Thursday, January 12, 2012

විද්‍යාත්මක පදනමක් තිබේද?

ඉස්සර කාලේ මළ ගෙදරක ගියාම කියනවා කිල්ලට අහුවෙලා කියලා. සමහර දෙනෙක් ඒකට පිළිතුරු දෙන්නේ මිත්‍යා මතයක් ලෙසටයි.  නමුත් ඇතැම් දේවල් වල විද්‍යාත්මක පදනමක් තියෙනවා නේද? අපි ගොඩක් දේවල් වල විද්‍යාත්මක පසුබිම ගැන හිතන්නේ නැහැ. එහෙමත් නැත්නම් දන්නේ නැහැ.

මළ ගෙදරක ගියාම කිල්ලට අහුවෙලා කියන කතාවේදි අපි හිතමුකෝ තුවාලයක් තිබුනා කියලා. ගෙදර ආවහම මේ තුවාලය වැඩි වෙනවා. පැරණි අය කියන්නේ කිසියම් යක්ෂ බලවේගයක් නිසා මෙහෙම වුනා කියලා.  ඇත්තටම අපි දන්නවානේ මැරුණ කෙනෙකුගේ ශරීරයෙන් විෂබීජ විශාල ප්‍රමාණයක් පිට වෙනවා කියලා. ඒවා අපේ පියවි ඇසට පේන්නේ නැහැ. ඉතින් තුවාලයක් තිබුනම ඒක වැඩි වෙන එක අරුම පුදුම කාරණාවක් නෙමෙයි නේද?

ඉස්සර කාලේ පොල් තෙල් පහනක් මළ මිනිය ලග පත්තු කලේ මේ කාරණාව නිසයි. දැන්නම් ඒක පැෂන් එකක් වෙලානේ.  ඒ නිසා බොහෝ තැන් වල විදුලි බුබුළු වලින් මිනිය වටේ ආලෝක කරනවා.  පැපොල, සරම්ප වගේ ලෙඩ රෝග අදත් අප හදුන්වන්නේ දෙවියන්ගේ ලෙඩ වශයෙනුයි.  ඒ අනුව නොයෙකුත් කෙම් ක්‍රම භාවිතා කරනවා.  ගෙදරට ඇතුළුවන තැන උළුවස්සේ කොහොඹ කොල එල්ලනවා.  ආහාර දීමේදී මිරිස්, කහ, ඇඹුල් වලින් තොර සිසිල් වෑංජන වර්ගත්, කිරිබත්  වැනි දේත් දෙනවා.  ඒවා දෙන්නේ දෙවියන්ගේ ආහාර වර්ග කියලයි.  මේ කෑම අතුරින් පලතුරු බොහෝ විට ගුණ දායක වෙනවා.  ඒ වගේම කිරිබත් වැනි කිරෙන් පිසූ ආහාරත් ඉතා ගුණයි. මේ නිසා අසනීපය සුව වෙනවා.  මෙහි විද්‍යාත්මක පදනම වන්නේ අසනීපයට හරියන කෑම බීම ඇගට වැටීම නිසා ලෙඩා සුව වීමයි. 

මීට අමතරව අපි ලෙඩාව වෙන් කොට තබනවා.  ඒ මගින් රෝගය පැතිරීම වගේම රෝගියාගේ රෝගී තත්වය උත්සන්න වීමත් වලකිනවා.  ඉස්සර කාලේ මෙහෙම දෙවියන්ගේ ලෙඩ හැදුන අය ඉන්න කාමරයේ පොල් තෙල් පහනක් දැල්වීම කරනවා. එමගින් ඔවුන් අදහස් කරන්නේ දෙවියන්ට පහන් පත්තු කරන බවයි.  නමුත් එහි විද්‍යාත්මක පදනම නම් අදුර නැසීම වගේම විෂබීජ නැති කිරීමයි.

මේ රෝගීන්ට ආහාර දීමේදී කුඩා වට්ටියක් මත අතුරන ලද කෙසෙල් කොළ පාවිච්චි කරන ලද්දේ දෙවියන්ට දෙන පූජාවක් ලෙස ආහාර දීම සදහායි.  නමුත් එයින් සිදුවුනේ පිරිසිදුකම ආරක්ෂා වීම වගේම කෙසෙල් කොළය නිසා ආහාරයට සිසිලසක් එක්වීමයි. 

