Tuesday, September 20, 2011

එකගෙයි දීග කෑම


වන්නියේ දුටු විවාහ චාරිත්‍ර , විවිධ රටවල දික්කසාද , තරුණියකගේ පිරිසිදු බව වගේ මාතෘකා ගැන කතා කලා පහුගිය දවස්වල. එකගෙයි කෑම ගැන නොලිව්වොත් ඒක අඩුවක් වගේ මට දැනුන නිසා හොයාගත්ත කරුණු ටිකක් ලියන්න අදහස් කලා. වැරදි ඇතොත් මා නිවැරිදි කරත්වා!!!!

බහු භාර්යා සේවනය වගේම බහු පුරුෂ සේවනය පිළිගත් සමාජ චාරිත්‍ර වලට පටහැනියි කියලා කවුරුත් දන්නවානේ.  නමුත් මුස්ලිම් භක්තිකයන්ට ස්ත්‍රීන් හතර දෙනෙක් විවාහ කරගැනීමට අවස්ථාවක් තියෙනවා ඔවුන්ගේ ආගමට අනුව. වෙනත් මුස්ලිම් රටවල ඒ සංඛ්‍යාව හත්දෙනෙකු දක්වා ඉහල යනවා.  දැන් සමාජ ක්‍රමය බොහෝ දුරට වෙනස් වෙලා නිසා එක් පුරුෂයෙකුට එක් ස්ත්‍රියක් සරණ පාවා ගැනීමට අවස්ථාව නීතියෙන්ම සලසා තියෙනවා.

නමුත් පැරණි සිංහල සමාජයේ විශේෂයෙන්ම උඩරට ප්‍රදේශවල පුරුෂයින් කිහිපදෙනෙකු එක් ස්ත්‍රියක් බිරිද වශයෙන් තබා ගැනීම බහුල ලෙස පැතිරුණු පිළිගත් සිරිතක්ව පැවතුනා.  එදා සමාජයේ මේ සිරිත ගැන පිළිකුලෙන් කතා කිරීමක් හෝ ලජ්ජා සහගත තත්වයක්, හිනාවට කරුණක් වූයේ නැහැ.  මේ සිරිත උසස් කුලවත් පවුල් වල මෙන්ම දුප්පත් පවුල්වල පවා සිරිතක් ලෙස පැවතුනා.

මේ කරුණු පිළිබදව ‍ඵෙතිහාසික කරුණු සොයාගැනීම අසීරුයි.  නමුත් උඩරට ප්‍රදේශවල මේ සිරිත පැවති බවට සාක්ෂි ඕනෑතරම් තියෙනවා.  පහතරට මුහුදු බඩ ප්‍රදේශවලත්,  යුරෝපීය සිරිත් මෙරටට පැමිණ ඒවා මුල්බැස ගන්නා තෙක්ම මේ පැරණි චාරිත්‍රය අනුගමනය කර ඇති බව පෙනේ.

“මේ රටේ උසස්ම පුද්ගලයාට හිටියෙත් එක බාර්යාවයි. ඒ වුනාට එක කාන්තාවකට බොහෝ විට පිරිමින් දෙදෙනෙක් හිටියා.  ලංකාවේ ඕලන්ද යුගයේ අතරමංවුන ඉංග්‍රීසි ජාතිකයෙකු වන රොබට් නොක්ස් ගේ ලියවිලි වල සදහන් වෙයි.  මේ විවාහ සිරිත දෙමාපියන්ගේ මැදිහත්වීමත් කැමැත්තත් ඇතිව සිදුකල ඒවායි.  ලංකාවේ පෘතුග්‍රීසි ආධිපත්‍ය පැවති කාලයේ රිබෙයිරෝ විස්තර කර ඇත්තේ මේ ආකාරයටයි.

