සිංහල ගැමි සමාජය දෙස විමසුම් ඇසකින් බලන කල
ඔවුන්ගේ දුෂ්කර දිවි පෙවෙත වටා ගෙතී ඇති
හාස්‍ය රසයෙන් යුතු ජනකතා රාශියක්
අදත් අසන්නට ලැබේ. ඒවා වඩාත්ම රසවත් වන්නේ කතාවක් පමණක්ම නොවී සත්‍ය
සිදුවීමක් වටා ගොඩනැගී ඇති නිසාවෙනි.
අද මෙන් නොව එකල ගම්මාන මෙතරම් ජනාකීර්ණ නොවූ අතර
මහා විශාල වනාන්තරයන්ගෙන් වැසීගත් පෙදෙස්වල දිළිදු ගම්වැසියන් පදිංචිව සිටියේ
තරමක් ඈතට වන්නටය. එක නිවෙසක සිට අනෙක්
නිවෙස පෙනෙන තෙක් මානයේ පිහිටියේ ඉතාමත් කලාතුරකිනි. වැවක්, කුඹුරක්, දිය කඩිත්තක් ආශ්‍රිතව පිහිටි
ගම්වල වැසියන්ගේ ප්‍රධාන ජීවනෝපාය වූයේ ගොවිතැනයි. එයිනුත් වැඩිපුරම දක්නට ලැබුනේ හේන්
ගොවිතැනයි. ඔවුන්ගේ හේනක් කොටන්නට පවුලේ
සියල්ලෝම තම දාඩිය වගුරුවති. ලොකු කුඩා
භේදයක් ඔවුන් අතර නැත. තමන්ට හැකි පමණින්
උදව් කිරීම පවුලේ සියලු දෙනාගේම වගකීමක් හා යුතුකමක්වේ. එය හිතන තරම් ලෙහෙසි කාරියක්ද නොවේ.
වැටකොළු, වට්ටක්කා, පුහුල්, කැකිරි, කුරහන්, ,
මිරිස්, මුං ආදිය එම හේන්වල වගාකරනු ලැබේ.
හේනක් අස්වැදීමෙන් පසුවද ගොවියාට වන සතුන් හා මහා සටනක් කරන්නට සිදුවන්නේ
අස්වැන්න බේරා ගැනීම සදහාය. වල් අලි,
ඉත්තෑවෝ, මුවෝ , වල් ඌරෝ වැනි සතුන්ගෙන්
වන පීඩා අනන්තය. දහවල් කාලයේදී වී කුරුළු,
ගිරා, කොබෝ ආදී පක්ෂීන්ගෙන් හේන බේරා ගත යුතුය. දහවල් කාලයේදී හේන් බලාගන්නේ කුඩා
දරුපැටවුන් හා ගෙවිලියන්ය. මෙවැනි ඇතැම්
පළාත්වල තම පවුල් පිටින්ම හේනේ පැලක ජීවත් වීම සිරිතක් කොටගෙන ඇත.
අප රට ඉංග්‍රීසි ජාතිකයන් අතට පත්ව පැවති කාලයේදී
උඩුදුම්බර කන්ද පහළ කොරළයේ ගුරුපොත නම් ගම ඉතාමත් දුෂ්කර පෙදෙසක්ව පැවතියේය. ගුරුපොත ගමට ප්‍රසිද්ධ පාරක් හෝ අඩි පාරක්
නොතිබූ අවදියෙකි ඒ. මෙගම විසූ සියාතු
අයියාත් හේන් ගොවිතැනින් තම ජීවිකාව ගෙන ගිය අයෙකි. ඔහු තමන්ගේ හේන ආරක්ෂා කලේ දිවි දෙවැනි
කොටයි. අස්වැන්න වල් සතුන්ගෙන් බේරා ගන්නට
ඔහු දිවා රෑ නොබලා කටයුතු කලේ අඹු දරුවන්ගේද සහයෝගය ඇතිවයි. එහි ප්‍රථිපලයක් ලෙස ඔහුගේ බඩඉරිගු හේන පුරා
ඉතා සරුවට කරල් සෑදී කිරි වැදී තිබුණි. මේ
හේන පිහිටියේ වනාන්තරයට තරමක් ආසන්නයේය.
