Thursday, June 28, 2012

අහන් ඉන්න - අහගෙන ඉන්න (ඉතිරි කොටස)

දරුවා බලවත් වේදනාවක් උසුලන බව මට දැනුනේ එවිටය.  මා සතුටු කිරීම පිණිස ඇය තමාට කොහෙත්ම තේරුම් ගත නොහැකි දෙයකට මහත් වෑයමක් දරන බව මට පෙනී ගියාය.  ඇත්ත වශයෙන් ඈ කිසිම දෙයක් ඉගෙන ගත්තේ නැත.

මගේ හදවත යලිත් වරක් පැලී යන්නාසේ මට දැනුනාය.  සිතේ නැග ආ අසීමිත ශෝකයත් දුකත් යන්තම් මැඩගත් මම අර පොත් පත් සියල්ල ඉවත දැමුවෙමි.

“යං අපි එලියට ගිහින් පූසත් එක්ක සෙල්ලම් කරමු....යි මම කීවෙමි.

මෙවිට ඇගේ කුඩා මුහුණෙහි නොසිතිය හැකි අන්දමේ බලවත් සොම්නසක් උදාවිය.  එයම මට ප්‍රමාණවත් විය.

ඈ පිළිබදව මා මවාගෙන සිටි සියලුම අනාගත බලාපොරොත්තු සුන්කර දැමූ මම ඇයට එපරිද්දෙන්ම ඉදීමට ඉඩ හැරියෙමි.  අවුරුදු කෙමෙන් ගෙවීයත්ම සාමාන්‍ය ජීවිතයේ මතුවන ගැටලු හා දුෂ්කරතාවයන් ගැන ඇය තුල හැගීමක් නැති බව මට වැටහී ගියාය.  ඒ වෙනුවට දරුවන් කෙරෙහි දක්නා ලැබෙන ප්‍රීතියක් වගකීම්වලින් තොර සැහැල්ලුකමක් ඇය කෙරෙහි සදාකාලයටම පිහිටා තිබිණ.  රෝද තුනේ කුඩා බයිසිකල් පැදීමටත් බෝනික්කන් හා වැලි ගොඩැලි ආදිය සමග සෙල්ලම් කිරීමටත් ඈ ආශාවක් දැක්වූවාය.  මේ සියල්ලටම වඩා සංගීතය කෙරෙහි ආශාව බලවත් විය.  ඈ ළග සංගීත තැටි විශාල ගණනක් තිබිණ.  ඇයට කියවීමට බැරිවුවද කිසියම් ඉවකින් මෙන් ඒ තැටි වෙන්කොට හදුනා ගැනීමට ඇයට හැකිවිය.  පැය ගණන් තිස්සේ සංගීතයට මවන්දීමත් එවිට ඇගේ තොල් මතට නගින සිහින් සිනා රැලිත් මා නොදන්නා අමුතු ලෝකයක් වෙත බලා සිටින්නාක් මෙන් ඇය බලාගෙන සිටින බැල්මත් නිසා ඇය තුළ සැගවී තිබෙන කිසියම් දස්කමක් ජායාමාත්‍රයක් එළිවිය.

දරුවාගේ මානසික විකලත්වයට වන්දි වශයෙන් ලැබී තිබෙන එක් ගුණයකි එය.  මෙවැනි දරුවන් සිටින අනික් දෙමාපියන්ද තම දරුවනු තුළ මෙවැනි ගුණ පිහිටා ඇත්දැයි බැලීම වටින්නේය.

වයස අවුරුදු නවය වන තෙක් මම මගේ දරුවා මා ළග තබාගෙන සිටියෙමි.  ඊටපසු අවසාන වශයෙන් ඈට නිවසක් සෙවීම පිණිස අපි ඇමෙරිකාවට පැමිණියෙමු.

මගේ රටේ මා ජීවත් නොවුන නිසා මා වෙනුවෙන් රජයේ ආයතනයක් සොයා ගැනීම ලේසි කාරියක් නොවීය.  අනෙක් කරුණ බොහෝ ආයතන ළමයින්ගෙන් පිරී ඉතිරී පැවතීමයි.  එහි විශාල කාමරවල තිබූ බංකුමත වාඩිවී යමක් බලාපොරොත්තුවෙන් මෙන් පැය ගණන් නිකම්ම බලාගෙන සිටි ඒ දරුවන් දැකීමෙන් මා තුළ ඇතිවූ වේදනාව නොඉවසිය හැකි තරම්ය.

“මොනවා බලාපොරොත්තුවෙන්ද අර ළමයි ඉන්නේ?  මම දිනක් එහි සේවකයෙකුගෙන් ඇසීමි.

“මොකුත් බලාපොරොත්තුවෙන් නෙවෙයි ඉන්නේ....යි සේවකයා පිළිතුරු දුන්නේය.  “නිකම් බලාගෙන ඉන්නේ....එච්චරයි ඒ ගොල්ලන්ට කරන්න පුළුවන්....

එහෙත් ඒ දරුවන් බලාගෙන සිටියේ කිසියම් සතුටුදායක දෙයක් සිදුවන තුරු බව මම දනිමි.  ඇතැම්විට ඔවුන් යමක් බලාපොරොත්තුවෙන් සිටි බව ඔවුන්ම නොදන්නවා විය හැක.  වේදනාවත් සුවයත් නොදැනෙන තරමටම අදුරුවූ මනසක් කිසිවිටක තිබිය නොහැකි බව මම දැන් දනිමි.

මගේ දරුවා සදහා සුදුසු නිවාසයක් සෙවූ මට අවසානයේදී කාරුණික ප්‍රධානියෙකු යටතේ වූ ආයතනයක් හමුවිය.  එහෙත් ඒ තැනැත්තා මගේ දරුවා එහි ඇතුල් කරගැනීමට උනන්දුවක් නොදැක්වූයේය.  ඔහුගේ ඒ ආයතනය ගැන මා සතුටට පත්වෙත්දැයි යන්න නොදන්නා බව කී ඔහු එහි ඇවිද ටිකක් සොයා බලන ලෙස මට කීය.  එහි ප්‍රධානියා එක් එක් කාමර අංශවලට ඇතුල්වන විට එහි සිටින ළමයින්ගේ මුහුණු ප්‍රීතියෙන් ආලෝක වන බවත් ඔහු පිළිගැනීමට ඔවුන් සතුටින් ඝෝෂා කරන බවත් මට පෙණින.  එහි සිටි දරුවෝ ඔහු “එඩ් මාමා යන නමින් හැදින්වූහ.  ඒ දරුවන් සමග සෙල්ලම් කිරීමට කාලය ගත කළ ඔහු තමා බදාගැනීමටත් සාක්කුවල අත දමා චොක්ලට් ඇද්දැයි සෙවීටමත් අර දරුවන්ට ඉඩ දුන්නේය.  ඔහුගේ සාක්කුවල ඉතා කුඩා චොකලට් කැබලි තිබුණේය.  හැම දරුවෙකු ගැනම හැදිනිමක් තිබූ ඔහු සේවකයන්ට ඉතා ආචාරවත් අන්දමින් කතා බස් කලේය.  ඔහු කිසියම් යෝජනාවක් ඉදිරිපත් කළ විට සේවකයන් එය පිළිගත්තේ  ඉතා ඉක්මනින්ය.

ප්‍රසන්න අන්දමින් සාදා තිබූ එහි ගොඩනැගිලි ප්‍රමාණවත්ද වීය.  කුඩා දරුවන් තමන්ගේ ගෙදර පරිද්දෙන් එහි මිදුලේ සෙල්ලම් කරනු මට පෙණින.  තැනින් තැන බිත්තිවලත් ප්‍රධාන තැනගේ මේසයට උඩිනුත් කිසියම් ආදර්ශ පාඨයක් තිබෙනු මම දුටුවෙමි.  එය මෙයයි.  “මුලින්ම සන්තෝෂයට ඉඩ දිය යුතුයි.  අනික් හැම දෙයම ඊට පසුව ආ යුතුයි.

“මේ නිකම්ම හැගීම් මාත්‍රයක් නෙවෙයි...යයි මට ප්‍රධාන තැන කීය.  මේ මගේ අත්දැකීම්වලින් ලබාගත් ඵලයක් ඉගෙන ගන්න පුළුවන් සන්තෝෂයෙන් සිටින දරුවන්ට පමණක් බව අපි දැනගෙන තියෙනවා....

සැප්.  මාසයේ එක් දිනක මම මගේ දරුවා මේ නිවාසය වෙත ගෙන ආවෙමි.  ඇයට හුරු පුරුදුවනු සදහා අළුත් ක්‍රීඩා භූමිවල අපි ඇවිද්දෙමු.  ඉක්බිතිව ඇගේ ඇද තබා තිබුණු මුල්ලක් වෙත ගියෙමු.  එහිදී අපට ඇගේ භාරකාරිය වන්නාවූද එහි සිටින ගැහැණු දරුවන් ගේ සුපරින්ටන්ඩන්ට්වූද ස්ත්‍රිය හමුවිය.  දරුවා මගේ අතේ එල්ලුනාය.  මෙවේලේ ඇගේ සිතේ කුමක් පැවතුණාදැයි මම නොදනිමි.  කිසියම් දුක්බර හැගීමක් ඇතිවන්නට ඇති බව නම් මම දනිමි.  කිසිකලක අපි වෙන්ව වාසය නොකෙලෙමු.  වෙන්වීමේ කාලය නම් ළගාවන්නට විය.

ඉතා දුක්බර අන්දමින් කාලය ගතවී ගිය එදින සවස් වරුවේදී එහි ප්‍රධාන තැන මා සමග ඉතා ශාන්ත අන්දමින් කථා කලේය.  ඔහු කී වචන මට තවම අමතක වී නැත.

“ඔබ මතක තියාගන්න ඕන මේ ළමයි ඉන්නේ ප්‍රීතියෙන් බව.  එසේම ඉතාම ප්‍රෙව්ශම්. කණගාටුවක් හෝ අඩුපාඩුවක් කිසිකලක ඔවුන්ට දැනෙන්නේ නැහැත  ඔවුන්ට කරන්න බැරි කිසිවක් ඔවුන්ගෙන් බලාපොරොත්තු වන්නෙත් නැහැ.  ඔවුන් දන්නේ ප්‍රීතියෙන් සිටින්නට පමණයි.  එය ඔවුන්ට තියෙනවා.  ඔබේ දරුවා වේදනාවෙන් තොර ජීවිතයක් මෙහිදී ගෙන යාවි.  ඒක මතක තියාගන්න.  එය ඔබේ සැනසිල්ලට හේතුවෙනවාද?