“ඔවුන්ගේ විවාහ හාස්‍යජනක කාරණයකි.  ගැහැණු ළමයෙක් තම කුලයේ පුරුෂයෙකු සමග විවාහ ගිවිස ගනී.  (ඇයට කුලයෙන් පිට විවාහ විය නොහැක.  නෑදැයින් කැමතිනම් විවාහය කරදෙනු ලබයි.  පහුවෙනිදාට ස්වාමිපුරුෂයාගේ සහෝදරයෙකු ඔහුගේ ස්ථානය හිමි කරගනී.  සොහොයුරන් හත්දෙනෙකු සිටින්නේ නම් රාත්‍රියයන් මාරුවෙන් මාරුවට බෙදා ගනිමින් කෙනාගෙන් කෙනාට වැඩි අයිතිවාසිකමක් නොමැති වන ලෙස ඇය ඒ හැමදෙනාගෙම බිරිද බවට පත්වෙයි.

දහවල් කාලයේදී ඇගේ කුටිය ප්‍රයෝජනයට ගෙන නොමැති බව ඔවුන්ගෙන් කිසිවෙකු දුටුවේනම් අවස්ථාවේ හැටියට ඔහුට ඇය සමග අඹුසැමියන් ලෙස හැසිරිය හැකිය. ඔහු එහි සිටින තුරු වෙනත් කිසිවෙකුට එහි ඇතුලු විය නොහැක.  විවාහ ගිවිසගත් පුද්ගලයා කවුරු වුවත් ඔහුට අනෙක් අය ප්‍රතික්ෂේප කල නොහැක.  මන්දයත් ඇය ඒ සැමගේම බිරිදයි.  බාල සොහොයුරා විවාහ වුවහොත් පමණක් ඔහුගේ බිරිද පිළිබදව අනෙක් සොහොයුරන්ට අයිතිවාසිකම් කිව නොහැක.  නමුත් ඔහුට අනෙක් සොයුරන්ගේ බිරින්දෑවරුන් පිළිබදව අයිතියක් ඇත.

නමුත් සොයුරන් හත්දෙනෙකුට වඩා සිටියහොත් එම ගනන ඉක්මවන සොහොයුරන් හට ඇය පිලිබදව කිසිදු අයිතියක් නොමැත.  එහෙත් සොයුරන් දෙදෙනාගේ සිට පස්දෙනෙකු දක්වා සිටින්නේ නම් ඔවුන් එක බිරිදකගෙන් සෑහීමකට පත්වේ.  සොහොයුරන් වැඩි ගණනක් සිටින ස්වාමි පුරුෂයා හා විවාහ වන කාන්තාව ඉතා වාසනාවන්ත අයෙකු ලෙස සලකන ලදී.  ඔවුන් ඇය වෙනුවෙන් මහන්සි වී වැඩ කරමින් හා ගොවිතැන් කරමින් උපයන සෑම දෙයක්ම ගෙදරට ගෙන එන එමි ඇය බොහෝ ගරු සත්කාර ලබමින් ජීවත් වේ.  මේ හේතුව නිසා දරුවන් සියලු දෙනා මේ සොයුරන් හැම දෙනාටම අමතනු ලබන්නේ ඔවුන්ගේ පියා යනුවෙනි.

පැරණි සිංහල සිරිත් අනුව විවාහයත් ලිංගික සම්බන්ධතාත් එතරම් ලොකු දේවල් විදියට සලකා නැති බව මේ සිද්ධිවලින් පෙනී යනවා.  ඒවා නිරායාසයෙන් ඇතිවන ස්වාභාවික සිදුවීම්ය.  එක ස්ත්‍රියක පුරුෂයන් කිහිපදෙනෙකුට විවාහ කරදුන් පසු එම පුරුෂයෝ නෑකමින් සොයුරන් විය.  පවුලෙන් පිටස්තර කෙනෙකු හවුල් කරගන්නේ නම් ඒ ඉතා කලාතුරකිනි.  බොහෝ වෙලාවට මේ සොයුරන් එකම මව්පියන්ගේ දරුවන් වේ.  පැරණි සිංහල පවුල් අතර සමාජ ඒකකය වූයේ පුද්ගලයා නොව පවුලයි.  භාර්යාව හා ඇති බැදීමට වඩා පවුල වශයෙන් ඇති කර ගෙන තිබුණ බැදීම වඩා ශක්තිමත් එකක් වුනා.  ඒ නිසාම කාන්තාවක් නිසා සොයුරන් අතර ඇතිවී තිබුන බැදීම බිදහෙලීම ලෙහෙසි පහසු කටයුත්තක් වූයේ නැත.