සියාතු අයියා විසූ ගමට යාබද ගමේ විසූ පුද්ගලයෙකි
කිරා. ඔහුටද දරුමල්ලන් සිටියත්, කිසිම
දිනෙක ගොවිතැනක් බතක් කිරීමට ඔහුගේ
උනන්දුවක් නොවීය. එසේ වුවද කිසිදා ඔහුගේ
දරුවන්ට කෑමෙන් හෝ බීමෙන් අග හිගයක් තිබුනේද නැත.
කිරාගේ ප්‍රධාන ජීවනෝපාය වූයේ
සතුන් දඩයමයි. ඊට අමතරව සොරකමද සරුවට
කරගෙන ගියේය. හේන් වාරය ආ කල තමන්ගේ අඹු
දරුවන්ට කන්නට නොසෑහෙන සේ එළවළු, බඩ ඉරිගු මුං ආදී අස්වැන්න නිවසේ ඇති පදම්
තිබේ. ඔහු කලේ අනුන් මහන්සියෙන් වගා කොට
රැකගන්නා හේන්වලින් අස්වැන්න හොරකම් කිරීමයි.
කෙසෙල් මුව සේ වටවූ පොල් මලක් පරිද්දෙන් දික්ව
කිරිවැදීගෙන එන සියාතු අයියාගේ හේන දෙස කිරාගේ අවධානය යොමු වූයේ වරක් දෙවරක්
නොවේ. එසේ වුවත් සියාතුගේ දෑසට වැලි ගැසීම
සිතන තරම් පහසු කාරියක් වූයේද නැත. ඒ බව
කිරා හොදින්ම දැන සිටියේය. එබැවින් සියාතු
අයියා හේනට නොඑන දිනයක් ගැන කල් යල් බලමින් ඉවසීමෙන් සිටින්නට කිරාට සිදුවිය. මේ ඉන්නා අතර වාරයේදී දිනක් සියාතු අයියාගේ දරුවෙකු අසනීපෙන් සිටි
හෙයින් ඔහුට හේනට එන්නට නොහැකි බව කිරා දැනගත්තේය. සියාතු අයියාගේ හේනට රිංගා ගැනීමට හොදම දිනය
එදින බව කිරා තේරුම් ගත්තේය.
අද කෙසේ හෝ බඩ ඉරිගු කඩා ගත යුතු යැයි සිතාගත් කිරා
ඒ සදහා තමන්ට තවත් සගයෙකුගේද සහාය අවශ්‍ය බව තේරුම් ගෙන ඔහුගේ මිතුරෙකු වන
උක්කුවාද මේ සදහා කැදවා ගැනීමට තීරණය කලේය.
උක්කුවාට කාරණාව කී කල ඉහටත් උඩින් කැමතිවූ ඔහු දෙදෙනා මුණ ගැහෙන තැනක්
වෙලාවක් නියම කරගත්තේය. එදා මාස පෝය
දිනයක් වූයෙන් සොරකමට කියාපු දිනයක් විය.
“ඕං එහෙනං අද රෑ මැදියමේ දඹගස් තැන්නේ
ගල්දෙබොක්කාව ගාවදී හම්බ වෙමු...උඹ මුලින් ආවොත් දෙබොක්කාව ගාව තියෙන ගල්පොත්ත
අයිනේ දඹ ගහේ වදුලේ හිටපන්. මම කලියෙන්
ආවොත් මාත් එතැනම ඉන්නං. කිරා උක්කුවාට කීවේය.
උක්කුවාද රාත්‍රියේ යෙදෙන වැඩේට සූදානම් විය.
පරිසරයේ කිසිදු හාවක් හූවක් නැත. කෑලි කැපිය හැකි
ඝන අන්ධකාරයට සිය ඇස් හුරුකරගත් කිරා ගෝනියක් කරේ දමාගෙන මුවහත් පිහියත් ඉනේ
ගසාගත්තේය. අනෙක් අතට තුවක්කුවද රැගෙන
හෙමින් දඹගස්තැන්නේ ගල්දෙබොක්කාව කරා ලගා විය.
