Saturday, November 26, 2011

අන්ධයින්ටත් පහනක් වූ ගුරුවරයෙක්

අන්ධ මිනිසුන් දැක්කාම ඇත්තටම අනුකම්පාවක් ඇති වෙනවා නේද? අංග විකල අය අතුරින් වැඩියෙන්ම දුක් විදින්නේ අන්ධ අය කිවුවත් ඒකේ වරදක් නැහැ.  නමුත් ඔවුන්ට ලෝකය අන් අය මෙන් දකින්නට නොහැකි වුනාට ඇගිලි තුඩු වලින් බලන්නට පුළුවන්.  ඒවගේ වාසනාවක් ඔවුන්ට ලැබුනෙත් අන්ධයෙකුගේම උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙසයි.  ඇත්තමයි දෑස නැතියවුන් වගේම ඇති අපත් මේ පුද්ගලයාට සදා ණයගැතියි නේද?

මේ ආශ්චර්යවත් පුද්ගලයා නමින් ලුවී බ්රේල්.  1809 ජනවාරි 04 වෙනි දින ප්‍රංශයේ කුප්රේ නම් ගමේ උපත ලැබූ ඔහු දුප්පත් කම්කරුවෙකුගේ පුතෙක්.  ඔහු උපතින්ම අන්ධයෙක් නොවෙයි.  වයස අවුරුදු 03 දී සිදුවූ හදිසි අනතුරක් නිසයි ඔහුගේ පෙනීම අහිමි වෙන්නේ.  ඒ නිසාම ඔහු කුඩා කාලයේදීම අවාසනාවන්තයෙක් වුනා.  නමුත් එයින් අධෛර්යයට පත් නොවූ මේ බ්රේල් දස වැනි වියට පා තබනවාත් සමගම එකල පැරීසියේ තිබුන අන්ධයින්ගේ පාසැලක් වන නැෂනලී ඩස් ජුවන්ස් අවියුගල්ස් නම් ආයතනයට බැදුනා.

ඔහු ගායනයට වගේම වාදනයටත් එකවගේ කැමැත්තක් දැකුවූ අයෙක්.  විවේක වේලාවේදී පංතියේ අනෙක් යාලුවන් එකතු කරගෙන කතන්දර කිවුවා.  අනාගතයේදී තමා හිගන්නෙකු විය හැකි යයි ඔහු තම යහලුවන් සමග කියූ වාර ගණන අපමණයි.

ඒ කාලයේ අන්ධයින්ට අධ්‍යාපනය දෙනු ලැබුවේ චාල්ස් බාබියර් නම් මහතෙක් සොයා ගත් ක්‍රමයක් අනුවයි.  එය ඒ තරම් දියුණු අකුරු ක්‍රමයක් නොවුන නිසා අන්ධ පුද්ගලයන්ට ඉගෙනීම එතරම් පහසු වුනේ නැහැ.  කුඩා බ්රේල් නිතර ලිවීමට හා කියවීමට ආශා කල කෙනෙක්.  නමුත් ඔහුට ඒ සදහා මාර්ගයක් තිබුනේ නැහැ.  අවට ලෝකය ගැන, එහි සිදුවන අලුත් දේ ගැන දැනගැනීමට ඔහුට තිබුනේ පුදුම ආශාවක්.  එහෙත් මේ සියල්ල ගැන කතා කරමින්ම ඔහු ඒ සදහා ක්‍රමයක් කල්පනා කරන්නට වුනා.

