Wednesday, September 14, 2011

වන්නියේ දුටු විවාහ චාරිත්‍ර




බස් රියකදී, ටියුෂන් පංතියකදී හෝ වෙනත් පාටියකදී මිතුරු කමක් ඇති කරගන්නා කෙල්ලෙක් හා කොල්ලෙක් ලෝකය හතර වටේටම පොඩි රවුමක් ගසා පුංචි නවාතැනක නිතර මුණ ගැසී තියෙන කෙළි සියල්ලෙන් අවසන් කොට රටේ පිළිගත් ඉහලම පැලැන්තියේ හෝටලයක ඉහල පැලැන්තියේ ඇත්තන්ට ආරාධනා කොට, ඔවුන් ඉදිරියේ නීතිමය සිරිත් කිරීමෙන් අනතුරුව තමන්වත් නොපෙනෙන තරම් කේක් ගෙඩියක් කපා ගුදම් ගණන් මත් පැන් පානය කරති. ඉන්පසු දහඩිය හලාගෙන හති මුනින් දාගෙන ජාතික ගීයටත් නටා අවසානයේදී පැමිණියවුන්ට බායි කියමින් මධු සමය ගත කිරීමට පිටත්වෙති. මේ අප නිතර දකින සිද්ධි මාලාවකි.  නමුත් අපේම රටේ ඈත වන්නියේ ගම්මානවල විවාහ සිරිත් විරිත් කෙරෙන පිළිවෙල මීට හාත්පසින්ම වෙනත් මුහුණුවරක් ගනී.

හේනේ කුරක්කන් කපන්නට ගිය විටෙක, එසේත් නැතිනම් නාන්න ගිය විටෙක මිතුරු කමක් ඇති කරගත් තරුණ ජෝඩුවකගේ විවාහය වටා ගෙතුණ සිරිත් විරිත් පුදුමාකාරය.  එමෙන්ම ඇතැම් අවස්ථාවක නගරබද අයට නම් සිනාසීමටත් හැකියාවක් ඇති කරුණුය.  එසේම යන්තම් දැලි රැවුල එන්නටත් පෙර කෙලි පැටික්කෙකු සොයාගන්නට දගලන කොල්ලන්ට ආදර්ශයකි.

සමහරක් සිරිත් වන්නියේදීත් අද දකින්නට නොමැති අතර ඒවා පොත පතට පමණක් සීමා වී ඇත.  “තේරුම් මාලුව, තහන්චි කිරීම, කෙසෙල් පුටුව ඒ සිරිත් විරිත් අතර වැදගත් තැනක් ගනී.  මහදැනමුත්තා හා මහදැනමුත්තී (දැනමුතු අම්මා) කැපී පෙනෙන හා විශාල වගකීමක් ඇති චරිත දෙකකි.  

සැතපුම් ගණනාවක් එහා පිහිටි ගමක තරුණියක් තමන්ගේ ගමට කැන්දා ගෙන ඒමට අවශ්‍ය වූ විට නියම සිරිත් විරිත් අනුගමනය කිරීමට ගැමියෝ සැදී පැහැදී සිටිති.

පළමුව මගුල් කපුවෙකුගේ මාර්ගයෙන් තරුණියගේ දෙමාපියන් දැනුවත් කරනු ලබයි.  ඔවුන්ගේ කැමැත්ත ලබාගැනීමෙන් පසුව තරුණයාගේ පාර්ශවය එහි යාමට කපුවා දිනයක් නියම කරගනී.  තරුණයාත් ඔහුගේ වැඩිහිටි නෑදැයින් හතර පස් දෙනෙකුත් වේලන ලද ගෝන මස්, හෝ මුව මස් රාත්තල් විසිපහක් පමණ හා මී පැණි බෝතල පහක් හයක් ද රැගෙන කදක බැද තුවක්කුවක් ද ගෙන තම ගමේ සිට තරුණියගේ ගමට මහා වනාන්තරය හරහා ගමන් කරනු ලබයි.

