Thursday, September 1, 2011

පත්තිනි දේවිය

හින්දු භක්තිකයන්ගේ අනන්ත වූ පූජෝපහාරයන්ට ලක්වන අතලොස්සක් දෙවගනන් අතර පත්තිනි දේවියට හිමිවන්නේ ප්‍රමුඛ ස්ථානයකි.  පතිවෘත්තා ධර්මයට අධිපති දෙවගන ලෙස භාරතීය ජනතාව මහත් හරසරින් වැදුම් පිදුම් කරන්නේ පත්තිනි මෑනියන් උදෙසාය.  ඉන්දියාවේ බෙහෙවින් ජනප්‍රිය පත්තිනි ඇදහිලි ක්‍රම බෞද්ධ ජනතාවගේද ජීවිත වලට බලපා ඇති බව පෙනේ.  අදටත් කුඩා දරුවන්ගේ අසනීප තත්වයන් වලදී (පැපොල,සරම්ප, කම්මුල් ගාය) කිරි අම්මාවරුනට දාන මානාදිය පිළිගන්වා පත්තිනි මෑනියන්ගේ පිහිට බලාපොරොත්තු වෙයි.

විකාර ආකාරයෙන් ශරීර අවයවයන් පිහිටි තේජෝ බලපරාක්‍රමයෙන් පිරිපුන් දෙවිවරුන්ගෙන් අනූන හින්දු දෙවියන් පිළිබදව ගෙතී ඇති කතාන්තර අත්භූත මෙන්ම විශ්වාස කල නොහැකි ආකාරයෙන් ප්‍රචලිත වී ඇත.  නමුත් ඊට හාත්පසින්ම වෙනස් පත්තිනි මෑනියන්ගේ උපත පිළිබද ජනප්‍රවාදය ලෙයින් මසින් හා ජීවගුණයෙන් පිරුණු මිනිස් දුවකගේ නිර්මල  චරිතය පිළිබදව විදහා පෙන්වන අනුවේදනීය කතාපුවතක් ලෙසය ප්‍රකටව ඇත්තේ.  ස්වකීය ස්වාමියා කෙරෙහි අචල භක්තියෙන් හා ප්‍රේමයෙන් කල් ගෙවූ පතිනියකගේ ආදර්ශමත් දිවිය මුලු කතාන්තරය පුරාවටම සුවදවත් කරයි. 

ඇය සොළී රටේ උසස්  වෙළද පවුලකට අයත් ඉතාමත් රූමත් ලලනාවක් වූවාය.  ඇගේ නම කන්නගීය.  අසල්වැසි වෙළද පවුලකට අයත් කඩවසම් තරුණයෙකු සමග ප්‍රෙමයෙන් වෙලී සිටියාය.  ඔහුගේ නම කෝවලන්ය.  දෙදෙනා අතර ඇතිවූ පෙම් සබදතාවය කෙළවර වූයේ දෙමාපියන්ගේද ආශිර්වාද මැද්දේ විවාහ දිවියට පිවිසීමෙන් අනතුරුවය.

කන්නගීගේ චරිතයට වඩා කෝවලන්ගේ චරිතය හාත්පසින්ම වෙනස් එකක් විය.  ඇය උපතින්ම සිල්වන්තියක් වූ අතර, ඔහු උපතින්ම දැඩි රාගාධික ගතිගුණ වලින් හෙබි තරුණයෙකු විය.  නොතිත් කාමාශාවෙන් පෙළුනු ඔහු නිතර නිතර වෙනත් කාන්තාවන් ඇසුරු කරන්නට විය.  නලගනක් වූ මාධවී ඔහු ඇසුරු කල එවන් කාන්තාවකි.  දුටුවන් උමතු කරවන අන්දමේ රූ සපුවක් ඇති ඇයට ඕනෑම ජගතෙක් වසගයට ගැනීමට නෙතගින් හෙලන අනුරාගී බැල්ම පමණක් ප්‍රමාණවත් වීය.  සළෙළු කොවලන්ද මාධවීගේ වසගයට පත්වීමට වැඩි කාලයක් ගත වූයේ නැත.  ඇයගේ මායම් වලට අසුවී මත්ව අන්ධවී සිටි ඔහුට පියවි සිහිය ලැබුනේ ඇය තවත් අයෙකු සමගත් මෙවන් සබදකමක් පවත්වන බව දැනගත් පසුය.  මේ කාලය වනවිට ඔහුගේ මුඵ සේසතම ඇගේ දෙපාමුල විසුරුවා අවසානය.  අසරණ භාවයට පත් කෝවලන් නැවතත් සිය ගුණවත් භාර්යාව ලගට ගියේය.  සැමියාගේ වෙන්වීමෙන් බලවත් ලෙස කම්පනයට පත්ව සිටි කන්නගී ඔහු ඉතා ආදරයෙන් යුතුව නැවතත් පිලිගත්තේ සිය සලෙලු සැමියා කෙරෙහි අනුකම්පා කරමිනි. 

