Monday, September 26, 2011

අපූරු සිංහලෙයක්

අපේ ‍රටේ සිංහලයන් ඉංග්‍රීසි අධිරාජ්‍යවාදී සුද්දන්ට බියෙන් හිටපු කාලෙක පොලිස් හමුදාවේ බලය පිත්තල බොත්තමක් තරමටවත් ගණනකට නොගත් අභිත සිංහලයෙක් කන්ද උඩරට වාසය කලා. ඒ මීට වසර එකසිය හතලිස් ගණනකට ඉහතදී.  ඔහුගේ අභීත කම ඉදිරියේ නැගී සිටින්නට තරම් පොලිස් හමුදාවේ ශක්තිමත් පුද්ගලයෙකු හිටියේ නැති තරම්.  සමහර අවස්ථාවලදී පොලිස් හමුදාවට හසුවී මොහු ඔවුන්ගෙන් ගැලවී යන්නේ කවුරුත් නොසීතන අන්දමකට.  එක් වරක් යොදාගත් උපාය ඊලග අවස්ථාවේ යොදා නොගන්නට තරම් ඔහු බුද්ධිමතෙක්.  මම මේ කියන්න හදන්නේ වෙන කවුරුත් ගැන නොවෙයි උතුවන් කන්දේ සරදියෙල් ගැන.

සරදියෙල් බොහෝ දෙනෙක් අතර ප්‍රසිද්දියට පත්වන්නේ අන්ත සොර දෙටුවෙකු විදියට.  නමුත් ඔහුගේ තිබුණ ගතිගුණ අසන්නන්ට ඇති කරවන්නේ ඔහු ගැන කලකිරීමක් නම් නොවෙයි.  ඇත්තටම කියනවා නම් අපේ සරදියෙල්ද ක්‍රියාවෙන් හා පැවැත්මෙන් රොබින්හුඩ් කෙනෙක්.

සරදියෙල් අනුන්ගේ වස්තුව කොල්ලකාගත් බව ඇත්ත.  නමුත් ඒවා කොල්ල කා ගෙන එයින් සැප විදීමේ පහත් මානසිකත්වයක් ඔහුට තිබුනේ නැහැ.  තමන් ඇබ්බැහි වෙලා හිටපු සූදුවට අවශ්‍ය මුදල් හැරුණු විට අනෙක් හැම සතයක්ම ඔහු දුගී දුප්පත් ජනතාවට බෙදා දුන්නා.  ඔහු සූදුවට ඇබ්බැහි වෙලා හිටියේ ඉන් ඔහු මහත් විනෝදයක් ලබපු නිසා. සූදුවෙන් දිනපු මුදල් පවා ඔහු දුප්පත් මිනිසුන්ට බෙදා දුන්නා.

කෙනෙක්ගේ මූලික අධ්‍යාපනය සාර්ථක හෝ අසාර්ථක නිසාම ඔහුගේ මතු අනාගතය විසදේවි යයි කිවුවත් සරදියෙල් කෙරෙහි නම් ඒ කාරණය ඒ ආකාරයෙන් බලපෑවාද කියන්න අමාරුයි.  ඔහු මුලින්ම අකුරු ඉගෙනීම කලේ දක්ෂ භික්ෂූන් වහන්සේ නමකගෙන්.  ඉගෙනුමට ඔහුගේ තිබූ දක්ෂබව එහිදී හොදින්ම පැහැදිලි වුනා.  අයුක්තියට අසාධාරණයට විරුද්ධව නැගී සිටින්නට ඔහු කුඩා කාලයේ ඉදලම පුරුදු පුහුණු වෙලා හිටියා.  මේ අවංක කම නිසාම ඔහුගේ ඉගෙනීමත් කඩාකප්පල් වුන බව සිතන්නට පුළුවන්.  පන්සලේ ඉගෙන ගන්න එන දිළිදු දරුවන්ට රදළ පවුල්වල දරුවන්ගෙන් විදින්නට වෙන අකටයුතුකම් ඉවසාගෙන ඉන්නට නොහැකිව සරදියෙල් කුළුමීමෙක් වගේ රදල දරුවන්ට පහර දෙන්නට වුනා.  මෙයින් ඇතිවුන ප්‍රථිපලය ඔහුට මුළු ජීවිත කාලයේදීම විදින්නට සිදු වුනා.

