අපෝ මට නම් පිස්සු හැදෙනවා. මෙහෙමත් ගෙයක්. මේක කවදාවත් අස් කරල හොදින් තියාගන්න නැහැනේ. අරහෙන් ඇදලා, මෙහෙන් ඇදලා ඇදුම් හැම තැනම. ගලවපු ගලවපු තැන්වල. මොකද්ද අනේ මේකේ තේරුම. මම ගෙදර වැඩකාරියක් කියලා හිතුවද?
උදේ නැගිට්ට වෙලාවේ ඉදන් නැහිලා නැහිලා, මට නම් දැන් මේ ජීවිතේ තිත්ත වෙලා.
තාත්තත් එකයි.
ළමයිනුත් එකයි. උන් ඊට එහා.
කොහෙද ඉතින් මහ මිනිහා පිළිවෙලකට වැඩ කරන්න එපැයි. ළමයි පිළිවෙලක් වෙන්න.
අපෝ මම ගෙදර හිටිය කාලේ කොයිතරම් නිදහසකින්ද හිටියේ. මගේ ගෙදර මගේ කාමරේ මම කොයිතරම්නම් පිළිවෙලකට තියාගෙන හිටියද? මිදුල පුරාම මල් පිපිලා. බලන්න ලස්සනේ බෑ. ඒකට දැන්. මල් ගහක් හිටවන්න තියා මලක් කඩා ගන්නවත් ඉස්පාසුවක් නැහැ.
ගෙදර ඉන්නකොට මම ගේ කී පාරක් නම් අතුගානවද? වැලි පෑගෙනකොට මටම අප්පිරියයි. ඒකට දැන්. එහෙම කරන්න ගියොත් මුළු දවසම කොස්ස අතේ තියාගෙන තමයි ඉන්න වෙන්නේ.
කොහේ හරි ගිහින් ලැගල ඇවිත් මඩ තලි පිටින් එහෙමම ගෙට එනවා. කකුල් පිහදාන්නෙත් නැහැ. අයියෝ මේක දැන් මගේම ගෙදර වෙලත් වැලි විතරක් යෑ.....කඩදාසි කෑලි, සිගරට් කොට , ඒ අළු හැම තැනම. ගන්දස්සාරේ බෑ. අනේ මටත් ගිය කලක්.
මම ගෙදර ඉන්න කොට, ඔන්න මල්ලි කොහේ හරි ඉදන් ඇවිත් ටික වෙලාවකින් කෑ ගහනවා ඇහෙනවා. අම්මේ.....අනේ මේ අක්කා එක්ක බෑ අයියෝ. මොන වදයක්ද මන්දා. මම තියපු තැනක පොතක් හොයාගන්න නැහැ.
ඔන්න මල්ලි අම්මාට මං ගැන පොඩි චෝදනාවක් කරනවා.
“ඇයි ළමයෝ අක්කා උඹල හැඩි කරන ගේ අස්කරනවානේ. නැත්නම් මේක අපායක් වෙලා තියේවි.
මම උදේම නැගිට්ට ගමන් නංගිට කෑගහනවා. නංගි මෙහේ එනවා. මේ බෙඩ්ෂීට් එක නමනවා. නිදාගෙන නැගිට්ට ගමන් ඇද අස්කරලා යන්න දන්නේ නැද්ද? පුරුදු වෙන්න එපා හොද දේවල්.
ඇයි අක්කේ මිසි ඉන්නේ ඒවා කරන්නනේ.
ගෙදර වැඩකාරයෝ හිටියට කමක් නැහැ. තමන්ගේ වැඩ තමන් කරගන්න පුරුදු උනාම ඉවරනේ. අපි වැඩ දැනගත්තොත් විතරයි ඒ අයගෙන් වැඩ ගන්න පුළුවන් වෙන්නේ මතක තියාගන්නවා.
ඔන්න ටික කාලෙකට පස්සේ......
නංගි:
අපෝ ගෙදර ඉන්න දවස්වල මෙයා අපට දුන්න වදයක්....හ්ම්...දැන් බලන්න එපායෑ මෙයාගෙ ගෙයි අපූරුව. ඒක නිකන් හරියට පෙරේත විමානේ වගේනේ.
අපොයි මට එවේලේ දැනුන ලැජ්ජාවක්. මූන හංගාගන්න තැනක් වෙනම හොයන්න උනා.
