Monday, September 5, 2011

ශ්‍රී පාදස්ථානය





පසුගිය දිනවල ශ්‍රී පාදස්ථානයේ නායක ස්වාමීන් වහන්සේගේ අපවත් වීම පිළිබදව අහන්නට ලැබුන නිසා පොත පතින් අහුලා ගත් කරුණු ටිකක් ලියන්නට හිතුනා.

නවම් මාසයේ සීතල එක්ක එකතුවන මීදුමෙන් වැසීයන අවට පරිසරයේ චමත්කාරයත් සමගින් දහස් සංඛ්‍යාත බැතිමතුන් පිරිසක් ශ්‍රී පාදය වන්දනා මාන කරන්නට යනවා.  ඔවුන් නගන සාධු නාදය නිසල අහස් කුස පුරා රැව්පිළිරැව් දෙනවා.  

නිල් පාට ආකාසයට මැදිවෙලා පිහිටි සමන්කුළු පව්ව මත හිද අවට බලනවිට පෙනෙන්නේ ගව් ගණන් දිගට විහිදී ඉමක් කොනක් නොපෙනෙන වළාකුළු සමූහයකි.  හද පිරි භක්තියෙන් සමන් ගිර වන්දනා මාන කරන්නට බැතිමතුන් පැමිණෙන්නේ අද ඊයේ සිට නොවේ. වසර දෙදහස් හයසීයකට පමණ පෙර බුදු හිමියන් මෙරටට වැඩම කර ශ්‍රි පතුල පිහිටවූ කාලයේ සිටම ශ්‍රි පතුල වන්දනා මාන කිරීමට පිරිස එක් වෙනවා.

කැළණි නදියෙහි ඉවුරේ මහා මුහුදට ආසන්නයේ පිහිටි කල්‍යාණ රට රාජ කුමාරවරුන් දෙදෙනෙකු අතර ඇතිවී යයි කියන මහා සටන මැඩ පවත්වීම රටේ පාලකාදීන්ටද මහත් ප්‍රශ්ණයක් වී තිබුණි.  එබැවින් මණිඅක්ඛික මහා රාජවරුන්ගේ මැණික් පිළිබදව ඇතිවූ මේ ආරවුල විසදීම සදහා බුදුන් වහන්සේ සිරිලකට වැඩම කලහ.  කැළණි රජමහා විහාරය පිහිටි බිමේ සිට කුමාරවරුනට අවවාද අනුශාසනා කොට ඔවුන්ගේ ගැටඵව නිරාකරණය කලහ.  

සමන් දෙවියන්ගේ ආරාධනාවෙන් බුදු හිමියන් සමනළ ගිරට වැඩි වග හා සමන් දෙවිදුගේ ආරාධනය පරිදි කදු පාමුල එකල පැවති දිව්‍ය ගෘහයක දිවා කාලය ගත කල බවත් බෞද්ධ සාහිත්‍යයෙහි සදහන්වේ.  
අතීතයේ නාග රාජධානිය කැළණිය විය.  බුදු හිමියන් කැළණියට වැඩම කල අවස්ථාවේ සිරිපා සටහන් දෙකක් පිහිටුවා ඇති බව අපේ පැරණි සාහිත්‍යෙය් සදහන්ය.  බුදුහු නාගයන් දමනය කිරීමෙන් පසුව ඔවුන් හික්මවීම සදහා රටේ ප්‍රධාන නගරයට උතුරින් එක් පා සලකුණක් හා අනෙක ඉන් යොදුන් පහලොවක් ඈතින් තවත් කන්දක් මත පා සලකුණක් පිහිටුවා ඇත.  සිරිපා කන්දේ ඇති සිරිපා සටහන ඇත්තේ මැණික් ගලකයයි මතයක් පවතී.