පැය ගණනක ගමන අවසානයේදී තරුණියගේ නිවෙස අසලට ගිය විට එහි දෙතුන් දෙනෙක් පැමිණ ඔවුන්ගේ අතේ තැබූ බඩු මුට්ටු අතට ගෙන ඒ පසුපස යති.  නිවසේ ඉස්තෝප්පුවේ අද මෙන් වාඩිවීමට පුටු තබා නැත. ඒ සදහා විසිතුරු රටා වලින් අලංකාර කරන ලද පැදුරු එළා ඇත.  වතුර පිපාසය නිවා ගැනීම සදහා පලමුවෙන්ම හෙනේ වැලෙන් කඩාගත් පැණි පුහුල් (පැණි කොමඩු) ගෙඩියක් කපා කෑමට දෙයි.  මෙයින් තිබහ ඇරුණාට පසු බුලත් විටකින් සප්පායම් වෙති.  ඉන්පසු මනාලයාට තම මනාලිය බැලීමට අවස්ථාව සලසන වේලාවයි.

අලුත් චීත්තයකින් හා හැට්ටයකින් සැරසී ලැජ්ජාවෙන් බිම බලාගත් ගැටිස්සිය තවත් වැඩිහිටි කාන්තාවක් සමග ඇතුල් ගෙයින් එළියට එයි.  තරුණයාට බුලත් හෙප්පුවක් දෙනු ලබන අතර හෙප්පුව ගන්නා විට තරුණයා ඇගේ හැඩ නිලත් බලාගනී.  අනතුරුව තරුණිය ගෙට යයි.  ඊලගට නෑදෑයින් දෙපක්ෂයම එකතු වී දහවල් ආහාරය ගෙන තරුණියගේ පක්ෂයට සිය ගම් බිම් බලන්නට පැමිණෙන්නට දිනයක්ද නියම කොට කළුවර වැටෙන්නට පෙර සිය නිවෙස් බලා යති. 


ඊළගට තරුණියත් තරුණියගේ පාර්ශවයේ වැඩිහිටියනුත් පැමිනෙයි.  ඒ දවසට තරුණයාගේ ගෙදර මිදුලේ වෙනදාටත් වඩා හරක් (අසල්වැසියන්ගේ හරකුත් එක්ක) , අටුවේ කුරක්කන් ගෝනි පුරවලා, මිදුලේ පිරෙන්න ගොයම් කොළ ගොඩගහලා තිබේ. මේ සියල්ලම කරනු ලබන්නේ තමන්ගේ ධනවත් කම පෙන්වීම සදහායි. තරුණියගේ පැත්තේ උදවියද කුලමල ගම් බිම් බලා සෑහීමකට පත්ව රැ බෝ වෙන්නට පෙර ගෙදර යති.  එසේ දෙපක්ෂයේම කැමැත්ත ලබා ගත් පසු ගමේ කෙනෙකුම ලවා හොද නැකතක් බලති.  මගුල් ගෙදර තීන්දුකරගත් පසු මගුල ගනු ලැබේ.  


මගුල් ගෙදර දිනට ගම් දෙකටම වැඩ අධික දිනයකි.  කවුරුත් හොද ඇදුම් පැළදුම් ඇදගෙන කා බී සතුටු වෙති.  මගුල් ගෙදරට එන අමුත්තන්ට වාඩි වීම සදහා ගෙයි ඉස්තෝප්පුවද කෑම බීම සදහා අලුතින් ඉලුක් කොල හෙවිල්ලා සාදන ලද මඩුවක් පිළියෙල කර ගනී.  කාන්තාවන් සදහා ඇතුල් ගෙය ( ඇතුල් කාමරය) පිළියෙල කොට ගනී.  ඊළගට මනාලිය කැන්දාගෙන එන්නට සුභ නැකතින් පිටත්වෙති.


මේ ගමනට මනාලයා සමග යන්නේ කිට්ටුවන්ත නෑදැයින් කිහිපදෙනෙකු පමණි. විශේෂයෙන් “දැනමුතු අප්පා හා “දැනමුතු අම්මා යන දෙදෙනා සහභාගී වෙති. මනාලියට ඇදුම් ඇන්දවූ තැන සිට ඇය නිවසට කැන්දාගෙන එන තෙක්ම මේ දෙදෙනා ඇයට වගකිව යුතුය.  මනාලියට යම් අතුරු ආන්තරාවක් වුවහොත් මේ දෙදෙනා ඒ සදහා වගකිව යුතුය.  මනාලිය කැන්දාගෙන ඒම සදහා යන මේ කාණ්ඩය මනාලියගේ නිවසට කිට්ටු වූ විට තුවක්කුවකින් වෙඩිල්ලක්  තබා තමන් එන බව කලින් දන්වා සිටී.  මනාල කණ්ඩායම ලග ලගම එනබව තේරුම් ගන්නා අනෙක් පාර්ශවය වහා වහා කටයුතු සූදානම් කරති. 