සරදියෙල්ගේ පියා කරත්ත රස්සාවෙන් ජීවත් වෙච්ච දුප්පත් අහිංසක ගැමියෙක්.  ඔහු නමින් අදාසි අප්පු.  මව නම් රජ පෙළපතකට නෑකම් කියන කාන්තාවක් බවත් සදහන් වෙනවා.  අවසන් සිංහල රජුගේ අන්තංපුරයට අයත්ව සිටි ඉංග්‍රීසීන් විසින් අල්ලා ගැනීමෙන් පසුව නිදහස ලැබූ කාන්තාවක් සිටියා.  මේ ඉන්දියානු කාන්තාව සිංහලයෙකු හා විවාහ වීමේ ප්‍රතිපලයක් විදියට තමයි පිච්චොහාමි උපන්නේ.  ඇය සරදියෙල්ගේ මවයි.  අදාසි අප්පු පිචෝහාමි එක්ක විවාහ වීමෙන් පස්සේ ලැබූ දරුවන් පස්දෙනාගෙන් 1820 මාර්තු 20 වෙනිදා උපන් සරදියෙල් වැඩිමල් දරුවා වුනා.

සරදියෙල්ගේ පියා ඔහු කුඩා කාලයේදිම ඉතාමත් අසාධ්‍ය ලෙස රෝගී වුනා.  ඔහුගේ රෝගයට බෙහෙත් හේත් කරන්න ඉතිරි කරගත් මුදලක්වත් ඔවුන් ලග තිබුනේ නැහැ.  පවුලේ වැඩිමලා වුන සරදියෙල්ට මේ සදහා කැප වෙන්නට සිදු වුනා. තමන් දන්නා අදුනන ධනවත් මිනිසුන්ගෙන් ආධාර උපකාර ඉල්ලා සිටි නමුත් එයින් කිසිම වැඩක් වුනේ නැහැ.  සුළු ආධාරයක් පවා ලැබුණා නම් ලැබුනේ දිළිදු මිනිසුන්ගෙන් ම විතරයි.  සරදියෙල්ට ධනවත් මිනිසුන් හා වෛර බැදගන්නට සිදුවුනේ මේ සිද්ධිය නිසා බවයි කියන්නේ.  දිළිදු මිනිසුන් කෙරෙහි කරුණාවක් ඇති වුනෙත් මේ සිද්දිය නිසාම බවයි මතය.

තමන්ගේ දියණියට දායාද දිම සදහා අවුරුදු ගණනාවක් තිස්සේ බලවත් දුෂ්කරතාවයන් මැද රුපියල් පන්සීයක් එකතු කරගෙන තම ගම් බිම් බලා යන පහත රට මිනිසෙක් ගමන් මහන්සිය නිවා ගන්නට කඩුගන්නාටව නුදුරුව ගසක් යට වාඩි වී සිටියා.  සූදුවට යාමට අවශ්‍ය මුදල් නැතිව ලතවෙවී හිටිය සරදියෙල් හදිසියේම එතැනට පැමිණියා.  “යාළුවා, සරදියෙල් කියන්නේ මං තමා.  තමුන් ලග කොපමණ මුදල් තියෙනවාද,

“මං ලග මුදල් නම් තියෙනවා. ඒත් ඒ මුදල්  ගැන කතාන්තරය කියන තෙක් ටිකක් ඉවසන්න..කී මිනිසා දුක්මුසු විලාසයෙන් ඔහු මුදල් එකතු කල අන්දමත් ඒ මුදල් කුමන කාරණාවකටදැයි යන්නත් සරදියෙන් හා කිව්වා.  ‍ඔහු කතාව තේරුම් ගත්තාක් මෙන් ඔළුව වැනුවා.  හොදයි රුපියල් පන්සීය මට දියන්. හෙට මේ වෙලාවට මෙතැනට එන්ට ඕනෑ.  යයි කියමින් සරදියෙල් යන්නට ගියා.  තම ජීවිතය වැනි දියණිය වෙනුවෙන් රෑ දහවල් නොබලා එකතු කල මුදල ගගට මුහුදට දැමුවාක් මෙන් බලාසිටිය නොහැකි වූ ඒ මිනිසා විලාප තබමින් හඩන්නට පටන් ගත්තා.  ඔහුගේ දුක් මුසු කතාන්තරය ඇසු ගැමියෝත් දුක් වුනා.  නමුත් ඔවුන් කා අතරත් එක් විශ්වාසයක් නම් තිබුනා.  ඒ නම් සරදියෙල් හෙට ඒ කියූ වෙලාවට කොහෙන් හෝ මුදල් හොයාගෙන විත් දිය හැකි බවයි.  යම් විදියකින් ඒ කියන වෙලාවට සරදියෙල් නාවොත් ඒ මුදල ගම්මුන් විසින් එකතු කර දෙන්නටද පොරොන්දු වුනා.

