Thursday, March 29, 2012

සෙනෙහසක අරුමය

 ඇමෙරිකාවේ නිව්යෝර්ක් නගරයට වසන්තය උදා වුනේ හිම වැස්සකුත් එක්කමයි.  මේ කතාව පටන්ගන්නේ වසන්ත සමය උදාවී සතියකට පසු එක් සීතල රාත්‍රියකිනුයි.  දවස හරියටම කිවුවොත් මාර්තු 21.  තිබුන දැඩි සීතල බව නිසාම නගරයේ සිනමා හල්, බොජුන් ශාලා, වගේ බොහෝම ජනාකීර්ණ තැන් හිස්ව ගොස් තිබුණා.

නගරයේ ලින්කන් ආරෝග්‍ය ශාලාවේ දින කිහිපයක් තිස්සේ දරු ප්‍රසූතියකට සූදානමින් සිටි කළු ස්ත්‍රියක් ඒ රාත්‍රිෙය්දී දරුවෙකු බිහි කළා.  මේ දරු උපත සිදුවූයේ නියමිත කාලයට නොවෙයි.  අකාලයේයි.  උපදින කොට දරුවාගේ බර අවුන්ස 35කට වඩා වැඩි වූයේ නැත.  එවේලේම දරුවා විශේෂ උණුසුම් යන්ත්‍රයක තැබුවා.

මේ උපතෙන් දින නවයකට පස්සේ මාර්තු 30 වෙනි දිනත් බොහෝම තද සීතල රාත්‍රියක් වුණා.  ලින්කන් රෝහලේ රාත්‍රි සේවයේ යෙදී සිටි හෙදිය අකාලයේ උපන් දරුවන් කෙසේ කල් ගෙවන්නේදැයි සොයා බැලීම සදහා , ඔවුන් සදහා විශේෂයෙන් වෙන් කර තිබූ රෝහල් කාමරය වෙත ගියා.  මෙසේ නියමිත කාලයට පෙර බිහිවූ දරුවන් බහාලූ විශේෂ උණුසුම් යන්ත්‍ර 10ක් පමණ ඒ කාමරය පුරා තිබුණා.  සුපුරුදු ලෙස එක් එක් උණුසුම් යන්ත්‍රය දෙස එබී බැලූ හෙදිය ඉන් පසු ඔවුන්ගේ වෛදච්‍ය සටහන්ද කියෙව්වා.  දරුයන් තිදෙනෙකුගේ වෛද්‍ය සටහන් පරික්ෂා කළ ඈ සිව් වැනි උණුසුම් යන්ත්‍රය ලග නතරවුනේ විමතියෙනුයි.  ඇගේ දෑස් විශාල වුනා.  ඒ උණුසුම් යන්ත්‍රය තුළ දරුවෙක් සිටියේ නැහැ.

ඇය වහාම වාට්ටුව බාර මෙහෙකරු කැදෙව්වා.  රාත්‍රි සේවයෙහි යෙදී සිටි වෛද්‍යවරයාට දුරකතන ඇමතුමක්ද දුන්නා.  පැය භාගයක් යන්නට පෙර මුළු රෝහලම පරික්ෂා කලා.  නමුත් අතුරුදන් වුනු දරුවා පිළිබද සලකුණක් හෝ තිබුණේ නැහැ.

පසු දින දරුවා බලන්නට දෙමව්පියන් රෝහලට පැමිණි විට ඔවුහු මහත් විමතියට හා ශෝකයට පත් වුනා. වෛද්‍යවරුනට දුක් සහගත වුනත් ඇත්ත පවසන්නට සිදුවුනා.  වයසේ තරමට දරුවා නිරෝගීව හා ශක්තිමත්ව සිටියත් එවැනි රාත්‍රියක ඒ බිළිදා උණුසුම් යන්ත්‍රයෙන් ඉවත්කලහොත් දෙපැයකට වඩා ජිවත් නොවන බව ඔවුහු පැවසුවා.  වෛද්‍ය වාර්තා වල සටහන් කර තිබුණ අන්දමට අතුරුදහන් වන විට දරුවාගේ බර අවුන්ස 13ක්.

දෙමාපියන් ශෝකයෙන් පුරවාගත් හදවතින් යුතුව රෝහලෙන් පිටව ගියා.  හෙදියක් උණුසුම් යන්ත්‍රයේ එල්වා තිබුණ දරුවාගේ වෛද්‍ය සටහන එතැනින් ඉවත් කලා.

