හරියටම දිනේ කිවුවොත් ගිය සෙනසුරාදා , ඒ කියන්නේ 11 වෙනිදා අපි හික්කඩුවේ යමුයි කියලා කතා වුනා. අර බදුලු ගිය යාළුවෝ කට්ටියම තමයි. ඔන්න ඉතිං පාන්දර හිටන්ම වහිනවා වහිනවා ඉවරයක් නැහැ. ඒත් ඉතිං දාගත්තු ගමන නොගිහිනුත් බැහැනේ. ඔන්න ඉතිං කට්ටිය ගමනට සූදානම්!!! අපි මාදු ගගෙත් යන්නනේ ඉන්නේ.
අපේ කට්ටිය ලක ලෑස්ති වෙලා එළියට බහිනකොට 7.30 විතර වුනා. අවුලක් නැහැ හොදටම වැස්සනේ. වහිනකොට ගගේ යන්න පුළුන්ද දන්නෙත් නැහැනේ. අනෙක ට්‍රිප් එකම හේදිලා යයි කියලත් හිතට බයයි. හැබැයි ඉතිං අපි යොදාගත්ත විදියටම අනෙක් අයවත් වාහනේට නග්ගගෙන කහතුඩුවෙන් අධිවේගී මාර්ගයට පිවිසුනා.
වාහන තදබදයක් නැතිව බොහෝම ලේසියෙන් ගමන ආරම්භ කලා. හැබැයි ඉතිං අර ගාලු පාරේ සෙන්ටි මීටරෙන් මීටරේට ඉස්සරහට යනවා වගේ නෙවෙයි, වටපිටාවේ බලන්න දේවල් බොහෝම හිගයි. හරියටම කිවුවොත් නොදන්න රටක නොදන්න කදුකර පළාතක යනවා වගේ තමයි. හැබැයි ගමන ඉක්මන්. අපි විනාඩි 45කින් විතර අම්බලන්ගොඩින් පිටවුනා.
ආපහු බලපිටිය පැත්තටයි ආවේ. මාදු ගගේ සවාරිය යන්න. එහාට අපි යනකොටම වෙලාව 10.30ට විතර ඇති. ගිණි කාස්ටක අවුව. මේ පැත්තට පැල් බැදගෙන වැස්සට මොකද එහේ නම් වැහැපු පාටක්වත් තිබුනේ නැහැ. කොහොම හරි කලින් කතාකරගත්තු නිසා අපේ යාළුවෙක් බෝට්ටුවක් ලැස්ති කරලා තිබුනා.
අපි කට්ටියම බෝට්ටුවට නැගුනා. සැප පහසුවට අවට බලබලා ඉදගෙන යන්න ආසන පහසුකම් එහෙමත් තියෙන නිසා කරදරයක් නැහැ. එකම ප්‍රශ්නේ තද අවුවක් තිබීම තමයි. මෙහාට එනවා නම් උදේ 7.00ටවත් එන්න ඕනේ. එතකොට තමයි හොද!!! බ්ලොග් එක ලියන්නත් ඕන නිසා මම විස්තර ටිකක් හොයලා බැලුවා. පහතින් තියෙන්නේ ඒ හොයාගත්තු තොරතුරු ටික තමයි.
බලපිටිය මෝයෙන් මුහුද හා අත්වැල් බැදගන්නා මාදු ගග ආරම්භ වෙන්නේ ඌරුගස්මං හන්දිය පොල් අතු පළාතේ තියෙන කදු මුදුනකිනුයි. එතැන් පටන් සැතපුම් හයක පමණ දුරක් ගෙවාගෙන අවට පරිසරයට මනස්කාන්ත දර්ශනයක් ලබා දෙමින් මාදු ගග ගලා බසිනවා. මේකෙ තියෙන වඩාත්ම අපූර්වත්වය වන්නේ එහි පිහිටා ඇති දූපත් සමුහයයි. විවිධ ප්‍රමාණයන්ගෙන් සැදුම් ලත් දූපත් 64ක් මෙහි තිබෙනවා.