“ගෙදර ජීවත්වුනා වගේම මෙහේ ජීවත්වන්ට ඔබේ දරුවාට බැරි බව නම් හැබෑව....යි ඔහු වැඩිදුරටත් කීය.  ඈ ගැන පුද්ගලිකව සලකා බලා ඉගැන්වීම් කරන බව ඇත්ත.  එහෙත් මෙහි සිටින හුග දෙනෙකුගෙන් ඈ එක්කෙනෙක්.  මෙයින් නිදහස තරමක් දුරට නැති වෙතැයි සිතෙනු ඇත.  එහෙත් මේ අලාභයට වඩා විශාල ලාභයක් වන බව ඔබ සිතාගන්න ඕන.  ඈත් මිනිස් බව ලැබූ එකියක නිසා සාමාන්‍යෙයන් හැමටම පොදු දුෂ්කරතා වලට ඇයත් මුහුණ දිය යුතුයි.  අනෙක් දරුවන් සමග එක්වී සාමාන්‍යෙයන් ඕනෑම විශාල පවුලක තිබෙන අන්දමේ ක්‍රමානුකූල ජීවිතයට ඈ පුරුදු වූ විට සමුහ වශයෙන් සිටිමෙනුත් ඈ ප්‍රිතියක් විදීවි.

ඔහු කතාව නැවැත්වූ සැටියේ ඔහු ඉන් බලාපොරොත්තු වූයේ කුමක්දැයි මට වැටහුනි.  දරුවාගේ යහපත වෙනුවෙන් කල්පනා කිරීම සදහා මා ධෛර්යය ගැන්වීමටය ඔහු එසේ කථා කෙලේ.  ඉතින් මම ඇය එහි නතර කෙළෙමි.  මගේ ගෙල බදාගත් ඇගේ අත් දෙක වෑයමෙන් ඉවත් කළ හැටි ජීවිතාන්තය තෙක් මට අමතක නෙවෙයි.  ඇය නතර කොට එන මට ආපසු බෑලීමට පවා ධෛර්යයක් නොතිබිණ.  මේට්‍රන් තැන ඇය තදින් අල්ලාගෙන සිටින බව මම දැනගත්තෙමි.  මා එදෙස නොබැලුවේ එය වාවාගත නොහැකිවන නිසාය.

එහෙත් මෙතෙක් අවුරුදු ගණනක් ගෙවී ගොස් ඇත.  නිතර නිතර මා ඇය දැකීමට යන බැවින් මගේ යෑම්ඊම්වලට ඇය පුරුදුය.  එහෙත් දැන් පවා මා එනවිට ඈ මගේ ඇගේ එල්ලෙයි.  “මට ගෙදර එන්න ඕනෑ....යි ඈ යලි යලිත් කෙදිරි ගායි.  ඇතැම් විට ගෙදර අවුත් ටික දිනක් නවතින ඇය එකල ප්‍රීතියෙන් ඉපිලෙයි.  එහෙත් ගෙදර අවුත් සුමානයක් යන විට ඇයට අනික් ගෙදර මතක් වෙයි.  අනෙක් ගැහැණු ළමයින් ගැන දැනගැනීමට හෝ කෙළි සෙල්ලම් බඩු හෝ සංගීත තැටි හෝ එවිට ඇයට වුවමනා කරයි.  අන්තිමේදී ඇය දැකීමට මට එන ලෙස පවසා තම කැමැත්තෙන්ම යළිත් අර ආයතනය වෙත යයි.  දුක් දොම්නස් පිළිබද කාලය ගෙවී ගියාය.  ඈ අලුත් නිවාසයට හොදටම හුරුවිය.

මගේ දරුවා ඇගේම ලෝකයට ඇතුල් කිරීමෙන් පසුව ගතව ගිය මේ අවුරුදු ගණනාවේදී ඇගේත් ඈ වැනි අන් දරුවන්වගේත් ජීවිත නිසා අපේ දැනීම බෙහෙවින්ම වැඩිවී යාම වරින් වර මගේ සතුටට හේතුවිය.  සොයා බැලීමත් අනතුරුවලින් ප්‍රෙව්ශම් කිරීමත් පමණක් කිසිම දරුවෙකු සදහා ප්‍රමාණවත් නොවේ.  කෙතරම් අසරණ වුවත් හැම දරුවෙකුගෙන්ම ඉටුවිය යුතු සේවයක් ඇත.  ඔහුගේ තත්වය එසේ වන්නේ කිසියම් කාරණාවක් නිසාය.  එය සොයාගත හැකි වූ විට අනික් ඒවා ඉවසීමට පුළුවන් කම ලැබේ.

මානසික විකලත්වයෙන් යුතු දරුවාගේ සාමාන්‍ය බුද්ධිය බෙහෙවින්ම හීන වුවත් සමාජය පිළිබද හැගීමත් හැසිරිය යුත්තේ කෙසේද අන්‍යයන්ට ප්‍රියවිය යුත්තේ කෙසේද යන හැගීමත් නිසා ඔහුගේ ක්‍රියා පිළිවෙළ උසස් විය හැකි බව නිව් ජර්සිහි වයින්ලන්ඩ් අභ්‍යාස විද්‍යාලයේ මානසික විකලත්වයෙන් යුතු දරුවන් සමග  කටයුතු කරන මානසික විද්‍යාඥයන් සොයා දැනගෙන ඇත.  මේ සොයා ගැනීමට උඩ ඔවුහු සමාජ පරිණත පරික්ෂණ ක්‍රමයක් ඇති කළහ.  මෙය බෙහෙවින්ම යුද හමුදා, පාසැල් හා විද්‍යාලවන ක්‍රියාවේ යොදනු ලැබේ.  නිකම්ම බුද්ධිය පමණක් ප්‍රමානවත් නොවන බව අපට ඉගැන්වූ මේ අසරන ළමයින්ට අපි කෘතඥ විය යුත්තෙමු.

මිනිසුන් ඉගෙනගන්නේ කෙසේද යන්නත් ඔවුහු අපට ඉගැන්වූහ.  මානසික විකලත්වයෙන් යුතු දරුවන්ගේ සිත් හොද කල්පනාවෙන් යුක්තය.  එහෙත් ක්‍රියාකාරීත්වය ඉතා සෙමින්ය.  ඉතා සෙමින් ක්‍රියා කරන මේ සිත්වල මාර්ගයෙන් සෙමින් ක්‍රියාවේ යොදවන චිත්‍රපටයකින් මෙන් මිනිසා අළුත් දැනීම් හා අළුත් ඇබ්බැහිකම් ලබාගන්නේ කෙසේදැයි දැනගැනීමට මානසික විද්‍යාඥයින්ට පුළුවන්කම ලැබී ඇත.  මානසික විකලත්වයෙන් යුතු මේ දරුවන් අපට උගන්වා තිබෙන කරුණු නිසා සාමාන්‍ය දරුවන්ගේ අධ්‍යාපන ක්‍රමය බෙහෙවින් දියුණු කර ගැනීමට මාර්ගය සැලසී ඇත.

බොහෝ අසනීප සුවකරන්නේ කෙසේදැයි මේ පිලිබදව පර්යේෂණවලින් අපි ඉගෙනගන ඇත.  සුව කිරීමට නොදන්නා රෝග ගැන තවම පර්යේෂන පවත්වාගෙන යනු ලැබේ.  පිළිකා රෝගය හෝ පක්ෂාඝාත රෝගය මිනිසාට දැන් මරණය ගෙන දෙන ‍රෝග නොවේ.  එසේම වැලැක්විය හැකිනම් මානසික දුබලකම්වලින්ද මිනිසා තොර විය යුතුය.

ඉපදීමට පෙරත් ඉපදීමට පසුව මොලය තුවාලවීමේ ඇතැම් හේතූන් අපි දැනසිටියද ප්‍රමාණවත් පරිද්දෙන් ඒ ගැන කරුණු නොදනිමු.  උදාහරණයක් වශයෙන් කිවහොත් දරුවෙකු කුසෙහි පිලිසිදුනු පළමුවන තුන්මාසය තුළදී මවට ජර්මන් මීසල්ස් නම් රෝගය වැළදුනහොත් අර දරුවා මානසික රෝගියෙකු වන බව අපි දනිමු.  එහෙත් ඊට හේතු තවම අප දන්නේ නැත.  හේතු කෙසේ හෝ අපි දැනගත යුතුය.  ඕනෑම පවුලකට “මොන්ගොලොයිඩ්... නමින් දන්නා විරූප රූපයෙන් යුත් ළමයෙකු ලැබීමට ඉඩ තිබේ.  මෙවැනි ළමයෙකු ලැබෙන්නේ ඇයිදැයි අපි සොයා බැලිය යුතුය. (මේ වනවිට නම් ඒ ගැන බොහෝ කරුණු වෛද්‍යවරුන් විසින් සොයා ගෙන ඇත).

මේ ඕනෑකම මහජනයා දන්නවාට වඩා බලවත්සේ අවශ්‍යව තිබෙන්නකි.  මෙවැනි දරුවන් වෙනුවෙන් ඇති ආයතන ඉතා තදබල අන්දමින් පිරී පවතී.  මේ පිළිබදව පර්යේෂණ කටයුතු ඉක්මන් නොකලහොත් මහජන අරමුදලින් ඩොලර් ලක්ෂ සංඛ්‍යාත ගණනක් මේ දරුවන් සදහා වියදම් වනු ඇත.  මේ කරදර හිරිහැර සියල්ලම මග හැරෙන අන්දමින් විද්‍යාත්මක පර්යේෂණ සදහා වියදම් කරන්නේ නම් එය කෙතරම් නුවණට හුරු ක්‍රියාවක්ද?

ඇත්ත වශයෙන්ම මේ ගැන කිසියම් දෙයක් කල යුතුව ඇත.  ඇමෙරිකානු එක්සත් ජනපදයේ සිටින මානසික විකලත්වයෙන් යුතු දරුවන්ගෙන් අඩුගණනේ සියයට පණහක් සමාජයේ ක්‍රියාත්මක සමාජිකයන් වශයෙන් හැඩගැස්විය හැකි බව අපි දැන් දනිමු.  දැනට තදබදවී ඇති මේ මහාජන ආයතනවල එම තදබදය ඉවත් කළ හැක්කේ අධ්‍යාපනයෙන් පමණකි.  අවුරුදු හයක දරුවෙකුගේ මනසට වඩා නොවැඩුන මනස් සහිත තරුණයන්ට කළ හැකි රැකී රක්ෂාවල් තිබෙන බව පරික්ෂණවලින් සොයාගෙන තිබේ.  එක්සත් ජනපදයේ සියලුම වැඩවලින් සියයට 20ක් කරනු ලබන්නේ පුහුණුවක් නොලැබූ කම්කරුවන් විසිනි.

