Saturday, February 18, 2012

අප සතු පුදුම පැලෑටි

ශ්‍රී ලංකාව කියන්නේ බොහෝම සුන්දර රටක් කියලා අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ. සමහර අයට ලංකාව ගැන එතරම් තැකීමක් නැතිමුත් මට නම් ලෝකේ තියෙන ලස්සනම රට තමයි ශ්‍රී ලංකාව කියන්නේ. හැබැයි ඉතින් මම වෙන රටවලට ගිහින් නම් නැහැ.  ගිය ඇත්තෝ ඒ ගැන මොනවා හරි කියයිනේ නේද?

ලංකාව ලස්සන රටක් වගේම බොහෝම පුදුම හිතෙන අත්භූත/ ආශ්චර්යයන්ගෙන් පිරුණ බෙහෙත් පැලෑටි වලින් ගහන රටක් කියලා කිවුවොත් මම නිවැරිදියි මම හිතන්නේ.  ඉතාමත් පුංචි පැලෑටියේ ඉදන් මහා රූස්ස ගස් දක්වාම කුමන හෝ රෝගයකට අවශ්‍ය කරන ඹෟෂධීය ගුණයන් අඩංගු වෙලා තියෙන බව රහසක් නෙවෙයි.  ඇත්තටම පුදුමයි නේද රටේ තියෙන හැම පැලෑටියකම මිනිසාගේ රොගයන්ට අවශ්‍ය කරන ඹෟෂධ තියෙනවා කිවුවම.

අපි මෙහෙම කියමුකෝ... අපේ අතක් පයක් කැපුනා කියලා.  එතකොට අතට අහුවෙන ඕනෑම කොළ වර්ග 7ක් අරගෙන කඩා පොඩි කර බැන්දම ඒ තුවාලය හොද වෙනවා කියලා අපේ රටේ පිටිසර ගම්වල පුංචි දරුවන් පවා දන්නවා.  එතනින්ම පේනවා නේද ලංකාවේ වැවෙන හැම ගහක් වැලක්ම බෙහෙත් ගුණයන්ගෙන් යුක්ත වෙනවා කියලා.

සිංහල වෙද ක්‍රමය අනුව හදන මැල්ලුම, පත්තුව, කල්ක, ගුලි, චූර්ණ, වගේ තවත් නොයෙක් දේ වලට නොගන්නා එකම පැලෑටියක්වත් නැහැ.  කොළ, දළු,මල්, පොතු, මුල්,  කිරි ලාටු ආදි කොටස්වලින් එක් කොටසක්වත් ඉහත කියපු ඹෟෂධ හදන්න ගන්නවාමයි.  නමුත් පිටරටින් ගෙන්වන ලද වෙනත් පැලෑටි ගැන නම් කියන්නට මා දන්නේ නැහැ.  දන්නා අන්දමට ඒවා ඹෟෂධ සදහා යොදා ගන්නෙත් නැහැ.  (එහෙම දන්න බෙහෙත් වර්ග තියේ නම් දැනුවත් කරන එක වටිනවා).

දූරියන්, පෙයාස්, මැංගුස්ටින්, ගෝවා, බීට්රූට්, ක්‍රෝටන්, වගේ පැලයක කොලයක් හෝ පොත්තක් මුලක්, මේ ඕනෑම දෙයක් බෙහෙතක් වශයෙන් යොදනවාද යන්න මා දන්නේ නැහැ. ( මම සදහන් කරන්නේ සිංහල බෙහෙත් ක්‍රමය ගැන පමණයි)

