Thursday, August 9, 2012

තැපැල් පත


අද කාලයේ පණිවුඩයක් යවා ගන්න නම් විවිධ ක්‍රම භාවිතා කරනවා.  එස්.එම්. එස්, ඊ මේල්, ෆැක්ස් වගේ විවිධ ක්‍රම. මේවා ඉතින් කවුරුත් දන්නා කාරණුනේ.  බොහෝම ඉස්සර කාලෙත් පණිවුඩ හුවමාරුවට විවිධ උපක්‍රම භාවිතා කලා.  නමුත් කාලයාගේ ඇවෑමෙන් මේ එක් එක් ක්‍රමයන්ගේ දියුණුවක් විදියට තමයි තැපැල් පතක් යවන තත්වය තෙක් මිනිසා දියුණු වෙලා තියෙන්නේ.

අද තත්වය වෙනස් වුනත් දැනට දශක දෙක තුනකට පෙර තැපැල් පතට විශාල ඉල්ලුමක් තිබුනා.  නමුත් අපි තැපැල් පතක් යවනවා හැරෙන්නට හෝ ලබනවා හැරෙන්නට ඒ ගැන වෙන විශේෂ යමක් දන්නේ නැහැ.  තත්වය එසේ වුනත් මේ පෝස්ට් කාඩ් එකේ ඉතිහාසය බොහෝම ඈතට දිව යන්නක්.  හරියටම කියනවා නම් වසර 143ක් විතර. 

මුලින්ම මේ තැපැල් පතක් නිකුත් කිරීම පිළිබදව අදහස ඉදිරිපත් කරලා තියෙන්නේ ඕස්ට්‍රියාවේ ග්‍රාස් නුවර වාණිජ ඇකඩමියේ සේවය කළ ආර්ථික විද්‍යා මහාචාර්ය වරයෙක් වන ඉමැනල් හර්මන්  කියල පුද්ගලයා විසින්.  ඔහුගේ අදහසේ මූලික පරමාර්ථය වුනේ අඩු විදයම් තැපැල් මාධ්‍යයක් ජනතාවට හදුන්වා දීමයි.

වැඩිදෙනෙක් ලියුම් ගණුදෙනු වලදී “මම සනීපෙන් ඉන්නවා.  ඔබත් එසේම ඇතැයි සිතනවා.  වගේ පණිවුඩය පේලි 2කට විතර සීමා වෙන බවත්, ඒ නිසාම මෙවැනි කෙටි පණිවුඩයක් යැවීම සදහා ලියුම් ලිවීම අනවශ්‍ය බවත්, එහෙම ඉතින් ලිපියක් යවනවා නම් ලියුම් කවර එහෙමත් සොයන්න වෙනවානේ.  අනෙක මුදලුත් නාස්ති වෙනවා. 

ඉතින් තත්වය මෙසේ නිසා මේ සදහා යොදාගන්න පුළුවන් හොදම මාධ්‍ය “තැපැල් පත බවයි ඔහුගේ අදහස වුනේ.  බලාගෙන ගියාම ඒකත් ඇත්ත නේද?  අනෙක් කාරණාව තමයි තැපැල් පත යවන්නාට මෙන්ම තැපැල් පත නිසා දෙපාර්තමේන්තුවටත් ආර්ථික වශයෙන් ලාභයක් ලැබෙන බවත් පෙන්වා දුන්නා.  ඒ වගේම ලියුමක් යැවීම සදහා ගතවන කාලයත් තැපැල් පත යැවීම සදහා ගතවන කාලයත් අතර වෙනසක් නොමැති බවත් ඔහු පෙන්වා දුන්නා.

මේ තැපැල්පත නිර්මාණය විය යුතු ආකාරය පිලිබදව මහාචාර්ය හර්මන් අදහස් දැක්වූවා.  එයට විශේෂ වර්ණයක් මෙන්ම නියමිත ප්‍රමාණයක් තිබිය යුතු බව කියා සිටියා.  අනෙක් කාරණය එය තැපැල් දෙපා.ව මගින් අලෙවි කල යුතු බවත් ඔහු සදහන් කලා.  මේ මහාචාර්ය හර්මන් විසින් හදුන්වා දුන් නව තැපැල් මාධ්‍ය කොරෙස්පොන්ඩින් කාර්ට් නමින් හැදින්වූවා.

