Thursday, November 10, 2011

ලෝකයේ ලොකුම සතා ලතාද? නැත්නම් ඇතාද? (2)


රට වටේටම මුහුද තිබුනත් මුහුද නොදැකපු සිංහලයන් අපේ රටේ තවමත් ඇත. නමුත් ඇතෙක් නොදැකපු අයෙක් ඉන්නවා නම් ඒ ඉපදෙන්නට සිටින හා කිරි බොන වියේ පසුවන දරුවන් පමණක් වනු නොඅනුමානයි.  බෞද්ධ සාහිත්‍ය‍යේ එන නාලාගිරි, ජද්දන්ත, පාරිලෙය්‍ය, වගේම දුටුගැමුණු රජු ගැන කියවෙන විට කඩොල් ඇතු, එමෙන්ම නුවර ඇසළ පෙරහැර මතක් වනවිට රාජා ඇතා, එමෙන්ම පනාමුරේ ඇත් රාජා, ගමරාළ දිව්‍ය ලෝකයට ගෙනගිය ඇතා, මහදැනමුත්තා තෙරූ පරිදි ගමරාළගේ ගොවිතැන් පාලුකල වංගෙඩි ඇතා සිංහලයන්ගේ සිත් තුලින් ඉවත් කල නොහැකි අන්දමට සටහන් වී ඇත.

 ඇතුන් අනෙක් තිරිසන් සතුන්ට වඩා බුද්ධියෙන් අගතැන්පත් සතුන් කොටසක් ලෙස මිනිසුන් විශ්වාස කලත්, චිම්පන්සියෙකු, බල්ලෙකු හෝ අශ්වයෙකුගේ නුවනට සමාන නුවනක් ඇති බවට සොයා ගෙන ඇත.  ඇතුන් බොහෝ වසර ගණනක් ජීවත් වන බවට මිනිසුන්ගේ විශ්වාසයයි.  නමුත් ස්වාභාවික ලෙස මියගිය ඇතෙකු බොහෝ විට කෙනෙකුට දකින්නට නොලැබෙන නිසා මෙවන් විශ්වාසයක් ඇති වන්නට ඇත.  අනෙක් අතට ඇතාගේ විශාලත්වය සලකා මිනිසුන් නොයෙකුත් කතා විශ්වාස කරන්නට ඇති බවටද සිතිය හැකිය. 

දඩයම්කරුවන් විසින් තුවාල කරනු ලැබ ඒ තුවාල නිසා පසුව මිය යන  ඇතුන්ද ඔවුන් විසින් මරා දමනු ලබන ඇතුන්ද නොයෙකුත් රෝගාබාධයන්ට ගොදුරු වී  අකාලයේ මිය යන්නවුන් ද හැර ස්වාභාවික ලෙස මරණයට පත්වන ඇතුන් අතර අවුරුදු 80ඉක්මවූ ඇතෙකු පිළිබදව තවමත් අසන්නට ලැබී නැත. 

තවත් කරුණක් නම් ඇතුන් ඉතා වේගයෙන් දිවිය හැකි සත්ව කොටසක් ලෙස මිනිසුන්ගේ පිලිගැනීමක් ඇත.  එහෙත් එය මිත්‍යා මතයක් පමණි.  ටොන් ගණනක් බරැති තම සිරුර නිසා ඉක්මනින් හැරෙන්නටවත් නොහැකි ඇතුන් දිවීමේ ශූරයන් වන්නේ කෙසේද? පුරාණයේ සිටම මිනිසුන් විශ්වාස කරන තවත් කරුණක් වන්නේ ඇතුන්ට වෙනම සොහොන් බිම් ඇති බවයි.  එය තවත් මිත්‍යා විශ්වාසයකි. 

අනෙක් හැම සතා මෙන්ම අනතුරකින් මිය නොගියහොත්  ඔවුන් ස්වාභාවික ලෙස මිය යති.  ගංගා හෝ විල් අසල බොහෝ විට ඔවුන්ගේ මරණය සිදුවේ.  එයට හේතුව වන්නේ ඔවුන් දිය ආශ්‍රිතව වාසය කරන්නන් වන හෙයිනි.

