Saturday, June 23, 2012

අහන් ඉන්න - අහගෙන ඉන්න,



“මේ සත්‍ය කතාවක්. සත්‍ය නිසාම ටිකක් දුෂ්කරයි.  මගේ දරුවා වැනි දරුවන් ඇති දෙමවිපියන්ගෙන් අවුරුදු ගණනක සිට මා වෙත ගලා ආ ලියුම් රාශිය නිසා කෙතරම් වේදනා ගෙන දෙන්නක් වුවත් මේ කතාව කිවයුතු කාලය පැමිණ ඇති බව මම සිතමි.  මට ලැබුණ අර ලියුම් වලින් ප්‍රශ්ණ 2ක් අසා තිබුනි.  ඔවුන්ගේ ඒ දරුවන්ට ඔවුන් කුමක් කල යුතුද යන්න එක් ප්‍රශ්ණයකි.  එවැනි දරුවන් නිසා ඇතිවන ශෝකය විද දරා ගන්නේ කෙසේද යන්න අනික් ප්‍රශ්ණයයි.

පළමුවන ප්‍රශ්ණයට මා පිළිතුරු දෙන්නේ මා කල දෙය ඔවුන්ට පැවසීමෙනි.  එහෙත් දෙවැනි ප්‍රශ්නයට පිලිතුරු සැපයීම ඊට වඩා දුෂ්කර කාර්යයකි.  මා එසේ කියන්නේ කෙසේ හෝ මුහුණ පෑ යුතු ශෝකයක් විද දරා ගන්නේ කෙසේදැයි යන්න තම තමන් තනියෙන්ම උගත යුත්තක් බැවිනි.  එසේමවිද දරා ගැනීම පමණක් ප්‍රමාණවත් නොවේ.  ඇතැම් විට විද දරා ගැනීම කටුක වූත් වේදනාකාරී වූත් අනුන්ගේ ජීවිත විනාශ කරන සුළු එකක් විය හැක.

මේ කතාව ලිවීමට මා අවසාන වරට තීරණය කරගත්තේ මගේ දරුවාගේ ජීවිතයෙන් ඇගේ පරම්පරාවට යම්කිසි වැඩක් කරදීම සදහාය.  මගේ දරුවා වැනි සියලුම දරුවන්ට ආධාර දීම සදහා විශාල ව්‍යාපාරයක් මෙකට රටේ පටන් ගෙන ඇත.  මානසික දුබලතාවයක් ඇති තැනැත්තා මිනිස් පවුලේම කොටසක් හැටියට පිළිගැනීමට නුවණැති පිරිමින් හා කාන්තාවන් පටන් ගෙන තිබේ.  එසේම ඔවුන්ගෙන් සමාජයට යම්කිසි වැඩක් වීම සදහාත් ඔහුගේ ජීවිතය සතුටු කරවනු වස් ඔහුට ගැලපෙන අන්දමින් අධ්‍යාපනයක් ලබාදීමත් ආරම්භ කර ඇත. මේ සදහා මූලික පර්යේෂන කලයුතුව ඇත.  නමුත් මගේ දරුවාට නම් මින් පලක් විය හැකියි මා නොසිතන්නේ දැන් ඇය කායික වශයෙන් වැඩීගිය ගැහැණියක් හෙයිනි.  නමුත් ඇගේ තත්වයේ සිටින අනෙක් බොහෝ කුඩා දරුවන්ටත් මතුවට එවැනි අන්දමින් උපදින දරුවන්ටත් මින් කිසියම් ප්‍රයෝජනයක් ලැබිය හැකිය.

මට මගේ දරුවා ලැබුනේ චීනයේදීයි.  එකල මම සුන්දර තරුණ කාන්තාවක්ව සිටියෙමි.  මම හැමවිටම දරුවන් ලැබීමේ භාග්‍යය ප්‍රාර්ථනා කෙලෙමි.  මා වැදූ දරුවා පළමුවන වරට මට ඇස ගැස්වීම සදහා චීන ජාතික සාත්තුකාර සේවිකාව ඇය ඔසවා මට පෙන්වද්දී මා තුල ඇතිවූ අසීමිත සන්තෝෂය තවම මට හොදහැටි මතකය.  කුඩා ඇගේ ඉන්ද්‍රියයන් මනාව පිහිටා තිබිණ.  ඇගේ කුඩා දෙනෙතින් නුවණත් ශාන්තභවත් ප්‍රකට වෙතැයි මට පෙනුණාය.  මම සාත්තුකාර සේවිකාව අමතා මෙසේ කීවෙයි.