සරදියෙල් කී නියම වෙලාවට යට කියන ලද මිනිසා පැමිණියා.  ඔහු පුදුමයෙන් පුදුමයට පත් වුනා.  සරදියෙල් නියම වෙලාවට ඔහු ඉදිරියේ පෙනී සිටියා.

“යාළුවා මෙන්න ඊයේ ගත්ත රුපියල් පන්සීය.  මෙන්න තවත් රුපියල් පන්සීයක්.  පරෙස්සමින් ගෙදර පලයන්...කියමින් තමාගේ අතවැසියන් දෙදෙනෙක්ද ඔහුගේ ආරක්ෂාවට පිටත් කොට හැරියා.

සරදියෙල් තමන්ට කරන්නට හිතුන ඕනෑම දෙයක් කරන පුද්ගලයෙක්.  එක් අවස්ථාවක ඔහු අරනායක බීම සාප්පුවකට ගොඩ වැදුනා. බීම සාප්පු කාරයා සරදියෙල් දැකලා නොදැක්කා වගේ හිටියා.  සරදියෙල් ඔහු කලින් ගෙනැත් තබා තිබු දෙයක් ගෙනයන්නාක් මෙන් ඔහුට උවමනාකල මුදල් ප්‍රමාණයත් අරක්කු බෝතල් ගනනාවකුත් ගෙන එතැනින් යන්න ගියා.  සරදියෙල් ගැන නොයෙක් කතා ඇසීමන් හා දැකීමෙන් රේන්ද කාරයා පළපුරුදු කෙනෙකු වුනා.  එනිසයි ඔහු ඇස් කන් පියාගෙන සිටියේ.  නමුත් බොහෝ දෙනෙක් සරදියෙල් මේ වගේ ක්‍රියාවන් කරන්නේ යම් කිසි මන්ත්‍රබලයක්, භූත විද්‍යාව ගැන දැනුමක් ආධාරයෙන් යයි සිතුවා.  වෙඩි නොවැදී සිටින්නට තරම් බලවත් මහා පුදුම බෙහෙතක් නිතර ඔහු ඉනෙහි සගවා ගෙන සිටි බවක්ද කියවේ.  දහවල් කාලයේදී අනෙක් අයට නොපෙනෙන්නට සිටින්නට ඔහු ශක්තිය ලැබුවේ භූත විද්‍යාව හා මන්ත්‍ර ආධාර කරගෙන බව ගැමියන්ගේ විශ්වාසය වුනා.

කරවනැල්ලේ විශාල වතුයායක් අයිති ධනවත් පුද්ගලයෙක් සිටියා.  ඔහු සරදියෙල් ගැන කාලයක ඉදන් අසා දැන සිටි නිසා තරමක බියක් ඇතිවයි හිටියේ.  ඔහුගේ බිය නිකම් ඇතිවුන එකක් නොවෙයි.  මන්දයත් සරදියෙල් මේ සුද්දාගෙන් මුදල් පැහැරගන්නට මාන බලමින් සිටි නිසාය.  සරදියෙල්ගේ අතමිට හිග වුනා.  මුදල් ලබා ගැන්මට වෙන ක්‍රමයක්ද නොවූ නිසා ඔහු සුද්දාගේ ගෙයි පිටිපස්සා පැත්තෙන් ඇතුළු වුනේ යම් කිසි හෝඩුවාවක්ද ලබාගන විය හැකියි. ගෙට ඇතුළුවී දෙවැනි කාමරය පසු කරන විට ඔහුට තුවක්කුව තිබෙන කාමරය පෙනුනා. පිස්තෝලයකුත් එහි වූ ඇදේ කොට්ටය යට තිබුනා.   පිස්තෝලය හා තුවක්කුව රැගෙන ඔහු බරාදයට ගියේ කිසිදු බියක් නැතිවමයි.  සුද්දා එහි සිටියා.

“මහත්තයා මට රුපියල් එකසිය පනහක් දෙන්නැයි .....සරදියෙල් කිව්වා.  සුද්දා තුල වූ සැකය නිම්හිම් නැති වුනා.  තමාගේ තුවක්කුව හා පිස්තෝලය අතට ගෙන සිටින සොරාගෙන් ඔහුට සිදුවිය හැකි විපත ගැන හොදින් වැටහුනා.

