Monday, December 14, 2015

ඇත් පොර

ඔය ඉස්සර කාලේ රටේ රජ්ජුරුවොයි මහා ජනතාවයි බලාගෙන ඉද්දිම වල් ඇතුන් හා හීලෑ ඇතුන් පොරට යවන සිරිතක් මහනුවර රාජධානි කාලයේ පැවතියාලු.  එය විනෝද ක්‍රීඩාවක් විදියටයි හැමෝම සලකලා තියෙන්නේ.  පොරට යවන්න හොද වල් ඇතුන් රැක්ම ලා මහ වනයේ ඉදන් රජ වාසලට ලගින් පිහිටි ඉඩමකට රැගෙන විත්, හීලෑ ඇතුන් එක්ක පොරට යවනවලු.

කොහොම හරි මේ පොරට ගන්නා ඇතා ඇරෙන්න අනෙක් සියලුම ඇතුන් ගාල් කරලාලු තියෙන්නේ.  මේ විදියට ඇත් පොර කිහිපයක්ම සිදු වෙනවා.  මේ ක්‍රීඩාව නරඹන්නත් විශාල ජනතාවක් රැස්වෙනවාලු.  කොටු කරපු විශාල භූමි භාගයක් අවට ඉදන් රජතුමා සමග ජනතාවත් ඇත් පොර නරඹනවා.  හැබෑවටම කියනවානම් මෙය ජනතාව තැතිගන්වන සුළුයි.

මේ විදියට රාජාධි රාජසිංහ රජුගේ කාලයේදී ඇත් පොරයක් සංවිධානය වුනා.  විශාල වල් ඇත්තු එක්ක පොරයට රජුගේ ඇත් ගාලේ හිටපු ඇතෙක් ඉදිරිපත් කලා.  ඉතින් මේ ඇත් රාජයෝ දෙදෙනාම හොඩවැල පටලවා ගනිමින් විවිධ ශබ්ද නගමින්, එකිනෙකාට පහර පිට පහර දෙමින් පොරය ආරම්බ වුනා.  බොහෝ වේලාවක් සටන් කලත් මේ දෙදෙනාගෙන් එකෙක් වත් පැරදුනේ නැහැ.

අන්තිමේදී රජුගේ ඇත් වල් ඇතාට බොහෝම තද පහරක් එල්ල කලා.  එය කොතෙක් සැර පහරක්ද කියනවා නම් වල් ඇතා විසිවෙලා ගිහින් හැටි ගන්න හාරපු වළකට වැටුනා.  මේ දැකපු මහජනතාව ඔල්වරසන් දෙන්න පටන් ගත්තා.

රජ්ජුරුවෝ තමන් ළගම වාඩිවෙලා සිටි ගලගොඩ නිලමේට කථා කරලා මේ දැන් සිදුවුන සිදුවීම ගැන කවියක් කියන්න කියලා කිව්වා.  ඉතින් නිලමේ පැරදුනු ඇතා කියනවා වාගේ ඒ වෙලාවෙම  මේ කවිය කිවුවා.


ඉන්නා විලස ඉන්ටත් මට නොදී           කැලේ
පන්නා ගෙන ඇවිදින් මොන හොදද       කලේ
දන්නා තරම පොර ඇන්නෙමි වඩා ලො     ලේ
ඇන්නෑවේ වැටුණෙමි මැටි ගත්තු ව           ලේ

මේ කවිය ඇසුවාම රජුට ඉමහත් සතුටක් දැනුනා.  ඉතින් රජු නිළමේට තැගී බොහෝමයක් පිරිනැමුවා.

Thursday, October 15, 2015



කාලෙත් එක්ක දැනහැදුනුම් කමුත් වෙනස් වෙනවා

ඉස්සර කාලේ ගමක එක්තරා තරුණයෙක් තරුණියක් එක්ක පෙමින් බැදී සිටියා.  මේ තරුණයා ඇය විවාහ කරගන්නා බවට ස්තිර වශයෙන්ම පොරොන්දුවකුත් දුන්නා.  ඉතින් මේ තරුනියත් , තරුණයාගේ වදන් විශ්වාස කරලා බොහෝම ලෙන්ගතු කමින් කාලය ගත කලා.  බොහෝම ලගින් ආශ්‍රය කලා අවුරුදු ගණනාවක්ම.

