Friday, September 16, 2011

තරුණියකගේ පිරිසිදු බව

තරුණියකගේ පිරිසිදු කම පරීක්ෂා කර බැලීම අපේ ආදී කාලයේ පටන් පැවති සිරිතක්.  කේන්දර බලා, නැකත් බලා, පෝරුවකට නංවා සිරිත් විරිත් ඉටු කිරීමෙන් පසුව අපි තරුණියක් විවාහ කර දෙනවා.  දෙවැනි දවසේ මනාලියගේ පිරිසිදු කම බලනවා.  ඇත්තටම ඇය ජය ගන්නේ එක ලකුණකින් පමණයි. එය ඇත්නම් ඇය පිරිසිදුයි. නැත්නම් ඉතිං සොරි තමයි. පිරිසිදුයි නම් රබන් ගසා රතිඤ්ඤා පත්තු කොට සතුට ප්‍රකාශ කිරීමෙන් පසුව ඇයව පවුලට පිළිගන්නවා.  

ගැහැනු දරුවෙක් වැඩි විය පැමිණි දිනයේ ඉදලම ඇයව තම ඇහැ වගේ රැකගන්නට මහන්සි ගන්නේ අම්මායි.  ඇත්තටම ඇය රැකගතයුත්තේ ඇයි කියා අම්මා දන්නවා.  ඇයට විය හැකි විපත කුමක්ද කියා අම්මා දන්නවා.  නමුත් එය අම්මා දුවට කියලා දෙන්න යන්නේ නැහැ.  
වැඩිවිය පැමිණි පසුව දියණියගේ නිදහස සීමා කරනවා.  පිරිමි ළමයින් දිහා බලන්නවත් අම්මා දුවට ඉඩක් දෙන්නේ නැහැ.  නිතරම දුව ගැන සොයනවා.  දුවට මේක ලොකු ප්‍රශ්ණයක් ( අද කාලේ නම් එහෙමද මට හිතාගන්න බැහැ).  ඉතින් මේ ගෑනු දරුවන් ඒ රහස හොයන්නට වෙහෙසෙනවා. 

එපා කියන දේම හොරෙන් හෝ කිරීමට පෙළඹෙනවා.  මේක ඉතිං සාමාන්‍ය මනුෂ්‍ය ගතියක්නේ.  හංගන දේ සොයන්නට මහන්සි ගැනීමත් ඒ වගේම තමයි.  මම හිතන්නේ තමා නොදන්න දේ දැනගැනීමට ඇයට අයිතියක් තිබිය යුතුයි.  ඒත් ඒ ඇයගේ වයසට ගැලපෙන ආකාරයට.  මේ ආකාරයට ඇයට තවත් තරුණියක් මුණ ගැහෙනවා. ඇයත් මේ ගැන ඇත්ත නොදන්න නිසා ඇයටත් ප්‍රහේලිකාවක්. යන්තම් කනට වැටෙන දේ ගැන කතාබහ කරනවා.  ඉතිං අන්තිමේදී ඇත්ත නොදැන නොමග යනවා.
ප්‍රේම කරන කාලයේදී නිතර මුණගැසීමට උත්සාහ කිරීම සාමාන්‍ය දෙයක්.  හුදකලාවේ මුණගැහෙන තරුණ තරුණියන් බොහෝ විට හැගීම්වලට වහල් වෙනවා.  නොකල යුතු දේ කිරීමට පෙළඹේ.  ඉන්පසුව කියනවා
“ආදරේ නිසයි මම එයා කියන දේට එකග වුනේ. ඒත් දැන් එයා මාව මගහරිනවා.....ඇත්තටම මේක ඇත්තද???

මේ තරුණියට මේ ගැන යම් වැටහීමක් කලින් තිබුණානම් ඇය ඇත්තටම මෙවැනි දේකට පෙළඹේවිද? මේ තරුණයා ඇයට ඇත්තෙන්ම ආදරය කලාද?
ප්‍රේම සම්බන්ධයක පරමාර්ථය විවාහය කියලයි අපි හිතන්නේ.  තරුණයෙකු තමන්ගේ පෙම්වතිය යම් දිනෙක තම බිරිද කරගැනීමට අදහස් කරනවා නම් ඇය ඔහුට වටිනා අගනා වස්තුවක් විය යුතුයි.  මේ තරම් ආදරය කරන වටිනා වස්තුවක් හැගීම් නිසා කෙලෙසන්න පෙළඹෙයිද???  

