Wednesday, August 24, 2011

කිරි අම්මාවරුන්ගේ දානය










 







ජාතියක ජීවය රදාපවතින්නේ මවක් නිසාය.  රටක් ජාතියක් පවතින්නේ මවක් නිසාමය. එබැවින් ලොව පූජා වස්තු අතරින් උදාර මාතෘත්වයට හිමිවන්නේ මුල් තැනයි. විශ්වයේ ආරම්භයත් සමගින් කාලයෙන් කාලයට එක ලෙස වැදුම් පිදුම් ලැබූ මාතෘත්වය ලොව පවතින උත්තරීතර තත්වයකි.  ඒ නිසා මාතෘත්වය පූජනීය කොට සලකමු.  ඒ උදාර මාතෘත්වය වෙනුවෙන් කැපවූ කටයුතු අතරින් මුල් තැනක් ගන්නා කිරි අම්මා වරුන්ගේ දානය අපේ සංස්කෘතියේ කැපී පෙනෙන ලක්ෂනයක් ලෙස සැලකිය හැකිය.  එය අත්‍යාවශ්‍යම කාර්යයක් සේද සලකනු ලැබේ.  පත්තිනි මෑනියන් වෙනුවෙන් කෙරෙන භාරයක් ලෙසින් බිහිවූ කිරි අම්මා වරුන්ගේ දානය මහගු ගුණ දෙන ශාන්ති කර්මයක් ලෙස අදටත් පිළිගනු ලැබේ.


සංස්කෘතීන් දෙකක සංකලනයක් ලෙසින් සැලකිය හැකි කිරි අම්මාවරුන්ගෙ දානය බෞද්ධ සංස්කෘතියේ ලක්ෂණයක් ලෙස පිළිගැනීමට නොහැක්කේ එය දෙවියන් හා බැදුනු කටයත්තක් නිසාය. හින්දු පුරා වෘත්ත හා බැදුනු පත්තිනි මාතාවන් උදෙසා කෙරෙන ආගමික කටයුත්තක් වුවද අද එය සිං‘හල බෞද්ධයින් අතර ජනප්‍රිය චාරිත්‍රයක් ලෙස බෞද්ධ මුහුණුවරකින් ද පෝෂණය වී ඇත.  හින්දු ආගමට නෑකම් කියන කිරි අම්මා දානය කෙසේ සිංහල සංස්කෘතියට එක්වූයේදැයි කීමට නොහැක.  හින්දු ආගමික බලපෑම් ලංකාවට ආ දා සිට රජවරුනගේ සහායෙන් මේ කටයුතු සිදුවන්නට ඇතැයි සිතිය හැක.  නගරයට වඩා ගම්බද ප්‍රදේශයන්හි ඉතාමත් සුලබ ලෙස දැකිය හැකි කිරි අම්මාවරුන්ගේ දානය ඉතාමත් භක්තියෙන් යුතුය ඉටුකරනු ලබන කාර්යයකි.  මේ කාර්යයේදී වඩාත් උනන්දු වන්නේ ගම්බද කාන්තාවන්ය.  දාර්ශනික වටිනාකම කෙසේ වෙතත් චේතනාවත් ඉන් වන මෙහෙයත් ගැන සිතා සිංහල කාන්තාවන් මේ දානමය කාර්යය ගැන බෙහෙවින් උනන්දු වන බව පෙනේ.  


විශ්මය ජනක ලෙස නමුත් රසවත් පුරාවෘත සමගින් අප අතරට ආ පත්තිනි මෑනියෝ කාන්තාවන්ගේ ඉමහත් ගෞරවාදරයට භක්තියට ලක්වූ දේවතාවියකි.  ඈ වෙනුවෙන් වූ බාර ඔප්පු කිරීම සදහා සිදුවන කිරිඅම්මා වරුන්ගේ දානය බරකින් නිදහස් වීමට කරනු ලබන්නකි.  යම් යම් ලෙඩ රෝග හා වෙනත් ආපදාවන් ඇතිවන්නේ දෙවියන් කෝප වීම නිසා බව අදත් අප අතර පවතින මතයකි.  සත්‍යතාවය කෙසේ වෙතත් එවන් ලෙඩ රෝග වලින් මිදීමට නම් දෙවියන් උදෙසා භාර හාර කල යුතු බව පිළිගැනීමයි. කිරි අම්මාවරුන්ගේ දානයද එබදු විශ්වාස පදනම් කරගෙන සිදුකරනු ලබන්නකි.  