ගැහැණිය තමන් සතු කරගතයුතු වස්තුවක් ලෙස නොසලකන ලද හෙයින් හා සහෝදරයින් කිහිපදෙනෙකුට එක කාන්තාවකගෙන් සෑහීමකට පත්වීමට ඇති හැකියාව නිසා අවුල් ඇති වුනේම නැති තරම්ය.  බොහෝ විට මෙවන් විවාහ වලට උචිත පරිසරයක් නිර්මාණය වූයේ  පවුල් පිලිබද ඇති බැදීම නිසා සොයුරන් සියලු දෙනාම තම මුල් ගෙදර ජීවත්වීම යයි සිතිය හැකියි.  මෙසේ ගතකරන ලද විවාහ ජීවිතය එකගෙයි රස්සාවීම, හෝ එක ගෙයි කෑම යනුවෙන් හැදින්වුනා.  සිංහල ගැමියන් අතර තම බිරිද හෝ ස්වාමියා හෝ කෙලින්ම හැදින්වීම සාමාන්‍ය සිරිත නොවෙයි.

සොයුරන් දෙදෙනෙකු හෝ තිදෙනෙකු එක බිරිදක් සමග විවාහ ජීවිතය ගත කරනවා නම් ඒ බව හෙළි කලේ “අපි එකගෙයි රස්සා වෙනවා. කියලයි.  කාන්තාව ඒ බව කියන ලද්දේ මම ඒ දෙන්නාටම බත් ‍උයලා දෙනවා යනුවෙනුයි.  මේ කියමන් දෙකෙන්ම හෙලි වන්නේ එදා සමාජයේ සිංහලයන් විසින් ලිංගික ජීවිතයට මුල් තැනක් නොදුන් බව හා විවාහක පිරිමියෙකු සතු ප්‍රධානතම යුතුකම බිරිද හා දරුවන් පෝෂණය කිරීමත් බිරිදගේ යුතුකම ස්වාමි පුරුෂයින් හට කෑම බීම පිළියෙල කරදීම බවයි.

මේ විදියට එකගෙයි දීගකනකොට එකිනෙකාට අවහිර නොවන ආකාරයට ලිංගික සම්බන්ධතාවයන් පවත්වාගෙන යන්නට ඔවුන් ගන්නා ක්‍රියා මාර්ග ගැන අපට අසන්නට ලැබෙනවා.  ජනප්‍රවාදයේ එන විදියට එක සොහොයුරෙක් එසේ නිදහසේ හැසිරෙන බව අගවන්නට තමන්ගේ උතුරු සලුව (අමුඩ ලේන්සුව මේ දෙකෙන් එකක්) දොරෙහි එල්ලා තබනවා.  දුප්පත් පොහොසත් බේදයකින් තොරව පැවති මේ බහු පුරුෂ විවාහ අපේ සිංහලයන් අතර පැතිර යන්නට හේතු වූ කාරණාත් තියෙනවා.  එක් පුරුෂයෙක් එක් බිරිදක් සමග පවුල් කෑම බලන කොට ආර්ථික අතින් මෙය තරමක් දුෂ්කර කාරියක්.  දුප්පත් අය අතර මෙවන් විවාහ ප්‍රචලිත වන්නට එක් හේතුවක් වූයේ මෙයයි.  ඉඩකඩම් දේපල බෙදී යාම වැලැක්වීම ප්‍රධානතම අරමුණක් වුනා.  අනෙක් කාරණාවක් තමයි පවුලේ සහෝදරයන් අතරේ සමගිය ඇතිකරලීම.  පවුල් බලය ශක්තිමත් කිරීමහා ළමයින්ගේ අභිවෘද්ධිය යන කරුණු උසස් සමාජයේ මේ වගේ විවාහ වලට හේතුවක් වෙලා තිබුනා. 