මේ වගේ ගස් වැල් ගැන නොසලකා අපේ රටේ වැවුන ගස් කොලන් ගැන පමණක් අවධානය යොමු කලොත් හැම ගෙවත්තක්ම ඔසු උයනකි. ස්වාභාවික හැම වනාන්තරයක්ම බෙහෙත් උයනක්.  මේ අතරම ක්‍රමානුකූලව වගා කරනු ලබන බෙහෙත් උයන්ද ලංකාවේ තියෙනවා.  ගල් ඔය අසල අරළු වනය, බලංගොඩ ප්‍රදේශයේ ඇති ඉඹුලඹුරේ, හා ගොඩකුඹුරේ මූකලාන ඒ වගේම කොළඹ ප්‍රදේශයේත් මෙවැනි ඔසු උයන් තියෙනවා.  ගාල්ල අසල ඇති රූමස්සල කන්ද ගැන කවුරුත් අහලා ඇති.  එයත් ඖෂධ වනෝද්‍යානයකි.  රූමස්සල ගැන නම් විවිධ කතාන්තර පවා ගෙතී තියෙනවා.  රාම රාවණා යුධ වැදුනු වෙලාවේ හනුමන් මේ කන්ද භාරතයෙන් ගෙනා එකක් ලෙස රාමායනයේ සදහන් වෙනවා.  රූමස්සල කන්ද බෙහෙත් උයනක් ලෙස වවා තිබුණේ මේ කියන ආකාරයට වාල්මිකී විසින් රාමායණය ලියන්නටත් පෙරාතුව විය යුතුයි.

රූමස්සල ඇති හැම බෙහෙත් පැලෑටියක්ම වාගේ දොළුකන්දේ හා බිම් තැනි පෙදෙස්වලත් තියෙන බව දක්නට ඇති.  දොළුකන්ද පිහිටා ඇත්තේ මධ්‍යම භාගයේයි.  රටේ ඕනෑම දේශගුණයක ඕනෑම පරිසරයක වැවෙන ඕනෑම පැලෑටියක් දොළුකන්දේත් වැවේ.  කොටින්ම කියනවානම් ඒ ඒ ශාකයන්ට අවශ්‍ය කරන සියලුම අංගෝපාංගයන් මේ දොළුකන්දේ කොතනක හෝ තියෙන බවට සාධක ඇත.  කසාය , කල්ක, අරිෂ්ට, ආදි සිංහල වෙදකමට අයත් විවිද දේ සාදාගැනීමට අවශ්‍ය ජලය ඇති ලංකාවේ ඇති එකම ස්ථානය දොළුකන්ද බව පැරණි ලිපියක සදහන් විය.  ගජමුතු, මෙන් ඉතා දුර්ලභ අගනා බෙහෙත් පැලෑටි වර්ග බොහෝ ගණනක් මේ දොළුකන්දේ තිබේ.  වනරාජ, ඉර රාජ, සද රාජ, ගරුඩ රාජ, මකුළු  රාජ, මහ පද්ම, කුඩා පද්ම, කළු කොහිල, පටි ධාතු, ඇත් හවරිය, මාංශ වේරිය, තිත්ත වේරිය, තඹ වනස්ස, නගාමැරූ අල, නාරි ලතා ආදි දුරුලබ බෙහෙත් වර්ග හා අමු ඉගුරු, බුලත් සිවිය, ඉරිවේරිය, හෙල නිතුල්, රත්නිතුල්, සස්සද, ආපසු මදු, එලවරා ආදි සාමාන්‍ය බෙහෙත් පැලෑටිත් මේ ස්ථානයේදී දැක ගත හැකිය.  තෙල් සදහා අවශ්‍ය දොඹ, කැකුණ, ආදි ගස් වර්ගද මෙහි සුලභ දසුනකි.

වනරාජ පැලය හාස්කම් දක්වන පැල අතුරින් ප්‍රමුඛස්තානයක් ගනී.  කොළ 7කට වඩා මොන ආකාරයකින් වත් එක පැලයක හැදෙන්නේ නැත.  සත් වැනි කොළය වියලී වැටෙන විට දළු කොළයක් හට ගනී.  අගල් දෙකක් පමණ උසට වැටෙන මේ පැලය ඉතා අලංකාරය.  කොළය රතට හුරු දම් පැහැයෙන් යුක්තය.  අදින ලද චිත්‍ර මටහනක් වැනි රේඛ මණ්ඩලයකින් සමන්විතවේ.  කුඩා දේ ලොකු කර බලන කණ්නාඩියකින් බැලූ විට සෑම කොළයකම වාගේ නාගරී අක්ෂර එකක දෙකක හෝ රූප රේඛා වලින් සැදී ඇති බව පෙනේ.