ඔහු ඔස්ට්‍රියාවේ තැපැල් දෙපාර්තමේන්තුවට මේ අදහස පිළිබදව අවබෝධ කරවීමේ ප්‍රතිළුලයක් වශයෙන් ලෝකයේ මුල්ම තැපැල් පත 1869 ඔක්තෝම්බර් 07 වෙනිදා නිකුත් කලා.  මේ මාධ්‍ය ඔස්ට්‍රියාවේ කොතරම් ජනප්‍රිය වුනාද කියනවා නම් මාස තුනක් ඇතුලත තැපැල් පත් 30,000ක් තරම අලෙවි වුනා.

1869 අග භාගය වන විට බිහිවූ තැපැල් පතේ ව්‍යාප්තියත් නොබෝ කාලයකින්ම ඇරඹුනා.  1870 දී තැපැල් පත මහා බ්‍රිතාන්‍යෙය් භාවිතයටත් පටන් ගත්තා.  එහි මුල්ම තැපැල්පත නිකුත් කල දා මහ තැලැප් කාර්යාලයේ සෙනග පිරී විශාල කලබලයක් ඇතිවුනා.  මේ තදබදය කොතරම් බලවත් වුනාද කිවුවොත් සෙනග පාලනය කරන්නට පොලීසිය කැදවන්නටත් සිදුවුනා.  1870න් පස්සේ යුරෝපයටත් 1872 දී කැනඩාව, ශ්‍රී ලංකාවටත් තැපැල් පත පැතීර ගියා.  1873 දී ඇමෙ. එ.ජනපදය තැලැප් පත භාවිතයට ගත්තා.  ඇමෙරිකාවේ එය භාවිතා වුනේ “පෝස්ටල් කාඩ් යන නමිනුයි.  තැපැල්පත බිහිවී වසර 10කට පස්සේ 1879 දී ඉන්දියාවේත් මෙය ප්‍රචලිත වුනා.  ඉන්දියාවේ තැපැල්පත භාවිතයට ගෙන වසර සියයක් පිරීම නිමිත්තෙන් 1979 අප්‍රෙල් මාසයේදී ශත සංවත්සර උළෙලක්ද පැවැත්වුවා.  එය විශේෂ සිද්ධියකි.  මේ විදියට ක්‍රම ක්‍රමයෙන් ව්‍යාප්ත වෙමින් ගිය තැපැල් පත 1874 දී ජාත්‍යන්තර තැපැල් සංවිධානය විසින් පිළිගත්තා.

මේ වන විට ලෝකයේ සංනිවේදන ක්‍රම වඩාත් දියුණු තත්වයකට පැමිණ සිටියත් දැනට ටික කාලයක පෙර නම් තැපැල් පතෙන් වුන සේවාව අති විශාලයි.  අඩු වියදමකින් පණිවුඩයක් යැවීමේ මනා හැකියාවක් තිබුනා තැපැල් පතට.  මෙය පසුකාලීනව විවිධ හැඩ වලින් හා විවිධ ප්‍රමාණයන්ගෙන් නිර්මාණය වුනෙත් එහි තිබුන වටිනාකම ගැන සලකලාමයි.

4 comments:

  1. අලුතෙන් ලංකාවේ තැපැල් පත් නිකුත් කරන්නේ නැහැ කියලයි ආරංචිය

    ReplyDelete
  2. තැපැල් පතක් ගැන නොදන්න යමක් දැනුමට එකතු උනා.

    ReplyDelete
  3. හසිත

    දැන් වැඩකුත් නැහැනේ. එස්.එම්.එස් ඊට වඩා ලාභයිනේ

    ReplyDelete
  4. මධූ මල්ලි

    අපි ඒ ගැන විස්තර දැනගන්න කොට ඒවා අභාවයට යන්නත් ලගයි.

    ReplyDelete

කියවලා බලලා හිතට දැනෙන අවංකම දේ මෙතන කුරුටු ගෑවොත් ඒක මට ලොකු ශක්තියක්. ඒ නිසා ඔයාලගේ හැගීම් වචන වලට පෙරලන්න අමතක කරන්න එපා...!!!!!