Tuesday, April 17, 2012

සිංහල අවුරුද්ද



ලැබුවාවු සිංහල හින්දු අළුත් අවුරුද්ද හැමෝටම සුභම සුභ අවුරුද්දක් වේවා කියලා පතනවා.  සතියකට විතර පස්සෙයි මාත් මේ පැත්තට ආවේ.  පහුගිය දවස් ටිකේම ගජරාමෙට වැඩ තිබුනා.  හැමෝටමත් එහෙම වෙන්ටැ මයේ හිතේ.

සිංහල අවුරුද්ද කියන්නේ අපේ ජාතියේ පරාක්‍රමය විදහා පාන සංකේතයක් කියලයි මට හිතෙන්නේ.  එයින් රසවත් වීම, ප්‍රාණවත් වීම අපේ ආදී මුතුන් මිත්තන්ටත් කරන ගෞරවයක්නේ.  ඕනෑම ජාතියකට ආවේනික වෙච්ච සිරිත් විරිත් තියෙනවානේ.  නෑඹුල් ජාතික සුවදක් වහනව වන ඒවගේ සිරිත් විරිත් හා ක්‍රීඩා එළි දකින්නේ මේ වගේ විශේෂ උත්සව අවස්ථාවකදීම තමයි. 

අළුත් අවුරුදු උත්සවය ලංකාවට පමණක් සීමාවුන දෙයක් නෙවෙයි.  බුරුමය, සියම,කාම්බෝජය, ලාඕස් වැනි රටවලත් මේ උත්සවය අති උත්කර්ෂවත් අන්දමින් පවත්වනවා.  බුරුමය, කාම්බෝජය වගේ රටවල් වර්ණවත් සුවද ජලය එකිනෙකාට ඉසගැනීම සම්ප්‍රදායික අවුරුදු චාරිත්‍රයක් ලෙස කරනු ලබනවා.  බුරුමයේ ජල උත්සවය නමින් හැදින්වෙන අළුත් අවුරුදු උළෙල පාකිස්ථානයේදී බයිෂාකි නමින් හැදින්වෙනවා.  ලෝකයේ බොහෝ රටවල අස්වැන්න කපා පාගා අටු කොටු පුරවා ගන්නා මාසය තමයි බක් මාසය කියන්නේ.  මේ කාලය ගොවි ජීවිතයේ සෞභාග්‍යමත් කාලයයි.  ඒ නිසා හිතේ හැටියට කාල බීල කෙළිදෙළෙන් උත්සව පැවැත්වීමට අප්‍රේල් මාසය තරම් සුදුසු කාලයක් නැති තරම්. 

සූර්ය මාස නැකැත් කෙළිය, කෝණ  යන නම් වලිනුත් හැදැන්වෙන මේ මහා සැණකෙළිය සුර්යයා රාශි දොළහේ ගමන් කරලා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වීම නිමිති කරගෙන පැවැත්වෙනවා.  අළුත් අවුරුදු උළෙල මේ විදියට උත්සවශ්‍රීයෙන් පැවැත්වීම භාරතයේ කණිෂ්ක රජ සමය තෙක් අතීතයට දිව යන්නක්.  එය ලංකාවාසීන්ගේ උත්සවයක් බවට පත්වන්නේ හින්දු සභ්‍යත්වයේ ආභාෂයෙනුයි.  මුල් කාලයේදී දේව ඇදහිල්ල මුල් කරගෙන මේ උත්සවය පැවැත්වුනත් පසු කාලීනව බුදු සසුන පිහිටුවීමෙන් පස්සේ ලංකාවාසීන්ගේ අවුරුදු සිරිත් බෞද්ධ ප්‍රතිපත්ති මුල් කරගෙන හැඩ ගැසෙන්නට වූ බව සදහන් වෙනවා.  මෙය ජාතික උත්සවයක් බවට පත්වන්නේ පොළොන්නරු අවදියෙන් පසු බව විද්වතුන්ගේ පිළිගැනීමයි. 

