
පුංචිම පුංචි කාලේ, ඒ කියන්නේ මම බහතෝරන කාලේ ඉදලම මගේ ලගින්ම හිටපු හොදම යෙහෙළිය තමයි සදුනි. දුකට සැපට දෙකටම එකම විධියට ලගින්ම හිටපු යෙහෙළිය. එයා මගේ හොදම මිතුරිය වගේම මගේ නෑනත් වෙනවා. මොකද සදුනි අපේ අම්මාගේ මල්ලිගේ එකම දියණිය. ඇයට නම් කුඩා කාලයේ ඉදලම සියලුම සැප සම්පත් ලැබුණා. කිසිම දෙයකින් අඩුවක් පාඩුවක් දැනෙන්න මාමත් නැන්දාත් ඉඩක් දුන්නේම නැහැ. ඔවුන් ඇයට රැකබලාගත්තේ ඇස් දෙක වගේ.

මගේ අධ්‍යාපන කටයුතුවලට අවශ්‍ය පොත් පත් ගන්න සල්ලි නැතිවෙන කොට අම්මා ඇස්වල කදුලු පුරෝගෙන පිළිකන්නට වෙලා හූල්ලනවා මම අනන්තවත් දැකලා තියෙනවා. ඒත් එහෙම මට අඩුපාඩු තියෙන බව දකින සදුනි මට හුගාක් උදව් කලා. ඇය නිතරම මා ගැන සොයා බැලුවා. තාත්තා නැතිවුණ දා ඉදලා තාත්තාගේ නෑ සනුහරේ අපිව අත්හැරියා. අපිව ගණන් ගත්තේ හිගන්නන් ගානට. උදව්වට හිටියේ සදුනිගේ අම්මයි තාත්තායි විතරයි.
සදුනිත් මමත් එකම වයසේ නිසා එයාට ලැබෙන දේවල්වලින් කොටසක් බොහෝ වෙලාවට මටත් ලැබුණා. එයාට හැමදාම පාසැල් අදින්න මැදපු සුදු ගවුමක් ලැබුණා. අලුත් පොත් පත්, පාට පාට විසිතුරු පැන්සල්, පෑන් මේවායින් සදුනිට කිසිම අඩුවක් තිබුණේ නැහැ. ඒ අතින් බලනකොට නම් මට ඒ මොනවත් ගන්න අම්මාට වත්කමක් තිබුණේම නැහැ. මම කිසිම දිනෙක ඒවා ඉල්ලලා අම්මාට කරදර කරන්න ගියෙත් නැහැ. කොහොම ඉල්ලන්නද, තාත්තා නැති අඩුවත් දරාගෙන මහමෙරක් තරමේ දුක් කන්දරාවක් දරාගෙන තමයි අම්මා මාව පාසැලට ඇරියේ. අපේ අම්මා ඉස්සර හුගාක් ලස්සන කෙනෙක්ලු. මාව දකින අය නිතරම කියනවා ඇගේ ඒ ලස්සන අඩුවක් පාඩුවක් නැතිවම මටත් දීලා තියෙනවා කියලා.
සදුනිත් මමත් එක ලගින් ඉන්න කොට අම්මාගේ දුව සදුනිද මමද කියලා කෙනෙකුට එකපාරටම හිතාගන්න බැහැ. මොකද සදුනිත් මමත් පෙනුමෙන් හුගාක් දුරට එක සමානයි. අපි දෙන්නගේ ගතිගුණ, ගමන බිමන එකම වගෙයි. වෙලාවකට මට හිතෙනවා සදුනි මටත් හොරෙන් මාව අනුගමනය කරනවද කියලා. ඒත් එකේ ඇති පුදුමයකුත් නැහැ. සදුනි කියන්නේ මගේ අම්මාගේ එක කුස උපන් මල්ලිගේ දුවනේ.
මට මගේ පුංචි කාලේ මතක් වෙනකොට හිතට දැනෙන්නේ පුදුම සතුටක්. සැහැල්ලුවක්. ඒ දවස්වල ස්කෝලේ ඇරිලා ආපු වෙලාවෙ ඉදලම සදුනියි මායි සෙල්ලම් කරනවා. බෝනික්කෝ නලවනවා. උයනවා, පිහනවා, පොලේ යනවා, අපි දෙන්නට වැඩ ගොඩයි. ගෙදර ආ වෙලාවේ ඉදලම මම හිටියේ මාමලගේ දිහාවේ. එයාලගේ ගේ තියෙන්නේ අපේ ගෙට උඩහින් කන්ද මුදුනේ. සදුනිලගේ ගෙදර මිදුලට අපේ ගේ හොදට පේනවා. අම්මා පොළේ ඉදන් එනකන් මම ගෙදර තනියම නිසා නැන්දයි මාමයි මාව දවල් වරුවම එහේ තියාගන්නවා. අම්මා මට දවල්ට කන්න මොනවා හරි හදලා තියලා තමයි පොළට යන්නේ. අම්මාගේ අතින් උයලා, මැටි කෝප්පෙන් වහලා තියෙන කෑම වේල තරම් රසවත් කෑමක් මට වෙන කොහේවත් තිබුණේ නැහැ. ඇය ලුණු ටිකක් බත් පතට ඉහලා දුන්නත් ඒකත් මට දැනුනේ අමෘතය වගෙයි. ඒත් සමහර දවසට අපිට වේල පිරිමහගන්න දෙයක් තිබුණේ නැහැ. ඒත් මම කවදාවත්ම නැන්දට ඒ වගක් කියලා නැහැ. ඇයට ඒ බව ඉවෙන් වගේ දැනෙනවද කොහෙද එහෙම දවස්වලට පිගානකට බෙදපු බත්, එළවඵ මට දීලා කියනවා , මේක ගෙනිහින් අම්මා එක්ක කාපං දුවේ“ කියලා. ඒ වෙලාවට මම ඒකත් අරගෙන එක පිම්මට ගෙදර දුවලා එනවා. නොකිව්වට මටත් බඩගින්න දැනෙනවනේ. එතකොට අම්මාගේ වගේම මගේ ඇස්වලටත් කදුඵ උනනවා. දෙවියනේ අපි දුප්පත් වෙලා තියෙන තරමක්.
කතන්දරයක් නේද මේ..?
ReplyDelete