Saturday, August 13, 2011

දළදා පෙරහැර

සමස්ත බෞද්ධ ලෝක ජනතාවගේ මුදුන් මල් කඩක් සේ සැලකෙන දන්ත ධාතූන් වහන්සේ  වෙනුවෙන් හා දෙවිවරුන් වෙනුවෙන් පැවැත්වෙන දළදා පෙරහැර සමයයි මේ.  දිවයිනේ ඇසළ වකවානුව යනු බෞද්ධ ජනතාවගේ පෙරහැර පැවැත්වෙන සමයයි.  පෙර කාලයේ පටන් විහාර දේවාලයන්හි පවත්වාගෙන එන ඇසළ පෙරහැර අතර මුල් තැනක් ගන්නා ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහැර වීථි සංචාරයේ යෙදෙයි.  සතර දේවාලයන්හි ඇසළ කප් සිටුවා පැරැණි චාරිත්‍රානුකූලව මෙය ආරම්භ කෙරේ.  

සිංහල ජාතියේ පැවැත්ම වෙනුවෙන් සෑම අවස්ථාවකදීම සිංහලයාට පිහිට වූයේ අප දිවා රෑ දෙකේදී දිවි දෙවැනි  කොට ආරක්ෂා කර ගත් දළදා වහන්සේයි.  මෙය රැක ගැනීම සදහා අපේ සිංහල රජවරුන් දළදා වහන්සේට කුඹුරු යායවල් පූජා කළා.  ගම්වර පූජා කළා.  මේවායින් ලැබෙන ආදායමෙන් අස්වැන්නෙන් දළදා මාලිගාවේ පුජා විධි ඉටුකරන සම්ප්‍රදායක් ඇති කර ගත්තා.  මෙම සම්ප්‍රදායයන් අද දක්වාත් නොකඩවාම පවත්වාගෙන එන්නේය.  මෙම හේතුව නිසා අද අපට සාඩම්බරයෙන් කතා කල හැක.  මුඵ ලෝකය පුරා පතල කීර්තියක් ඇති අපේ දළදා පෙරහැර අදත් උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට හැකිවී ඇත්තේ මෙම ගම්වර වෙල් යායවල් පූජා කරමින් මහත් කැපවීමෙන් අපේ මුතුන් මිත්තන් විසින්  දළදා වහන්සේ මහත් ගෞරව භක්තියෙන් යුතුව ආරක්ෂා කරගෙන ආ නිසාවෙනි.

මේ නිසා ලෝකයේ කිසිම රටකට නොමැති ගෞරවයක් ලංකාවට ලැබී ඇත.  මහනුවර වැඩ සිටින බුදුරදුන්ගේ වම් දළදාව අපට ලැබුණේ බු.ව.854 දී බව ඉතිහාසයෙන් හෙලිවේ.  දළදා වහන්සේ ඉතා ගෞරවයෙන් පිළිගත් පැරණි රජ දරුවෝ අනුරාධපුර ථුපාරාම චෛත්‍යය අසල මන්දිරයක් කරවා පුද පූජා පැවැත්වූහ.  එදා එහි සිට වර්ෂයක් පාසා දළදා වහන්සේ මහ පෙරහැරින්  මහා විහාරයට වැඩම කොට පිළිවෙලින් තුන් මාසයක් පුද පූජා පැවැත්වූහ.  ඉන්පසු අනුරාධපුරයේ පරිහානියෙන් පසු පොළොන්නරුවට වැඩම වූ දළදා වහන්සේට පළමුවැනි පරාක්‍රමබාහු රජතුමා සැට පැයක් ඇතුලතදී දළදා මැදුරක් නිමවා දළදා හිමියන් එහි වඩා හිදුවා පුද පූජා පැවැත්වූ බව ඉතිහාසයෙහි දැක්වේ.  
 
