු සිහිනය දැක සත් දිනක් ගත වී තිබුණෙන් අද නම් තමා සොයා ඇමැතියන් නොඅනුමානවම එතැයි බලාපොරොත්තුවෙන් විහාරයෙහි පින්කමටද සහභාගී වෙමින් සිටියේය.  තූර්යනාද සහිත පෙරහැර විහාරය අසලට පැමිණෙන විට එහි සිටි ඇතැම් ගමරාළලා කුඹුරට සමච්චල් කරමින් “කාවන්තිස්ස රජ්ජුරුවන් වහන්සේ මළ හෙයින් ඌරුපැලැස්සේලාගේ හරක් බලන ගොම්බෙටි එද්දළයා රජකමට ගැනීමට පෙරහැරක් එතැයි කියන්නට වූහ.  පෙරහැර විහාරය අසලටම ඇවිත් නැවතිණ.  වෙළඹ කුමරු ළගට ගොස් දණ නමා ඔහු කරපිට හිදුවා ගන්නා විට ගමරාළලා ක්ලාන්තව ගියහ. මෙතැනදී කුමරු කෘතවේදී පුද්ගලයෙකු හැටියට තමාගේ ආදරණිය බිරිද අමතක නොකලේය.

“දුල ගාමිණි කුමරු කරනට කාර                                සුබ
  රන් මැණිකෝ පින් නොකලේ මන්ද                        නුබ
  හෙළ දිව කිරුළ මපියාගෙන් මෙදින                         ලැබ
  රජ කරනට කඵ මැණිකෝ වරෙන්                            නුබ

දන් පින් කරන අයමයි සොද රජ                              වෙන්ට
අනේ බැරිවෙච්චි රන් මැණිකට                                  යන්ට
ආලයෙන් සිටපු නුඹ සරි                                         සැමදාට
කඵ මැණිකෝ වරෙන් දැන් මාගම්                              යන්ට
 
කුමාරයා වෙළඹගේ පිටට නැග කියුවේ යැයි ජනප්‍රවාදයේ එන කවි දෙකකි ඒ.  මෙය කුමාරයාගේ ප්‍රබන්ධයක් නොව පසු කාලයකදී ගැමියන් විසින් ප්‍රබන්ධ කරන්නට ඇතැයි මුඛ පරම්පරාවෙන් එන්නකි.  කව් කෙසේ කවුරුන් කියූවද මෙවැනි රචනයක් ඇති වුයේ සිද්ධිය සත්‍යවූවක්ම නිසාවෙනි.  ඒ හැරෙන්නට ගැමුණු කුමරු කඵ මැණිකා මාගමට ගෙන ගිය බවද සත්‍යයකි.  ඇගේ පුත්‍රයා සාලිය කුමරු බවට පිළිගැනීමක් ඇත.  සාලියට රාජ්‍යෙයේ උරුමය නොලැබුනේ සැඩොල් ස්ත්‍රියක් විවාහ කරගැනීම පමණක්ම නොව ඇගේ මවගේ සිද්ධිය බවද පැරැන්නන්ගේ විශ්වාසයයි.


පැරණි පොත පතින් උපුටා ගත්තකි.

3 comments:

  1. මම් නම් හිතන් හිටියේ සාලිය කුමරුට රජකම ලැබුනේ සැඩොල් ස්ත්‍රියක් කරකාර බැදගත්ත නිසාම කියලයි.
    අද තමා දන්නේ ඒකට වෙන හේතුවකුත් බලපෑවා කියලා.

    ReplyDelete
  2. හ්ම්ම කතාව අහලා තිබ්බට අද තමා මුලුමනින්ම කතාව කියෙව්වෙ . සාලිය කුමාරයාට රජකම අහිමි වීමට තම මව රජ කුලයක කාන්තාවක් නොවීමත් බලපාන්න ඇති ....

    ReplyDelete
  3. පව් අප්පා සාලිය කුමාරය..වෙන රටවල කතාවලට වැඩියෙන් අපේ රජ කතා කියල ඩෙන එකනම් ලොකු පිනක්..

    ReplyDelete

කියවලා බලලා හිතට දැනෙන අවංකම දේ මෙතන කුරුටු ගෑවොත් ඒක මට ලොකු ශක්තියක්. ඒ නිසා ඔයාලගේ හැගීම් වචන වලට පෙරලන්න අමතක කරන්න එපා...!!!!!