Wednesday, November 30, 2011

පන්සල් මගුලක්



ටික දවසකට පස්සේ මටත් ඉතිං පිං සිතුවිල්ලක් පහළ වෙලා හිතුනා නිවී සැනසිල්ලේ වැද පුදාගන්න ඕනෙයි කියලා.  මම මගේ හොදම යාළුවත් එක්ක ගියා පන්සලකට.  හැබෑවටම ගමක කෙළවරේ අක්කර දෙකහමාරක විතර (මං හිතන විදියට) විශාල ප්‍රදේශයක් පුරා පැතිරුණ බොහෝම නිස්කලංක තැනක්.

කොළඹ ඉදලා කිලෝමීටර් කිහිපයක් ගියහම තමයි මේ පන්සල් භූමිය පිහිටලා තියෙන්නේ. බුදුන් වහන්සේගේ කාලයේ ඉන්දියාවේ පිහිටි එක්තරා සිද්ධස්ථානයක් සිහිගන්වන්නට කරපු ආකෘතිකමය නිර්මාණයක්.  ඒ නමින්මයි මේ පන්සල හැදින්වෙන්නේ. පන්සලේ නායක හාමුදුරුවොත් රටේ ප්‍රසිද්ධ හිමි නමක්.  

ඉතිං ඕං අපි මල් තෙල් එහෙමත් අරගෙන පන්සලට ඇතුල් වුනා.  ඒකට ඇතුල් වෙච්ච වෙලාවේ ඉදන්ම හරියට මිනී කාක්කෝ රැළක් වගේ සෙල් ලිපියක අකුරක් කොටන්න දුවේ ආධාරයක් කොරලා යන්න කියාගෙන එක උපාසක මාතාවක් ආවා.  ඊළගට මහාමායා පෙරහැර පවත්වන්න ආධාරයක් කරන්න.  විහාර ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණයට. ඔය වගේ අරවට මේවට කියලා නානාප්‍රකාර ආධාර ඉල්ලගෙන කට්ටිය වටේටම ගොඩයි. පන්සල ඇතුලේ අතන මෙතන මේස දාගෙන ටිකට් ගහගෙන සැදැහැතියෝ ගොඩයි.

අපි ඉති ඒ ගැන බොහොම සැදැහැ සිතින් ඉස්සරහට යනකොටම මෙන්න බොලේ මනමාලියක් සැතපෙන පිළිමයක් ඉදිරිපිට ඉන්නවා.  මනමාලයා පැත්තක. පුංචි කෙළි පැටික්කියෝ තුන් දෙනෙක් විතර මට මතක විදියට, තව දෙවැනි මනමාලි, කැමරාමන්, ඔහුගේ සහායක. මගේ දෙයියනේ ...!!!!!! අර බුදු පිළිමේ ඉස්සරහා එක මංගල්‍යයයි.  මාත් පොඩ්ඩක් ඇහැ කරකවලා බලාන හිටියා. 

ඕං ටික වෙලාවකින් බෝධීන් වහන්සේ ඉදිරිපිට පොටෝ ගහනවා.  ඊළගට බුදු ගේ ඇතුලට යන්න විදියක් නැහැ ඇයි ඉතිං අපි පොටෝ එකට වැටුනොත් එහෙම.  එතන මල් පුදනවා, එතකොට පඩිපෙළ දිගේ මනමාලි විරිත්තගන මනාලයා දිහා බලාන ඉන්නවා.  ඔය විදියට නානාප්‍රකාර ඉරියව් වලින් පොටෝ ගැහිල්ල කෙලවරක් නැහැ.  