අම්මාවරුන්ගේ ලෙඩ ලෙස සැලකෙන රෝග රැසක් ඇතැයි සලකන ගැමියන් ඒවායෙහි ඇති භයානක කම ගැන සිතා බේත් කිරීමට පෙර බාර හාර වීමෙන් හිත හදා ගනිති.  එවන් විටෙක පත්තිනි මෑනියන් උදෙසා භාරයක් වීම අදටත් අපේ ගැමියන් අතර තිබෙන සිරිතකි.  සරම්ප, කම්මුල්ගාය වැනි රෝග මේ අතුරින් මුල් තැනක් ගනී.  මෙවැනි රෝගයක් තමන්ගේ ගෙදර කිසිවෙකුට වැළදුනු විට ගම්බද ගෘහ මූලික කාන්තාව කරන්නේ පත්තිනි මෑනියන් උදෙසා කිරි අම්මාවරුනගේ දානයක් දෙන ලෙසට බාර වීමයි.  එපමණක් නොව තද උණක් වැළදුනු විට පවා ගම්බද අම්මලා මෙම දානය දීමට සූදානම් කරති. 


මෙවන් විටෙක වනිතාවක් කිරි අම්මාවරුන්ගේ දානයක් දීම සදහා ක්‍රම දෙකක් අනුගමනය කරති.  දෙහි යුෂ වලින් පිරිසිදු කරනු ලබන කාසිය පිරිසිදු රෙදි කැබැල්ලකින් ගැට ගසා පඩුරක් සකස් කොට  එය දෙවියන් වෙනුවෙන් ගැට ගසයි. එසේත් නැත්නම් ගස් අතු බැදීමක් කරනු ලබයි.  පත්තිනි මෑනියන් වෙනුවෙන් පොල්, කෙසෙල්, වැනි පලදායි ගසක් වෙන් කොට ඇප තබයි.  එම ගස අනෙක් ගස්වලින් වෙන් කොට දැන ගැනීම සදහා ගොප් කොළ කීපයකින් එය සරසනු ලබයි.  එම ගස් කද වඩා ගොප් කොළයක් ඔතා එහි එක් ගොක් කොළයක් එල්ලයි.  ගස මුල පිරිසිදු කොට සුවදදුම් අල්ලා පත්තිනි දෙවියන් සිහිකර පින්දී ඒ  බලයෙන් රෝගය සුවවේවායි ප්‍රාර්ථනා කරයි.  බාරය ඔප්පු කිරීමට ගතවන කාලය බාරය ඔප්පු කිරීම් වස් පිරි නැමෙන දානයට කැදවන අම්මාවරුන්ගේ ගණන පිරිනැමිමට බලාපොරොත්තු වන පූජා ද්‍රව්‍ය ගැන මෙනෙහි කෙරේ.   බාරය ඔප්පු කිරීමේදි ඒ ආකාරයෙන්ම ඔප්පු කිරීමට කාන්තාවන් උනන්දු වෙයි.


අසනීප දුක් කරදර නිමවූ මොහොතේ සිටම බාරය ඔප්පු කිරීමට සූදානම් වන වනිතාව ඒ සදහා අවශ්‍ය ද්‍රව්‍ය එක් රැස්  කරන්නේ මහත් බලාපොරොත්තුවකිනි.  කවර හෝ කරදරයක් වූ මොහොතක ඇය සිතන්නේ එවැනිදේ වන්නේ බාරය ඔප්පු කිරීමට නොහැකි වූ නිසා බවයි.  එනිසා හැකි ඉක්මනින් බාරය ඔප්පු කිරීමට කටයුතු සලසයි.  සියලුම අවශ්‍ය දේ සපුරාලීමෙන් පසු ඈ බලාපොරොත්තු වන්නේ මව්වරුන්ට ඇරයුම් කිරීමයි.