6 comments:

  1. අම්මෝ හොද වෙලාවට මම් ඒ කාලේ හිටියේ නැත්තේ නැත්තන් මට සහෝදරයෝ එක්ක මර ගන්න වෙනවා. මොකද මමනේ පවුලේ වැඩිමලා. හික්ස් :)

    තව දෙයක් තමයි පරපුරුෂ සේවනයත් උඩරට සුලභ දෙයක්. තමන්ගේ ස්වාමියා එනකොට තමන්ගේ හොර සැමියා ගෙයි ඉන්නවනම් තමන්ගේ නියම ස්වාමිපුරුෂයාට අළු කුල්ලක් මූනට දා ගසනවා. නියම ස්වාමි පුරුෂයා මූනට වැටිච්ච අළු පිහින වෙලාවට හොර සැමියා ගෙයින් පැන දුවයි.

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. ප.ලි. - වන්නියේ විවාහ සිරිත්, දික්කසාද වීම්, තරුණියකගේ පිරිසිදු කම වගේ මාතෘකා ..............

    ඔය පෝස්ට් තුනට ලින්ක් දැම්මා නම් කියවන්න කැමති කෙනෙක්ට ඒවා ක්ලික් කරලා කියවන්න පුලුවන්.

    මේකයි අක්කා ක්‍රමේ.

    ලින්ක් එක දාන්න ඕන වචන ටික සිලෙක්ට් කරන්න
    උදා-වන්නියේ විවාහ සිරිත්

    ඊට පස්සේ අර දම්වැල වගේ තියෙන අයිකන් එක උඩ ක්ලික් කලාම පොප් අප් වෙන වින්ඩෝ එකේ අදාල ලින්ක් එක කොපි කරලා ඕකේ කරන්න.
    උදා- http://malmiart.blogspot.com/2011/09/blog-post_14.html
    මේ ලින්ක් එක අදාල පොප් අප් වින්ඩෝ එකේ පේස්ට් කරන්න.

    හරිම ලේසියි.

    මම කිව්ව විදිහ අක්කට තේරුනේ නැත්නම් මෙතන ක්ලික් කරලා මේ ටියුට් එක බලන්න.

    මම් සරලව කියපු නිසා අක්කට නොතේරෙන්න විදිහක් නෑ. මම් හොද ගුරුවරයෙක් නේද අපේ අක්කා. (අපෝ වෙන නැතුවට :))

    ReplyDelete
  4. This comment has been removed by the author.

    ReplyDelete
  5. ලින්ක් ටික හරියට වැඩ නෑ අක්කේ.Blog Archive විජට්ටුවේ බ්ලොග් පෝස්ට් එකේ නම රයිට් ක්ලික් කරලා කොපි ලින්ක් ලොකේශන් ක්ලික් කරන්න.

    ඊට පස්සේ ඒ කොපි කරගත්ත ලින්ක් එක උඩ මම් කියලා තියෙන තැන පේස්ට් කරන්න.(ලින්ක් එක අර පොප් අප් වින්ඩෝවේ පේස්ට් කරන්න )

    ReplyDelete
  6. ඔන්න මධුරංග පෙන්නපු පාර දිගේ මම් ආවෙ...

    බාල ඈයොන්ට මොකටද අමුතු වරප්‍රසාදයක්?

    ReplyDelete

කියවලා බලලා හිතට දැනෙන අවංකම දේ මෙතන කුරුටු ගෑවොත් ඒක මට ලොකු ශක්තියක්. ඒ නිසා ඔයාලගේ හැගීම් වචන වලට පෙරලන්න අමතක කරන්න එපා...!!!!!