Monday, August 27, 2012

ලොවක් හෙල්ලූ විජ්ජාකරුවෙක්!!!!


එක එක කාලෙට ලෝකයේ විවිධ දස්කම් ඇති පුද්ගලයින් බිහිවෙනවා.  සාමාන්‍ය අයට වඩා වෙනස්ම දේවල් කිරීම නිසා ඔවුන් මිනිසුන්ගේ හදවත් තුල දිගු කාලයක් ජීවත් වෙනවා.  ඒ විදියට ලෝ පතල නමක් තමයි හැරි හුඩ්නි කියන්නේ.  ඔහු විසින් කරපු විශ්මය ජනක දේ බොහෝයි.  සේප්පුවක ආරක්ෂා කාරී අගුලක් කැඩීම, තඩි ඉබ්බෙක් ඇරීම, යකඩ සේප්පුවක් ඇරීම වගේ දේවල් අපි සැමන් ටින් එකක් කඩනවාටත් වඩා පහසුවෙන් කිරීමට ඔහු සමත්කම් දැක්වූවා.

එක් අවස්ථාවක ෂර්ලෝක් හොල්ම්ස් නම් රහස් පරීක්ෂකවරයාට පන දුන් සර් ආතර් කොනන් ඩොයිල් පැවසුවේ “හැරී මේ විශ්මය ජනක දේවල් කරන්නේ නම් යම් භූත බලවේගයකින් විය යුතුයි.  එහෙම නැත්නම් කොහොමද ඔහුව සිරකර තබන පෙට්ටිවලින් පවා කිසිම කරදරයක් නැතිව ගැලවිලා යන්නේ....

එක් දිනක් මේ හැරී හුඩ්නිගේ අත් පා සියල්ලම යකඉ දම්වැල් වලින් ඔතලා රාත්තල් සීයකට ආසන්න බරක් ඇති යකඩ ගොලයක් එල්ලලා ඔහුව මුහුදට තල්ලු කරලා තියෙනවා.  බොහෝම දෙනෙක් විශ්වාස කලේ හැරී හුඩ්නිගේ අවසාන දවස එදා කියලයි.  ඔහුගේ ලෝකයට ආයිත් කිසිම දිනෙක හිරු නොපායන බව කෙනෙක් විශ්වාස කලා.  ඔහුව මුහුදට දැමු පිරිස ඔහුගේ මල සිරුර මුහුදේ පාවෙන තුරු බලාගෙන සිටියා.  ඒත් පුදුමය කියන්නේ අර ඔතපු යකඩ දම්වැල් කිසිවක්ම නැතිව විනාඩි පහක් ඉක්ම යන්නටත් මත්තෙන් හැරී මුහුදෙන් මතුවුනා. 

දිනක් සැන් ප්‍රැන්සිස්කෝ හිරගෙදර ඔහුගේ දස්කම් පරීක්ෂා කරන්නට සිතා සිරගෙදර කාමරයක නිරුවතින් දමා අගුලු දැමුවා.  ආරක්ෂක නිලධාරීන් හෙමින්ම තමන්ගේ කාර්යාලයට පියවර මැන්නා.  අදාල පුද්ගලයා කාර්යාලයට ඇතුලු වෙනවාත් සමගම “හලෝ මහත්මයා!!!! කොහොමද ඉතින් සැප සනීප එහෙම?  කියමින් කිසියම් පුද්ගලයෙක් ඔහුගේ පිටට තට්ටු කලා.    ටික වෙලාවකට කලින් නිරුවත්ව සිර මැදිරියකට දමා අගුලු දමා  පැමිණි හැරී හුඩ්නි ඇදුම්ද ඇදගෙන තමන්ගේ පිටුපස සිනාසෙමින් සිටිනවා දුටු ජේලර් තැන පුදුමයෙනුත් පුදුමයට පත්වුනා. 