නිවස අසල කඩුල්ල ලගට කාන්ඩය කිට්ටු වෙයි.  “බීරංග ගසන කොල්ලන්ට ඉස්පාසුවක් නැත කන් බිහිරි කරවන හඩකින් බීරංග ගසන්නට ඔවුහු දක්ෂය. මෙතැන් පටන් දෙපක්ෂයේම නෑදැයින් තමන්ගේ දැනඋගත්කම් පෙන්වීමට පටන්ගනී.  කඩුල්ල ලගට පැමිණෙන එක්තරා වැඩිහිටියෙක් ඔවුන්ට කඩුල්ල තහංචි කරනු ලබයි.  තහංචි කවට පිළිතුරු කවක් කියා එම තහංචිය ඉවත් කල යුත්තේ මනාලයාගේ පාර්ශවයයි. පසුව මනාල පාර්ශවය කඩුල්ල පැන මිදුලට පැමිණේ.  


මෙතැන් පටන් මනාලයා ඉතාමත් පරීක්ෂාවෙන් කල් ගෙවිය යුතුය.  ඔහු අතින් සිදුවන සුළු ප්‍රමාද දෝෂයකින් පවා හාස්‍යයට ලක් කිරීමට හා දෝෂ දර්ශනයට ලක් කිරීමට මනාලියගේ පාර්ශවයෙන් බොහෝ උපක්‍රම යොදා ඇති බැවින් හෙතෙම හැම මොහොතකම සිහිකල්පනාවෙන් සිටිය යුතුය. මෙමගින් ඇත්තවශයෙන්ම බලාපොරොත්තු වන්නේ මනාලයාගේ ප්‍රඥාව අවබෝධ කර ගැනීම හා ගම් දෙක අතර අවබෝධය හා විනෝදයත්ය.  නමුත් බැරිවෙලාවත් සිද්ධින් දෙක තුනකින් මනාලයා නෝන්ජලයෙකු බව ඔප්පු වුවහොත් මනාලිය නොමැතිව හිස් අතින් ගෙදර ඒමට මනාල පාර්ශවයට සිදුවේ.


නිවසට ගොඩවීමට කලින් මනාලයාගේ කකුල් සේදීම සදහා මනාලියගේ මස්සිනා කෙනෙකු ඉදිරිපත් වෙයි.  පසුව මනාලයා විසින් අසල තිබෙන කොරහට රිදී කාසියක් දමන්නේ මස්සිනාටයි.  පසුව සියල්ලෝම ඉස්තෝප්පුවේ අසුන් ගනිති. ඉන්පසුව නැකත් වේලාව එනතෙක් බලාසිට මනාලියට ඇදුම් අන්දවයි.  මේ සදහා විශේෂයෙන්ම පිළියෙල කරන ලද හැට්ටයක් අන්දවන අතර රත්තරන් හෝ රිදී මාලයක් පළදවනු ලබයි.  පසුව මනාලයා නැවත ඉස්තෝප්පුවේ වාඩිවෙයි.


විවාහ වෙන නැකත ආසන්න වන අතර මේ සදහා ඇතුල් ගෙයි කොනක් පිළියෙල කර ගනී.  මේ නිවෙස් වල ජනෙල් නොමැති නිසා ඇතුලත ඇති අන්ධකාරය නැති කිරීමට පොල් තෙල් පහන් දෙක තුනක් පත්තු කරනු ලබයි.  ඉහත සදහන් කරන ලද ස්ථානයේ සුදු හාල් අතුරවනු ලබයි.  මනාල ජෝඩුව සිටගනු ලබන්නේ ඒ මතයි.  ඔවුන් ඉදිරියේ ඇස් වට්ටියක හාල් පොල් කැවුම්, කෙසෙල්, පලතුරු වර්ග පුරවා තබන අතර ඉදිරියෙන් පොල් තෙල් පහනක්ද දල්වනු ලබයි.  ඉන්පසුව ඇවැස්ස මාමා කෙනෙකු පැමිණ අතපැන් වත්කර දෙදෙනා විවාහ කරවයි.