පසු දින පුවත් පත් ලින්කන් රෝහලේ දී සිදුවූ මේ දරු සොරකම පිළිබදව වාර්තා කර තිබුනා.  පොලීසිය මේ සිදුවීමත් සමගම ක්‍රියාත්මක වුනා.  නමුත් මේ සිදුවීමේ අවසානයත් එය ම බව පෙනෙන්නට තිබුනා.

තවත් සති තුනකට විතර පස්සේ එක් උදයක එක් ගෘහණියක් සිය ගෙදර වැඩ කරමින් ඒ අතර තුර ගවන් විදුලි යන්ත්‍රයට සවන් දෙමින් සිටියා.  ඈ සවන් දුන්නේ ජනප්‍රිය ගීත වැඩසටහනකටයි.  එයින් එක් ගීතයක් ඇගේ සිත බෙහෙවින් ඇද ගත්තා.  සිය වැඩකටයුතු ඉක්මනින් අවසන් කල ඇය වහාම වීථියට ගියේ එම ගීතයේ තැටිය මිලට ගැනීමටයි.  වීථියේ වෙළද සලේදී එම ගී තැටිය දෙවන වරට වාදනය කරන විට කළු යුවතියක් එම ගීයට සවන් දෙන්නට වෙළද සැලට ගොඩවුනා.  ඉහතකී ගෘහණිය මේ කළු යුවතිය දෙස වරක් දෙවරක් නොව කිහිප සැරයක්ම බැලුවේ ඇය හොදින් දැක පුරුදු කෙනෙකු සේ දැනුන නිසයි.  තවත් ටික වෙලාවකින් ඇය මේ කළු යුවතිය කවුරුන්දැයි හදුනාගත්තා.  ගෘහණිය සති කිහිපයකට පෙර දිනක් ඇයව දැක තිබුණා.  ඈ නැවතත් කළු යුවතිය දෙස හැරී බැලුවා.  සති කිහිපයකට පෙර එක් සීතල රැයක බිළිදකු අතින් ගත් කළු යුවතිය මැයම බව ඇය වටහා ගත්තා.  

පුවත්පත් වල පලව තිබුණ වාර්තා අනුව සති තුනකට පෙර සීතල රැයෙකු දරුවකු වඩාගෙන තනිවම ගිය මවක වූ මේ යුවතිය දැන් පොලීසිටියට උවමනා වී සිටින තැනැත්තියක බව යි ඇයට දැනුනේ.

කළු යුවතිය ඒ මිහිරි ගීයට සවන් දෙමින් සිටින අතර, ඈ වෙළද සැලෙන් පිටවී පොලිස් භටයෙක් සොයාගෙන දිවුවා.  ඇය පොලිස් භටයාට කරුණු පැහැදිලි කොට ඔහුත් සමග වෙළද සැළ වෙත එනවිට ඒ යුවතිය අතුරුදහන්ව ගොස් සිටියා.  එහෙත් ඒ ගෘහණිය කළු යුවතිය ගැන පොලීසියට පැවසූ විස්තර එහස් පොලීසියේ නිලධාරීන් වෙත යවනු ලැබුවා.

මේ සිද්ධියෙන් සතියකට පමණ පසු පොලීසියට උවමනා වී සිටින තැනැත්තියගේ හැඩහුරුකම් ඇති කළු යුවතියක් ඒ අසලම විථියක බස් නැවතුම් පලට පැමිණියා.  පුදුමයට කරුණ නම් ඇය ගියේ පොලිස් නිලධාරියෙකු වෙතයි.  ඇයට හාර්ලම්හි වෙළද පොලකදී කරදරයක් වූ බව ඈ එම පොලිස් භටයාට කිවුවා.  පොලිස් භටයා ඇගේ පැමිණිල්ල ගැන වැඩි සැලකිල්ලක් ගත්තේ නැහැ.  ඔහු ඇගේ හැඩහුරුකම් හදුනාගන්නා විට ඇය ඔහුගෙන් වෙන්ව ගොස් ටික වෙලාවක් ගතව තිබුනා.  පොලිස් නිලධාරියා නැවතත් මේ යුවතිය ගැන ප්‍රධාන පොලිස් කාර්යාලයට හා රහස් පොලීසියට දැනුම් දුන්නා.  තවත් මොහොතකට පසු පොලීසියේ රේඩියෝ රථවලින් උවමනා වීසිටින කළු දැරියක් 42 වන වීථියේ බස් නැවතුමකින් දකුණු දෙස බලා යන බස් රියකට ගොඩවන්නට ඇති බව දැනුම් දුන්නා.  

