Monday, October 1, 2012

ඔන්න තවත් ලෝක ළමා දිනයක් අත ලග



ඔන්න තවත් ලෝක ළමා දිනයක් උදාවුනා.  මාධ්‍ය මගින්, පත්‍රිකා මගින්, තවත් විවිධ ආකාරයෙන් හැමෝම දැනුවත් කරනවා ලෝක ළමා දිනය ගැන.  එදාට ළමයින් වෙනුවෙන් පැවැත්වෙන උත්සව ගැන.  විවිධ කෙළි සෙල්ලම් ගැන.  හැබෑටම මොකද මෙහෙම ළමයින් වෙනුවෙන් විශේෂ දිනයක් වෙන් කරන්න හේතුව.  මොකෑ වැඩිහිටියන්ට තමුන්නේ ළමයි අමතක වෙලා වත්ද?  අපේ රටේ නම් අම්මලා තාත්තලාට දරුවන් එහෙම අමතක වෙන්නේ නැහැ.  මොකද මොන්ටිසෝරියෙන් පිටවුන ගමන්ම පහේ ශිෂ්‍යත්වෙට දුවන්න ළමයින්ව සූජානම් කරන්න තියෙනවානේ.

දෙමව්පියන් බොහෝම දෙනෙක් හිතනවා තමන්ගේ දරුවාට කෑමට බීමට රසවත් ආහාර පාන දුන්නම ලස්සනට අදින්න පළදින්න දුන්නම ඔවුන්ගේ ජිවිතය සම්පූර්ණ වෙනවා කියලා.  ඒක නිකම්ම පුස්සක්නේ.  දරුවන්ගේ කැමති අකමැති දේවල් ගැන අපි නිතරම අවදානයෙන් ඉන්න ඕනෑ.  සමහර වෙලාවට පාඩම් කරන්නට බැරි වුනාම. හරියට පාඩම කියාගන්න බැරි වුනාම දරුවන්ට නොසෑහෙන්න දඩුවම් කරන අම්මලා විතරක් නෙවෙයි ගුරුවරුත් අපි අතරේ ඉන්නවා.

කෑම බීම ඇදුම් පැළදුම් වගේම දරුවන් දෙමාපියන් අතරත් හොද සබදතාවයක් තියෙන්න ඕනෑ.  නැත්නම් දරුවාට තමන්ගේ දෙමාපියන්ගෙන් තමන් බොහෝ ඈතක සිටින බව දැනුනොත් තමන්ට ආදරය හා ආරක්ෂාව නොලැබෙන බව දරුවා අවබෝධ කරගතහොත් ඔවුන් තමන්ගේ ආකර්ෂණයට ගතහැකි කෙනෙක් කෙරෙහි නැඹුරු වීම වලක්වන්න අමාරුයි.  බොහෝමයක් ළමයින් හොර තක්කඩි වැඩ කරන්න පුරුදු පුහුණු කරන්නෙත් දෙමාපියන්මයි.  ඒකට පළමු හේතුව වැඩිහිටියෝ තමන්ගේ තත්වෙට මදිකමක් කියලා හිතලා දරුවන්ගේ ඇසුර සීමා කරනවා.  ඔවුන්ට ඇහුම්කන් දෙන්නට වැඩි කැමැත්තක් නැහැ.  ඒ නිසා දරුවන් හැම වෙලාවෙම නිශ්ශබ්දව හුදකලාව  ඉන්න උත්සාහ කරනවා. එහෙම නැත්නම් කොම්පියුටරේට/ කාටුන් වලට වැඩි ඇල්මක් දක්වන්න පෙළ‍ඹෙනවා.

