Friday, August 12, 2011

රජුට යුධ කරන හැටි උගන්වයි

අප රටේ බොහෝ කාලයක් දේශපාලන සිරකරුවෙකු වශයෙන් සිටි රොබට් නොක්ස් නම් ඉංග්‍රීසි ජාතිකයා ලියූ ථෙතිහාසික ග්‍රන්ථයේ අප ගැන බොහෝ දේ සදහන්ය.  හොද පැත්ත මෙන්ම නරක පැත්ත ගැනද එහිදී ඔහු කතා කරයි.  “සිංහල මිනිසා උපතින්ම ගොවියෙකි.  ඔවුහු දක්ෂ ගොවියෝය.  මඩෙහි සිටිමින් ගොවිතැන් කරන සිංහල මිනිසෙකු එයින් ගොඩගෙන සිංහාසනේ තැබුවහොත් රාජ්‍ය කිරීමට තරම් ප්‍රජා පාලනය පිළිබද සියුම් බුද්ධියක් ඔවුන් තුළ ඇත්තේය.  නොක්ස් ඔහුගේ පොතෙහි එක් තැනක සදහන් කර තිබේ.

මේ කියමන බොහෝ දුරට සැබෑ බව අපේ රටේ ඉතිහාසය දෙස බැලීමෙන් පෙනේ.  

සිංහල මිනිසුන් අතර රාසිං දෙයියෝ නමින් පසු කලෙක පුද පූජා පැවැත් වීමට තරම් මහා බලසම්පන්න යුද්ධ කාමියෙකුව සිටියාවූද පරංගීන් විසින් මහා රණශූර යුද්ධ නායකයෙකු වශයෙන් පිළිගත්තාවූද රාජසිංහ රජු යුද කිරීම සදහා අහිංසක ගම්බද මැහැල්ලකගෙන් උගත් බව  ජනප්‍රවාදයෙහි සදහන්වේ.
රාජසිංහ රජු බොහෝ විට වෙස්වලාගෙන යෑමට පුරුදුව සිටියෙකි.  රටේ සිදුවන නොයෙක් මාදිලියේ අපරාධ හා අසාධාරණකම් ඔහුට සියැසින් දැක ගන්නට මේ නිසා අවස්ථාව ලැබුනු බවත් රට පාලන යන්ත්‍රය මැනවින් ගෙනයාමට මේ නිසාම ඔහුට පහසුවූ බවත් කියති.

වරක් රජතුමා හුදෙකලාවම සතුන් දඩයම් කිරීම පිණිස වල් වැදුනේය.  සාමාන්‍ය දඩයක්කාරයෙකුගේ පෙනුමට වඩා අමුත්තක් ඔහු කෙරෙහි නොවීය.  වල් වැදුනු රජු බොහෝ වේලා වනයෙහි ගත කළ නමුත් දඩයම් කිරීම පිණිස සෑහෙන සතෙකු සොයා ගැනීමට නොහැකි විය.  විඩාවත්, පිපාසාවත්, සාගින්නත් යන  තුනම ඔහුට තදින් දැනෙන්නට විය.  එහෙයින් හැකි තරම් ඉක්මනින් මාලිගාවට යනු පිණිස හේ වහ වහා පියවර මනින්නට විය.  මාළිගාවට යෑමට ඔහු තුළ තිබූ ඉක්මන් කමට වඩා වැඩි වේගයකින් හේ අතරමංවිය.  බොහෝ වේලා වනයෙහි ඒ මේ අත ඇවිද යන්තමින් ගම්මානයකට පැමිණුන රජතුමා කුඩා පැලක් දැක සැනසුම් සුසුම් හෙලුවේ පිපාසාවට වතුර පොදක් ලබා ගැනීමට තිබූ අවශ්‍යතාවය අන්තිම තැනට නැග තිබුණු බැවිනි.  
“ගෙදර කවුද?
“මේ ගෙදර කවුරුත් නැද්ද?
රජතුමා දෙවරක් ම හඩ ගෑ නමුත් කිසිවෙකු ගෙයින් එළියට නොආයේය.  වතුර පොදකින් දිව තෙමා ගැනීමට ඔහු තුළ තිබූ බලාපොරොත්තුව යළිත් කල් දමන්නට සිදුවන සෙයකි.

“ගෙදර කවුද?