මහ වනයේ අගල් කිහිපයක් උසට බිම වැටී ඇති වියළි කොළ රොඩු අතර පොළව මතුපිටම වාගේ වැවී ඇති වන රාජ පැලය සොයා ගැනීම ඉතාමත් දුෂ්කරය.  එය සොයාගන්නා එක් ක්‍රමයක් ඇත.  මේ ක්‍රමය දන්නා කෙනෙකුට මහ කැලෑවේ අහස පෙනෙන මානයේ සිට අත දිගු කර අන්න අතන යයි පෙන්වා නාදුනන කෙනෙකු ලපා වුවද ලගට ගෙන්වා ගැනීමට හැකිය.  වනරාජ පැලෑටිය වැවී ඇති කොටසේ ඇති මහ ගස් සියල්ලේම අතු පතර පාත්වී නම්‍යව තිබේ.  ඒ ලකුණු ඔස්සේ බැලූ බැල්මට මෙය තිබෙන තැන කිව හැකිය.  ශාක වර්ගයට නෑකම් කියන මේ කුඩා පැලෑටිය වන රාජ යයි හදුන්වන්නේ ඒ නිසාය.

හෙන රාජ, රාජ පහ, රාජ හත, ආදී කියාහාස්කම් දැක්විය හැකි මහ බලගතු බෙහෙත් තෙල් හිදීමට වන රාජ පැලයද අවශ්‍ය එක් වර්ගයකි.  මෙය වෙඩි නොවැදීම සදහා භාවිතා කරන බව බොහෝ දෙනා දනිති.

මෝල්ගස් පූට්ටුව යනුවෙන් හදුන්වන්නේ මන්ත්‍රයකි.  මෝල්ගස් දෙකක් සම බරව දෑතට ගෙන මන්ත්‍රකරු මන්ත්‍රය ජප කරන කල මෝල්ගස් දෙකේ කෙළවර ක්‍රමයෙන් ලංව පුට්ටුවේ.  නමුත් එවැනි මන්ත්‍ර බලයකින් තොරව බෙහෙත් බලයෙන් මෝල්ගස් පූට්ටු කල හැකි බෙහෙත් පැලෑටි කිහිපයක් දොළුකන්ද ප්‍රදේශයෙන් සොයා ගත හැකිය.  වදකහ පැළයට බොහෝ දුරට සමාන මෙම පැලයේ දම් පාට මල් පිපෙයි.  දම් ගෙඩියක් තරම් වන ගෙඩිය තද නිල් වර්ණයෙන් යුතුයි.  මුතු ඇටයක් මෙන් ඔපයෙන් යුතුයි. 

 මේ පැලෑටියට බොහෝ සෙයින් සමාන තවත් පැලෑටියක් ද තිබේ.  වෙනසකට ඇත්තේ ඉහත සදහන් කල පැලයේ කොළ වල මෙන් කොළයේ පැත්තේ දාරයේ කටු පෙළක් මේ කොළයේ නැත.  මල් රෑන් හටගන්නේ කොළයේ නාරටියෙනි.  තද නිල් හා කොළ පාට මල් පිපෙන වර්ග දෙකයි.  ඒ වගේම වරා පවුලට අයත් තවත් පැලෑටියක් තියෙනවා.  මෝල්ගස් පුට්ටුව නම් මන්ත්‍රයේ බලයටත් වඩා උග්‍ර බලයක් මේ පැලෑටිය සතුව ඇති බව පැවසේ.  වශීකරණ තෙල් බෙහෙත් වලටත් විෂ හරණයටත් මේ පැලෑටිවල කොටස් ප්‍රයෝජනයට ගනු ලැබේ.

මකුළු රාජ

වර්ණය හා හැඩය අතින් බලන කල ලොකු මකුළුවෙකු ට සමාන කල හැකි පැලයකි.  වෙනුමින් වෙනසකට ඇත්තේ දිව පැන නොයන එක පමණි.  දිවි මකුළු විෂට විශේෂ බෙහෙතක් ලෙස සැලකෙයි.

මං මුලා වැල්

වන්නි පෙදෙසේ මේ පැලය නිල්වැල කියා හදුන්වයි.  වැල පැන්නූ අයගේ ඇස් අදුරුව පාර නොපෙනී යයි.  එසේ වූ විට නපුරු වන සතුන් ගේ රූප මැවී පෙනෙන බව කියවේ.  වතුරක් පෑගුණ විට යථා තත්වයට පත්වෙයි.  මං මුලා වැලේ සිත් අතරමං කරන බලයක් ඇති බව අත්හදාබැලීමෙන් සොයාගෙන ඇත.