කොහොම නමුත් කාලෙත් එක්ක බොහෝ දේවල් වෙනස් වෙනවානේ.  ඉතින් මේ තරුණයාත් අහළ පහල ගමක වෙනත් තරුණයක් විවාහ කරගත්තා.  ඇත්තටම මෙහෙම වුනේ තරුණයාගේ වරදකිනුත් නෙමෙයි.  දෙවැනි තරුණිය වඩා ධනවත් වුනා ඒකයි කාරණාව.  කොහොම කොහොම හරි ප්‍රථම ප්‍රේමයේ වේදනාව කාටත් තදින් දැනෙනවානේ.  කලින් සදහන් කල තරුණිය මේ වෙච්ච දේ ගැන බොහෝම කළකිරීමෙන් තමයි හිටියේ. 

ටිකක් කාලය ගතවුනාට පස්සේ ඇගේ දෙමාපියන් ඇයට වෙනත් විවාහ යෝජනාවක් ගෙනාවා.  අවසානයේදී ඇයට ඊට එකග වන්නට සිදු වුනා.  ඇය දීග ගියේ වෙනත් ගමක තරුණයෙක් සමගයි.  මෙහෙම කාලය ටිකෙන් ටික ගතවුනා. 

එක දවසක් අර කලින් කියපු තරුණයා යම් කිසි උවමනාවකට දුර බැහැරකට ගියා.  එහිදී ඔහුට එන්නට සිදු වුනේ බොහෝම රෑ බෝ වෙලා.  අද කාලේ වගේ නෙමෙයි. මෙහෙමෙ දුර බැහැරක ගිය කෙනෙක්ට නවාතැන් දෙන්න ගම්වල වැසියන් පුරුදු වෙලා හිටියා.  ඒ වගේම ආහාර පාන ටිකකින් සංග්‍රහ කරන්නත් අමතක කලේ නැහැ.  සිංහල මිනිස්සු ආගන්තුක සත්කාරයට බොහෝම ලැදි පිරිසක්නේ.  කොහොම නමුත් රෑ බෝ වෙලා නිසා නවාතැන් ඉන්නා ගෙන එක් ගෙදරකට මේ තරුණයා පැමිණියා.  ඒ වෙලාවේ තමයි දැනගත්තේ මේ ගෙහිමි කාන්තාව තමන් මුලින් පෙම්කල තරුණිය බව. 

ඉතින් තරුණයාට පුදුම හිතුනා.  සතුටක් දැනුනා.  තරුණ කාන්තාවත් ඔහුව අදුන ගත්තා.  නමුත් ඇය කිසිම අමුත්තක් පෙන්නුවේ නැහැ.  එදින ඇගේ ස්වාමියාත් ගෙදර හිටියේ නැහැ.  ඇය හොදින් ආහාර පාන පිළියෙල කර මේ තරුණයාට පිළිගැන්නුවා.  ඔහු ආහාරයෙන් සප්පායම් වනතුරු සතුටු සාමිචි කතා බහේ යෙදිලා හිටියා.  ඉන්පසු, දොර පිළේ කොට්ට පැදුරු එළා ඔහුට නිදා ගන්නට සැලැස්සුවා.  ඇය ගෙට ගොස් දොර වසා ගත්තා.

පරණ පෙම්වතියගේ මේ ක්‍රියා කලාපය නිසා තරුණයාට බොහෝම හිත් වේදනාවක් ඇතිවුනා.  ඇයව ඔහුට තේරුම් ගන්නට නොහැකි වුනා.  බොහෝම වේලාවක් මේ ගැන කනස්සල්ලෙන් හිටපු තරුණයා මේ විදියට නෝක්කාඩු කවියක් කිවුවා.

ආදි අපි දෙන්නා දිය පිට මලක්                 වගේ
දැන්දි අපි දෙන්න දිවි දුටු මුවන්                වගේ
ගොඩ නුපුරුදු දිය නුපුරුදු සතුන්               වගේ
උඹලගේ සෙනේ හුණු නැති බුලත් විට      වගේ

මේ කවිය ඇහුණ තරුණ කාන්තාව ගේ ඇතුලේම ඉදන් මෙහෙම කිවුවා.

