“දෙයියෝ දීලා දෙයියෝ ගත්තා. දෙයියෝ දීලා දෙයියෝ ගත්තා......
ආන් සුදු කුමියා කෑගහනවා. කුනු දූවිලි තැවරුණ හිසකෙස් බොර බාට ඇස් දෙක, දිගටි රැවුල ඒ මුහුණ මතක් වෙද්දී හිතට දැනෙන්නේ දැඩි බියක්, කිලිටි වෙඵම් පටියකින් පය වෙලාගෙන නොන්ඩි ගගහ අර ඈත එන්නේ සුදුකුමිය නේද? තාමත් සැලී ඇවිත් නෑ නොවැ. දෙයියනේ එදා වගේ අදත් ඈ වෙන අම්බලමක නවතියිද? එහෙම වුනොත් රෑ ජාමෙට මට සුදුකුමියගෙන් බේරුමක් නැති වෙයි.
බඩගින්නෙම නිදාගෙන ඉන්න නේපාල්ගේ මුහුණ දකිද්දී පපු කැනැත්ත දාලා යනවා. දවස ගානේම නගරයේ ඇවිදලා කීයක් හරි හොයාගෙන මමත් නේපාලුත් රෑ ගත කරන්න එන්නේ මේ අම්බලමට. මම වගේම අනාථ වෙච්ච හත් අට දෙනෙක් මෙතැනට එනවා. එක්කෙනෙක් තමයි සැලී. ඈ නම් සුදුකුමියගේ පස්සෙන්මයි. හරියට කරත්තෙට ඇදිච්ච රෝදෙ වගේ. ඒත් දෙයියනේ හිගන්නියක් උනත් ලේ ඇට මස් වලින් හැදිච්ච ගැහැණියක් නොවෙයිද ඈ. ඒත් මම????? ජීවිතේ එපා වෙච්ච ගැහැණියක් මං............ජීවිතේ ගැන කිසිම ආසාවක් බලාපොරොත්තුවක් මට නැහැ. තමාගෙම හොටින් අත්තටු සිදගත් කිරිල්ලියක් ගානයි මං. නේපාල් හින්ද නොවෙයිනම් මෙලහකට මමත් පස් යට.
සුදුකුමියත් හතර පස් දෙදෙකුත් මුල්ලකට එකතු වෙලා සල්ලි ගණිනවා. මෙතැන ඉන්න කවුරුත් බොරුවෙන් චාටුවෙන් මිනිසුන්ව මුලා කරල සල්ලි හොයන අය. සුදු කුමියට පිස්සු හැදෙන්නේ නගරෙට ගියාම විතරයි. නේපාල්ගෙ මුහුණ දකිද්දී මට කවුරුත් අනුකම්පා කරනවා. ගිය සුමානේ සුදු නෝනා කෙනෙක් සල්ලි කොළයක්ම දුන්නේ ඒ හින්දා වෙන්න ඇති. හරිම පිං වන්ත නෝනා. ඒත් ඒ මුදල චපාති කන්නම වියදම් වෙලා ගියා.
මෙහෙම මුල්ලක වකුටු වෙලා ඉන්න කොට බොසාන් වීදිය හොදාකාර පේනවා. අහස දිහෑ බැලුවත් මහ පාඵගතියයි. හතර වටේම කලු කරලා. උඩට නැගුනු රාජාලි පැටව් ගුවනේ ඔහේ පාවෙනවා. ශීත සෘතුව පහුවෙලත් තාම වැඩි දොහක් නැහැ. හුළගත් සමග එක පාරටම දූවිලි උඩ ගහන්න පටන් ගත්තේ දූවිලි කුණාටුවක් එන්න හින්දා. මෙහෙම වෙලාවට මුඵ නගරයම දූවිලි වලින් වැහිලා යනවා. රට ඉදි ගහට වහපූ නීලකොබෙයියා දෙපැත්තට වැනි වැනී කෑ ගහන්න ගත්තේ හරියට ඉස්සර වගේ පුඵවන් නම් දැනුත් මට විදපං කියන්න වගේ. එකපාරටම මගේ පපුව හෝස් ගාලා පත්තු වුනේ අතීතය මතක් වෙලා. මගේ ආදරවන්ත සැමිය ඉටු දෙවියෙක් වගේ හිටිය සැමිය. දෙයියනේ මං වගේ පව්කාරියක්!!!!!!!!!!
