Monday, October 24, 2011

ගාල්ල වරාය


 
දිවයිනේ පිහිටි ස්වාභාවික වරායන්ගෙන් එකක් ලෙස ගාල්ල වරාය සැලකෙනවා.  ස්වාභාවික වරායක් ලෙස පමණක් නොවෙයි ලෝකයේ වෙළද වරායක් වශයෙන්ද කීර්තියක් ඇති වරායකි ගාල්ල.

1505 දී දොන් ලොරන්සෝ ද අල්මේදා සුළං පහර වැරදීමෙන් අහම්බයකින් මෙන් ගාලු වරායට පැමිණියේ දෛවයෝගයකින් මෙනි.  එයින් ටික කලකට පසු ගාල්ලේ පැලපදියම් වූ පෘතුගීසීන්  බලකොටුවක් ඉදි කලා.  පසු කාලයේදී පෘතුගීසීන්ගෙන් ගාල්ල උදුරාගත් ඕලන්ද ජාතිකයෝ එය සින්න කර ගන්නට කරන ලද උත්සාහයක් මෙන් යෝධ යුධ බලකොටුවක්ද ඉදි කර එහි අයිතිය සුරක්ෂිත කරගත්තා.  පෘතුගීසීන්ගෙන් ඕලන්ද ජාතිකයන් ගාල්ල උරුම කර ගන්නට ලොකු පොරයක් ඇල්ලුමේ නගරයක් වශයෙන් එහි ඇති වැදගත්කම නිසාම නොවෙයි. වෙළද වරායක් වශයෙන් එහි ඇති වැදගත්කම සැලකිල්ලට ගෙනයි.
ඕලන්ද යුගයේදී වෙළද ද්‍රව්‍යයන් වැඩිවශයෙන් පිටරට ගියේ ගාලු වරායෙනි.  බොහෝ කාලයක් ගතවන තෙක්ම පෙරදිග හා අපරදිග සම්බන්ධ කරන ප්‍රධාන නැව් තොට වුනේ ගාල්ල වරායයි. කොළඹ වරාය ඉදිවීමෙන් පසුව ගාල්ල වරායේ තිබුන අගය බොහෝ දුරට අඩු වුවත් සූවස් ඇල කනින්නට ප්‍රථමයෙන් යුරෝපීය රටවල සිට ඈත පෙරදිගට එන නැව් සුබ පැතීමේ තුඩුව වටා යාත්‍රා කරන්නට සිදුවූ නිසා ඔවුනට ගාල්ල කොළඹට වඩා ලං වුනා.

ස්වාභාවික පිහිටීම අතින් ගාල්ල වරාය අනෙක් රටවල වරායන් අතර කැපී පෙනුනා.  මුහුදු ගමන් පිළිබද එකල විශේෂඥ ජාතියක් වූ ලන්දේසීන් 1640 මාර්තු මාසයේදී විලියම් ජාකොබ් කෝස්ට් යටතේ ගාල්ල ප්‍රධාන ස්ථානය ලෙස තබාගෙන ආණ්ඩුවක් පිහිටුවා ගත්තා.  1656 වනතුරු ලන්දේසීන් ඔවුන්ගේ ප්‍රධාන ස්ථානය ලෙස සලකන ලද්දේ ගාල්ලයි.

ගාල්ල ඉතා ඈත කාලයේදී පවා ප්‍රසිද්ධියක් උසුලන ලද්දේ වරාය නිසාවෙනි.  පසු කාලයේදී බොහෝ දෙනා ගාල්ල ගැන කතාකරන්නට වූයේ ගාල්ලේ සාර විට බොහෝම අගේ යයි කියමිනි.  කතරගම යන කෙනෙක් ආපසු ගෙදර එනවිට ගාල්ලෙන් සාර විටක් ගෙන එන්නට එකල අමතක කලේ නැත.  ස්වර්ණාභරණ හා කැස්බෑ ලෙලි කර්මාන්තයටද ගාල්ල ඉතාමත් ප්‍රසිද්ධියක් ඉසිලීය.

