Thursday, January 26, 2012

කාන්තා රුව ඔප නංවන මුතු

 

කවීන් බොහෝ වෙලාවට කාන්තාවන්ගේ දසන් පෙළ මුතු වලට උපමා කරනවා. මේ නිසාම මට හිතුනා මුතු ගැන පුංචි පුංචි කරුණු ටිකක් ලියන්න. 
 
මුතු ගැන මිනිසුන් කරුණු සොයන්න පටන් ගන්නේ  මෑත කාලයේදී පමණක් නොවෙයි.  හුගාක් ඈත අතීතයේදසී පවා මුළු ලෝකය පුරාම මුතු ගැන තිබුණේ පුදුමාකාර සැලකිල්ලක්.  පෘතුගීසීන් හා ලන්දේසීන්ද ලංකාවේ මුතු ගැන විශාල සැලකිල්ලක් දැක්වූයේ  වෙනත් රටවල මුතු වලට තියෙන ඉතාමත් ඉහල වටිනාකම නිසාමයි.  ඔවුන් ලංකාවෙන් ගෙන ගිය වෙළද බඩු අතර මුතු වලට ප්‍රධාන තැනක් දුන්නා.  ඒ වගේම තමයි ලංකාවේ ඇතැම් මුතු අද දක්වාම විදේශ ප්‍රදේශවල තියෙන බව තතු දන්නෝ  කියනවා. 

අපි අහලා තියෙනවානේ මිසරයේ හිටිය ක්ලියෝපැට්රා කියන රැජින ගැන.  ඇයගේ දෙකනෙහි පැලැදි අගනා මුතු අභරණ සගලත් සාදන ලද්දේ ලක්දිව මන්නාරමට සමීපයේ ඇති කාරදූව මුතු ආකරයෙන් ගත් මුතුවලින් කියලයි සදහන් වෙන්නේ.

මුතු ගැන මේ ප්‍රසිද්ධිය ලක්දිවට පමණක් සීමා වුවක් නොවෙයි.  අතීතයේ ඉදල අද දක්වාම බොහෝ කාන්තාවන් මුතු ආභරණ වලට දක්වන කැමැත්ත අති විශාලයි.  අමෙරිකාවේ හා යුරෝපයේ කාන්තාවන් තමන්ගේ විවාහ දිනයේදී ගෙල සරසන්නට ගන්නේ අගනා මුතු පොටකි.  ඒ වගේම එම උත්සව වලට සහභාගී වන අන් කාන්තාවන්ද තමන්ගේ ගෙල අගනා මුතු පොටකින් සරසන්නට අමතක නොකරති.  පියකරු කාන්තාවන්ගේ ගෙල සරසන මෙම මුතු නිපදවන සත්වයා ඉතාමත් අවලක්ෂණ  සතෙකි. 

ලෝකයේ ඇති මුතු දෙකොටසකට බෙදිය හැකිය.  ස්වාභාවික මුතු හා කෘත්‍රිම මුතු ලෙස.  මෙයින් ස්වාභාවික ලෙස නිපදවෙන මුතු ලෝකයේ රටවල් කිහිපයකින්ම වෙළද පොළ කරා ගියත් මුතු නිපදවීමේ ප්‍රධාන ස්ථානය ලෙස සැලකෙන්නේ සමාල් දූපතයි.

සමාල් දූපත කරා මුතු බෙල්ලන් පිරුණු එනම් රැස්වන කාලය ගැන එක්තරා පිරිසක් දැන සිටිති.  පර්යේෂණ  මණ්ඩලයක් එහි සිටින්නේ මුතු නිපදවීම ගැන කටයුතු භාරවයි.  මුතු බෙල්ලන් ජලය යට තියෙන විශේෂ රසායනාගාරයක දමන්නේ ඔවුන් විසිනි.  එහිදි බෙල්ලන්ට කිසිදු ආහාරයක් දෙන්නේ නැත. කුසගින්නේ සිටින බෙල්ලන් තමන්ගේ ආහාරය සොයා ගැනීම සදහා ඔවුන්ගේ කටු දෙක ටිකින් ටික විවර කරයි.  පර්යේෂණාගාර නිලධාරීහු නොවසිලිමත්ව බලාසිටින්නේ මේ අවස්ථාව එනතෙක්ය.  

