Sunday, August 5, 2012

උසාවියෙන් ඇසුනා....


අපි හැමෝම විසදාගත නොහැකි ප්‍රශ්ණයකදී නීතියේ සහනයක් පතනවා.  ඒකට අපට වැරදි හෝ නිවැරිදි විසදුමක් ලබාදෙන්නේ උසාවිය මාර්ගයෙන්.  මොකද මම එහෙම කියන්නේ දෙන සියලුම නඩු තීන්දු නිවැරිදි නොවන නිසයි.. නීතියට ඇස් නැහැයි කියලත් කියනවානේ.

ඇතැම් උදවිය පවුල් ජීවිත අවුල් කරගෙන එයින් මිදෙන්න උසාවියේ පිහිට පතනවා.  ඒකට ඉතින් සමාජ තරාතිරම් අදාල වෙන්නේ නැහැනේ. මේත් ඒවගේ රසවත් සිද්දීන් කිහිපයක එකතුවක්. 

එක්තරා අවස්ථාවක පෙම් කිරීමෙන් අනතුරුව විවාහ ජිවිතයටත් ඇතුලත් වෙලා දරුවන් ලැබුනායින් පස්සේ පවුල් ජීවිතයේ පවතින ආරවුල් නිසා නීතියේ පිහිට පතා ගුරු යුවලක් උසාවියට ආවා.

මෙහි පෙත්සම් ඉදිරිපත් කල ගුරුවරිය අපි වයලට් කියලා හදුන්වමු.  ඇයට දරුවන් දෙදෙනෙක් හිටියා.  ඒ වුනාට ඇය පෙනුමෙන් තරුණ පාටයි.  ලස්සන නිල් පැහැති සාරියකින් හා ඊටම ඔබින හැට්ටයකින් සැරසිලා හිටපු ඇය හීන්දෑරි තරමක් උස කාන්තාවක්.  ඇගේ ඉදිරියෙන් ඇයගේ සැමියාත් හිටියා.  ඔහුට අපි බාලසූරිය කියලා කියමු.  ඔහුත් වෘත්තියෙන් ගුරුවරයෙක්.  කළු පැහැති කලිසමකින් හා සුදු කමිසයකින් සැරසී සිටි ඔහු තරමක් සෝමාරි පෙනුමකින් යුතු අයෙක්.

වගඋත්තර කරු තමාව අතහැර දැමීම නිසා ඔහුගෙන් තමාටත් දරු දෙදෙනාටත් වන්දි මුදලක් ලබා දෙන ලෙස ඉල්ලමින් ඇය මහේස්ත්‍රාත් වරයාගෙන් ඉදිරියේ පෙනී සිටියා.

මේ දෙදෙනාම දෙස බැලූ නඩුකාරවරයා , “මොකද දැන් දෙන්නගේ කතා බහ, අනේ මන්දා මේ ඉස්කෝල නෝනලා මහත්තුරුත් පවුල් කඩාගෙන, තමුන් බිරිදට නඩත්තු ගෙවනවාද?  නැත්නම් දෙදෙනා සමාදාන වෙන්න කැමතිද?

වග උත්තරකරු : ඒක නම් කොහොමටවත් කරන්න බැහැ ස්වාමීනි, මේ ගෑනි ගුරුවරියක් වුනාට හරිම කටු බැල්ලියක්.  ඕනෑ දේටයි එපා දේටයි හැම වෙලාවෙම කඩා පනිනවා.  ඒවා මොනවා උනත් ස්වාමීනි මෙයාට තවත් පෙම්වතුන් ඉන්නවා.

(උසාවියේ සිනා හඩක්)
පෙත්සම්කාරිය :  ඔය මෙයාගේ බොරු ස්වාමිනී, මෙයාගේ මේ ගතිගුණ නිසාම තමයි අපේ පවුල කැඩුනේ.  ගෙදර වැඩපල කරගන්න ගැණුළමයෙක් ගෙනැත් හිටියා.  දවසක් මම ගමනක් ගිහිං එනකොට මෙයා ඒ ළමයා එක්ක එකට නාන කාමරේ නනා හිටියා.

