අළුත් අවුරුද්දේ හාහා පුරා කියලා ලියන පළමු ලිපියයි මේ. රූපා ශ්‍රියානි ඒකනායක විසින් ලියන ලද සෙංකඩගල මහ බිසෝ ( දෝන කතිරිනා හෙවත් කුසුමාසන දේවිය) නම් පොත මම අදයි කියවලා අවසන් කලේ. ඒත් එක්කම මේ කාරණා සියල්ල කන්ද උඩරට රාජධානිය හා කුසුමාසන දේවියට සෘජු සම්බන්ධකම් ඇති නිසාත් කාගේත් දැනගැනීම පිණිස සටහන් කරන්නට සිතුනා. මම නොදන්නා කරුණු ඇතොත් කමෙන්ට් එකක් මගින් හරි සටහනක් දාන්න අමතක කරන්න එපා.
සිංහලයෝ ගැන කොතැනක හෝ සටහන් වෙනවා නම් ඒ ගැන අපේ සිත් වලට දැනෙන්නේ විශාල ආඩම්බරයක්නේ. ඒ වගේම තමයි අපේ සිංහලයෙක් විසින් තනන ලද ගොඩනැගිල්ලක් හෝ කිසියම් දෙයක් යූරෝපියයන් විසින් ආරක්ෂා කරනවා නම් ඒක අපට මහත් ගෞරවයක්. ආඩම්බරයක්. මෙවැනි ගොඩනැගිල්ලක් පිළිබදව රසවත් සිද්ධියක් 1955 දී ලංකාවේ තිබුණ පෘතුගීසි පල්ලි පිළිබදව විමර්ශනයන් කරන්නට පෘතුගාලයේ ලිස්බන් නුවරට ගිය ගරු ඩබ්. ඇල්. ඒ දොන් පීටර් දේවගැති තුමා විසින් අනාවරණය කොට ඇත.
මේ ගොඩනැගිල්ල පැරණි කතෝලික දේවස්ථානයක්. එය පිහිටා ඇත්තේ පෘතුගාලයේ අගනුවර වූ ලිස්බන් නුවරට ඉතා තදාසන්න ග්‍රාමයක් වූ තෙල් හීරාස් නම් නගරයේයි. මේ දේවස්ථානයේ උපත පිළිබද සුලමුල පටන්ගන්නේ ක්‍රි.ව. 1592 ශ්‍රී ලංකාවේ කන්ද උඩරටිනුයි.
උඩරට රාජධානිය කරගෙන සිටි කරලියද්දේ රජතුමා රාජසිංහ රජුගේ අඩන්තේට්ටම් ඉවසනු නොහැකිව පලා ගියේ පරංගීන් වෙතටයි. ඒ යනවිට තම සිගිති දියණිය ඇතුළු තවත් පිරිසක්ද රැගෙන යන ලදී. ඒ සිගිති දියණිය කන්ද උඩරට රාජධානියේ එකම උරුමක්කාරිය වූ කුසුමාසන දේවිය නම් වූවාය. පෘතුගීසීන් යටතේ හැදී වැඩෙන ඇය ක්‍රිස්තු භක්තික කාන්තාවක් වූවාය. පරංගීන් ඇයව බොහෝම රැකවරණය ඇතිව ඇති දැඩි කලේ ඇයට තිබෙන ලෙන්ගතු කමක් හින්දා නොව කන්ද උඩරට රාජධානිය කෙරෙහි ඇති ලොල් බව නිසාය. නමුත් ඇය කුඩා කාලයේ සිටම බොහෝ මානසික දුක් පීඩාවන්ට ගොදුරු විය. ඇගේ පියාගේ ඇවෑමෙන් ඇගේ බාරකාරත්වය පැවරී තිබුනේ ලේ නෑයෙකු වූ දොන් පිලිප් යමසිංහයන්ටය. කතිරිනා කුමරිය තවමත් කුඩා දැරියක බැවින් 1592 දී මහනුවර රජ වූයේ පෘතුග්‍රීසීන්ගේ සහාය ඇතිව මේ දොන් පිලිප් යමසිංහ කුමරුවන්ය. ඔහු සේම ක්‍රිස්තියානි ආගම වැළදගත් දොලොස් හැවිරිදි ඔහුගේ පුතු දොන් ජුආවෝ ඔහුගෙන් පසු සිහසුනට හිමිකම් ඇති කුමරුවා විය.