මේ කාරණාව නිසා බුදුන් දා සිටම ශ්‍රී පාදස්තානය හා කැළණිය පූජනීය ස්ථාන විය.  රාමායනයේ කියන ආකාරයට සමන් දෙවිදු රාම කුමාරයාගේ සොහොයුරාය.  
සමන් දෙවිදුන් සුමන යන නමින් දක්වා ඇත.  සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරලීමේ කාර්යය විෂ්ණු දෙවියන්ට භාරව පැවතුණ කාර්යයකි.  ඒ භාරදුර කාර්යයෙන් යුතුවූ විෂ්ණු  සමන් දෙවියන්ට ශ්‍රී පාදස්ථානය බාර දුන් බව ජනප්‍රවාදයෙහි සදහන් වේ.  

අතීතයේදී සිංහලයෝ වන්දනා මාන කරන ලද ශ්‍රී පාදය ඇතැම් කලෙක දී රටතුල පැවති සිවිල් යුද්ධය නිසා අප අතරින් ඈත් විය.  තවත් විටෙක ලං විය.  අනුරපුර යුගයේදී අපට ලැබුණු බෞද්ධ වස්තූන් වන ශ්‍රී මහා බෝධීන් වහන්සේ, දන්ත ධාතූන් වහන්සේ වැදපුදා ගැනීමට පහසු වුවත් රටේ පැවති කලබගෑනි නිසා මේ සමන් ගිරට යන මාර්ගය වනගත වී ඇවිරී තිබුණු බව සදහන් වේ.


මේ නිසා එක්තරා කාලයක ශ්‍රි පාදස්ථානය සොයා ගැනීම උගහට වූ බව වංශකතාවල සදහන්වේ.  නිශ්ශංක මල්ල රජු දවස එන පුවතක් අනුව ශ්‍රී පාදස්ථානය යළි හමු විය.  සමණල කන්ද පාමුල මල් උයනක සිටි නොන්ඩියෙකුට දෙව්ලියන් ශ්‍රී පාදස්ථානයට යන මග පෙන්වාදුන් බව කියවේ.


සිංහල ඉතිහාස කතාවේ කියැවෙන සමන් මල් පෙරහැර උදුවප් මහේ පසලොස්වක පෝයෙන් ආරම්භ කර වෙසක් මස පුර පසලොස්වක පෝදා දක්වා පැවැත්විණ. කරුණාව හා දයාව හදවතේ තුරුඵ කරගත් බැතිමත්හු ඈත අතීතයේ සිටම සිරිපා වන්දනාව  අලංකාර කිරීම සදහාත් විඩාව සංසිදුවා ගැනීම සදහාත් තුන් සරණේ කවි ගායනා කරමින් ගමන් ගත්හ.


බුදු හිමියන්ගේ ගුණත්, සමන් දෙවිදුන්ගේ ඥානයේ මහිමයත් බලයත් සිහි කරමින් සිරිපා වන්දනාවේ යන බැතිමතුන් ඉදිකටුපානේදී ගෙත්තම්  කර සීත ගගුලේදී සිහිල් ජලයෙන් ස්නානය කර පේවී සුදුඇදුමින් සැරසී සමන් ගිර තරණය කොට පෙරළි පෙරළී සිරිපා වදින ආකාරය දකින්නකුගේ හදවතේ ඇති භක්තිය තව තවත් වැඩි දියුණවේ.


අතීත සංදේශ කාව්‍යයන්හිද ශ්‍රී පාදස්ථානය ගැන නොයෙක් විට වර්ණනා කොට ඇත.  සැළලිහිණි සංදේශයේ සිරි රහල් හිමියන් ශ්‍රී පාදස්ථානය ගැන මෙසේ සදහන් කරයි.  


