Monday, February 20, 2012

බත ගැනයි මේ....!!!!!



අපි හැමෝම ජීවත් වෙන්නේ ආහාර නිසානේ.  ශරීරයට අවශ්‍ය කරන වර්ණ, සැප, බලය, මේ සියල්ලම අපට ලැබෙන්නේ ආහාර නිසා.  භූගෝලීය සාධක හා සෘතු නිසා මිනිසාගේ ආහාර විවිධාකාර වෙන්න පුළුවන්.  සීතල ප්‍රදේශවල වාසය කරන උදවිය ශරීරයට උෂ්ණය ගෙන දෙන ආහාර ගැනීමට පුරුදු වෙලා ඉන්නවා.  ඒ අතර නිරක්ෂයට කිට්ටුව ඉන්න අය වැඩි වශයෙන් කිරි ගිතෙල්, පලාකොළ, ධාන්‍ය වර්ග වැඩිපුර ආහාරයට ගන්නවා.  අපේ රටේ ප්‍රධාන ආහාරය වෙලා තියෙන්නේ බත්.  

ගසට නමකි ගස මැරුණම වෙන නමකි
ගෙඩියට නමකි ගෙඩියේ පොත්තට නමකි
මදට නමකි මද කනකොට වෙන නමකි
මෙතුන් පදේ තෝරාලා කියන්      සකි

මේ තේරවිලි කවියෙන් කියැවෙන්නේ ගොයම් ගස ගැනනේ.  ගොයම් ගස මැරුණම අපි පිදුරු කියලා කියනවා.  ගෙඩියට අපි වී කියලා හදුන්වන අතර, පොත්ත දහයියා වෙනවා.  වී ඇටයේ මදය අපි කණ්ඩුල එහෙමත් නැත්නම් සහල් ඇටය කියලා හදුන්වනවා.  අපි ඒවා උයා පිහාගෙන කන කොට කියන්නේ බත් කනවා කියලා.  වී කෙටීමේදී ඒවා සහල් ඇට බවට පත්වෙනවා.  ඒවා කඩ සහල්, සුනු සහල්, හා ඇහි කමල් යනුවෙන් කොටස් කිහිපයකට බෙදෙනවා.  

මේවාත් බත් මෙන්ම වෙනත් ක්‍රම වලින් ආහාරය පිණිස සකස් කරගන්නවා.  බත් කන්න අපි හොදි, මැල්ලම්, බැදුම් වගේ දේවල් පිළියෙල කරනවා.  මේවා තවත් රස ගන්වන්නට ගෘහනියන් විවිධ ක්‍රම භාවිතයට ගන්නවා.  පැරණි කාලයේ රජදරුවන් වගේම ප්‍රභූ පැලැන්තියේ ආහාර සදහා සුවද ඇල්හාලේ බත් ප්‍රධාන වශයෙන් ගත් අතර ව්‍යංජන බොහෝ ගණනක් ඒ සදහා පිළියෙල කරනු ලැබුවා.  ලංකාවේ අන්තිම රජු වූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ භෝජනයට ව්‍යංජන වර්ග තිස් ගණනක් වූ බව සදහන් වෙනවා.

බත් කන එක හැමදාමත් කරන නිසා එහි අමුතු ලස්සනක් තියෙනවා කියන්න බැහැ.  ඒ වුනාට අලුත් බත් කන එක සිංහලයන්ගේ මංග්‍යයක් නිසා යල හා මහ කියන කන්නවල අස්වනු කපා පෑගීමෙන් පස්සේ පවත්වන මගුල අලුත් බත් කෑම වශයෙන් නම් කරලා තියෙනවා.


ලොව්තුරු මුනිදුගේ අණය   මුළුල්ලේ
සිව්වර දෙවියෝ මහ මෙසියල්ලේ
සව්සත රකිනා උපතකි ඉල්ලේ
සව්සිරි වෙයි අලුසල් මංගල්ලේ
 


යල මහ දෙකන්නයේම සියලුම ගොවියන් එකතුවෙලා මුත්තෙට්ටුව පවත්වා එක එක කෙතෙන් නැකතට කරල් මිට බැගින් කපා ඒ කරල් වලින් ගත් වීයෙන් බත් පිස පස් මාළුව ඇතුළු නියමිත ව්‍යංජන ගණනකින් යුතුව ගමේ පන්සලට ගෙනගොස් බුද්ධ පූජාව පවත්වා ඉන්පස්සේ දෙවනුව දේවාලයට ගොස් දේව පූජාවත් පවත්වනවා.  (මේ පැත්තේ නම් මේ මෑතක් වනතුරුම පත්තිනි දේවාලයේ සාමාජිකයින් විසින් අලුත් සහල් එකතු කරගෙන යනු ලැබුවා. අපිත් හැම අවුරුද්දකම ඒකට සම්මාදම් වෙනවා)  ඉන්පස්සේ පැමිණි හැමෝටම ආහාර පානයෙන් සංග්‍රහ කරනවා.  අලුසල් මගුල එහෙමත් නැත්නම් අලුත් සහල් මංගල්‍යයයි කියන්නේ මේකට තමයි.