නමුත් ක්‍රිස්තු භක්තිකයන් රජකරවීම කන්ද උඩරට සිරිත නොවේ. පරංගීන්ගෙන් වන ගැහැට බලාසිටිය නොහැකි වූ දොන් ජුවන් හෙවත් කොනප්පු බණ්ඩාර නම් රදළ කුමරුන් යමසිංහ රජු මරා පළමුවන විමලධර්මසූරිය නමින් රජවිය. විමලධර්මසූරිය රජුගේ රජකම ස්තිරවන්නට නම් ඔටුන්නට හිමිකම් ඇති කෙනෙකුගේ සහාය අවශ්‍ය විය. මේ හේතුවෙන් ටික කලකට පසුව කුසුමාසන දේවිය සිය බිසව ලෙස කරකාරයට ගන්නා ලදී. විමලධර්මසුරිය රජු රට ගැන සිතූ බොහෝම දැහැමි පාලකයෙකු විය.
තම පියාගේ මරණින් පසු අසරණ වන කුඩා දොන් ජුආවෝ කුමරු රහසේම කොළඹට ඇවිත් පෘතුගීසීන්ගේ රැකවරණයේ ජීවත් විය. ඉගෙනීමට උපන් හපන්කම් ඇති මේ කුමරුන් පෘතුගීසීන් අභිබවා යන තරමට එම භාෂාව කතා කිරීමේ හැකියාවක් තිබුනි. ඔහු මෙන්ම ඉගෙනීමට දක්ෂ තවත් කුමරුවෙකු කොළඹ කොටුවේදී දොන් ජු ආවෝට මුණ ගැසුනි. ඒ වෙනකෙනෙකු නොව පෘතුගීසින්ට පරාජය වු සීතාවක රාජධානියේ පළමුවන රාජසිංහයන්ගෙන් පසු සිහසුනට උරුමක්කාරයාවූ නිකපිටියේ බන්ඩාරයන්ය.
මන්නාරමේ ප්‍රැන්සිස්කානු අසපුවේත් එකල කොළඹ තිබූ උසස් විදුහල වු ශාන්ත අන්තෝනි විදුහලේත් ඉගෙනීම ලැබූ මේ කුමාරවරු දෙපලගේ ඉගෙනීමට ඇති හැකියාව ගැන පැහැදුනු පෘතුගීසීන් වැඩිදුර අධ්‍යාපනය සදහා ඔවුන්ව ගෝවේ මාගි නම් උසස් පාසැලට යැවීමට කටයුතු යොදන ලදී.
නිකපිටියේ බන්ඩාරයන් සමග නැව් නැගි දොන් ජු ආවෝ කුමරුන්ගේ බලාපොරොත්තුව වූයේ හොදින් ඉගෙනීමේ කටයුතු අවසන් කොට ලංකාවට පැමිණ පෘතුගීසීන්ගේ උදව් ඇතිව කන්ද උඩරට තම අයිතිය ලබා ගැනීමටයි. නමුත් ගෝවේ නගරයේ අවුරුදු පහලොවක් ඉගෙනීමේ යෙදී සිටියදී දොන් ජු ආවෝ කුමරුන්ගේ සිත ක්‍රමයෙන් සාමාන්‍ය ආශාවන්ගෙන් ඈත්ව පූජකයෙකු වීමේ අරමුණ ඇති විය. ඉන් අනතුරුව ඔවුන් දෙදෙනාම පෘතුගාලයේ රජුගේ අණ පරිදි ලිස්බන් නුවරට ගෙන්වා ගනු ලැබුවේ රඑටේ ඉතා උසස්ම සරසවිය වූ කොයිම්බ්‍රා විශ්ව විද්‍යාලයට ඇතුලත් කිරිමටයි.
පැරණි ලේඛන වලට අනුව එදා ඒ නුවර වැසියන් මේ කුමාරවරුන් දෙපල ඉතා ආදරයෙන් හා හරසරින් පිළිගනු ලැබුනි. රාජකීය අමුත්තන්ට හිමි සියලු සත්කාර හා වරප්‍රසාද මොවුන් දෙදෙනාටද හිමි විය. නමුත් දොන් ජු ආවෝගේ ජීවිතයේ තවත් දුක්බර අවස්ථාවක් එළබියේය. එනම් තමාගේ සෙවනැල්ල මෙන් සිටි එකම සිංහලයා ඉතා තදබල ලෙස රෝගාතුර වී මිය යාමයි.