ඔහු මහා හඩින් හඩගෑය.  මැහැල්ලක් පැලෙන් මෑත් වූවාය.
“මගේ කණ ඇහෙන්නේ නෑ. උඹට මොනවද පුතේ ඕනෑ?

මෙතෙක් වේලා ගෙදරින් කිසිවෙකු එළියට නොආයේ මැහැල්ල පමණක් සිටි හෙයිනි.  අවාසනාවකට මෙන් ඇගේ කන් ද නෑසිනි.  රජු පසුබට වූයේ නැත.  මැහැල්ලගේ කණට මුව ලං කර පිපාසාව ඉතාම තද බවත් වතුර ටිකක් අවශ්‍ය බවත් කියා සිටියේය.  මැහැල්ල වහාම වතුර ටිකක් ගෙනවිත් ඔහුට බොන්නට දුන්නාය.  
රජු යළිත් වරක් මැහැල්ලගේ කණට මුව ලංකලාය.

“මට හොදටම බඩගිනියි. කන්ට මොනවත් නැද්ද??
“මුඵ ගෙටම තියෙන්නේ කුරක්කන් ටිකක් විතරයි.  පුතේ උඹට හොදටම මහන්සි බව පේනවා.  මෙතැනින් ටිකක් ඈදි ගනින්, මම කුරක්කන් තලප ටිකක් පිළියෙල කරන්නම්.

මැහැල්ල කීවාක් මෙන්ම රජු වෙහෙස නිවා ගැන්මට ටිකක් හාන්සි විය.  වැඩි වේලාවක් යා නොදී මැහැල්ල කුරක්කන් තලප පිලියෙල කොට ගෙන ආවාය.  රජුට තුබූ බඩගින්න මොන තරම් දරුණුද කිවහොත් ඔහුට ඒ මොහොතෙහි මොන දෙයක් වුවද ගිල දැමීමට හැකි  විය. එහෙයින් උණු උණුවේ ගෙනා කුරක්කන් තලප ටික බුදින්නට විය.  උණු වැඩි නිසා ඔහුට පිළිවෙලකට කන්නට නොහැකි වූයේ ඒ කොනින් ද මේ කොනින්ද ටික ටික අදිමින් කන්නට විය.  රජුගේ කුරක්කන් කෑම මැහැල්ලගේ සිත් නොගත්තාය.  ඈ ඒ බව ඔහුගේ මුහුණටම කීවාය.
“පුතේ උඹ කුරක්කන් කන්නේ රාසිං දෙයියෝ යුද්ධ කරනවා වගේනේ......?

කුරක්කන් තලප උණු උණුවේ කන්නට ගොස් රජ්ජුරුවන්ට සෑහෙන තරමට දහඩිය ඒ වනවිටත් ගලමින් තිබිණ.  මැහැල්ලගේ වචනය කණට වැටෙන විට ඔහුගේ හෘද ස්පන්දනයේ අමුත්තක්  සිදුවන බව ඔහුටම දැනෙන්නට විය.  කුරක්කන් කෑම වෙනුවට ඔහු නැගිට්ටේය.  මැහැල්ලට මුව ලංකොට බලවත් ආයාසයෙන් මෙන් කුරක්කන් කන්නේ කොහොමදැයි විමසීය.   

“රාසිං දෙයියෝ පරංගියා එක්ක යුද්ද කරන්නෙත් උඹ කුරක්කන් කන විදියටයි.  ඕක නිවිහැනහිල්ලේ එක් කොනක ඉදලා කන්න එපායැ?  එහෙම කනකොට අනික් කොන නිවිලා තියෙයි.  එතකොට ඔය තරම් දාඩිය පෙරාගන්න ඕනවෙන්නේ නැහැ නොවෑ.  රාසිං දෙයියොත් පරංගියා පන්නන්න යුද්ද කරනවා.  අද යුද්ධ කරනවා මෙතන ඉදලා.  තව මාස ගාණකින් යුද්ධ කරනවා තව තැනකින්.  පරංගියාට එකෙන් පාඩුවක් දැනෙන්නේ නැහැ.  අපේ රාසිං දෙයියන්ටමයි හැති වැටෙන්නේ.  එක් කෙළවරක ඉදල පිළිවෙලට යුද්ධ ආයුධ එහෙම ලකලෑස්ති කරගෙන යුද්ධ කලානම් පරංගියා ගිය තැන් හොයන්න එහෙනම් අංජනම් බලන්න වේවි......