මේ සිරිත් විරිත් බුද්ධ කාලයේ ඉදලම පැවත එන උතුම් දේ විදියටයි පොත් පත්වල සදහන් වෙලා තියෙන්නේ.  චූලකාල හා මහා කාල යන දෙසෝවුරන්ගේ අගහස් දානය මෙයට හොදම උදාහරණයක්.  පැරණි කාලයේ දඹදිව වැසියන්ද මේ සිරිත අනුගමනය කල බැව් පෙනී යනවා.  අප කන බත් පිඩ ශරීරයේ වර්ධනයට ද පෝෂන ගුණයක් එකතු කරනු ලබනවා.  ඉස්සර ගෙදරට එන අමුත්තෙකුට බත් කටක් නොදී යවන ගෙදරක් තිබුනොත් ඒක බොහෝම අහම්බයක් තමයි.  ඒ කාලයේ දැන් මෙන් කෑම මේසයට යැවීමක් තිබුනේ නැහැනේ.  ඉතාම ඉහල මට්ටමේ අමුත්තෙකුට අමුතු බතක් දෙනකොට ඒ සදහා කුරු අඩිය උපයෝගී කරගත්තා.  කුරු අඩිය කියන්නේ වේවැල්වලින් හදාගන්නා ආධාරයක්.  එහි මූනත බත් තැටිය තැබීමට සුදුසුවන ආකාරයට වේවැලින් වියූ වාටිය සහිත රාමුවකින් යුතු වෙනවා.  එහි අඩියත් වේවැල් රාමුවකින් යුක්තයි.

වැදගත් තැනැත්තෙකුට හා දෙමාපියන්ටත් වැඩිහිටියන්ට හා පිදිය යුත්තන්ට සංග්‍රහ කරන විටත් බත් තැටිය කුරු අඩිය උඩ තබා බුහුමන් සහිතව පිළිගන්වනු ලබනවා.  එවැන්නන් ආහාර ගැනීමෙන් පසු තැටියේ ඉතුරු කළ ඉදුල් බත පවුලේ උදවිය විසින් සතුටින් බෙදා හදාගෙන කෑම ඔහුට කරන ගෞරවයක් ලෙස සලකනු ලබනවා.  මේ හේතුව නිසා සම්භාවනීයයන්ට අමුතු බත පිළිගැන්වීමේදී නැවත බන් බෙදන්නට සුදුසු නොවන ආකාරයට තැටියට බෙදන බත් තදකර පිළිගැන්වීම සිරිතකි.  ඔහුට වාඩිවීමට වේවැල් වලින් සාදන අඩි හතරේ බංකුවක් වැනි භාණ්ඩයක් තබනු ලැබේ. 

සිංහලයන්ටම ප්‍රධාන වූයේ අලුත් බතයි.  ඊළගට මගුල් කිරිබත්ය.  අනෙක් බත් වර්ග අතර උණු බත, හීල් බත, කැකුළු බත, සුන්සහල් බත, කයි බත, ඇගිටි බත, ඉතිඇගිටි බත, නෑබත, කුළබත, මගුල් බත, හීබත්, බැද බත, අලිබත, වෙද බත, කටු බත, ලාදර බත නොහොත් ලේදර බත, ආදර බත, කෑදර බත, යෝදර බත හා හැලි බත් යන බත් වර්ග වේ. මේවාට අමතරව මැදි බත නම් වූ බතක් සත්කෝරලේ දිසාවේ ගැමියන් අතර පවත්නා බව කියයි.  මෙය උදය කෑම හා දවල් කෑම අතර වෙලාවක ගනු ලබන්නකි.  එමෙන්ම තවත් බත් විශේෂයක් නම් හැලි බතයි.  මෙය වූ කලි මල්වරවීමකදී ජලස්නානය කරන දිනයේ පිළියෙල කරන බත් විශේෂයකි. 

ආදර බත යයි නම් කෙරෙන බත් විශේෂය නැන්දා අලුත් බෑනාට දෙන බත හෝ නෑනා අලුත් මස්සිනාට දෙන බතයි..  අලුත් අවුරුද්දේ නැකතට පිස නැකතට අනුභව කරන බතද ආදර බතක් ලෙස සැලකෙයි.

පළමුකොට අලුසල් මංගල්‍යය පවත්වා ඉන්පසු කන බත අලුත් බත් කෑම ලෙස සැලකේ.  අලුත් බත කන දිනය ගම්බද ගොවින්ට මංගල දිනයකි.  එදා ට කුළ දෙටුවන්ට හා කුළුපග මිතුරන්ට සංග්‍රහ කිරීමට සිරිතක්වේ.  අලුත් බත් කා ඉන්පසුව බොදින් සකස් කල වී බිත්තරට තබා ඇහැවී වෙන් කොට තබා ඒවා කෑමට ගනු ලබයි.  