දානය පිරිනැමීමට බලාපොරොත්තු වන දිනට පෙර දින හෝ ඊටත් කලින් දින උදාර මව් ගුණයෙන් පිරි මව්වරුන් සොයා බුලත් හුරුල්ලක් රැගෙන නිවසින් පිටත් වෙයි.බුලත් හුරුල්ල පිරිනමා ඇරයුම් කරනු ලබන මව්වරුන් ගැන ගෘහනිය තුල උදාර විශ්වාසයක් ඇති බව පෙනේ.  දූ දරුවන් මුනුබුරු මිනිබිරියන්ගේ ඇසුර ලද ඔවුන් කරා ඇගේ අවධානය යොමු වෙයි.  මව්වරුන් ඇයගේ ඇරයුම් ආදරයෙන් පිලිගන්නේ ඒ තුලින් ලැබෙන උදාර ගුණයන් නිසාය. මෙහිදී විශේෂයෙන් ඇරයුම් ලබන්නේ හත, දාහතර, විසිඑක වැනි හතෙන් බෙදෙන සංඛ්‍යාවකි.  අඩුම සංඛ්‍යාවේ මව්වරුන් සත් දෙනෙකි.  


මෙහිදී නිවස හොදින් පිරිසිදු කර නිවස අවටත් හොදින් පිරිසිදු කරනු ලබයි.  නියමිත දින හිරු උදාවනවිට දානය පිරිනැමෙන නිවස අමුතුම සිරියාවකින් හැඩ වෙයි.  උත්සව මුහුණුවරක් ගන්නා නිවස කරා හිමිදිරි උදෑසන ලගාවන කිරි මව්වරුන් සුදෝ සුදු වතින් සැරසී සිටිති.  කිරිමවුවරුන් තම මුඵ සිරුරම වැසෙන සේ සුදු ඇදුමින් සැරසිය යුතුයි. ඔවුන්ගේ දෙවුර මුඵමනින්ම වැසී තිබිය යුතුය.  කිරි අම්මාරුන් ලෙස දනට වඩින කාන්තාවන් කිසිදු විටක කලින් දින දානය තිබෙන ගෙදර වැඩ වලට උදව් වීමට නොපැමිණෙන්නේය. එය නුසුදුසු කටයුත්තක් සේ සලකති.  එසේම මෙය දෙවියන් උදෙසා කරන කටයුත්තක් බැවින් ඔවුන් ඉතා පිරිසිදු විය යුතුය.  මාස් ශුද්ධිය වැනි අවස්ථාවන් වලදී මේ දානමය කටයුතු වලින් කාන්තාවන් ඉවත් වෙති.  සන්සුන් ගමනින් නිවසට ලගාවන විට ගෙහිමි කාන්තාව මේ අම්මාවරුන්ව පිලිගනු ලබයි.  ගේ ඉදිරිපස තබා ඇති දෙහි ඇඹුල් මිශ්‍ර ජලයෙන් දෙඅත් හා මුවද සෝදා පිරිසිදු කරගත් කිරි වම්වරුන් උදෙසා සියලු කටයුතු සූදානම් කර ඇත‍.  ගෙතුල බිම එළා ඇති පැදුරු මත කිරිමව්වරුන් වාඩි වෙති.  නිවැසි කාන්තාව ඇතුඵ හැමදෙනාම ඉන් අනතුරුව දානය පිරිනැමීමට සැරසෙයි.  නිවසේ කාන්තාව පිරිසිදුව සැකසූ කෙසෙල් කොළ ඒ ඒ කිරිමව්වරුන් ඉදිරියේ තැන්පත් කරන්නේ මහත් බලාපොරොත්තුවකිනි.  අනතුරුව තමාගේ බාරයට අනුව සැකසූ සියලු ආහාර (කිරිබත් 7, හැදි කැවුම්7, කිරියා 7 කෙසෙල් 7, අඹ,තැඹිලි, හකුරු, බුලත්, ඇතුඵව වර්තමානයේදී නම් මුදල්ද තබනු ලබයි.) ඒවාට බෙදයි. මෙහිදී මුල් තැනක් ගන්නේ කිරිබත්ය.  බෙදා අවසන් වූ පසු අම්මාවරුන් ඉදිරියේ ඇති පොල් තෙල් පහන දල්වනු ලබයි. බුදුන් ට අමතරව පත්තිනි මෑනියන්ගෙ රූව ඉදිරියේද පහනක් දල්වනු ලබයි. 