නිකපිටියේ කුමරුන්ගේ මරණින් බලවත් සිත් තැවුලට පත් දොන් ජු ආවෝ කුමරුන් කොයිම්බ්‍රා සරසවියේ ඉගෙනීම අත්හැර දමා ලිස්බන් නුවරම නැවතී පූජකයෙකු ලෙස කටයුතු කලේය. රජුගේ අණින් ඔහුට විශේෂ වැටුපක්ද ගෙවූ අතර මහනුවර රජු වශයෙන් ඔහුව පිළිගැනීමද සිදුවිය. මීට අමතරව ආගමික නායකයින් වූ බිෂොප්වරුන් සමග එකට අසුන් ගැනීමේ වරප්‍රසාදයද හිමි විය. එවකට පෘතුගාලයද ස්පාඤ්ඤයේම කොටසක් වූ බැවින් ඔහුගේ වැටුප් පිළිබදව කතා කිරීමට ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් නුවරට ගොස් රජතුමාද බැහැදැකීමට අවස්ථාව උදා විය.
මේ ආකාරයෙන් තමන්ට සැලකූ පෘතුගීසි වර්ගයාට හා කතෝලික ධර්මයටත් කලගුණ සැලකීමක් වශයෙන් තම වියදමින් දේවස්ථානයක් ගොඩනැගීමට දොන් ජු ආවෝ කල්පනා කලේය. පසුව ඔහු තෙල්හීරාස් නම් නගරයේ එක් භූමි බාගයක පල්ලියක් ගොඩනගා එය නොස්සා සෙන් හෝරා ඩා පෝටා ඩි සියෝ හෙවත් ස්වර්ගයේ වැඩ වසන දේව මාතාවන් වෙනුවෙන් නම් කලේය. මේ දේවස්ථානය අදටත් ආරක්ෂාව සහිතව පවතී.
ඔහු මියගියේ 1642 වසරේදීය. එතෙක් මේ දේවස්ථානයේ බැතිමතුන් දහස් ගණනකට ඔහු දේව මෙහෙයන් පවත්වා ඇත. ඔහුගේ ඉල්ලීමකට අනුව මෘත දේහය තැන්පත් කරනු ලැබුවේද මේ දේවස්ථානයේමය. පසු කාලයක එය කඩා විනාශ කොට ඇත. අදටත් මේ දේවස්ථානයට රොක්වන බැතිමතුන් තම ගීතිකා මගින් ඒ ප්‍රින්සිපි නිංග්‍රෝ (කළුකුමාරයානෙනි) යුද්ධයකදී නිදන් හොරු යන වදන් ඇතුලත් කොට ජු ආවෝට තම භක්ති ප්‍රනාමය පුදයි. එසෙම දේවස්ථානයට ඇතුළු වන ප්‍රධාන දොරටුව අභියස ආරුක්කුවේ මෙම වැකිය ගලින් කොට ඇත.
“මෙම දේවස්ථානය මහනුවර කුමාරයා විසින් සාදන ලදී
එම වැකිය සැතපුම් දහස් ගණනක් ඈතින් සිටින අපට ආඩම්බරයක් නොවෙයිද?
විමලධර්මසූරිය රජු පෘතුගාලයේ හිටියා කියලා අහලා තිබුණාට පූජකයෙක් කියලා ඇහුවේ අදයි.
ReplyDeleteඔයා කියන විදිහට විමලධර්ම සූරිය රජු මිනිදන් කරලා තියෙන්නෙ පෘතුගාලයේද?