අවුරුදු උළෙල මහත් උත්සවශ්‍රීයෙන් පැවැත්වූ යුගයක් ලෙස මහනුවර යුගය හැදින්විය හැකියි.  ඒ කාලයේ රටවැසි හැම දෙනාම අළුත් අවුරුදු දින තම තමන්ගේ සුපුරුදු වැඩවලින් ඉවත්වෙලා සුබ නැකැත් අනුව චාරිත්‍ර පවත්වමින් කෙළි දෙලෙන් කාලය ගත කල බව රොබට් නොක්ස්ගේ වාර්තාවලින් පැහැදිලි වෙනවා. 

අවුරුද්දක් ගෙවිලා අවුරුද්දක් ලබන අවස්ථාවේ රජතුමා දළදා සමිදුන් ඉදිරියෙහි ඉමහත් බැති අදරින් යුතුව ගත කලේ මුළු රටටම දළදා හිමියන්ගේ ආශිර්වාදය ලබා ගනු පිණිසයි. 

සිංහල අළුත් අවුරුදු උළෙල වෙනුවෙන් පළමුවෙන්ම නැකැත් මාලාවක් සකස් කරන ලද්දේ පුලතිසි සෘෂීන් වහන්සේ විසින් බවයි සදහන් වෙන්නේ.  සූර්ය සංක්‍රාන්තිය පදනම් කරගෙන විශ්වයේ සිදුවන මේ අසිරිමත් විපර්යාසය එක්ක වායු මණ්ඩලයේ අභිනව වාතාවරණයක් බිහිවනු ඇත.  මිනිස් ජීවිත කෙරෙහිත් ඒ විශ්ව ශක්තිය බලපායි.  ඒ නිසා එයට අනුකූලව අපේ ජීවිත හැඩගස්වා ගැනීම ස්වභාවික පරිසරයටද අනුකූල වන්නක්.  මේ වාගේ අවස්ථාවක සුබ නැකැත් මාලාවක් අනුව ජීවන ගමනේ නව පිටුවක් පෙරලීමෙන් හැම අංශයකින්ම උසස් ප්‍රථිපල ලබාගත හැකි බව පිළිගැනීමයි. 

ඉස්සර කාලේ මේ නැකැත් මාලාව සකස් කරන ලද්දේ රජවාසල නැකැත් රාළ විසිනුයි.  ඔහු කල් තියාම පිළියෙල කර ප්‍රකාශයට පත් කරනු ලබන මේ සුභ වේලාවන් රජතුමා ඇතුළු හැම රටවැසියෙක්ම මහත් ගෞරව භක්තියෙන් යුතුව පිළිගෙන අනුගමනය කරන බව පෙනෙන්නට තිබුනි.  අළුත් අවුරුද්දට පේවීම සදහා ස්නානය කිරීම, නව සද බැලීම, වැඩ අත්හැරීම, වැඩ ඇල්ලීම, ලිප ගිනි මෙලවීම, ආහාර අනුභවය, හිස තෙල් ගෑම, රැකී රක්ෂා වලට පිටත්වීම වගේ වැදගත් කටයුත්තකදි නැකත් අනුව වැඩකටයුතු කිරීම අපේ සම්ප්‍රදායයන් වුනේ මේ විදියටයි.

නොනගතය කියලා කියන්නේ නැකැත් නැති කාලයයි.  කිසිම සුබ කටයුත්තක් කිරීමට ඒ කාලය යොදාගන්නේ නැහැ.  දෙවියන් සම්බන්ධව නොයෙක් මත ඇතත්,  මිනිස් ලොවට බැල්ම හෙලන දෙවි දේවතාවුන් සිටින බව පිළිගන්න පුළුවන් බව පොත පතේ සදහන් වෙනවා.  හිරු දෙවියන් මීන රාශියේ ඉදලා මේෂ රාශියට පැමිණෙන විට සෞරග්‍රහ මණ්ඩලයේ සිදුවන විපර්යාසයන්ට මුහුණ දීමට නොහැකිවන දෙවියන් මිනිස් ලොව සමග පැවති සම්බන්ධතාවයන් හැර දමා තම තමන්ගේ වාස භවනයන් වෙත පැමිණෙනවා.  මේ විදියට දේව බැල්මෙන් ඉවත්වීම හේතුකරගෙන අසරණ වන මිනිසා කරා නොයෙක් අන්දමේ විපත් පැමිණීමට තියෙන ඉඩකඩ ප්‍රමාණය වැඩියි.  පුණ්‍ය කාලය ලෙස නම් කර ඇති මේ කාලය තුළදී ආගමානුකූල වත් පිළිවෙත්වන යෙදෙමින් සිත පිරිසිදුව තබා ගැනීම හොද බව භාරත ශාස්ත්‍රයෙහි දක්වා තිබෙන්නේ මෙබදු විපත් අවම කරගැනීමට පිටිවහලක් ලෙසයි.  

