Sunday, September 2, 2012

මේකත් එක්තරා කලාවක්


අපේ සිංහල මිනිස්සු නිකම් කියන වචනය එක එක විදියට යොදා ගන්නවනේ.  නිකම් ආවා.  නෑ...මේ නිකන්.  නිකමට කිවුවා.  නිකමට වගේ.  නිකන් හිතුවා.  ඔය වගේ එක එක තාලෙට නිකන් කියන වචනය දාලා තේරුමක් නැති දේවල් කියනවා.  ඇත්තටම කිවුවොත් නිකන් කියන වචනයේ තේරුමත් මොනවත් නැහැ කියන එක තමයි.  නමුත් මේ නිකන් කියන වචනයෙන්ම තමන්ට මොනවා හරි ලබාගන්න උත්සාහ කරපු කොටසකුත් ඉන්නවා.  ලංකාවේ නම් කොහොමද දන්නේ නැහැ.  ඒත් කාලෙකට කලින් වෙනත් රටවල මේ වචනය යොදාගෙන එක එක දේවල් කරලා තියෙනවා.  ජර්මනිය, ඇමෙරිකාව වගේ රටවල අය තමයි මේ විදියේ දේවල් වෙලා තියෙන්නේ.

කිසිවක්ම මුද්‍රනය නොවූ හිස් පොතක් ඇමෙරිකාවේ පොත් ප්‍රකාශකයෙක් වසර ගණනාවකට පෙර ප්‍රකාශයට පත් කරලා.  පොතට නම දීලා තියෙන්නේ “ද නතින්ග් බුක් ....කියලා.  ඒ පොතේ තිබිලා තියෙන්නේ හිස් පිටු රාශියක් විතරයිලු.  මේ පොතේ පිටපත් දෙලක්ෂ පනස්දාහක් මාසයක් ගතවීමටත් පෙර විකිණිලා.  ඔහු පුවත් පත් වල ප්‍රචාරය කරලා තියෙන්නේ “කිසිවක් නොමැති පොත පිට වුනා.  ඔබේ පිටපත නොපමාව අදම වෙන්කරවා ගන්න කියලයි.  ඒ විතරක් නම් මදැයි. පුදුමේ කියන්නේ ඒ පොතේ දෙවැනි මුද්‍රනයෙත් පිටපත් ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් විකිණුනාලු. 

ඉතින් ඇමෙරිකාවේ සිද්ධවුන මේ කතාන්දරේ අහපු බ්‍රිතාන්‍යෙය් පොත් ප්‍රකාශකයෙක් ඒ වගේම තවත් පොතක් ප්‍රකාශයට පත් කරලා.  ඒ පොතේ හිස් පිටු එකසිය හැටක් තිබිලා.  මිල විදියට සදහන් වෙලා තියෙන්නේ පවුම් 1.75ක් විදියටයි. 

එක් අවස්ථාවක කැනඩාවේ ටොරන්ටෝ නගරයේ වෙළද සැලක් ඉදිරියේ දැන්වීමක් ප්‍රදර්ශණය වුනා.  ඒකේ සදහන් වෙලා තිබුනේ “අප වෙළද සැලෙන් යමක් මිලදී ගත්විට හැම කාන්තාවකටම උඩ හා යට නොමැති වටිනා නාන ඇදුම් කට්ටලයක් තෑගි වශයෙන් පිරිනමනු ලැබේ.... ඉතින් මේ උඩ යට නැති ඇදුම් කට්ටලේ තෑගි විදියට ලබා ගන්න අර වෙළද සැළ ඉදිරියේ වැල නොකැඩී පෝලිමේ ආවලු කාන්තාවෝ.  දන්නවද මේ අයට මොනවද ලැබුනේ කියලා.  ඒ හැමෝටම හිස් කාඩ්බෝඩ් පෙට්ටිය ගානේ ලැබුනා.  ඉතින් තෑගි දෙන බවට කියූ නාන ඇදුම් කට්ටලය ගැන එතන සේවකයන්ගෙන් ඇහුවම එයාලා දීපු උත්තරේ තමයි උඩ හා යට දෙකම නැති වුනාම නාන ඇදුම් කොහෙද තියෙන්නේ කියලා.  ඒ කතාවත් බලාගෙන ගියාම ඇත්ත නේද?  ඒකත් හරියට පිට නෑ...පිට නෑ ෂර්ට් විකුණුවා වගේ තමයි.

මේ කිසිවක් නැහැ කියන එක ඇතැම් පුද්ගලයෝ ව්‍යාපාරයක් විදියටත් කරගෙන යනවා.  තමන්ගේ දුරකතන අංකයත් ලිපිනයත් දුරකතන නාමාවලියේ සදහන් කරන්න මොවුන් අකමැතියි.  ඒකට හේතුව තමයි රැවටීම්වලට අහුවෙන පුද්ගලයන්ගෙන් බැණුම් අහන්න සිද්ධවීම.  තමන්ගේ දුරකතන අංකයත්, ලිපිනයත් දුරකතන නාමාවලියේ නොදමන ලෙස ඉල්ලන මොවුන්ගෙන් සාමාන්‍ය ග්‍රාහකයෙකුගෙන් අය කරන ගාස්තුව වගේ දෙගුණයක් අය කරන්නත් ඇමෙරිකානු රජය ඒ දවස්වල පියවර ගෙන තිබුනාලු.