ඉන්පසු මොවුහු පෙරසේම අදරයෙන් කල් ගෙවූහ.  නමුත් කෝවලන්ගේ ධනය පරිහාණියට පත්වූ  නිසා පෙර මෙන් උසස් සමාජයේ වැජබෙන්නට අවස්ථාවක් නොවීය.  කන්නගීගේ ඥාතීන් හා අනෙකුත් උසස් ප්‍රභූන්ද මොවුන් කෙරෙහි දැක්වූයේ එතරම් සිත් ඇදගන්නා සුඵ ලෙන්ගතු කමක් නොවේ.  සොළී රටේ සිටීමෙන් පලක් නොවන බව වටහා ගත් ඔවුන් රැකියාවක් සොයා පඩි රටේ මදුරා පුරයට ගියේ ඉන් අනතුරුවයි.  බොහෝ සෙයින් ජනාකීර්ණ වූ මදුරාපුරයේ එක්තරා වීථියක මාධවී නම් ගොපලු ගැහැණියකගේ අතුපැලක අගුවේ ටික කලක් ඉන්නට ඔවුනට අවසර ලැබුනි.  පිටරටක සිට පැමිණි නන්නාදුනන අයෙකුට එක්වරම රැකියාවක් දෙන්නට කවුරුත් ඉදිරිපත් වූයේ නැත.  මේ නිසා ඔවුනට ආහාර පාන සොයා ගැනීමටද අපහසු විය.  ස්වකීය ගුණ ගරුක බිරිද ආහාර පාන නැතිව කල් ගෙවනු දුටු කෝවලන්ගේ සිත බොහෝ සෙයින් දුකට පත්විය.  එමෙන්ම තම ස්වාමියා මෙලෙස දුකින් සිටිනු දකින්නට කන්නගීද අකමැති වූවාය.  ඇය මෙතෙක් කල් පය ලා සිටි පා සළඹ ගලවා සැමියාට දී එය විකුණා මුදල් ලබාගෙන ආහාර පාන ගෙන එන ලෙස කීවාය.  වෙනත් පිහිටක් නොවූයෙන් අකමැත්තෙන් වුවද ඊට කැමැත්ත පලකල කෝවලන් සිය ගුණවත් බිරිදගේ පා සලඹ විකුනා ගැනීමට කඩපිලට ගොඩ විය.

මේ වනවිට පඩි රටේ රජතුමාගේ අගබිසවගේ පා සලඹ සොරුන් විසින් පැහැර ගෙන ගොස් තිබුණි.  මේ කිසිවක් නොදත් කෝවලන් තම බිරිදගේ පා සලඹ විකිනීමට තැත් කරද්දී රාජ පුරුෂයන් විසින් ඔහුව අල්ලාගෙන රජතුමා ඉදිරිපිටට පැමිණවීය.  අගබිසවගේ පා සලඹට හැම අතින්ම සමාන වූ නිසා කෝවලන් මොන දේ කීවත් එය තමාගේ බිරිදගේ පා සලඹ බව ඒත්තු ගැන්වීමට නොහැකි විය.  රාජ උදහසට ලක්වූ කෝවලන් උල තබා මරන්නට රජතුමා නියෝග කලේය.  අප්‍රමාදව දඩුවම ක්‍රියාත්මක විය.