දූවිලිත් කදුඵත් එකට එකතු වෙලා දෙනෙත රිදුම් දෙනවා. මතකයට නැගෙන අතීතය අමතක කරන්නයි නේපාල්ව තුරුල් කරගෙන දෙනෙත පියාගත්තේ. ඒත්....... අහසේ ඇදෙන විදුලිය රේඛා වගේ පසුගිය දේවල් මටත් හොරා හිතට නැගෙනවා.
නිල් පාට සෙල්වාර් එක සුදු කමිසයක් එක්ක ඇදලා සිනිදු දූපට්ට එක උරහිසෙන් පල්ලෙහාට එල්ලෙන්න දැන්මම ඉස්සර මං හරි ලස්සනයි. හරිම තැන්පත් පාටයි. හරියට යමක් කමක් තියෙන පවුලක ගෑණු දරුවෙක් වගේ. අන්ඩදාපු කලිසමක් ඇදලා අලුත් වාරේ පටන් ගත්තුදා ඔහු මගේ ලගින් ඉදගද්දී පන්තියේ ළමයි සේරම බක බක ගාල හිනා වුණා. පොළවට කිදාබහින්න තරම් ලැජ්ජාවක් ඇතිවෙච්ච හින්දා වෙන්න ඇති බිම බලාගෙන පොළොව හෑරුවේ. ඒ වෙලාවෙ ඔහු ගැන ලොකු අනුකම්පාවක් මට ඇති වුනේ.
ඔහු මා අදුනගත්තේ සෙල්ලම් කරන වයසෙදිමයි. එකට සෙල්ලම් බත් උයපු හැටි, දර කඩපු හැටි, කුරුල්ලන්ට විද්ද හැටි , ගොම රොටි අහුලන්න ගියහැටි මට තාමත් මතකයි. මම කොතැනද ඔහුත් එතැනයි. දවසක් වෙල් යාය මැද කුඹුරුවල නියර වල් දිගේ අත් පද්ද පද්දා යද්දී...........
“ඉතින් ඔයා ලොකු උනාම මොකද කරන්නේ? මම ඇහුවා.
“මම ලොකු මිනිහෙක් උනාම අර ඈත පේන කන්ද ගාව චූටි පැලක් හදල කුඹුරක් වපුරගෙන ලස්සන නෝනා කෙනෙක් එක්ක පැලපදියම් වෙලා කුරුඵ ජෝඩුවක් වගේ ජීවත් වෙනවා.
මගේ හිතට ඇතිවෙච්ච සතුට ඒ වෙලාවේ කියලා නිම කරන්න බැහැ. ඒත් එකපාරටම මූන මැලවිලා ගියේ ඔය කියන්නේ මටද එහෙම නැත්නම් වෙන කාටවත් දෝ කියලා හිතුන හින්දා. මගේ වෙනස ඔහුට තේරිලා වෙන්න ඇති මගේ නිකටෙන් අල්ලගෙන ඇස් දෙක දිහෑ ගිලින්න වගේ බලාගෙන හිටියේ.
ඕලු මල් එකට හැප්පි හැප්පි හිනාවුනේ අර බලපන්, අර බලපන් කියන්න වගෙයි. තවත් බලාගෙන ඉන්න බැරිව ගොයමට වහපූ වී කුරුඵ රෑන ඉගිලිලා යන්න ගියේ ලැජ්ජාවෙන්. ගොයම් ගස් හුළගට උස් පහත් වෙද්දී මට තේරුනේ පොඩි දරුවන් වැනි වැනී අපේ ආදරයට ආසිරි ගී ගයන්න වගෙයි. ඉර බැහැගෙන යන මොහොතේ අපේ හෙවනැලි එකට එක එක්වෙලා දිගට ඇදිලා තිබුන වගේ මට මතකයි. අපි ආදරය අදුනගත්තේ අන්න එදා.
දර කඩන්න යද්දී, ගොම රොටී අහුලන්න යද්දී , නාන්න යද්දී මගේ හෙවනැල්ල වගේ ඔහු හිටියා. හැමදාම විනෝදෙට ඔහු කුරුල්ලන්ට විද්දා. එක පාරින් කුරුල්ලෙක් බිම හෙලන්න තරම් ඔහු දක්ෂයි. මමත් කුරුල්ලෝ විදින හැටි ඉගෙන ගත්තා.
මං උන්නු හිටපු ගමන්මයි ඔහු එක්ක පැලපදියම් වුනේ. ඔහු කිව්වා වගේම ඒ කන්ද ගාව චූටි පැලක් හැදුවා. එහි අපි සතුටින් ජීවත් වුනේ කුරුඵ ජෝඩුවක් වගේ. හැමදාම ඔහු දඩයමට ගියා. ඒකෙන් තමයි අපි ජීවත් වුනේ. ඔහු එනතෙක් උඵවස්සට හේත්තුවෙලා මම මග බලාගෙන හිටියා. එක පතේ කෑම කෑවේ හරිම සතුටකින්. එක කැදැල්ලේ කුරුඵ යුවලක් වගෙයි අපි සතුටින් ජීවත් වුනේ.