මේ සියල්ල කිසියම් බලාපොරොත්තුවක් ඇතිකර ගැනීමට තුඩුදෙන කරුණුය.  බලාපොරොත්තුව ක්‍රියාකාරීත්වයට අවශ්‍යය.  මානසික විකලත්වයෙන් දැනට පසුවන දරුවන්ගෙන් භාගයක් එසේ නොවී සිටීමට ඉඩ තිබුනි.  එසේම දැනට මානසික විකලත්වයෙන් පසුවන්නන්ගෙන් බාගයක් සුදුසු අධ්‍යාපනයක් දීමෙන් සමාජයේ ක්‍රියාකාරී පුද්ගලයන් බවට පත්කල හැකිය.  අපේ ඇතැම් ළමයින් පිළිබදව නම් දැන් ප්‍රමාද වූවා වැඩිය.  එහෙත් ඔවුන්ගේ මේ දු:ඛදායක ජීවිතයෙන්ගෙන් නිසිපල ගැනීමට හැකිකම මුලින්ම තිබුණ බව මහජනයාට වැහෙන්නේ නම් ඔවුන්ගේ ජීවිත සාර්ථක වූවාවෙයි.

ප.ලි.   :  ඇත්තෙන්ම ඔබ හිතන්නේ මේ සත්‍ය සටහන ලියන්නට ඇත්තේ කවුරු කියලද?  “ගුඩ් අර්ත් එහෙමත් නැත්නම් (හොද පොළව) නම් නව කතාව ලිවීමෙන් අමර කීර්තියක් දිනා ගත් ඇය ඇමෙරිකන් ජාතික කාන්තාවක්.  ඇය  චීනයේ බොහෝ කාලයක් වාසය කලාය.  සාහිත්‍ය පිළිබදව නොබෙල් සම්මානය පවා දිනාගත් ඇය නමින් පර්ල් එස්. බක්.  මේ සත්‍ය කතාව ලියවෙන්නේ ඇගේම දියණිය පිළිබදවයි.  ඇයට විදින්නට සිදුවූ දුක් ගැහැට පිළිබදවයි.

මේ ලිපිය ඇස ගැටුනු සැනින්ම අකුරක්වත් වෙනස් නොකර ලියන්නට මටත් හේතුවූ විශේෂම කාරණාව ඇය විදි දුක මටත් දැඩිව දැනෙන නිසාය.  මන්දයත් මගේ පුතුද ආබාධිත තත්වයෙන් පසුවෙන නිසාය.  ඔහු මන්ද මානසික තත්වයක පසුනොවෙතත් ආබාධිත දරුවෙකි.  ජුලි 23 වන දිනට වයස දස වසරක් පිරෙන මගේ පුතු තවමත් ඇවිදීමේ හා කතා කිරීමේ හැකියාව නැති දරුවෙකි. මේ නිසාම සදාකාලිකවම මගේ සිතත් වේදනාවෙන් පෙලෙයි.




Saturday, June 23, 2012

අහන් ඉන්න - අහගෙන ඉන්න,



“මේ සත්‍ය කතාවක්. සත්‍ය නිසාම ටිකක් දුෂ්කරයි.  මගේ දරුවා වැනි දරුවන් ඇති දෙමවිපියන්ගෙන් අවුරුදු ගණනක සිට මා වෙත ගලා ආ ලියුම් රාශිය නිසා කෙතරම් වේදනා ගෙන දෙන්නක් වුවත් මේ කතාව කිවයුතු කාලය පැමිණ ඇති බව මම සිතමි.  මට ලැබුණ අර ලියුම් වලින් ප්‍රශ්ණ 2ක් අසා තිබුනි.  ඔවුන්ගේ ඒ දරුවන්ට ඔවුන් කුමක් කල යුතුද යන්න එක් ප්‍රශ්ණයකි.  එවැනි දරුවන් නිසා ඇතිවන ශෝකය විද දරා ගන්නේ කෙසේද යන්න අනික් ප්‍රශ්ණයයි.

පළමුවන ප්‍රශ්ණයට මා පිළිතුරු දෙන්නේ මා කල දෙය ඔවුන්ට පැවසීමෙනි.  එහෙත් දෙවැනි ප්‍රශ්නයට පිලිතුරු සැපයීම ඊට වඩා දුෂ්කර කාර්යයකි.  මා එසේ කියන්නේ කෙසේ හෝ මුහුණ පෑ යුතු ශෝකයක් විද දරා ගන්නේ කෙසේදැයි යන්න තම තමන් තනියෙන්ම උගත යුත්තක් බැවිනි.  එසේමවිද දරා ගැනීම පමණක් ප්‍රමාණවත් නොවේ.  ඇතැම් විට විද දරා ගැනීම කටුක වූත් වේදනාකාරී වූත් අනුන්ගේ ජීවිත විනාශ කරන සුළු එකක් විය හැක.

මේ කතාව ලිවීමට මා අවසාන වරට තීරණය කරගත්තේ මගේ දරුවාගේ ජීවිතයෙන් ඇගේ පරම්පරාවට යම්කිසි වැඩක් කරදීම සදහාය.  මගේ දරුවා වැනි සියලුම දරුවන්ට ආධාර දීම සදහා විශාල ව්‍යාපාරයක් මෙකට රටේ පටන් ගෙන ඇත.  මානසික දුබලතාවයක් ඇති තැනැත්තා මිනිස් පවුලේම කොටසක් හැටියට පිළිගැනීමට නුවණැති පිරිමින් හා කාන්තාවන් පටන් ගෙන තිබේ.  එසේම ඔවුන්ගෙන් සමාජයට යම්කිසි වැඩක් වීම සදහාත් ඔහුගේ ජීවිතය සතුටු කරවනු වස් ඔහුට ගැලපෙන අන්දමින් අධ්‍යාපනයක් ලබාදීමත් ආරම්භ කර ඇත. මේ සදහා මූලික පර්යේෂන කලයුතුව ඇත.  නමුත් මගේ දරුවාට නම් මින් පලක් විය හැකියි මා නොසිතන්නේ දැන් ඇය කායික වශයෙන් වැඩීගිය ගැහැණියක් හෙයිනි.  නමුත් ඇගේ තත්වයේ සිටින අනෙක් බොහෝ කුඩා දරුවන්ටත් මතුවට එවැනි අන්දමින් උපදින දරුවන්ටත් මින් කිසියම් ප්‍රයෝජනයක් ලැබිය හැකිය.

මට මගේ දරුවා ලැබුනේ චීනයේදීයි.  එකල මම සුන්දර තරුණ කාන්තාවක්ව සිටියෙමි.  මම හැමවිටම දරුවන් ලැබීමේ භාග්‍යය ප්‍රාර්ථනා කෙලෙමි.  මා වැදූ දරුවා පළමුවන වරට මට ඇස ගැස්වීම සදහා චීන ජාතික සාත්තුකාර සේවිකාව ඇය ඔසවා මට පෙන්වද්දී මා තුල ඇතිවූ අසීමිත සන්තෝෂය තවම මට හොදහැටි මතකය.  කුඩා ඇගේ ඉන්ද්‍රියයන් මනාව පිහිටා තිබිණ.  ඇගේ කුඩා දෙනෙතින් නුවණත් ශාන්තභවත් ප්‍රකට වෙතැයි මට පෙනුණාය.  මම සාත්තුකාර සේවිකාව අමතා මෙසේ කීවෙයි.

“වයසට වඩා මෝරපු බවක් පෙනෙනවා නේද? මේ වන විට මා වැදූ ගැහැණු දරුවා ගේ වයස පැයකටත් අඩුවිය.

“ඇත්තටම ඔව්.....යයි සේවිකාව මට කීවාය.  “ඒ වගේම ලස්සනයි.  මේ දරුවාගේ යම්කිසි අමුත්තකුත් තියෙනවා.  සේවිකාව වැඩිදුරටත් ප්‍රකාශ කලාය. 

මේ වචන ගැන මම කීප වාරයක්ම කල්පනා කලෙමි.  මුලින්ම මා මෙම වචන සිහිකලේ ඉතා ආඩම්බරයෙනි.  එකල ඇය ශරීර සෞඛ්‍යෙයන් යුතුව වැඩීගෙන ආවාය.  ඇගේ වයස මාස දෙකකක් වූ විට පළමුවන වරට මගේ පැරණි මිතුරෙක් ඇය දුටු වතාව මට මතකය.  ඇය කලින් කළු උඩුරැවුලක් සහිත පිරිමියෙකු දැක නොතිබුණේය.  මොහොතක් පමණ වේලා අර පිරිමියා දෙස පුදුමයෙන් බලාගෙන සිටි ඇය ඉක්බිතිව අඩන්නට පටන් ගත්තාය. 

“පුදුමයි!!!! මගේ මිතුරා කීය.  අමුතු දේවල් හදුනාගැනීමේ හැකියාවක් ඇයට දැනටමත් තියෙනවා.

ඇගේ මනසෙහි වැඩීම නතරවූයේ කෙදිනකදැයි මම නොදනිමි.  එසේම එසේවූයේ ඇයිදැයි යන්නද අදවන තුරු මා දන්නේ නැත.  මගේ දරුවාගේ ඉන්ද්‍රියයන් විරූප වෙතැයි බියක් මා තුල හට ගැනීමට කිසිම කාරණයක් මගේ පරම්පරාවේ නොතිබුණේය.  අනාගතයේ සිදුවීමට තිබූ දේ ගැන කිසිම තරුණ මවක කෙරෙහි මට වඩා පුදුමයක් ඇතිවිය නොහැක.  මගේ දරුවාගේ යම්කිසි අඩුපාඩුවක් මට පෙනුනේ සියල්ලන්ටම වඩා පසුවයයි මට සිතේ.  ඈ ගැන පළමුවෙන්ම සැකයක් මා තුල උදාවන විට ඇගේ වයස අවුරුදු තුනකි.  ඒ සැකය ඇතිවූයේ එතෙක් ඈ කතා නොකල නිසාය.  මේ ගැන මා මාගේ මිතුරන් සමග කතා බස් කළ සැටි මට මතකය.  ඔවුන් දුන් පිළිතුර මා සනසන සුළු විය.  බෙහෙවින්ම සැනසිලිදායක විය.  නොයෙක් දරුවන් නොයෙක් වයස්වලදී කථා කරන බවත් තනියම හැදෙන දරුවන්ට වඩා ඉක්මනින් තවත් දරුවන් සමග හැදෙන දරුවා කථා කිරීමට පුරුදුවන බවත් ඔවුහු මා සමග කීහ.  ඔවුහු හොදහිත ඇති මිතුරන් කතා කරන අන්දමේ කිව හැකි හිස් සැනසිලි වදන් සියල්ලම කීහ.  මම ඒ සියල්ලම විශ්වාස කලෙමි.