  මෙවිට රසායනාගාරයේ සිටින බෙල්ලන් වායු සමීකරණය කරන ලද පර්යේෂණාගාරයට දමති.  පසුව බෙල්ලන් ගේ විවෘත වූ කටු දෙක මැදට ශරීරය තුළට යෑමට උන්ට නොරිස්සෙන වැලි කැටයක් වැනි දෙයක් දමනුයේ කුඤ්ඤයක් වැනි උපකරණයක ආධාරයෙන් පරිස්සමෙනි.  මෙයින් පසුව බෙල්ලන් කම්බිවලින් තැනු කූඩාවලට දමා වතුර මත පාවෙන ලෙස සලස්වනවා.  ඒවා ආරක්ෂා කිරීමට ඒවා අවට උණ බට ලී රාමු එල්ලා තබනවා.  

මේ ආකාරයෙන් උණ ලී එල්ලන ලද කම්බි දැල් කූඩා 18 මාසයක් පමණ යන තෙක් මුහුදු ජලයේ තබයි.  ඒ කාලයේදී මුතු බෙල්ලාද තමන්ගේ ශරීරයට ආගන්තුක වශයෙන් ආ කරදරකාරයාගෙන් වෙන්වන්නට එය වටා වර්ණවත් ද්‍රව්‍යයන්ගෙන් යුතු කවරයක් සාදනවා.  වැලි කැටය වැනි දෙයට උඩින් ද්‍රවය බැදුනාට පස්සේ ඌට හිරිහැරයක් වන්නේ නැහැ.  එය ශරීරයේම කොටසක් ලෙස පැවතුන විට නිලධාරීන් විසින් ඒවා ගලවා ගනු ලබන්නේ ඉතා පරීක්ෂාවෙනුයි.  මෙසේ එක බෙල්ලකුගෙන් වටිනා මුතු ඇට කිහිපයක් ලබා ගත හැකියි.  වෙනත් පෙදෙස් වල වෙනස් වෙනස් අන්දමට බෙල්ලන් ලවා මුතු ලබා ගන්නා බව සදහන් වෙනවා.

මේ වගේ භාරදූර කාර්යයකින් යුතු නිර්මාණයකින් හෙබි මුතු ඇටය ගැන ලොව සැම තැනම පැවැති ඉතාමත් රසවත් කතා කාන්තාවන්ගේ හදවත් තුලට ඇතුළු වීම මුතු වගේම වටිනා කමකින් යුතු දෙයක් ලෙසටයි මට පෙනෙන්නේ.  මුතු ඉතාමත් වටිනා බෙහෙතක් ලෙස සැලකූ කාන්තාවන් අතර තාවොවරුන්ගේ කාන්තාවන් වනවා.  රුව වැඩීමටත්, අමරණීයත්වය ලබා ගැනීම සදහාත්, එම කාන්තාවන් පානයක් පිළියෙල කලේ මුතු ඇටයක් බහාලූ මෝල්ට් සාරයක් මගිනුයි.  මාස කිහිපයකට පස්සේ මෝල්ට් සාරයේ දියවුන මුතු ඇටය මිශ්‍ර පානය ඔවුහු විසින් පානය කරන ලදී.  ඒවගේම කාශ්මීරයේ සිටි වෛද්‍යවරයෙකු වන නරහරි විසින් මුතු මිශ්‍ර කරන  ලද පානයක් මිසර කාන්තාවන්ට සාදා දුන් බවට කියවෙනවා.

මුතු ඇතැම් කාන්තාවන්ට ප්‍රිය මනාප වූ අතර, ඇතැම් කාන්තාවන් පිළිබදව අසුභ ඇති බවත් කියවේ.  අපරදිග සමහර රටවල පවතින එක් විඹ්වාසයක් නම් මගුල් දිනයේදී මනාලිය මුතු මිශ්‍ර ආභරණ යක් පලදියි නම් එය විවාහය අසාර්ථක වන බවයි.  ප්‍රංශයේ ඉයුජින් රැජින  තම විවා දිනයේදී සේවිකාවකගේ කීම නොඅසා මුතුහර පැලදි නිසාම ඇයගේ අනාගත විවාහ දිවිය අසතුටුදායක වූ අතර විවා දිවිය කම්කටොලු වලින් ගහන වීලු. 