“වයසට වඩා මෝරපු බවක් පෙනෙනවා නේද? මේ වන විට මා වැදූ ගැහැණු දරුවා ගේ වයස පැයකටත් අඩුවිය.

“ඇත්තටම ඔව්.....යයි සේවිකාව මට කීවාය.  “ඒ වගේම ලස්සනයි.  මේ දරුවාගේ යම්කිසි අමුත්තකුත් තියෙනවා.  සේවිකාව වැඩිදුරටත් ප්‍රකාශ කලාය. 

මේ වචන ගැන මම කීප වාරයක්ම කල්පනා කලෙමි.  මුලින්ම මා මෙම වචන සිහිකලේ ඉතා ආඩම්බරයෙනි.  එකල ඇය ශරීර සෞඛ්‍යෙයන් යුතුව වැඩීගෙන ආවාය.  ඇගේ වයස මාස දෙකකක් වූ විට පළමුවන වරට මගේ පැරණි මිතුරෙක් ඇය දුටු වතාව මට මතකය.  ඇය කලින් කළු උඩුරැවුලක් සහිත පිරිමියෙකු දැක නොතිබුණේය.  මොහොතක් පමණ වේලා අර පිරිමියා දෙස පුදුමයෙන් බලාගෙන සිටි ඇය ඉක්බිතිව අඩන්නට පටන් ගත්තාය. 

“පුදුමයි!!!! මගේ මිතුරා කීය.  අමුතු දේවල් හදුනාගැනීමේ හැකියාවක් ඇයට දැනටමත් තියෙනවා.

ඇගේ මනසෙහි වැඩීම නතරවූයේ කෙදිනකදැයි මම නොදනිමි.  එසේම එසේවූයේ ඇයිදැයි යන්නද අදවන තුරු මා දන්නේ නැත.  මගේ දරුවාගේ ඉන්ද්‍රියයන් විරූප වෙතැයි බියක් මා තුල හට ගැනීමට කිසිම කාරණයක් මගේ පරම්පරාවේ නොතිබුණේය.  අනාගතයේ සිදුවීමට තිබූ දේ ගැන කිසිම තරුණ මවක කෙරෙහි මට වඩා පුදුමයක් ඇතිවිය නොහැක.  මගේ දරුවාගේ යම්කිසි අඩුපාඩුවක් මට පෙනුනේ සියල්ලන්ටම වඩා පසුවයයි මට සිතේ.  ඈ ගැන පළමුවෙන්ම සැකයක් මා තුල උදාවන විට ඇගේ වයස අවුරුදු තුනකි.  ඒ සැකය ඇතිවූයේ එතෙක් ඈ කතා නොකල නිසාය.  මේ ගැන මා මාගේ මිතුරන් සමග කතා බස් කළ සැටි මට මතකය.  ඔවුන් දුන් පිළිතුර මා සනසන සුළු විය.  බෙහෙවින්ම සැනසිලිදායක විය.  නොයෙක් දරුවන් නොයෙක් වයස්වලදී කථා කරන බවත් තනියම හැදෙන දරුවන්ට වඩා ඉක්මනින් තවත් දරුවන් සමග හැදෙන දරුවා කථා කිරීමට පුරුදුවන බවත් ඔවුහු මා සමග කීහ.  ඔවුහු හොදහිත ඇති මිතුරන් කතා කරන අන්දමේ කිව හැකි හිස් සැනසිලි වදන් සියල්ලම කීහ.  මම ඒ සියල්ලම විශ්වාස කලෙමි.