දානය පිළිබදව වැදගත්ම කටයුත්ත වන්නේ මේ මොහොතේය.  කිරි අම්මාවරුන් හැමදෙනාම “නමෝතස්ස භගවතෝ පාඨයෙන් පටන් ගෙන තිසරන සහිත පන්සිල් බුදු ගුණ දහම් ගුණ හා සඝ ගුණ කියා දෙවි දේවතාවන්ට පින්පෙත් දී නිහඩ වෙති.  නමුත් ඇතැම් පෙදෙස්වල පත්තිනි දෙවියන් උදෙසා කවිද ගායනා කරති.  කිරිමව් වරුන් අතරින් නායකත්වය ගෙන කටයුතු කරන අම්මා මොවුන් අතුරින් වැඩිමලාවේ.  ආතුරයා ඇතුඵ හැමදෙනා අමතන ඇය දේශණයක් කරන්නේ බාරවූ කාන්තාවගේ පැතුම් ඉටුවන අන්දමිනි.  මින්මතු ලෙඩදුක් අපල ඇති නොවන බවත්, තෙරුවන් සරණ හා දේව පිහිට නිසා යහපත උදාවන බවත් පවසන ඈ හැම දෙනාටම දිගාසිරි හා නිරෝගී සුවය පතයි.  ඇයගේ දේශනය අවසාන වන්නේ පත්තිනි දේව මාතාවන්ට මේ පින් ලැබේවා.  අදින් බාරය නිදහස් යන වැකිය මුවින් පිට වූ පසුයි.  අනුභවය නිමවී නැගී සිටින කිරි මව්වරු ඉදිරියෙන් දල්වා ඇති පහන ළගට යති. එහි ඇති පොල් තෙල් රැගෙන ආතුරයාගේ හිසෙහි ගල්වන්නේ ආශිර්වාද ප්‍රාර්ථනා කරමිනි.  පත්තු කරන ලද පහන් තිර ගෙන ආතුරයා ඇතුඵ සැමගේ හිස වටා එය හත් වරක් කරකවා කිරි භාජනයක පොගවා නිවා දමති.  මෙහිදී තමන්ගේ හා තම තමන්ගේ හිස්හි තෙල් ගල්වා ගැනීමට සැමදොනාම අමතරක නොකරති.  හැමදෙනාටම ආසිරි පතා නිවසින් පිටවන කිරි මවුන් අත ඔවුන් වෙනුවෙන් වෙන් කෙරුනු ආහාර කොටස් සහිත පාර්සලයකි.  මෙම කෑම සහිත පාර්සලය කිසිදු විටෙක එල්ලා ගෙන යනු ලබන්නේ නැත.  එසේ කිරීම හොද නැති කටයුත්තක් ලෙස ඔවුන් සලකයි. තම දෙඅත්ල මත තබා පපුවට තුරුලු කොට ගෙනය ඔවුන් එය රැගෙන යන්නේ.   තම නිවසේ පැවති කිරිමව්වරැන්ගේ දානයට පැහමිණි මව්වරුන්  සන්සුන් ගමනින් ආපසු යනු බලා සිටින බාරවූ ගෘහනිය ඉමහත් ප්‍රීතියට පත්වෙයි.  මෙලෙසින් පත්තිනි දෙවියන් වෙනුවෙන් වූ බාරයෙන් ඇය නිදහස් වෙයි.  එමෙන්ම කිසිදු විටෙක දනට සහභාගී වූ අම්මාවරුනගේ ගෙවල් වලට නැවත කැම බෙදීමක් කෙරෙන්නේද නැත. එයත් නුසුදුසු කටයුත්තක් සේ සලකති.  