ඇතාගේ ඉතා සියුම්ම අවයවය ලෙස සැලකිය හැක්කේ උගේ හොඩ වැලයි.  එය ඉතා තියුණුම ඉන්ද්‍රියයක් ලෙස හැදින්විය හැකියි.  බිම වැටී ඇති දෙයක් දෙස දෑසින් නොබලන ඇතා තම දෑත වෙනුවට පාවිච්චි කරන්නේ හොඩවැලයි.  තමන්ට අවශ්‍ය දේ පමණක් අහුලා ගැනිමේ අපූරු හැකියාවක් මේ හොඩය සතුව ඇත.  එය නොපෙනෙන දෑසකින් හා දෑතකින් හෙබි අපූරු විශ්මය ජනක අවයවයක් ලෙස අපට හිතන්නට අනුබල දෙන තරම් එහි ඇති ක්‍රියාකාරීත්වය විශ්මය දනවන සුළුය.  ඉතාමත් ශක්තිමත් මාංශපේෂීන් සමූහයකගේ එකතුවක් ලෙස හොඩවැල දැක්විය හැකියි.  එය මිනිස් ඇගිලිවලටත් වඩා පහසුවෙන් නැමෙන සුළුය.  හොඩවැලෙහි ලෝම පවා ඉතා සියුම් ගැටීමක් වුවද වහා හදුනා ගනියි.  

සැතපුම් තුනක පමණ දුරකින් වතුර තිබේනම් ඌට ඒ බව දැනගත හැක්කේ මේ අපූරු අවයවයේ ආධාරයෙනි.  අනෙක් වචනයකින් විස්තර කරනවානම් රේඩාර් ක්‍රමයක් බදුය හොඩය.  ඇතෙකුගේ වටිනාකම රදා ඇත්තේ උගේ දළ දෙකෙහිය.  මිනිසුන් ඇතුන් මරා දමන්නේ දළ වලට ඇති ලෝභයෙනි.  ලෝකයේ වටිනාකමින් ඉතා වැඩි ඇත් දළ ලැබෙන්නේ සමශීතෝෂ්ණ දේශගුණයක් ඇති ලංකාවේ හා අප්‍රිකාවේ සමහර පෙදෙස්වල වෙහෙන ඇතුන්ගෙන් පමණකි. දළ වල ඉතා ඉහල වානිජ වටිනාකමක් ඇත.  ඉන්දියානු ඇතකුගේ දළයක් අඩි 09ක් පමණ වන අතර රාත්තල් 100ක් පමණ බරින් යුතු වෙයි.  අප්‍රිකානු ඇතෙකුගේ දළයක් අඩි 10ක් පමණ දිගය.  එය රාත්තල් 220ක් පමණ බරවේ.

පුරාණයේ ඇත්දත් නිසා ප්‍රසිද්ධ වූ රටවල් අතර ඊජිප්තුව, ග්‍රීසිය, හා රෝමය මුල් තැනක් ගන්නා ලදී.  එසේම එම රටවල වැඩිපුරම මිනිසුන් ඇත් දළ ප්‍රයෝජනයට ගනු ලැබුවේ දෙවියන්ගේ හා දේවතාවියන්ගේ ප්‍රතිමා නෙලීම සදහාය.  දේවස්ථානවල දොරවල් කැටයම් කිරීමට පවා ඇත්දත් උපයෝගී කරගනු ලැබූහ.  කොන්ස්තන්තිනෝපල්හි සාන්ත සොපියා දේවස්ථානයේ දොරවල් 350ක් පමණ ඇත් දත් කැටයමින් අලංකාර කර තිබීම ඉ හතින් කී කියුම සනාථ කරයි.

වනයේ ජීවත් වන ඇතෙකු නිදන ආකාරයක් කිසි විටෙක සදහන්ව නැත.  එමෙන්ම රාත්‍රියේදී හෝ ගිමන් හරින ඇත් රංචුවක් ගැන සදහනක් ද දක්නට නැත.  ඇතාගේ නින්ද ඉතා කෙටි සැහැල්ලු එකක් ලෙස මිනිසුන් අතර මතයක් පවතියි. 

