Wednesday, November 16, 2011

වාකිරිගිල හිමියෝ බේරුනේ අනූනවයෙන්

මම මේ කියන සිද්ධිය වෙලා තියෙන්නේ මීට බොහෝ කාලයකට පෙර. වාකිරිගල කියන ගම පිහිටා තියෙන්නේ කෑගල්ල දිස්ත්‍රික්කයේ.  අරනායකත් , කෑගල්ලත් කියන මැතිවරණ කොට්ඨාශ දෙක සීමාවේ

මෙහි ආරණ්‍යයක් තියෙනවා. ඒ ආරණ්‍යය තියෙන්නේ කන්දක් මුදුනේ.  සිසිල් දිය පිරුණු ගැඹුරු දොලක් එහෙම යන මග තොටදී මුණ ගැහෙනවා.  මේ දොළ වටා ගෙතුනු කතාත් බොහෝමයක් තියෙනවා.  දොළේ ගලක් යට රන් තැටියක් සහිත වටිනා නිධන් වස්තුවක් ඇති බවත් කියවෙනවා.  පණ්ඩුකාභය රජතුමා දිය නෑමට මේ දොළට ආවා කියලත් ජනප්‍රවාදයේ සදහන් වෙනවා.  

මේ ආරණ්‍යෙය් වැඩ වාසය කල හාමුදුරුවෝ දවසක් ආරච්චි රාළ හා තවත් ගම් වැසියන් දෙදෙනෙකුත් එක්ක කතරගම වැද පුදා ගන්නට පිටත් වුනා.  ඔවුන් මෙහෙම ගමන් කරමින් තිස්සමහාරාමයට සේන්දු වුනා.  අද වගේ නොවෙයි එදා තිස්සමහාරාමය නොදියුණු පළාතක්.  කොහේ ගියත් යායුත්තේ පාගමනින්ම තමයි.  වාකිරිගිල හාමුරුවන් සහ පිරිස තිස්සමහාරාමයට පැමිණෙන විට ටිකක් රෑ බෝවී තිබුනා.  ඒ වෙනකොට තිබුනේ කුඩා කඩ කිහිපයක් විතරයි.  මේ එක් කඩයකින් කඩිමුඩියේ පිළියෙල කර දුන් තේ වලින් සප්පායම් වෙලා හාමුදුරුවෝ ඇතුලු පිරිස කතරගමට ගමන් අරඹන්ට සූදානම් වුනාම වාකිරිගල හිමි ඉදිරියට පැමිණි කඩ හිමියා රාත්‍රි කාලයේ ගමන් කිරීම භයානක බව පෙන්වා දුන්නා. නමුත් හාමුදුරුවෝ කිසිවක් තැකීමක් නොකොට ගමන පිටත් වුනා.  

හාමුදුරුවෝ තමන් සමග ගිය පිරිස දිරි ගන්වමින් ඉදිරියට ගමන් කලා.  මේ විදියට යන කොට එකපාරටම මහ කැලයේ සිට කෙනෙක් ඔවුන් ඉදිරියට පැන්නා.  බැලූ බැල්මට කැලේ ඉදන් ඉදිරියට පැන්නේ ගල් වැද්දෙක් බව තේරුම් ගත්ත පිරිස හොදටෝම බය වුනා.  

වැද්දා පිරිස දිහා රවා බලා අතේ තිබුණ දුන්නෙන් පාර හරහා වැල්ලේ ඉරක් ඇද නොතේරෙන බසකින් යමක් කිවුවා.  නමුත් කී බස නොතේරුනත් ඔහු කිවුවේ තමන් ඇදි ඉරෙන් එහාට නොයන ලෙස බව හාමුදුරුවන්ට තේරුම් ගියා.