ඒ අස්සේ පොටෝ මහත්තයාගේ හෙලෝ එක වදිනවා. එයා කැමරාවත් උස්සන් එහාට දුවනවා. මෙහාට දුවනවා. අපොයි මදැයි මමත් නිවී සැනසිල්ලේ වැදපුදා ගන්න ගියා. මට ඇත්තටම තරහත් ගියා. මම හිතුවා මේ මගුල් ගෙදර පෝරුවට නගින්න කලින් පන්සල් ඇවිත් යනවා වෙන්න ඇති කියාලා.  මොනවා වුනත් මේක පන්සලක්නේ. මෙහෙම දේවල් හොදද මන්දා කියලා හිත හිතා ඉදලා මට හරියට හිත එකතැනක තියන් වදිනත් බැහැ. 

ඔහොම ඉදලා පැයකට විතර පස්සේ මම ආපහු එන්න හිතාගෙන පාරට එනකොට ප්‍රධාන දොරටුව ලගම සුදුපාට තිර රෙදි ඇදලා ඒ පැත්තට කාටවත් යන්නත් බැහැ. පේන්නෙත් නැහැ.  ඒ හරියේ තියෙනවා මහාමායා මන්දිරය කියලා එකක්.  එතනින් පිටිපස්සේ ධාතු මන්දිරයකුත් තියෙනවාලු.  

මෙන්න බොලේ කියාපි එ‍තන තිර රෙදි ඇදලා තියෙන්නේ වෙඩිම ගන්නේ එතන නිසාලු. දෙයියෝ සාක්කි...!!! එහෙම මගුල් ගන්න පන්සලෙන් අවසර දෙනවාලු. හත්වලාමේ මේක මගුල් පන්සලක්නේ හැබෑවටම.  මේ පන්සල ඇතුලේ සිද්ධියක් හොදේ.  ඒ හරියේ තව පොත් වගයක් විකුණන වයසක උන්දෑ කෙනෙකු හිටියා. මම මගේ මගුල් ගේ ගැන අහනවා වගේ විස්තර ඇහුවා.  එහෙම මහාමායා මැදුර හෝල් එකක් වගේ පාවිච්චි කරන්නත් පුළුවන්ලු.  සුළු ගානයිලු ගන්නේ.  මස් මාංශයෙන් තොරව, මත් වතුර නැතිව, සිංහල විදියට ගන්නවා නම් වෙඩිම ගන්න පුළුවන් කියලත් කිවුවා.  මට ගිහින් කාර්යාලයෙන් විස්තර දැනගන්න කියලත් කිව්වා.  වෙන වෙලාවක එනවා කියලා මම එතනින් ආවා.  නානාප්‍රකාර ඇදුමෙන් සැරසුන උදවිය මගුල් ගෙදරට ඇවිත් පිනක් දහමක් ගැනත් බලාපොරොත්තු වෙන් හිටියා වෙන්ටෑ.

ඔය පන්සලේ යනවානෙ මහාමායා පෙරහැර කියලා එකක්.  බුද්ධාගමේ මේවා ඇතුලත් වෙලා තියෙනවාද නම් මම දන්නේ නැහැ.  හැබැයි ඒ මහාමායා දේවියට බාරයක් වෙන්න කියලා ටික දවසකට කලින් මටත් කියලා තිබුනා.  දෙයියනේ ඒ මහාමායා දේවියගේ පිළමය ඉස්සරහා ගැටගහලා තියෙන පඩුරු.  දෙයියන්ටවත් ඔහොම බාර ගැටගහන්නේ නැතිව ඇති.

අනික ඔය විහාරයේ තියෙනවා පොඩි ගහක්.  ඒ ගහෙන්ම හැදෙනවා මොනවද මන්දා නූල් වගයක්.  ඒවා කඩලා මිනිස්සු පොරකනවා ගැටගහන්න.  ඇගිල්ලක් ගහන්න තරම් ඉඩක් නැහැ. ඔය ගැටගහන්නේ ප්‍රාර්ථනාවල් කියනවානේ.   ඒකට කියන්නේ ප්‍රාර්ථනා ගහ කියලා. නිකන් බලාගෙන ඉන්නේ නැතිව ඔයත් ගිහින් ප්‍රාර්ථනා ගහේ නූලක් ගැටගහන්න.