මෙම කිරි මව්වරුන්ගේ දානය පින් කමක් මෙන්ම ඉමහත් භක්තියෙන් කරනු ලබන කටයුත්තකි.  උදාර මාතෘත්වය කෙරේ ඇති භක්තිය මොනවට පිළිබිඹු කරවන්නකි.  මෙම කිරිදානයක් නොදුන් නිවසක් සොයා ගැනීමට නොහැකි තරම්ය.  නමුත් මෙම සිරිත් විරිත් පළාත අනුව සුඵ සුඵ වෙනස්කම් වලට භාජනය වේ. ඇතැම් අයගේ මතය අනුව කිරිමව්වරුන් 7 දෙනෙකුට වඩා එක අවස්ථාවක වාඩි කරවන්නේ නැත.  එසේම එලෙස වාඩිවන කිරිමවුවරු අප අත්තම්මා යනුවෙන් හදුන්වන පරම්පරාවේ අය පමණක් වාඩි කරවන පළාත්ද වෙති. ඇතැම් කොටසක් දෙවර්ගයේම දරුවන් සිටින කාන්තාවන් පමණක් මේ සදහා තෝරා ගනිති. ඇතැම් පෙදෙස් වල කිරි දෙන අම්මාවරුන්ම සොයා යයි.  දරුවන් නොලැබු කාන්තාවන් කිසිසේත්ම කිරි දානයකට වඩම්මවන්නේ නැත.  සැමියා මල කාන්තාවන් නොගන්නා පළාත්ද අප රටේ වෙයි.  සත්‍ය සත්‍යතාවය කෙසේ වෙතත් මෙය ඉමහත් භක්තියෙන් යුතුව කරනු ලබල කාර්යයකි.  ඉතාමත් පිරිසිදුවට පිලිවෙලට ආහාර පිළිවෙල කරනු ලබන අතර අනවශ්‍ය කතාබහෙන් වැලකී සිටීමට හැමදෙනාම ප්‍රවේසම් වෙති.  කොතැන කොයි අන්දමින් සිදු වුවද උත්තරීතර මාතෘත්වය උදෙසා පිදෙන උපහාරයක් ලෙස කිරි අම්මාවරුන්ගේ දානය හැදින්විය හැකිය.





7 comments:

  1. හොද අන්තර්ගතයක්.ඇත්තටම කියනවනම් අද නගරෙ මේව හොදට කෙරෙනව.තව තියෙනව කිරි අප්පලගෙ දානෙ කියල එකක්.ඔය උඩ පිංතූරෙ තියෙන්නෙ කිරි අම්මල වඩින හැටි.සුදු මල් ඉත්තක් අතේ තියන් කවි කිය කිය පේලියට එන හැටි බලන්න ලස්සනයි..කිරි අම්මල ඔක්කොම එකටයි එන්නෙ.තව දානෙ තිබුන ගෙදරින් දවල් 12 වෙන්න කලින් ඒ කැවිලි වර්ග බෙදල ඉවර කරන්න ඕන.
    කිරිය හදන එක තමා නියම වැඩේ.ඕක ලිපක තියල තුන් සූත්‍රයම කිය කිය වටේ යනව.ඊට පස්සෙ තමයි පිරිමි අය හැදි ගාන්න ගන්නෙ. මමත් මාස 3 කට කලින් දුන්න දෙවෙනි සැරේට.හොද ලිපියක්.

    ReplyDelete
  2. ලලිත්...

    ස්තුතියි. ලිපියේ අඩුපාඩු පිරෙව්වට. මටත් සමහර දේ අමතක වෙලා තිබුණේ. ඔයා කියපු මේ කාරණා සියල්ල ඇත්ත.

    ReplyDelete
  3. බ්ලොග් එකේ අලුත් ඇග හොදයි..අකුරු නම් කුඩයි..

    ReplyDelete
  4. http://maathalangesindiya.blogspot.com/
    මේ සින්ඩියටත් යන්න..

    ReplyDelete
  5. ගොඩක් වටින ලිපියක්.
    මම් නම් මේ දේවල් වලින් ගොඩක් දැනගත්තේ අදමයි.
    කියවන්න පමා උනේ විභාගෙට පාඩම් කරන නිසයි.

    ReplyDelete
  6. This comment has been removed by the author.

    ReplyDelete
  7. හරිම වටිනා ලිපියක. අපේ ගෙදර අද කිරි අම්මාවරු දානයක් දුන්නා. හරිම සතුටුයි. පත්තිනි දේවිය ගැන ලොකු භක්තියක් තියෙන්නෙ. ස්තූතියි ලිපියට

    ReplyDelete

කියවලා බලලා හිතට දැනෙන අවංකම දේ මෙතන කුරුටු ගෑවොත් ඒක මට ලොකු ශක්තියක්. ඒ නිසා ඔයාලගේ හැගීම් වචන වලට පෙරලන්න අමතක කරන්න එපා...!!!!!