Wednesday, August 17, 2011

අංක 13

ඔබ මේ අංක 13 ගැන සිතන්නේ මොනවාද? මට මේ ලිපිය ලියන්නට සිතුනේ ඊයේ රූපවාහිනී පුවත් බලන විට අසන්නට ලැබුණු ශෝචනීය පුවතක් නිසයි.  ගිය මාසේ වාහනයක් මිලදී ගත් පුද්ගලයෙක් ඔහුගේ බිරිද පුතුන් හා මව්පියන් සමග බාරයක් ඔප්පු කරන්න අනුරාධපුරය බලා යන්න පිටත් වෙලා.  ගම්පහ නගරයට ආසන්නයේදී ඔවුන්ගේ රිය වෙනත් බස් රියක වැදීමෙන් ඒ තරුණ මහතාත්, ඔහුගේ බිරිද හා එක් දරුවෙක් එතැනම මියගිහින්.  ප්‍රවෘත්තියේ සදහන් වූ ආකාරයට මේ වාහනයේ අංකවල එකතුව 13 බවත් ඒ නිසාම ඒ පුද්ගලයාගේ යහඵවන් වාහනය මිලදී ගන්නට එපා කියා තිබියදීත්, මේ වාහනය ගත් බවයි සදහන් වුනේ. 

මේ පුවත ඇසුවාම  මේ ලිපිය  ලියන්නට සිතුනා.  ඉස්සර ඉදලම එන විවිධ මතිමතාන්තර කෙරෙහි අපේ යම් යම් විශ්වාසයන් තියෙනවා.  ඒවා විශ්වාස කරන අය වගේම නොකරන අයත් අප අතර ඉන්නවා.  මේවායේ තියෙන සත්‍ය අසත්‍යතාවය ගැන මා යමක් නොදනිතත් එම විශ්වාසයන්ගේ හේතුව නිසාම විවිධ කරදර වලට මුහුණ දුන් හා ඒ උපද්‍රව වලින් මිදුනු මිනිසුන් පිලිබදව නම් අසා තිබෙනවා.

අංක 13 අවාසනාවත්ත අංකයක් විදියට සැලකීම ඈත අතීතයේ පටන්ම බොහෝ ජනයා අතර මුල් බැසගත්තක්.  වර්තමානයේදී පවා මේ තත්වයේ වෙනසක් නැහැ.  මේ විශ්වාසයේ ආරම්භය මොකක් වුනත් අංක 13 හා සම්බන්ධ සිදුවීම් රාශියක් තියෙන බවට සාක්ෂි නම් තියෙනවා.  ඒවා බොහෝමයක් ඉතාමත් අවාසනාවන්ත සිදුවීම්  බව නම් රහසක් නෙමෙයි.  මිනිසුන් මේ අංකය කෙරෙහි බිය වන්නට ඇත්තේද මේ නිසාම විය හැකියි.  

යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තමන්ගේ ගෝලයන් වෙනුවෙන් පැවැත්වූ අන්තිම භෝජන සංග්‍රහයට වාඩි වූ ගණන 13ක්.  ඊට පසුදා එතුමාට ඉතාමත් අවාසනාවන්ත ලෙස කුරුසියේ තබා ඇණ ගසන්නට යෙදුනා.  මේ හේතුව නිසාම සමහර බටහිර රටවල පුද්ගලයන් කෑම මේසයකදී 13වෙනියා වනවාට කැමති නැහැ.  භෝජන සංග්‍රහ පිළියෙල කරන්නන්ද 13 දෙනෙකුට ආරාධනා නොකිරීමට වගබලා ගනිති.   සුප්‍රසිද්ධ ප්‍රංශ ජාතික ගත්කතුවරයෙකු වන වික්ටර් හියුගෝ කිසි දිනෙක කෑම මේසයකදී හෝ යම් කිසි රැස්වීමකදී  දහතුන්වෙනියා ලෙසින් සහභාගීවීමට කැමති වූයේ නැතිලු.  

රුසියාවේ පාලකයෙකු වූ නීකිතා කෘෂෙප්  මහතා බලයෙන් පහකරන ලද්දේ 1964 ඔක්තෝම්බර් මාසයේ දහතුන්වෙනිදායි.  එමෙන්ම වර්ෂ 1970 දී අභ්‍යවකාශ ගත කරන ලද ඇපලෝ දහතුන යානය ගුවනේදීම විනාශයට පත් විය.  එහි ඇති තවත් විශේෂත්වයක් නම් එම යානය ගුවන් ගත කර තිබුණේ පැය දහතුනයි විනාඩි දහතුනට වීමයි.  1972 අගෝස්තු මස 13 වැනි දින රාජකීය තායි හමුදාවේ යුධ සෙබලුන් දහතුන් දෙනෙකු රැගෙන පියාසර කරමින් තිබුනගුවන් යානයක් කඩා වැටීම නිසා එහි සිටි සෙබලුන් දහතුන් දෙනාම ජීවිතක්ෂයට පත් වූ බව ඒ දිනවල පුවත් පත් වල පලවූයේය.