අරාබි භූගෝල ශ්‍රාස්ත්‍ර කරුවෝ “සෙරන්ඩිබ් නම් දිවයිනක් තිබූ බවත් ඒ දිවයිනේ “කාලේ  නමින් ප්‍රධාන වරායක් තිබූ බවත් සදහන් කලහ.  සෙරෙන්ඩිබ් නමින් මේ හදුන්වන ලද්දේ සිංහල දිවයින බවත්, කාල්ල යනු ගාල්ල බවත් සිතීමේ කිසියම් වැරැද්දක් නැත.  එපමනක් නොව මේ අරාබි පොත් පත්වල සදහන් වන අන්දමට චීන ජාතික වෙළදුන් හා අරාබි වෙළදුන් එකිනෙකා මුණගැසෙන ස්ථානය ලෙස ගාල්ල සලකන ලදී.  අරාබි වෙළදුන් ගෙනෙන වෛවාරන  ද්‍රව්‍යවලට චීන වෙළදුන් තමන්ගේ පට පිළි මාරු කරගත්තේ ගාල්ලේදීය.  එදා මුස්ලිම් වෙළදුන්ගේ කේන්ද්‍රස්ථානය වී තිබුනේ ගාල්ල බව පෙනේ.  අදත් ගාල්ල මුස්ලිම් ජාතිකයන්ගේ බලකොටුවකි.  එපමණක් නොව චීන්නුද මෙහි ගනුදෙනු කල බව කියන සළකුණක් මෙන් චීන කොරටුව නමින් නගරයේ ප්‍රධාන කොටසක් තවමත් ඇත

බෞද්ධ ප්‍රබෝධයේ ආදී කතුවරයා ලෙස හැදින්වෙන කර්නල් ඕල්කට් තුමා ලංකාවට ගොඩ බසින ලද්දේද ගාලු වරායෙනි.  එතුමානෝ ගාල්ලේ විජයානන්ද විහාරයේ නායක හාමුදුරුවන්ගෙන් පන්සිල් ගැනීමෙන් බෞද්ධයෙකු වූ බව සදහන්වේ.  ගාලු නගරය මධ්‍යයේ දන්ගෙදර වීදියේ පිහිටා ඇති විජයානන්ද විහාරය හා පිරිවෙන ගාලු නගරයේ ඉතිහාසය තරම්ම පැරණි හා රසවත් තොරතුරුවලින් පිරී ඇත.  මෙයින් වසර එකසිය හතලිස් ගණනකට පමණ පෙර කරවූ බව කියන මේ විහාර මලුව ප්‍රදේශයේ බැතිමතුන් තමන්ගේ භක්තිය ප්‍රකාශ කිරීමේ මාධ්‍යයක් වශයෙන් ඉදිරිපත් කොට තිබෙන්නේ පිගන් දහස් ගණනක් බිද ඒ කැබලි ගෙන ඒවා අලංකාර ලෙස මෝස්තරයන්ට තබා මළුව නිම කිරීමෙනි.  ලංකාවේ පළමු ඉරිදා දහම් පාසැල පිහිටුවා තිබෙන්නේද .මේ විජයානන්ද විහාරයේය. රාමඤ්ඤ නිකායේ ආදී කතෘන් වහන්සේ වැඩ වසන ලද්දේද මේ විහාරයේ බව පිළිගැනීමයි.

ප්‍රීඩම් නමැති සුප්‍රසිද්ධ ලේඛකයා ගාල්ල ගැන මෙසේ කියා ඇත.

“ගාල්ලෙන් කෙරෙන ප්‍රධාන කාර්යය නම් වෙළද ද්‍රව්‍ය පිටරට යැවීමයි.  මෙයින් ප්‍රධාන ලෙස යවන ද්‍රව්‍ය අතර කරවල මුල් තැනක් ගනී.  කොහු ලණු, පොල් තෙල්, හා අරක්කුද ගාල්ලෙන් පිටරට යවන අනෙක් ද්‍රව්‍යයන්ය.  දිවයිනේ කිසිදු තැනකින් ලබාගත නොහැකි තරමට මේ ප්‍රදේශයේ වෙළද ද්‍රව්‍ය වල මිල අඩුය.
අබු සයිඩ් හසාන් නමැති අරාබි ජාතික දේශ සංචාරකයාගේ සටහන් පොතේ ගාල්ල ලෝක වෙළද මධ්‍යස්ථානයක් වශයෙන් හදුන්වා දී තිබේ. ගාල්ලට අරාබි ජාතිකයින්ගේ පමණක් නොව වානිජ කටයුතු සම්බන්ධයෙන් දැඩි සැලකිල්ලක් දැක්වූ වෙනත් ජාතිකයන්ගේ ද අවධානය යොමුව තිබුනි.