පා සලඹ විකුණා මුදල් රැගෙන එන්නට ගිය සිය සැමියාගේ ප්‍රමාදය ගැන පුදුමයට පත් කන්නගී ඔහු ආගිය තැන් ගැන සොයන විට ඇයට දැනගන්නට ලැබුණේ රජ බිසවගේ පා සලඹ සොරකම් කිරීමේ චෝදනාවට කෝවලන් උල තබා මරා දමා ඇති බවයි.  ඕ පිස්සියක මෙන් විලාප තබන්නට වූවාය.  වහ වහා රජ මැදුරට ගිය ඇය සැමියාගේ මළ සිරුර වැළදගෙන දෙවියන් යදිමින් වැළපෙන්නට විය.  පඩි රටටත් රජුටත් ශාප කලාය.  ඒ ක්ෂණයකින් මුඵ නුවරම ගිනි බත් වී පඩි රජුද මරණයට පත් විය. 

පතිවෘතා ධර්මයේ බලමහිමයෙන් කල හපන්කම නිසා ඒ පතිනිය පත්තිනි නාමයෙන් පසුකලෙක දේවත්වයෙහි ලා සැලකෙන්නට විය.  මෙරට රජකල 1 වන ගජබා රජු සොළි දේශය ආක්‍රමණය කොට බලගතු සොළී රජකු විසින් ගෙන ගිය දොලොස් දහසක් සිංහලයන් සමග හිලව්වට සොලීන් දොලොස් දහසක් රැගෙන ආපසු එන ගමනේදී පත්තිනි දේවියගේ රන් සළඹද මෙහි ගෙන ආ බව ප්‍රකට පුවතකි.  සළඹ ගෙන එන ලද්දේ පත්තිනි දේවිය අදහන සොලී සිර කරුවන්ගේ ආගමික කටයුතු සදහාය.  එතැන් පටන් අප රටේද පත්තිනි ඇදහිල්ල ආරම්භ වූ අතර කල් යත්ම සිංහලයො ද පත්තිනි දේවිය කෙරෙහි පුද සැලකිලි පවත්වන්නට විය.

පත්තිනි දේවිය අඹ ගෙඩියකින් උපන් බවක් කියවෙන ජනකතාවක් ද අප රටේ ප්‍රසිද්ධව ඇත.  ඇගේ පයෝධරයක් කඩා ගින්නට දැමූ බවක් හා ඒ නිසා අදටත් කාන්තාවන්ගේ එක් පයෝධරයක් අනෙකට වඩා තරමක් කුඩාවට පිහිටන බවක්ද ජනප්‍රවාදයේ සදහන් වෙයි. මේ කතා කෙසේ වෙතත් ඉපැරණි සිංහලයා පත්තිනි දේවිය කෙරෙහි අචල භක්තියක් දැක්වීය.  පත්තිනි හෑල්ල, පාඩි නළුව, වයිනඩිය, අඩවිදමන, ආදී කව් පොත් රාශියක් පත්තිනි දේවිය වෙනුවෙන්ම රචනා වී ඇති නිසා පත්තිනි දේවිය මෙරට ජනතාව අතර කෙතරම් ජනප්‍රිය වීද යන්න මැනවින් පැහැදිලි වේ.  අදත් පත්තිනි දේවිය වෙනුවෙන් නවගමුව, මහනුවර, බදුල්ල, තියඹරාහේන, හා උදුන්විට යන ස්ථානවල පිහිටි සුප්‍රසිද්ධ  පත්තිනි දේවාලයන්හි වාර්ෂිකව පෙරහැර හා උත්සව මහා ඉහලින් පැවැත්වේ.

6 comments:

  1. නොදන්න දේවල් ගොඩක් දැන්ගත්ත..මාතලන් සින්ඩියට දැම්මෙ නැද්ද..