ඇතැම් තුවාල, වන පිළිකා ඉදිමුම්, වැනි රෝගවලට ප්‍රතිකාර කරන අතරම මැතිරීම, වෙනත් කෙම් ක්‍රමත් කරනවා. මේවා අදත් දක්නට ලැබෙනවා.  මේ රෝගයන්ට මැතිරීම සදහා දෙහි අත්තක් භාවිතා කරනවා.  එමගින් තුවාලය හෝ ඉදිමුන ස්ථානය ස්පර්ෂ වන අන්දමින් මැතිරීම කරනු ලබනවා.  එවිට විෂබීජ නැතිවීමේ ස්වභාවයක් ඇති වෙනවා.  ඇතැම් රෝග වලට ගෙයි අඹ අතු එල්ලනු ලබනවා.  මෙමගින් වාතය පිරිසිදු වෙනවා. ගසක අතු වල ඇති විෂබීජ නැතිවීමේ ශක්තිය නිසා තමයි මෙවැනි දේ කරනු ලබන්නේ.

ඉස්සර කාලේ ලංකාවේ බොහෝ ප්‍රදේශවල මළ මිනියක් තිබී භූමදානය පිණිස ගෙන ගියාට පස්සේ එමහ මිනිය තිබුන තැනට කහ දියර ඉසිනවා.  (එය අමුකහ තැලීමෙන් සාදාගත් වතුරක්) නැත්නම් ගොම දියර ඉසිනවා.  මේ මගින් ගැමියා බලාපොරොත්තු වන්නේ කිලි නැසීමයි.  විද්‍යාත්මක පැත්තෙන් බැලුවොත් මෙමගින් සිදුවන්නේ විෂ බීජ නැති වීමයි.  මේ සිරිත අදටත් අප අතර පවතිනවා.  අනෙක් අතට මළ ගෙදරක දොරවල් ජනෙල් වසා තබන්නේ නැහැ. පැරැන්නන් කියන්නේ මැරුණු කෙනා දොරවල් වසා තැබුවොත් ඇවිත් කරදර කරන බවයි.  නමුත් දොර ජනෙල් ඇර තැබීමෙන් ගෙතුල එකතු වන විෂබීජ ඉවත් වී යනවා. 

බුලත් විට කන අය බුලත් කොළය කෑමට පෙර අග කඩා දමන්නේ නයි විස ඇතැයි කියමින්.  නමුත් විද්‍යාත්මකව බැලුවොත් පෙනී යන්නේ බුලතේ නටුව අග කොටස කඩනුයේ බුලත නියපොත්තෙන් කැඩීමේදී විෂ ඇතුලත්වී යැයි සිතා එම විෂ නැතිවීමටයි.  අග කොටස කඩ නුයේ බුලත් කොලයේ එකතු වන දූවිලි හා නෙත් ද්‍රව්‍ය වැඩි වශයෙන් කොළය අග රැදෙන බැවිනි. 

ඉස්සර කාලේ මිනිසුන් කැලෑ මාර්ගවල යනවිට කොළ අත්තක් එල්ලා යාමට පුරුදු වී ඇත.  ඊට හේතුව පුරාණයේ කැලෑ මාර්ගවල යන විට නැවත ආපසු එන්නට මග හොයා ගන්නට නොහැකි වේදැයි සැකයෙනුයි.  නමුත් අද එය දේව ඇදහිල්ලක් ලෙස පිළිගනුයේ කැලෑ පෙදෙස් වල ඇවිද්ද මිනිසුන් තුල බිය පහ කිරීමේ ක්‍රමයක් ලෙසයි.

අපේ ගෙවල් ඉදිරිපිට තැඹිලි ගස් ඇත්නම් හොද නැතැයි කියමනක් අප අතර තියෙනවා. මෙහි භූත ඇදහීම් වලදී  කියන්නේ බූතයන්ගේ ආකර්ෂණය තැඹිලි ගසක් ගෙයි ඉදිරිපිට තිබීමෙන් වැඩි වන බවත් එමගින් ගෙදර අයට හිරිහැර පැමිනෙන බවත්ය.  නමුත් මෙහි විද්‍යාත්මක පැත්ත නම් තැඹිලි ඇට්ටි වල ඇති ආම්ලික ගතිය නිසා වැසි කාලවලදී ගොරවන විදුලි කොටන විට කාන්දම් බලයක මෙන් විදුලිය ඇදී ඒමෙන් ගෙදර අයට විපත් සිදු වීමට ඇති ඉඩකඩ වැඩි වීමයි.