නමුත් ඇය බසයකට නැග තිබුනේ නැහැ.  ඇයව දෙදිනකට පසු කුඩා හෝටලයක කාමරයක සිටියදී සොයා ගන්නා ලදී.  ඈ විවාහ වී සිටියේ එම හෝටලයේ සේවකයෙකු සමගයි.  ඈ හඩමින් සිය කතාව කිවුවා.  ඇය කිසි වරදක් කර තිබුනේ නැහැ.  ඈ දුක් වූයේ නොබෝදා ලැබුනු නිවුන් දරුවන් මළ නිසායි.  අහිංසක ඇයට තමන්ගේ පාඩුවේ ඉන්නට ඉඩදී ඉවත්ව යන්නැයි ඇය පොලිස් නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියා.

නමුත් අවසානයේදී ඈ ඉකිබිදිමින් තමන් එම දරුවා සොරාගත් බව පිළිගත්තා.  දරුවා දෙදිනකට පසු මියගිය බව ද ඇය පැවසුවා.  ඈ කී ආකාරයට පොලීසියටත් බිළිදා මළ පුවත විශ්වාස කරන්නට සිදුවුනා.  නමුත් හෝටලයේ කාමරයේ බිත්ති පවා ඉරා දරුවා සෙව්වා.  

පොලිස් භටයෝ ඇය අත්අඩංගුවට ගෙන යන්නට පිටත් වුනා.  දොරට ලගාවත්ම එක් පොලිස් භටයෙක් කිසියම් ශබ්දයක් ඇසී ආපසු හැරුනා.  කුඩා ළදරුවෙකුගේ හැඩීමක් කාමරයෙන් ඇසුනා.  එම පොලිස් භටයා ශාලාව හරහා දුවගොස් කුඩා දොරක අගුල් කඩා හැරියා.  ඒ කාමරයෙන් තද උණුසුම්  වාතය පිටවුනා.  එය ඇදුම් පෙට්ටගමක් වැනි කුඩා කාමරයක්.  ඒ තුළ බිළිදෙක් සිටියා.

දහඅට හැවිරිදි මේ කළු යුවතිය ප්‍රසුත කල නිවුන් දරුවන් දෙදෙනා මාසයකට පමණ පෙර මිය ගියා.  ශෝකයට පත් ඇය දරුවෙකු ලබා ගැනීමට සිතුවා.  එදින රැයේ දී ඈ කෙසේ හෝ ලින්කන් ආරෝග්‍යශාලාවට ඇතුළු වුනා.  සාත්තු සේවිකාවන් හා වෛද්‍යවරයින් ඈ මෙහෙකාරියකැයි සිතන්නට ඇති.  කළුවර වැටෙන විට රෝහලට ඇතුළු වූ ඈ මුළු රෝහල පුරාම ඇවිද්දා.  ඉන්පසු ඈ නියමිත කාලයට පෙර උපදින දරුවන් සිටින කාමරයට ඇතුළු වුනා.  ඉන්පසු එහි සිවුවැනි යන්ත්‍රය තුල සිටි දරුවා සිය කබාය තුල සගවාගෙන සියල්ලන්ටම හොරෙන් රෝහලෙන් පිටවුනා.  ඇය පොළව යට දුවන උමං දුම්රිය පොළට ගොස් කාන්තාවන්ගේ විවේකාගාරයේ දී , ඇගේ ලොකු රතු ගවුම ගලවා දරුවා එහි ඔතා ගත්තා.  උමං දුම්රිය ආ පසු ඇය එයට නගින්නට යනවිට දුම්රියේ කොන්දොස්තර තැන කීවේ මෙවන් සීත රැයක දරුවා තබාගන්නට නම් ලෝම කබායක් ගෙ එන ලෙසයි.  

ඉතින් ඇය දුම්රියපොලෙන් පිටව ගොස් වෙළද සැලකින් පොරෝනාවක් ගෙන ඉන් පසු ආ කුලී රියක් නවත්වා එහි පසුපස ආසනයේ දරුවා තබා නැවත ඇගේ ගවුම ඇද ගන්නට තැත් කලා.  

“කනගාටුයි නෝනා.  මගේ කාර් එකේ ඇදුම් මාරුකරගන්නට දෙන්න බැහැ.  රියදුරු කිවුවා.  නමුත් ඇයට ඇදුම් ඇදගන්නට ඉඩ ලබා දුන් රියදුරාඒ අසල නිවසකට ඈ ගෙනගියා.  තැටිය ගැනීමට වෙළද පොලට ගියේ මේ ගෙදර කාන්තාවයි.  එහිදි ඇදුම් මාරුකරගත් මේ කාන්තාව ඒ කුලී රියෙන්ම බස් නැවතුම් පොලට ගියා.  සති කිහිපයකට පසු රහස් පොලීසිය බස් නැවතුම්පොලේදී ප්‍රශ්ණ නගන විට මේ සිද්ධිය මතක තිබූ කෙනෙකු එය කීවා.  

