Wednesday, August 17, 2011

හැන්සාඩ් වාර්තාවේ උපත

පාර්ලිමේන්තු කතා බහ සටහන් කර තබන ග්‍රන්ථය හැන්සාඩ් වාර්තාව ලෙස හදුන්වමු.  පාර්ලිමේන්තු ක්‍රමය මෙන්ම හැන්සාඩ් වාර්තාවත් අපට ලැබුණේ බ්‍රිතාන්‍ය දායාදයක් ලෙසයි.  නමුත් පාර්ලිමේන්තු කතා බහ අඩංගු පොතට හැන්සාඩ් යන නම ලැබුණු අයුරු ඔබ දන්නවාද?  එය ටිකක් පුදුම සහගත කතාවකි.

දහහත්වන සියවස දක්වාම පාර්ලිමේන්තුවේ සිදුවන කිසිදු කතාබහක් පොදු ජනතාවට ඇහුම්කන් දීමට නොහැකි විය.  ඒවා දේව රහස් බදු විය.  මේ පිලිබදව කෙමෙන් වර්ධනය වෙමින් කරන ලද උද්ඝෝෂණ දාහත්වන ශතවර්ෂයේදී විශාල ලෙස පැතිරුණි.  තමා විසින් පත් කල නියෝජිතයන් තමා වෙනුවෙන් උත්තරීතර පාර්ලිමේන්තුව තුලදී කුමක් කතා කරන්නේ දැයි දැන ගැනීමට ජනතාවට අවශ්‍ය වීම මේ උද්ඝෝෂණවලට හේතුවු කරුණයි.

දහත්වන ශතවර්ෂයේ අවසන් භාගයේදී මෙම කතා බහ පිළිබද පුංචි ආරංචියක් කළ එළි බැස්සේය.  පුවත් පත් ප්‍රසිද්ධ කිරීමට සුඵවෙන් හෝ පාර්ලිමේන්තු තොරතුරක් සොයා ගැනීමට කර්තෘවරු දැඩි මහන්සියක් ගත්හ.  මේ හේතුව නිසාම ඔවුන් පාර්ලිමේන්තුවෙන් කරන ලද ඉල්ලීම් ප්‍රතික්ෂේප විය.  මේ නිසා මොවුන් අතර ගැටුම් සුලභ විය.  පුවත් පත් මගින් පාර්ලිමේන්තුව දිගින් දිගටම විවේචනය කරන ලදී.  මේ සටන නිසා 1800 දී විලියම් කොබට් නැමැත්තාට පාර්ලිමේන්තු කතා බහ මුද්‍රණද්වාරයෙන් පිට කිරීමට අවසර දෙන ලදී. ඔහුගේ කර්තෘත්වයෙන් පාර්ලිමේන්තුවේ වාද විවාද මුල්වරට නිකුත් කලේ “විලියම් කොබට් ගේ මුද්‍රණාලයේ තාවකාලික මුද්‍රණ කරුවෙකු ලෙස සේවය කල දුප්පත් මුද්‍රණ කරුවෙකි.

1833 දී ඔහු මියගිය පසු ඔහුගේ පරපුර දිගටම මේ කාර්යයේ නියුතු විය.
පෞද්ගලික අංශයේ ව්‍යාපාරයක්ව පැවති පාර්ලිමේන්තුවේ වාද විවාද 1908 දී පාර්ලිමේන්තුව විසින් සම්මත කරගන්නා යෝජනාවක් අනුව රජය විසින්ම පවරා ගනු ලැබීය.

1909 දී බ්‍රිතාන්‍යෙය් සිටි දක්ෂම වාර්තා කරුවන් 4 දෙනෙකුගෙන් සමන්විත තෝරාගත් කර්තෘ මණ්ඩලයක් මගින් පාර්ලිමේන්තු වාද විවාද වාර්තා කොට මුද්‍රණය කරවීම රජයේ අනුග්‍රහයෙන් රජය යටතේම කරන ලදී.

මුලින්ම 1909 දී පිටවූ මුල්ම පාර්ලිමේන්තු වාද විවාද කාණ්ඩයට එම වාද විවාද මුද්‍රණය කල මුල්ම මුද්‍රණකරුවා වූ විලියම් කොබට්ගේ මුද්‍රණාලයේ වැඩ කල දුප්පත් මුද්‍රණකරුවාගේ නම තබන ලදී.  ඔහුගේ නම “හැන්සාඩ්ය.

එතැන් පටන් මව් පාර්ලිමේන්තුවේ සිට අනෙක් සියලුම පාර්ලිමේන්තු දක්වාද “හැන්සාඩ් වාර්තාව විහිදී ගියේය.  

අවසාන මොහොතේවත් තමාගේ නම මෙතරම් අමරණිය වේයැයි හැන්සාඩ් මහතා සිතන්නට නැත.






පැරණි ලිපියකින් උපුටා ගත්තකි.

2 comments:

  1. නොදන්න දෙයක් දැන ගත්තා.
    ගොඩක් ස්තුතියි ලිපියට.

    ReplyDelete

කියවලා බලලා හිතට දැනෙන අවංකම දේ මෙතන කුරුටු ගෑවොත් ඒක මට ලොකු ශක්තියක්. ඒ නිසා ඔයාලගේ හැගීම් වචන වලට පෙරලන්න අමතක කරන්න එපා...!!!!!