Saturday, June 16, 2012

එක්දහස් එක් රැය (අරාබි නිසොල්ලාසය)



 මේ සමාජයේ ජීවත් වෙලා හිටපු ඇතැම් උදාර මිනිසුන්ගේ චරිත ඇසුරු කිරීමෙන් අපට බොහෝ ආදර්ශමත් දේ දැනගන්නට පුළුවන් කමක් තියෙනවා.  පැරැන්නන් පිළිබද පුරාවෘත්ත ඇසුරු කිරීමෙන් අපේ අනාගතයත් හැඩගස්වා ගන්නට පුළුවන්.  ලෝකයේ සෑම තැනකම පාහේ පතලවී ඇති ඉතාමත් අනර්ඝ කතාවන්ගෙන් සමන්විත  “එක් දහස් එක් රැය මේ වගේ ‍‍ඵෙතිහාසික වෘතාන්තයක්.
                                                                                               
දුරාතීතයෙහිදි ජම්බුද්වීපයත් චීන මහද්වීපයත් ස්වකීය අධිශ්වරත්වයට යටත් කර විසූ මහාධිරාජයෙක් සිටියේය.  ප්‍රතාපවත් මේ රාජයාට බුජ බලයෙන් හා ඔද බලයෙන් යුතු කුමාරවරු දෙදෙනෙක් වූහ.  මේ තමයි ලෝකයේ විවිධ ජාතීන් අතර පතළ වී ගිය අරාබි නිසොල්ලාසය නොහොත් එක්දහස් එක් රැය නම් ජනප්‍රිය කෘතියේ ආරම්භයේ දැක්වෙන විස්තරය.

ඇතැම් විචාරකයන්ගේ මතයට අනුව නම් මේ පොත එතරම් වැදගත් එකක් නොවෙයි.  නමුත් ආරම්භයේදීම දැක්වෙන කෘතියේ ප්‍රධාන පරමාර්ථය හොදින් ඉෂ්ට වී ඇති බැව් මේ පොත කාලාන්තරයක් තිස්සේ පොදු ජනතාව පරිහරණය කරනු ලැබීමෙන් පෙනෙන්නට තිබෙනවා.

සමය, සමාචාරය පිළිබදව ආදර්ශයෙන් තොර කතාවන් ගෙතීමට අරාබි සාහිත්‍ය කැමැත්තක් දක්වන්නේ නැහැ.  මුස්ලිම් සමයත්, එහි දැක්වෙන යුක්තිය, ධර්මය, සාධාරණත්වය, ජනතාවගේ ජීවිතවලට කාවැද්දීමේ පරමාර්ථයෙන් තමයි හැම සාහිත්‍යකරුවෙක්ම තමන්ගේ නිර්මාණ කරන්නේ. එය පිළිගත් මතයක්.  මේ විදියට බලනකොට මුස්ලිම් ප්‍රතිපත්ති අනුව හැඩ ගැසෙන පුද්ගලයෙකු තුළ තිබිය යුතු අංගයන් බොහෝ ගණනක් තිබේ.  කුඩා ළමයෙක් වශයෙන්, ඔහු දෙමාපියන්ට කීකරු විය යුතුයි.  ගුරුවරුන්ට ගරු කල යුතුයි.  සදාචාරය ප්‍රිය කරන්නෙකු විය යුතුයි.  තමන්ට හොද හැදියාවක් තිබිය යුතුයි.  සැමියෙකු වශයෙන් බිරිද හොදින් බලාගතයුතුයි.  රජු වෙනුවෙන් යුද්ධකරන්නට සූදානමින් සිටිය යුතුයි.  ආගන්තුක සත්කාරයට මැලි කමක් නොදැක්විය යුතුයි.  පියෙකු වශයෙන් දරුවන්ට ඒ ඒ යුතුකම් ඉටුවිය යුතුයි. ඔවුන් යහමගට යොමු කල යුතුයි.  ඉතාමත් හොද නිර්මාණාත්මක රසයකින් යුතු අරාබි නිසොල්ලාසයේ මේ කියන හැම ගුණාංගයක්ම ඇතුලත්ව තියෙනවා.

