Saturday, May 25, 2013

ඇය කොහිද????





මල් ඔසරියෙන් සැරසී හැමවිටම               වගේ
පොත් ටික තුරුළු කරගෙන අපෙ දෙවට     දිගේ
තැන්පත් කමට තාලෙට පා තබපු              අගේ
ඔබ ගිය අයුරු තාමත් පෙනෙනවා             වගේ

සිසුකැළ වෙතට පොවමින් සිප්       මනාවන්
නිතරම මුවග රැදි පෙම්බර              සිනාවන්
අමතක කරපු හැමදුක්                 වේදනාවන්
ජාතිත් මගේ අම්මා                     වාසනාවන්

පැහැබර අනාවක් නැති බව                     සිහිවෙනවා
දුක්බර හැගුම් හැමවිටකම                        මතුවෙනවා
දුක් කදුළැලි පිරී දෙනයන                        නලියනවා
පෙම්බර අම්මෙ ඔබ ගැන තව                වැලපෙනවා

නැටුවෙමි සිනාවිමි නගමින් රස                දෝත
දුක්වීමි හැඩිමි හැමුවෙන් සැඩනල             බීත
දිව්වෙමි බැලුවෙමි පාලුයි සතර                 අත
සෙව්වෙමි සොයමි අම්මා අද ගෙදර          නැත

අපගේ ගෙපැල ඔබටහ අමිහිරි              විද
මිහිකත ඔබට සුව යහනක්            දුන්නාද
මුමුනන සුළං රැළි සමගින් වී               හාද
ගෙදරදි වගේ තවමත් කවි           ලියනවද

අව්වැසි සුළං නිති පීඩා නොම          දේවා
නිසසල රැයේ තනිකම නම්   නොදැනේවා
තරුවැල් සමග හද ආලෝකය          දේවා
ඔබගේ සොහොනෙ දහසක් මල් පිබිදේවා!!!

Friday, May 17, 2013

ඇය සමුගෙන......!!!!!!









 








නෙතට පොත යොමු කරවූ, අතැගිලිවලට පෑන හුරු කරවූ මා දයාබර අම්මා!!!!  මගෙන් සමුගෙන , අපෙන් සමුගෙන හෙටට දින තිහක් .  කාලය ගෙවි යන වේගයෙන් මතකයන් අමතක කල නොහැකි නිසා          සිත්හරිහැටි ගලපන්නට මගේ සිතට තවමත් දිරියක් නැහැ.  

ලෝභ හිතෙනවා බොහෝ දේවල් මතක් වෙනකොට.  අම්මාට සැලකුවේ නැහැ කියලාවත්, ඇය ගැන සොයා බැලුවේ නැහැ කියලාවත් මගේ හිතට දුකක් නැහැ.  හේතුව ඇයට සියල්ල ලැබුණ නිසා.  ඇය සතුව සියල්ල තිබුණ නිසා!!!!

නමුත්, ඇයට තිබූ දිරිය, ආත්ම ශක්තිය, දරා ගැනීමේ අසීමිත හැකියාව මා සතුව තිබේදෝ සැකයි.  හිතට ලොකු දුකක් දැනෙනවා අම්මා දැන් නැහැ කියලා හිතෙනකොට.  මගේ හිත තවමත් සූදානම් නැහැ ඇය අපව හැරගිය බව පිළිගන්නට.  වෙලාවකට මට බොහෝම දඩබ්බර සිතුවිලි පහල වෙනවා.  අම්මා ඉන්න තැනකින් කොහොම හරි හොයාගෙන එන්න හිතෙනවා.  කියවන ඔබ මොන දේ හිතුවත් ඇත්තටම මට එහෙම හිතෙනවා.  මට මාවම පාලනය කල නොහැකි බවක් දැනෙනවා.  උදේ කාලය තනියම ගතවෙනකොට අම්මා ගැන හිතට දැනෙන දේවල් බොහෝමයි.

දන්නවද? බොහෝ දෙනෙකුට නොලැබුන භාග්‍යයක් මට ලැබුනා.  ඉපදෙන්නට මාස නවයකට කලින් සිටම දිනපතා පාසැල් යන්නට.  උගන්වන දේට ඇහුන් කන් දෙන්නට.  ඒ අවස්ථාව මට ලැබුනේ මගේ අම්මා ගුරුවරියක් වූ නිසාමයි.  නමුත් පුංචි කාලේ ඉදන්ම මට ටිකක් කනස්සලු ගතියක් දැනුනා.  අම්මා මා ගැන සොයා බලනවා මදි කියලා.   මගේ පොත් පත් ගැන අවධානය යොමු කරන්නේ නැහැ කියලා.  ඇත්තටම හිතලා බලනකොට එවැනි අවශ්‍යතාවයක් නොතිබුනා වෙන්නට ඇති.  මම සියල්ල හොදින්  කල නිසා.  අම්මා බොහෝම කැපවුනේ ඇගේ පාසැලේ දැරියන්ගේ පොත් පත් ගැන. පාසැලේ කටයුතු ගැන.  අසනීපයකටවත් මගේ අම්මා ගෙදර හිටි දිනයක් මට මතක නැහැ.  

කවි ලියන්නට , ලස්සනට ගායනා කරන්නට ඇය බොහෝම දක්ෂයි.  වෙලාවකට මට පුදුම හිතෙනවා අම්මා ආදරේ කරපු අම්මාගේ පාසැලේ දැරියන් අද වැඩිහිටියන් වෙලා.  අම්මාත්  වියපත් වෙලා විශ්‍රාම ගිහින් වසර 15ක් විතර වෙනවා.  නමුත් ඔවුන් මෙවරත් ආවා අවුරුද්දට බුලත් දෙන්නට.  එතකොට මගේ අම්මා ලෙඩ ඇදට වෙලා දින 5ක් විතර.  ඒ බොහෝ දෙනෙක්, අම්මා සමග එක පාසැලේ ඉගැන්වූ ගුරුවර ගුරුවරියන් බොහෝ දෙනෙකුත් අවසන් මොහොතේ ඇයට සමුදෙන්නට ඇයව ඇරලවන්නට පැමිණ සිටියා.  

මම තවමත් හිතනවා ඇත්තටම ඇය අපෙන් සමුගෙනද කියලා.  මම මගෙන්ම විමසනවා මගේ අම්මා ගැන !!!!!!!