මගේ දරුවාගේ මනසෙහි වැඩීම නතරව තිබෙන බව මා දැනගන්නා විට ඇගේ වයස අවුරුදු හතරකට කිට්ටුවී තිබුණාය.  මේ වනවිට ටිකක් කතාකිරීමට පටන්ගෙන සිටි ඈට තනියම ආහාර ගැනීමටත් ඇගේ ඇදුම් ඇගලා ගැනීමටත් පුළුන් කමක් ලැබී තිබිණ.  පින්තූර පොත් බැලීමට ආශා කළ ඇයට කීමට වඩා අවබෝධ කරගැනීමට හැකි වුවාය.  ඇය කරන සංඥාවලින් කතා කරන කැඩුනු වචන කිහිපයේත් තේරුම් මම දැනගත්තෙමි.

මේ කාලයේදි එක් දිනෙක මම ඇමෙරිකානු දාරකා රෝග චිකිත්සක වෛද්‍යරියකගේ  (pediatrician) කතාවක් ඇසීමට ගියෙමි.  මේ කතාවට ඇහුම්කන් දීමේදී මගේ දරුවා කෙරෙහි කිසියම් බලවත් අඩුපාඩුවක් ඇත්තවශයෙන්ම ඇතිබව මට පෙනී ගියේය.  ඇවිදීමට ප්‍රමාද වීම කථාව හුරුවීමට කල්යාම, ඇවිදීමට පුළුවන්වූ විට නිතරම පවත්නා කැළඹිලි ගතිය ආදිය රෝගයේ තදබල කම හදුන්වන ලක්ෂන බැව් ඒ වෛද්‍යවරිය පෙන්නා දුන්නාය.

මේ කතාව පවත්වා අවසාන වූ විට වෛද්‍යවරියට ගෙදරට පැමිණ මගේ දරුවා බලන ලෙස කීවෙමි.  ඊටපසු දින ගෙදරට පැමිණි ඇය වාඩිවී මගේ දරුවා දෙස බොහෝ වේලා බලාගෙන සිට අන්තිමේදී හිස සැලුවාය.
“මොකක් නමුත් වැරැද්දක් තියෙනවා......යි කී ඇය “මම දන්නේ නැහැ හරියට මොකද්ද කියලා.  දොස්තරවරු හමුවී කතාකර බලන්න....යයි පැවසුවාය.

මා ඊට පෙර නොදුටු නැතහොත් මට නොපෙනෙන රෝග ලක්ෂණ  කිහිපයක් වෛද්‍යවරිය මට පෙන්නුවාය.  මගේ දරුවාගේ සිත එක් අරමුණක පැවතුනේ ඉතාම කෙටි කාලයකට පමණි.  ඈ එහාට මෙහාට කළ දිවීම් වල බොහෝ විට කිසිම තේරුමක් නොමැති ඒවාය.  ඒවා ඉබාගාතේ අරමුණක් නැතිව කළ දිවීම් පමණකි.  පිරිසුදු නිල් පැහැයෙන් බබලන ඇගේ දෙනෙත්වල කිසිම අදහසක් හෝ තේරුමක් නොමැතිවිය.  දෙනෙත්වල වූයේ නිකම්ම හිස් බැල්මක් පමණි. 

ඊට පසුදින දරුවා පරික්ෂාකර බැලූ දොස්තරවරු මෙසේ කීය.

“මේ දරුවා අමෙරිකාවට ගෙනියන්න ඕනෑ.  දරුවාගේ අසනීපය කුමක්ද කියා සොයාගැනීමට එහි දොස්තරවරුන්ට පුළුවන් වෙයි.  දරුවාගේ යම්කිසි අඩුපාඩුවක් තියෙන බව විතරයි අපට කියන්න පුළුවන්.

අනතුරුව මෙවැනි දරුවන් සිටින මව්වරුන් හොදින් දන්නා ඒ දීර්ඝ ගමන මම ආරම්භ කලෙමි.  මගේ දරුවා සුව කිරීමට පුළුවන් යම්කිසි කෙනෙකු කොහේ හරි සිටිය යුතුය යන හැගීමෙන් මම ලෝකය පුරාම දරුවා රැගෙන ඇවිද්දෙමි.  ටිකින් ටික මගේ බලාපොරොත්තු හීනවී යන්නට විය.