මා දන්නා විදියට පිරිමින්ට වඩා ගැහැණුන්ට හැගීම් පාලනය කරගැනීමේ හැකියාව වැඩියි.  ඒ නිසා නිතර ඉස්මතුවී එන හැගීම් පාලනය කරගත යුත්තේ ගැහැණියයි.  තරුණියක් වයස 16ක් විතර වෙනකොට පරිපූර්ණ කාන්තාවක් බවට පත්වෙනවා.  ඒ වුනත් තරුණයා පරිපූර්ණ පිරිමියෙක් වෙන්නේ වයස 21දී.  (මම වැරදි නම් නිවැරිදි කරත්වා).  මෙය බොහෝ දුරට සත්‍යයක් යයි පිළිගත හැකියි.

ආදරය නිසා මතුව ආ හැගීම් පාලනය කරගත නොහැකිව තරුණයා අතින් තරුණියට වරදක් සිදුවෙනවා. ඒ මොහොතේදී ඔහු ඇය අගේ කරනවා.  ආදරය කරනවා. ඒ ඔහු රාගික සිතුවිලිවලින් වෙලී සිටින නිසා.  ඒ වුනත් පියවි සිහිය ලැබුණු විට ඔහු මේ ගැන කල්පනා කරනවා.  ඉන් පසුව ඔහු හිතනවා මා එක්ක එයා ඔය විදියට හැසිරුණා නම් තවත් කෙනෙකු එක්කත් ඔහොම යයි.  එතකොට නම් ඔහුට ඔහුගේ වරද පෙනෙන්නේ නැහැ.  අර සිතුවිල්ල ඔහුගේ සිතට රිංගීම නිසා නිසි පරිසරයක් නොමැතිව බියෙන් වූ එක්වීම ඔහු කලකිරවයි.  ඔහු බලාපොරොත්තු වූ තෘප්තිය නොලැබුනි නම් ඔහුට ඇය එපා වෙනවා.  ඉතින් මෙලෙස තරුණියට වන්නේ සිදුවූ වැරැද්ද ගැන සිතා ලතවෙන්නයි.

තරුණයා ඇය අත්හැරීමෙන් කරන්නේ වරදක්.  නමුත් ආදරයක් නොමැතිව සැකයක් සමග විවාහ වනවාට වඩා එය බිද දැමීම නුවණට හුරුයි.  තරුණයාට එවැනි තීරණයක් ගැනීමටත් පළමුව එවැනි දෙයක් කිරීමටත් ඉඩ සැලැස්සුවේ ඇය නිසා ලතැවීමෙන් හඩා වැටීමෙන් පලක් වේද?

“මට ඔහු බලහත්කාරකම් කලා. දැන් ඉතිං මම අනාථයි.  මේ තවත් තරුණියකගේ අදෝනාවක්.  මේ වගේ සිද්ධි අපේ රටේ දැන් සැලකිය යුතු ලෙස සිදුවෙනවා.  කුඩා දැරියන්ට පවා මෙලෙස හිරිහැර කිරීමට මිනිසුන් පෙළඹිලා ඉන්නවා.  ඒ වුනත් ටිකක් තේරෙන වයසකට පැමිණි තරුණියකට බලහත්කාරකම් කලා කියලා පිළිගන්න ටිකක් අමාරුයි. බොහෝ විට මෙවන් දේ සිදුවන්නේ දෙදෙනාගේම කැමැත්තෙන්.

තවත් ප්‍රශ්ණයක් තියෙනවා.  ලැබෙන ඕනෑම අවස්ථාවක ප්‍රයෝජනයක් ගෙන තරුණියක් කෙලෙසන පිරිමියෙකුට ඇයව අතහැර පවිත්‍ර තරුණියක් සිය බිරිද වශයෙන් තෝරා ගැනීමට කොතරම් දුරට අයිතියක් තිබේද? මන්ද යත් මෙවන් අවස්ථාවක අසාධාරණයකට ලක්වූ තරුණිය සමාජයේද ගැරහුමට ලක්වෙනවා.  ඇතැම් අවස්ථාවල තවත් අය ඉන් ප්‍රයෝජන ගන්න උත්සාහ කරනවා.