කුඩා බ්රේල් වයසින් වැඩෙන විට අන්ධයින්ට කියවීමට පුළුවන් ප්‍රායෝගික ක්‍රමයක් සොයා ගැනීමට මහත් උත්සාහයක් වෙහෙසක් දැරුවා.  නමුත් ඒ සදහා ඔහුට මුදල් තිබුනේ නැහැ. මේ නිසාම එක් දිනක් හැමෝටම හොරෙන් පාසැලෙන් පැනගිය ඔහු සිගමනේ ගියා.  ඒ මගින් ඔහුට සෑහෙන මුදලක් සොයාගන්නට පුළුවන් වුනා.  ඒ මුදල් වලින් සමින් කරන ලද පටි කිහිපයක් මිලදී ගත් ඔහු ඒවා එකටෙක ඔතා උඩට මතුවන සේ ගැට සිටින අන්දමට පිළියෙල කලා.  මේ ගැට ඔහු ඒ බී ආදි ලෙස නම් කර තම සගයන්ට එය අවබෝධ කරවීමට උත්සාහ ගත්තා.  

නමුත් එය එතරම් සාර්ථක ක්‍රමයක් නොවු නිසා ලුවී බ්රේල්ගේ අදහස මල්ඵල ගැනුනේ නැහැ.  ඉගෙනීමට  ඉතාමත් දක්ෂ බ්රේල් කල්යත්ම ශිෂ්‍යයන් අතරත්, ගුරුවරුන් අතරත් ජනප්‍රිය පුද්ගලයෙකු වුනා.  පසුව ඔහු එම ආයතනයේම උපදේශකයෙකු වශයෙන් පත්වුනා.

මේ පාසැලේ ශිෂ්‍යයෝ විවේක වෙලාවට ලෑල්ලක අදින ලද තිත් ගණන් කරමින් මහත් ආස්වාදයක් ලැබුවා.  බ්රේල්ද මේ ක්‍රීඩාවෙන් ඉතාමත් විනෝද වුනා.  ලෑල්ලේ ගසන ලද කෝටු තුළ අදින ලද තිත් අතේ ඇගිලි වල ස්පර්ෂයෙන් ගණන් කිරීම මේ ක්‍රීඩාවයි.

ඔහුගේ ප්‍රශ්ණයට මෙතෙක් කාලයක් බොහෝම මහන්සියෙන් සොයපු පිළිතුර හදිසියේම ඔහුට ලැබුනා.  තිත් අදින ලද ලෑල්ලේ ඒ මතින් යටට ඔබ්බවා තැබීමට වඩා උඩට මතුකර තැබීමෙන් ගණන් කිරිමට පහසු බව ඔහු අවබෝධ කර ගත්තා.  ඔහුට දැනුනේ අසීමිත සතුටක්.  ඉන්පසුව නොයෙකුත් හැඩයන්ට පොට්ටු සම්බන්ධ කරමින් අකුරු ක්‍රමයක් ගොඩනැගුවා.  අප්‍රතිහත ධෛර්යයයෙන් වැඩකල නිසා අන්තිමේදී ලුවීට වර්තමානයේ අන්ධයින් විසින් ඉගෙනීම ලබන බ්රේල් ක්‍රමය සොයා ගැනීමට හැකිවුනා.  

නමුත් මෙතරම් මහන්සියෙන් නිපදවූ මේ ක්‍රමය බ්රේල්ගේ පාසැලේ ගුරුවරුන්ගේ ප්‍රසංසාවට ලක් වුනේ නැහැ.  ඒ විතරක් නොවෙයි තවත් හෝඩියක් අධ්‍යයන කිරිමෙන් තව තවත් අන්ධයින් අමාරුවට පත්වෙන්නට පුළුවන් කියලයි ඒ ආයතනයේ අධිකාරීහු බ්රේල් ක්‍රමය තහනම් කලේ.


මෙයින් බ්රේල්ගේ උනන්දුව වැඩි වුනා මිස ඔහු පසුබැස්සේ නැහැ.  වැඩි දෙනා බ්රේල්ගේ මෙම සහජ දක්ෂතාවයටත් නොපසුබස්නා උත්සාහයටත් ඊර්ෂ්‍යා කලා.  ඒ වගේම ඔවුන්ට තරුණ ලුවි බ්රේල් රිස්සුවේ නැහැ.