මේ කතා පුවතේ එන මහ රජුගේ පුත් කුමාරවරුන්ගෙන් පළමුවැන්නා ෂාරියර්, තමන්ගේ පිය රජුගේ ඇවෑමෙන් රාජ්‍යපදප්‍රාප්තව සිය සොහොයුරා වන ෂා සාමන් ප්‍රත්‍යන්ත ප්‍රදේශයක් වන සමර් කන්ඩයේ යුව රජ බවට පත් කොට දැහැමෙන් සෙමෙන් රාජ්‍ය කරන්නට පටන් ගත්තා.

මේ විදියට දින සති මාස ආදී වශයෙන් කාලය ගෙවිලා ගියා.  නමුත් මහරජ තමාගේ සොහොයුරු යුව රජු දකින්නට නොලැබුන හේතුවෙන් කනස්සල්ලෙන් තමයි හිටියේ.  නමුත් අවසානයේ දී ෂාරියර් මහරජ සිය මහ ඇමතියා  තමන්ගේ ලගට කැදවා තමන්ගේ සොහොයුරා දකින්නට ඇති කැමැත්ත දන්වා සිටියා.  ඒ වගේම ඔහු තමන් හමුවට කැදවන්නත් නියෝග කලා.

ඔන්න ඉතිං මහ ඇමති යුව රජුට මේ බව දන්වලා හසුනක් යැවුවා.  යුව රජතුමාත් අධිරාජයාගේ අණ පිළිපදිමින්, රාජ්‍ය සංවිධානයත් පාලනයත් උදෙසා සුදුසු විධාන සලස්වා ගමනාරම්භ කලා.

නමුත් තමන්ගේ වැඩිමහල් සහෝදරයා වන අධිරාජයානන් සදහා පඩුරු වශයෙන් ගෙන යන්නට තිබු කිසියම් භාණ්ඩයක් අමතක වෙලා මාලිගයෙහි දමලා තමයි ගමනට පිටත්වෙලා තියෙන්නේ.  මේ බව වටහාගත් යුව රජු සිය ස්මෘති ප්‍රඥාවට නිගා කරගනිමින් හුදකලාවම මාලිගාවට ගියා.

පෑල දොරින් හොර රහසේම මාලිගාවට පිවිසි යුව රජු තමන්ගේ සිරියහන් ගැබට ගිය ගමන්ම දුටුවේ ඉතාමත් දුෂ්ට කෝපය හා ක්‍රෝධය මතුවන අන්දමේ දර්ශනයක්.  තමන්ගේ දේවියගේ සිරියහනේ තවත් කෙනෙකු සිටින ආකාරයයි.  ඔහු රජ වාසල අරක්කැමියායි.  රජතුමා මොහොතක් ගල් ගැසී බලා සිටියා.  මුළුතැන්ගෙයි දුර්වර්ණ වෙලා ඉන්න අරක්කැමියා දෙසත් තමන්ගේ ආදරණිය දේවිය දෙසත් රජු වරින් වර වියරුවෙන් මෙන් බැලුවා.  තම අසිපතින් දෙදෙනාම කපා දමා කිසිවෙකුටත් නොදන්වා මහ රෑම ගොස් තම කණ්ඩායමට එකතු වුනා. 

මුළු මහත් ස්ත්‍රී සංහතිය කෙරෙහිම ලොකු වෛරයක් බැදගත් රජු බලවත් චිත්ත සංතාපයෙන් යුතුව මුළු රැයම නිදිවර්ජිතව ගත කොට පසුදින උදෑසන තම කණ්ඩායමත් එක්ක ගමනාරම්භ කලා.  අනුක්‍රමයෙන් ගම් නියම් ගම් පසුකොට ඔවුන් අධිරාජයාගේ වාසල කරා ලගා වුනා.

අතිමහත් ප්‍රීතියෙන් යුතුව සතුටු කදුළු වගුරුවමින් සිය සොයුරා පිළිගත් ශාරියර් මහ රජ යුව රජතුමාගේ පහසුව තකා නවාතැන් සලසමින් රාජාංගනය සමීපයෙහි මහා මන්දිරයක් ඔහුගේ වාසයට පවරා දුන්නා.  නමුත් ස්ත්‍රියක් තම ස්වාමියාට දැක්විය යුතු ස්වාමි භක්තියට ආගන්තුක වෙමින් දීන පුද්ගලයෙකු හා නොහොබිනා කමක යෙදුන නිසා ඇගේ අවසානය පිළිබද පුවත ගැන වරින් වර මෙනෙහි කල යුව රජු තුල පහළ වුනේ බලවත් චිත්ත පීඩාවක්.  ඔහු තුල පැවති මානසික වේදනාව අනුක්‍රමයෙන් කායික පීඩාවක් දක්වා වර්ධනය වුනා.පුරුෂ ධෛර්යයෙන් හා පුරුෂ වීර්යයෙන් පිරිහී ගියා.  සිය සොයුරු අධිරාජයා තමන්ගේ රාජකීය වෛද්‍යවරයන් ලවා කරවන ලද විධිමත් ප්‍රතිකාර වලින් අනුමාත්‍රයක් හෝ යහපතක් වුනේ නැහැ. 