මේ ලිපිය කියවන බොහෝ තරුණයන් විවිධ අදහස් පලකරන්නට පුළුවන්. ඒ සියල්ල උපේක්ෂාවෙන් විදින්නට මම කැමතියි.  මොකද මේ තත්වය මම ලගින් ඇසුරු කරන කෙනෙකුගේ එකම සහෝදරියට මේ දිනවල අත්විදින්නට වූ තත්වයක්. මමත් ඉන්නේ ඉන් කම්පනයට පත්වෙලා. මගේ උත්සාහය ඇයට උදව් කරන්නයි. මම ඒක කරනවා.

පිරිමියෙකුගේ අපවිත්‍රකම මැනීමට පියවි නෙතට හසුවන මිනුම් දණ්ඩක් නැහැ.  එහෙත් ගැහැණියකට ඇත.  මෙහි තියෙන වෙනස මෙයයි.  අත්හදා බැලීම් කිරීමට තරුණිය ඉවහල් කරගන්නා තරුණයා ඇගේ අනාගතය ගැන හිතන්නේ නැහැ. තමන්ට අම්මෙක් සහෝදරියන් සිටිනා බව සිහියේ තබාගන්නේ නැහැ.  
ඇය සිය කැමැත්තෙන් ආශාවන්ට ඉඩ දුන්නා වෙන්නට පුඵවන්. ඒ ඇයට විවාහ කරගන්නට ඔහුගේ අදහසක් තියෙන බව ඇය දන්නා නිසා.  එසේනම් ඇයගේ අනාගතය සුනුවිසුනු කර ඇයට හෙටක් අහිමි කර අත්හැර දැමීම පිරිමිකමක්ද?

ගතානුගතික සිරිත් විරිත්, සමාජ සංඛේත, පවිත්‍රතාවය මෙකී නොකී සියලු කඩතුරාවන්ට මුවා වෙලා අපි අපිවම රවටා ගන්නවා.  

පිරිමි ගැහැණු එක්ක සල්ලාලකමේ යෙදෙන්න කැමතියි.  ඒ වුනාට සල්ලාල ගැහැණියක් විවාහ කරගන්න අකමැතියි.  වෙනත් ගැහැණු අපවිත්‍ර කරන පිරිමියා පවිත්‍ර ගැහැණියක් සිය බිරිද වශයෙන් පතයි.  මේ පිරිමිකමේ සංඛේතයද?????????

 

16 comments:

  1. අක්කගේ අදහස් වලට මම් 100%ක්ම එකඟ වෙනවා. මොකද කතවක් තියෙනවා පිරිමියෙක්ව නාවලා ගෙට ගත්තම ඔක්කොම හරි කියලා. නමුත් ගෑනු කෙනෙක්ට එහෙම බෑ.

    තව දෙයක් එකතු කරන්න ඕනා. සමහර අතවර වලට ලක් වෙච්ච ගෑනු ළමයින්ට ඊලඟ අතවර කරන්නේ මාධ්‍ය වලින්. එයාගේ කතාව නාට්‍යක් කරලා ඒක රට්ටුන්ට අහන්න සලස්වනවා. එහෙම ඕනේ නෑ. ඇයි අපි කෙනෙක්ගේ දුකක් කතාවක් කරන් රස විඳින්නේ. මම් කියන්නේ මගේ මතය. මම වැරදි නම් මාව නිවැරදි කරන්න.

    තව දෙයක්. ගැහැනු කෙනෙක් තමන්ගේ හැඟීම් පාලනය කරගන්න ඉගෙන ගන්න ඕන අතරම පිරිමි කෙනාත් ඊට අනුබල දීම මිසක් හැඟීම් පාලනයෙන් තොර දේවල් වලට පොලඹවන්න හොද නෑ. මොකද ආදරය කියන්නේ ආසාවල් පසු පස්සේ දුවන දෙයක් නෙමේ. ඒ දේවල් විවාහයෙන් පස්සේ තිබ්බම හොදටෝම ඇති. ඊට කලින් එපා !!!!!