මැහැල්ල කියු වචන රජුට දැනුනේ ටොන් ගණනක බර හිස මත පැටෙව්වාක් මෙනි.  ඔහු කුරක්කන් තලප පිගාන ඒ කෙළවරේ සිට මේ කෙළවරට පිලිවෙලින් කෑවේය‍.  වතුරත් බී මැහැල්ලට කතා කලේය.


“අම්මේ මං තමයි රාසිං දෙයියෝ...............අද කැලෑවෙ ඇවිදින්න ඇවිල්ලා අතරමං වුණා.


රජුට කියන්නට ලැබුණේ එපමණකි.  මැහැල්ල රජුගේ දෙපා ළග වැද වැටී අඩන්නට වූවාය.  රජු මැහැල්ල නගාසිටුවා තමාට කළ උදව්වට සිහිවටනයක් වශයෙන් ඈ පදිංචිව සිටි ගම් පළාත ප්‍රවේනි කොට පවරා දුන්නේය.  ඔහු මැහැල්ලගේ අවවාදය අනුව ක්‍රමවත්ව යුද්ධ ආයුධ රැස්කොට කොළඹ කොටුවට එක් කෙළවරක සිට පහර දෙන්නට ද වූයේය.  පරංගීන් සිංහල සේනා ඉදිරියේදී ඇද වැටෙන තුරු පහර දෙන්නටත් ආසියාතික ජාතියක් ඉදිරියේ පරංගීන් පළමු වර ඇද දමන්නටත් ඔහු සමත්විය.  ඔහුට මෙම අවවාදය ලැබුනේ කලින් සදහන් කළ ගම්බද මැහැල්ලගෙනි.




වචනයේ අර්ථයට පමණක් සීමාකොට ගැහැණියකගේ නුවන හැදි මිටකට උපමා කිරිම උචිත වේදැයි
තීරණය කිරීමට ඔබට අවස්ථාවක් ලබා දෙන මම සිතුවිල්ල...............

4 comments:

  1. ඔන්න අපි නම් ගෑනු අයගේ මොලේ හැදි මිටේය කියලා කියන්නේ නෑ. ගොඩක් වටින කරුණු ටිකක්.
    ඔය රාජසිංහ රජ්ජුරුවෝ අන්තිමේදි පරංගින්ට අහු වෙනවා. ඊට පස්සේ ඉන්දියාවේ වෙල්ලෝර ප්‍රාන්තයට ගෙනියනවා. එහිදි කාලයක් හිර කාරයෙක් වගේ ජීවත් උනාට පස්සේ රජ්ජුරුවෝ මියෑදෙනවා. එතුමන්ගේ මිනිය මිහිදන් කරලා එහිදි සොහොන් කොතක් හැදෙනවා. ඒක අදටත් ඉන්දියාවේ තියෙනවා ය කියලා මතයක් තියෙනවා.

    ප.ලි. - වර්ඩ් වෙරිෆිකේශන් අයින් කරන්න. කමෙන්ට් කරන්න ලේසියි එතකොට.
    Dashboard > settings > comment
    word verification
    Do you want word verification ? NO කරන්න.

    ReplyDelete
    Replies
    1. ඉංග්‍රීසින්ට හසුවෙන්නේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාව.

      ඊට කලින් සීතාවක 1 වෙනි රාජසිංහ, උඩරට 2 රාජසිංහ, ශ්‍රී විජය රාජසිංහ, කීර්ති ශ්‍රී රාජසිංහ, රාජාධි රාජසිංහ නමින් රජවරු ඉදලා තිබෙනවා

      Delete
  2. මොන රාජසිංහ ගැනද ඔය කියන්නෙ..........රාජසිංහලා කීයක් හිටියද?

    ReplyDelete
  3. මේ කතාව මහලු කාන්තාව දුටුගැමුණු රජතුමාට, දෙවෙනි රාජසිංහ රජතුමාට, කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාට කිව්වයි කියලා ජනප්‍රවාදවල සඳහන් වෙනවා

    ReplyDelete

කියවලා බලලා හිතට දැනෙන අවංකම දේ මෙතන කුරුටු ගෑවොත් ඒක මට ලොකු ශක්තියක්. ඒ නිසා ඔයාලගේ හැගීම් වචන වලට පෙරලන්න අමතක කරන්න එපා...!!!!!