අවසානයේදී මම මින් ප්‍රෙද්ශයේ රොචෙස්ටර්හි මේයෝ චිකිත්සාගාරය කරා පැමිණියෙමි.  දවස ගානේම අපි දරුවා පරීක්ෂා කරමින් භීතියෙන් කල් යැවුවෙමු.  මෙකල මා තුළ බලාපොරොත්තුවක්ද ඇති විය.  ඇත්ත වශයෙන්ම මෙතරම් තදබල පරීක්ෂාවකින් මෙතරම් ලොකු දැනුමකින් දරුවාට වී තිබෙන දෙයත් ඒ සදහා කළයුතු දෙයත් දැනගන්නට ලැබෙතැයි මම සිතුවෙමි.

අන්තිමේදි දාරක දෙපාර්තමේන්තුවේ ප්‍රධාන තැන මෙතෙක් කළ පරික්ෂනවල සියලුම වාර්තා එකතුකොට ගෙන රෝගය විනිශ්චය කලේය.  මගේ දරුවා කෙරෙහි ඇතැම් සමත්කම් තිබිණ.  විශේෂයෙන් සංගීතයට දක්ෂතාවයක් වීය.  දුෂ්කරතාවයන් මධ්‍යෙය්  කිසියම් බලවත් සමත් කමක් නැගි සිටීමට යත්න දරන බවට සළකුණු වූවාය.  එහෙත් මනස ඉතා දුබල එකක් විය.  ඒ ඇයිදැයි නොදන්නා නමුදු දරුවාගේ මනස කිසියම් අන්දමකින් නොවැඩෙමින් තිබිණ.

මම මගේ දරුවා දෑතින් ඔසවාගෙන වාඩිවී බලාසිටියෙමි.  මගේ සිතේ හටගත් තියුණු වේදනාව නහර ඇට මිදුලු විනිවිද ගොස් බලවත්සේ ශරීරය පෙළෙන්නට විය. 

“බලාපොරොත්තුවක් තැබිය නොහැකිද? මම ඇසීමි.

මේ ගැන නිසැක හැගීමක් ඒ කාරුණික වෛද්‍යවරයා තුළ ඇතැම්විට තිබෙන්නට නැත.  “මම හිතනවා තවත් උත්සාහ කරනවා නම් හොදයි කියා.  ඔහු පිලිතුරු දුන්නේය.

මා ජීවිතාන්තයතෙක් කෘතඥවිය යුතු මොහොත මෙහිදී පැමිණියේය.  මා දරුවාත් සමග ශාලාවෙන් ඔබ්බට ගමන් කරද්දී කිසිවකු නොසිටි පාලු කාමරයකින් එතරම් පෙනීමක් නැති මිනිසෙක් මට කතා කලේය.  ප්‍රධාන දොස්තර මහතා  වෙත මේ තැනැත්තා වෛද්‍ය රපෝර්තු ගෙන එනු මා කලින් දැක තිබුණේය.

“දොස්තර කිවුවද ළමයා සනීප කරන්න පුළුවන් කියලා.
“දොස්තර කිවුවේ නැහැ බැරිය කියලා...මම ගොත ගසමින් කීවෙමි.

“මං කියන එක අහනවා....යි ඔහු මට මෙහිදී කිය.  ඇත්ත මොකද්ද කියලා දැනගත්තේ නැත්නම් තමුන්ගේ ජිවිතය කාලකණ්නි කරගෙන පවුලත් මගට බස්සවන්න සිද්ධ වෙයි.  කවදාවත් ඈ සුවකරන්න පුළුවන් වෙන්නේ නෑ ඇහුනද?  මම ඒක දන්නවා.  මේ වගේ දරුවන් මං දැකලා තියෙනවා හරියට කථා කරන්නවත්, කියවන්නවත්, ලියන්නවත් කවදාවත් ඈට පුළුවන් වෙන්නේ නෑ.  මේ ගැන රැවටෙන්න එපා.  මේ දරුවා ඔබට බරක් වේවි.  ඒ බර උහුලන්න සූදානම් වෙන්න.  ඒ උනත් ඇය නිසා ඔබ කාළකණ්නි වෙන්න ඕන කමක් නැහැ.  ඇයට සතුටින් සිටීමට හැකි තැනක් සොයා එහි ඈ නවත්වා තමුන්ගේ පාඩුවේ ජීවිතය ගෙනියන්න.  මං මේ ඇත්ත කීවේ තමුන්නේ හොදට.