ආදි අපි දෙන්නම තමු                  න්නේ
දැන්දි අපි දෙන්නම අනු               න්නේ
නොදැන නෙමෙයි පිළ පිට පැදුර  දුන්නේ
යතුර දෙන්ට මේ ගේ දොර අනු    න්නේ

Thursday, September 10, 2015

ආමි සමිදුන් දකිනු පිණිසා



ඉස්සර කාලේ දවසක කෑමට වඩා බොන්න හිතැති මිනිසෙක්  දු ර බැහැර ගෙවාගෙන මුදලිතුමෙක් දකින්න ආවා.  වලව්වට ගොඩවුනාට මොකද කිසිම කෙනෙක් පේනතෙක් මානයක හිටියේ නැහැ.

ඉතිං මේ උන්දෑ කවුරුත් නැති හින්දාම ඉස්තෝප්පුවේ තියෙන පත කුළුණකට හේත්තුවක් දාගෙන යන එන මග දිහා බලාගෙන උන්නාලු.

මේ මනුස්සයා නොදැක්කාට මොකද මුදලි තුමා ඒ ළගම තියෙන කාමරයෙයි ඉදලා තියෙන්නේ.  එතුමා කාමරය ඇතුලේ ලියකියවිලි වගයක් සෝදිසි කරමින් තමයි උන්නේ.  හැබැයි එතුමාත් දුටුවේ නැහැ ඉස්තෝප්පුවේ පිටස්තරයෙක් ඉන්නා වග.

මේ මුදලිතුමා බොහෝම ප්‍රීතියෙන් ඉන්න කැමති කෙනෙක්. ඉතිං එතුමා කරමින් හටපු වැඩේ ඉවර කරලා අත පය හිරි අරින ගමන් මෙහෙම කිවුවා

කන දෑ අදින                  දෑ
ගම්බද මිනිසා බොහෝම මුඛරි පුද්ගලයෙක් . ඒ නිසා මේ කවි පදය ඇහුන හැටියෙම
 බොන දෑ විතර හොද     දෑ
දෙවන පදය කිවුවා.                                
කවුද ඒ                         උන්දෑ   යි කියාගෙන මුදලි තුමා නැගිට්ටා.
මුදලි තුමා එළියට එන්නටත් පෙරම ආගන්තුක මිනිසා හතර වන පදය මෙසේ කිවුවා

මොකද හිරයක් දෙන්ට    වත් දෑ

ඉන් පස්සේ මේ දෙදෙනාගේ කතාව ගෙවුනේ කවියෙන්ම තමයිලු.
මුදලි :   තෝ කොයිබ මිනි                සා
අමුත්තා:  නායිමන නම්                 පියසා
මුදලි     : ආවේ මක්                      නිසා
අමුත්තා:  ආ මි සමිදුන් දකින       පිණිසා

ඉතින් බොහෝම සතුටට පත් වුන මුදලි තුමා මේ පිටස්තර මිනිසාට බතින් බුලතින් සංග්‍රහ කොට ඔහුගේ උවමනාවත් ඉටු කර දී යන්නට හැරියාලු.

Wednesday, September 9, 2015

සිසුවාගේ දස්කම



කාලෙකට පස්සේ පුංචි කතාවක් මතක් වුන නිසා මේ පැත්තට ඇවිත් යන්න හිතුවා.

ඔන්න එක්දහස් නවසිය බර ගනන්වල එක්තරා මිශ්‍ර පාසැලකට පරීක්ෂණයක් සදහා පරීක්ෂකවරු කිහිපදෙනෙක් පැමිණියා.  මේ අය අතර හිටියා මැදි වයසේ පරීක්ෂක මහත්මයෙක්.  මේ පාසැලට අලුතින් පත්වෙලා ආපු රූමත් තරුණ ගුරුවරියන් කිහිප දෙනෙකුත් හිටියා.  ඇත්තටම මේ දර්ශනයෙන් පරීක්ෂක මහතාට මොකද්දෝ හිතිලා තියෙනවා. 