බටහිර සමර්කන්ඩ් නුවර විමුර් අධිරාජයාගේ ළද බොළද බිසව වූ බිබි කානුම් රැජින ගේ අකාල මරණයට අගනා මුතු ඇටයක් හේතුවිය.  බිබි රැජින මුතු ඇට කෙරෙහි දක්වන අධික ආශාව නිසා රාජයා ඇයට දුර්ලභ මුතු ඇට දෙකක් ත්‍යාග කලේ බොහෝම ආදරයෙන් යුක්තවයි.  මේවා තොඩු යුගලක් වශයෙන් පැළද සිටි ඇයගේ රුව තවත් වැඩි දියුණු වුණා.  දිනක් මුතු ඇටයක් නැතිව එය ගැන වඩාත් සොයන්නට වුනේ රජ්ජුරුවොයි.  නැතිවූ මුතු ඇටය සේවකයෙකුගේ කබායේ බොත්තමක පැටලී තිබු නිසා රැජින ගැන සැක කොට අධිරාජයා සේවකයාගේත් බිබි කානුම් රැජිනගේත් ජීවිත කෙටි කලා.  නමුත් රැජිනට ඇති බලවත් ආදරය නිසා ඇගේ සොහොන මුතු වලින්ම අලංකාර කර හැදුවේ ටිමුර් අධිරාජයායි. 

ස්කොට්ලන්තයේ හතරවන ජේම්ස් රජු ගේ බිසව වූ මාග්‍රට් කුමරිය දුටු සිහිනයක් නම් තමා ගේ සියලුම ආභරණ මුතු වලට හැරුනු බවයි.  එයට දින 3කට පසුව රජුගේ අභාවය පරෙන්ඩ්හි සංග්‍රාමයෙන් සිදුවුනේ ඇය වැන්දඹුවක්ද කරමිනුයි.  
මේ කතා අතර රසවත් පුවත් ද නැතුවා නොවේ.  මිසර රැජිනක වූ ක්ලියෝපැට්රා සම්බන්ධයෙන් එසේ රසවත් පුවතක් ඇත.  ඇගේ ප්‍රේම බන්ධනයකට ලක්ව සිටි මාර්ක් ඇන්ටනි වෙනුවෙන් ඇය උත්සවයක් පැවැත්වූයේ ඔට්ටුවක්ද අල්ලමිනුයි.  එම ඔට්ටුව නම් උත්සවයේදී සෙස්ටර්ට් සිය ලක්ෂයක් වියදම් කරන බවයි.  මාර්ක් ඇන්ටනි ඉදිරියේ මධුපානයක් තැබූ ක්ලියෝපැට්රා එම බදුනට සෙස්ටර්ට් හය ලක්ෂයක් පමණ වටිනා මුතු ඇටයක් දමා පානය කලා.  ක්ලියෝපැට්රා සතුව තිබූ මුතු ඇටවල වටිනාකම මිලකල නොහැකි තරම් බව පැවතුන මතයකි.  එතරම්ම මුතු ප්‍රමාණයක් ඇය සන්තකයේ තිබී ඇත.  ඇය සතුවූ එක් වටිනා මුතුවක් වීනස් දෙව්දුවගේ පිළිරුවේ පවා තිබේ.
ලෝකප්‍රකට ප්‍රේම ස්මාරකයක් ලෙස සැලකෙන ටජ්මහල් මන්දිරය සෑදු සාජහාන් රජු සිය දේවියට ප්‍රේම ත්‍යාගයක් ලෙස මුතු දුන් බව සදහන් වේ.  ලොව ඉතාම මිල අධික මුතු ඇටය පවා ඔහු ඇයට දෙන ලදී.  දිගින් අගල් 3ක් හා පළලින් අගල් 2ක් පමණ වූ එම මුතු ඇටය ළා රෝස පැහැයෙන් යුතු වූ අතර “ආසියාවේ මුතු ඇටය ....නමින් පතල වී ඇත.  මේ වාගේ රසවත් කතා ගෙතුනු මුතු ඇට හා කාන්තාවන් අතර ඇති සම්බන්ධය ඉතා ඈත අතීතය කරා දිවයන්නකි.  තරමින් ඉතා කුඩා වුවත් ඇතැම් මුතු මිලෙන් ඉතා අධිකවේ.  එදා මෙන්ම අදත් ලලනාවන් මුතු කෙරෙහි දක්වන කැමැත්ත හා සැලකිල්ල සුළු තන්හි ලා සැලකිය නොහැක.