මේ මිනිසා නපුරු මිනිසෙකු ලෙස මට පෙනුන බව මට මතකය.  එහෙත් ඔහු නපුරු මිනිසෙකු නොවේ.  මට මෙයකීම ඔහුගේත් වේදනාවට හේතු වු බව දැන් මම දනිමි.  මා තුළ ඉක්මනින්ම ගැඹුරටම තුවාලයක් ඇතිකළ ඔහුට මම හැමදාමත් කෘතඥ වෙමි.

මම යළිත් දරුවා චීනයේම මගේ නිවසට ගෙන ගියෙමි.

මේ කතාව මට විතරක් සීමාවූවක් නොවෙයි.  බොහෝ විට සියයට බොහෝගණනක් මානසික දුබලයින් සිටී.  නැතහොත් දුබලයෙක් වෙන්නෙක් වෙයි.  එසේම මනසින් විකල හැම දරුවෙක්ම පවුලේ ශෝකයට කාරණයක්.  මානසික විකලත්වයෙන් යුතු දරුවන්ගේ දෙමව්පියන් තම තමන්ට ආධාර හා සැනසිල්ල ලබා ගනු සදහා සංවිධානය කරන ලද දෙගුරු සංවිධාන බොහෝ විට මෙකල මා දැක ඇත.  ඔවුන් වෙනුවෙන් මගේ හදවත කෙතරම් කකියන්නට ඇත්ද?  කැල්වරියට යන ඔවුන්ගේ මාර්ගයේ සෑම පියවරක්ම මම දනිමි

අවශ්‍යෙයන්ම මුහුණ දිය යුතු ශෝකය විද දරාගන්නේ කෙසේදැයි යන්න ඉගෙනීම ලෙහෙසිවැඩක් නොවේ.  මෙබදු ශෝකයක් දරා ගැනීමට වඩා මරණයට මුහුණ පෑම ලෙහෙසිය.  මරණින් කෙළවර වන බැවිනි.  මගේ දරුවා මළා නම් මීට වඩා හොද බව සිතින් සිතා හැඩූ වාර ගණන කොපමණද? මේ ශෝකය කුමක්දැයි නොදන්නා අය මගේ අර කීමට පුදුමයට පත්වුවත් එය දන්නා අය ඉන් කම්පා නොවනු ඇත.  මගේ දරුවා වෙත මරණය ළගාවූවානම් - දැන් හෝ ළගා වේ නම් මම එය සතුටින් පිළිගනිමි.  එයින් ඈ අවසානය දක්වාම ප්‍රෙව්ශම් වන බැවිනි.

එහෙත් තම දරුවන්ගේ කායික ජීවිත අවසාන කර දමන දෙමාපියන් ගැන මම අසා ඇත්තෙමි.  ඇතැම් අපරාධ වලට මරණීය දඩුවම දියයුතු යයි සමාජයේ නීති ඇත.  එහෙත් අහිංසකයන් මැරීම කළ නොහැකිය.  කිසි කලෙක නොවැඩෙන මේ දරුවන්ට වඩා අහිංසකයෝ මෙලොව නැත.  ඕනෑම අහිංසකයෙකු මැරීමේ බලය සමාජයට ඇත්නම් එහි විපාක ඉතා භයංකර වනු ඇත.  එසේනම් මුලින් මරණයට භාජනයන්නේ අසරණ දරුවන් පමණකි.  අනතුරුව අසරණ මහල්ලන්ද මැරීම යුක්ති සමගත යයි සිතිමට පුළුවන.  යුතේනේසියා අනායාස මරණය යනු ඉතා මට සිලිටු වචනයකි.  මටසිලිටු වචනවල ඇති අන්තරාව මෙහිද ඇත.