ඉන්පසු දඹදෙණි යුගය ආරම්භ වූ විට දළදා වහන්සේ එහි වැඩම කරවා සිරිත් පරිදි නොකඩවා පෙරහැර හා පූජා පැවැත්වූයේය.  සොළී මාඝ ආදීන්ගේ උවදුරු සිදුවන්නට පටන්ගත් විට දළදා වහන්සේ බේරා ගැනීමට ජීවිත පූජාවෙන් වැඩ කළ සිංහල රජදරුවනුත් සංඝ රත්නයත්  මහා ජනයාත් ක්‍රියා කල හැටි අපේ වංශ කතාවල සදහන්ව ඇත.  යාපහුව, කුරුණෑගල, බෙලිගල, ගම්පොළ, කෝට්ටේ, සීතාවක, කුන්ඩසාලේ , දෙල්ගමුව ආදී ස්ථානවලට දළදා වහන්සේ ගෙනයෑමට සිදුවූ බව ඉතිහාසයෙන් පෙනේ.  දෙල්ගමුව විහාරයේ ඉතා රහසිගතව වැඩසිටි දළදා හිමි වෙනුවෙන් එකල රජකල පළමුවන රාජසිංහ රජතුමාගේ නියෝගයෙන් දොළොස් වසරක්ම පෙරහැර  පවත්වා ඇත.  දළදා හිමි මහනුවරට වැඩම කරන ලද්දේ පළමුවෙනු විමලධර්මසූරිය රජතුමා විසින්ය.  දළදා මැදුර පිහිටා ඇති භූමි භාගයෙහි තැනූ මැදුරක වඩා හිදුවන ලද දළදා හිමි දැනට වැඩ සිටින මාලිගය තනවන ලද්දේ කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා විසිනි.  රජමැදුරට ආසන්නව දළදා මැදුර කරවීම පෙර සිට පැවති සිරිතය. එදා සිට අද දක්වාත් නොකඩවාම මෙම පෙරහැර පවත්වාගෙන එනු ලබන්නේය.

වර්තමානයෙහි මහනුවර පැවැත්වෙන දළදා පෙරහැර අරඹා ඇත්තේ කීර්ති ශීර්‍ රාජසිංහ රජතුමාගේ කාලයේදීය.  එය ඇරඹීමට උනන්දු කරවීමේ ගෞරවය හිමිවන්නේ එහෙමපිටින්ම නැතිවී  ගොස් තිබුණ ලංකාවේ ඇතිකරන ලද සියම් දේශයෙන් මෙහි වැඩම කළ උපාලි හිමියන්ට සහ වැලිවිට සංඝරාජ හිමියන්ටය.


 

3 comments:

  1. ගොඩක් වටින තොරතුරු ටිකක් !!!
    සමහර ඒමා මං දැන ගත්තෙත් මේ ලිපිය කියෙව්වට පස්සේ. හැම අවුරුද්දකම වගේ පෙරහැර බලන්න යනවා. ඒත් මේ අවුරුද්දේ මිස් උනා.

    ReplyDelete
  2. "එදා එහි සිට වර්ෂයක් පාසා දළදා වහන්සේ මහ පෙරහැරින් මහා විහාරයට වැඩම කොට පිළිවෙලින් තුන් මාසයක් පුද පූජා පැවැත්වූහ"

    මහ පෙරහැරින් දළදාව වැඩම කෙරවුයේ මහා විහාරයට නොව අභයගිරියටයි. ඒ වගේම දළදාව භාරකාරීත්වය පවා පැවරී තිබුනේ අභයගිරි භික්ෂූන්ට

    "ඉන්පසු අනුරාධපුරයේ පරිහානියෙන් පසු පොළොන්නරුවට වැඩම වූ දළදා වහන්සේට පළමුවැනි පරාක්‍රමබාහු රජතුමා සැට පැයක් ඇතුලතදී දළදා මැදුරක් නිමවා දළදා හිමියන් එහි වඩා හිදුවා පුද පූජා පැවැත්වූ බව ඉතිහාසයෙහි දැක්වේ"

    ඊට පෙර පොළොන්නරු රාජධානියේ ආරම්භක රජතුමා වුණු මහා විජයබාහු රජතුමා අටදාගේ නමින් පොළොන්නරුවේ දළදා මැදුරක් කරවා දළදාව තැන්පත් කරවනවා. එහි ආරක්ෂාව වේලයික්කාර භටයන්ට පැවරූ බවත් ඒ අසළ තිබෙන වේලයික්කර සෙල්ලිපියෙන් පැහැදිලි වෙනවා

    ReplyDelete
  3. "එය ඇරඹීමට උනන්දු කරවීමේ ගෞරවය හිමිවන්නේ එහෙමපිටින්ම නැතිවී ගොස් තිබුණ ලංකාවේ ඇතිකරන ලද සියම් දේශයෙන් මෙහි වැඩම කළ උපාලි හිමියන්ට සහ වැලිවිට සංඝරාජ හිමියන්ටය"

    මේ වාක්‍යයේ කොටසක් අඩුයි නොවැ. සියම් දේශයෙන් වැඩම කළ උපාලි හිමියන් ලක්දිව නැවත පිහිටුවන්නේ භික්ෂු උපසම්පදාවයි

    ReplyDelete

කියවලා බලලා හිතට දැනෙන අවංකම දේ මෙතන කුරුටු ගෑවොත් ඒක මට ලොකු ශක්තියක්. ඒ නිසා ඔයාලගේ හැගීම් වචන වලට පෙරලන්න අමතක කරන්න එපා...!!!!!