ශූරිච් සත්ව උද්‍යානයේ මහාචාර්ය හෙඩ්ගර් ඇතුන්ගේ නින්ද පිළිබදව රහස සොයා ගැනීම සදහා දිගු කලක් පර්යේෂණ කල අයෙකි.  ඔහු මේ සදහා පරීක්ෂණයට භාජනය කලේ සත්ව උද්‍යානයෙහි වූ සැඩ පරුෂ ඇතුන් කිහිප දෙනෙකි.  ඔහු ඒ ඇතුන් සිටි කූඩුවල දොරවල් හැරදමා තැබීය.  යතුරක් කරකවන හඩක් හෝ නෑසෙන්නට ඔහු කටයුතු සැලැස්සුවේය. නමුත් එහි ඇතුන් මුළු රැයම නැගිටගෙන සිටි බව මහාචාර්යවරයාට දක්නට ලැබුනි.  ඇස් ද ඇරගෙන සිටියහ.  ඊට පසුව සර්කස් කණ්ඩායමක සිටි ඇතුන් කිහිපදෙනෙකු  ගැන විමසිලිමත් විය.  ඇතුන් සිටි තැනට කිට්ටුවෙන් නිහඩව වැතිරී සිටි මහාචාර්ය වරයාට එහි වූ සද එළියෙන් මෙතෙක් බලාපොරොත්තු වූ දර්ශනය දැක ගන්නට හැකි වියි. 

මධ්‍යම රාත්‍රියේ එහි සිටි ඇතුන් දෙදෙනෙක් එහි වූ පිදුරු රොඩු වැනි දේ ගොඩකට ගසා කොට්ටයක් සේ සකස් කොට ගෙන කිසි ශබ්දයක් නොනැගෙන සේ වැතිරී ගත්හ.  මෙයින් පසු එහි අනෙක් ඇත්තුද ඔවුන් අනුගමනය කලහ. පසුව නිගමනය කරන ලද්දේ ඇතුන් දිනකට පැය දෙකක් පමණ වේලාවක් නිදා ගන්නා බවයි.  මෙයින් වසර කිහිපයකට පමණ පසු යලිත් කරන ලද පරික්ෂණයක ප්‍රථිපලයද එලෙසම විය.  මෙය දැකිය හැකි වන්නේ ඉතාමත් ඉවසිලිවන්ත නිරීක්ෂකයෙකුට පමණකි.

ඇතුන්ගේ දළ වලින් ලැබෙන ප්‍රයෝජන හැරුනුවිට ඔවුන්ගෙන මිනිස් වර්ගයාට විශාල සේවයක් සැලසෙයි.  ලෝකයේ කවර රටක වුවද ඇතුන් වැඩි වශයෙන් ප්‍රයෝජනයට ගනුලබන්නේ බර ඇදීම සදහාය. බර ඇදගෙන යාමේ හැකියාවක් ඇතත් බරක් උසුලාගෙන යාමේ හැකියාවක් ඇතාට නැත.  ඇතුන් වූ කලි අමාරුවෙන් සොයාගත හැකි සම්පතකි.  හැම රටකම පාහේ විවිධ ආපදාවන්ට ගොදුරුව මිය යන ඇතුන්ගේ සංඛ්‍යාව ඉහල යාම නිසා ඔවුන්ගේ ජනගහනය සීඝ්‍ර ලෙස පහත බැසීමට හේතුවක් වී ඇත.  මා මෙම ලිපිය ලියන්නට මූලික හේතුව වූයේද මේ දිනවල නිතරම පාහේ රූපවාහිනී නාලිකාවලින් ඇතුන්ගෙන් වන හිරිහැර හා මිනිසුන්ගෙන් ඇතුන්ට වන හිරිහැර පිළිබදව නිතරම දක්නට ලැබෙන නිසාය.