බ්රේල් ක්‍රමය තහනම් වුනත් සවස් කාලයේ දී ඔහු රහසිගතව අන්ධ මිතුරන්ට පන්ති  පවත්වන්නට පටන් ගත්තා.  චාල්ස් බාබියර් ක්‍රමයට වඩා බ්රේල් ක්‍රමයෙන් අන්ධයින්ගේ ඉගෙනීමේ වේගය වැඩිවන බව ඔහු අත්දැකීමෙන් දැනගත්තා.

මෙයින් නොනැවතුන තරුණ බ්රේල් අන්ධ පුද්ගලයින්ට ලිවීමට හැකි වන පරිදි තම ක්‍රමය විකාශනය කලා.   මේ ක්‍රමයත් ඔහුගේ ශිෂ්‍යයින්ගේ පැසසුමට ලක් වුනා.  බ්රේල් අධ්‍යාපනය ලැබූ පාසැලේ ඔහුට සහයෝගයට සිටි ආචාර්යවරුන් කිහිපදෙනෙක්ම හිටියා.  ඔවුන්ගේ සහය ලබාගත් බ්රේල් බයිබලයේ සමහර කොටස් බ්රේල් ක්‍රමයට පරිවර්තනය කලා.  කාලයක් ගතවන විට ඔහුගේ අතින් විශාල කොටසක් වැඩ නිම වුනා.  ඔහුට කුඩා පුස්තකාලයක් ගොඩනැගීමට හැකියාව ලැබුනා.  මෙය එම ආයතනයේ අන්ධයින්ගේ ඉමහත් සහනයට හේතුවක් වුනා.  

මීට කාලයට පෙර අකුරු ලියමින් පමණක් සිටි ඔවුනට දැන් කියවීමටත් හැකියාවක් තියෙනවා.  ඒ සියල්ල සකස් කර තිබුනේ බ්රේල් ක්‍රමය අනුවයි.  මේ වනවිට බ්රේල්ගේ වයස අවුරුදු 30ක් වුනා.  මේ වෙනකොට අන්ධයින්ගේ ලෝකයට සිදුවූ සේවාව ගැන පැරීසියේ අන්ධයින්ගේ අධ්‍යාපන ආයතනයේ ආචාර්යවරු අවබෝධ කරගෙන තිබුනා.  මේ තත්වයට උපහාරයක් වශයෙන් බ්රේල් උපදේශක තනතුරින් මහාචාර්ය තනතුරට උසස් කරනු ලැබුවා.

මෙම තනතුරේ වසර 05ක පමණ කාලයක් සේවය කිරීමට ඔහුට පුළුවන් වුනා.  වයස 35 වෙනකොට ඔහුගේ ජීවිතයේ අදුරු පැත්ත උදාවෙමින් තිබුනා.  ඔහුගේ සෞඛ්‍යය නරක අතට හැරෙමින් තිබුනා.  ඔහුට ක්ෂය රෝග ලක්ෂන පහලවෙමින් තිබෙන බව වෛද්‍යවරුන්ගේ මතය වුනා.

ඒ කාලයේ ක්ෂය රෝගය සම්පූර්ණයෙන්ම වාගේ සුව කිරීමට තරම් බේත් වෛද්‍ය වරුන් විසින් සොයාගෙන තිබුනේ නැහැ.  මේ කාරණය ලුවී බ්රේල්ගේ ජීවිතය අකාලයේ වැනසී යාමට හේතුව වුනා.  ඔහුට අවුරුදු 35දී විශ්‍රාම ගැනීමට සිදුවුනා.

රෝගීව සිටියත් ඔහු තම ක්‍රමය පැරීසියේ අන්ධයින්ගේ අධ්‍යාපනායතනයේ මුලුමනින්ම ක්‍රියාත්මක කිරීමට බලවත් සටනක් ගෙනගියා.  එවකට බ්රේල් ක්‍රමයෙන් සමහර මහාචාර්යවරු උගැන්වූවත් මෙම ආයතනය බ්රේල් ක්‍රමය අනුතමත කර තිබුනේ නැහැ.