“උඹට උවමනා රුපියල් එකසිය පනහද?? ඔහු ඇසුවා.
“ඔවු මහත්තයා මම දුප්පත් මිනිහෙකුගෙන් ඉල්ලාගත් ණයක් දෙන්න තියෙනවා. ඒක දෙන්න රුපියල් එකසිය පනහක් විතරය මට ඕනෑ. සුද්දා කිසිම කතාවක් නැතිවම රුපියල් එකසිය පනහක් දී සරදියෙල්ගේ වියදමටද තවත් රුපියල් කිහිපයක් දුන්නා.

“මහත්තයා...මේ වත්ත කෙළවර තියෙන අගල ලගට මම තුවක්කුවත්, පිස්තෝලයත් ගෙනැත් තියන්නම්. කෙනෙකු ලවා ඒවා ගෙන්නා ගන්න...කියමින් ඔහු යන්නට ගියා.

තවත් අවස්ථාවක හෙට්ටියෙකු මරා ඔහුගේ මුදල් පැහැරගැනීමේ චෝදනාවකට සරදියෙල් සිරභාරයට ගනු ලැබුවා.  නමුත් ඔහුට විරුද්ධව සෑහෙන තරම් සාක්ෂි නොතිබීම නිසා අධිකරණයෙන් ඔහු නිදහස් කරනු ලැබුවා.  දිළිදු හෝටල් කාරයෙකුට කල අයුක්තියක් නිසා වෙළෙන්දෙකු මරා ඔහුගේ මුදල් ගෙන හෝටල් කාරයට දීමට සරදියෙල්ට සිදුවුනා.  වෙළෙන්දා මැරීමේ චෝදනාවට සරදියෙල්ව නැවතත් ඇල්ලීමට උත්සාහ ගත් නමුත් ඒ තැත ව්‍යර්ථ වුනා.  තවත් අවස්ථාවක ඔහුගේම හිතවතෙකුගේ ඔත්තුවකට සරදියෙල් පොලීසිය අතට අහුවුනා.  නමුත් එයින් ගැලවී  පලාගියේ ඉතාමත් විශ්මයජනක අන්දමිනුයි.  පොලිස් නිලධාරියා විසින් මාංචු දමා සරදියෙල්ව ගෙනයනු ලැබුවා.  ඔහු එතරම් දරදඩු ගතියක් නොපෙන්වා කුළුපගවී සිටියා.  කෙතරම් කුළුපගවුනාද යත් තමාගේ මුදල් දී පොලිස් නිලධාරීන් සදහා අරක්කු ගැලුමක්ද ගෙන්නුවා.  පොලිස් රාළහාමිලාට පදම් වනතුරු පෙරැත්ත කරකර අරක්කු පොවන්නට සරදියෙල් අමතක කලේ නැහැ.  ඔවුන්ට වෙරි වී ඒ තැනම වැටී නිදන්නට වූයෙන් සරදියෙල් මාංචු පිටින්ම පලාගොස් තමා දන්නා අදුනන කම්මල් කාරයෙකු ලවා මාංචු කප්පවා ගෙන වනයට වැදුනා.

තවත් වරෙක සියයකට නොඅඩු පොලිස් හමුදාවක් සරදියෙල් සැගව සිටි ගෙය වටකලා.  දෙපක්ෂයම වෙඩි තැබුවා.  සරදියෙල්ට තැබූ වෙඩි වලින් ඔහුට තුවාල වුනා.  පොලිස් භටයින් ගනනාවක්ද තුවාල වුනා.  තත්වය නරක අතට හැරෙනු දුටු පොලිස් නිලධාරීන් ගෙට ගිනි තැබුවා.  නමුත් සරදියෙල් හෝ ඔහුගේ සහායකයා වූ මම්මලේ හෝ එහි සිටියේ නැහැ.  ඔවුන් වහල සිදුරු කරගෙන පැන ගොස් තිබුනා.

පොලිස් ඇසට වැලි ගසමින් දිගින් දිගට සරදියෙල් අතින් වූ මනුෂ්‍ය ඝාතනයන් ඉවසිය නොහැකි වූ මහනුවර ඒජන්ත තැන කොළඹ නිලධාරීන්ට දන්වා සරදියෙල් අල්ලා ගැනීම සදහා විශේෂ භට පිරිසක් එවන ලෙස ඉල්ලා සිටියා.  මේ බව දැනගත් සරදියෙල් සැගවී සිට තැපැල් ගෙන යාම සදහා වූ අශ්ය කෝච්චියට ගිනි තැබුවා.