ගොඩබිම, ඇල, කඩොලාන ශාඛ, දුපත්, කලපු, වගුරු බිම්, ආදියෙන් සමන්විත මාදු ගග තෙත් බිමක්. මෙය තමයි ලංකාවේ තෙවැනි රැම්සා තෙත් බිම. හෙක්ටයාර 915ක් විතර වෙන තෙත් බිම් ප්‍රමාණයක් තිබෙන මේ මාදු ගග හා ඒ ආශ්‍රිත ප්‍රෙද්ශයෙන් හෙක්ටයාර 756.5ක් තෙත් බිම් පෙදෙසට අයත් වෙනවා. කොහොම වුනත් මේකේ තියෙන දූපත් 64න් දැන් තියෙන්නේ 25ක් තරම් කියලත් කියනවා.
කුරුදු දූව, කොත් දූව, මා දූව, දික් දූව, තල් දූව, කඩාපාන දූව, සත පහේ දූව, පෙරියමරක්කල දූව, එරවන දූව, මිමා දූව, කිනිය දූව, මියම් දූව, මුවන් දූව, අප්පල දූව, ආදී වශයෙන් මේ දුපත් සමූහය එකිනෙක නම් කරලා තියෙනවා. මේ මාදු ගගේ සංචාරය සදහා බෝට්ටු යොදවා තියෙනවා. මේ බෝට්ටු ස්ටාට් කරන්නේ පෙට්‍රල් වලින් වුනාට යන්නේ භූමිතෙල් වල ආධාරයෙන් කියලත් දැනගන්න ලැබුනා. ලීටර් 10-15ත් අතර ප්‍රමාණයක් ඒක ගමන් වාරයකට වැය වෙන බවත් දැනගත්තා.
අපි ගොඩබැස්සේ දූපත් 3කට විතරයි. අනෙක් ඒවා වටපිටෙන් බලාගෙන ආවා. මුලින්ම අපිව එක්කගෙන ගියේ කුරුදු දූවට. අපි එහාට යනකොටත් පොල්අතු වලින් හදපු මඩුවක් ඇතුලේ කුරුදු තලන අවුරුදු 65ක විතර සීයා කෙනෙක් හිටියා. කුරුදු කෝටු පොතු ගලවමිනුයි එයා හිටියේ. එයින් නික්මෙන සුවදින් මුළු පලාතම සුවද වත් වෙලා. කුරුදු පොතු ගලවලා මීටරයක් විතර දිග කොටුවක ආකාරයට ඔතනවා. ඒවා පිටරට පටවන්න පස්සේ මිටියක් විදියට ගැටගහනවලු. කුරුදු කොල වලින් තෙල් ගන්නවලු. ඒ තෙල් බිංදුවක් අපේ අත්ලෙත් තැවරුවා. අම්මෝ ඒක ගෑවිලා ටික වෙලාවක් යනකන් දැවිල්ලයි හොදටම. ඒවගේම අපි එනකන්ම ඒ සුවද තිබුනා.
(මේ තියෙන්නේ ඒ තෙල් හිදින ආකාරය තමයි)
ඔවුන් ඒ වේලපු කුරුදු පොතු දේශිය සංචාරකයන්ට විකුණන්න පැකට් කරලා තිබුනා. එයින් එක පැකට්ටුවක් රු. 200ක් වෙනවා. ඒ වගේම තෙල් කුප්පියකුත් රු.200ක් මිලයි. කුරුදු තෙල් හොද ඖෂධයක් වග තේරුනා. දත් කැක්කුම, කකුල් අමාරු, සෙම් අමාරු වගේ දේවල් වලට මහගු ඖෂධයක්ලු.
තවත් දූපත් කිහිපයක් පසු කරමින් යනවිට ඉස්සන් ඇල්ලීම සදහා තනා ඇති ඉස්සෝ කොටු මාදු ගගේ තැනින් තැන ඇති අන්දම දකින්නට ලැබුනා. තමන්ගේ ඉස්සන් කොටුව ආරක්ෂා කරගැනීම සදහා රාත්‍රී කාලයේදී කොටුව අයිතිකාරයා එහි රැදී සිටිනවා. ඒ සදහා ඔවුන් තනා ඇති පැල් කිහිපයක්ද දැක්කා. මාදු ගගේ ටිකක් ඈතට වෙන්නට කිඹුලන් සිටින බවක් බෝට්ටුව පැදවූ පුද්ගලයා පැවසුවා.