ගොවිතැන් පාලු කරන ඇතුන් මරා දැමීම, ආසියාවේ රටවල ඇතුන් වදවී යාමට ලොකු හේතුවකි.  ඇතුන් රැකීම පිළිබදව වනජීවී දෙපාර්තමේන්තුව මීට වඩා දැඩි පියවරක් අනුගමනය කරන්නේ නම් එය කාටත් සුභ දායක වනු ඇත. මන්දයත් මරා දමන තරමට ඇතුන් සීඝ්‍ර ලෙස බිහිවන්නේ නැත.  එක් ඇතින්නියක් සිය ජීවිත කාලය තුලදී ඇත් පැටවුන් හතර පස් දෙනෙකුට වඩා බිහි කරන්නේ නැත.  රටක ජාතික සම්පතක් ලෙස සැලකිය හැකි ඇත් පරපුර රැක ගැනීම කාගේත් වගකීම හා යුතුකමයි. එසේ නොවුනහොත් ඇතුන් ලෝකයෙන් වදවී ගෙන යන දිනය එතරම් ඈතක නොවන බව නම් පැහැදිලිය.

4 comments:

  1. ඇත්තු නිදියන පෑ දෙක බලන්න මහචාර්යවරයා දවසක්ම ඇහැරගෙන ඉදලා!!!! හික්ස් :)

    ඒක නෙමෙයි අක්කා. අර ඡද්දන්ත කියලා කියන්නේ දල හයක් තියෙන අලින්ට කියලා කතාවක් තියෙනවා. පොඩ්ඩක් ඒක හොයලා බලන්න. ඡද් + දන්ත = දල හයක් !!!

    පනාමුරේ ඇත් රජා ගැනත් පොඩි දේවල් ටිකක් මඩුවන්වෙල ගිය වෙලාවක හොයා ගන්න පුලුවන් උනා.

    ඔය මඩුවන්වෙල මහ දිසාවේ කියලා කියන්නේ ඇත් පන්ති පවත්වාගෙන යන්ට ගොඩක් ප්‍රසිද්ද දිසාවේ කෙනෙක්. දන්නවනේ කාටවත්ම බය නැති රටේ මහත්තැන් කෙනෙක් !!!

    ඔය එකවතාවක් පනාමුරේ හරියෙන් ඇත්ගාලක් බන්දවලා තියෙනවා. ඇත්ගාල් බඳින හැටි දන්නවනේ. මිනිස්සු වට කරගෙන ගිහින් අලි ඇත්තු ටික එක තැනකට කොටු කරනවා. ඊට පස්සේ හෙල්ලෙන දඩු වැටක් බඳිනවා.

    හෙල්ලෙන්න වැටක් හදන්නේ එතකොට අලි ඇත්තු ඇවිත් වැට කඩලා දාන්න උත්සහ කලාට කඩන්න බෑ. නිකම් හෙල්ලෙනවා විතරයි. අලි බයයි එහෙම වැටවල් කඩන්න. හයියට තියෙන වැටක් නම් සුටුස් ගාලා කඩා දානවා. ඊට පස්සේ පැනල දුවනවා. :)

    හරි කතාවට එමු !! එමු !!

    ඔය ඇත් ගාල කරවලා ඊට පස්සේ මඩුවන්වෙල මහ දිසාවෙට පයින්ඩයක් යවනවා ගාල බලන්න එන්නෙයි කියලා.

    තව පොඩ්ඩෙන් අමතක වෙනවා. දිසාවෙට අලි බයයි ලු. මොකද දිසාවගේ අතේ මදාරා ලීයෙන් හදපු බස්තමක් තියෙන නිසා. ඔය මදාරා ගස් වලට අලි බයයි කියලා කතාවක් තියේ !!!

    ඔහොම ඇත්ගාලක හිටපු එක ඇතෙක් තමයි පනාමුරේ ඇතා කියලා කියන්නේ. රැහේ නායකයෙක් !!!