(උසාවියේ යළිත් සිනාවක්)

මහේස්ත්‍රාත්වරයා :  මොනවා එකට නාන කාමරේ නෑවා.
පෙත්සම් කාරිය :  ඔව් දෙන්නම නිරුවතින්

(උසාවියේ ගෝෂාකාරී ලෙස සිනා හඩ ඇසෙයි)

ඇය මේ විදියට චෝදනා කරන විට ඔහුගේ දෙනෙතින් කදුළු කඩා හැලුනා.  තමන්ගේ සාක්කුවෙන් ලේන්සුවක් ගෙන කදුළු පිසදැමූ ඔහු අනෙක් සාක්කුවට අත දමා ලිපියක් අතට ගත්තා.  සර් මං ඔය කියන දේවල් මොනවත් කලේ නැහැ.  මෙයා මාව බදින්න කලින් කොල්ලෙක් එක්ක යාළුවෙලා ඉදලා, බැන්දට පස්සේ ඒ මිනිහා මම නැති වෙලාවේ මෙයා බලන්න එනවා.  එහෙම ඇවිත් ගිය දවසක ලියුමක් එවා තියෙනවා.  මේ තියෙන්නේ ඒ ලිපිය.  ඔහු තවත් කදුළු සලමින් කීවුවා.

මහේස්ත්‍රාත්වරයා  :  මොනවද තියෙන්නේ ඕකේ. කියනවා බලන්න හයියෙන්. 


ඔහු ගැහෙන ඇගිලි තුඩුවලින් ලිපිය අල්වාගෙන කියවයි.  ,සුදූ එදා මම කිසිම කරදරයක් නැතිව ගෙදර ආවා.  අනේ සුදූ මම හිතලා මොනවත් කලේ නැහැ.  ඔයාගේ මුහුණ දැවිල්ලද?  ඔයාට හුගාක් රිදුනද? 

(උසාවියේ මහ හඩින් සිනාසෙයි)

සර් ඒ මිනිහා මෙයාව බලලා යන ගමන් මෙයාගේ මුහුණ ඉඹලා තියෙනවා.  ඒකනේ දැවිල්ලද කියලා ඇහුවේ. 

(උසාවිය යළිත් සිනාසෙයි)

මේ දෙදෙනාව සමාදාන කිරීමට මහේස්ත්‍රාත්වරයා කොතරම් උත්සාහ කලත් ඉන් පලක් නොවීය.  පසුව නඩු විභාගය වෙනත් දිනකට කල් ගියා. 

ඉහත නඩුවෙන් පස්සේ පෙනී සිටියේ සුප්‍රසිද්ධ නළුවෙක්.  එයා නළුවෙක් විතරක් නෙවෙයි අධ්‍යක්ෂකවරයෙක්ද වෙනවා.  එයා මේ දවසේ උසාවියට ආවේ එයාගේ බිරිද තමන්ට විරුද්ධව පවරා ඇති නඩත්තු නඩුවේ වගඋත්තරකරු විදියටයි.

උසාවි ඝෝෂක තැන ඔහුගේ නම කිවා මහ හඩින් කැගැසුවා.  ඉතාමත් ප්‍රියමනාප පෙනුමෙන් යුතු උසට සරිලන මහතක් ඇති පුද්ගලයෙක් මහේස්ත්‍රාත් ඉදිරියේ පෙනී සිටියා.  ඒ අතර සුදු සාරියකින් සැරසී සිටි කාන්තාවක් සෙනග මැද්දෙන් ඉදිරියට ආවා.  ඇය ඔහුගේ බිරිදයි.  ඉතා දුක්මුසු පෙනුමකින් යුතුව හිටි ඇය වෙනුවෙන් ඇගේ නීතීඥවරයා කතා කරන්නට පටන් ගත්තා.

සර් අපිට මේ වග උත්තරකරුගෙන් සල්ලි ඕනාෑ.  සමාදාන වෙන්න නම් බැහැ.  මොහු චිත්‍රපට නළුවෙක්.  අධ්‍යක්ෂකවරයෙක්, තවත් ස්ථිර ආදායමක් තියෙන පුද්ගලයෙක්.  මේ තරුණ ලස්සන රුමත් බිරිද අතහැර දාලා මෙයා වෙනත් නිළියක් එක්ක පවුල් කනවා. 

මේවා ඔක්කොම බොරු බව කී වගඋත්තරකරු ස්වාමීනී, යයි කියමින් උගුරේ රැල් බුරුල් හැර කතා කරන්නට පටන් ගත්තා.  මෙයාට මම බොහෝම ආදරෙන් හිටියා.  මම මෙයාව තදින් විශ්වාස කලා.  මෙයා මගේ විශ්වාසය කඩලා අනාචාරයේ හැසිරුනා. 

පෙත්සම්කාර නීතීඥ:  කා සමගද අනාචාරයේ හැසිරුනේ?