වර්ෂ ගණනාවකට පස්සේ උපාධි පිරිනැමීමේ උත්සවයකදී බ්රේල් ක්‍රමයෙන් අධ්‍යාපනය ලැබූ ශිෂ්‍යෙයකුට ගෞරව උපාධියක් ලැබීමට තිබුනා.  උත්සව සභාවේදී එම ශිෂ්‍යයාට ගෞරව උපාධිය පිරිනැමීමට අධ්‍යක්ෂක මන්ඩලය ඔහුව කැදෙව්වා.  නමුත් ඔහු කියා සිටියේ මේ උපාධිය ලැබීමේ ගෞරවය හිමිවිය යුත්තේ තමාට නොව තම ගුරුවරයා වූ ලුවි බ්රේල් මහතාට බවයි.  බ්රේල් ක්‍රමයෙන් අධ්‍යාපනය ලත් නිසා තමන්ට මේ උපාධිය ලබා ගැනීමට පුළුවන් වූ බව පැවසූ ඔහු ලුවී බ්රේල් මහතාට ලැබිය යුතු සියල්ම උපහාරයන් නොලැබෙන්නේ නම් ඔහු එම ගෞරව උපාධිය ප්‍රතික්ෂේප කරන බවට තරයේ කියා සිටියා.

අධ්‍යක්ෂක මණ්ඩලයේ ඇස් පෑදුනේ ඒ වෙලාවේ තමයි.  ඔවුන්ට බ්රේල් ක්‍රමය අනුමත නොකර ඉන්නට නොහැකි වුනා.  එදින ඉදන් සියලුම පත පොතේ බ්රේල් ක්‍රමයෙන් මුද්‍රණය කල යුතු බවත් පැරීසියේ අන්ධයින්ගේ අධ්‍යාපන ආයතනයේ සියලුම ශිෂ්‍යයන්ට බ්රේල් ක්‍රමයයෙන් අධ්‍යාපනය ලබා දිය යුතු බව ඔවුන් තීරණය කලා.  

මෙය ක්‍රියාත්මක වන විට ඔහුගේ වයස අවුරුදු 43ක් පමණ වුනා.  එවිට ඔහුගේ රෝගය ඉතාමත් උත්සන්න අතට හැරී තිබුනා.  ඔහු අසාධ්‍ය තත්වයට පත්වී තිබුනා.  ඒ වෙලාවේ ඔහුට දැනගන්නට ලැබුනා ඔහු අධ්‍යාපනය ලත් පාසැල නව ක්‍රමය අනුමත කල බව.  “බ්රේල් ක්‍රමයෙන් අන්ධයින්ට ආලෝක ලැබේවායි !! කියමින් ඔහු වර්ෂ 1852 ජනවාරි 06 වෙනිදා පුරා අවුරුදු 43ක් ආයු වළදා අවසන් හුස්ම හෙලුවා.

බ්රේල් ක්‍රමය නොයෙක් භාෂා මාධ්‍යයන්ගෙන් සකස් කොට තිබෙනවා.  ලෝකයේ අස්සක් මුල්ලක් නෑර මේ ක්‍රමය පාවිච්චි කරන්නට පෙළඹුනා.  බ්රේල් ක්‍රමය කෙතරම් දියුණු වීදයත් ශුද්ධ වූ බයිබලයේ පටන්ම සියලුම උසස් ලේඛකයින්ගේ පොත පත බ්රේල් ක්‍රමයට ගොඩ නගා තියෙනවා.  සංගීත , කලාව, අත් ඔරලෝසු ආදි නොයෙක් දේ බ්රේල් ක්‍රමය අනුව නිදපදවා තියෙනවා.  

අද ලෝකයේ බ්රේල් පුස්තකාල දහස් ගණනක් පිහිටුවා තියෙනවා.  මේ සියලුම අධ්‍යාපන පහසුකම් අන්ධ පුද්ගලයින්ට සපයනු ලබන්නේ නොමිලේමයි.  අන්ධ ලුවී බ්රේල්ට පිං සිදු වන්නට මුළු ලොවම ඔවුන්ගේ ඇගිලි තුඩු වලින් බැලිය හැකිය.