තත්වය මේ විධියට තියෙද්දී එක් දිනෙක ශාරියර් මහාධිරාජයා දඩ කෙළි සදහා සහපිරිවරින් වනගත පෙදෙසක් බලා නික්ම ගියා.  පුරුදු විදියට වරින් වර අවදි වෙමින් සුසුම් හෙළමින් මුළු කාන්තා සංහතියටම ශාප කරමින් එදින රාත්‍රිය ගත කරන ෂාසාමන් සාමාන්ත රජු අලුයම උඩුමහල් තලයේ පසෙකින් ඇති කවුළුවකින් රාජාංගනය දෙස බැලුවා.  එහිදී ඔහුට දකින්නට ලැබුනේ අපුර්ව දෙයක්.  සමන් පුෂ්ප සුගන්ධයෙන් මිශ්‍ර වූ සුළග සමගින් ගලා බසින සදරැස් පිඩක් මෙන් පවිත්‍ර කාන්තාවක් පරිවාර කන්‍යාවන් කීප දෙදෙකු සමගින් ලැසි ගමනින් එක්තරා රහස් දොරටුවකින් රාජාංගනයට පිවිසෙනවා ඔහුට දකින්නට ලැබුනා.  සිත කළඹන අන්දමේ රූ සපුවකින් හෙබි මේ මහේශාක්‍ය කාන්තාව දෙස තවත් වරක් හොදින් බැලූ විට ඔහුට පෙනී ගියේ ඇය වෙනත් කෙනෙකු නොව තම සොහොයුරු අධිරාජයාගේ අග මෙහෙසිය බවයි.  මේ වගේ කාන්තාවක් තම අග මෙහෙසිය කරගත් මගේ සහෝදරයා නම් බොහොම පින්වන්තයි.  මෙසේ සිතමින් තම දෙනෙත් වටපිටාව නරඹන්නට විය. 

ඒ වෙලාවේ ඔහුට පෙනී ගියේ තවත් අපූරු දර්ශනයකි.  මෙහෙසිය සමග පැමිණි පිරිවර උතුරු සළු ඉවත් කලහ.  එවිට ඔහුට පෙනී ගියේ පැමිණි පිරිසෙන් දහදෙනෙකු ගැහැණුන් වන අතර අනෙක් දහදෙනා පිරිමින් වන බවයි.  මේ පිරිමින් දසදෙනා හැඩි දැඩි සුදු වහලුන් විය.  එක් එක් පිරිමියා එක් කාන්තාව බැගින් අත් අල්ලාගෙල රුක් ගොමු අතරින් නික්ම යන ආකාරය විශ්මිත දෑසින් රජ බලා සිටියේය.  නමුත් අගමෙහෙසිය තවමත් තනිවම සිටියාය.  “අහෝ මාගේ ස්වාමි වූ සයීඩ් ....යයි මෙහෙසියගේ මුවින් හඩක් නිකුත් විය.  “ඒ මොන යකාද? රජු සිතුවේය.  ඒත් එක්කම විරූපී වී ගිය ශරීරයක් හා විශාල උදරයක් ඇති මිනිසෙක් බිමට පැන්නේය.  ඉන්පසු මහත්වූ ගෞරවයකින් යුතුව රාජ දේවිය, කරා එළඹුනේය.  ඇයව වැළද ගත්තේය.  වැළද ගෙන ඇයත් සමග ගස් අතුරින් නොපෙනී ගියේය. 