තවත් අවස්ථාවක හැරී ප්‍රදර්ශනයක් පැවැත්වීමට යොදාගෙන තිබුනේ සෙන් පීටර්ස්බර්ග් නගරයේයි.  ඉතින් ඔහු එහි ගිහින් ඉන්න විට ඔහුගේ රසිකයෙක් පැමිණ අභියෝගයක් කළා එවකට රුසියාවේ සිට සයිබීරියාවට සිරකරුවන් ගෙන ගිය “කැසට්..නම් බන්ධනාගාර රථයෙන් ගැලවී යන ලෙස.  එය ඇත්තටම බන්ධනාගාර රථයක් විදියට හැදින්වූවත් රෝද උඩ සවිකළ ආරක්ෂාකාරී යකඩ සේප්පුවක්.  ඒත් ඒක සාමාන්‍ය යකඩ සේප්පුවකුත් නෙවෙයි.  තට්ටු හතරක් එක් කර සාදපු අයෝමය ආරක්ෂාකාරී සේප්පුවක්.  කොයිතරම් දක්ෂයෙකුට වුනත් ඒකෙන් ගැලවිලා එන්නට පුළුවන් කමක් තිබුනේ නැහැ.  නමුත් හැරී හුඩ්නි එම අභියෝගය බාර ගත්තා.

ඉතාමත් තද සිතලක් සහිත කාලගුණයක් ඇති දවසක හැරී හුඩ්නිව කිසිම ඇදුමක් ඇගේ නොමැතිව නිරුවතින් “කැසට් නම් බන්ධනාගාර රථයට ඇතුළු කරනු ලැබුවා.  පසුව ආරක්ෂාකාරී අන්දමින් අගුලු දැමුවා.  ගතවූයේ විනාඩි 30ක් පමණයි.  ඉතාමත් සූක්ෂම දක්ෂ සොරුන් පවා පසුබැස්සවූ කැසට් බන්ධනාගාර රථයෙන් හැරී පිටතට ආවේ සියල්ලන් විශ්මයෙන් මුව අයාගෙන සිටිද්දීයි.  ඔහු පිටතට එන විට ඒ සදහා ගන්නා ලද උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස ගැලූ දහඩිය අයිස් බවට පත්වී ඔහුගේ සිරුර පුරාවටම තැවරී තිබුනා.

තවත් අවස්ථාවක බන්ධනාගාරයට සිරකරුවන් ගෙන ගිය නැවකට හැරී හුඩ්නිව ඇතුළුකර වානේ ඇදුමක් අන්දවා එම ඇදුමට අගුලක්ද දමා ඕක් ලීයෙන් කළ බාල්කයක ඉතාමත් ශක්තිසම්පන්න යකඩ දම්වැල් වලින් බැද දැමුවා.  විනාඩි තුනක් වැනි ඉතාමත් සුළු කාලයකදී ඒ සියල්ලන්ගෙන්ම ඔහු මිදුනා.

එක් නගරයකට ගිය ඔහු තමන්ව කැමති ආකාරයකට සිර කර තබන ලෙසත් තමන්ට එයින් සුළු මොහොතකදී ගැලවී යාමට හැකි බවත් පවසමින් අභියෝග කරනු ලැබුවා.  ඉතින් නගරවාසීන් එකතුවෙලා හැරීගේ අත් පිටුපසට කර යකඩ දම්වැලකින් බැද දමා  විශාල ඉබ්බෙක්ද දැමුවා.  පසුව කකුල් දෙකත් යකඩ දම්වැල් වලින් වෙලා එයටත් ඉබ්බෙක් දමා බිත්තියට හේත්තු කොට ඔහුව සම්පූර්ණයෙන්ම පාහේ යකඩ දම්වැල් වලින් වෙලනු ලැබුවා.  පසුව එම කාමරයට විශේෂ අගුලක්ද දමා වැසුවා.  පුදුමයකි!!!!! පැය කාලක්වත් ගතවූයේ නැති තරම්ය.  හැරී සිර මැදිරියෙන් පිටතට ආවේ සිවුරු හඩලමිනි.

වර්නර් ග්‍රාප් නම් එක්තරා පොලිස් නිලධාරියෙක් හැරීගේ අත්දෙකට දැමුවේ විශ්මය ජනක මාංචු කුට්ටමකි.  එය වසා යතුරු කැරකැවූ පසුව එම යතුරෙන්වත් මාංචු කුට්ටම විවෘත කිරීමට නොහැකි වුනා.  නියම ක්‍රමය හැරුනම එය විවෘත කරන්නට පුළුවන් කමක් තිබුනේ එයට වෙඩි බෙහෙත් පුරවලා දල්වා අගුල පුපුරවා හැරීමෙන් විතරයි.  නමුත් හැරීට එම අගුල ඇරීමට වෙඩි බෙහෙත් හො වෙනත් උපකරණයක් වුවමනා වූයේ නැත.  විනාඩි හයක් ඇතුලත ඔහු එම මාංචු වලින් නිදහස් වුනේය.

