Wednesday, September 9, 2015

සිසුවාගේ දස්කම



කාලෙකට පස්සේ පුංචි කතාවක් මතක් වුන නිසා මේ පැත්තට ඇවිත් යන්න හිතුවා.

ඔන්න එක්දහස් නවසිය බර ගනන්වල එක්තරා මිශ්‍ර පාසැලකට පරීක්ෂණයක් සදහා පරීක්ෂකවරු කිහිපදෙනෙක් පැමිණියා.  මේ අය අතර හිටියා මැදි වයසේ පරීක්ෂක මහත්මයෙක්.  මේ පාසැලට අලුතින් පත්වෙලා ආපු රූමත් තරුණ ගුරුවරියන් කිහිප දෙනෙකුත් හිටියා.  ඇත්තටම මේ දර්ශනයෙන් පරීක්ෂක මහතාට මොකද්දෝ හිතිලා තියෙනවා. 

ඉතින් එතුමා එක පන්තියක ශිෂ්‍යයන්ට වැඩක් පවරලා පංති කාමරයට පිටතින් ඒ අත මේ අත ඇවිදින්න පටන් ගත්තා.  මේ ඇවිදින අතරේ එතුමාට ගුත්තිල කාව්‍යෙය් එන රසවත් කවියක් මතක් වුනා.  ඒ කවියත් බොහෝම මිහිරි විදියට ගායනා කරමිනුයි එතුමා එහේ මෙහේ සක්මන් කරන්නට පටන් ගත්තේ. 

දිමුතු යසස් වන් කුසුම සරා          ගේ
නුමුතු සුවද මල් පැළද සරා          ගේ
දකිතු රගන සුරගන රගලා                        ගේ
..........................................................

අනේ ඉතිං පළමු පද තුන ගායනා කළාට මොකද අන්තිම පදේ එතුමාට අමතක වුනා.  එතුමා නැවත නැවත ඉහත පද තුන ගායනා කලත් හතරවැනි පදය මතක් වුනේම නැහැ.  මේ දිහා බලාගෙන හිටපු එක්තරා ඉහල පංතියක ශිෂ්‍යෙයක් , පරික්ෂක වරයා තුන්වන පදය කියනවාත් සමගම,
උමතු වෙලා දගලනවා වාගේ .... 

කියලා කවිය සම්පූර්ණ කලා.  පරීක්ෂක තුමාට හිතුනේම මේ ශිෂ්‍යයා තමන්ට මදිපුංචි කමක් කලාය කියලමයි.  ඔහු ලමයා දිහා ඔරවා බැලුවා.  මේ අතර  ළමයින්ට කිරීමට දී තිබූ ගණිත අභ්‍යාස අවසන් කොට තිබූ ඉහත සදහන් ළමයා ඒවා නිවැරිදි බව පරීක්ෂා කිරීමට පරීක්ෂක මහතා අතට පත් කලා.  සියලුම ගණන් හරි නමුත් පරීක්ෂක තුමා කලේ ඔක්කොම ගනන් වැරදියි කියමින් කොළය කටුගා ළමයාගේ නමට බිංදුව දැමීමයි.

තමන්ගේ ගනන් සියල්ලම හරි බවත් තමා කියපු කවි පදයට තරහ ගිය හින්දා ඒකට පළි ගන්නට මෙය අවස්ථාවක් කරගත් බවත් ළමයාට තේරුම් ගියා.  ඒ විතරක් නෙවෙයි ළමයාගෙන් තවදුරටත් පලි ගන්නට සිතුව පරීක්ෂකවරයා අර ළමයා ත් ඒ පංතියේ හිටපු අනෙක් දරු දැරියන්වත් තමාගේ ඉදිරියට කැදෙව්වා. 
හම් උඹලා දැන් එක් එක්කෙනා කවිය බැගින් කියන්න ඕනෑ....... ඔහු ළමයින්ට අණ කලා.

ළමයි හැමෝම තමන් දන්නා මොකක් ම හරි කවියක් කිවුවා.  වරදට අහුවුණ ළමයාගේ වාරය පැමිණියා.  ...කියාපන් උඔත් කවියක්.....ඔහුටත් අණ ලැබුණා.  ළමයා පරීක්ෂකවරයා දෙස හොදින් බැලුවා.  ඔහුගේ බඩ ඉදිරියට නෙරා විත් තිබුණා.  ඒ වගේම තට්ටයත් පෑදිලයි තිබුනේ.  රැවුලකුත් තිබුණා.  ළමයා කවියක් කිවුවා.  ඒ කවියෙන් බයට පත් වුන පරීක්ෂකවරයා ඉක්මනින්ම ළමයාගේ කඩදාසිය ගෙන ඔහුගේ ගණන් නැවත පරීක්ෂා කොට බින්දුව වෙනුවට නියමිත ලකුණු දමා විභාගයෙන් සමත් බවත් ප්‍රකාශ කලා.  ඉතින් දන්නවද ළමයා කියපු කවිය මොකක්ද කියලා.???

තට්ටෙ රත්                     වේවා
රැවුළට ගිනි                 ගැනේවා 
තඩි බඩ පැළේ                    වා
බොරුව කෙරුවට සාප    වේවා

No comments:

Post a Comment

කියවලා බලලා හිතට දැනෙන අවංකම දේ මෙතන කුරුටු ගෑවොත් ඒක මට ලොකු ශක්තියක්. ඒ නිසා ඔයාලගේ හැගීම් වචන වලට පෙරලන්න අමතක කරන්න එපා...!!!!!