ඒත් ටික කලක් යද්දී දුක, වේදනාව බඩගින්න අපටත් දැනෙන්න පටන් ගත්තා. ඔහු හිස් අතින් ආපු දවස් අනන්තයි. ඒ එන හැම දවසක්ම අපි බඩගින්නෙන් පීඩා වින්දා. මට තාම මතකයි එදා මොර සූරන වර්ෂාව. ඔහු ඔහේ බලාගත්තු අතේ බලාගෙන හිටියා. වහලින් වැටෙන වැහි බිදු පට පට ගාල වැටෙද්දී ගොම පොලව බී ගත්ත. බඩගින්න වැඩිකමටයි මා වකුටු වෙලා නිදාගත්තේ. කවදාවත් නැතිව ඔහු කෙරෙහි හීන් කේන්තියක් මට ඇති වුනා. අතපාල හරි යමක් හොයාගෙන එන්නයි ඔහු උන්නු හිටපු තැනින් නැගිට්ටේ. ඒත් මම ඒකට ඉඩ නොදුන්නේ හිගාකෑම තත්වෙට මදිකමක් හින්දා. ඔහු ආත්මශක්තියක් නැති දීන පුද්ගලයෙක් හැටියටයි මට එදා පෙනුනේ. පැමිණි දුක් පැණි රසයි කියා මට එදා එය විදගන්න බැරිවුනා.
දවසින් දවස ඔහුගෙන් හිත වෙන්වෙද්දී රණා කෙරෙහි හිත ඇදී ගියේ මහ පුදුම විදියට. දවස ගානෙම බැටලුවන් බලාගන්න එගොඩහ ලන්දට ඔහු ආවා. ඒ බට නලා හඩට මගේ පියවර මැනුනේ මාත් නොදැනුවත්වම. අපි හැමදාමත් හමුවුණා. අපේ සම්බන්ධය හුගාක් දුර දිග ගියා. සැමියා ජීවතුන් අතර සිටින තෙක් මට රණා එක්ක එකට ජීවත් වෙන්න බැරි බව තේරුම් ගියා. රණාටත් හොරා මම සැමියා නැති කරන්න උත්සාහ කලා. මම ඒක කලා. ඒත් නේපාල් බඩට ආපු හැටියෙම රණා ආගිය අතක් නැතිව ගියා.
කැදැල්ලේ හිටපු කිරිල්ලී කුරුල්ලව විනාශ කරලා වෙනත් කැදැල්ලකට යන්න හැදුවා. මං වගේ පවුකාර චපල ගැහැණියක්. කන්දෙන් පල්ලෙහාට පෙරලෙද්දී ඔහුගේ ඒ අදෝනා හඩ මරලතෝනියක් වගේ අදත් දෝංකාර දිදී මට වද දෙනවා. අනේ දෙයියනේ.........ඒ ගැන මට තවත් හිතන්න බැහැ.
දෙනෙතින් වැටෙන කදුඵ බිදු කිලිටි හැට්ටය බී ගන්නවා. නේපාල් කෙදිරි ගාමින් මගේ පපුවට තුරුලුවෙන්නේ බඩගින්න වැඩිකමට. ඒත් කිරි හිදිලා මාස ගානක් වෙනවා. වියලුනු පියයුරු උරද්දී මට දැනෙන්නේ දැඩි වේදනාවක්. අම්බලම දැඩි අදුරකින් ගිලිලා. අවට රැහැයියන්ගේ හඩින් පාලු ගතිය තවත් වැඩි කරනවා. බොසාන් වීදියේ යන ටොන්ගා කරත්තවල හඩ නින්දට මහ කරදරයක්. නේපාල්ව තුරුලු කරන් බිම දිග ඇදුනේ දැඩි වේදනාවකින්. ඒත් එකපාරටම මගේ ගතට දැනුනේ සීතලක්. දෙයියනේ.........සුදු කුමිය අදත් ඇවිත්..............!!!!!!!!!!!!
ඇය තවත් එක් ගැහැණියක්
ඒත්
චපලකමට දඩුවම් විදින
ගැහැණියක්!!!!!!
චපල කමට මොනවා කරන්නද !!!!
ReplyDelete