මගේ දරුවාගේ මනසෙහි වැඩීම නතරව තිබෙන බව මා දැනගන්නා විට ඇගේ වයස අවුරුදු හතරකට කිට්ටුවී තිබුණාය.  මේ වනවිට ටිකක් කතාකිරීමට පටන්ගෙන සිටි ඈට තනියම ආහාර ගැනීමටත් ඇගේ ඇදුම් ඇගලා ගැනීමටත් පුළුන් කමක් ලැබී තිබිණ.  පින්තූර පොත් බැලීමට ආශා කළ ඇයට කීමට වඩා අවබෝධ කරගැනීමට හැකි වුවාය.  ඇය කරන සංඥාවලින් කතා කරන කැඩුනු වචන කිහිපයේත් තේරුම් මම දැනගත්තෙමි.

මේ කාලයේදි එක් දිනෙක මම ඇමෙරිකානු දාරකා රෝග චිකිත්සක වෛද්‍යරියකගේ  (pediatrician) කතාවක් ඇසීමට ගියෙමි.  මේ කතාවට ඇහුම්කන් දීමේදී මගේ දරුවා කෙරෙහි කිසියම් බලවත් අඩුපාඩුවක් ඇත්තවශයෙන්ම ඇතිබව මට පෙනී ගියේය.  ඇවිදීමට ප්‍රමාද වීම කථාව හුරුවීමට කල්යාම, ඇවිදීමට පුළුවන්වූ විට නිතරම පවත්නා කැළඹිලි ගතිය ආදිය රෝගයේ තදබල කම හදුන්වන ලක්ෂන බැව් ඒ වෛද්‍යවරිය පෙන්නා දුන්නාය.

මේ කතාව පවත්වා අවසාන වූ විට වෛද්‍යවරියට ගෙදරට පැමිණ මගේ දරුවා බලන ලෙස කීවෙමි.  ඊටපසු දින ගෙදරට පැමිණි ඇය වාඩිවී මගේ දරුවා දෙස බොහෝ වේලා බලාගෙන සිට අන්තිමේදී හිස සැලුවාය.
“මොකක් නමුත් වැරැද්දක් තියෙනවා......යි කී ඇය “මම දන්නේ නැහැ හරියට මොකද්ද කියලා.  දොස්තරවරු හමුවී කතාකර බලන්න....යයි පැවසුවාය.

මා ඊට පෙර නොදුටු නැතහොත් මට නොපෙනෙන රෝග ලක්ෂණ  කිහිපයක් වෛද්‍යවරිය මට පෙන්නුවාය.  මගේ දරුවාගේ සිත එක් අරමුණක පැවතුනේ ඉතාම කෙටි කාලයකට පමණි.  ඈ එහාට මෙහාට කළ දිවීම් වල බොහෝ විට කිසිම තේරුමක් නොමැති ඒවාය.  ඒවා ඉබාගාතේ අරමුණක් නැතිව කළ දිවීම් පමණකි.  පිරිසුදු නිල් පැහැයෙන් බබලන ඇගේ දෙනෙත්වල කිසිම අදහසක් හෝ තේරුමක් නොමැතිවිය.  දෙනෙත්වල වූයේ නිකම්ම හිස් බැල්මක් පමණි. 

ඊට පසුදින දරුවා පරික්ෂාකර බැලූ දොස්තරවරු මෙසේ කීය.

“මේ දරුවා අමෙරිකාවට ගෙනියන්න ඕනෑ.  දරුවාගේ අසනීපය කුමක්ද කියා සොයාගැනීමට එහි දොස්තරවරුන්ට පුළුවන් වෙයි.  දරුවාගේ යම්කිසි අඩුපාඩුවක් තියෙන බව විතරයි අපට කියන්න පුළුවන්.

අනතුරුව මෙවැනි දරුවන් සිටින මව්වරුන් හොදින් දන්නා ඒ දීර්ඝ ගමන මම ආරම්භ කලෙමි.  මගේ දරුවා සුව කිරීමට පුළුවන් යම්කිසි කෙනෙකු කොහේ හරි සිටිය යුතුය යන හැගීමෙන් මම ලෝකය පුරාම දරුවා රැගෙන ඇවිද්දෙමි.  ටිකින් ටික මගේ බලාපොරොත්තු හීනවී යන්නට විය.

අවසානයේදී මම මින් ප්‍රෙද්ශයේ රොචෙස්ටර්හි මේයෝ චිකිත්සාගාරය කරා පැමිණියෙමි.  දවස ගානේම අපි දරුවා පරීක්ෂා කරමින් භීතියෙන් කල් යැවුවෙමු.  මෙකල මා තුළ බලාපොරොත්තුවක්ද ඇති විය.  ඇත්ත වශයෙන්ම මෙතරම් තදබල පරීක්ෂාවකින් මෙතරම් ලොකු දැනුමකින් දරුවාට වී තිබෙන දෙයත් ඒ සදහා කළයුතු දෙයත් දැනගන්නට ලැබෙතැයි මම සිතුවෙමි.

අන්තිමේදි දාරක දෙපාර්තමේන්තුවේ ප්‍රධාන තැන මෙතෙක් කළ පරික්ෂනවල සියලුම වාර්තා එකතුකොට ගෙන රෝගය විනිශ්චය කලේය.  මගේ දරුවා කෙරෙහි ඇතැම් සමත්කම් තිබිණ.  විශේෂයෙන් සංගීතයට දක්ෂතාවයක් වීය.  දුෂ්කරතාවයන් මධ්‍යෙය්  කිසියම් බලවත් සමත් කමක් නැගි සිටීමට යත්න දරන බවට සළකුණු වූවාය.  එහෙත් මනස ඉතා දුබල එකක් විය.  ඒ ඇයිදැයි නොදන්නා නමුදු දරුවාගේ මනස කිසියම් අන්දමකින් නොවැඩෙමින් තිබිණ.

මම මගේ දරුවා දෑතින් ඔසවාගෙන වාඩිවී බලාසිටියෙමි.  මගේ සිතේ හටගත් තියුණු වේදනාව නහර ඇට මිදුලු විනිවිද ගොස් බලවත්සේ ශරීරය පෙළෙන්නට විය. 

“බලාපොරොත්තුවක් තැබිය නොහැකිද? මම ඇසීමි.

මේ ගැන නිසැක හැගීමක් ඒ කාරුණික වෛද්‍යවරයා තුළ ඇතැම්විට තිබෙන්නට නැත.  “මම හිතනවා තවත් උත්සාහ කරනවා නම් හොදයි කියා.  ඔහු පිලිතුරු දුන්නේය.

මා ජීවිතාන්තයතෙක් කෘතඥවිය යුතු මොහොත මෙහිදී පැමිණියේය.  මා දරුවාත් සමග ශාලාවෙන් ඔබ්බට ගමන් කරද්දී කිසිවකු නොසිටි පාලු කාමරයකින් එතරම් පෙනීමක් නැති මිනිසෙක් මට කතා කලේය.  ප්‍රධාන දොස්තර මහතා  වෙත මේ තැනැත්තා වෛද්‍ය රපෝර්තු ගෙන එනු මා කලින් දැක තිබුණේය.

“දොස්තර කිවුවද ළමයා සනීප කරන්න පුළුවන් කියලා.
“දොස්තර කිවුවේ නැහැ බැරිය කියලා...මම ගොත ගසමින් කීවෙමි.

“මං කියන එක අහනවා....යි ඔහු මට මෙහිදී කිය.  ඇත්ත මොකද්ද කියලා දැනගත්තේ නැත්නම් තමුන්ගේ ජිවිතය කාලකණ්නි කරගෙන පවුලත් මගට බස්සවන්න සිද්ධ වෙයි.  කවදාවත් ඈ සුවකරන්න පුළුවන් වෙන්නේ නෑ ඇහුනද?  මම ඒක දන්නවා.  මේ වගේ දරුවන් මං දැකලා තියෙනවා හරියට කථා කරන්නවත්, කියවන්නවත්, ලියන්නවත් කවදාවත් ඈට පුළුවන් වෙන්නේ නෑ.  මේ ගැන රැවටෙන්න එපා.  මේ දරුවා ඔබට බරක් වේවි.  ඒ බර උහුලන්න සූදානම් වෙන්න.  ඒ උනත් ඇය නිසා ඔබ කාළකණ්නි වෙන්න ඕන කමක් නැහැ.  ඇයට සතුටින් සිටීමට හැකි තැනක් සොයා එහි ඈ නවත්වා තමුන්ගේ පාඩුවේ ජීවිතය ගෙනියන්න.  මං මේ ඇත්ත කීවේ තමුන්නේ හොදට.

මේ මිනිසා නපුරු මිනිසෙකු ලෙස මට පෙනුන බව මට මතකය.  එහෙත් ඔහු නපුරු මිනිසෙකු නොවේ.  මට මෙයකීම ඔහුගේත් වේදනාවට හේතු වු බව දැන් මම දනිමි.  මා තුළ ඉක්මනින්ම ගැඹුරටම තුවාලයක් ඇතිකළ ඔහුට මම හැමදාමත් කෘතඥ වෙමි.

මම යළිත් දරුවා චීනයේම මගේ නිවසට ගෙන ගියෙමි.