6 comments:

  1. දෑස් පෙනෙන අප වැනි අන්ධයන්ටත් ගුරුවරයෙක්.ඉතාම වටින ලිපියක්.තවත් මෙවැනි පුද්ගල අත්දැකීම් ඉදිරිපත් කරන්න යැයි කියා යෝජනා කරනවා.

    ReplyDelete
  2. මට මෙහෙම දෙයක් හිතුනා. ස්බාවධර්මයා මනුස්සයෙක්ව මවනකොට සර්වසම්පූර්ණව මවන්නේ නෑ. අන්ධ කෙනෙක්ව මැවුවොත් ඒ කෙනාට කාටවත් නැති ආත්ම ශක්තියක් දෙනවා. ඒ ආත්ම ශක්තිය ධෛර්ය උපයෝගි කරගෙන ඒ කෙනාට නැගී හිටින්න පුලුවන්. එහෙම නැත්නම් ඒ ශක්තිය ජීවිත කාලයේ කවදාවත් පාවිච්චි නොකර ඔහේ ජීවත් වෙලා මැරෙන්නත් පුලුවන්. එහෙම මැරෙන අය තමා ගොඩක් වැඩි.

    ඒ අතින් බ්‍රේල් මහත්මයා ශ්‍රේෂ්‍ඨ මනුස්සයෙක්. ගුරුවරයෙක් !!!

    අපි කාට උනත් මේ කෙනාව ආදර්ශයට අරගෙන අපි තුල තියෙන වටිනාකම් හැකියාවන් ප්‍රයෝජනයට ගන්න ඕනා.

    බ්‍රේල් ක්‍රමය හොයාගත්ත කෙනා ගැන මෙච්චර ලොකු ලිපියක් කියවපු පලවෙනිම අවස්ථාව !!!
    ස්තුතියි අක්කා ලිපියට.

    ReplyDelete
  3. kandyangate

    මමත් ගොඩක් චරිත කතා වලට කැමතියි. අපිට ගන්න බොහෝ දේවල් තියෙන නිසා. ස්තුතියි දිරිගැන්නුවාට.

    ReplyDelete
  4. මධු..

    ඔයාගේ කතාව ඇත්ත මල්ලි, ගොඩක් අය බලාගෙන ඉන්නේ බත් ටිකත් කවුරු හරි කවනකං. උත්සාහයෙන් ජය ගන්න අය සමාජයේ අඩුයි. අද මම ස්වර්ණවාහිනියේ පුදුම 7 කියන වැඩසටහනෙන් දැක්කා අත් පා 4 ම නැති පිරිමි කෙනෙක් ෆුට්බෝල් (වගෙයි මතක) උපදේශකවරයෙක් විදියට දේශන පවත්වනවා. එයා උත්සාහයෙන් ඉදිරියට ආ හැටි කියනවා. ඇස් වලට කදුළුත් ආවා ඒක දැකලා.

    ReplyDelete
  5. අන්ධයෙක්ව සිට අන්ධයන්ට කියවීමට ක්‍රමයක් සකස් කළ බ්‍රේල් විශිෂ්ටයෙක්. මට මතක විදිහට බීතෝවන් කියන ප්‍රකට සංගීතඥයා බිහිරි අයෙක්

    ReplyDelete
  6. හසිත

    ඒ වගේම එයා තමයි බොහෝ සංගිත ඛන්ඩ බිහි කරලා තියෙන්නේ.

    ReplyDelete

කියවලා බලලා හිතට දැනෙන අවංකම දේ මෙතන කුරුටු ගෑවොත් ඒක මට ලොකු ශක්තියක්. ඒ නිසා ඔයාලගේ හැගීම් වචන වලට පෙරලන්න අමතක කරන්න එපා...!!!!!