නමුත් ප්‍රශ්ණය වුනේ එය නොවෙයි.  ඇය මේ දරුවා ජීවත් කලේ කෙසේද යන්නයි.  ආරෝග්‍ය ශාලාවට දරුවා නැවත බාරදෙනවිට ඔහුගේ බර අවුන්ස හතලිස් නවයකි.  දරුවාගේ බර අවුන්ස හයක් වැඩිවී තිබුනා.  වෛද්‍යවරු මහත්සේ පුදුමයට පත්වුනා.

මේ අහිංසක බිලිදා රැකගැනීමට මේ රළු කලු කෙල්ල කලේ මොනවාද?  ඈ සාත්තු සේවිකාවන් ඇසුරු කොට පුරුදු කෙනෙකි.  වෛද්‍යවරයෙකු වෙතින් ගත් දරුවන් තැනීමේ විස්තර ඇති පොතක් ගෙන ඈ නිතර කියෙව්වාය.  පොලිස් නිලධාරීන් ඇගේ කාමරයට පැමිණි විට එහි තවත් පොත් ස්වල්පයක් ද තිබුනි.  ඒවා නම් නියම ආදරය , ආදරය සිනහව විය යුතුය, නව ගෘහඔෂධ විදි, හා සූප ශාස්ත්‍ර පොත් කිහිපයකි.  විදුලි පොරෝනාවක් සහිත පොඩි තොටිල්ලක්ද විය.  

දරුවන් තැනීම පිළිබදව රෝහලකින් නිකුත් කරන ලද වෛද්‍ය සටහන් කිහිපයක්ද විය.  අතින් නොඅල්ලාම පුඩුව පැන නගින කිරි පොවන බෝතල් දොළහක් ඒ අසල තිබුනි.  වතුර පනිට්ටුවක්, නොයෙකුත් විටමින් වර්ග හා කපු පුළුන් තෙල්  ආදියත් එහි තිබුනා.  

ආරෝග්‍ය ශාලාවේදී මේ කතාව අසා මහත් පුදුමයකට පත්වුනු දොස්තරෙකු නැති තරම්ය.  

ඇය කෙසේ අනෙකුත් දේ දැනගත්තාද?  මෙවැනි දරුවෙකු හැදීමට අවශ්‍ය කරුණු දෙකක් ඇත.  කාමරයේ වායුවේ තෙතමනය තිබෙන්නට ඕනෑ.  අනෙක උණුසුම අංශක 96ට තිබෙන්නට ඕනෑ.  ඈ මෙම කරුණු දැනගත්තේ කෙසේද?

නමුත් පොලිස් නිලධාරියෙක් එයට පිළිතුරු දුන්නා.  විදුලි ලිපේ නටන උණුවතුර බදුනක් තිබුනා.  බිත්තියක තාප මානයක්  එල්ලා තිබුනා.  පොලිස් භටයා එම තාප මානයේ උෂ්ණත්වය සටහන් කරගෙන තිබුනා.  සටහන නැවත කියවූ ඔහු උෂ්ණත්වය අංශක 96 බව පැවසුවා.  

මාසයකට පමණ පසු ඇය උසාවියට ඉදිරිපත් කරනු ලැබුවා.  

මානසික වෛද්‍යවරු පැවසුවේ ඇය උන්මාදයෙන් පෙලෙන කාන්තාවක් බවයි.  එහෙයින් ඇයව නිදහස් කරනු ලැබුවා.



(වසර ගණනාවකට පෙර සිදුවූ සත්‍ය සිදුවීමක් මුල්කරගෙන ලියු ලිපියක් ඇසුරිනි)

5 comments:

  1. අපූරූ කතාවක්!

    ReplyDelete
  2. ලහිරු

    ස්තුතියි

    ReplyDelete
  3. සෙනෙහසක අරුම.. අපූරු කතාවක්.. :)

    ReplyDelete
  4. ඔබ නොදුටු ලොවක්

    ස්තුතියි

    නන්දු

    අපි අතරත් මෙහෙම අය ඉන්නවා. ඒත් ඒවා ප්‍රසිද්ධ වෙනවා අඩුයි

    ReplyDelete

කියවලා බලලා හිතට දැනෙන අවංකම දේ මෙතන කුරුටු ගෑවොත් ඒක මට ලොකු ශක්තියක්. ඒ නිසා ඔයාලගේ හැගීම් වචන වලට පෙරලන්න අමතක කරන්න එපා...!!!!!