මේ වගේ තවත් නොයෙකුත් මත අප අතර බහුලව පවතිනවා. ඒවා නිකම්ම මිත්‍යා මත ලෙස ගෙන අහකට දැමිය හැකි දේවල් නොවෙයි. ඒවායේ යම් කිසි පිළිගැනීමට හැකි විද්‍යාත්මක පදනමක් ඇති බවට සාක්ෂි ඕනෑතරම් සොයා ගැනීමට හැකියි. 

13 comments:

  1. තැඹිලි ගස් කතාව නම් මම දැනගෙන හිටියේ නෑ..ස්තුතියි ලිපියට..

    ReplyDelete
  2. ඔබ සිතන අයුරු නිවැරදියි. හැමදේම ප්‍රතික්ෂේප කරන්න කලින් එය විශ්ලේෂනය කර බැලිය යුතුයි. දිගටම ලියන්න. ජය!!

    ReplyDelete
  3. අපේ සමහර පැරණි සිරිත් විරිත් වල යම්කිසි විද්‍යාත්මක පදනමක් තියෙන බව නම් පේනව. ඒත් අපි මේ වගේ විද්‍යාත්මක හේතු දැක්වීම් වලින් කරන්නේ මොකක්ද? මට පේන විදිහට ඒකට හේතුව තමයි අපි අපේ සම්ප්‍රදායික දේවල් බටහිර අර්ථ දැක්වීම් හරහා අපි කරන දේවල් හොඳයි කියල පොඩි තෘප්තියක් ලබන එක. ඒත් අපි කරන හුඟක් දෙවල්, විශේෂයෙන්ම, කෙම් පහන්, තොවිල් පවිල් , සම්ප්‍රදායික සිරිත් විරිත් මේ රාමුවට දාන්න බැහැ. අපි කරන සමහර එව්වා පල් ම පල් මෝඩ වැඩ. සමහර එව්ව ඉතාමත්ම විද්‍යානු කූල දේවල්. සිංහල අවුරුදු නැකැත් කෙලිය පල් ම පල් මෝඩ වැඩක්. ඒත් සාමාජයිකව සිංහල අවුරුද්ද කියන්නේ ඉතාමත්ම වටිනා සමාජමය කර්තව්‍යයක්. කෙනෙක් මැරුනට පස්සේ හත් දවසෙ දානේ වෙලාවේ දෙන පෙරේත තටුව පල් මෝඩ වැඩක්. කෙනෙක් හිතනවනම් සතෙක් ඒ කෑම ටික කාපුවාම ලැබෙන පින මලගිය ප්‍රාණ කාරයාට ලැබෙන නිසා ඒක කලාට කමක් නැහැ කියල.. ඒක මෝඩ කතාවක්.මොකද ඊට වඩා ලොකු පිනක් කරල පින් අනුමෝදන් කරන්න පුලුවන් නිසා. මේ ලිපියේ තියෙන වතුර මතුරන කතාවත් එහෙමයි. වතුර මතුරනකොට දෙහි අත්ත ආතුරයගෙ ඇඟේ ගාන්නෙ නැහැ. ඒක තියෙන්නෙ වතුර මුට්ටියෙ. දෙහිඅත්ත පැය 2 ක් විතර මුට්ටියේ දාල කරකවනකොට ඒකෙ තියෙන පැඟිරි වතුරට යනව ඇති. ඒ වතුරෙන් හෝදපුවාම විශබීජ විනාස වෙන නිසාය වතුර මතුරන එක හොඳ කියල කියනවනම් ඒක මෝඩ කතාවක්. මොකද ඒට වඩා හොඳට කොහොඹ කොල ටිකකින්, කහ ටිකකින් ඔය විෂබීජ විනාස කරන්න පුලුවන් නිසා. වතුර මැතිරීම සත්‍යක්‍රියාවක්. වෙන මොකක් වත් නෙමයි. පිරිත් කීමත් සත්‍යක්‍රියාවක්. මේ දේ ඇත්තනම් මේ දේ සිද්ධවේවා කියල කියන්නේ..හැබැයි සත්‍යක්‍රියා කර කර ඉන්නවට වඩා එක පිරිත් පදයක තේරුම දැනගෙන ඒ අනුව ජීවිතය හැඩ ගස්සව ගන්නවනම් ඒක ඊටත් වඩා හොඳයි.

