Saturday, September 3, 2011

ගජබින්නාලංකාරය

දන්නවද මේ ගජබින්න මොනවද කියලා.  හැමෝම මේක හොදට කියවලා බලන්නකෝ. මං හිතන්නේ 99%න්ම මේ ගැන නොදන්නවා ඇති.  මුසාවට, ගල් පැලෙන බොරුව, පචය, බේගල, කෙප්පය, බින්නය, ගජ බින්නය ආදී නම් රාශියකින් කියන්නේ ලොකු බොරුවක් කියන එකනේ.  බොරුව යන තේරුමට අපි බින්න කියලා සාමාන්‍යෙයන් කියනවා කවුරුත් අහලා ඇති.  මෙහි ඊට වැඩි අරුතක් තියෙනවා.  එසේ වන්නේ බින්න භේද යනුවෙන් යෙදුනු කල්හිය.  බින්න භේද යනු බිදීමට හේතුවූ බොරු කේලාම්ය.  

අසබ්බින්න යනු අසභ්‍ය වූ බොරුය.  කැත බොරුය.  ගජ බින්න යනු මහ ලොකු බොරුය.  ගජ යනු ඇතාය.  ඇතකු තරම් ලොකු බොරු ගජ බින්න නම්වේ.

*************************************************************************************
ගජබින්නාලංකාරය යනු මනංකල්පිත බොරු කන්දරාවකැයි සමහරු කල්පනා කරති.  පොතක නමක් සේ පෙනුනද එහෙම පොතක් තිබිය නොහැකි යැයිද ඔවුන් සිතනු ඇත. 

නමුත් ඇත්ත එය නොවේ.  ඇත්ත වශයෙන්ම ගජබින්නාලංකාරය නමින් පොතක් තිබිණ.  එහි කවි හැට තුනක් තිබූ බව සදහන්වේ.  අබරා හා ඒරොප්පෙ සිමය්යා අතර සිදුවුණ සංවාදයක් සේ රචනය වී ඇති බවට වාර්තාවේ.  නමුත් එහි කර්තෘ අවිනිශ්චිතය.  

අවුරුදු හැට හැත්තෑවකට පෙර ගජබින්නාලංකාරය කියවා ඇති රාජකීය පණ්ඩිත විලියම් අල්විස් මහතාට මතක තිබූ එක් කවියක් ලිපියක සදහන් විය.  

කිලිකුණු නැති වදිගේ පුතෙක් ඇදගෙන නිල්වලා                       කඩක්
මිරිගු දියෙන් නානය කර පැළද දිවුල් මල්                                 වඩමක්
තුරග අගින් රතය තනා අදිනට ඉබි ලොමින්                            යොතක්
කුහුඹු අගින් කෙවිට තනා දැක්විය සුරපුරට                                 උදක්

කිළි කුණු නැති වද ගැහැණියකගේ පුතෙක් මිරිගු දියෙන් ස්නානය කොට නිල් වලාකඩක් ඇදගෙන අට්ටික්කා මල් මාලයක් දමා ගෙන, අශ්ව අගින් තැනූ රථයක් අදින්නට ඉබ්බන්ගේ ලොම් වලින් කඹයක් හදාගෙන කුහුඹුවන් ගේ අංවලින් කෙවිටක් හදාගෙන ඒ රථය කෙලින්ම දිව්‍ය ලෝකයට දක්කා ගෙන ගියේය. ඒ මේ කවියේ තේරුමයි.

මෙහි බොරු කීයක්ද?????

ගැහැණියකට කිලිකුණු නැතිවිය නොහැකිය.  වද ගැහැණියකට දරුවන් ඇති විය හැකිද?  නිල් වලා කොයින්ද? වලා කඩක් ඇද ගත හැකිද? ස්නානය කරන්නට මිරිගුවේ ජලයක් නැත.  මාල හදන්නට අට්ටික්කාවල මල් නැත.  රථ හැදීමට අශ්වයන්ට අං තිබේද? යොත් හදන්නට කෝ ඉබ්බන්ට ලොම්??? කෙවිටි තනන්නට කුහුඹුවන්ට අං තිබේද? අනෙක් අතට කෙලින්ම සුරපුරට යා හැකිද? ඉතින් මේ සියල්ල ගජබින්න නොවේද?

(මෙහි සදහන් අට්ටික්කා ගස්වල මල් නැති කතාව උද්භිත විද්‍යාවට අනුව නම් නොගැලපේ.  දිඹුල් හෙවත් අට්ටික්කා ගස්වල මල් නැතිව කෙලින්ම කදේ ගෙඩි හටගන්නා බව පොදු පිළිගැනීම වුවද විද්‍යානුකූලව නම් ගෙඩියක් සේ පෙනුනද අට්ටික්කා කදේ හට ගන්නා ඒවා මල් විශේෂයක් බව පැවසේ.  එය කඩා පොඩි කර බලන කල්හි එය ගෙඩියක් නොව මලක් බව වැටහේ.  බොහෝ විට එය කෝදුරුවන්ගෙන් පිරී ඇත.  කෝදුරු උපත සිදුවනුයේ ඒ ගෙඩිය තුලයි.  මේ ගෙඩිවල ස්වභාවයෙන්ම යටි පැත්තේ කුඩා සිදුරක් ඇත.  කෝදුරුවන් ඒ සිදුරෙන් රිංගන්නේ බිත්තර දැමීමටයි.


(ඩී.එෆ් කාරියකරවන මහතාගේ ලිපියක් ඇසුරිනි.)

5 comments:

  1. මේ ලිපිය කියවන්න කලින් මම හිතන් හිටියේ ගජබින්නාලන්කාරය කියලා කියන්නේ බොරුවක් කියලා. එහෙම පොතක් නැහැ කියලා.
    ඒ උනාට එහෙම පොතක් තියෙනවනේ.

    ReplyDelete
  2. ඔය පොත හොයා ගන්ට විදිහක් නැතිද ?

    ReplyDelete
  3. ගජබින්නාලංකාරය කියලා පොතක් තිබුණු බව මමත් අහලා නෑ. පුස්තකාලවලවත් තියෙයිද මන්දා.
    මල්මි,, දවසකට එකක් බැගින් ලිපි ඉදිරිපත් කරන්නකො, විස්තර ගොඩක් තියෙන නිසා කියවන අපට පහසුයි. ( ඉල්ලීමක් විතරයි හොඳේ )

    ReplyDelete
  4. හරී....

    ඔයා කියන විදිය හරි. දිග ලිපි ඒකදිගට කියවන්න අමාරු තමයි.

    ReplyDelete
  5. මේ විස්තර හොයාගත්තේ ලිපියකින්. පොත තියෙන තැනක් ගැන ඒකේ කිසිම සදහනක් නැහැ. රාජකීය පණ්ඩිත විලියම් අල්විස් මහතා එය කියවා ඇති බව විතරයි සදහන් වෙන්නේ

    ReplyDelete

කියවලා බලලා හිතට දැනෙන අවංකම දේ මෙතන කුරුටු ගෑවොත් ඒක මට ලොකු ශක්තියක්. ඒ නිසා ඔයාලගේ හැගීම් වචන වලට පෙරලන්න අමතක කරන්න එපා...!!!!!