දවසේ කරපු කියපු දේවල් ගැන දරුවාගෙන් අහනවා නම් ටික දවසක් යනකොට ඔවුන් කිසිම බොරුවක් වංචාවක් කරන්නේ නැතිව දෙමාපියන් එක්ක හැම දේම කියන්න පෙළඹෙනවා.  අපි හැම වෙලාවෙම හිතන්නේ දරුවන් කරදරයක් කියලා.  දරුවාට ලෙඩක් දුකක් හැදුනාමත් ඒ ගැන නොහිතා බෙහෙත් පෙත්තක් දීලා පාසැලට/ පංතියට හෝ මොන්ටිසෝරියට යවන්න හදන්නේ කරදරෙන් ටික වෙලාවකට හරි මිදෙන්න ඕන කියන හැගීම නිසා නෙමෙයිද?  මෙහෙම අම්මලා මට හමුවෙලා තියෙනවා.  ඒකයි එහෙම කියන්නේ.

අනෙක් කාරණාව තමයි සමහර අම්මලා ඉන්නවා තමන්ගේ දරුවා යම් වැරැද්දක් කලත් ඒක පිළිගන්නේ නැති.  එහෙම වුනාම නොදැනුවත්වම දරුවා තව තවත් වැරදි කරන්නට පෙළඹෙන බව ඔවුන් හිත්න්නේම නැහැ.  තවත් දෙයක් නම් කුඩා දරුවන් ලවා ඔවුන්ගේ පුංචි නංගිලා මල්ලිලා බලාගන්නට සැලැස්වීම.  මේ වගේ දේවල් පුංචි දරුවෙක්ට දරාගන්න පුළුවන් කමක් නැහැ.  එක අවස්ථාවක මට ළමා රෝහලේ ටික දිනක් ඉන්න සිදුවුනා. ඒ අතරේ වයස අවුරුදු 2 ½ක විතර බබෙක් ෆිට් එක හැදිලා අරගෙන ආවා.  කරුණු අහලා බලනකොට ඒ දරුවා දෙණියාය පැත්තේ තේ වත්තක තමයි ජීවත් වෙන්නේ.  අම්මා , තාත්තා වත්තේ වැඩට යන නිසා ළමයා බලාගෙන තියෙන්නේ අවුරුදු 8ක විතර ගැහැණු ළමයෙක්.  එයාගේ අතින් මේ පුංචි මල්ලියාව වැටිලා ගලක ඔළුව වැදිලා.  අක්කා බයට මේක කාටවත් නොකියා ඉදලා ළමයාට සිහිය නැති නිසා හොයන කොට තමයි කාරණාව දැනගෙන තියෙන්නේ.  එතකොටත් පැය ගානක් ගතවෙලා.  මම දැනගත්ත විදියට නම් දොස්තරවරු කිවුවේ දරුවාගේ තත්වය එතරම් හොද නොවන බවයි.   මේ වගේ අතපසුවීම් නිසා සමහර වෙලාවට මුළු ජීවිත කාලයම විදවන්න වෙනවා.


තවත් දෙයක් තමයි දරුවෙක් පාසැල් යවන්න පටන්ගත්තාට පස්සේ අම්මලාට පුදුම හදිසියක් තියෙන්නේ ඉක්මනට විෂය කරුණු උගන්වන්න.  සමහරුන්ට විෂය නිර්දේෂය මදිත් වගේ.  මම දන්න පුංචි දරුවෙක් ඉන්නවා එයා ඉගෙන ගන්නේ 2 ශ්‍රේණියේ.  හැබැයි 1 වසරේ ඉදන්ම ශිෂ්‍යත්ව පංති යනවා.  දැනට එයා පංති 16කට යනවාලු.  මේක බොරුවක් කියලා සමහරු කියයි.  ඒත් මේ දරුවා ඉන්නේ මගේ කෙලි පොඩ්ඩිගේ පංතියේ.  ඉතින් බලන්නකො අර පුංචි කෙල්ලට මේවා දරාගන්න පුළුවන්ද කියලා.  මෙහෙම උදවිය පුළුවන්නම් විෂය කරුණු ටික බෝල කරලා හිස් මුදුනින් මොළේට බස්සන්නත් උත්සාහ කරාවි.. 

