Tuesday, July 31, 2012

ගේෂා වෘත්තිය



විදේශිකයන් මෙන්ම ජපන් ජාතිකයන්ද ගේෂා යන වදන වැරදි අන්දමින් තේරුම් ගෙන ව්‍යවහාර කරති.  නූතනයේ ගේෂා යන වචනය යොදන්නේ වෙසගනන් සදහායි.  නමුත් එය ඇත්තවශයෙන්ම වැරදි යයි ඒ පිළිබදව සොයා බැලූ උගතුන්ගේ මතයයි. 

ජපන් බාෂාවෙන් ගේෂා  යන්න යොදනු ලැබුවේ නැටුම්, ගැයුම්, වැයුම්, පිළිබදව ප්‍රවීණත්වයක් දැක්වූ රූපයෙන් අගතැන් කාන්තාවන් සදහායි.  මේ ගැන එෆ් ප්‍රින්ක්ලි මහතා ප්‍රකාශ කර ඇත.  ශත වර්ෂ ගණනාවකට 4කට වඩා වැරණි නොවන බවයි විද්වත් මතය.

ජපන් භාෂාවෙන් ගේ කියන්නේ කලාවටයි.  ෂා යනු පුද්ගලයායි.  ඒ නිසා මෙයින් අදහස් වන්නේ කලාකාමී පුද්ගලයා හෙවත් කලාකරුවායි.  අවන්හල් මෙන්ම ප්‍රසිද්ධ කලාගාරවල ගේෂා සංදර්ශන වේදිකා ගතවේ.  මොවුන් නිරූපනය කරන ජවනිකා හා ගයන ගී ප්‍රේමය ගැන හෝ සෞන්දර්යය පිළිබද ඒවායි.  ජපානයේ ඇතැම් ප්‍රෙද්ශ ගේෂා නැටුම් ගැයුම් වලටම ප්‍රසිද්ධියක් උසුලයි.  ඇත්තෙන්ම මෙම වචනයෙන්ම අදහස් කරනු ලබන්නේ කලාව වෘත්තියක් වශයෙන් හිමි කරගත් කාන්තාවන්ය.  ඔවුන් නිරන්තරයෙන් නැටුම්, ගැයුම් වැයුම් ආදී කලාවන් ගැන ප්‍රවීනයෝය.  මහජන අවන්හල්වල මේ සංදර්ශන වේදිකා ගත වන්නේ මුදල් යහමින් ඇති අයගේ විනෝදාස්වාදය සදහාය. 

ගේෂා නැටුමට සහභාගී වන්නේ තිදෙනෙකි.  දෙදෙනෙකු නටන අතර එක් අයෙක් වාදනය කරයි.  අභිනය මගින් නැටුමේ කතාව කියවෙයි.  රාත්‍රියේ පෙම් යුවලක් ඔවුනොවුන් වෙලී එකිනෙකාට පෙම් කරන අයුරු බෙහෙවින් ම පිළිඹිබු  කරන ජවනිකා මෙහිදී නිරූපනය කරනු ලබන ප්‍රකට කරුණකි. 

ගේෂා රගදැක්වීමෙන් පසුව එම කාන්තාවන් පැමිණ සිටින නරඹන්නන් සමග පිළිසදරේ යෙදෙති.  එය ඇතැම්විට බොහෝ සෙවින් පෞද්ගලික කරුණකි.  ඉන්පසු ඔවුහු අමුත්තන්ට සංග්‍රහ කරති.  ගේෂාවන්ද අමුත්තන් සමග එකතු වී යම් යම් මත් ද්‍රව්‍ය පානය කරන බවද සදහන් වේ.  අමුත්තන් නිළියන් සමග මී විත තොලගාන්නේ මහත් සන්තෝෂයෙනි. 

ඔවුන්ගේ ඇදුම් පැළදුම් හා ආයිත්තම් ඉතාමත් වටිනා ඒවාය.  අගනා සළු පිළියෙන් කළ මේ ඇදුම් කට්ටල බොහෝ ගණනක් එක ගේෂාවකට අයත්වේ.  එක රාත්‍රියේ දර්ශන කිහිපයකදී විලාසිතාවන් වෙනස් කර ගැනීම පිළිස ඔවුන් විවිධ වර්ගයේ ඇදුම් පැළදුම් හා ආයිත්තම් ඇගලා ගෙන ඒවායේ හැඩ වැඩ ඉස්මතු වන ආකාරයෙන් සිටිති.  එයින් නරඹන්නන්ගේ සිත් සතන් ඇද ගැනීමේ හැකියාවක් ඇත.  මේ නිසාම ගේෂාවන් විවිධ මාදිලියේ මෝස්තර  කෙරෙහි විශාල උනන්දුවක් දක්වති.  ඔවුන්ගේ එක කිමෝනාවක් දහස් ගනනක් වටී. 

ගේෂා වෘත්තියට ළදැරියක් ඇතුලත් කරගන්නේ ඇයට අවුරුදු 11-16ත් අතර කාලයේදීය.  බොහෝම ආර්ථික අපහසුතාවලින් පෙලෙන පවුල්වල දැරියන් මෙම වෘත්තියට ඈදා ගන්නා අතර දෙමාපියන්ට ඔවුන් වෙනුවෙන් මුදලක් ලැබේ. 

ගේෂාවක් වශයෙන් පුහුණුව ලබන ආධුනික කාලයේදී එම ළදැරියන් හැදින්වෙන්නේ මෙයිකෝ යන නමින්ය.