“සුර රද සමන් සමගින් සුරගන          පවර
 පැහැනද මදාරා පරසතු මල්              පතර
 කර පුද වදින රැදි මුණි සිරිපා             තඹර
 සකි සද පෙනේ සමනොළ ගල නැගෙනහිර


සමන්ගිර වන්දනා මාන කරන්නට පැමිණෙන්නන් අතර බෞද්ධයන් මෙන්ම වෙනත් ආගම්වල බැතිමතුන්ද පැමිනෙති.  එයට හේතුව තම තමන් අදහන දෙවියන්ගේ පාද ලාංජනය මෙහි ඇති බැව් සැලකීමයි.  හින්දු භක්තිකයන් ශිව පාද ලෙසින්ද මුස්ලිම් ජාතිකයන් ආදම් පාදම් ලෙසින්ද කතෝලික බැතිමතුන් ශාන්ත තෝමස්ගේ පාදය ලෙසින්ද සලකා සිරිපා සටහනට පූජා පවත්වති.


කවුරුන් කෙලෙස ඇදහුවද පුරානයේ සිටම සැදැහැවත්හු ඉතා භක්තියෙන් යුතුව ආරම්භ කරන වන්දනා ගමනක් ලෙස මෙය හැදින්විය හැකිය. තමන්ගේ කටින් පිටවන වචන ගැන පවා ඔවුන් මහත් සැලකිල්ලක් දක්වයි.  මුලින්ම සිරිපා වන්දනාවේ යන්නන් කෝඩුකාරයන් ලෙස හැදින්වේ.  කෙසේ වෙතත් මේ ලිපිය ලියන මමත් තවම සිරිපා වන්දනා කොට නැත.  කෙදින කෙලෙසක හෝ සිරිපා නැමදීම මගේ බලාපොරොත්තුවයි.  

(ශ්‍රී පාදස්ථානය  සටහන බැලූ මධුරංග මල්ලී මේ පසු සටහන කමෙන්ට් කරලා තිබුණා. මමත් නොදන්න ඒ තොරතුරු කාටත් බලන්න මෙතන දාන්නම්)



ඉස්සර බුදු හාමුදුරුවෝ සිරිපාදෙට වැඩියට පස්සේ පහු කාලීනව සිරිපාද අඩවිය ගණකැලෑවෙන් වැහුනලු. කාත් කවුරුවත් දන්නේ නෑලු සිරිපාදේ යන්නෙ කොහොමෙයි කියලා.

--------------------------------------------

ඔන්න එකමත් එක රටක රජ කුමාරවරු දෙන්නෙක් ඉන්නවලු. මේ දෙන්නගෙන් අයියා, කුමාරියක්ව සරණ පාවාගෙන ජීවත් උනා ලු. මෙහෙම ජීවත් වෙනකොට මේ අයියන්ඩි සරණපාවාගෙන ඉන්න කුමාරිකාවට මල්ලි ගැන ආසාවක් හිතුනලු.

ආසාවක් කියලා කිව්වේ රාගික ආසාවක්. ඉතින් මේ කුමාරිකාව තමන්ගේ අදහස මල්ලි කුමාරයාට කිව්වා. නමුත් මල්ලි කුමාරයා කැමති නෑ ලු මේ සම්බන්දෙට. නමුත් මේ කුමාරිට ඕනෙ කොහොමහරි මල්ලි කුමරයාත් එක්ක එකතු වෙන්න.

කොහොම බැලුවත් මල්ලි කුමාරයා කැමති නෑලු. අන්තිමේදි මේ කුමාරි තමන්ගේ ස්වාමි පුරුශයාට එහෙමත් නැත්නම් අර අයියා කුමාරයාගේ මල්ලි කුමාරයා තමන්ට (අයියා කුමාරයාගේ බිසවට ) අයුතු යෝජනාවක් ගෙනාවයි කියලා.

මේ කතව අහලා ඒක ඉස්මුදුනින් පිලිගත්ත අයියා කුමාරයා තමන්ගේ එක්කුස උපන් මල්ලිගේ අත් දෙක වැලමිට හරියෙනුයි කකුල් දෙක දනිස් දෙක හරියෙනුයි කපා දානවා.