මගුල් මේසයට කෑමට ආරාධනා කරනු ලබන්නේ ඉන් අනතුරුවය. මනාලයාට හා මනාලියට ඒ සදහා විශේෂයෙන් ආසන දෙකක් තනා ඇත.  මේ අවස්ථාවේදී මනාලයා ඉතා සිහිකල්පනාවෙන් සිටිය යුතුය.  තම ආසනය ගැන ඔහු සැලකිලිමත් නොවුනහොත් මහත් ලැජ්ජාවකට පත්වීමටද පුළුවන.  ඇතැම් අවස්ථාවලදී මනාලයාගේ ආසනය වෙනුවට කෙසෙල් බොඩයෙන් පුටුවක් සාදා මනාලියගේ අසුනට ලංකොට උඩින් සුදු රෙද්දක්  එලා තබයි. කිසිදු ඉවක් බවක් නොමැතිව ඇවිත් අසුන් ගතහොත් කෙසෙල් බොඩ පුටුව කඩාගෙන බිම වැටී මහත් අපහසුතාවයකට පත්වීමට ද පුළුවන.  එසේ නොමැතිව පළමුවෙන් තම ආසනය අතින් තරමක් ඈත් මෑත් කොට බැලුවහොත් හොරය එලිවෙයි.  නමුත් ඉන් බේරී එකවිටම ආහාර ගත නොහැකි.  කෑම මේසව සුදු රෙද්දකින් වසා ඇති අතර කව්රු හරි කෙනෙක් කවියක් කියා එයද තහංචි කරනු ලබයි.  බඩගින්නේ පෙලෙමින් සිටින මනාලයාට කොතරම් නොඉවසිලිමත්කමක් ඇතිවුවත් කවුරු හරි තහංචිය ඉවත් කළ යුතුය.  එසේ ඉවත් කොට වසා ඇති රෙදි කඩ අයින් කල යුතුය.


කෑම මේසයේදී විශේෂ තැනක් ගන්නේ ඕලු බත් කෑමයි.  කැලෙන් සොයා ගත් ගෝන මස්, මුව මස්, ඌරු මස්, තලගොයි මස්, වැව් වලින් සොයා ගත් ලූල් මාළු, තෙප්පිලි මාලු, මඩාර මාලු කෑම මේසය  රසවත් කිරීමට තබා ඇත.  තෙලටිය දළු, හා සාරන මැල්ලුම් ද දක්නට ලැබෙයි.


කෑම මේසයේ තැනින් තැන අමුතු අන්දමේ වෑංජන තුනක් හෝ හතරක් දක්නට ලැබේ.  මේ දෙස හොරැහින් බලන මනාලයාට හීන් දාඩිය දමයි. මනමාල කමේ අරුමය දැනෙන්නේ මෙවන් අවස්ථාවලදීය.  “ගෑනු ගන්නවාට වඩා නෑවිදින් හිටියානම් හොදයයි සිතෙන්නේ මෙවිටය. එසේ තැනින් තැන තබා ඇත්තේ තේරුම් මාලුය.  මේවා කුමන ඒවායින් හදන්නේදැයි මනාලයා කිවයුතු වෙයි.  මනාලියත් නෑදැයනුත් ඉදිරියේදී එය කියනු නොහැකි වුවහොත් වස ලැජ්ජාවකි.  කෙසේ හෝ එකක්වත් කිව යුතුය.  තේරුම් මාලුවකින් ටිකක් කෑවොත් ඒවා මොනවායින් සාදා ඇත්දැයි කාටවත් කිව නොහැකිය.  තේරුම් මාලු බොහෝ කොට හදන්නේ කැනස් කොළ පැෂන් පෘට් කොළ, කෝමාරිකා , ගෝනි කෑලි, පිදුරු යනාදිය ලුනු, කහ, ගම්මිරිස්, දැමීමෙන්ය.  මේවා අනුභවයට නොගනී.  කටෙහි ගා තේරීමටම පමණි.


පසුව මනාලියගේ පියා තම දියණිය වෙනුවෙන් දෙනු ලබන දෑවැද්ද ගැන විස්තරයක් කරනු ලබයි.  හරක් විසි පහක තිහක පට්ටියක් හා වී පෑල් දෙක තුනක වපසරියක් ඇති කුඹුරක්ය.  තවත් මීට අමතරව හේනක් ද දෙනු ලබයි.  