මේ පුහුණුව අවුරුදු 2ක් පමණ කරනු ලැබේ.  මේ කාලයේදී දුටුවන්ගේ සිත් සතන් ඇද බැද ගන්නා පරිදි චතුර ලෙස මන බදන ආකාරයට කතා කිරීමේ හැකියාව, ගී ගැයීමේ හැකියාව, නැටීම, වගේම ගීත රචනයත් ක්‍රමවත් ලෙස ඉගෙන ගනු ලැබේ.  ඒවා පුහුණු කරනු ලබන්නේ පළපුරුදු ගේෂාවන් විසිනි.

මෙය ජපානයේ බොහෝ තරගකාරී රැකියාවක්වේ.  ගේෂා කතුන්ගේ රූප ලාවණ්‍ය හා සහජ කුසලතා ධනවතුන්ගේ සල්ලිවලින් යටපත්වේ.  ඔවුන්ගේ වටිනා තරුණ කාලයෙන් උපරිම ප්‍රෙයා්ජන ගනු ලබන්නේ ඒවා මෙහෙයවන සංවිධාන විසිනි.

ගේෂා වෘත්තිය දිගටම කරගෙන යන්නේ නම් තරගකාරී ලෝකයට සරිලන පරිදි ගේෂාවන්ද වෙනස් විය යුතුය.  එසේ නොවුනහොත් තරගකාරී සමාජයට මුහුණ දීමට නොහැකිව පරාජයට පත්වීමට සිදුවේ.  යූරෝපීයයන් ජපානයට ඇදෙන්නට පටන්ගත් පසු අනෙත් හැම කලා අංගයක් මෙන්ම ගේෂා වෘත්තියට සංකර වු බව පෙනේ.  පසුකාලීනව ගණිකා වෘත්තියත් ගේෂා වෘත්තියත් දෙකම එකක් විය. 

ගේෂාව අයිති සංවිධානයට ඇතැම් නරඹන්නෝ පැය කිහිපයකට ගේෂාවන් කුලියට ගනු ලැබේ.  එය ප්‍රකට කරුණකි.  නමුත් ගේෂාවක් කුලියට ගැනීම සදහා ගෙවන මුදල අයත් වන්නේ එම ගේෂාවට නොව ඇය අයත් සංවිධානයටයි.  ගේෂාවන් තමන් ජිවත් වන නිවසේම රැගුම් දක්වන්නේ නැත.  ඇතැම් අය තමන් ජිවත් වන නිවසේම තේ පැන් ශාලා පවත්වාගෙන යනු ලැබේ.  මේවා තිෂා යන නමින් හැදින්වේ.  “ඔකියා...නමින් හැදින්වෙන්නේ ඔවුන්ට වාසයට පමණක් සීමා වූ ගෙවල්ය. 

ජපානයට පැමිණෙන හැම විදේශිකයෙක්ම ගේෂා උත්සවයකට සහභාගී වීමට විශාල උනන්දුවක් දක්වති.  ජපානයේ විසූ ටෝබා අධිරාජයාගේ කාලයේ මේ ගේෂා වෘත්තියේ ප්‍රපාතයට පදනම වැටුනේ යැයි සමහරු විශ්වාස කරති.  එක්තරා තරුණියන් කණ්ඩායමක් නැටුම් රග දක්වමින් රට වටා සැරිසැරූහ.  මොවුන් ජිවිකාව ගෙන ගියේ එයින් ලැබෙන මුදලිනි.  මොවුන්ගේ හැසිරීම නිසා රටේ සංස්කෘතියට සදාචාරයට හානි වෙතැයි සලකා එවකට පැවති රජය විසින් සදාචාරය රැකීමේ නීති පනවන ලදී. 


ඒකාලයේ මොවුන් හැදින්වූයේ හෙයිකෝ නමිනි.  නමුත් හෙයිකෝ රැගුම් පෑ මේ කණ්ඩායම ගේෂාවන්ට වඩා වෙනස් කොටසක් වන්නට ඇත.  එහෙත් එහි බලපෑම නිසා ගේෂා වෘත්තිය බිහිවන්නට ඇතැයි සමහරු තර්ක කරති.  මුළදී ගැහැණු හා පිරිමි වශයෙන් කන්ඩායම් දෙකක් දක්නට ලැබුනු අතර පසු කලක එය ගැහැණුන්ට පමණක් වෙන්වූවක් විය.

පසුකාලීනව ජපාලයේ සෑම කලා අංකයකම ගේෂාවනට යම් කිසි ස්ථානයක් හිමි විය.  කවියෝ, නාට්‍ය කරුවෝ, නවකතා කරුවෝ, ගේෂාවන් වස්තු කරගෙන කෘති විවිධ අයුරින් නිර්මාණය කරති.  එපමණක්ද නොව ජපානයේ නිපදවු චිත්‍රපටවලට ගේෂාවන් පිළිබද සුළු හෝ සිද්ධියක් ඇතුලත් කිරීමට ඇතැම් අධ්‍යක්ෂකවරු උනන්දු වූහ.

1 comment:

  1. ගේෂාවන් ගැන පෝස්ට් කීපයක් මේ දවස්වල ලියවුණා. එකක් රූ අක්කා ලිව්වා අනික පිණිබිඳු අක්කා...

    ReplyDelete

කියවලා බලලා හිතට දැනෙන අවංකම දේ මෙතන කුරුටු ගෑවොත් ඒක මට ලොකු ශක්තියක්. ඒ නිසා ඔයාලගේ හැගීම් වචන වලට පෙරලන්න අමතක කරන්න එපා...!!!!!