“අහෝ සර්ව බලධාරී දෙවියනි.....යනුවෙන් පැවසූ රජු  “අනාචාරයේ හැසිරුනු මගේ දේවිය නිසා මා බොහෝ සෙයින් වේදනාවටත් කෝපයටත් පත් වුනා.  නමුත් බලන කොට එය එසේ නොවිය යුත්තක්.  මම සම්පූර්ණ රජෙකු නොවෙයි.  ප්‍රාදේශීය පාලකයෙකු පමණයි.  නමුත් කුල ධර්ම කෙළෙසමින් පතිවෘතාය බිද දැමූ මේ වනචර කාන්තාවගේ සැමියා දේශ දේශාන්තරයෙහි සිය අණ පතුරුවන ප්‍රතාපවත් මහාධිරාජයෙක්.  මේ වගේ පුද්ගලයෙකු පවා කිලිටු සහගත වංචාකාර බිරිදකට රැවටී සිටිද්දී මට වුන විපත එතරම් ගනන් ගත යුත්තක් නොවේ.  එබැවින් මේ ආකාරයෙන් දුක්වීම කිසිසේත්ම වැඩකට ඇති දෙයක් නොවෙයි.  රජු සිතීය. 

විපතට පත් වෙලා ඉන්න තමන්ගේ සොයුරා දැක එයින් ලැබුන ආදර්ශයෙන් දුක නැති කරගත් ෂා සාමන් රජතුමාට ප්‍රකෘති සුවය ලැබුනා.  නැතිවෙලා තිබුන පුරුෂ බලය නැවතත් ලබා කායික හා මානමික ශක්තියෙන් යළිත් යුක්තවූ ඔහුව තමන්ගේ සොයුරු අධිරාජයා විසින් කැදවනු ලැබුවා.

“මගේ දයාබර සහෝදරය, සමර්කණ්ඩයේ අධි නායකයා‍ණෙනි, දැන් තොප දේවාශීර්වාදය ලැබ යළිත් ප්‍රකෘති තත්වයට පැමිණ ඇත.  එය අපගේ සතුටට කරුණකි.  නමුත් මේ ලෙස හදිසියේම සුවය ලැබීමට හේතුවූ කරුණු කවරේද යනු අප වෙත කියනු මැනවි .....යනුවෙන් ඇවිලිටි කලා.  

කොතරම් වසන් කරන්නට හැදුවත් එයින් පලක් නොවූ තැන මහරජුගේ අවසරය ඇතිව කතාව ඇරඹු ප්‍රාදේශීය රජු “රජ මහ වාසලෙහි අග මෙහෙසිය කළ මහා පාපය පිළිබද පුවත පිළිවෙලින් විස්තර කලා.  “මෙබදු තත්වයකට ඔබත් පැමිණ සිටින වග දැකීමෙන් මගේ සිතේ දුක තුනී වී ගියා.  කුමරා කියා සිටියා.

කතා පුවත ඇසූ මහරජු විස්සෝපයට පත් වුනා. ගත වෙව්ලා ගියා.  දිව වියැලී ගියා.  අකුණක් වැදුනු කලෙක මෙන් අසුනෙන් ඉවතට පැන්නා.  “අහෝ!!!! මාගේ සහෝදරය දැන් අපි කුමක් කරමුද?

කෙසේ වුවත් මේ කාරණය රජු සියැසින්ම දැක බලාගත යුතු යැයි ෂාසාමන් රජුගේ යෝජනාව වුනා.  ඒ නිසා මහා දඩ කෙළියක් සංවිධානය කලා.  මහ රජු හා යුව රජු යන දෙදෙනාම පිරිවර සහිතව නුවරින් පිටත ලැගුම් ගෙන පිරිවර රහිතව රහසේම යළිත් මාලිගාවට ආවා. 

කලින් දෙකණින් අසා මනසේ තැන්පත් කර ගත් මේ විපත එපරිද්දෙන්ම සිය දෙනෙතින් බලාගත් මහරජතුමා කොපයෙන් යුතුව, දුෂ්ට ලෝකයෙන් වෙන්වෙලා හුදකලාව ජීවත් වීමෙන් ගැහැණියගේ මායමින් මිදී සිටිය හැකියැයි තීරණය කොට ගත්තා.  ඔවුන් දෙදෙනා මෙසේ කතිකා කොට වෙස් වලාගෙන රජ සැපත අත්හැර දමා මාළිගාවෙන් පිටවුනා.

