Sunday, June 29, 2014

ජිරාෆ් ලා ගැන මේ තොරතුරු දන්නවද?


හැමෝගෙම නෙත් සිත් පැහැරගත් සතෙක් විදියට සැලකෙන ජිරාෆ් ගැනයි මේ.  බොහෝ කොට ජිරාෆ් ගේ සිත්ගන්නා සුළු පෙනුමට හේතුව අන් සතුන්ට නොමැති තරමේ දිගු ගෙලක් හා ශරීරයේ හැඩයත් වෙන්න පුළුවන්.  උගේ ගමන් විලාශය,  වගේම තමයි ගත පුරා විහිදුනු ඉරි රටාවත් තවත් හේතුවක්.

ලෝකයේ ඉන්න උසම සතා තමයි ජිරාෆ්.  උගේ සාමාන්‍ය උස අඩි 18ක් හෝ 19ක් වෙනවා.  සමහරු අඩි 20ක් වෙනකන් වැඩෙන බවත් පැවසෙනවා.    එසේම තමයි උගේ අලුවන් පැතලි දිව මේ උසට තව අගල් 8ක් විතර එකතු කරනවා.  ජිරාෆ්ගේ ගෙල දිගට පිහිටා තිබුණත් එය නිර්මාණය වෙලා තියෙන්නේ මිනිසාගේ මෙන්ම ඇට කැබලි 7කිනුයි.  නමුත් ඒ ඇට කැබලි එකිනෙක දික්වෙලා වැඩී තියෙනවා.  මෙයට හේතුව විදියට දක්වන්නේ කාලාන්තරයක් තිස්සේ උස් ගස්වල අතු රිකිලි කෑමට පුරුදු වෙලා හිටපු නිසා බවයි විද්වතුන්ගේ මතය.

ජිරාෆ් වැඩි කොටම බෙල්ල කෙලින් තබාගන්නේ ගස්වල කොළ ගන්නා අවස්ථාවලදී පමණයි.  කදට අංශක 60න් විතර ආනතවයි බෙල්ල  පිහිටලා තියෙන්නේ.  අනෙක් කරුණ වන්නේ ඉදිරි පාද පිටුපස පාදවලට වඩා දිගු වීමයි.  එයත් ගස්වල කොල කඩා කෑමට පහසුවක් ලෙස පිහිටා ඇති බවයි කියන්නේ. 

ජිරාෆ්ට කුඩා අං දෙකක් ඇතත් ගවයන්, මුවන් වගේ සතුන්ට මෙන් ඉන් අන් සතුන්ට පහර දීමට උදව් කරගන්න බැහැ.  අනෙක් සතුන්ට වගේ නොවෙයි මේ අං යුගලය දිගු ලොම් සහිත සමකින් ආවරණය වෙලයි තියෙන්නේ.  අනෙක් කරුණ තමයි උගේ නාසය අවශ්‍ය විටෙක වසා දැමීමට හැකිවීම.

ඒවගේම ජිරාෆ් සත්ව ලෝකයේ ගොලු සතෙකු ලෙසයි සැලකෙන්නේ.  වෙනත් සතුන්ට මෙන් ඌට කිසිදු ශබ්දයක් පිට කිරීමේ හැකියාවක් නැත.  කුඩා පැටවුන්ට මුල් කාලයේදී වසු පැටවුනට මෙන් හඩක් නැගිය හැකි නමුත් වයසින් වැඩෙන කොට ඒ හැකියාව නැතිවෙලා යනවා. ඒ නිසා ජිරාෆ්ට නැගිය හැකි එකම ශබ්දය නයෙකු මෙන් පිබීම පමණයි. 

මොවුන් රංචු ලෙස නිදැල්ලේ හැසිරෙන සත්ව කොටසක්. බොහෝ විට තැනිතලා බිමවල තමයි ගැවසෙන්නේ.  අප්‍රිකාවේ තැනිතලා බිම්වල දහ දොලොස් දෙනා බැගින් කොළ අතු කඩා කනවා නිතරම දකින්න පුළුවන්.  ජිරාෆ් ලා වැඩියෙන්ම කන්න කැමති ඇකේෂියා ගසෙහි කොළ අතුයි.  ඔවුන් රැදෙන්නට වැඩියෙන්ම ප්‍රියකරන්නේ උස් ගස් තැන තැන වැඩුනු මදක් කාන්තාර ස්වභාවයක් උසුලන පෙදෙස් වලයි.  හේතුව තමයි දික්වූ ගෙල කෙලින් තබාගෙන ඒ මේ අත යාමේ පහසුවත්, සතුරන් ඉන්නවා නම් ඔවුන් ලෙහෙසියෙන් දැකීම හා එවුන්ගේ පැමිණීම දැක උවදුරු වලින් වැලකී සිටීමේ පහසුවත් නිසාය.