ඉන්පසුව මනාලිය කැන්දාගෙන යන්නට වෙලාව ආසන්නවේ.  මනාලියගේ මව පියා සහෝදර සහෝදරියන් ඇගේ වෙන්වීම ඉවසා දරා ගත නොහැකිව හඩා වැලපෙයි.  මනාලයා මනාලිය කැන්දාගෙන කඩුල්ල ලගට එනවිට ඇගේ මස්සිනා කෙනෙකුට කඩුල්ල තහංචි කල හැකිය.  මනාලයා විසින් ඒ තහංචිය ඉවත් කොට මනාලිය සමග යා යුතුය.  


මනාලියගේ නිවසට පැමිණිමේදී එහි දැරියන් කිහිපදෙනෙක් ජයමංගල ගාථා කියා පිළි ගනිති.  පසුව මනාලයාගේ සහෝදරියක් කිරි වීදුරුවක් දී අලුත් ජෝඩුව පිළිගෙන ගෙට ගනී.


13 comments:

  1. නියම චාරිත්‍ර ටික තමයි. හරිම සරල ජීවන රටාවක්. මාත් ගොඩක්ම ආස මෙහෙම නැති උනත් සරල ජීවිත රටාවකට.

    ආහ්... මම් අහලා තියෙනවා. මගුල් ගෙයි කෑම කාලා ඉවර උනාම මනමාලයාට දෙනවලු අන්නාසි ගෙඩියක්. ඒක කපන ආකාරයට මේ මනුස්සයා ලෝබයෙක්ද නාස්ති කාරයෙක්ද කියලා තීරණය වෙනවලු.

    ReplyDelete
  2. එහෙම බැලුවහම මගුලක් කන එකත් ලේසි පහසු දෙයක් නේමේ වගේ :)

    ReplyDelete
  3. මම් ඇහුව විවාහ උත්සවේ පලවෙනි දවසේ මනමාලයගේ අම්ම යන්නෙ නැතිලු උත්සවයට.අනේ ඇයි අප්පා අම්මට එන්න නොදෙන්නෙ:(

    ReplyDelete
  4. හප්පාහ්! මෙහෙමනම් කසාඳ නොබැන්දත් කමක් නෑ වගේ.. ඒත් හැබැයි ඒකේ ‍පොඩි රසයකුත් තියෙනවා.. :D

    ReplyDelete
  5. මධු....

    දැන් මේ විදියට මගුලක් කන්න ගියොත් එන උන් අපිව කයි.

    ReplyDelete
  6. නදී...

    ඔව් මගුල් ගෙදර දවසට අම්මාට එන්න යන්නේ නැහැ තමයි. ඇය ඊට සහභාගි වෙනවා නම් මනාලියගේ පැත්තෙන් අවසර ගතයුතු වෙනවා. මේ සිරිත අදත් උඩරට ප්‍රදේශවල පවතිනවා.

    ReplyDelete
  7. චතුවා...

    ඇත්ත, ඒකෙ රසයක් විනෝදයක් වගේම සරල බවකුත් තියෙනවා. ඒත් නරක දේ දෑවැද්ද තමයි.

    ReplyDelete
  8. අල්පේච්ච ජීවන රටාවක්‌ හා මනා අවබෝදයකින් කරන කටයුත්තක්‌..අද කාලෙ වාගේ කොල්ලගේ ජොබ් එකටවඩා ඒ කාලේ බලලා තිබෙන්නේ කොල්ලගෙ දැනමුතු කම....ඔක්‌කෝටම වඩා මටනම් හිත ගියේ කැම මේසයට..මතක්‌ වෙද්දී කෙලත් උනනවා...

    ReplyDelete
  9. මගෙ අම්මෝ.. පවුල් කනවට වඩා අමාරුයිනෙ සහේට ගන්න එක.. :D

    ReplyDelete
  10. චන්දික...

    හරියට අවබෝධයෙන් නොකලොත් හැමදේම අමාරුයි තමයි

    ReplyDelete
  11. මෙහෙමවත් මේවා අහන්න ලැබෙන එක ලොකු දෙයක්...

    ReplyDelete
  12. ඔහොම කට්ට කාලා ගෑනු ගන්නේ මොකටද?....

    ReplyDelete
  13. මඟුල් තමා මඟුල් :))

    ReplyDelete

කියවලා බලලා හිතට දැනෙන අවංකම දේ මෙතන කුරුටු ගෑවොත් ඒක මට ලොකු ශක්තියක්. ඒ නිසා ඔයාලගේ හැගීම් වචන වලට පෙරලන්න අමතක කරන්න එපා...!!!!!