තවත් සමහර අම්මලා තාත්තලා තමන්ගේ මානසික පීඩනය මුදා හරින්නේ දරුවන්ගේ පිටින්.  මෑතකදි ඒවගේ සිද්ධි ගණනාවක් ප්‍රවෘත්තිවල දකින්නට ලැබුනනේ.  අර වැද්දන්ගේ කාලේ මීට වඩා දරුවන් ගැන සැලකිල්ලෙන් ඉන්න ඇති කියලා හිතෙනවා.  ඔවුන් අනවශ්‍ය ලෙස බිය වැද්දීම නිසා ඔවුන්ගේ මානසික මට්ටමේ වෙනස් කම් ඇතිවිය හැකි බව වෛද්‍යවරු පවසනවා.  මා දන්න ගැහැණු දරුවෙක් තමන්ගේ මොන්ටිසෝරියේදී බිය වීම නිසා අවුරුදු 2කට ආසන්න කාලයක් අපේ රටේ පිළිගත් ළමා මනෝ වෛද්‍යවරයෙකුගෙන් ප්‍රතිකාර ලබාගත්තා.  නමුත් දැනටත් ඒ දරුවාගේ ඇතැම් හැසිරීම් රටාවන් අසාමාන්‍යයයි. 

මෙවැනි බියවැද්දීම් තර්ජන වලට ලක්වන දරුවන්ගෙන් 50%ක් පමණ බාලාපරාධකරුවන් විය හැකි බව මහාචාර්ය සිරිල් බර්වි මහතා වරක් පවසා තිබුනා.
කෙනෙක්ගෙන් ආදරයක් නොලබන දරුවෙක් තවත් කෙනෙකුට ආදරය කරුණාව දක්වන්නට ඉගෙන ගන්නේ කාගෙන්ද?  දැනට වසරකට පමණ කලින් රත්නපුර පැත්තේ (මට මතක විදියට) වැඩිහිටි කාන්තාවන් කිහිපදෙනෙක්ම එකම විදියට අතවරයට ලක්කොට ඝාතනය කර තිබුනා.  මේ සිද්ධියට තරුණයන් දෙදෙනෙකු හසුවුනා.  ඔවුන්ගෙන් ප්‍රශ්ණ කරගෙන යනකොට දැනගන්නට ලැබුනේ  ඔවුන්ගේ ළමා කාලයේදී අර තරම්ම වැඩිහිටි කාන්තාවන් දෙදෙනෙකු මේ දෙදෙනාවම අනාචාරයට යොදවාගෙන ඇති බවයි.  මේ සිද්ධිය එක්තරා පාසැලක තිබුණ දෙමාපිය සම්මන්ත්‍රණයකදි හෙලිකරුණු ලැබුවා.


මම එක අවස්ථාවක දැක්කා අම්මා කෙනෙක් දරුවෙක් කිහිළි ගන්නාගෙන බස් රථයක හිගාකනවා.  ඒක ඉතින් නැති බැරි කම කියමුකෝ.  ඊට දින දෙකකට විතර පස්සේ මම ඒ අම්මාවම දැක්කා බොරැල්ල මැගසින් පාර ළග තියෙන සයිකල් බසාර් පදික වේදිකාවේදී.  අම්මා මත්ද්‍රව්‍ය අරගෙන නිදිකිරනවා.  අර අත දරුවා ටිකක් එහාට වෙන්න සෙල්ලම් කරමින් ඉන්නවා.  සමහර දරුවන්ට කන්න බොන්න ඇති තරම් තියෙන කොට තවත් කොටසක් අනෙක් අය ඉතිරි කරලා විසි කරන බත් ඇට දහය ඇහිදන් කන්න පොරකනවා.  ඇතැම් වැඩිහිටියන් තමන්ගේ හෝ මුදලට ලබාගත් අනුන්ගේ දරුවන් යොදවා මුදල් සොයනවා.  මේවගේ මගේම ඇහින් දැකපු අනන්තවත් දේවල් තියෙනවා. 