මේ කතාව මට විතරක් සීමාවූවක් නොවෙයි.  බොහෝ විට සියයට බොහෝගණනක් මානසික දුබලයින් සිටී.  නැතහොත් දුබලයෙක් වෙන්නෙක් වෙයි.  එසේම මනසින් විකල හැම දරුවෙක්ම පවුලේ ශෝකයට කාරණයක්.  මානසික විකලත්වයෙන් යුතු දරුවන්ගේ දෙමව්පියන් තම තමන්ට ආධාර හා සැනසිල්ල ලබා ගනු සදහා සංවිධානය කරන ලද දෙගුරු සංවිධාන බොහෝ විට මෙකල මා දැක ඇත.  ඔවුන් වෙනුවෙන් මගේ හදවත කෙතරම් කකියන්නට ඇත්ද?  කැල්වරියට යන ඔවුන්ගේ මාර්ගයේ සෑම පියවරක්ම මම දනිමි

අවශ්‍යෙයන්ම මුහුණ දිය යුතු ශෝකය විද දරාගන්නේ කෙසේදැයි යන්න ඉගෙනීම ලෙහෙසිවැඩක් නොවේ.  මෙබදු ශෝකයක් දරා ගැනීමට වඩා මරණයට මුහුණ පෑම ලෙහෙසිය.  මරණින් කෙළවර වන බැවිනි.  මගේ දරුවා මළා නම් මීට වඩා හොද බව සිතින් සිතා හැඩූ වාර ගණන කොපමණද? මේ ශෝකය කුමක්දැයි නොදන්නා අය මගේ අර කීමට පුදුමයට පත්වුවත් එය දන්නා අය ඉන් කම්පා නොවනු ඇත.  මගේ දරුවා වෙත මරණය ළගාවූවානම් - දැන් හෝ ළගා වේ නම් මම එය සතුටින් පිළිගනිමි.  එයින් ඈ අවසානය දක්වාම ප්‍රෙව්ශම් වන බැවිනි.

එහෙත් තම දරුවන්ගේ කායික ජීවිත අවසාන කර දමන දෙමාපියන් ගැන මම අසා ඇත්තෙමි.  ඇතැම් අපරාධ වලට මරණීය දඩුවම දියයුතු යයි සමාජයේ නීති ඇත.  එහෙත් අහිංසකයන් මැරීම කළ නොහැකිය.  කිසි කලෙක නොවැඩෙන මේ දරුවන්ට වඩා අහිංසකයෝ මෙලොව නැත.  ඕනෑම අහිංසකයෙකු මැරීමේ බලය සමාජයට ඇත්නම් එහි විපාක ඉතා භයංකර වනු ඇත.  එසේනම් මුලින් මරණයට භාජනයන්නේ අසරණ දරුවන් පමණකි.  අනතුරුව අසරණ මහල්ලන්ද මැරීම යුක්ති සමගත යයි සිතිමට පුළුවන.  යුතේනේසියා අනායාස මරණය යනු ඉතා මට සිලිටු වචනයකි.  මටසිලිටු වචනවල ඇති අන්තරාව මෙහිද ඇත.

මා තුල ඇති වැටහෙන නුවණත් වගකීමුත් නිසා මගේ ජිවිතය කාලකන්නිවීමට ඉඩ නොදිය යුතු බව වැටහී ගියාය.  එහෙත් හදවත බිදුනු විට නුවණිනුත් වගකීම්වලිනුත් හැම විටම පල නොලැබේ.  සාමාන්‍යෙයන් මා ජීවිතය ගත කරන පරිදි කථාවෙන්, සිනාවෙන්, සහ සිදුවන නොයෙක් දේ ගැන ඕනෑකමක් දැක්වීමෙන් කාලය ගෙවීමට මම උත්මාහ කෙළෙමි.  එහෙත් මේ සියල්ලටම යටින් දැවෙන කැළඹීම බලවත් විය.  එසේ වුවද මගේ හැඩුම දරුවාට නොපෙන්වන්නට මම වෑයම් කෙළෙමි.  මා එසේ කලේ මා හඩනු දකිනු ඇය මා දෙස බලාගත්වනම සිට අනතුරුව සිනාසෙන බැවිනි.  හැමවිටම මගේ හදවත දෙදරා පැලී ගියේ මට තේරුම් නොගත හැකි ඇගේ මේ සිනාව නිසාය.

කරුණු මේ අන්දමින් සිදුවූයේ කෙසේද කියා මම නොදනිමි.  අවසානයේ සියල්ල විද දරාගැනීමේ ක්‍රියා මාර්ගයක් ඇති විය.  මුල්ම පියවරවූයේ සිදුවූ දෙය එලෙසින්ම පිළිගැනීමය.  මගේ දරුවාට කිසි කලෙක නොකල හැකි දේ අසල්වැසියාගේ නිරෝගී කුඩා දුව කරනු දැකීම කණගාටුවෙන් වේදනාවෙන් පතුලටම මා තල්ලු කර දැමීමට පොහොසත් විය.  එහෙත් මේවා ඉවසා දරා ගැනීමට මම ඉගෙන ගත්තෙමි.  දරුවාගේ අනාගතය සදහා හා කුමක් කළ යුතුද යන්න කල්පනා කිරීමට මෙහිදී මම පෙළඹුනෙමි.  මා සමග ජිවත්වීමෙන් දරුවාට රක්ෂාවරණයක් ලැබිය හැකිව තිබිනි නම් මා ළගම ඇය ඉදීම ඉතාම හොදයයි මට වැටහෙනු ඇත.  මා එසේ කියන්නේ මට වඩා හොදට ඇය තේරුම් ගැනීමට හෝ ඇය වෙනුවෙන් මට වඩා හොදට යමක් කළ හැකි හෝ අන් කිසියෙකු ඇතැයි මම නොසිතූ නිසාය.  එහෙත් මා තරුණ කාලයේම මළොත් ඇයට වන්නේ කුමක්ද?  ලෝකය අසරණයින් සදහා හැඩගැසී තිබෙන්නක් නොවේ.  එහෙයින් කළහැකි හොදම දෙය වූයේ ඇය මගේ රටවූ ඇමෙරිකාවට ගෙන ගොස් එහි කිසියිම් ආයතනයක නැවැත්වීමයි.  ගෙදරින් පිටවන ඈ එහෙදී තනියම ඊට සුදුසු අන්දමින් හැඩගැසෙනු ඇත.  මීට හේතුව තේරුම් ගැනීමට ඇය අපොහොසත් වෙයි.
 ව්‍යාකූලත්වයත් දුකත් නිසා ඉවසිය නොහැකි පරිදි ඈ කැළඹෙනු ඇත.  මා ආධාර දෙන අතරම ඇයට හැකි පරිද්දෙන් හැඩගැසීමට ඉඩදීම දැන් කරන්නට තිබෙන හොදම දේ බව මට වැටහී ගියාය.  ගෙදරින් පිටව අළුත් නිවාසයට යන ඇය මා නිතරම ළග සිටින නිසාත් නිතර නිතර ඈ බැලීමට යන එන නිසාත් එහි පරිසරයට ඔබින පරිද්දෙන් හැඩ ගැසෙනු ඇත.

මගේ සිතේ පැවති මේ අදහස එක්තරා සුළු සිද්ධියක් නිසා බෙහෙවින්ම ස්ථිරවූවාය.  ගෙදර අසල ඇමෙරිකානු අසල්වැසියෙකුට මගේ දුවගේ වයසේම දුවක් සිටියාය.  ඔවුන් හැම විටම උනුන් හා කණ්ඩායම් වශයෙන් සෙල්ලම් කලෝය.  එසේ වුවද ඒ කුඩා ගැහැණු ළමයා මෙසේ කිය.  “අපේ අම්මා කියනවා අනිත් පාර මගේ පාටියට ඔයාගේ අසරණ දුව ගන්න එපා කියලා..

ඇත්ත වශයෙන්ම අනික් වතාවේ පැවැත්වූ පාටියට මගේ දූ වෙනුවෙන් ආරාධනාවක් නොලැබිණ.  මගේ දරුවා කොන්වීමට පටන්ගත් බව මට පෙනුනේය.  එහෙයින් මගේ දරුවාට වෙන කිසියම් ලොකයක් ඇය පිළිකුල් කොට හෙළා නොදකින ඇගේ තත්වයේම යහළුවන් සිටින ඇගේ ප්‍රමාණය අනුව ක්‍රියා කළ හැකි ලෝකයක් සෙවිය යුතු බව මට වැටහිණ.

දරුවා කිසියම් ආයතනයක නැවැත්වීමට පෙර ඇගේ දස්කම් ඉතා හොදින් විභාගකර බැලීමට මට සිතුනාය.  මා එසේ සිතුවේ ඇගේ අනාගත ජිවිතය සදහා ඉතාම සුදුසු නිවාසය තෝරා ගැනීමටය.  අවුරුද්දක් මැය පරීක්ෂණයට භාජනය කල යුතු යයි සිතූ මම ඒ කාලය තුළදී ඇයට කියවීමටත්, ලිවීමටත්, සංගීතයට  ඈ ඇලුම් හෙයින් වැයීමට හා කුඩා සින්දු ගැයීමටත් ඉගැන්වීමට තීරණය කලාය.

මගේ දරුවාට කුඩා වගන්ති කියවීමට පුළුවන් බව මට තේරුනි.  ඇගේ නම මහත් වෑයමෙන් ලිවීමටද කුඩා සින්දු ගැයීමටද ඇයට පුළුවන් විය.  තවත් දුරට ඉගෙනීමේ කටයුතු ගෙනයාමට පුළුවන් වෙතැයි මම සිතුවෙමි.  එහෙත් එක් දිනක් ඇයට අකුරු ලිවීම පුහුණු කරවනු සදහා ඇගේ අතින් අල්ලාගෙන මා ලියවත්දී ඇගේ කුඩා අත දහඩියෙන් තෙමී ගොස් තිබෙනු මම දුටුවෙමි. 


මතු සම්බන්ධයි.........




Saturday, June 16, 2012

එක්දහස් එක් රැය (අරාබි නිසොල්ලාසය)



 මේ සමාජයේ ජීවත් වෙලා හිටපු ඇතැම් උදාර මිනිසුන්ගේ චරිත ඇසුරු කිරීමෙන් අපට බොහෝ ආදර්ශමත් දේ දැනගන්නට පුළුවන් කමක් තියෙනවා.  පැරැන්නන් පිළිබද පුරාවෘත්ත ඇසුරු කිරීමෙන් අපේ අනාගතයත් හැඩගස්වා ගන්නට පුළුවන්.  ලෝකයේ සෑම තැනකම පාහේ පතලවී ඇති ඉතාමත් අනර්ඝ කතාවන්ගෙන් සමන්විත  “එක් දහස් එක් රැය මේ වගේ ‍‍ඵෙතිහාසික වෘතාන්තයක්.
                                                                                               
දුරාතීතයෙහිදි ජම්බුද්වීපයත් චීන මහද්වීපයත් ස්වකීය අධිශ්වරත්වයට යටත් කර විසූ මහාධිරාජයෙක් සිටියේය.  ප්‍රතාපවත් මේ රාජයාට බුජ බලයෙන් හා ඔද බලයෙන් යුතු කුමාරවරු දෙදෙනෙක් වූහ.  මේ තමයි ලෝකයේ විවිධ ජාතීන් අතර පතළ වී ගිය අරාබි නිසොල්ලාසය නොහොත් එක්දහස් එක් රැය නම් ජනප්‍රිය කෘතියේ ආරම්භයේ දැක්වෙන විස්තරය.