මාදූව තමයි මාදු ගගේ විශාලම දූපත. එහි විශාලත්වය හෙක්ටයාර 38ක් පමණ වෙනවා. දැනට පවුල් 150ක් පමණ පදිංචි එම දූපතේ පන්සලක් ද දක්නට ලැබුනා. එය අවුරුදු 400ක් තරම් පැරණි විහාරස්ථානයක්ලු. එහි ඉදිකිරීම් කෙරිලා තියෙන්නේ සංචාරකයන්ගෙන් ලැබෙන මුදල් එකතු කිරීමෙනුයි. එහි තිබූ බෝධි වෘක්ෂය අවුරුදු 600ක් තරම් පැරණි එකක්. එහි පැරණි බව දුටුමතින්ම පෙනෙන්නට තිබෙනවා. මේ විහාරස්ථානයේ දැනට ස්වාමීන් වහන්සේලා තුන් නමක් වැඩ වාසය කරනවා. බොහෝ විට ස්වාමීන් වහන්සේලා මේ විහාරස්ථානයේ රැදෙන්නේ නැතිලු. හේතුව යාමට ඒමට ඇති අපහසුවයි. දානය බොහෝ විටම පිළියෙල වන්නේ එහි ඇබිත්තයාගේ අතින්මයි. මේ මාදූවේ ජීවත් වෙන මිනිසුන්ගේ ප්‍රධාන ජීවනෝපාය මාර්ගයන් වන්නේ ධීවර කර්මාන්තය හා කුරුදු විකිණීමයි. ඇතැම් අය නගරයේ රැකියාව සදහා දිනපතා පිටත්ව යනවා.
මේ මාදු ගගේ ඇති පන්සල් දෙකෙන් අනෙක් පන්සල පිහිටා ඇත්තේ කොත් දූවේය. පුරාණයේදී දළදා වහන්සේගේ ආරක්ෂාව පතා මෙම ස්ථානයේ සගවා තැබූ බවටත් කතාවක් තියෙනවා. ටික කලකට පෙර ස්වයංජාත ටෙලිය කරන ලද්දේද මෙම විහාරය මුල්කරගෙනයි.
මාදු ගගේ ඇති කුඩාම දූපත සත පහේ දූපතයි. එහි ඉස්සර දේවාලයක් තිබී තියෙනවා. මිනිසුන් වන්දනා මාන කරන්නට එහි ගොස් තියෙනවා. තවමත් නටබුන් දකින්නට ලැබෙනවා. එය කතරගම දෙවියන්ගේ දේවාලයක් බවයි පැවසෙන්නේ.
තවත් නයි දූව නමින් දූපතක් තියෙනවා. ඉස්සර මිනිසුන් නයි අල්ලාගෙන ඇවිත් මේ දූපතට විසි කරපු බවක් කියනවා.
මාදු ගගේ ඇති දිගම පාලම තනා ඇත්තේද යකඩ වලින්. එය දිගින් මීටර් 900ක් පමණ වෙනවා. මෙහි ගමන් කල හැක්කේ ත්‍රී රෝද රථ වලට හා පා පැදි ආදියට පමණයි. එය දූපත් 3ක් සම්බන්ධ කරමින් සාදා තිබෙනවා.
මාදු ගංගා පරිසරයේ ඇති කඩොලාන ශාක අතර ඉතා දුර්ලභ ගණයේ ඒවාත් තියෙනවා. රතමිල්ල නම් ශාකයත් ඉන් එකක්. මේ මාදු ගගේ මිරිදිය මත්ස්‍යයින් වර්ග ගණනාවක්ම සිටිනවා. කපුහෙන්දා, කාවයියා, හුංගා, ලූලා, තෙලියා, කොරලියා, කකුළුවන්, පොකිරිස්සන්, ඊට උදාහරණ කිහිපයකි.
ගග මැද්දට වන්නට තරමක් විශාලව සාදා ඇති මාළු කොටුවක් දැකගන්නට පුළුවන්. එය නැරඹීමට රු.50ක් අය කරනු ලබනවා. වටපිටාව ගස්කොලන් වලින් පිරිලා. නමුත් ඇතැම් දූපත්වල සංචාරක නිකේතන බිහි වෙලා තියෙනවා.