අන්ධකාරයට දෑස හුරු කරගෙන සිටි හෙයින් දුර තියාම උක්කුවා ඇවිත් ගල් පොත්ත
උඩ ඈදි ගෙන හිදින අන්දම දුටු කිරාගේ මුවට සිහින් සිනාවක්ද නැගුනි. කවට කමක් කරන්නට සුදුසු වෙලාවක් නොවූයෙන් හිතට
ආ සිතුවිල්ල සැනෙකින් යටපත් කල කිරා කුහුඹියෙකුටවත් නොදැනෙන සේ අඩි තබා උක්කුවා
ලගට කිට්ටු වී ..“ඇවිත් හුගාක් වෙලාද? යි ඇසීය.
ඒ සැනෙකින්ම ග්රරර්ර්ර් ග්රූ බ්‍රං යන ශබ්දයෙන්
මිතුරා තමන්ගේ මුහුණට කඩා පැන්නේය. එවිටය
ඔහුට අවබෝධ වූයේ එතැන ඉදගෙන සිටියේ උක්කුවා නොව තඩි වලහෙක් බව. වලහාගේ පැනීමේ වේගය නිසාත්, හිතේ පැවති බිය
නිසාත්, පණ නැතිව ගිය කිරා බිම ඇද වැටුනේය.
වඩාත් රෞද්‍ර වූ වලසා කිරාගේ ඇග උඩට පැන්නේ ඔහුගේ අතේ රැදි තුවක්කුවද පසේකට
විසි වෙන්නට හරිමිනි. කෑකෝ ගසමින් වලහා
සමග මාරාන්තික සටනක නිතරවූ කිරාට කරකියාගත හැකි දෙයක් නොවූයේ අසලක කිසිවෙකුත්
නොසිටි නියාවෙනි.
ඔහුගේ ඉනේ ගසාගෙන සිටි පිහියද ඒ වන විට ගිලිහි
ගොසිනි. අතින් පයින් පමණක් වලහා සමග සටන්
කර දිනන්නට නොහැකි බව ඒ වනවිටත් කිරාට ඒත්තු ගැන්වී අවසානය. මරබියෙන් ඔහු කෑ මොර දෙද්දී එතැනට ලගා වූයේ
උක්කුවාය. තරමක් දුර තියාම උක්කුවාට කිරා
කෑ ගසන ශබ්දය ඇසුනේය. කාරණය වහා තේරුම්ගත්
උක්කුවා කිරාගේ පිහිටට ආවේය. අතපත ගා
සොයාගත් පොල්ලකින් උක්කුවා වලහාට පහර දෙන්නට විය.
එසැනින්ම කිරාගෙන් මිදී ගත් වලස් තඩියා උක්කුවා දෙසට පැන්නේය. වලහාගේ පැනීමෙන්ම බිම වැටුනු උක්කුවාට වලහාගෙන්
ගැලවීමක් නොවූයේය.
එවේලේ නැගිටගත් කිරාට තමන් ගෙනා තුවක්කුව සිහිවී
අදුරේම එය සොයා ගත්තේය. ඒ මොහොතේ උක්කුවා
වලහා සමග මාරාන්තික සටනකය. වරක වලහා උඩු
අතට සිටියද තවත් විටෙක උක්කුවා උඩු අතට සිටියේය.
මේ නිසා කිරාට හරි ඉලක්කයක් ගැනීමට කල් ගන්නට සිදුවිය. මෙසේ ඉන්නා විට කිරා ගෝනිය තිබෙන්නේ කොහේදැයි බැලූකල
එය අතට අසුවූයෙන් යටින් සිටින්නේ වලහා යයි සිතා තුවක්කුවෙහි කොකා ගැස්සුවේය. ඒ වෙඩි හඩත් සමගම උක්කුවාගේ මරලතෝනිය ඇසෙන්නට
විය. බලන විට වෙඩිල්ල වැදී තිබුනේ වලහාට
නොව උක්කුවාටය. උක්කුවාගේ හඩින් බියපත් වූ
වලහා පණ එපා කියා කැලෑව දෙවනත් කරමින් දිව ගියේය.