පිරිස දෙස තවදුරටත් බලා සිටි වැද්දා උඩ බලා හූ හඩක් තැබුවා.  එවිටම තවත් වැද්දෝ අටදෙනෙක් එතැන්ට දිව ආවා.  වැදි පිරිසට කතා කල වැදි නායකයා,

“අඩෝ, ඕක කහ හූරා, මිටගහ....කීවා.

ඔන්න ඉතිං මිටි ගැහීම පටන් අරන්.  වැදි නායකයාගේ අණ ලැබුණ ගමන්ම වැද්දෝ හත් දෙනෙක් කැලෑවට වැදිලා ටික වෙලාවකින් දිග ලීයකුත් රැහැන් පටවල් කිහිපයකුත් රැගෙන ඇවිත්. එකපාරටම හාමුදුරුවන් වෙත කඩා පැනලා බිම පෙරළාගෙන ලීයට තියලා බැදලා.  කරගන්නට දෙයක් නොමැති වුන ආරච්චිත්, ගැමියොත් වෙත දත නියවා යමක් කියූ වැදි නායකයා තඩලාගත් හාමුදුරුවෝ තමන්ගේ සගයින්ගේ කර පිටින් කැළයට ගෙන ගියා.

මෙසේ කුදලා ගත් හාමුදුරුවන් අතින් අතට මාරු කරගනිමින් අකුල් අස්සෙන් රිංගාගෙන ගමන් කල වැද්දෝ මධ්‍යම රාත්‍රිය විතර වෙන විට ඔවුන්ගේ ගල් ගුහාවට ආවා.  අතරමගදී කැලෑවේ අකුල් අස්සෙන් රිංගගෙන ගිය නිසා අතු රිකිලි හා කටුවැල් වලට හීරීමෙන් හාමුදුරුවන්ගේ හිස පටන් දෙපතුල දක්වාම තුවාල වෙලා තිබුනා.

ගල්ගුහාවට පැමිණියාට පස්සේ හාමුදුරුවෝ බිමට අතහැරියා.  ඒ වෙලාවේ උන්වහන්සේගේ හිස පැලී ගියා.  හාමුදුරුවන් බිම දමා නායක වැද්දා හා ඔහුගේ සගයන් ගල් ගුහාව ඇතුලට වැදී සිටි අතර වැදි පැටව් ගුහාවෙන් එළියට ඇවිත් හාමුදුරුවන් බැද තිබූ ලීය වැල්පටකින් බැදගෙන දොරකඩ එහා මෙහා ඇදගෙන යමින් බිම දමමින් සෙල්ලම් කරන්නට පටන් ගත්තා. වැදි පැටවුන් මෙසේ සෙල්ලම් කීරීම හාමුදුරුවන්ට නම් ලෙල්ලමක්ම වුනා.  එහා මෙහා ඇදගෙන යාම නිසාම උන්වහන්සේගේ සිරුර තව තවත් තුවාල වී ලේ ගලන්නට වුනා.

ටික වෙලාවක් ගුහාව තුලට වෙලා හිටි වැද්දෝ වැදි පැටව් එලවා දමා හාමුදුරුවන් ලිහාගෙන ගුහාව දොරකඩට ගියා.  එහිදී මී වද කැබැල්ලකුත් මස් කැබැල්ලකුත් හාමුදුරුවන්ට කන්නට දුන්නා.  නොකෑවොත් එය වැද්දන්ගේ කෝපයට හේතුවක් වනු ඇතැයි සිතූ හාමුදුරුවෝ මීවද කැබැල්ල කඩා උන්ට පෙනෙන පරිදි කටේ ඔබා ගිල දමන ලදී.  මේ සංග්‍රහයෙන් පසුව එක් වැද්දෙක් පැමිණ හාමුදුරුවන් ඔසවාගෙන ගොස් වැදි ස්ත්‍රීන් පෙන්වනු ලැබුවා.