නාරිලතා 

නගා මැරූ අල පැලයකට හැඩයෙන් / ප්‍රමාණයෙන් වර්ණයෙන් බොහෝ දුරට සමානය.  පැලයෙන් උඩට ඇදී ගිය රැහැනක මල් පිපෙයි.  ඒවා සුදුම සුදුය.  අගලක් පමණ උසින් යුතුයි.  ඇත්තටම කිවුවොත් එය මලක් නොවෙයි.  අංග සම්පූර්ණ මිනිස් රූපයකි.  හිස මුහුණ අත් පා පැහැදිලිව වෙන්ව ඇත.  මෙහි ගැහැණු පිරිමි යනාදි ලෙස මල් දෙවර්ගයකි. පිරිමි මලේ නියම ස්ථානයේ පුරුෂ ලක්ෂණය ඒ ආකාරයට පිහිටා ඇති බව කියවේ.  (එය කුඩා දේ ලොකු කර  බලන කණ්නාඩියකින් බැලිය යුතුයි) . මේ සියලුම පැලෑටි දැකිය හැකි වන්නේ දොළුකන්දේදීයි.  එහි කලකට පෙර මිනිස් වාසයක්ව පැවති බවට සාධක ඇත.  පැරණි ගම්වාසීන්ගේ කතාවලට අනුව නම් බුද්ධදාස මහ රජතුමාගේ සම්බන්ධයක් මේ දොළු කන්ද හා පැවති බව කියවේ.



(මෙම ලිපිය පැරණි පොතකින් උපුටා ගත්තකි)

8 comments:

  1. බොහොම වටින ලිපියක්....සමහර පැලෑටි දැකල තිබුණත් ඔච්චර විස්තර දැනගෙන හිටියෙ නෑ.

    ReplyDelete
  2. ශා.. නියම ලිපියක්.පැලෑටි වල පින්තූර කිහිපයක් වත් ලිපියට එකතු වුනා නම් ලිපියේ වටිනාකම කියල නිම කරන්න බැහැ.කොහොම වුනත් වටිනා ලිපියක් :)

    ReplyDelete
  3. sumith/ soduru minisa

    ස්තුතියි දෙදෙනාටම. මේ පැලෑටිවල පින්තූර සොයාගන්න ටිකක් අමාරුයි. ඒත් උත්සාහ කරලා බලමු. මටත් හිතෙනවා තිබුනොත් වටිනවා කියලා.

    ReplyDelete
  4. නඟා මැරූ අල ජාතියේ නම හැදුන විදිහ මම් එකවතාවක් පෝස්ට් එකකින් දැම්මා !!!

    මේ තියෙන්නේ ඒ ලිපිය

    අක්කා ලියන ලිපි මරු !! මාර වටිනාකමක් තියෙන්නේ.

    ReplyDelete
  5. මධු...

    ඔයා දාපු ලින්ක් එකට ගිහින් ඒ කතාව මම කියෙව්වා. අදයි මම ඒක දන්නේ. මේ ලිපිය බලන අයට ඒකත් බලන්න පුළුවන්. නොදන්න දේ කියා දෙනවා වගේම දැනගන්න එකත් වටිනවානේ

    ReplyDelete
  6. මෙ මගෙ බ්ලොග් එක, ගිහින් බලන්න හොදද කියලා...........
    http://raajadhani.blogspot.com/

    ReplyDelete
  7. bohoma sthoothi wistharayata...

    Orchidaseae Anoectochilus setaceus (Vanaraja)

    http://www.ayurvedadept.up.gov.lk/index.php?option=com_phocagallery&view=category&id=9:vanaraja&Itemid=41&lang=si

    ReplyDelete
  8. great artical..I was searching some info about Wanaraja for a long time

    ReplyDelete

කියවලා බලලා හිතට දැනෙන අවංකම දේ මෙතන කුරුටු ගෑවොත් ඒක මට ලොකු ශක්තියක්. ඒ නිසා ඔයාලගේ හැගීම් වචන වලට පෙරලන්න අමතක කරන්න එපා...!!!!!