    ඉතින් ඇත්ගාලේ අලියෙක් ගෙනියන්න කට්ටිය ගාල පැත්තට ආවට එක ඇතෙක්වත් ගෙනියන්න මේ පනාමුරේ ඇතා ඉඩ දුන්නේ නෑලු. කොච්චර උත්සහ කලත් තමන් හිටපු ඇත්ගාලේ එකෙකුටවත් කිට්ටු වෙන්න ඉඩ දුන්නේ නෑ කියලා කතාවක් තියෙනවා.

    අන්තිමේදි ඔය පනාමුරේ ඇතාට වෙඩි තියලා බිම දාන්න සිද්ද වෙනවා. කෝමහරි මේ ඇතා මැරෙනකන්ම මේ ගාලේ කිසිම ඇතෙකුට හානියක් වෙන්න දුන්නේ නැති ඇතෙක් තමා ඔය !!!

    තිරිසනෙක් උනත් තමන්ගේ ජාතිය බේරගන්න කරපු මේ උදාර මෙහෙය අගේ කරන්න වටිනවා !!!

    ඒකයි ඔය ඇතා ඒ තරම්ම ප්‍රසිද්ධ !!

    දැන් නම් ඔය පනාමුරේ ඇත්ගාලේ නටබුන් විතරයි තියෙන්නේ. එකම එක කණුවක් ඇරෙන්න කිසිම දෙයක් ඉතුරු වෙලා නෑ.

    මඩුවන් වෙල පැත්තේ ගියෝත් බලා ගත්තෑකි !!!

    ReplyDelete
  2. මේ ලිපියත් ගොඩක් වටිනවා අක්කේ. ඔන්න මම් මගේ අදහසුත් ලිපියට එකතු කලා.

    එහෙනම් ගිහින් එන්නම් !!! අපේ අක්කණ්ඩිට.... ජය වේවා !!! :)
    බොලාට ඡන්දේ ඉල්ලන්න අයිඩියා එකක් තිබ්බා නේද ? හික්ස් :)

    ReplyDelete
  3. ඔයා දාලා තියෙන අදහස් මම දැනගෙන හිටියේ නැහැ. මහ දිග ලිපියක් කියවලා කෙටි කරලයි මේ පෝස්ට් එක ලිව්වේ. තවත් කරුණු ඒකේ තිබුනා. ඒත් මලයා මගේ පෝස්ට් වලදි අඩුපාඩු තියේනම් හරි තව කරුණු දන්නවානම් හරි කමෙන්ටුවකින් හරි දාන එක වටිනවා. දැන් කාලේ මේ තොරතුරු හොයාගන්න ටිකක් අමාරුයිනේ.

    ජද්දන්ත කියලා තියෙන්නේ සාමාන්‍ය මිනිසුන් දස කෙළ දහසකගේ බලයක් මේ කුලයේ ඇතුන් සතුවූ නිසාලු. ඔයා කියන කාරණාවත් වෙන්න පුළුවන්. අදහස් ගොඩක් වටිනවා ස්තුතියි මලේ...!!!

    ReplyDelete
  4. අක්කගේ අදහස හරි වෙන්න ගොඩක් හේතු කාරණා තියෙනවා. මම් ඔය පොඩි කතා පොතක තිබ්බ දෙයක් මතක් වෙලා කිව්වේ.

    මෙහෙම වටින ලිපි කෙටි කරනවට අක්කට අම්මගෙන් ගුටි ඉල්ලලා දෙන්න එපැයි !!!!

    අක්කා ලිපි කෙටි කරන්න එපා. දිග වැඩි නම් කුට්ටි කරලා ලියන්න. ඔය නව කතා විසි තිස් ගනන් යන එකේ මෙහෙම දේවල් කොටස් කරලා ලිවුවට පවු නෑ. කියවන අපිටත් පවු නෑ. මොකද වටින දෙයක් නේ.

    ඒක නෙමේ අක්කෑ අම්මා සිංහල ගුරුවරියක්ද ?

    ReplyDelete

කියවලා බලලා හිතට දැනෙන අවංකම දේ මෙතන කුරුටු ගෑවොත් ඒක මට ලොකු ශක්තියක්. ඒ නිසා ඔයාලගේ හැගීම් වචන වලට පෙරලන්න අමතක කරන්න එපා...!!!!!