නිරුවතින් මෙන් සිටි වැදි කාන්තාවන් දෙස බැලීමට අකමැති වූ උන්වහන්සේ සිවුරු පොටක් ගෙන ඇස් වමා ගන්නට උත්සාහ කළ නමුත් එක් වැද්දෙක් හාමුදුරුවන් වෙත පැන සිවුරු පොට ඉවත් කර ඇගිලි තුඩින් ඇස් ඇර වැදි ස්ත්‍රීන් දෙසට හිස හරවා පෙන්වීය.  ඉන්පසුව තවත් වැද්දෙක් දුනු හී අරගෙන නොයෙක් වැදි දස්කම් පෙන්නුවා.  එක් වරක් ඔහු හාමුදුරුවන්ගේ කණ ලගින් යන පරිදි හීයක් විද්දා.  තවත් හීයක් උන් වහන්සේගේ නාසයේ ගෑවී නොගෑවී  යන විදියට විද්දා.

මේ දස්කම් පෙන්නුවාට පස්සේ නැවත වරක් ලීයට තබා බැද ගෙන හාමුදුරුවන් කරපින්නාගෙන පෙර පරිදිම කැලෑ වැදුනා.  හාමුදුරුවන් රැගත් වැද්දෝ කැලෑවේ බොහෝ දුරක් ගමන් කොට දුගද හමමින් තිබූ මිනිසෙකුගේ මළ සිරුරක් වෙත ගියා.  එයත් වැද්දන්ගේ හපන්කමක් බව වාකිරිගල හාමුදුරුවන්ට පෙනුනා.

මේ හපන්කම් සියල්ල පෙන්නුවාට පස්සේ යලිත් හාමුදුරුවන් වහන්සේව තඩලාගත් වැද්දෝ මහ වනයේ රවුමක් ගෙන ගොස් අලුයම් වේගන එන විට අල්ලාගත් තැනටම ආපසු ගෙනැවිත් බිම දමන ලදී.  එතෙක් එතැනටම වී එහාටවත් මෙහාටවත් නොගොස් භයිනුත් කම්පනයෙනුත් තැවෙමින් සිටි ආරච්චි හා අනෙක් දෙදෙනාට මොන මොනවදෝ කී වැදි නායකයා වනයේ එක් පැත්තකටත්, අනෙක් වුන් තවත් පැත්තකටත් පැන නොපෙනී ගියා.

පැය දොළහක් විතර සිහිසන් නැතිව හිටි වාකිරිගල හාමුදුරුවෝ යම්තම් සිහි ලබන විට සිටියේ මාතර රෝහලේලු.

3 comments:

  1. මම ඔය කියන වාකිරිගල පන්සල ගන අහලා තිබුනට මේ කතාව නම් අහන්නේ අදමයි. එතකොට අක්කන්ඩි අර වැද්දෝ ටික හාමුදුරු නම අල්ලගෙන ගියේ මොකටද කියලා ආරංචියක් නැද්ද ??

    ReplyDelete
  2. ඇයි හාමුදුරුවන්ව අල්ලගෙන ආපහු හිටපු තැනටම ගෙනත් දැම්මේ ? මට තියෙන ප්‍රශ්නේ ඕකයි අපේ අක්කා.

    ReplyDelete
  3. සමහරවිට හාමුදුරුවරු ගැන අහලා තිබුණත් මොනවගේ ගතිගුණ ඇති අයද කියන්න නොදන්න කම නිසා සිල්වත් බව වගේ දේවල් ගැන පොඩි පහේ විමසුමක් එක්ක තව ඔය මොනවා හරි හිතෙන්න ඇති. මටත් මේ ප්‍රශ්ණ තියෙනවා. ඒත් උත්තර තවම නැහැ.

    ReplyDelete

කියවලා බලලා හිතට දැනෙන අවංකම දේ මෙතන කුරුටු ගෑවොත් ඒක මට ලොකු ශක්තියක්. ඒ නිසා ඔයාලගේ හැගීම් වචන වලට පෙරලන්න අමතක කරන්න එපා...!!!!!