රුසියාවේ සර්ජියස් මහා ආදිපාද තුමාගේ මාලිගාවේදී හැරී හුඩ්නි විජ්ජා පෙන්වන්නට ගියා එහි දී රුසියාවේ සිටි දක්ෂම යතුරු නිපදවන්නන්ට කියා යතුරු තහඩු ගණනාවක්ම සාදවා සවි කළ වානේ පෙට්ටියක් හුඩ්නිගේ ඉදිරියෙන් තැබූ ආදිපාද තුමා තමන්ගේ දක්ෂකම් ප්‍රදර්ශනය කරන ලෙස කියා සිටියා.  එම පෙට්ටියට යතුරු තහඩු 50ක්පමණ සවි කර තිබුනා.  අනෙක් කරුණ නම් නියම යතුරු නියම ආකාරයට කැරකැවීමෙන් මිස වෙනත් ආකාරයකින් එය විවෘත කිරීමේ හැකියාවක් තිබුනේම නැහැ.  තමන් ලග කිසිම ආයුධයක් නොමැති බව සහතික කල හැරී තමන්ගේ ඇදුම් සියල්ලම උනා දමා තමාව අදුරු කාමරයක වානේ පෙට්ටියත් සමග දමන්නැයි කියා සිටියා.  ආදිපාද තුමාත් මෙම ලොපතල විජ්ජා කරු පරාද කිරීමේ අරමුනින් එම අදහසට එකපයින් කැමති වුනා.  ටික වෙලාවකට පස්සේ දැඩි ආරක්ෂාවක් යොදා වසන ලද අර පෙට්ටිය විවාත කර එයත් රැගෙන හැරී අදුරු කාමරයෙන් එළියට ආවේ සිනා රැදි මුහුණින්.

මේ තරම් විස්මිත දේවල් ලෝකය ඉදිරියේ කරන්නට ඔහු දීර්ඝ කාලයක් තිස්සේ පුරුදු පුහුණු වුනා.  ඒ පුහුනුවීම් හිතන තරම් ලෙහෙසි වුනේ නැහැ.  ඔහු තමන්ගේ ජීවිතයෙන් වැඩි කාලයක්ම ගත කරලා තියෙන්නේ යතුරු තහඩු ගැන පරීක්ෂන පවත්වන්නටයි.  අවුරුදු කිහිපයක්ම ජර්මනියේ උසස්ම යතුරු නිෂ්පාදන ශිල්පියෙකු ලග එක දිනකට පැය දහතුනක් පමණ සේවය කරමින් ඒ ශිල්පය හැදෑරුවා.  ඒ විතරක් නෙවෙයි විජ්ජා පෙන්වන්නට තමන්ගේ ශරීරයේ තියෙන හැම මස් පිඩුවක්ම ඉතාමත් සූක්ෂම ලෙස ක්‍රමානූකූලව හසුරුවන්නට පුරුදු පුහුණු වුනා.  ඔහුට තමන්ගේ ශරීරයේ සෑම ඉන්ද්‍රියයක්ම මනාව පාලනය කර ගැනීමට නිපුනතාවයක් තිබුනා. 

තවත් කරුණක් තමයි ඔහුව කොයි ආකාරයෙන් නිරුවත් කලත් මොනයම්ම හෝ ආයුධයක් දෙකක් තමන්ගේ සිරුරේ කොතැනක හෝ සගවා තබා ගැනීමේ අසාමාන්‍ය හැකියාවක් ඔහු සතුව තිබුනා.  දැලි පිහියා තලයක්, පීරක්, යකඩ කපන කියතක් වැනි ඕනැම දෙයක් ඔහු ලග තිබුනා.   බොහෝ දෙනෙක් මොහුගේ මෙම රහස් දැනගැනීමට අසීමිත උත්සාහයක යෙදුනා.  නමුත් කිසිම පුද්ගලයෙකුට ඔහු සතු හැකියාවන් කිසි කලෙකත් මුළුමනින්ම දැනගැනීමේ හැකියාවක් තිබුනේ නැහැ.

“මගේ ලග තියෙන හැකියාවන්ගෙන් කිසිම කෙනෙකුට ප්‍රයෝජනයක් නැහැ.  ඒවා මොනයම්ම ආකාරයකින් හෝ කපටි පුද්ගලයෙක් දැනගත්තොත් ඒකෙන් වෙන්නේ ලොකු විනාශයක්.  ඔහු ලෝකයේ ඉන්න ලොකුම හතුරා වේවි.  ඔහු එතකොට මේවායින් වංචාකාරී ලෙස ප්‍රයෝජන ගෙන අනෙක් අයත් රවටා සියල්ලන්ටම හිරිහැර කරාවි.  ඒ හින්දා කිසිම කෙනෙකු මගේ රහස් දැනගන්නට වුවමනා නැහැ.  මම මැරෙන කොට මාත් එකක්ම මගේ රහස් සියල්ලම වැළලී යා යුතුයි..... හැරී හුඩ්නි පැවසුවා.