මාදු ගගේ සංචාරය නිමා කර අපි ගොඩබිමට එනකොට දහවල් 12 පසුවී තිබුනා. ඉන් අනතුරුව අපි ගියේ හික්කඩුව පැත්තටයි. කොරල් පර බැලීමේ ආශාවක් කා තුලත් තිබුන නමුත් අපිට කිසිම කොරල් පරයක් දැක ගැනීමට තියා වෙනදා දකින මාළුන් වත් දකින්නට ලැබුනේ නැහැ. කලකට පෙර මුහුදු ජලය එකපාරටම උණුසුම් වීමත් සමගම බොහෝ කොරල් පර විනාශ වී ඇති බව දැනගත්තා. එමෙන්ම බෝට්ටුවලින් නිකුත්වන තෙල් නිසාද මෙම හානිය සිදුවෙනවා.
කොරල් පර නැරඹීමෙන් පසුව අපි නාන්නට සූදානම් වුනා. නිවාඩු දිනයක් නිසා සෙනග බහුලව ගැවසුනා. වෙරළට ආසන්න මුහුදේ ඇති ගල් පර වල නොනගින ලෙස වෙරළ සංරක්ෂකයින් කොතෙකුත් පවසා සිටියත් දේශීය සංචාරකයින් එය කනකටවත් ගත් බවක් පෙනෙන්නට තිබුනේ නැහැ. ඔවුන් බීමතින් හැසිරුන ආකාරය ගැන අවධානය යොමු විය යුතුයි.
හික්කඩුවේදී දහවල් ආහාරය ගැනීම සදහා තවත් යහළුවෙකුගේ සංචාරක හෝටලයක අපට පහසුකම් ලැබුනා. ඔහුටත් ස්තුතිය හිමි විය යුතුයි. එමෙන්ම කලකට පෙර දරුණු වකුගඩු ආබාධයකට ලක්ව සිට සැත්කමකින් පසු සුවය ලබා ඇති ගාල්ල සවුත්ලන්ඩ් බාලිකා විද්‍යාලයේ උසස් පෙළ ජීව විද්‍යා විෂයයන් හදාරා විශිෂ්ට ලෙස සමත්ව යථා කාලයේදී වෛද්‍ය පීඨයට ඇතුල් වීමේ අරමුණ ඇතිව සිටින ඔහුගේ දියණියටත් අපි දීර්ඝායුෂ පතමු.
හුගාක් විනෝදයෙන් හා කෙළි කවටකමින් ගෙවුනු දිනයක් නිමාවට පත්කරමින් සවස 6.30 පමණ වන විට අධිවේගී මාර්ගයෙන්ම අපි නැවතත් නිවෙස් කරා පැමිණියේ හද පිරි සතුටකිනුයි.
මරු සවාරියක් !
ReplyDeleteඅර 'ලබ සවන් රන් පටින්' කියන සිංදුව ගහලා තියෙන ලොකේශන් එකත් මේක ! මට ඒක මතක් උනේ අර බෝට්ටුවේ මොටර් එක පේන ෆොටෝ එකේ තියෙන පින්තූරයෙන් !
මීට අවුරුදු 10 කට වගේ කලින් ගියා මාදු ගඟේ. අපේ සෙට් එකේ එකෙක්ගේ යාළුවෙක් හිටියා මාදූවේ මතක විදියට,අපි ඒ පංසලේ තාප්පේ හුණුත් ගෑවා,දවස් 3 වගේ හිටියා, කොත් දූවට ගියා, සතපහේ දූවටත් ගියා, අනික් ඒවා මතක නෑ. ඇතිවෙන්න ඉස්සෝ කෑවා..ගඟේ බෝට්‍ටු පැද්දා...හරිම ලස්සන පැත්තක්...
ReplyDeleteමධූ මල්ලි.
ReplyDeleteඇත්තමයි මල්ලි හරිම විනෝදයි. ඒ වගේම බලන්න දේවල් ගොඩයි
ඔබ නොදුටු ලොවක්
ආා අර එදා ගාපු හුණු මාත් දැක්කා. කිවුවා තමයි කට්ටියක් ඇවිත් හුණු ගෑවා කියලා. ඇත්තමයි හරිම ලස්සනයි ඒත් ඒ අපිටනේ. ඒ දූපත්වල මිනිස්සු සමහරු හරිම දුෂ්කර ජීවිතයක් ගෙවනවා. හාමුදුරුවරු පවා!!!!
සත දහයේ දූපත ගැන දැනගත්තු එක හොඳයි. මොකද ගේක හැඩයේ ගොඩනැගිල්ලක් විතරක් තියෙන පුංචි දූපත මොකක්ද කියන එක මට ප්‍රශ්නයක් වෙලා තිබුණේ...
ReplyDelete