දින ගණනාවක ගමනින් පසුව මහ මුහුද අසබඩට පැමිනි මොවුන් දෙදෙනා ගණසා මඩුලු ඇති එක් මහ ගසක් මුල ගිමන් හරින්නට පටන් ගත්තා.  සුළු වෙලාවක් ගතවුනා විතරයි මේඝ ඝර්ජනාවක් බදු හඩක් ඇසුණා.  නිමේෂයකින් මහ සයුර දෙස බැලූ ඔවුන්ට පෙනී ගියේ මුහුදු දිය දෙබෑ වෙන බවකුයි.  ඒ එක්කම කාලවර්ණ යෝධ කුළුණක් දියෙන් මතු වුනා.  සුළු වේලාවකින් මේ මහා කුළුණ තමන් දෙසට ගමන් ගත් බව පෙනුනා.  මනාව වැඩුනු කාල වෘක්ෂයක් මෙන් මහත්වූ සිරුරකින් යුතු බිහිසුණු රකුසා ගොඩබිම රජ කුමරුවන් සිටි දෙසට මුහුණ ලා ගමන් කරන බැව් පෙනුනා. 

බියට පත් රජකුමරුවන් දෙදෙනා ඉක්මනින්ම ගහ උඩට නැග ගත්තා.  රකුසාද රුක යටට අවුත් තම අත තිබුණ දැවැන්ත පෙට්ටිය බිම තබා ළගම හිද ගත්තේය.  පෙට්ටිය විවෘත කොට කරඩුවක් එළියට ගත්තේය.  යකඩ  යතුරු හතක් යොදා කරඩුව විවෘත කලේය.  පුදුමයෙනුත් පුදුමයකි!!!!දෙවගනක් බදු රුසිරින් යුතු වරගනක් එයින් මෑත් වූවාය.

බොහෝ සෙයින් ලස්සන වූ මේ කාන්තාවගේ නොකැලැල් දේහය දෙස බොහෝම ගිජු බැල්මක් හෙලූ රකුසා “කුමරියනි!! ස්වල්ප වේලාවක් සයනය කරනු කැමැත්තෙමි.  එබැවින් මෙහි ඉද ගනු මැනවි.  කීය.  කුමරිය හිදගත් පසු ඇගේ ඇකයෙහි හිස තැබූ රකුසා සුළු වේලාවකින්ම නින්දට වැටුනේය.

රකුසා නිදාගත් පසු අවට සිසාරා අහස දෙස බැලූ කුමරිය ගස උඩ සිටි කුමරුවන් දෙපල දුටුවා.  සෙමෙන් රකුසාගේ හිස තමන්ගේ උකුලෙන් මෑත්කොට නැගී සිට, කුමරුවන් දෙදෙනාට ගසින් බසින ලෙස සංඥා කලා.  රජුන් වුවත් ඔවුන් සිටියේ බොහෝම බයෙනුයි.  රුක් කද තදින් අල්ලාගෙන සිටි මේ සොයුරන් දෙදෙනා වෙව්ලන්නට වුනා.  කොයිතරම් ආයාචනා කලත් මේ දෙපළ ගසින් බසින බවක් පෙනෙන්නට නොතිබූ නිසා කුමරිය අවසාන වශයෙන් නියෝග කලා ගසින් බිමට බසින ලෙස.  එය බිහිසුනු තර්ජනයක් බදුයි.  ගසින් බසින්නේ නැතිවුනොත් රකුසා අවදි කරවන බව පැවසුවා.  ඉතින් මේ කුමාරවරු දෙපල බිමට බැස්සා.  

“අහෝ කුමරුවනි, මේ පෙනෙන රකුසා මෝහයෙන් මුලාවෙලා , රාගයෙන් අන්ධ වෙලා සිටින්නෙක්.  ඒවගේම බොහෝම රෞද්‍ර අයෙක්.  මොහු මා කරඩුවක දමා මුහුද පතුලේ සගවාගෙන සිටිනවා.  නමුත් අසනු මැනවි!!!!මෙතෙක් භද්‍ර යෞවන වියේ පසුවන පුරුෂයන් පන්සිය හැත්තෑ දෙනෙක් ඇසුරු කලෙමි.  මේ ගැනත් අසනු මැනවි.  යම් ස්ත්‍රියකගේ සිතේ අභිප්‍රායක් වේද ඇය ඒකාන්තයෙන්ම එය ඉෂ්ට කරගන්නීය.  එය නැවැත්වීමට සමත් දෙවි කෙනෙක් හෝ මනුෂ්‍යෙයකු මිහිපිට නැත්තේය.