මල්ලි:
පිරිමි ඔහොම තමයි හලෝ......ගනන් ගන්න එපා. ගෙයක් කියන්නේ ෂෝ එකට තියෙන්න ඕන තැනක් නෙවෙයි. ඒක තියෙන්න ඕන අපට ඕන විදියට ජීවත් වෙන්න. අපේ ගෙදර ඇතුලේවත් අපට ඕන විදියට ජීවත් වෙන්න බැරිනම් ඒකෙන් ඇති වැඩේ මොකක්ද අක්කේ.
මම:
ඒ කතාවත් ඇත්ත බලාගෙන යනකොට. ලෝකෙ තියෙන නිදහස්ම තැන ගෙදරනේ. අනුන්ගේ ගෙදරක මට ඕන විදියට ඉන්න බැහැනේ.
ඒ කතාවත් හරි......
ගෙදර දිලිසෙනවාට වඩා මගේ පවුල සාමයෙන් සමාදානයෙන් තියාගන්න එක කොතරම් නම් වටිනවාද?
මම:
ඒත් මේවා අස් කරන්න ගියාම තියෙන අමාරුව දන්නේ ඒක කරන කෙනානේ.....
අම්මා:
“ළමයෝ බිම තියෙන සරම දැකලා ලෝකෙ පාත් වුනා වගේ මුන එල්ලගෙන ඉන්න එපා. සරමට වැඩිය තමුන්ගේ මිනිහා වටින්නේ නැද්ද?
එයා උදේ ගලවපු සරම තාමත් වළල්ලක් විදියට එතැනම තියෙනවා. අම්මා ඒක අරගෙන නවලා ඇද උඩින් දමලා කියනවා.
මම:
හ්ම්....
ඇත්ත නේන්නම්. මටත් පොඩ්ඩ ඇත්නම් කේන්ති යනවනේ. බලාගෙන ගියාම වැරදි නැත්තේ කා අතේද?
කම්මැලි උනත් තමුන්නේ රස්සාව හරියට කරනවානේ. අඩුපාඩු හොයලා බලලා හැම දේම සම්පූර්ණ කරනවනේ. මේ වෙනකන් මටවත් දරුවන්ටවත් අඩුවක් කරලා නැහැනේ. ඉතිං මං මොනවට මූන එල්ලගෙන දුක් වෙනවද?
අඩුපාඩු තියෙනවා තමයි. ඒත් මුල ඉදන් එක පිළිවෙලකට හැමදේම පුරුදු කරගත්තා නම් මේ අපිළිවෙල ටිකින් ටික අඩු කරගන්න පුළුවන්නේ. හිත කලබල කරගන්නේ මොකටද නේද?
ඒක හරි අක්කා කා අතෙත් වැරදි තියෙනවා නෙව. ඒක නෙමේ අක්කට නම් අර උඩ කියපු කාරණා නියමෙටම තේරෙනවා. අපේ අම්මාත් වෙලාවකට කෑ ගහනවා උදේ පාන්දරම ඕක ඉස්සරහා වාඩි වෙන්නේ නැතුව ගෙයක් දොරක් අතුපතු ගාලා කම්පියුටර් එක ඉස්සරහා වාඩි වෙයන් කියලා !!!
ReplyDeleteදැන් නම් කියන්නත් කලින් ගේ අතුගානවා.
ඒක නම් ඇත්තමයි. ඇයි ටීවී. හොද වෙලාවට මට ඔය ලෙඩේ නැහැ. ඒත් අපේ මනුස්සයා සමහර වෙලාවට ටීවී එක ලගින් හොලවන්න බැහැ. මට ඉතිං මොනවා හිතෙනවද නේද?
ReplyDeleteහැබැයි මලේ මේ අපේ ගෙදර තත්වය නම් නෙමෙයි. ඕක බොහෝ තැන්වල තියෙන නිසා ලියන්න හිතුනා. මගේ කෙලි පොඩ්ඩගේ වැඩ ටිකක් පිළිවෙලයි.
ඔය ටීවි එක ලඟින් හොල්ලන්න බැරි ලෙඩේ නම් අපේ අප්පච්චිටත් තියේ. උන්දෑ වැඩ ඇරිලා ගෙදර ආපු හැටියෙම ටීවි එක දාගෙන නිදා ගන්නවා.
ReplyDeleteමම් කිව්වුවා යෑ අක්කාගේ ගෙදර තත්වේ කියලා. ඕක ඉතින් ගොඩක් ගෙවල් වල තත්ත්වේ නේ (අපේ ගේත් ඇතුලුව) :)