මා තුල ඇති වැටහෙන නුවණත් වගකීමුත් නිසා මගේ ජිවිතය කාලකන්නිවීමට ඉඩ නොදිය යුතු බව වැටහී ගියාය.  එහෙත් හදවත බිදුනු විට නුවණිනුත් වගකීම්වලිනුත් හැම විටම පල නොලැබේ.  සාමාන්‍යෙයන් මා ජීවිතය ගත කරන පරිදි කථාවෙන්, සිනාවෙන්, සහ සිදුවන නොයෙක් දේ ගැන ඕනෑකමක් දැක්වීමෙන් කාලය ගෙවීමට මම උත්මාහ කෙළෙමි.  එහෙත් මේ සියල්ලටම යටින් දැවෙන කැළඹීම බලවත් විය.  එසේ වුවද මගේ හැඩුම දරුවාට නොපෙන්වන්නට මම වෑයම් කෙළෙමි.  මා එසේ කලේ මා හඩනු දකිනු ඇය මා දෙස බලාගත්වනම සිට අනතුරුව සිනාසෙන බැවිනි.  හැමවිටම මගේ හදවත දෙදරා පැලී ගියේ මට තේරුම් නොගත හැකි ඇගේ මේ සිනාව නිසාය.

කරුණු මේ අන්දමින් සිදුවූයේ කෙසේද කියා මම නොදනිමි.  අවසානයේ සියල්ල විද දරාගැනීමේ ක්‍රියා මාර්ගයක් ඇති විය.  මුල්ම පියවරවූයේ සිදුවූ දෙය එලෙසින්ම පිළිගැනීමය.  මගේ දරුවාට කිසි කලෙක නොකල හැකි දේ අසල්වැසියාගේ නිරෝගී කුඩා දුව කරනු දැකීම කණගාටුවෙන් වේදනාවෙන් පතුලටම මා තල්ලු කර දැමීමට පොහොසත් විය.  එහෙත් මේවා ඉවසා දරා ගැනීමට මම ඉගෙන ගත්තෙමි.  දරුවාගේ අනාගතය සදහා හා කුමක් කළ යුතුද යන්න කල්පනා කිරීමට මෙහිදී මම පෙළඹුනෙමි.  මා සමග ජිවත්වීමෙන් දරුවාට රක්ෂාවරණයක් ලැබිය හැකිව තිබිනි නම් මා ළගම ඇය ඉදීම ඉතාම හොදයයි මට වැටහෙනු ඇත.  මා එසේ කියන්නේ මට වඩා හොදට ඇය තේරුම් ගැනීමට හෝ ඇය වෙනුවෙන් මට වඩා හොදට යමක් කළ හැකි හෝ අන් කිසියෙකු ඇතැයි මම නොසිතූ නිසාය.  එහෙත් මා තරුණ කාලයේම මළොත් ඇයට වන්නේ කුමක්ද?  ලෝකය අසරණයින් සදහා හැඩගැසී තිබෙන්නක් නොවේ.  එහෙයින් කළහැකි හොදම දෙය වූයේ ඇය මගේ රටවූ ඇමෙරිකාවට ගෙන ගොස් එහි කිසියිම් ආයතනයක නැවැත්වීමයි.  ගෙදරින් පිටවන ඈ එහෙදී තනියම ඊට සුදුසු අන්දමින් හැඩගැසෙනු ඇත.  මීට හේතුව තේරුම් ගැනීමට ඇය අපොහොසත් වෙයි.
 ව්‍යාකූලත්වයත් දුකත් නිසා ඉවසිය නොහැකි පරිදි ඈ කැළඹෙනු ඇත.  මා ආධාර දෙන අතරම ඇයට හැකි පරිද්දෙන් හැඩගැසීමට ඉඩදීම දැන් කරන්නට තිබෙන හොදම දේ බව මට වැටහී ගියාය.  ගෙදරින් පිටව අළුත් නිවාසයට යන ඇය මා නිතරම ළග සිටින නිසාත් නිතර නිතර ඈ බැලීමට යන එන නිසාත් එහි පරිසරයට ඔබින පරිද්දෙන් හැඩ ගැසෙනු ඇත.