මේ නොනගත කාලය අපේ මුතුන් මිත්තන් නම් ආගමික කටයුතු සදහාම කැප කලා.  නමුත් අද තත්වය නම් ඊට හාත්පසින්ම වෙනස්.  මිනිසාගේ ජීවන රටාවේ හා ඔවුන් ජීවත් වන පරිසරයට අනුගත වීමක් වශයෙන් මේ වනවිට බොහෝ වෙනස් කම් සිදුවෙලා තියෙනවා.  අද රට දිහා බලනකොට සුරාව සූදුව නොමැති ගමක් නගරයක් සොයාගැනීම හරිම දුෂ්කර කාරණාවක් වෙලා තියෙනවා.  

තවත් කොටසක් මේ නැකැත් ක්‍රමය කිසිම ගරුසරුවක් නැතිවම අනුගමනය කරන බවත් පෙනෙන්නට තිබෙනවා.  තවත් කොටසක් කියන්නේ මේවා වැදගැම්මකට නැති දේවල් බවයි.  අවුරුදු නැකත් පිළියෙල කරන ආකාරයෙත් යම් පරස්පරතාවයන් නැතුවාම නොවෙයි.  මේ පාර අවුරුද්දේ නැකැත් ගැනත් විවිධ මත පළ වෙන්නට පටන්ගත්තා මතක ඇති.  (මම නම් මේ ජ්‍යෙතිශ විෂය ගැන මොනවත්ම දන්නේ නැත.)
මෙම අවුරුදු සිරිත් විරිත් අනුගමනය කිරීමෙන් බලාපොරොත්තු වන්නේ සාමය සමගිය වගේම අළුත් හිත මිතුරුකම් ඇති කරගැනීම, නෑදෑ සම්බන්ධ කම් අලුත් කරගැනීම, අපේ සාම්ප්‍රදායික සිරිත් විරිත් නැවත නැවතත් මතකයට ගැනීම, තරහා මරහා නැති කර හොදින් කල දවස ගත කිරීමට අඩිතාලම දමා ගැනීමයි. 

අප අතර තිබූ කෙළි සෙල්ලම් පවා ඉහත කාරණාවලට උදාහරණ සපයයි. ගමේ කම රැක ගනිමින් තරගයට රබන් වයන ලදුන් පිරිසකි.රබානේ ගිතවත් බවින් රසවත් වන බාල තරුණ මහළු හැම දෙනාම බතින් බුලතින් සංග්‍රහ ලබනවා.  සහයෝගය පදනම් කරගත් සුහද බවින් පිරි සාමකාමී දිවියකට රබාන මග පෙන්වන්නේ ඒ අයුරිනි.

ඔන්චිල්ලාවත් ගමේ අවුරුදු සිරියට නැවුම් මුහුණුවරක් ගෙන එනවා. ඒත් එක්කම අවුරුදු සිරිය වැඩි කරන්නට එක්වෙන කෙලි සෙල්ලම් බොහෝමයි.  අන් ඇදීම, පොර පොල් ගැසීම, පන්දු ගැසීම, පංච කෙළිය, මේවර කෙළිය, ඔළිද කෙළිය, ලී කෙළිය, බූ කෙළිය, කඩු හරඹ, අංගම් කෙටීම, මල්ලව පොර, ඇත් පොර, ගව පොර, තරග තරග, කොට්ට පොර, ආදී සිය ගණනක් ජාතික ක්‍රීඩා ඇත. එහෙත් අද බොහෝ දෙනා මේ ක්‍රීඩා ගැන දන්නේ නමින් පමණි.  ශාරීරික හා මානසික වර්ධනයට ඉවහල් වන මේ ක්‍රීඩාවන් නිසා ඉවසීම, ආත්ම දමනය, පරෝපකාරය, වැනි උසස් මානුෂික ගුණාංග ද පුරුදු පුහුණු වේ.