විමලධර්ම සූරිය රජු පූජකයෙක් නොවෙයි. දොන් පිලිප් යමසිංහයන්ගේ පුතා තමයි පෘතුගාලයේ පසුකාලයක පදිංචි වෙලා ඉදලා අවුග 64දී මියගියේ. ඔහු පූජකයෙක්. ඔහු ඉදිකරපු දේවස්ථානයක් ගැන තමයි මේ කියන්නේ. විමලධර්මසූරිය රජු මියගියේ මඩකලපු ගිහින් එනකොට කියලයි මම දන්නේ. ඔහු මිහිදන් වුනේ සෙංකඩගල
ReplyDeleteවිමලධර්මසූරිය රජතුමාව මියගියාට පස්සේ මිහිදන් කරන්නේ නැතුව ආදාහනය කළ බවයි කියවෙන්නේ. ඒක සුවිශේෂී සිද්ධියක් විදිහට දක්වන්නේ විමලධර්මසූරිය රජතුමාගේ හදවත දැවී නොතිබුණු නිසා.
Deleteරජතුමාගේ තිබුණු අසහාය නායකත්වය වගේම රජුගේ ශ්‍රේෂ්ඨත්වය නිසා එලෙස හදවත නොදැවුණු බවයි වැසියන්ගේ පිළිගැණීම වුණේ
අදමයි මේ විස්තරයක් ඇහුවේ ...කොච්චර ආඩම්බරයක්ද අපිට....
ReplyDelete"රූපා ශ්‍රියානි ඒකනායක විසින් ලියන ලද සෙංකඩගල මහ බිසෝ"
ReplyDeleteමේ පොත ගන්න පුලුවන් තැනක් කියන්න පුලුවන්ද ?
"උඩරට රාජධානිය කරගෙන සිටි කරලියද්දේ රජතුමා රාජසිංහ රජුගේ අඩන්තේට්ටම් ඉවසනු නොහැකිව පලා ගියේ පරංගීන් වෙතටයි"
ReplyDeleteමෙතන සිදුවෙන්නේ අඩම්තේට්ටම්වලත් වඩා සීතාවක රාජසිංහගේ උඩරට ආක්‍රමණය නිසා කරලියැද්දේ බණ්ඩාර පෘතුගීසින් වෙත ආරක්ෂාව පතා පළා යාමයි
"ඇගේ පියාගේ ඇවෑමෙන් ඇගේ බාරකාරත්වය පැවරී තිබුනේ ලේ නෑයෙකු වූ දොන් පිලිප් යමසිංහයන්ටය"
දොන් පිලිප් එහෙමත් නැත්නම් යමසිංහ බණ්ඩාර කියන්නේ කරලියැද්දේ රජුගේ බෑණා වශයෙන් තමා සඳහන් වෙන්නේ.
"කතිරිනා කුමරිය තවමත් කුඩා දැරියක බැවින් 1592 දී මහනුවර රජ වූයේ පෘතුග්‍රීසීන්ගේ සහාය ඇතිව මේ දොන් පිලිප් යමසිංහ කුමරුවන්ය."
යමසිංහ බණ්ඩාරව රජ කරවා කුසුමාසන දේවියව ඔහුට සරණ කොට දීමෙන් තමන්ට හිතවත් රාජ්‍යයක් බවට උඩරට පෙරළා ගැනීමයි පෘතුගීසින්ගේ අරමුණ වුනේ.
යමසිංහ බණ්ඩාර රජවන්නේ මහනුවරදී නොව වහකෝට්ටේදියි.