පසුව ඇය ඇසුරු කරන ලද පුරුෂයන් විසින් තෑගි කරනු ලැබූ මුදු සමූහය පෙන්වූ ඇය සිහිවටන වශයෙන් මේ කුමාරවරුන් දෙදෙනාගේ මුදු දෙකද ඉල්ලා සිටියාය.  කුමරුවෝ දෙදෙන තම මුදු දෙක තෑගි කොට නැවතත් ගස උඩට නැග ගත්හ.  රකුසා අවදි වූ පසු කුමරිය කරඩුව තුළට ඇතුළු වූවාය.  කරඩුව වසා යතුරු දැමූ රකුසා එය පෙට්ටිය තුල දමාඔසවාගෙන මහ මුහුද කරා යලිත් ගියේය.

පති භක්තිය හා පතිවෘත්තාව ඇති එකම ස්ත්‍රියක් හෝ වාසය කරන්නේ නැත.  රකුස් කරදරයෙන් පසු අවබෝධ කරගත් මේ කුමාරවරු දෙදෙනා  තමන් දෙදෙනාටත් වඩා මෝහයෙන් මුලාවෙලා ඉන්න රකුසා ගැන සිතා තමන්ගේ දුක තුනී කරගත්තා.  ඉන් අනතුරුව මේ යන ගමනෙන් තේරුමක් නැති බව අවබෝධ කරගත් කුමාරවරු දෙදෙනා යළිත් මාලිගාව බලා පිටත් වුනා.

අනතුරුව යළිත් සිහසුනට පැමිණි මහරජ ප්‍රථමයෙන්ම කලේ තමන්ගේ මෙහෙසියගේ හිස ගසා දැමීමයි.  දෙවනුව දුරාචාරයට අනුබල දුන් වහලුන් හා වහලියන්ගේ හිස ගසා දැම්මා.  එතැන් පටන් කිසිදු කාන්තාවක කෙරෙහි විශ්වාසය නොතැබූ මහරජු අමුතුම මාදිලියක බිහිසුනු ආවාහයක් කරගත්තා.  එනම් නව යොවුන් යුවතියක සරණපාවා ගන්නා අධිශ්වර තෙමේ පසුදින ඇගේ හිස දං ගෙඩියට කැප කිරීමයි.  දින පතාම මෙබදු ක්‍රියා කලාපයක් පවතිද්දී තුන් අවුරුද්දක් ගෙවී ගියා.  රටේ විසූ විවාහයට සුදුසු යොවුන් වියේ වෙසෙන තරුණියන් කෙමෙන් අතුරුදන් වන්නට පටන් ගත්තා.  මරණයෙන් කෙළවර වන එක් දිනක කම් සැපත ගැන අසා තැතිගත් කන්‍යාවෝ රාජධානිය හැරදමා පලා යන්නට පටන් ගත්තා.  ඉතිරිවුනේ මහ ඇමතියාගේ දියණියන් දෙදෙනා පමණයි.  රජුගේ අණ පිළිපැද තම නිවසට අවුත් දූවරුන් අමතා සිදුවන්නට යන විපත ගැන ඔවුන් දෙදෙනාම දැනුවත් කලා. 

ඇමතියාගේ වැඩිමහල් දියණිය වන පාරසාද් චිත්තාකර්ෂණීය මනබදින සුළු රූ සපුවකින් හෙබි තරුණියක්.  ඒ වගේම ඇය භාෂා ගණනාවක් හා විෂය කරුණු සම්බන්ධයෙන්ද පුළුල් අවබෝධයක් ඇත්තියක්.  වාද විවාද තර්ක ආදියෙහි චතුරයි.  කතාන්තර කීමෙහි මනා දක්ෂතාවයක් ඇයට තිබුනා. 

“අහෝ පියාණෙනි, මේ මෝඩ රජු වෙත මා විවාහ කර දුන මැනවි.  හැකි වුවහොත් ඔහුගේ මේ ක්‍රියාකලාපයන් ගෙන් ඔහුව මුදවාගමි.  එමෙන්ම එය ඉටුකිරීමට නොහැකි වුවහොත් අරාබි දේශයේ අංහිංසක කුල කාන්තාවන් වෙනුවෙන් මම මගේ ජීවිතය  පූජා කරමි!!!!!

කලින් මහරජු වෙත ගොස් තම වැඩිමහල් දියණිය රැගෙන එන බැව් පැවසූ මහ ඇමති පසුව ඇය කැදවාගෙන ගොස් රජුට භාර කලේය.