සිංහල අවුරුදු උත්සවය මගින් පුද්ගලයාගේ අධ්‍යාත්මයම පිරිසිදු වෙයි.  එවැනි මානසික සංවර්ධනයක් ඇති පුද්ගලයන් නිසා පවුලේ සාමය, සමගිය, නිරන්තරයෙන්ම ආරක්ෂාවෙයි.  ඒ මගින් ගමේ සාමය හා රටේ සාමයත් තහවුරු වෙයි.  නමුත් දැන් බොහෝ දෙනා මෙම සිරිත් විරිත් මිත්‍යාවන් ලෙස සලකා බැහැර කරනු ලබයි.  මේ වටා බැදුනු සිරිත් විරිත් බොහෝමයක් ජන ජීවිතයෙහි අධ්‍යාත්මික ගුණ වගාව, ප්‍රීතිය, යහපත් සෞඛ්‍යය වැනි විවිධ අංගයන්ගේ පැවැත්ම පැත්තට යොමුව ඇත.  මට හිතෙන විදියට නම් මේ හේතුත් සැලකිල්ලට ගෙන  අපි අභිමානවත් ජාතියක් ලෙස ඉදිරියට යන්නට නම් පැරණි සිංහල සිරිත් විරිත් අහක නොදා ඒවාට නව පණක් දෙමින් අළුත් අවුරුදු උත්සවයට සැබෑ අවබෝධයකින් යුතුව අප සහභාගී විය යුතු වන්නේය.

2 comments:

  1. රොබට් නොක්ස් කියන විදිහට මහනුවර යුගයේදී සිංහලයන් අලුත් අවුරුද්ද සමරලා තියෙන්නේ මාර්තු 20 ගණන්වල

    ReplyDelete
  2. දෙමළ අවුරුද්ද සහ සිංහල අවුරුද්ද වෙනම හදුනාගමු

    සිංහලයන්ගේ, අවුරුද්ද දෙමළ ජනයා ද පැවැත්වීම පිළිබඳ අපගේ විරුද්ධතාවක් නැත. අවුරුදු චාරිත්‍ර නැකැත් බැලීම්වලින් තොරව වුව ද පවත්වන තරමට ඔවුන්ට සිංහල ජනයා සමග එක්විය හැකි ය. එහෙත් අවුරුදු උත්සවයේ සම්භවය දෙමළ ජනයාට දීමට කිසිම සාධකයක් නැත. සිංහලයන් අවුරුදු උත්සවය පවත්වන ආකාරයට දකුණු ඉන්දියාවේ අප්‍රියෙල් මස උත්සව නො පැවැත්වේ. අද ලංකාවේ දෙමළ ජනයා අප්‍රියෙල් මස යම් ආකාරයක උත්සවයක් පවත්වන්නේ නම් ඒ සිංහලයන්ගේ ආභාසයෙනි.

    හින්දු බැතිමතුන්ගේ සූර්ය උත්සවය ජනවාරි මස යෙදී ඇත. තෛපොංගල් නමින් හැඳින්වෙන ඒ උත්සවය සූර්යයා ධනු රාශියේ සිට මකර රාශියට සංක්‍රමණය වීම සමගත් සූූර්යයා අපට සාපේක්‍ෂව පොළොව වටා යන ගමනේ දී උත්තරාර්ධ ගෝලයට හැරීම සමගත් සම්බන්ධ වෙයි.

    මම දන්න විදියට එකදාස් නවසිය 30 ,40 ගණන් වල , සිංහල අලුත් අවුරුද්දට නිවාඩු දෙනකොට දෙමළ අයකිව්වලු එයාලටත් නිවාඩු ඕන කියල. ඊට පස්සේ සුද්දා මේකට දෙමල අයවත් ඇද්ද ගන්න සිංහල-හින්දු අලුත් අවුරුදු නිවාඩුව දීලා. ඔබගේ ඔතන අවුලක්
    sinhaladepaya.blogspot.com(ගොඩනැගෙමින් පවතී)

    ReplyDelete

කියවලා බලලා හිතට දැනෙන අවංකම දේ මෙතන කුරුටු ගෑවොත් ඒක මට ලොකු ශක්තියක්. ඒ නිසා ඔයාලගේ හැගීම් වචන වලට පෙරලන්න අමතක කරන්න එපා...!!!!!