මේ වගේ පරිසරයන්ගෙන් ගහන අප්‍රිකාවේ ඇබීසිනියාවේ ඉදලා දකුණු කොංගෝවේ නැගෙනහිර පෙදෙස දක්වාම ජිරාෆ් වර්ග ගණනාවක්ම විසිරිලා ඉන්නවාලු.  නිරක්ෂය ආසන්නයට වන්නට ජිවත් වන්නවුන්ගේ ශරීර පැහැයේ තද ගතියක් ඇති බවත් පෙනෙන්නට තියෙනවා.  ජිරාෆ්ලා ආහාර වැඩි වශයෙන් තියෙන පෙදෙස් වල වාසය කරන්නට කැමැත්තක් දැක්වූවාට ආහාර ගන්නේ සුළු වශයෙන්.  අනෙක් කාරනය තමයි වතුර නොබී දින ගණනාවක් වුනත් ඉන්නට හැකි වීම.ඒ වගේම තමයි ඉතින් වතුර බොන්න ගියාමත් ටිකක් හිරිහැර විදින්න වෙනවා.  ඉදිරි පාදයන් දිගු වීම නිසා ජලය ඇති පෙදෙස් වලට පහසුවෙන් පහත් විය නොහැකි වීම මෙයට හේතුවයි. ඒ වෙලාවට දිය කඩිති ලගදි පෙර පාදයන් එකිනෙකින් පුළුවන් තරම් ඈත් කර ජලය පානය කරන්නට ඔවුන් උනන්දු වෙනවා.  ඒ නිසාම තමයි සත්තු වත්තේ මොවුන් වෙනුවෙන් වතුර තබන්නේ අඩි 10 ක් 15ක් උසිනුයි.  ජිරාෆ් කියන්නේ අනෙක් සතුන්ට හිරිහැරයක් කරන සතෙක් නොවෙයි.  ඒ වගේම ජිරාෆ්ලාට සතුරන් අඩුයි.  ඉදහිට හෝ හිරිහැරයක් සිදුවන්නේ සිංහයන්ගෙන් පමණයි.  අනෙක් සතුන් හුගාක් වෙලාවට දිය කඩිති අසලදී ඔවුනට ඉඩ දෙති.

ජිරාෆ්ලා පොර බදන අවස්ථා තියෙනවා නමුත් ඒ තමන්ගේ ශක්තිය මැන බැලීමට හෝ ප්‍රතිමල්ලවයන් මෙල්ල කිරීමේ අරමුණින් පමණයි.  හිසට හිස තබා හෝ ගෙලට ගෙල තබා මෙසේ පොර අල්ලති.  පහරදීමක් සිදුවුනොත් ඒ ඉතාමත් කලාතුරකිනුයි.  නමුත් වෙනත් සතුරන්ගෙන් හිරිහැර වනවිට වේගයෙන් පා පහර දී ඔවුන් එලවා දමනවා. ජිරාෆ්ලාට අශ්වයන්ට මෙන් වේගයෙන් දිවීමේ හැකියාවක් තියෙනවා.  නමුත් අතුපතරින් ගැවසී ගත් ගස් ලගදී නම් සතුරාට පහසුවෙන් හසුවෙනවා. 