වගඋත්තරකරු   පොලිස් පරීක්ෂකවරයෙක් එක්ක.  මෙයා එයා එක්ක දැනුත් ඇවිදින්න යනවා.
පෙත්සම්කාර නීතීඥ  :  සර් මෙයත් ඉස්සර පොලිස් පරීක්ෂකවරයෙක්ලු.  මෙයත් චිත්‍රපට නිළියක් එක්ක නරක ලෙස හැසිරෙනවා.  එකට ජෝඩු දාලා යනවා. 


වග උත්තරකරු,  ඔව් සර් ඒවා ඔක්කොම කරන්නේ රිදී තිරයේ පමණයි.  සැබෑ ජීවිතයේ මා හොද වැදගත් පුද්ගලයෙක්. 

(උසාවිය සිනාසෙයි)
හොදයි දැන් මේ නඩුවේ ඉතිරි කොටස විභාග කරන්න මම වෙනත් දිනයක් නියම කරනවා.  යි පැවසූ මහේස්ත්‍රාත් වරයා ඔවුන් දෙදෙනාටම වෙනත් දිනයක් දුන්නේය.

ඊළග නඩුවේ වගඋත්තරකරු 19 හැවිරිදි තරුණයෙකි.  ඔහු තවමත් පාසැල් සිසුවෙකි.  සිගිති පුතෙකුගේ පියෙකු බව කියන මොහු නඩුවේ වගඋත්තරකරුය.  පෙත්සම්කාරිය 15 හැවිරිදි තරුණියකි. 

තමා දැනට අවුරුද්දකට පමණ  කාලයක සිට පාසැල් යමින් සිටියදී වග උත්තරකාර ශිෂ්‍යයා සමග හාදකමක් ඇතිකරගත් බවත්, ඒ අනුව ඔහු සමග අඹු සැමියන් ලෙස හැසිරීම නිසා ඇයට දරුවෙකු ලැබුනු බවත් දැන් දරුවාගේ නඩත්තුවට පමණක් මුදල් ඉල්ලා සිටින බවත් කීවාය.

ඇය නමින් මැණිකේ නම් වූ අතර ඔහුගේ නම රන්මල් විය.  මේ දෙදෙනාම ගම්බද පෙදෙසක ජීවත් වූ අයයි. 

ස්වාමීනී, මේ වගඋත්තරකරු පාසැල් සමයේදීම ප්‍රේමය නම් විෂයයෙන් ඉතා උසස් ලෙස සමර්ථ වී  පියෙකු වීමේ ගෞරව නාමයත් සමග උපාධිය ද ලබා තියෙනවා.  යි පෙත්සම් කාරියගේ නීතීඥයා කියා සිටියේය.  සියල්ලෝම සිනා සෙන්නට විය.

මොන බොරුවක්ද මේ? මේ කොලුවා බොහෝම වැදගත් කොල්ලෙක්.  මොහු හොදට ඉගෙනීම කරගෙන යන නිසා ඔහුට මඩ  ප්‍රචාරයක් දෙන්නට මේ ගෑණු ළමයාගේ මව්පියන් මේක තරහට දාපු බොරු නඩුවක් ස්වාමීනී....ශිෂ්‍යයාගේ නීතීඥවරයා කියා සිටියේය.

මහෙස්ත්‍රාත්වරයා  : තමා තවමත් පාසැල් යනවාද?  කීවෙනි පන්තියේද ඉගෙන ගන්නේ.

වග උත්තරකරු : ජ්‍යෙෂ්ඨයේ

(උසාවියේ තදින් සිනා හඩක්)
පෙත්සම් කාරීය හා තමාගේ කිසිම සම්බන්ධයක් නොතිබූ බවත් දරුවාගේ පියා තමා නොවන බවත් වගඋත්තරකරු කියා සිටි නිසා නඩුව විභාග කරන ලදී.

මං තවම ඉස්කෝලෙ යනවා.  මේ රන්මල් ඉගෙන ගන්නෙත් මගේ පාසැලේමයි.  අපි දෙන්නා කාලෙකට ඉස්සර යාලු වුනා.  ලියුනුත් ලිවුවා.  පෙලක් දවසට අපි දෙන්නා උදෙන්ම ඉස්කෝලෙට එනවා.  කතා කර කර ඉන්නවා.  සමහර දවසට එයා මාව වත්තේ ගස් තියෙන පැත්තට එක්කගෙන ගිහින් මගේ මුහුණත් සිප ගන්නවා.  ඔහොම ඉදලා දවසක්.......දවසක්.......යයි කී පෙත්සම්කාර තරුණිය ඇඹරෙන්නට වූවාය. 