"පරංගීන්ගෙන් වන ගැහැට බලාසිටිය නොහැකි වූ දොන් ජුවන් හෙවත් කොනප්පු බණ්ඩාර නම් රදළ කුමරුන් යමසිංහ රජු මරා පළමුවන විමලධර්මසූරිය නමින් රජවිය"
මෙහිදී පරංගීන්ගෙන් වන ගැහැට නිසා නොව තමන්ට රජකම ලබාගන්නට අවස්ථාවක් එනතුරු බලාසිටි දොන් ජුවන් හෙවත් කොනප්පු බණ්ඩාර අවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන උඩරට භික්ෂූන්ගේ හා ප්‍රභූන්ගේ සහය මත යමසිංහව වස දී මරා දමා රාජ්‍ය හිමිකරගත් බවයි කියවෙන්නේ
"විමලධර්මසූරිය රජුගේ රජකම ස්තිරවන්නට නම් ඔටුන්නට හිමිකම් ඇති කෙනෙකුගේ සහාය අවශ්‍ය විය. මේ හේතුවෙන් ටික කලකට පසුව කුසුමාසන දේවිය සිය බිසව ලෙස කරකාරයට ගන්නා ලදී"
විමලධර්මසූරිය නැතිනම් කොනප්පු බණ්ඩාර යනු කරලියැද්දේ රජුගේ අගමැතිවරයා වූ විරසුන්දර බණ්ඩාරගේ පුතායි. රජකමට බොහෝ දුරින් සබඳතාවක් තිබුණු ඔහුට උඩරට නිල හිමිකම ලබාගත හැකිවූයේ උඩරට හිමිකාරිය වූ කුසුමාසන දේවිය සමඟ වූ විවාහයෙන් පසුවයි
"දොන් පිලිප් යමසිංහ කුමරුවන් සේම ක්‍රිස්තියානි ආගම වැළදගත් දොලොස් හැවිරිදි ඔහුගේ පුතු දොන් ජුආවෝ ඔහුගෙන් පසු සිහසුනට හිමිකම් ඇති කුමරුවා විය"
ReplyDeleteයමසිංහ බණ්ඩාරට පුතෙක් සිටි බවක් සඳහන් වෙන්නේ නැහැනේ. මේ කතාව ටිකක් ගැටළු සහගතයි.
කෙසේ නමුත් මහනුවර රජ කම් කළ සෙනරත් රජතුමාගේ වැඩිමහල් පුතු කුමාරසිංහ රජු ඌවේ රාජ්‍ය කරන විට මියගිය අතර ඔහුගේ පුතා පෘතුගීසින් බාරයට ගොස් අවසානයේදී පූජකයෙක් ලෙස මියගිය කතාවක් නම් මා අසා තිබෙනවා
කෙසේ නමුත් මේ කතාව පිළිබඳ තවත් සොයා බැලිය යුතුයි
"නමුත් දොන් ජු ආවෝගේ ජීවිතයේ තවත් දුක්බර අවස්ථාවක් එළබියේය. එනම් තමාගේ සෙවනැල්ල මෙන් සිටි එකම සිංහලයා ඉතා තදබල ලෙස රෝගාතුර වී මිය යාමයි."
නිකපිටියේ බණ්ඩාර පෘතුගාලයේදී මියයන්නේ 1608 දී
"ඔහු තෙල්හීරාස් නම් නගරයේ එක් භූමි බාගයක පල්ලියක් ගොඩනගා එය නොස්සා සෙන් හෝරා ඩා පෝටා ඩි සියෝ හෙවත් ස්වර්ගයේ වැඩ වසන දේව මාතාවන් වෙනුවෙන් නම් කලේය"
ReplyDeleteමේ ගැන අන්තර්ජාලේ හෙව්වත් විස්තරයක් හම්බුණේ නැහැනේ :(
හසිත....
ReplyDeleteලිපිය ගැන ඔයාගේ උනන්දුවට ගොඩාක් ස්තුතියි. ඒවගේම නොදන්න කරුණු දැනගන්න ලැබෙනවටත් මාව නිවැරිදි කරනවාටත් මම හුගාක් කැමතියි. ඒක අපි කාටත් හොදයි.
මේ යමසිංහ බණ්ඩාරගේ පුතා කුඩා කාලයේදිමයි රටින් පිටවෙන්නේ. ඒ නිසා පොත්පත්වල සදහන් වෙලා තියෙන්නේ බොහොම අඩුවෙන්. මේ ලිපිය මම පරණ පොතකින් සොයාගත් එකක්.
කුසුමාසන දේවිය පොත මම නම් කියෙව්වේ පුස්තකාලයෙන්. ඒත් ඒක සරසවියේ ගන්න තියෙනවා.
අක්කේ මම ඔයා කියපු කතාව ගැන හොයලා බැලුවා. මෙන්න මට ඒක ගැන හම්බුණු තොරතුරු.
ReplyDeletehttp://aagiyakatha.blogspot.com/2012/05/04.html
ඔයා ඉදිරිපත් කරපු යමසිංහ බණ්ඩාරගේ පුතා පිළිබඳ කතාව හරි
හසිත
ReplyDeleteඔයාගේ ලිපියේ කරුණු ගොඩක් සටහන් වෙලා තියෙනවා. ගොඩක් වටිනවා. ස්තුතියි මමත් නොදන්න දේ දැනගත්තා.