කියන්න බැරි උනා නේ. මේ මල්ලි කුමාරයාට ලස්සනට ගීත ගායනා කරන්න හැකියාවක් තියෙනවා. මල්ලි සිංදු කියනකොට අහල කදු පන්තිය වටේට දෝංකාරය දෙනවා.

ඔන්න මේ අතපය කපා දාපු මල්ලි කුමාරයා ඔන්න ඔහොම දවසක් සිංදු කිය කියා ඉන්නකොට දිව්‍යලෝකයේ ඉදලා ආපු සුරංගනාවියෝ කට්ටියකට මේක ඇහෙනවා. මේ කට්ටිය මෙච්චර ලස්සනට සිංදු කියන්නේ කවුද කියලා හොයන්න මේ මල්ලි කුමාරයා ඉන්න දිහාවට එනවා.

එතකොට මේ අත් කකුල් කපාදාලා ඉන්න මල්ලි කුමාරයාව මේ අයට පේනවා. කේ වගේ අතපය කපා දාන්න හේතුව මල්ලි කුමාරයාගෙන් සුරංගනාවියෝ අහනවා. එතකොට මල්ලි මේ විස්තරේ කියනවා.

මෙහෙම කතා කලාට මොකද මේ මල්ලිට සුරංගනාවියෝ පේන්නේ නෑ. මල්ලි කියනවා "මට ඔයාලව පේන්නේ නෑ. මට පේන්න එන්න පුලුවන්ද " කියලා. එතකොට අර සුරංගනාවියෝ තමන්ගේ උතුරු සලුව ගලවලා බිම දානවා.

ඔන්න එතකොට මේ මල්ලි කුමාරයාට මේ කටියව පේන්න ගන්නවා. ඊට පස්සේ මල්ලි කුමාරයා මොකද කරන්නේ මේ සළු ටික එකතු කරගන්නවා. එකතු කරගෙන සුරංගනාවියෝ කොහේද යන්නේ කියලා කිව්වොත් විතරයි මේ සලු දෙන්නේ කියලා පොඩි තර්ජනයක් කරනවා.මොකද අර සුරංගනාවියන්ට උතුරු සලුව නැතුව තමන්ගේ විමානෙට යන්න බෑලු.

එතකොට මේ සුරංගනාවියෝ කියනවා අපි මේ මල් කඩාගෙන සිරිපාදේ වඳින්න යනවා කියනවා. ඉතින් මේ මල්ලි කුමාරයාටත් ඕන වෙනවා සිරිපාදේ වඳින්න. එතකොට සුරංගනාවියෝ තමන්ගේ අතේ තියෙන මල් එකින් එක හලාගෙන සිරිපාදෙට යන පාර සටහන් කරලා දෙනවා.

ඔන්න ඕකයි සිරිපාදේ හොයා ගත්ත කතාව.


ඔන්න මම් ඔයාට උන පොරොන්දුව ඉස්ට කලා !!!!

5 comments:

  1. වෙනදා වගේම නියම ලිපියක්.

    මේ ලිපිය කියෙව්වට පස්සේ අපේ අම්මා මට කියා දීපු ජන කතාවක් මතක් උනා. වෙලාවක් තිබ්බොත් ඒක මෙතන කමෙන්ට් කරන්නම්.

    ReplyDelete
  2. මධු...

    ඒක හොදයි. එතකොට මමත් නොදන්න දේ අලුත් දේ දැනගන්නවා.

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. නියමයිනේ. දිග වැඩි කෙසේ වෙතත් දැනුම වැඩි වුනානේ. මගෙයි මේක බලන හැමෝගෙමයි. ඒක වටිනවා ගොඩක්.