    ReplyDelete
  4. තව ටිකක් දුරට විද්‍යාත්මකව පැහැදිලි කලොත් මල මිනියකින් විශාල ප්‍රමාණයකින් බීටා විකිරණ (ඉලෙක්ටෝන) පිට වෙනවා. ඒ විකිරණ තුවාල වල වැටුනම තුවාලයේ ඉන්න විශබීජ ඒ බීටා විකිරණවල (ඉලෙක්ටෝන) උදවුවෙන් ඔක්සිකරණය වෙනවා. එතකොට තුවාලය වණ වෙනවා. තුවාලය වැඩි වෙනවා.

    තුවාල වලට දාන සමහර බේත් වලින් කරන්නේ විෂබීජ ඔක්සිහරණය කරන එක. කොන්ඩිස් (දම් පාට බෙහෙත්) වලිනුත් කරන්නේ විෂබීජ ඔක්සිහරණය කරන එක.


    පහන්ක් පත්තු කලාම වෙන්නේ අර බීටා විකිරණ විනාශ වෙලා යන එක !!!

    අපේ පැරැන්නන් කොච්චර නම් බුද්ධිමත් ද. ඒ කාලේ ඉලෙක්ටෝන සංකල්පය රටෙත් නෑ. ඒ උනාට මේ දේවල් දැනගෙන උන්නා. ඒ අතින් අපි ශේෂ්ඨ ජාතියක් කියන එක තවත් පැහැදිලි වෙනවා !!!

    ReplyDelete
  5. ඇත්ත සීන් ටිකක්...පැ‍රැන්නෝ හොඳ බුද්ධියෙන් ඒ ඒ දේවල් වලට පිලියම් කරලා තියෙනවා...

    ReplyDelete
  6. ජාතියක් විදියට වල පල්ලට යන ගමන් අතීත කාමයෙන් මත් වෙලා පුහු පම්පෝරි ගහන, අතීතය රස විඳ විඳ වර්තමානය මත පහරන කාලකන්ණි ජාතියක් තමයි සිංහලයා කියන්නේ !

    ReplyDelete
  7. රූ....

    ස්තුතියි මේ පැත්තට ආවාට!

    ReplyDelete
  8. වෙද ගෙදර මහ වෙදනා

    ස්තුතියි අදහස් දැක්වුවාට

    ReplyDelete
  9. Anonymous

    හුගාක් දේ කියලා තියෙනවා. ස්තුතියි අදහස් වලට. ඒත් අපට අපේම කියලා අනන්‍යතාවයක් තියෙනවා නේද? ඔයා කියන මෝඩ දේවල් තවමත් ගම්වල මිනිසුන් ඉහ මුදුනින් පිලිගන්නවා. අපි පැවතෙන්නෙත් ඒ මෝඩයන්ගෙන් තමයි. අපේම කියන දේවල් එහෙම මෝඩ අදහස් විදියට පිළිගන්න බැහැ නේද? දැන හෝ නොදැන ඒවායේ සත්‍යතාවයක් තියෙනවා.

    ReplyDelete
    Replies
    1. අපි පැවත එන්නෙත් ඒ මෝඩයන්ගෙන්ම තමයි. සහතික ඇත්ත. ඒකනේ මේ ගොන් රැල අවුරුදු ගානක් කිසි කරදරයක් නැතුව සුවච කීකරු බලු කුක්කො වගේ පාලනය කරන්න පාලක පංතියක් බිහිවලා තියෙන්නේ.

      Delete
  10. මධුරංග

    ස්තුතියි මලේ, ඹයා හොද පැහැදිලි කිරීමක් කරලා තියෙනවා. ඒක බොහෝම වටිනවා. තවත් දන්න දේ තියේනම් ලියන්න.

    ReplyDelete
  11. ඔව් ඒක හරි ඒ පැරණි අය අත්දැකීමෙන් ලබාගත් ඥානය

    ReplyDelete
  12. mahasona

    ඔයා ටිකක් කේන්තියෙන් වගේ

    ReplyDelete

කියවලා බලලා හිතට දැනෙන අවංකම දේ මෙතන කුරුටු ගෑවොත් ඒක මට ලොකු ශක්තියක්. ඒ නිසා ඔයාලගේ හැගීම් වචන වලට පෙරලන්න අමතක කරන්න එපා...!!!!!