    ReplyDelete
  2. මේ දේවල් වලදි අම්මලාට ගොඩක් ලොකු වගකීමක් තියනව.දුවත් එක්ක ගොඩක් සමීපව කතා කිරීම.අද්දැකීම බෙදාගදා ගැනීම කරන්න පුලුවන් දේවල්.

    ලිංගික අධ‍‍ය්‍යාපනය ගැන විශේෂ අවධානයකින් ඉන්නත් ඕනේ.ඒ හා සම්බන්ද පොත්පත් සගරා සපයා දීලා කියවන්න උනන්දු කළයුතුයි.ඔය දේවල් සම්භන්ධව කුතුහලය,තේරුමක් නැතිකමිනුත් මේවාගේ දේවල් වෙන්න පුලුවන්.ඉස්කෝලෙන් දෙන දැනුම මදි කියලයි මට නම් හිතෙන්නෙ.

    ReplyDelete
  3. මෙහි සදහාන් වෙන පරිදි පිරිමියා මැණිම සදහා මිනුමක් නැහැ.. එහේත් ගැහැනිය පිළිබදව ගත් කල එයට නදි කියන අකාරයට දේමව් පියන්ගේ වැරැද විය යුතුයි.

    මව් පියන් තම දරුවන් පිළිබදව ගොඩාක් ලගින් ඇසුරු කල යුතුයි ගැහැණු/පිරිමි පාර්ශව දේකම එමගින් වෙන වෙනම කියා දිය යුයතුයි ගැහැණු දරුවේකු ඇයි පිරිමියේක්ට වඩා පරිස්සම් කරන්නේ වග .. එය කියයුත්තේ මල්වර කාලයේදිමයි.. හංගන්න දේයක් නැහැ දැනගතයුතුමදේ ඇය කවදා හරි දැන ගන්න බැවිනි ..එහේත් මේ කාලය වන විටත් ලිංගික අධ්‍යාපනයක් නොවෙන කාලේමයි මෙවන් දේ සිද්ධ වේන්නේ ඉතින් මෙයට පිළියමක් වසයේන් තමයි තම දරුවන් සමග ළඟින් හිද ආරාක්ෂාව පිළිබදව පැහැදිමක් දිය යුත්තේ....

    ශ්‍රී ලංකාව ගත් කග පුරාණයේදි අපිරිසිදු ගැහැනිය පිළිබදව මහාත් පහාත් තැනකට දාන තත්වයක් දැනගන්න ලැබිණි..එහේත් මෙම කාලය වන විට අපිරිසිදු කාන්තාවක් සහා පිරිසිදු කාන්තාවක් සම තැන ගන්නවා මා දැක තිබේනවා එවන්දේ සිදුවේන්නේ අපි නිසා නොවේද..තම සහොදරියන් පහාත් ලෙස ඇසිරිමකින් ගේදරට එන්නේ කිසිවක් නොදන්න ගානට.. එහේත මව් පියන් නොදනියි කුමක් වේදො කියා... මෙය පිරිහිමට කරුණකි.(නොසැලකිලිමත් කම)

    සමාජයක් වශයෙන් ගත් කල අපිරිසිදු ගැහැනිය හො පිරිමියන් සිටියි නම් පහාත් තත්වයකට ඇද දැමිය යුතුයි.. ඒ මගින් පිරිසිදු කාන්තාවකට/ පිරිමියේක්ට කළයුතු උපරිම පිරිනැමිම වෙනවායි කියලයි මගේ එකමතික අදහාස..

    මිරිමියේක් කාන්තාවකගෙ පසුපස යන්නේ ඔයදේ නිසා බවත් දැනගත යුතුයි.. පිරිසිදු භාවය කාන්තාවක් තුළ නැතිනම් කාන්තාවයි පිරිමියා පසු පස යා යුත්තේ...
    (වෙනස විතරයි පැහැදිමක් කළේ)

    ReplyDelete
  4. මධු....

    ඹයාගේ කතාව ගොඩක් අගේ කරනවා. මේ සත්‍ය සිදුවීමක් තොරතුරු නැතිව දැම්මේ. මම තාමත් හිතනවා මේ ළමයාට උදව් කරන්නේ කොහොමද කියලා.

    ReplyDelete
  5. නදී....