අපේ පැරණි පොත පතේද ගාල්ල ගැන සදහන් වන්නේය. රාහුල හාමුදුරුවෝ ගාල්ල දකින්නේ මෙසේය.

සරා සොදින් මහ සයුරත    මුළුල්ලේ
පෙරා රැගෙන රන් මිණිමුතු මියල්ලේ
සරා තුබූ මෙන් සල්පිල්       උදුල්ලේ
පුරා මෙසිරි දැක යාගන්        ගාල්ලේ

කොවුල් සංදේශයේ ගාල්ලේ කාන්තාවන් ගැන මෙසේ සදහන්වේ.

මන් තුටුවන් බිගු තඹරෙව්     සැදැල්ලේ
බන් තුන යුග රන්පට නොව     ලීල්ලේ
උන් සුරගන ලිය රූ දුට            ගාල්ලේ
දුන් රසදුන් මෙත් දෙනුවන්       සීල්ලේ

ගාල්ල දකුණු ලංකාවේ අගනුවර ලෙස සලකනු ලැබීය.  ගාලු වරාය දිවයිනේ ප්‍රමුඛ වරාය වී තිබූ කාලයේ සෞභාග්‍යය කෙසේ වෙතත් ‍ථෙතිහාසික නගරයක් ලෙසද ගාල්ලේ ඇති වටිනාකම සුළුපටු නොවේ.

7 comments:

  1. පංකාදුයි...දැනුවත් කලට බොහොම ස්‌තූතී...

    ReplyDelete
  2. ඔය මහා බලකොටුව හදලා තියෙන්නේ අවුරුදු දෙකකින් පිලිගන්න පුලුවන්ද..

    ReplyDelete
  3. මුදී...

    ස්තුතියි. තව නොදන්න කරුණු බොහෝමයක් ඇති. හොයන්න ඕන

    ReplyDelete
  4. මාතලන්...

    අද කාලේ වගේ පහසුකම් නොතිබුනත් මිනිස් ශ්‍රමය යොදාගෙන බොහෝ දේ එදා කලානේ. ඒ හින්දා නොපිළිගෙන කොහොමද? අනිත් කරුණ මිනිසුන් තලා පෙලා වැඩගන්න එක අද තරම් එදා හෙලා නොදැක්ක වගේම මිනිසුන්ගේ අයිතීන් වෙනුවෙන් කතා කරන්න හිටියේ බොහෝම අල්පයක්. ඉතින් පාලකයෝ තමන්ගේ අවශ්‍යතා සපුරාගන්න පසුබට වුනේ නැහැ.

    ReplyDelete
  5. ගොඩක් වටින විස්තර ටිකක්. ඇත්තමයි අක්කා මම මේ විස්තර ටික කියෙව්වේ අදමයි.
    පෘතුග්‍රිසින් එහෙම ගොඩ බැස්සේ ගාලුවරායෙන් නේ. ඒ තරම් හොද පිහිටීමක් වෙන්ටෑ.
    අක්කට මතකද මේ ලඟදි ගාලු වරායට පොත් නැවක් සේන්දු උනා.

    ReplyDelete
  6. ඇත්තටම මේ පලාතට ගියාම ආදි කාලේ තවමත් සිහිගන්වනවා. ගාලු කොටුවට ඇතුළුවුනාම එළියට එන විදිය හිතාගන්න ටිකක් අමාරුයි නොදන්න කෙනෙකුට. අපි මේ ලගදිත් ගියා නොවැ.

    ReplyDelete
  7. ගාල්ලේ ත්‍රෛභාෂා ලිපියෙන් පවා පැහැදිලි වෙන්නේ බොහොම ඈත අතීතයේ ඉදන්ම ගාල්ල ජාත්‍යන්තර වෙළෙඳාමට විවෘතව තිබුණු වරායක් බව

    ReplyDelete

කියවලා බලලා හිතට දැනෙන අවංකම දේ මෙතන කුරුටු ගෑවොත් ඒක මට ලොකු ශක්තියක්. ඒ නිසා ඔයාලගේ හැගීම් වචන වලට පෙරලන්න අමතක කරන්න එපා...!!!!!