නෙබ්රස්කා නුවර ජෝන් පැක්ලර් කියන පුද්ගලයා එක අවස්ථාවක තමන්ට ඩොලරයක මුදලක් එවන ඕනෑම පුද්ගලයෙකුට සම්පූර්ණයෙන්ම කිසිවක් නොමැති දෙය එවන බවට දැන්වීමක් පළ කලා.  මේ දැන්වීම පළ වෙලා සතියකින් ඔහුට ඩොලර් දෙසිය තිස් පහක ආදායමක් උපයා ගැනීමට හැකිවෙලා තියෙනවා.

මේ කිසිවක් නැහැ කියන එක කලාවක් විදියට හදුන්වා දෙමින් එයින් මුදල් උපයන ආකාරය ගැන ඉගැන්වීම සදහා ඕහියෝ හි ක්ලිප් මයිකල් මෝ නම් පුද්ගලයා සති අටක පාඨමාලාවක් පවත්වාගෙන ගොස් තිබුණා.  එය හැදෑරීමට එන පුද්ගලයින්ගෙන් ඩොලර් දහයක මුදලක්ද ඔහු විසින් අය කරගෙන තිබුණා.

දැනට දශක දෙකකට පමණ පෙර ජර්මනියේ හැම්බර්ග් නුවර කලා කරුවන් පිරිසක් එකතු වෙලා කිසිවක් නොමැති ප්‍රදර්ශණයක් පැවැත්වූවා.  එහි පින්තූර කිසිවක් නොමැති රාමු චිත්‍ර ඇද නොමැති කැන්වස්, ඒ වගේම කිසිම දෙයක් මුද්‍රණය නොවුන පොත් එම ප්‍රදර්ශන ශාලාවේ තිබුණා.  ඒ වගේම කිසිම හඩක් පිට නොවූ කැසට් පටිත් වාදනය වූ බව සදහන් වෙනවා.  මේ ප්‍රදර්ශණය නැරඹීම සදහා දහස් ගණනක් සෙනග ආවත් ඇතුළත් වීමේ ගාස්තු වශයෙන් ඔවුන්ගෙන් සතයක් වත් අය කර තිබුණේ නැහැ. 

දැනට වසර ගණනාවකට පෙර මගේ උපන්දියකට පිරිමි ළමයෙක් මට උපන්දින සුභ පැතුම් පතක් දුන්නා.  ඒකේ තිබුණ පින්තූරය ඉතාමත් ලස්සන එකක්.  ඒ වුනාට මුද්‍රිත හෝ පෑනකින් ලියන ලද කිසිවක්ම එහි තිබුණේ නැහැ.  දින කිහිපයකට පස්සේ ඔහු මට කිවුවේ ඒ වගේ කාඩ් එකක් හොයාගන්න එයා හුගාක් මහන්සි වුනා කියලා.  එහි කිසිවක්ම තිබුනේ නැහැ කිවුවම එයා මට කිවුවා  ඒකෙන් හුගාක් දේ හිතාගන්න කියලා.  මම හිතන්නේ ඔහු මට නොකියු දේ මම තේරුම් ගත්තා කියලයි.  හැබැයි ඒ ඔහු මට මුණ ගැහුණ අන්තිම දවසයි!!!!!!

5 comments:

  1. මරු කතා සෙට් එකක් නේ...
    බලාගෙන ගියහම නිකන්ම ඉදලත් ගානක් හොයාගත්තෑකි නෙහ්...

    ReplyDelete
  2. නිකම් ආවා කිව්වාම මතක් වුනේ. ලංකාවේ ඒක කියන්නේ ආපු කාර්යය සැර බාල කරන්නලු. නොක්සේ පොතේ මේ කතාව තියෙන්නේ ලෝක පාලක දෙවියෝ හැමෝටම එක එක ඒවා දෙනවලු. ඒ වෙලාවේ ලංකාවේ අය ගියාම ඇහුවලු මොකෝ ආවේ කියලා. පුරුද්දට අපේ අය කිව්වලු "නිකම් ආවා" කියලා. දෙවියොත් මල පැනලා කිව්වලු "නිකම්ම ආවා නම් නිකම්ම පලයන්" කියලා :D

    ReplyDelete
  3. මධු...

    හැබැයි දැන් නම් බැරිවෙයි.

    ReplyDelete
  4. හසිත

    ඒකනම් නියම කතාව.

    ReplyDelete
  5. ලස්සනට ගොතනවා... මේවා කොහොමද හොයාගන්නෙ?

    ReplyDelete

කියවලා බලලා හිතට දැනෙන අවංකම දේ මෙතන කුරුටු ගෑවොත් ඒක මට ලොකු ශක්තියක්. ඒ නිසා ඔයාලගේ හැගීම් වචන වලට පෙරලන්න අමතක කරන්න එපා...!!!!!