රොයිස් බිල් නමැති අමෙරිකන් ජාතික පිරිමි ළමයෙක් හා අංක දහතුන අතර තිබුණේ පුදුමාකාර සම්බන්ධකමක්.  ඔහු උපන්නේ 1913 ජුනි 13 වෙනිදායි.  උපන් වේලාව වූයේ පස්වරු එකය.  පැය ගනනින් බැලුවොත් දහතුන්වෙනි පැය වශයෙන් දැක්විය හැකිය.  ඔහුගේ දෑතේ එක් අතක ඇගිලි හයකුත්, අනෙක් අතේ ඇගිලි හතකුත් බැගින් ඇගිලි දහතුනක් විය.    එමෙන්ම රොයිස් බිල් එම පවුලේ දහතුන්වෙනි සාමාජිකයා විය.  වයස අවුරුදු 13 දී දිනක් පාසැල ඇරී ගෙදර එමින් සිටියදී හෙතෙම දහතුන්වැනි මාර්ග සැතපුම් කණුව අසලදී අංක එක්ස් ඩී 13 දරණ මෝටර් රථයට යටවීම නිසා නගරයේ රෝහලේ අංක දහතුනේ වාට්ටුවට ඇතුලත් කර ස්වල්ප වේලාවකින් මිය ගියේය.  ඔහු මියගියේ දහවල් දොලහ පසුවී විනාඩි හතලිස් හතටය.  එනම් දහතුන් වෙනි පැයට විනාඩි දහතුනක් තිබියදීය.


මෙපමණ වේලාවක් මා සදහන් කලේ අංක 13 ඇති අවාසනාවන්ත පැත්තයි.  එහෙත් බොහෝ දෙනෙකු අවාසනාවන්ත යයි පිළිගන්නා එම ඉලක්කම වාසනාව ගෙනදුන් අවස්ථා ගැනද කලාතුරකින් හෝ අසන්නට ලැබේ.  


ජර්මනියේ ප්‍රසිද්ධ වෙලද ව්‍යාපාරිකයෙකු ලෙස කටයුතු කල මාර්ක් විල්සන් නමැත්තා දිනක් හදිසි අවශ්‍යතාවයක් සදහා ඇමෙරිකාවට පැමිණියේය.  ඔහු එදින ගුවන් තොටුපලට ලගා වන විට රාත්‍රි හතයි තිහට පිටත්වීමට තිබූ ගුවන් යානට පිටත්වීමට තිබුනේ තවත් විනාඩි පහළොවක් පමණි.  කාලසටහනට අනුව එදින එම ගුවන් තොටුපලෙන් පිටවීමට තිබුනු 13 වෙනි ගුවන් යානය එය විය.  එහෙත් මාර්ක් විල්සන්ට එම ගුවන් යානයෙන් ගමන පිටත් වීමට කල් වේලා මදි විය.  එසේ වූයේ ඔහුගේ ගමන් බලපත් හා සෙසු ලියකියවිලි සකස් කර ගැනීමට කල් වේලා මදිවීමයි.  මේ අවස්ථාවේදී ගුවන් තොටුපලේ ප්‍රවේශපත් කවුඵව අසල යම්කිසි කැලඹීමක් දකින්නට ලැබීම නිසා මාර්ක් එම කලබලය කුමක්දැයි විපරම් කර බැලුවේය.  සිදුවී තිබුනේ මෙයයි.  ඒ ගුවන් යානයෙන් පිටත්වීම සදහා දහතුන්වෙනි අංකය ලබා සිටි පුද්ගලයා එම ප්‍රවේශපත්‍රය ප්‍රතික්ෂේප කර සිටීමයි.  ඔහු කියා සිටියේ අංක 13 දරණ ගුවන් යානයේ අංක 13 දරණ ප්‍රවේශ පත්‍රය ලබාගෙන ගමන් කිරීමට තමා අකමැති බවයි.  එය මහත් අසුභ ලකුනක් වශයෙන් ඔහු සැලකුවේය.  තමාගේ ගමන ඉතාමත් හදිසි එකක් බැවින් වහා ක්‍රියාත්මක වූ මාර්ක් අංක 14 දරණ ඊලග ගුවන් යානයෙන් පිටත්වීමට අවස්ථාව ඉහත පුද්ගලයාට ලබා දී හෙතෙම එම මගියාගේ ප්‍රවේශ පත්‍රය ඉල්ලා සිටියේය.  ගුවන් තොටුපල අධිකාරීන්ගේ අවසරය මත මාර්ක් එම ටිකට් පත හුවමාරු කරගත්තේය.  ඒ අනුව අංක 13 ටිකට් පත ලබාගෙන දහතුන යානයෙන් ඔහු පිටත් විය.  අංක 13 ප්‍රතික්ෂේප කල මගියා ඊලග යානයෙන් පිටත් වීම සදහා සදහා නතර වුනේය.  ඊට පැය 10කට පමණ පසු මාර්ක්ට අසන්නට ලැබුනේ ඔහුට ගමන් කිරීමට තිබු අංක 14 දරණ ගුවන් යානය මුහුදට කඩා වැටී එහි සිටි සියලුම දෙනා ජීවිතක්ෂයට පත් වූ බවයි.  අංක 13 ප්‍රතික්ෂේප කල පුද්ගලයාද එම යානයේ සිට ඇත.