මහේස්ත්‍රාත් වරයා:  මොකෝ ඉතින් දවසක්???? කියමු බලන්න කරපු හපන්කම්
පෙත්සම්කාරිය :  දවසක් එයා මා එක්ක අඹු සැමියන් විදියට හැසිරුනා

නඩුව විභාග කොට අවසානයේදී පෙත්සම්කාරියට ලැබුණ දරුවාගේ පියා වගඋත්තරකරු බව ප්‍රකාශ කරමින් නඩුකාරතුමා එහි තීන්දුව දුන්නේය.

මහේස්ත්‍රාත්තුමා : තමන් මාසෙකට රු. (20) ගෙවනවා

නීතීඥ: සර් මිනිහා තවම පාසැල් ශිෂ්‍යෙයක් කොහොම මුදල් ගෙවන්නද?

මහේස්ත්‍රාත්තුමා : පියාගෙන් ඉල්ලලා ගෙවනවා.  ( වගඋත්තරකරු දෙස බලා) තව ටික දවසකින් තමාටත් පුතාටත් එකම ඉස්කෝලේ ඉගෙනගන්නත් පුළුවන්.

(උසාවියේ සිටියවුන් යලිත් සිනාසෙන්නට විය)

තීන්දුව ලත් විගස තරුණිය සිනාසී ජයගත් විලාසයක් පෙන්වා උසාවියෙන් නික්ම ගියාය.
 

(කලකට ඉහත ලංකාවේම උසාවි තුල ඇසුන නඩු කිහිපයකි මේ)

7 comments:

  1. බලලා හිනා වෙන්න වගේම ගන්නත් ගොඩක් දේ තියනවා . පෝන් එකෙන් කෙටුවේ අකුරු පිස්සු නටලා නම් සමාවෙන්ඩ ඕනේ
    ජය!! (මට තාම 17යි තව අවුරුදු දෙකක්ම තිබේ :P :P)

    ReplyDelete
  2. බලාගෙන ගියහම මේවා මහ පුදුම නඩු නේ. නඩුවක් අහනවා කියන එකත් ලේසි පහසු කටයුත්තක් නෙමේ නේ.
    කොහොමහරි මරු කතා සෙට් එක. සමහර එවුවට කියවලා හිනාත් යනවා. :)

    ReplyDelete
  3. අන්තිම එක බාල අපරාධ එකක් නෙවීද?ඒවටත් නඩු අහලා ඔහොම තීන්දු දෙනවද?

    ReplyDelete
  4. චූටි පුතා

    නැහැ ඔයා හොදින් කමෙන්ට් කරලා තියෙනවා. පැහැදිලියි

    මධූ

    ඔය දැන් ටික කාලෙකට කලින් වෙච්ච ඇත්ත සිද්ධිනේ. මෙව්වත් ඉතිං ලංකාවෙම තමයි

    සිතුවම්

    බාල අපරාධ වුනාට ඒවා නීති සම්පාදනය කොරන්න කලින් වෙච්ච එව්වා වෙන්ට ඇති. ඒ කාලේ කසාද බදින්නෙත් අවු. 12 න් 13 විතරලුනේ

    ReplyDelete
  5. මේවගේ පවුල් ප්‍රශ්න ගැන තීන්දු ගන්න නඩු ප්‍රසිද්ධියේ විසදන්නේ නැහැ නේද ? ඒවා වෙනම මැදිරියටක් අදාල පාර්ශව විතරක් සහභාගි කරගෙන නේද කරන්නේ ?

    ReplyDelete
  6. hasitha

    ඔයාට මම ඊමේල් එකක් දැම්මා ඒ ගැන බලන්න. එහෙම නැහැ. එයාලගේ අකමැත්තක් තියෙනවා නම් විතරයි ඉල්ලීමක් කලොත් තමයි වෙනම අහන්නේ. අනිත් එක මේවා ටිකක් කල් ගිය ඒවානේ. ඒ කාලේ දැන් තරම් නීති තද නැහැ. අනික නඩත්තු උසාවියකයි මේවා අහන්නනේ මම දන්න විදියට.

    ReplyDelete
    Replies
    1. @ මල්මි

      …මම රිප්ලයි එකක් එව්වා අක්කේ...

      Delete

කියවලා බලලා හිතට දැනෙන අවංකම දේ මෙතන කුරුටු ගෑවොත් ඒක මට ලොකු ශක්තියක්. ඒ නිසා ඔයාලගේ හැගීම් වචන වලට පෙරලන්න අමතක කරන්න එපා...!!!!!