වෙල් එළියේ සිටි බතන් අප්පු - සැන් කොතැනකදෝ මට නොදැනෙන්නේ
අටුකොටු ගානේ සැතපී ඉදලා - බිංතැන්නේ වැනුමට යන්නේ
බිංතැන්නේදී ඇනුම් කෙටුම් කා - සැහැලිය ගොඩ ඉඩමට යන්නේ
මෙවැනි වෙනුම් ඇති බතන් අප්පු බැද - ගෑනු කෙනෙකි ගින්නට දුන්නේ

මේ ගැමි තේරවිල්ලකි. මෙයින් කියැවෙන්නේ බත ලිපට යනතුරු කෙරෙන විස්තරයයි.  එය උපාහසයෙන් යුතුබව පෙනී යයි.  ඉස්සර සිංහල මගුල් තුලා වලදී මනාලියගේ පක්ෂයෙන් ඥාති මිත්‍රයන්ට තුන් ආකාරයක සංග්‍රහයක් පවත්වනවා.මනාලයා විසින් එක් සංග්‍රහයක් පවත්වනවා.  මංගල්‍ය කටයුතු වලට සහභාගී වීමෙන් උදව්කල නෑදෑයන්ට පළමුව ලාදර බත නොහොත් ලේදර බත දෙනු ලැබේ.  මෙය බොහෝ වෙලාවට දෙනු ලබන්නේ මගුල් දිනට පෙර දින රාත්‍රියේ දීය.  ආදර බත යනු මගුලේ යෑමට සැරසී සිටින පිරිසට දවල් කාලයේ දී දෙනු ලබන බතයි.  (අපේ ගෙදරත් මෙහෙම දෙයක් තිබුනා මතකයි).  මෙයට මනාලයා හෝ මනාලිය කෑම මේසයට ඉද ගැනීම සිරිතකි.  මනාලිය මනාලයාගේ නිවසට කැදවාගෙන ආවායින් පසුව මේ සංග්‍රහය කරනු ලැබේනම් දෙපළම කෑම මේසයේ අසුන් ගත යුතුයි.

මනාලිය මනාලයාගේ නිවසට කැන්දාගෙන ගියායින් පසුව වෙහෙසට පත් නෑදෑයින් එකතු වී රාත්‍රියේ කෑදර බත නම් සංග්‍රහයක් දෙනු ලබයි.  මගුල් දිනයේදී ආදර බතින් ඉතිරිවූ සියලුම කෑම බීම මෙයට විශේෂයෙන් එකතුවේ.  මංගල උත්සවය අහවර වී දින කිහිපයකට පසුව මනාලයා විසින් යෝදර බත නම් වූ විශාල සංග්‍රහයක් පවත්වා දෙපසේ නෑදෑයින්ට සලකති.  අපේ රටේ ප්‍රධාන ආහාරය වශයෙන් ගැනෙන බත මේ ආකාරයෙන් නොයෙක් නොයෙක් අවස්ථාවලදී විවිධ නම් වලින් හැදින්වූවත් අපි ආඩම්බරයෙන් හා ගෞරවයෙන් යුතුව අපේ බත් පත සිහිපත් කරමු.  සිංහල රජදරුවන් වී ගොවිතැනට දැක්වූ අසමාන සැලකිලි නිසා මේ රට වාසීන්ට බතින් සායක් කිසිදිනෙක ඇතිවූයේ නැත.  එකල පෙරදිග ධාන්‍යාගාරය ලෙසත් අප රට නම් කල බව අමතක නොකල යුතුය.

3 comments:

  1. අපේ ලොකු තාත්තලා හැමදාම ගොයං කැපුවම පංසලට මුල් කොටස පූජ කරලා තමයි පාවිච්චියට ගන්නේ ඉතුරු ටික..

    ReplyDelete
  2. අපේ පුංචම්මලෑ දිහා නම් ගොයං කැපුවම කිරියම්මලෑ දානයක් දෙනවා. පන්සලට ඉති දානේ සීට්ටුව තියෙනවා නේ. එදාට දානේ දෙනවා.

    මට මේ ලිපිය කියවන ගමන්ම මතක් උනේ සුනිල් එදිරිසිංහ මහත්තයාගේ සිංදුවක් !

    "දලදා හාමුදුරුවනේ....
    අළුත් සහල් මංගල්ලෙට මං තනියෙන් ආවේ
    තනි නොතනිය යන්න එක්ක මේ සංසාරේ
    ආල හිතක් මට ලැබෙන්න පැතුවා හැම වාරේ"

    ReplyDelete
  3. අපේ පැත්තෙ නම් අලුත් සහල් මංගල්‍ය යහමින් පවත්වනවා

    ReplyDelete

කියවලා බලලා හිතට දැනෙන අවංකම දේ මෙතන කුරුටු ගෑවොත් ඒක මට ලොකු ශක්තියක්. ඒ නිසා ඔයාලගේ හැගීම් වචන වලට පෙරලන්න අමතක කරන්න එපා...!!!!!