අර කොළඹට කිරි ගමට කැකිරි කියන්නා වගේ දැන් ඔය ලෝක ළමා දිනය සමරන්න කියලා තියෙන උත්සව වලදිත් කැපිලා පෙනෙන්නේ ඇති හැකි පවුල්වල දරුවන් නෙමෙයිද?  බොහෝ දරුවන් මේ මොනවද කියලා වත් නොදැන අතරමංවෙලා ඉන්නවා.  ඒ වෙලාවෙත් කීයක් හරි හොයාගන්න කුලි වැඩ කරනවා.  එක දවසක නාඩගමක් නටනවාට වඩා හොද නැද්ද මේ වගේ අන්ත අසරණ වෙලා ඉන්න එක දරුවෙක් හරි හොයාගෙන ඔහුගේ හෝ ඇයගේ අනාගතය යහපත් වෙන්න වැඩ පිලිවෙලක් යොදන එක. 

ඇතැම් ගම්වල මාතෘ සායනවලට නොමිලයේ රජයෙන් ලබාදෙන ත්‍රිපෝෂ පැකට් එක පවා විකුණගන්න අදාල පුද්ගලයන් පෙළඹිලා තියෙනවා.  එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් පවා ළමා අයිතිවාසිකම් ගැන කරුණු අඩංගු පනතක් සම්මත කරගෙන දැන් දශක ගණනාවක් ගෙවිලා ගිහින්.  හැබැයි ඔය පනත හරියටම ක්‍රියාවට නැගුනානම් අද ලෝක ළමා දිනයක් කියලා එකක් පවත්වන්න උවමනා වෙන්නේ නැහැනේ.  මේවාට වගකියන්න ඕන කවුද කියලා කවුරු හරි දන්නවාද මන්දා? (කියයිද දන්නේ නැහැ මට මතක නැහැ කියලා.)

හැම දිනයක්ම / හැම වසරක්ම ගතවෙන හැම තප්පරයක්ම ළමයින් සදහාම විය යුතුයි.  නැත්නම් අපට ළමා පරපුරක් දකින්නට ලැබෙන්නේ නැතිවෙයි.  කාටවත් ඇගිල්ල දිගු කරනවාට වඩා මේක තමන්ගේම ගෙදරින් පටන් ගත හැකියි.  දරුවා දරුවෙක්ම මිසක් වැඩිහිටියෙක් නොවන බව තේරුම් ගන්නවා නම් මෙතරම් ගැටළු ඇතිවෙන එකක් නැහැ.  පුංචි දරුවන්ට සැහැල්ලු නිරවුල් මනසකින් තමන්ගේ වැඩ ටික කරගන්න වැඩිහිටියෝ ඉඩ දෙනවා නම් ඒ විදියට ඔවුන්ට අත්වැලක් වෙනවා නම් යහපත් ගුණ ගරුක ඒ වගේම උගත් නැණවත් දරුවෙක් තමන්ගේ ගෙදරින්ම දකින එක සිහිනයක් වෙන එකක් නැහැ.

(මම ගිය අවුරුද්දෙත් මෙවැනිම ලිපියක් දැම්මා 2011.09.30 කැමති කෙනෙක් ගිහින් ඒකත් බලන්න. කැමතිනම් මට බනින්න අවුලක් නැහැ.  ඒත් මේ මම දකින අදහන විදිය)

2 comments:

  1. අද ළමා දිනය වෙනුවෙන් කියලා කරන්නේ බොහෝමයක් බොරු වැඩ. ළමා දිනේටවත් දුක් විඳින එක ළමයෙකුටවත් සහනයක් සලසන්න පුළුවන් නම් ඒක තමයි වැදගත්!

    ReplyDelete
  2. සහතික ඇත්ත කතාව !!
    ලෝක ළමා දිනය දවසේවත් සිතූ කියලා තියෙන විදිහට සහනයක් දෙන්ඩ පුලුවන් නම්...
    ඒ උනාට අනිත් දින වගේ මේ දිනයත් මාර්කට් වෙලා. සතුටු උයන් විනෝද උයන් අයිතිකාරයන්ගේ දවසක් වෙලා !!

    ReplyDelete

කියවලා බලලා හිතට දැනෙන අවංකම දේ මෙතන කුරුටු ගෑවොත් ඒක මට ලොකු ශක්තියක්. ඒ නිසා ඔයාලගේ හැගීම් වචන වලට පෙරලන්න අමතක කරන්න එපා...!!!!!