ඇතැම් විචාරකයන්ගේ මතයට අනුව නම් මේ පොත එතරම් වැදගත් එකක් නොවෙයි.  නමුත් ආරම්භයේදීම දැක්වෙන කෘතියේ ප්‍රධාන පරමාර්ථය හොදින් ඉෂ්ට වී ඇති බැව් මේ පොත කාලාන්තරයක් තිස්සේ පොදු ජනතාව පරිහරණය කරනු ලැබීමෙන් පෙනෙන්නට තිබෙනවා.

සමය, සමාචාරය පිළිබදව ආදර්ශයෙන් තොර කතාවන් ගෙතීමට අරාබි සාහිත්‍ය කැමැත්තක් දක්වන්නේ නැහැ.  මුස්ලිම් සමයත්, එහි දැක්වෙන යුක්තිය, ධර්මය, සාධාරණත්වය, ජනතාවගේ ජීවිතවලට කාවැද්දීමේ පරමාර්ථයෙන් තමයි හැම සාහිත්‍යකරුවෙක්ම තමන්ගේ නිර්මාණ කරන්නේ. එය පිළිගත් මතයක්.  මේ විදියට බලනකොට මුස්ලිම් ප්‍රතිපත්ති අනුව හැඩ ගැසෙන පුද්ගලයෙකු තුළ තිබිය යුතු අංගයන් බොහෝ ගණනක් තිබේ.  කුඩා ළමයෙක් වශයෙන්, ඔහු දෙමාපියන්ට කීකරු විය යුතුයි.  ගුරුවරුන්ට ගරු කල යුතුයි.  සදාචාරය ප්‍රිය කරන්නෙකු විය යුතුයි.  තමන්ට හොද හැදියාවක් තිබිය යුතුයි.  සැමියෙකු වශයෙන් බිරිද හොදින් බලාගතයුතුයි.  රජු වෙනුවෙන් යුද්ධකරන්නට සූදානමින් සිටිය යුතුයි.  ආගන්තුක සත්කාරයට මැලි කමක් නොදැක්විය යුතුයි.  පියෙකු වශයෙන් දරුවන්ට ඒ ඒ යුතුකම් ඉටුවිය යුතුයි. ඔවුන් යහමගට යොමු කල යුතුයි.  ඉතාමත් හොද නිර්මාණාත්මක රසයකින් යුතු අරාබි නිසොල්ලාසයේ මේ කියන හැම ගුණාංගයක්ම ඇතුලත්ව තියෙනවා.

මේ කතා පුවතේ එන මහ රජුගේ පුත් කුමාරවරුන්ගෙන් පළමුවැන්නා ෂාරියර්, තමන්ගේ පිය රජුගේ ඇවෑමෙන් රාජ්‍යපදප්‍රාප්තව සිය සොහොයුරා වන ෂා සාමන් ප්‍රත්‍යන්ත ප්‍රදේශයක් වන සමර් කන්ඩයේ යුව රජ බවට පත් කොට දැහැමෙන් සෙමෙන් රාජ්‍ය කරන්නට පටන් ගත්තා.

මේ විදියට දින සති මාස ආදී වශයෙන් කාලය ගෙවිලා ගියා.  නමුත් මහරජ තමාගේ සොහොයුරු යුව රජු දකින්නට නොලැබුන හේතුවෙන් කනස්සල්ලෙන් තමයි හිටියේ.  නමුත් අවසානයේ දී ෂාරියර් මහරජ සිය මහ ඇමතියා  තමන්ගේ ලගට කැදවා තමන්ගේ සොහොයුරා දකින්නට ඇති කැමැත්ත දන්වා සිටියා.  ඒ වගේම ඔහු තමන් හමුවට කැදවන්නත් නියෝග කලා.

ඔන්න ඉතිං මහ ඇමති යුව රජුට මේ බව දන්වලා හසුනක් යැවුවා.  යුව රජතුමාත් අධිරාජයාගේ අණ පිළිපදිමින්, රාජ්‍ය සංවිධානයත් පාලනයත් උදෙසා සුදුසු විධාන සලස්වා ගමනාරම්භ කලා.

නමුත් තමන්ගේ වැඩිමහල් සහෝදරයා වන අධිරාජයානන් සදහා පඩුරු වශයෙන් ගෙන යන්නට තිබු කිසියම් භාණ්ඩයක් අමතක වෙලා මාලිගයෙහි දමලා තමයි ගමනට පිටත්වෙලා තියෙන්නේ.  මේ බව වටහාගත් යුව රජු සිය ස්මෘති ප්‍රඥාවට නිගා කරගනිමින් හුදකලාවම මාලිගාවට ගියා.

පෑල දොරින් හොර රහසේම මාලිගාවට පිවිසි යුව රජු තමන්ගේ සිරියහන් ගැබට ගිය ගමන්ම දුටුවේ ඉතාමත් දුෂ්ට කෝපය හා ක්‍රෝධය මතුවන අන්දමේ දර්ශනයක්.  තමන්ගේ දේවියගේ සිරියහනේ තවත් කෙනෙකු සිටින ආකාරයයි.  ඔහු රජ වාසල අරක්කැමියායි.  රජතුමා මොහොතක් ගල් ගැසී බලා සිටියා.  මුළුතැන්ගෙයි දුර්වර්ණ වෙලා ඉන්න අරක්කැමියා දෙසත් තමන්ගේ ආදරණිය දේවිය දෙසත් රජු වරින් වර වියරුවෙන් මෙන් බැලුවා.  තම අසිපතින් දෙදෙනාම කපා දමා කිසිවෙකුටත් නොදන්වා මහ රෑම ගොස් තම කණ්ඩායමට එකතු වුනා. 

මුළු මහත් ස්ත්‍රී සංහතිය කෙරෙහිම ලොකු වෛරයක් බැදගත් රජු බලවත් චිත්ත සංතාපයෙන් යුතුව මුළු රැයම නිදිවර්ජිතව ගත කොට පසුදින උදෑසන තම කණ්ඩායමත් එක්ක ගමනාරම්භ කලා.  අනුක්‍රමයෙන් ගම් නියම් ගම් පසුකොට ඔවුන් අධිරාජයාගේ වාසල කරා ලගා වුනා.

අතිමහත් ප්‍රීතියෙන් යුතුව සතුටු කදුළු වගුරුවමින් සිය සොයුරා පිළිගත් ශාරියර් මහ රජ යුව රජතුමාගේ පහසුව තකා නවාතැන් සලසමින් රාජාංගනය සමීපයෙහි මහා මන්දිරයක් ඔහුගේ වාසයට පවරා දුන්නා.  නමුත් ස්ත්‍රියක් තම ස්වාමියාට දැක්විය යුතු ස්වාමි භක්තියට ආගන්තුක වෙමින් දීන පුද්ගලයෙකු හා නොහොබිනා කමක යෙදුන නිසා ඇගේ අවසානය පිළිබද පුවත ගැන වරින් වර මෙනෙහි කල යුව රජු තුල පහළ වුනේ බලවත් චිත්ත පීඩාවක්.  ඔහු තුල පැවති මානසික වේදනාව අනුක්‍රමයෙන් කායික පීඩාවක් දක්වා වර්ධනය වුනා.පුරුෂ ධෛර්යයෙන් හා පුරුෂ වීර්යයෙන් පිරිහී ගියා.  සිය සොයුරු අධිරාජයා තමන්ගේ රාජකීය වෛද්‍යවරයන් ලවා කරවන ලද විධිමත් ප්‍රතිකාර වලින් අනුමාත්‍රයක් හෝ යහපතක් වුනේ නැහැ. 

තත්වය මේ විධියට තියෙද්දී එක් දිනෙක ශාරියර් මහාධිරාජයා දඩ කෙළි සදහා සහපිරිවරින් වනගත පෙදෙසක් බලා නික්ම ගියා.  පුරුදු විදියට වරින් වර අවදි වෙමින් සුසුම් හෙළමින් මුළු කාන්තා සංහතියටම ශාප කරමින් එදින රාත්‍රිය ගත කරන ෂාසාමන් සාමාන්ත රජු අලුයම උඩුමහල් තලයේ පසෙකින් ඇති කවුළුවකින් රාජාංගනය දෙස බැලුවා.  එහිදී ඔහුට දකින්නට ලැබුනේ අපුර්ව දෙයක්.  සමන් පුෂ්ප සුගන්ධයෙන් මිශ්‍ර වූ සුළග සමගින් ගලා බසින සදරැස් පිඩක් මෙන් පවිත්‍ර කාන්තාවක් පරිවාර කන්‍යාවන් කීප දෙදෙකු සමගින් ලැසි ගමනින් එක්තරා රහස් දොරටුවකින් රාජාංගනයට පිවිසෙනවා ඔහුට දකින්නට ලැබුනා.  සිත කළඹන අන්දමේ රූ සපුවකින් හෙබි මේ මහේශාක්‍ය කාන්තාව දෙස තවත් වරක් හොදින් බැලූ විට ඔහුට පෙනී ගියේ ඇය වෙනත් කෙනෙකු නොව තම සොහොයුරු අධිරාජයාගේ අග මෙහෙසිය බවයි.  මේ වගේ කාන්තාවක් තම අග මෙහෙසිය කරගත් මගේ සහෝදරයා නම් බොහොම පින්වන්තයි.  මෙසේ සිතමින් තම දෙනෙත් වටපිටාව නරඹන්නට විය. 

ඒ වෙලාවේ ඔහුට පෙනී ගියේ තවත් අපූරු දර්ශනයකි.  මෙහෙසිය සමග පැමිණි පිරිවර උතුරු සළු ඉවත් කලහ.  එවිට ඔහුට පෙනී ගියේ පැමිණි පිරිසෙන් දහදෙනෙකු ගැහැණුන් වන අතර අනෙක් දහදෙනා පිරිමින් වන බවයි.  මේ පිරිමින් දසදෙනා හැඩි දැඩි සුදු වහලුන් විය.  එක් එක් පිරිමියා එක් කාන්තාව බැගින් අත් අල්ලාගෙල රුක් ගොමු අතරින් නික්ම යන ආකාරය විශ්මිත දෑසින් රජ බලා සිටියේය.  නමුත් අගමෙහෙසිය තවමත් තනිවම සිටියාය.  “අහෝ මාගේ ස්වාමි වූ සයීඩ් ....යයි මෙහෙසියගේ මුවින් හඩක් නිකුත් විය.  “ඒ මොන යකාද? රජු සිතුවේය.  ඒත් එක්කම විරූපී වී ගිය ශරීරයක් හා විශාල උදරයක් ඇති මිනිසෙක් බිමට පැන්නේය.  ඉන්පසු මහත්වූ ගෞරවයකින් යුතුව රාජ දේවිය, කරා එළඹුනේය.  ඇයව වැළද ගත්තේය.  වැළද ගෙන ඇයත් සමග ගස් අතුරින් නොපෙනී ගියේය. 