9 comments:

  1. මෙම ලිපියේ වැදගත්ම කොටස නම් "මගේ ලග තියෙන හැකියාවන්ගෙන් කිසිම කෙනෙකුට ප්‍රයෝජනයක් නැහැ. ඒවා මොනයම්ම ආකාරයකින් හෝ කපටි පුද්ගලයෙක් දැනගත්තොත් ඒකෙන් වෙන්නේ ලොකු විනාශයක්. ඔහු ලෝකයේ ඉන්න ලොකුම හතුරා වේවි. ඔහු එතකොට මේවායින් වංචාකාරී ලෙස ප්‍රයෝජන ගෙන අනෙක් අයත් රවටා සියල්ලන්ටම හිරිහැර කරාවි. ඒ හින්දා කිසිම කෙනෙකු මගේ රහස් දැනගන්නට වුවමනා නැහැ. මම මැරෙන කොට මාත් එකක්ම මගේ රහස් සියල්ලම වැළලී යා යුතුයි...." යන්නයි.

    ReplyDelete
  2. බොහොම ස්තූතියි ලිපියට... මෙවැන් පුද්ගලයෙක් ගැන මෙච්චර කල් දැනගෙන හිටියේ නෑ... :)

    ReplyDelete
  3. හරිම ලස්සන ලිපියක්. ස්තූතියි.

    //ඔහු පිටතට එන විට ඒ සදහා ගන්නා ලද උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස ගැලූ දහඩිය අයිස් බවට පත්වී ඔහුගේ සිරුර පුරාවටම තැවරී තිබුනා.//
    මේකට අනුව යම් එයාම හදාගත්ත සමහර රසායනිකර ද්‍රව්‍ය භාවිතා කරන්නත් ඇති?

    මෙහෙම දෙයක් ලියන කොට යූටියුබ් අමතක කරන්න එපා.
    http://www.youtube.com/watch?v=XMuh-l-Eqfs

    දිගටම ලියන්න සුභපැතුම්!

    ReplyDelete
  4. namal

    ස්තුතියි ඔයාටත් මේ පැත්තට ආවට!!!

    Anonymous

    ඔව් ඇත්තටම!! අද කාලේ වෙන දේවල් වල හැටියට ඔහොම දෙයක් දැනගෙන හිටියා නම් මොනවා කරයිද කියලා හිතාගන්නවත් බැහැ.

    නුවා....

    ස්තුතියි ඔයාටත් මේ පැත්තට ආවට.

    වන වදුල

    අනේ ඔයාට ගොඩාක් ස්තුතියි!!! මම මේ ලින්ක් එක ගැන දන්නෙම නැහැ. ඔන්න මම පෝස්ට් එකට දැම්මා ඒකත්. ඇත්තටම ස්තුතියි.

    ReplyDelete
  5. අඩේ මම වීඩියෝ එක බලලා ඊට පස්සේ නෙව පෝස්ට් එකට ඇවිත් තියෙන්නේ.
    ආයේ ඉතින් කොයිල් වෙන එක අහන්ඩත් දෙයක් යෑ...

    ReplyDelete
  6. මධුරංග මල්ලි

    ඒකේ වැරැද්ද ඔයාගේ නෙවෙයි මගෙයි. මම වීඩියෝ එකක් ගැන දැනගෙන හිටියේ නැහැ. පස්සේ වන වදුල කමෙන්ටුවෙනුයි ඒක දැනගත්තේ. කාටත් බලන්න ඒකත් පෝස්ට් කලා. දැන් හරිනේ.

    ReplyDelete
  7. වැදගත් ලිපයක්.අන්තිස ටික නම් කියලා වැඩක් නෑ..

    ReplyDelete
  8. ධම්මික

    ස්තුතියි ඔයාට

    ReplyDelete

කියවලා බලලා හිතට දැනෙන අවංකම දේ මෙතන කුරුටු ගෑවොත් ඒක මට ලොකු ශක්තියක්. ඒ නිසා ඔයාලගේ හැගීම් වචන වලට පෙරලන්න අමතක කරන්න එපා...!!!!!