මැදියම් රැයේදී අලුත් මෙහෙසියගේ දෑසින් කදුළු වැගිරෙන බවක් රජු හට දැකගන්නට ලැබුනි.  එයට හේතුව විමසු විට ඇය කීමේ සොහොයුරිය වන දුන්යාසාද් සිහිවී තමා හැඩු බවයි.  මරණයට පෙර ඇගෙන් සමුගෙන ආ යුතු බවයි.  රජ අණ පරිදි එවේලෙහිම දුන්යාසාද් රජු වාසල යහන් ගැබට ගෙන්වන ලද්දීය.

අලුයම් කාලයේදී සිය දෙටු සොහොයුරිය දෙනු ලබන ඉගියක් අනුව යමින් දුන්යාසාද් “අහෝ!!!!ෂාරසාද් තොප දන්නා මා හැගි කාන්තාරයක් කිව මැනවි... කීවාය.  රජුගේ අවසරය ඉල්ලා සිටි ෂාරාසාද්ට එය ලැබිණ.  ඇය වෙළෙන්දා හා රකුසාගේ කතාව කියා නිම කරන විට දිනකර තෙමේ දසත ඒකාලෝක කරමින් උදාවිය.  තවත් කතාවක් පසුදින  ඇසීම  රජුගේ අභිමතය වූ බැවින් ඇය එදිනට ජීවිත දානය ලැබුනි.  මේ ආකාරයෙන් එක්දහස් එක් රැයක්ම කතාන්තර කියා අවසන් වන විට ඇය තිදරු මවක්ව සිටියාය.  තමන්ගේ දරුවන් තිදෙනා තමා හමුවට ගෙන්වාගත් ඇය ඔවුන් රජු ඉදිරියේ තබා “අහෝ රජතුමනි!!!  මේ ඔබ වහන්සේගේ දරුවන්ය.  ඔවුන් සිප සනසාලනු මැනවි!!! යනුවෙන් කීවාය.  ඔවුන් ගේ ජීවිත අනාථ වන්නට ඉඩ නොතබා ඔවුන් වෙනුවෙන් මට ජීවිත දානය දුන මැනවි.  යනුවෙන් පැවසුවාය.  පති භක්තිය ඇති හොද කාන්තාවක් ලැබුණ බැව් තේරුම් ගත් රජතුමා ඇයට එම වරය දී මහත් උත්සවශ්‍රීෙයන් කුල සිරිත් පරිදි ඇය විවාහ කරගත්තේය.  
 
ඒ එක්කම සිය සොයුරාගේ කැමැත්ත ඇතිව තම දේවියගේ නැගණිය ඔහුට විවාහ කර දුන්නේය. 

ඉහත ආකාරයෙන් එක්දහස් එක් රැයක් තිස්සේ ෂාර්සාද්ගේ මුවින් ගිලිහිණැයි කියන මේ කතාන්තර සමූහය වෙනත් රටවලත් පැතිර ගියාය.  අත්භූත ලෝකයටත්, මායා ලෝකයටත්, පාඨකයා රැගෙන යන අරාබි නිසොල්ලාසය පාටකයාගේ සිත දුකින් ඇලලී යන අවස්ථාවකට යොමු කරන්නේය.  ඒත් එක්කම ඉතාමත් තියුණු ලෙස උපහාස රසයෙන්ද ඔහුව කුල්මත් කරන්නේය.  කවර ආකාර ජාතියකට හෝ ආගමකට වුවත් එය කියවා හොද හැටි රසය විදීමට හැකිවී ඇත.  “අලිබබා සහ හොරු හතලිහ, ඇලඩින්ගේ පුදුම පහන, සින්බෑඩ් නැවියා වගේ කුඩා දරුවන් කැමති කතාන්තර පමණක් නොව බුද්ධිමතුන්ගේ කැමැත්ත ඇතිවන ආකාරයේ කතාත් මේ අරාබි නිසොල්ලාසයේ ඇතුලත්ව ඇත.  උපහාස රසයෙන් පිරි ඇතැම් කතා නූතන සාහිත්‍යෙය් කොයි ආකාර කෘතියක් සමග වුවත් තරග කිරීමට තරම් දක්ෂතාවකින් නිර්මාණය වී ඇත. 