    ස්තුතියි නදී අදහස් ගොඩක් වටිනවා. පාසැලෙන් ලැබෙන දැනුම හොදටම මදි. අනික ගතානුගතික අදහස් නිසා අම්මලා දරුවන්ගෙන් දුරස් වෙනවා. ඒක ලොකු වරදක්.

    ReplyDelete
  6. හිරු එළිය....

    ඔව් දෙමාපියන්ට ලොකු වගකීමක් තියෙනවා. දරුවන් ගැන මීට වඩා විමසිලිමත් විය යුතුයි.

    ReplyDelete
  7. මල්මි අක්කා :
    ඒ කෙනා කාගේ කවුරු උනත් එයාට මේ වෙලාවේ උදව් කිරිමයි අවශ්‍ය !!!
    ඒ නිසා අක්කා කරන වැඩේ අක්කට ජාති ජාති පල දෙන ලොකු පිනක් !!!

    ReplyDelete
  8. "වෙනත් ගැහැණු අපවිත්‍ර කරන පිරිමියා පවිත්‍ර ගැහැණියක් සිය බිරිද වශයෙන් පතයි. මේ පිරිමිකමේ සංඛේතයද?????????"

    ඔන්න ඔය වගේ කතා වලට නම සම්පුර්ණයෙන්ම විරුද්ධයි අක්කෙ. එකෙක් දෙන්නෙක් එහෙම කලාට හැමෝම ඔය මිම්මෙන් මනින්න එපා.

    ReplyDelete
  9. තව දෙයක් අක්කෙ, ඔය වගේ රාගයට පමණක් සීමා වෙලා ඉවර වෙන සම්බන්ද කම් ගොඩක් කෙල්ලොත් දැන දැන තමයි පටන් ගන්නේ. හැමෝම නෙමෙයි හොඳද, සැලකිය යුතු ප්‍රතිශතයක්. දැන් කාලේ කෙල්ලෝ මුකුත් දන්නේ නැති බබාලා නෙමෙයි අක්කෙ. හැම ප්‍රශ්නෙක වගේම මේ ප්‍රශ්නෙත් දෙපැත්තක් තියනවා.

    ReplyDelete
  10. හිතන්න දෙයක් තියෙනවා.... ම්ම්

    ජය...

    ReplyDelete
  11. කසුන්...

    මම කියන්නේ හැමෝම නෙමෙයි. ඔයා කියන කතාව හරි. කාරණාව හොදටම පැහැදිලියි net බලනකොට. අදහස් අගේ කරනවා.

    ReplyDelete
  12. ගයාන්...

    අදහස් අගේ කරනවා.

    ReplyDelete
  13. ගැහැනුන් අතින් පිරිමින් අපයෝජනයට ලක් වෙන අවස්ථාත් තිබෙනවා. බොහෝ වෙලාවට ළමයි සහ තරුණයන්. ඔවුන්ට සිදුවන අපහසුතා, මානසික බලපෑම්, කායික රෝග ආදිය ගැන සමාජයේ සැලකිල්ලක් නෑ. මොකද ගැහැනුන්ට පමණයි සමාජය අනුකම්පා කරන්නේ.

    ReplyDelete
  14. විසිතුරු..
    ඒ ගෑනු හැමවෙලාවෙම දුර්වල ජාතියක් කියලා පිරිමියා හිතන්න පෙළඹිලා තියෙන නිසා. ඉතින් කාගෙද වැරැද්ද

    ReplyDelete
  15. අම්මා තාත්තලා ලව් කරන සීමාවල් මම මේ පහලින් ලිව්ව පෝස්ට් එකෙ වගෙ කියා දෙනවනම් ඒක ගොඩක් වටීවි
    http://sansaare.blogspot.com/2011/01/blog-post_9120.html

    ReplyDelete
  16. ජීවිතේ මල්...

    සීමාව විතරක් නෙමෙයි අනිසි ප්‍රථිපල. ගැනත් කියලා දෙන්න ඕනේ

    ReplyDelete

කියවලා බලලා හිතට දැනෙන අවංකම දේ මෙතන කුරුටු ගෑවොත් ඒක මට ලොකු ශක්තියක්. ඒ නිසා ඔයාලගේ හැගීම් වචන වලට පෙරලන්න අමතක කරන්න එපා...!!!!!