“අහෝ සර්ව බලධාරී දෙවියනි.....යනුවෙන් පැවසූ රජු  “අනාචාරයේ හැසිරුනු මගේ දේවිය නිසා මා බොහෝ සෙයින් වේදනාවටත් කෝපයටත් පත් වුනා.  නමුත් බලන කොට එය එසේ නොවිය යුත්තක්.  මම සම්පූර්ණ රජෙකු නොවෙයි.  ප්‍රාදේශීය පාලකයෙකු පමණයි.  නමුත් කුල ධර්ම කෙළෙසමින් පතිවෘතාය බිද දැමූ මේ වනචර කාන්තාවගේ සැමියා දේශ දේශාන්තරයෙහි සිය අණ පතුරුවන ප්‍රතාපවත් මහාධිරාජයෙක්.  මේ වගේ පුද්ගලයෙකු පවා කිලිටු සහගත වංචාකාර බිරිදකට රැවටී සිටිද්දී මට වුන විපත එතරම් ගනන් ගත යුත්තක් නොවේ.  එබැවින් මේ ආකාරයෙන් දුක්වීම කිසිසේත්ම වැඩකට ඇති දෙයක් නොවෙයි.  රජු සිතීය. 

විපතට පත් වෙලා ඉන්න තමන්ගේ සොයුරා දැක එයින් ලැබුන ආදර්ශයෙන් දුක නැති කරගත් ෂා සාමන් රජතුමාට ප්‍රකෘති සුවය ලැබුනා.  නැතිවෙලා තිබුන පුරුෂ බලය නැවතත් ලබා කායික හා මානමික ශක්තියෙන් යළිත් යුක්තවූ ඔහුව තමන්ගේ සොයුරු අධිරාජයා විසින් කැදවනු ලැබුවා.

“මගේ දයාබර සහෝදරය, සමර්කණ්ඩයේ අධි නායකයා‍ණෙනි, දැන් තොප දේවාශීර්වාදය ලැබ යළිත් ප්‍රකෘති තත්වයට පැමිණ ඇත.  එය අපගේ සතුටට කරුණකි.  නමුත් මේ ලෙස හදිසියේම සුවය ලැබීමට හේතුවූ කරුණු කවරේද යනු අප වෙත කියනු මැනවි .....යනුවෙන් ඇවිලිටි කලා.  

කොතරම් වසන් කරන්නට හැදුවත් එයින් පලක් නොවූ තැන මහරජුගේ අවසරය ඇතිව කතාව ඇරඹු ප්‍රාදේශීය රජු “රජ මහ වාසලෙහි අග මෙහෙසිය කළ මහා පාපය පිළිබද පුවත පිළිවෙලින් විස්තර කලා.  “මෙබදු තත්වයකට ඔබත් පැමිණ සිටින වග දැකීමෙන් මගේ සිතේ දුක තුනී වී ගියා.  කුමරා කියා සිටියා.

කතා පුවත ඇසූ මහරජු විස්සෝපයට පත් වුනා. ගත වෙව්ලා ගියා.  දිව වියැලී ගියා.  අකුණක් වැදුනු කලෙක මෙන් අසුනෙන් ඉවතට පැන්නා.  “අහෝ!!!! මාගේ සහෝදරය දැන් අපි කුමක් කරමුද?

කෙසේ වුවත් මේ කාරණය රජු සියැසින්ම දැක බලාගත යුතු යැයි ෂාසාමන් රජුගේ යෝජනාව වුනා.  ඒ නිසා මහා දඩ කෙළියක් සංවිධානය කලා.  මහ රජු හා යුව රජු යන දෙදෙනාම පිරිවර සහිතව නුවරින් පිටත ලැගුම් ගෙන පිරිවර රහිතව රහසේම යළිත් මාලිගාවට ආවා. 

කලින් දෙකණින් අසා මනසේ තැන්පත් කර ගත් මේ විපත එපරිද්දෙන්ම සිය දෙනෙතින් බලාගත් මහරජතුමා කොපයෙන් යුතුව, දුෂ්ට ලෝකයෙන් වෙන්වෙලා හුදකලාව ජීවත් වීමෙන් ගැහැණියගේ මායමින් මිදී සිටිය හැකියැයි තීරණය කොට ගත්තා.  ඔවුන් දෙදෙනා මෙසේ කතිකා කොට වෙස් වලාගෙන රජ සැපත අත්හැර දමා මාළිගාවෙන් පිටවුනා.

දින ගණනාවක ගමනින් පසුව මහ මුහුද අසබඩට පැමිනි මොවුන් දෙදෙනා ගණසා මඩුලු ඇති එක් මහ ගසක් මුල ගිමන් හරින්නට පටන් ගත්තා.  සුළු වෙලාවක් ගතවුනා විතරයි මේඝ ඝර්ජනාවක් බදු හඩක් ඇසුණා.  නිමේෂයකින් මහ සයුර දෙස බැලූ ඔවුන්ට පෙනී ගියේ මුහුදු දිය දෙබෑ වෙන බවකුයි.  ඒ එක්කම කාලවර්ණ යෝධ කුළුණක් දියෙන් මතු වුනා.  සුළු වේලාවකින් මේ මහා කුළුණ තමන් දෙසට ගමන් ගත් බව පෙනුනා.  මනාව වැඩුනු කාල වෘක්ෂයක් මෙන් මහත්වූ සිරුරකින් යුතු බිහිසුණු රකුසා ගොඩබිම රජ කුමරුවන් සිටි දෙසට මුහුණ ලා ගමන් කරන බැව් පෙනුනා. 

බියට පත් රජකුමරුවන් දෙදෙනා ඉක්මනින්ම ගහ උඩට නැග ගත්තා.  රකුසාද රුක යටට අවුත් තම අත තිබුණ දැවැන්ත පෙට්ටිය බිම තබා ළගම හිද ගත්තේය.  පෙට්ටිය විවෘත කොට කරඩුවක් එළියට ගත්තේය.  යකඩ  යතුරු හතක් යොදා කරඩුව විවෘත කලේය.  පුදුමයෙනුත් පුදුමයකි!!!!දෙවගනක් බදු රුසිරින් යුතු වරගනක් එයින් මෑත් වූවාය.

බොහෝ සෙයින් ලස්සන වූ මේ කාන්තාවගේ නොකැලැල් දේහය දෙස බොහෝම ගිජු බැල්මක් හෙලූ රකුසා “කුමරියනි!! ස්වල්ප වේලාවක් සයනය කරනු කැමැත්තෙමි.  එබැවින් මෙහි ඉද ගනු මැනවි.  කීය.  කුමරිය හිදගත් පසු ඇගේ ඇකයෙහි හිස තැබූ රකුසා සුළු වේලාවකින්ම නින්දට වැටුනේය.

රකුසා නිදාගත් පසු අවට සිසාරා අහස දෙස බැලූ කුමරිය ගස උඩ සිටි කුමරුවන් දෙපල දුටුවා.  සෙමෙන් රකුසාගේ හිස තමන්ගේ උකුලෙන් මෑත්කොට නැගී සිට, කුමරුවන් දෙදෙනාට ගසින් බසින ලෙස සංඥා කලා.  රජුන් වුවත් ඔවුන් සිටියේ බොහෝම බයෙනුයි.  රුක් කද තදින් අල්ලාගෙන සිටි මේ සොයුරන් දෙදෙනා වෙව්ලන්නට වුනා.  කොයිතරම් ආයාචනා කලත් මේ දෙපළ ගසින් බසින බවක් පෙනෙන්නට නොතිබූ නිසා කුමරිය අවසාන වශයෙන් නියෝග කලා ගසින් බිමට බසින ලෙස.  එය බිහිසුනු තර්ජනයක් බදුයි.  ගසින් බසින්නේ නැතිවුනොත් රකුසා අවදි කරවන බව පැවසුවා.  ඉතින් මේ කුමාරවරු දෙපල බිමට බැස්සා.  

“අහෝ කුමරුවනි, මේ පෙනෙන රකුසා මෝහයෙන් මුලාවෙලා , රාගයෙන් අන්ධ වෙලා සිටින්නෙක්.  ඒවගේම බොහෝම රෞද්‍ර අයෙක්.  මොහු මා කරඩුවක දමා මුහුද පතුලේ සගවාගෙන සිටිනවා.  නමුත් අසනු මැනවි!!!!මෙතෙක් භද්‍ර යෞවන වියේ පසුවන පුරුෂයන් පන්සිය හැත්තෑ දෙනෙක් ඇසුරු කලෙමි.  මේ ගැනත් අසනු මැනවි.  යම් ස්ත්‍රියකගේ සිතේ අභිප්‍රායක් වේද ඇය ඒකාන්තයෙන්ම එය ඉෂ්ට කරගන්නීය.  එය නැවැත්වීමට සමත් දෙවි කෙනෙක් හෝ මනුෂ්‍යෙයකු මිහිපිට නැත්තේය.

පසුව ඇය ඇසුරු කරන ලද පුරුෂයන් විසින් තෑගි කරනු ලැබූ මුදු සමූහය පෙන්වූ ඇය සිහිවටන වශයෙන් මේ කුමාරවරුන් දෙදෙනාගේ මුදු දෙකද ඉල්ලා සිටියාය.  කුමරුවෝ දෙදෙන තම මුදු දෙක තෑගි කොට නැවතත් ගස උඩට නැග ගත්හ.  රකුසා අවදි වූ පසු කුමරිය කරඩුව තුළට ඇතුළු වූවාය.  කරඩුව වසා යතුරු දැමූ රකුසා එය පෙට්ටිය තුල දමාඔසවාගෙන මහ මුහුද කරා යලිත් ගියේය.