    ReplyDelete
  2. ලලිත්

    ඔයා කලින් දාපු ලින්ක් එකෙන් ගියත් ඒක ඔන් වෙන්නේ නැහැ.

    ReplyDelete
  3. මේ ලොකේ දෙවිවරුන්ට පුද පූජා පැවෙත් වුවත් තමන් අතුලෙ ඉන්න දෙවියව විශ්වාස නොකර,,,කරන කිසිදෙයක්‌ පලක්‌ නොවේ....(self confident)
    පොඩි කාලේ ඉන්දන් මෙවැනි ජන්ප්‍රවාද අහන්න ආසයි
    ස්‌තූතී

    ReplyDelete
  4. ගොඩක් වටින විස්තර ටිකක් !!!!
    පත්තිනි දේවියට සත්පත්තිනි කියලත් කියනවා කියලා මම අහලා තියෙනවා. එහෙම කියන්නේ එතුමිය හත්වතාවක් ඉපදුනු නිසාලු.
    තව දෙයක් තමයි ඔය කිරි අම්මලාගේ බාර එහෙමත් කරන්නේ පත්තිනි මෑණියන්ට.
    මම මේ කතාව නම් මිට කලින් අහලා නෑ අහන්න ලැබුනේ මල්මිගේ බ්ලොග් එකෙන්. ගොඩක් ස්තුතියි මලමි. මලමි ඉතින් හැමදාම වටින කියන දේවල් ලියන නිසා නොදන්නා ගොඩක් දේවල් මම මේ බ්ලොග් එකෙන් දැනගන්නවා.

    ReplyDelete
  5. මධු....

    පත්තිනි මෑණියන්ගේ ස්වරූප 7ක් තියෙනවා කියන එක ඇත්ත. ඒ ගැන තව විස්තර හොයාගෙනම ලියන්නම්කෝ.

    ReplyDelete
  6. කන්නගීගේ ස්වාමියාගේ නම පාළඟ නමිනුත් සඳහන් වෙනවා

    "ඇය සැමියාගේ මළ සිරුර වැළදගෙන දෙවියන් යදිමින් වැළපෙන්නට විය. පඩි රටටත් රජුටත් ශාප කලාය. ඒ ක්ෂණයකින් මුඵ නුවරම ගිනි බත් වී පඩි රජුද මරණයට පත් විය.

    තමන්ගේ එක් පියයුරක් කඩලා බිම දමා ගැසීමෙන් තමා මේ විදිහට නගරය ගිනි ගන්න පටන් ගන්නේ

    "මෙරට රජකල 1 වන ගජබා රජු සොළි දේශය ආක්‍රමණය කොට බලගතු සොළී රජකු විසින් ගෙන ගිය දොලොස් දහසක් සිංහලයන් සමග හිලව්වට සොලීන් දොලොස් දහසක් රැගෙන ආපසු එන ගමනේදී පත්තිනි දේවියගේ රන් සළඹද මෙහි ගෙන ආ බව ප්‍රකට පුවතකි. සළඹ ගෙන එන ලද්දේ පත්තිනි දේවිය අදහන සොලී සිර කරුවන්ගේ ආගමික කටයුතු සදහාය"

    අනුරාධපුර යුගයේ සිටි ගජබා රජ සමයේ වූ මේ ආක්‍රමණයේදී ලංකාවෙන් ගෙනගිය පිරිස මෙන් දෙගුණයක් සොළීන් ලංකාවට රැගෙන ආ බවයි කියන්නේ. ඒ කියන්නේ සොළීන් 24,000 ක්. පත්තිනි සළඹ නවගමුවේ තැන්පත් කර පුදපූජා පැවැත්වීම ඇරඹෙන්නේත් ගජබා රජ සමයේ පටන්

    ReplyDelete

කියවලා බලලා හිතට දැනෙන අවංකම දේ මෙතන කුරුටු ගෑවොත් ඒක මට ලොකු ශක්තියක්. ඒ නිසා ඔයාලගේ හැගීම් වචන වලට පෙරලන්න අමතක කරන්න එපා...!!!!!