ඉතින් එතුමා එක පන්තියක ශිෂ්‍යයන්ට වැඩක් පවරලා පංති කාමරයට පිටතින් ඒ අත මේ අත ඇවිදින්න පටන් ගත්තා.  මේ ඇවිදින අතරේ එතුමාට ගුත්තිල කාව්‍යෙය් එන රසවත් කවියක් මතක් වුනා.  ඒ කවියත් බොහෝම මිහිරි විදියට ගායනා කරමිනුයි එතුමා එහේ මෙහේ සක්මන් කරන්නට පටන් ගත්තේ. 

දිමුතු යසස් වන් කුසුම සරා          ගේ
නුමුතු සුවද මල් පැළද සරා          ගේ
දකිතු රගන සුරගන රගලා                        ගේ
..........................................................

අනේ ඉතිං පළමු පද තුන ගායනා කළාට මොකද අන්තිම පදේ එතුමාට අමතක වුනා.  එතුමා නැවත නැවත ඉහත පද තුන ගායනා කලත් හතරවැනි පදය මතක් වුනේම නැහැ.  මේ දිහා බලාගෙන හිටපු එක්තරා ඉහල පංතියක ශිෂ්‍යෙයක් , පරික්ෂක වරයා තුන්වන පදය කියනවාත් සමගම,
උමතු වෙලා දගලනවා වාගේ .... 

කියලා කවිය සම්පූර්ණ කලා.  පරීක්ෂක තුමාට හිතුනේම මේ ශිෂ්‍යයා තමන්ට මදිපුංචි කමක් කලාය කියලමයි.  ඔහු ලමයා දිහා ඔරවා බැලුවා.  මේ අතර  ළමයින්ට කිරීමට දී තිබූ ගණිත අභ්‍යාස අවසන් කොට තිබූ ඉහත සදහන් ළමයා ඒවා නිවැරිදි බව පරීක්ෂා කිරීමට පරීක්ෂක මහතා අතට පත් කලා.  සියලුම ගණන් හරි නමුත් පරීක්ෂක තුමා කලේ ඔක්කොම ගනන් වැරදියි කියමින් කොළය කටුගා ළමයාගේ නමට බිංදුව දැමීමයි.

තමන්ගේ ගනන් සියල්ලම හරි බවත් තමා කියපු කවි පදයට තරහ ගිය හින්දා ඒකට පළි ගන්නට මෙය අවස්ථාවක් කරගත් බවත් ළමයාට තේරුම් ගියා.  ඒ විතරක් නෙවෙයි ළමයාගෙන් තවදුරටත් පලි ගන්නට සිතුව පරීක්ෂකවරයා අර ළමයා ත් ඒ පංතියේ හිටපු අනෙක් දරු දැරියන්වත් තමාගේ ඉදිරියට කැදෙව්වා. 
හම් උඹලා දැන් එක් එක්කෙනා කවිය බැගින් කියන්න ඕනෑ....... ඔහු ළමයින්ට අණ කලා.

ළමයි හැමෝම තමන් දන්නා මොකක් ම හරි කවියක් කිවුවා.  වරදට අහුවුණ ළමයාගේ වාරය පැමිණියා.  ...කියාපන් උඔත් කවියක්.....ඔහුටත් අණ ලැබුණා.  ළමයා පරීක්ෂකවරයා දෙස හොදින් බැලුවා.  ඔහුගේ බඩ ඉදිරියට නෙරා විත් තිබුණා.  ඒ වගේම තට්ටයත් පෑදිලයි තිබුනේ.  රැවුලකුත් තිබුණා.  ළමයා කවියක් කිවුවා.  ඒ කවියෙන් බයට පත් වුන පරීක්ෂකවරයා ඉක්මනින්ම ළමයාගේ කඩදාසිය ගෙන ඔහුගේ ගණන් නැවත පරීක්ෂා කොට බින්දුව වෙනුවට නියමිත ලකුණු දමා විභාගයෙන් සමත් බවත් ප්‍රකාශ කලා.  ඉතින් දන්නවද ළමයා කියපු කවිය මොකක්ද කියලා.???

තට්ටෙ රත්                     වේවා
රැවුළට ගිනි                 ගැනේවා 
තඩි බඩ පැළේ                    වා
බොරුව කෙරුවට සාප    වේවා