තමන්ගේ ඉලක්කය වැරදී උක්කුවාට වෙඩි වැදුනු බව තේරුම් ගත් කිරා වෙව්ලමින්ම
අසල ගමට ඇහෙන්නට කෑ ගසන්නටත් හූ හඩ තලන්නටත් විය.
මරලතෝනි දුන් උක්කුවා ඉන් පසු නිහඩ විය. කැලෑව මායිමෙන් ඇසෙන හූ හඩින් අවදිවූ ගම්වැසියෝ
හුළු එළි පත්තු කරගෙන ඒ දෙසට දිව ආවේය.
“අපි දෙන්නා දඩයමේ ආවේ. මග රැක උන්නු තඩි වලහෙක් මයේ ඇගට කඩාන
පැනපි. උක්කුවා ඒ වලස් තඩියාට පොල්ලෙන්
පහර දුන්නම ඌ උක්කුවාව පෙරලා ගත්තා. මම
වලහායි හිතලා වෙඩි තිබ්බට වෙඩිල්ල වැදිලා තියෙන්නේ උක්කුවාට. .....කිරා ගම් වැසියන්ට කරුණු පැහැදිලි
කලේය. ඔවුන් දෙදෙනා හොරකමේ ආ බවක් කීවේ
නැත. ගම් වැසියන් එක්ව තවමත් පණ රැදී ඇති
උක්කුවාත් , ලේ පෙරෙමින් සිටි කිරාත් ඔසවාගෙන ගමට ගෙනාවෝය. නමුත් සුළු මොහොතකින්ම උක්කුවා අවසන් හුස්ම
හෙලීය.
ගමේ රෝහලක් නොතිබූ නිසා වෙද මහතෙකු ලවා ප්‍රතිකාර
කිරීමෙන් පසු කිරා සුවය ලැබීය. එහෙත් ඔහුට
මිනී මැරීමේ චෝදනාවට මහනුවර උසාවියේ පෙනී සිටින්නට සිදුවිය. අපරික්ෂාකාරී ලෙස තුවක්කුව පාවිච්චි කිරීමෙන්
සිදුවූ මරණයක් යයි සලකා ඔහුට අවුරුද්දක සිර දඩුවමක් නියම විය. අවුරුද්දකට පසු ඔහු හිරෙන් නිදහස ලබා ගෙදර ආ
මුත් “ඇවිත් හුගාක් වෙලාද? කියමින් ගමේ කොලු කුරුට්ටන්ගේ උසුළු විසුළු වලට ලක්වීමට
සිදුවිය. මේ නිසා ආරවුල් ද නිතර ඇතිවූයෙන්
ඔහු ගම අත්හැර අඹු දරුවන්ද සමග වෙනත් ගමක පදිංචියට ගියේලු!!!!!
මේ වග කතාවක් මග දිගට ජනකතා පොතෙනුත් කියෙව්වා වගේ මතකයි
ReplyDeleteනියම කතාවක් !
ReplyDeleteහසිත මලයා කිව්ව වගේ මගදිගට ජනකතා පොතෙත් මෙහෙම මරු මරු කතා තිබ්බා.
“ඇවිත් හුගාක් වෙලාද?" කියන එක එලි වුනේ කොහොමද කියල කියල නැහැනේ මල්මි?
ReplyDeleteවන වදුල
ReplyDeleteඋක්කුවා ලගට කිට්ටු වී ..“ඇවිත් හුගාක් වෙලාද? යි ඇසීය.
ඒ සැනෙකින්ම ග්රරර්ර්ර් ග්රූ බ්‍රං යන ශබ්දයෙන් මිතුරා තමන්ගේ මුහුණට කඩා පැන්නේය. එවිටය ඔහුට අවබෝධ වූයේ එතැන ඉදගෙන සිටියේ උක්කුවා නොව තඩි වලහෙක් බව.
හසිත/මධු
මේක ටිකක් පරණ කතාවක්. පරණ පත්තර කෑල්ලකින් ඇහිදගත්තේ.
මම ඇහුවේ ගමේ කට්ටිය මේකතාව දැනගත්ත විදිහ. ඒක ගැන මේකෙ සදහනක් නැහැනෙ මල්මි?
ReplyDelete