මගේ සිතේ පැවති මේ අදහස එක්තරා සුළු සිද්ධියක් නිසා බෙහෙවින්ම ස්ථිරවූවාය.  ගෙදර අසල ඇමෙරිකානු අසල්වැසියෙකුට මගේ දුවගේ වයසේම දුවක් සිටියාය.  ඔවුන් හැම විටම උනුන් හා කණ්ඩායම් වශයෙන් සෙල්ලම් කලෝය.  එසේ වුවද ඒ කුඩා ගැහැණු ළමයා මෙසේ කිය.  “අපේ අම්මා කියනවා අනිත් පාර මගේ පාටියට ඔයාගේ අසරණ දුව ගන්න එපා කියලා..

ඇත්ත වශයෙන්ම අනික් වතාවේ පැවැත්වූ පාටියට මගේ දූ වෙනුවෙන් ආරාධනාවක් නොලැබිණ.  මගේ දරුවා කොන්වීමට පටන්ගත් බව මට පෙනුනේය.  එහෙයින් මගේ දරුවාට වෙන කිසියම් ලොකයක් ඇය පිළිකුල් කොට හෙළා නොදකින ඇගේ තත්වයේම යහළුවන් සිටින ඇගේ ප්‍රමාණය අනුව ක්‍රියා කළ හැකි ලෝකයක් සෙවිය යුතු බව මට වැටහිණ.

දරුවා කිසියම් ආයතනයක නැවැත්වීමට පෙර ඇගේ දස්කම් ඉතා හොදින් විභාගකර බැලීමට මට සිතුනාය.  මා එසේ සිතුවේ ඇගේ අනාගත ජිවිතය සදහා ඉතාම සුදුසු නිවාසය තෝරා ගැනීමටය.  අවුරුද්දක් මැය පරීක්ෂණයට භාජනය කල යුතු යයි සිතූ මම ඒ කාලය තුළදී ඇයට කියවීමටත්, ලිවීමටත්, සංගීතයට  ඈ ඇලුම් හෙයින් වැයීමට හා කුඩා සින්දු ගැයීමටත් ඉගැන්වීමට තීරණය කලාය.

මගේ දරුවාට කුඩා වගන්ති කියවීමට පුළුවන් බව මට තේරුනි.  ඇගේ නම මහත් වෑයමෙන් ලිවීමටද කුඩා සින්දු ගැයීමටද ඇයට පුළුවන් විය.  තවත් දුරට ඉගෙනීමේ කටයුතු ගෙනයාමට පුළුවන් වෙතැයි මම සිතුවෙමි.  එහෙත් එක් දිනක් ඇයට අකුරු ලිවීම පුහුණු කරවනු සදහා ඇගේ අතින් අල්ලාගෙන මා ලියවත්දී ඇගේ කුඩා අත දහඩියෙන් තෙමී ගොස් තිබෙනු මම දුටුවෙමි. 


මතු සම්බන්ධයි.........




4 comments:

  1. දිරිය මවක්... ඉස්සරහටත් මේ කතාව ගෙනියන හන්දා කියවන්න එන්නම් හැමදාම..මම හරිම ආසයි මේ ජාතියේ දිරිය දෙන කතාවලට...

    ReplyDelete
  2. උනහපුළුවගේ දරුවා ඌට මැණිකක් වගේලුනේ... අම්මලාට තමන්ගේ දරුවන් වටිනවා. කතාව ඉතුරු ටිකත් බලලම ඉමුකෝ

    ReplyDelete
  3. අනේ අම්මෝ කොයිතරම් දුක්බර කතාවක්ද?....කියවන විට ‍පමනක් හදවත මෙතරම් ගැහුනානම් මේ දුක දරාගත්තවුන් ගැන හිතාගන්න පුලුවන්නේ....

    ReplyDelete
  4. සෑහෙන්ඩ දුක හිතෙන කතාවක් !!!
    කතාවේ ඉතුරු ටිකත් බලලම ඉන්න එක හොදයි වගේ !

    ReplyDelete

කියවලා බලලා හිතට දැනෙන අවංකම දේ මෙතන කුරුටු ගෑවොත් ඒක මට ලොකු ශක්තියක්. ඒ නිසා ඔයාලගේ හැගීම් වචන වලට පෙරලන්න අමතක කරන්න එපා...!!!!!