Thursday, August 23, 2012

දඩයමේ ගිහින්!!!!


දැනට දශක ගණනාවකට පෙර රජරට ගැමියන්ගේ ජීවිතය ඒකරාශී වී තිබුනේ ගම, වැව, හා පන්සල වටායි.  ඔවුන්ට ආවේනික වූ භාෂා රටාවක් පැවැත්මක් වගේම ජීවනෝපාය මාර්ගයන්ද වුනා.  ඒ ජන ජීවිතයේ රස මුසු බොහෝ තැන් අපට දකින්ට  ලැබෙනවා.   මේ කතාවත් ඒ වගේ සිද්ධියක්.  සත්‍ය සිදුවීමක් නිසා වඩාත් රසවත් වේවි.

මේ සිදුවීමට පාදක වෙන්නේ ටිකක් වියළි කාලගුණයක් සහිත පෙදෙසක්.   කාලයකට බොහෝම තද පෑවිල්ලක් තියෙන නිසා වැව් එහෙමත් හිදිලා යනවා.  මේ කාලෙට ගමේ ළමුන් වගේම තරුණ පිරිසත් වැව් පිටියේ සෙල්ලම් කරන්නට පැකිලෙන්නේ නැහැ.  නමුත් වැසි සහිත කාලගුණයක් තියෙන දවස් වලට නම් මේ වැව් පිටාර ගලන තරමට ජලයෙන් පෝෂණය වෙනවා.  ඕළු, නෙළුම් වගේ මල් වර්ග වලින් පිරිච්ච වැව ඒ කාලෙට බලන්න ලස්සනයි. 

නමුත් වියළි කාලයට මෙහි තත්වය බොහෝ දුරට වෙනස් නිසා අර මල් පදුරු වේලිලා බිමට පතිත වෙලා දුර්වර්ණ වෙලයි තියෙන්නේ.  ඒ වුනාට ඒ කාලයට කැමති පිරිසකුත් මේ ගම් පළාත්වල ඉන්නවා.  ඒ තමයි ඕලු හා මානෙල් අල කෑමට ප්‍රිය කරන වල් ඌරෝ.  උන් කළුවර වැටෙන කොට මේ වැව් පිට්ටනි වලට එන්නේ රංචු පිටින්.  ඇවිත් වියළිලා තියෙන වැව් පිටිය හාරලා අල කෑමට පටන් ගන්නවා.  ඒ වෙලාවට උන්ට කිසිම ගානක් නැහැ අවට පරිසරයේ මොනවද වෙන්නේ කියලා.  තමන්ට තියෙන අතුරු අන්තරා ගැනවත් කිසිම සැලකිල්ලක් නැහැ.  ඒ වෙලාවට දඩයක්කාරයෙකුට නම් හොදම අවස්ථාව සතෙක් එළාගන්න.

ඉතිං ඔය වගේ කාලවකවානු එනකන් බොහෝ ගැමියන් බලාගෙන ඉන්නවා දඩයමක් කරගන්න.  බුරම්පි සිංඤොත් ඒවගේ කෙනෙක්.  ඒ වුනාට දක්ෂ දඩයක් කරුවෙක් විදියට ඔහු ගමේ නමක් තියාගත්තු කෙනෙක්.  ඉතිං බුරම්පි ඌරෝ අල කන්න එන ඉසව්ව ඉවෙන් වගේ තීරණය කරගෙන ගැඹුරු වලක් හාරලා රැය ගත කරන්න අවශ්‍ය ආම්පන්නත් එකතු කරගන්නවා.  ඒ වුනාට රෑට තදින් නිදිමත දැනෙන නිසා තනියට තවත් කාව හරි එකතු කරගන්න එක බුරම්පිගේ සිරිතක්.

මේ විදියට නින්ද ගියොත් තමන් ආ කාරිය කරගන්න නොලැබෙන නිසාත් ජලය හොයාගෙන එන අලියෙක් හිටියොත් බොහෝම අවදානමකට මුහුණ පෑමට සිදුවන නිසාත් තමයි සගයෙක් එකතු කරගන්නේ. 
 
ඉතිං මේ කියන දවස මාසෙ පෝය දවසක් නිසා හොදටම කරුවලයි.  තමන් වෙනදට එක්කන් යන දෙදෙනාම නොසිටි නිසා ගමේ ළග පාත ගෙදරක වෙනත් කෙනෙක් (අපි ඔහුට සිරිදාස කියමුකෝ)  එක්කගෙන ගියා.  මේ ගමනට ඔහුගේ එතරම් කැමැත්තක් නොතිබුණත් බුරම්පිගේ බුලත් මඩිස්සලය බොහෝම සරුසාර එකක් නිසා උදව්වට යන්නට එතරම් අකමැත්තක් දැක්කුවේ නැහැ.  කොහොම වුනත් බුලත් විට දෙක තුනක් කන්න පුළුවන් බව මතක් වුනහම සිරිදාසගේ හිතේ යම් තරමක හෝ කහටක් තිබුනානම් එයත් ඉවත් වෙලා ගියා.

 “ඕං බුරම්පි අයියේ මට ආපහු එනකන් කන්න ඇති පදම් බුලත් පුවක් එහෙම තියෙනවැයි.....? සිරිදාස බුරම්පිගෙන් ඇහුවා.  ඉතින් සිරිදාසට ඇති තරම් කරන්න බුලත් පුවක් තියෙන බව ඒත්තු ගැන්නුවාම ඔහුගේ නහයෙන් ඇඩිල්ල නතර වුනා කියමුකෝ.