කරවනැල්ලේ පිහිටි විශාල වතුයායක සේවය කරන කම්කරුවන්ට මාසික වැටුප් ගෙනයනු ලබන්නේ කොච්චියෙනි.  මේ බව දැනගත් සරදියෙල් දුම්රිය පිළිබදව නිශ්චිතවම තොරතුරු දැනගෙන සියලු මුදල් සොරාගෙන තමන්ට අවශ්‍ය තරම් ප්‍රමාණය ගැනීමෙන් පසුව ඉතිරි මුදල් වත්තේ කම්කරුවන් අතර බෙදා හැරි බවද කියවේ.

කෙලවරක් නොමැතිව කෙරුනු දාමරික ක්‍රියා හා මිනි මැරීම් නිසා ඔහු ඇල්ලීමට කරන ලද උත්සාහයන්ද ඉක්මනින්ම ක්‍රියාත්මක වුනා.  නමුත් සරදියෙල් ලගට පණ ඇති මිනිහෙක් නම් ලංවෙන්නට කැමති වුනේ නැහැ.  සිය ගණනක් වූ පොලිස් හමුදාව හා සාමාන්‍ය වැසියන්ගේද උදව් ඇතිව අවසන් වරට කරන  ලද වටලෑමේදී ඔහු අල්ලා ගන්නට හැකි වුනා.  සරදියෙල් පොලීසියට කොටුවන විට හතරදෙනෙකු ඔහු අතින් මියගොස් සිටියා.

මිනී මැරීමේ චෝදනා ගනනාවක් පිට 1864 මැයි 07 වෙනිදා සරදියෙල් එල්ලා මරණ ලදී.  ඔහුගේ සගයා වූ “මම්මලේ ටද අත්වූයේ ඒ ඉරණමමයි.


ප.ලි.  මෙම ජායාරූපය ලබාගන්නට මගපෙන්වූ විසිතුරුට බොහෝම පිං!!!!

3 comments:

  1. නියම ලිපියක්.
    සූර සරදියෙල්ට වෙඩි වදින්නේ නෑ කියලා මම් අහලා තියෙනවා. එහෙම වෙන්නේ එයා සුරේකට දාගෙන ඉන්න තෙලක බලක් හින්දා ලූ. සමහරු කියනවා ඒ තෙල් පුරවපු සුරය අතක හමක් පලලා තැන්පත් කරලා තියෙනවා කියලා.

    ඒත් ඒවා මත විතරයි. වීරයෙක් වටා ඔඅය වගේ කට කතා ගෙතෙන එක සාධාරණයි.

    ReplyDelete
    Replies
    1. හාමුදුරු නමකගෙන් ලබා ගනිපු හෙණරාජ තෛලය කකුලේ වළලුකර ආසන්නයෙන් හම කපා ඇතුලට දමා තිබුණු නිසා සරදියෙල්ට තබන වෙඩි නොවැදුණු බවයි කියවෙන්නේ

      මේ රහස දැනගත්තු සරදියෙල්ව පාවා දුන්නු එයාගේම සගයෙක් වුණු සිරිමලා මේ ගැන ඉංග්‍රීසින්ට කීමෙන් රන්වලින් තනපු උණ්ඩයකින් කරපු වෙඩි තැබීමකින්ලු හෙණරාජ තෛලයේ බල බිඳිලා සරදියෙල්ට තුවාල වෙන්නේ

      Delete
  2. සරදියෙල් පුංචි කාලෙ ඉඳන් අහපු කතන්දර වලින් මගෙ හිතේ මැවිලා තිබුනෙ ගොඩක් උස මහත හැඩි දැඩි පුද්ගලයෙක්.

    නමුත් සරදියෙල් ඇත්තටම හීන්දෑරි, වේගවත් ක්‍රියාශීලී පුද්ගලයෙක්. ඒ වගේම ඔහු බුද්ධිමට්. නමුත් ඔහුගේ තිබූ ආවේගශීලී ස්වභාවය තමයි මම දුර්වලකමක් විදියට දකින්නෙ.

    http://www.divaina.com/2011/05/08/feature20.html

    සරදියෙල්ගේ සේයා රුවක් ඔය ලින්ක් එකෙන් ගියාම හොයා ගන්න පුළුවන්

    ReplyDelete

කියවලා බලලා හිතට දැනෙන අවංකම දේ මෙතන කුරුටු ගෑවොත් ඒක මට ලොකු ශක්තියක්. ඒ නිසා ඔයාලගේ හැගීම් වචන වලට පෙරලන්න අමතක කරන්න එපා...!!!!!