    ReplyDelete
  5. "කැළණි නදියෙහි ඉවුරේ මහා මුහුදට ආසන්නයේ පිහිටි කල්‍යාණ රට රාජ කුමාරවරුන් දෙදෙනෙකු අතර ඇතිවී යයි කියන මහා සටන මැඩ පවත්වීම රටේ පාලකාදීන්ටද මහත් ප්‍රශ්ණයක් වී තිබුණි. එබැවින් මණිඅක්ඛික මහා රාජවරුන්ගේ මැණික් පිළිබදව ඇතිවූ මේ ආරවුල විසදීම සදහා බුදුන් වහන්සේ සිරිලකට වැඩම කලහ. කැළණි රජමහා විහාරය පිහිටි බිමේ සිට කුමාරවරුනට අවවාද අනුශාසනා කොට ඔවුන්ගේ ගැටඵව නිරාකරණය කලහ"

    නාග ගෝත්‍රික රජුන් දෙදෙනෙක් වෙන චූලෝදර මහෝදර කියන බෑණා සහ මාමා අතර ගැටුම සිද්ධ වෙන්නේ කැලණියේ නෙමෙයි නාගදීපයේදී.

    බුදුන් වහන්සේ ඒ ගැටුම නිරාකරණය කරලා දහම් දෙසද්දී බුදුන් සරණ ගිය කැලණියේ නා රජු වුණු මණිඅක්ඛික නා රජතුමා තමන්ගේ ප්‍රදේශයටත් වැඩම කරන්න කියලා කරපු ආරාධනාවකට තමා බුදුන් වහන්සේ කැලණියට වැඩම කරන්නේ

    "මේ කාරණාව නිසා බුදුන් දා සිටම ශ්‍රී පාදස්තානය හා කැළණිය පූජනීය ස්ථාන විය. රාමායනයේ කියන ආකාරයට සමන් දෙවිදු රාම කුමාරයාගේ සොහොයුරාය.
    සමන් දෙවිදුන් සුමන යන නමින් දක්වා ඇත. සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරලීමේ කාර්යය විෂ්ණු දෙවියන්ට භාරව පැවතුණ කාර්යයකි. ඒ භාරදුර කාර්යයෙන් යුතුවූ විෂ්ණු සමන් දෙවියන්ට ශ්‍රී පාදස්ථානය බාර දුන් බව ජනප්‍රවාදයෙහි සදහන් වේ."

    බුදු සසුන හා ලංකාවේ රැක ගැනීම බාර කෙරුනේ උපුල්වන් දෙවියන්ට කල් යාමේදී උපුල්වන් හා විෂ්ණු එක් දෙවියෙක් බවට පත්වුණු අතර උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු ලෙස හඳුන්වන්නට වුණා

    සමන් දෙවියන් යනු කවුරුන්ද කියන එක ගැන මේ ලිපියේ විස්තරයක් තිබෙනවා

    http://eatuwawa.blogspot.com/2010/10/blog-post_22.html

    "සමණල කන්ද පාමුල මල් උයනක සිටි නොන්ඩියෙකුට දෙව්ලියන් ශ්‍රී පාදස්ථානයට යන මග පෙන්වාදුන් බව කියවේ."

    රජතුමාගේ මඟුල් උයනෙන් හොරෙන් මල් කඩා ගෙන යන හොරුන් ඇල්ලීමට සිටි කොරාටයි ශ්‍රී පාදස්ථානයට යන පාර දේවතාවියන් කියන්නේ.

    ඒ කොහොම නමුත් ඊටත් පෙර කාලයේ ඉදන්ම ශ්‍රී පාදය වන්දනා කරපු බවට සාධක තිබෙනවා. 1 විජයබාහු රජතුමා ශ්‍රී පාදයේ යන වන්දනාකරුවන්ගේ පහසුවට ගම්වර පිදූ බව කියවෙනවා

    ReplyDelete

කියවලා බලලා හිතට දැනෙන අවංකම දේ මෙතන කුරුටු ගෑවොත් ඒක මට ලොකු ශක්තියක්. ඒ නිසා ඔයාලගේ හැගීම් වචන වලට පෙරලන්න අමතක කරන්න එපා...!!!!!