පති භක්තිය හා පතිවෘත්තාව ඇති එකම ස්ත්‍රියක් හෝ වාසය කරන්නේ නැත.  රකුස් කරදරයෙන් පසු අවබෝධ කරගත් මේ කුමාරවරු දෙදෙනා  තමන් දෙදෙනාටත් වඩා මෝහයෙන් මුලාවෙලා ඉන්න රකුසා ගැන සිතා තමන්ගේ දුක තුනී කරගත්තා.  ඉන් අනතුරුව මේ යන ගමනෙන් තේරුමක් නැති බව අවබෝධ කරගත් කුමාරවරු දෙදෙනා යළිත් මාලිගාව බලා පිටත් වුනා.

අනතුරුව යළිත් සිහසුනට පැමිණි මහරජ ප්‍රථමයෙන්ම කලේ තමන්ගේ මෙහෙසියගේ හිස ගසා දැමීමයි.  දෙවනුව දුරාචාරයට අනුබල දුන් වහලුන් හා වහලියන්ගේ හිස ගසා දැම්මා.  එතැන් පටන් කිසිදු කාන්තාවක කෙරෙහි විශ්වාසය නොතැබූ මහරජු අමුතුම මාදිලියක බිහිසුනු ආවාහයක් කරගත්තා.  එනම් නව යොවුන් යුවතියක සරණපාවා ගන්නා අධිශ්වර තෙමේ පසුදින ඇගේ හිස දං ගෙඩියට කැප කිරීමයි.  දින පතාම මෙබදු ක්‍රියා කලාපයක් පවතිද්දී තුන් අවුරුද්දක් ගෙවී ගියා.  රටේ විසූ විවාහයට සුදුසු යොවුන් වියේ වෙසෙන තරුණියන් කෙමෙන් අතුරුදන් වන්නට පටන් ගත්තා.  මරණයෙන් කෙළවර වන එක් දිනක කම් සැපත ගැන අසා තැතිගත් කන්‍යාවෝ රාජධානිය හැරදමා පලා යන්නට පටන් ගත්තා.  ඉතිරිවුනේ මහ ඇමතියාගේ දියණියන් දෙදෙනා පමණයි.  රජුගේ අණ පිළිපැද තම නිවසට අවුත් දූවරුන් අමතා සිදුවන්නට යන විපත ගැන ඔවුන් දෙදෙනාම දැනුවත් කලා. 

ඇමතියාගේ වැඩිමහල් දියණිය වන පාරසාද් චිත්තාකර්ෂණීය මනබදින සුළු රූ සපුවකින් හෙබි තරුණියක්.  ඒ වගේම ඇය භාෂා ගණනාවක් හා විෂය කරුණු සම්බන්ධයෙන්ද පුළුල් අවබෝධයක් ඇත්තියක්.  වාද විවාද තර්ක ආදියෙහි චතුරයි.  කතාන්තර කීමෙහි මනා දක්ෂතාවයක් ඇයට තිබුනා. 

“අහෝ පියාණෙනි, මේ මෝඩ රජු වෙත මා විවාහ කර දුන මැනවි.  හැකි වුවහොත් ඔහුගේ මේ ක්‍රියාකලාපයන් ගෙන් ඔහුව මුදවාගමි.  එමෙන්ම එය ඉටුකිරීමට නොහැකි වුවහොත් අරාබි දේශයේ අංහිංසක කුල කාන්තාවන් වෙනුවෙන් මම මගේ ජීවිතය  පූජා කරමි!!!!!

කලින් මහරජු වෙත ගොස් තම වැඩිමහල් දියණිය රැගෙන එන බැව් පැවසූ මහ ඇමති පසුව ඇය කැදවාගෙන ගොස් රජුට භාර කලේය.

මැදියම් රැයේදී අලුත් මෙහෙසියගේ දෑසින් කදුළු වැගිරෙන බවක් රජු හට දැකගන්නට ලැබුනි.  එයට හේතුව විමසු විට ඇය කීමේ සොහොයුරිය වන දුන්යාසාද් සිහිවී තමා හැඩු බවයි.  මරණයට පෙර ඇගෙන් සමුගෙන ආ යුතු බවයි.  රජ අණ පරිදි එවේලෙහිම දුන්යාසාද් රජු වාසල යහන් ගැබට ගෙන්වන ලද්දීය.

අලුයම් කාලයේදී සිය දෙටු සොහොයුරිය දෙනු ලබන ඉගියක් අනුව යමින් දුන්යාසාද් “අහෝ!!!!ෂාරසාද් තොප දන්නා මා හැගි කාන්තාරයක් කිව මැනවි... කීවාය.  රජුගේ අවසරය ඉල්ලා සිටි ෂාරාසාද්ට එය ලැබිණ.  ඇය වෙළෙන්දා හා රකුසාගේ කතාව කියා නිම කරන විට දිනකර තෙමේ දසත ඒකාලෝක කරමින් උදාවිය.  තවත් කතාවක් පසුදින  ඇසීම  රජුගේ අභිමතය වූ බැවින් ඇය එදිනට ජීවිත දානය ලැබුනි.  මේ ආකාරයෙන් එක්දහස් එක් රැයක්ම කතාන්තර කියා අවසන් වන විට ඇය තිදරු මවක්ව සිටියාය.  තමන්ගේ දරුවන් තිදෙනා තමා හමුවට ගෙන්වාගත් ඇය ඔවුන් රජු ඉදිරියේ තබා “අහෝ රජතුමනි!!!  මේ ඔබ වහන්සේගේ දරුවන්ය.  ඔවුන් සිප සනසාලනු මැනවි!!! යනුවෙන් කීවාය.  ඔවුන් ගේ ජීවිත අනාථ වන්නට ඉඩ නොතබා ඔවුන් වෙනුවෙන් මට ජීවිත දානය දුන මැනවි.  යනුවෙන් පැවසුවාය.  පති භක්තිය ඇති හොද කාන්තාවක් ලැබුණ බැව් තේරුම් ගත් රජතුමා ඇයට එම වරය දී මහත් උත්සවශ්‍රීෙයන් කුල සිරිත් පරිදි ඇය විවාහ කරගත්තේය.  
 
ඒ එක්කම සිය සොයුරාගේ කැමැත්ත ඇතිව තම දේවියගේ නැගණිය ඔහුට විවාහ කර දුන්නේය. 

ඉහත ආකාරයෙන් එක්දහස් එක් රැයක් තිස්සේ ෂාර්සාද්ගේ මුවින් ගිලිහිණැයි කියන මේ කතාන්තර සමූහය වෙනත් රටවලත් පැතිර ගියාය.  අත්භූත ලෝකයටත්, මායා ලෝකයටත්, පාඨකයා රැගෙන යන අරාබි නිසොල්ලාසය පාටකයාගේ සිත දුකින් ඇලලී යන අවස්ථාවකට යොමු කරන්නේය.  ඒත් එක්කම ඉතාමත් තියුණු ලෙස උපහාස රසයෙන්ද ඔහුව කුල්මත් කරන්නේය.  කවර ආකාර ජාතියකට හෝ ආගමකට වුවත් එය කියවා හොද හැටි රසය විදීමට හැකිවී ඇත.  “අලිබබා සහ හොරු හතලිහ, ඇලඩින්ගේ පුදුම පහන, සින්බෑඩ් නැවියා වගේ කුඩා දරුවන් කැමති කතාන්තර පමණක් නොව බුද්ධිමතුන්ගේ කැමැත්ත ඇතිවන ආකාරයේ කතාත් මේ අරාබි නිසොල්ලාසයේ ඇතුලත්ව ඇත.  උපහාස රසයෙන් පිරි ඇතැම් කතා නූතන සාහිත්‍යෙය් කොයි ආකාර කෘතියක් සමග වුවත් තරග කිරීමට තරම් දක්ෂතාවකින් නිර්මාණය වී ඇත. 

මහා කාන්තාරයක පටන් විශාල නගරය දක්වා වාසය කරන අරාබි ජාතිකයෝ කාලය පිලිබද රස රත්නාකරයෙන් උපුටා ගත් රස කතාවන්ගෙන් පිරුනු “එක්දහස් එක් රැය ඇසීමට කවදත් ප්‍රිය කරති.

පර්සියානු, හෙබ්‍රෙව්, ඉන්දියානු, මිසර වගේ නානා විධ රටවල කලින් කල එකතු වූ කතා ඇති අරාබි නිසොල්ලාසය ඇතැම් විට ආසියාකරයේ වෙසෙන ජාතීන් හැම දෙනෙකුම නියෝජනය වන ආකාරයෙන් මහා මණ්ඩලයක ස්වභාවයක් ගැනීම පුදුමයට කරුණක් නොවේ.  මෙහි එන මුලින් දැක්වූ කුමාරවරුන්ගේ කතාව පවා පර්සියාව ඔස්සේ අරාබියට සංක්‍රමණය වූ ඉන්දීය කතාවක් ලෙසත් කියනු ලබනවා.  අතුරු කතාවල එන මුල් කතා කිහිපය පැරණි යුගයට අයත් ඒවා බවත් පසුව එන කතා කලින් කල එකතු කරන ලද බවත් සැලකේ.  නව වන ශතවර්ෂය වන විට එය සෑහෙන පමණ විශාල පොතක් බවට පත්ව ඇත.  මිසර දේශයේ මේ පොත දොලොස් වන ශතවර්ෂයේදී ප්‍රකටව තිබුන බැව් සදහන් වේ.  12 වන හා 15 වන ශතවර්ෂ අතර කාලයේදී මිසරයේදී සංවර්ධනයට පත් එය දැන් පවතින ආකාරයට කිට්ටු තත්වයකට පත් වූ බව සිතිය හැක.

ඒ තරම් උසස් සමාජ තත්වයක් නැති මධ්‍යම පන්තියේත පහල පන්තියේත් ජනතාවට රස විදින්නට පුළුවන් ආකාරයෙන් සකස් වී ඇති මෙම පොත විද්වද් විචාරකවන් හට නොව සාමාන්‍ය ජනතාවට සුදුසු වන අන්දමේ ප්‍රෙම කතා, වීර කතා, සුරංගනා කතා වලින් පිරිපුන්ය.  සැප සම්පත් නොමැතිව දූගි දුප්පත් දිවි පෙවෙතක් ගෙවන ජනතාව විසින් මවා ගන්නා මනංකල්පිත ලෝකයකට ඔවුන් ගෙන ගොස් තප්පරයෙන් තප්පරය එයින් වින්දනයක් ලබා දීමට මේ කෘතිය සම්පූර්ණයෙන්ම සමත්වී ඇති නිසා එය පොදු ජනතාව අතින් කෙසේවත් උදුරාගත හැක්කක් නොවේ.