ප්‍රංශ ජාතික රෙනෝල්ඩ් රස්ටෝල්ඩ් නැමැත්තා ලොතරැයියක් මිලදී ගැනීම පුරුද්දක් කරගෙන සිටියේය. වසර ගණනාවක් තිස්සේ මේ පුරුද්දට ඇබ්බැහි වූ ඔහු වරකට ලොතරැයි පත් තිහක් හතලිහක් පමණ කිසිම ලෝබකමක් නැතිවම මිලදී ගත්තේය.  එහෙත් ඔහු කිසිදු දිනෙක අංක 13 සහිත ලොතරැයි පත් මිලදී ගැනිමට කැමති නොවූයේය. ඒ එය අසුභ අංකයක් ලෙස ඔහු තුල වූ දැඩි විශ්වාසය නිසාමය.  මෙසේ වසර ගණනාවක් තිස්සේ මොනතරම් ලොතරැයි පත් මිලදී ගත්තත් ඔහුට එකම එක සැනසිලි දිනුමක් වත් ඇදුනේ නැත.  දිනක් අහම්බෙන් මෙන් අංක 13 දරණ ලොතරැයි පත් අතර අංක 13 දරණ ලොතරැයි පතක් ඔහුට ලැබුණි.  නමුත් මෙවන් ලොතරැයි පතක් මිලදී ගැනීම හා තමන්ගේ ලොතරැයි ගොඩට එකතු වීම ඔහුගේ කනස්සල්ලට හේතු විය.  ඔහු එම ලොතරැයි පත අනෙක් ලොතරැයි පත්වලින් වෙන් කර මේස ලාච්චුවේ මුල්ලකට විසිකර දැමුවේය.  එහෙත් දින කිහිපයකට පසු සිදු කෙරුණු දිනුම් ඇදීමේදී රස්වෝල්ඩ් මිලදී ගත් අංක 13 දරණ ලොතරැයි පතට මුල් දිනුම හිමිවී තිබුනි.  ජීවිත කාලයක් පුරා ප්‍රතික්ෂේප කල අංක 13ට පිංසිදු වන්නට රස්වෝල්ට් ප්‍රංශයේ ඉහල පෙලේ ධනවතකු වූයේය.


මේ සියලු සිදුවීම් ගැන මෙනෙහි කොට බලන විට අංක 13 කෙතරම් දුරට වාසනාව හා අවාසනාව ගෙනදෙන්නේදැයි සිතීම උගහටය.  කෙසේ වුවත් අප කරන හොද හෝ නරක අනුව ඒවායේ ප්‍රථිපල හොද හෝ නරක වන බව පමණක් මම විශ්වාස කරමි.

3 comments:

  1. අංක විද්‍යාවට අනුව 13 කියන ඉලක්කමේ මොකක් හරි දෝශයක් ඇති. ඒ ගැන නම් කියන්න දන්නේ නෑ. නමුත් බටහිර රටවල් ඔය 13 ඉලක්කම ගොඩක්ම අසුබයි කියලා විශ්වාස කරනවා.

    ReplyDelete
  2. http://en.wikipedia.org/wiki/Triskaidekaphobia
    http://en.wikipedia.org/wiki/Lucky_13

    ReplyDelete

කියවලා බලලා හිතට දැනෙන අවංකම දේ මෙතන කුරුටු ගෑවොත් ඒක මට ලොකු ශක්තියක්. ඒ නිසා ඔයාලගේ හැගීම් වචන වලට පෙරලන්න අමතක කරන්න එපා...!!!!!