මහා කාන්තාරයක පටන් විශාල නගරය දක්වා වාසය කරන අරාබි ජාතිකයෝ කාලය පිලිබද රස රත්නාකරයෙන් උපුටා ගත් රස කතාවන්ගෙන් පිරුනු “එක්දහස් එක් රැය ඇසීමට කවදත් ප්‍රිය කරති.

පර්සියානු, හෙබ්‍රෙව්, ඉන්දියානු, මිසර වගේ නානා විධ රටවල කලින් කල එකතු වූ කතා ඇති අරාබි නිසොල්ලාසය ඇතැම් විට ආසියාකරයේ වෙසෙන ජාතීන් හැම දෙනෙකුම නියෝජනය වන ආකාරයෙන් මහා මණ්ඩලයක ස්වභාවයක් ගැනීම පුදුමයට කරුණක් නොවේ.  මෙහි එන මුලින් දැක්වූ කුමාරවරුන්ගේ කතාව පවා පර්සියාව ඔස්සේ අරාබියට සංක්‍රමණය වූ ඉන්දීය කතාවක් ලෙසත් කියනු ලබනවා.  අතුරු කතාවල එන මුල් කතා කිහිපය පැරණි යුගයට අයත් ඒවා බවත් පසුව එන කතා කලින් කල එකතු කරන ලද බවත් සැලකේ.  නව වන ශතවර්ෂය වන විට එය සෑහෙන පමණ විශාල පොතක් බවට පත්ව ඇත.  මිසර දේශයේ මේ පොත දොලොස් වන ශතවර්ෂයේදී ප්‍රකටව තිබුන බැව් සදහන් වේ.  12 වන හා 15 වන ශතවර්ෂ අතර කාලයේදී මිසරයේදී සංවර්ධනයට පත් එය දැන් පවතින ආකාරයට කිට්ටු තත්වයකට පත් වූ බව සිතිය හැක.

ඒ තරම් උසස් සමාජ තත්වයක් නැති මධ්‍යම පන්තියේත පහල පන්තියේත් ජනතාවට රස විදින්නට පුළුවන් ආකාරයෙන් සකස් වී ඇති මෙම පොත විද්වද් විචාරකවන් හට නොව සාමාන්‍ය ජනතාවට සුදුසු වන අන්දමේ ප්‍රෙම කතා, වීර කතා, සුරංගනා කතා වලින් පිරිපුන්ය.  සැප සම්පත් නොමැතිව දූගි දුප්පත් දිවි පෙවෙතක් ගෙවන ජනතාව විසින් මවා ගන්නා මනංකල්පිත ලෝකයකට ඔවුන් ගෙන ගොස් තප්පරයෙන් තප්පරය එයින් වින්දනයක් ලබා දීමට මේ කෘතිය සම්පූර්ණයෙන්ම සමත්වී ඇති නිසා එය පොදු ජනතාව අතින් කෙසේවත් උදුරාගත හැක්කක් නොවේ.

2 comments:

  1. මේක මාත් ආසම කතාවක්.. ඉස්සර මට මතකයි රූපවාහිනියෙ එහෙමත් ගියා.

    ReplyDelete
  2. ජාතික රූපවාහිනියේ පසුගිය මාසෙක මේ කතාව ගියා කොටස් 2 ක් වශයෙන් මට මතක විදිහට. හරි අපූරු කතා මාලාවක්.

    …පතිවෘතාව සහ කාන්තාව ගැන කියලා තිබුණු නිසා මේ කතාව මතක් වුනේ. කොහේ හරි තිබුණු ජෝක් කතාවක්. දවසක් කොල්ලෙක්ට මායා පහනක් ලැබිලා ඒක අතුල්ලද්දී ඒකේ භූතයා මතු වුනාලු. කොල්ලා මොකුත් වරයක් ඉල්ලනත් කලින්ම භූතයා කිව්වලු මෙහෙම "වඳින්නම් කොල්ලෙක් ඇල්ලුව නැති කෙල්ලෙක්ව නම් මගෙන් ඉල්ලන්න එපා " කියලා :D

    ReplyDelete

කියවලා බලලා හිතට දැනෙන අවංකම දේ මෙතන කුරුටු ගෑවොත් ඒක මට ලොකු ශක්තියක්. ඒ නිසා ඔයාලගේ හැගීම් වචන වලට පෙරලන්න අමතක කරන්න එපා...!!!!!