ඔන්න ඉතිං පැයක් විතර යනකොට සිරිදාස විට දෙකක්ම ගිලලා අහවර වෙලා.  ඒත් එක්කම බුරම්පිගේ හැඹිලියේ තිබුන දුම්කොල ටිකත් ඉවර වුනා.  දැන් ඉතිං මේ යකා මේ ආපු කාරිය ඉවර වෙනකන් තියාගන්නත් ඕනෙනේ.  දැන් මොකද කරන්නේ කියලා හිත හිතා ඉන්නකොට බුරම්පිගේ කපටි මොළේට අපූරු අදහසක් ආවා. 

ඔය විදියට පැය කිහිපයක්ම ගතවෙලා ගියත් ආපු වල් ඌරෙක් නම් නැහැ.  කොහොම වුනත් මේ ගෙවී ගිය කාලය ඇතුලත බුරම්පිගෙන් කිහිප සැරයක්ම සිරිදාස දුම්කොළ ඉල්ලා ගත්තා.  ඔහු අදුරේම අතපත ගාලා දුම්කොළ කැබැල්ලක් දෙකක් සොයා දුන්නා.  මේ දඩයමට කියන්නේ කැටවලේ දඩයම කියලා නෙව.  ඉතින් දඩයක්කාරයාගේ නීතියට අනුව කිසිම එළියක් දල්වන්නවත්, ශබ්දයක් නගන්නවත් කිසිම කෙනෙකුට ඉස්පාසුවක් නැහැ.  ඒ නිසා මේ කුණු රස දැනෙන දුම්කොළ කැබලි කනකොට සිරිදාස බොහෝම සංසුන්ව හිටියේ තමන්ගේ කේන්තිය සගවාගෙනයි.

අනෙක් අතට තිබහට වතුර ඉල්ලනවා වගේ සැරින් සැරේ දුම්කොළ ඉල්ලන නිසා බුරම්පිත් හිටියේ සිරිදාස එක්ක තරහෙන් පුපුර පුපුරා.  කොහොම වුනත් ඌරු රංචුව එන කාල සීමාවත් ඉක්මිලා ගියා.  දැන් බුරම්පිට හොදටම කේන්තියි.  ඇයි ඉතිං ඌරෝ ආවෙත් නැහැ.  බලාපොරොත්තු කඩවීමයි. පසුතැවිල්ලයි නිසා මේ කේන්තිය දෙගුණ තෙගුණ වුනා.  

ඕං  ඒ වෙලාවෙ තමයි සිරිදාස ආයෙත් විටයක් ඒදන්න හිතාන දුංකොළ කැබලි කිහිපයක් ඉල්ලුවේ.  ඒ වෙලාවේ නම් බුරම්පිගේ ඉවසීමේ සීමාව ඉක්මවා ගිහින් අතේ තිබුන තුවක්කුවත් අරගෙන නැගිට්ටා.  විදුලි පන්දමත් දල්වා ගත්තා. 

“කොහෙද යකෝ ඔය තරම් දුම්කොළ දෙන්න තියෙන්නේ.  දැන් ඉතිං තොට දෙන්න තවත් මා ලග දුම්කොළ නැහැ.  මගේ දිරච්ච අමුඩෙත් දැන් ඉවරෙටම ඉවර වෙලා උඹට දුම්කොළ දීලම........කියාපි.!!!!!

එසේ කියූ බුරම්පි ආපහු යන්න ලෑස්ති වුනා.  එතකොටයි සිරිදාසට වැඩේ තේරුනේ.  වෙන ඉතිං මක් කරන්නද?  සිරිදාස කාරලා කෙල ගැහුවා.  මෙච්චර වෙලාවක් දුම්කොළ වෙනුවට බුරම්පිගේ දිරච්ච අමුඩේ කාපු බව මතක් වුනාම සිරිදාසට දැනුන අප්පිරියාවත් තරහවත් පිට කරගන්නට කෙළ ගසනවා ඇරෙන්නට ඔහුට වෙනත් මගක් තිබුනෙත් නැහැ.



(පියදාස රන්පත්විල මහතාගේ ගමක අරුම පොතේ කතාවක් ඇසුරිනි)

5 comments:

  1. මූට ලුණු රහ දැනුන් නැද්ද මන්දා...
    නියම කතාවක් !

    ReplyDelete
  2. මිනිස්සුන්ට ඇණයක් වෙන්න ගියාම ඔහොම වෙනවා තමා :)

    ReplyDelete
  3. අපොයි! මේක ලංකාදීපෙ දෙයියෝ සාක්කි තීරුවේ යනවා ඒ දවස්වල පත්තරේ තිබ්බනම්!
    තවත් නියම ලිපියක්.

    ReplyDelete
  4. මේ බ්ලොග් එක මගේ බ්ලොග් රෝලට දැම්මා කමක් නැත්ද?

    ReplyDelete
  5. මධු...

    අනේ මන්දා, පොත කියෙව්වම මට කන්නත් එපා වුනා නෙව

    හසිත

    ඇත්ත ඇත්ත ඔයාගේ කතාව හරියටම හරි

    වන වදුල

    ස්තුතියි!! මේක පොතක තිබුන සත්‍ය සිදුවීමක්. කමක් නැහැ බ්ලොග් එක දැම්මාට.

    ReplyDelete

කියවලා බලලා හිතට දැනෙන අවංකම දේ මෙතන කුරුටු ගෑවොත් ඒක මට ලොකු ශක්තියක්. ඒ නිසා ඔයාලගේ හැගීම් වචන වලට පෙරලන්න අමතක කරන්න එපා...!!!!!