ජිරාෆ් ලාගේ ගමන් විලාශය අනෙක් සතුන්ට වඩා වෙනස්.  ඔවුන් එකම පැත්තේ පාදයන් එකවර චලනය කරමින් ගමන් කරනවා.  ඌට නැලවෙන අන්දමේ ගමන් තාලයක් ඇත්තේ මේ නිසාමයි.  ජිරාෆ්ලා ඇති කරන්න ඕනනම් ඔවුන් කුඩා කාලයේදී අල්ලා ගතයුතුයි.  මොවුන් ඉතා ඉක්මනින් හීලෑ කරගන්න පුළුවන්.  ඒ වගේම තමයි පහසුවෙන් රෝග වලට ගොදුරු වෙන්නෙත් නැහැ.  උගේ මනස එතරම් දියුණු තත්වයක් නැත.  නමුත් තමන්ගේ ආහාර වේල හා ස්වාමියා පිළිබදව මතකය ඔවුන් සතුව ඇත. 

ජිරාෆ්ගේ මුල් නෑයින් යුරෝපය, ආසියාව හා උතුරු ඉන්දියාවේත් විසිරී සිටි බවට සාක්ෂි තියෙනවා.  නමුත් දැන් දැන් ජිරාෆ්ලා බොහෝ දුරට වදවීගෙන යන බවක් පෙනෙන්නට තියෙනවා.

Thursday, June 26, 2014

පෙම් පත


හුගාක් කාලෙකින් මට මොනවත් ලියන්නත් බැරිවුනා.  මට හිතුනා පෙම්පත ගැන පොඩ්ඩක් කට්ටියගේ අදහස් දැනගන්නත් එක්ක මං දන්න කරුණු ටිකක් ලියන්න.  මේ ගැන ඔයාලා දන්න දේවලුත් මට ලියන්නකෝ.

තමන්ගේ හැගීම් අදහස් හුවමාරු කරගන්න අපි කාලයෙන් කාලයට විවිධ උපක්‍රම භාවිතා කරනවා.  ඉස්සර කාලේ මිනිසුන් නිතර ගැවසෙන තැන්වල සතුන්ගේ රූප ඇදලා  තියන්නත් ගස්වල පොත්තේ සටහන් කොටන්නත් පුරුදු වෙලා හිටියා.  මේ ඉතිං බොහෝම කාලෙකට ඉස්සරනේ.

මිනිස්සු ප්‍රේමය වගේ මානුෂීය හැගිම් හුවමාරු කරගත්තෙත් මේ විදියට තමයි.  මල් කඩලා සිඹින්න, මල්වල වගේම ලස්සන කුරුල්ලන්ගේ රූප සටහන් කෙටීම ඒ කාලයේ මිනිසුන්ගේ ප්‍රේමයේ සංඥා ක්‍රම වෙලා තිබුණා.   පහු කාලෙදි මිනිස්සු දියුණු වෙනකොට ලේඛන කලාව සොයා ගත්තා.  මේ කොයි කාලෙදිත් මිනිසුන්ගේ ප්‍රේමය පිළිබදව සටහන් දකින්න ලැබෙනවා.

ආදි කාලයේදී කුරුල්ලන්ගේ උදව්වෙනුත් අදහස් හුවමාරු කරගන්නට පුරුදු වෙලා හිටපු විත්තිය අපේ ඉතිහාසය දිහා බලනකොට දැනගන්න පුළුවන්.  සැළලිහිණි සංදේශය, කොවුල් සංදේශය ගිරා සංදේශය වැනි සංදේශ කාව්‍යයන් මේවාට හොදම උදාහරණ.  

අපේ ගීත සාහිත්‍ය දිහා බලනකොටත් මේ ගැන ලියැවුන ගීත තියෙනවානේ.  ප්‍රකට පුවතක් වන නල දමයන්ති කතාවේ ඔවුන්ගේ පෙම් හැගුම් හුවමාරු කරගැනීම සදහා හංසයෙක් යොදා ගත් බව සදහන් වෙනවා.  මරණාසන්නව සිටි පුද්ගලයෙක් තමන්ගේ බිරිදට කපුටෙකු අත පණිවුඩයක් යැවූ බව පන්සිය පනස් ජාතක පොතේ සදහන් වෙනවා.  

මේ ලේඛන කලාව කරදාසියක සටහන් වෙන්න කලින් මැටි පුවරු වල , සටහන් කරපු කාලයකුත් තිබුණා.  එක්තරා කාලයක මිසරයේ වාසය කල රජකුමරෙක් තමන්ගේ පෙම් සටහන් කොටලා තියෙන්නේ ගඩොල් කැටයක.  මේවා බ්‍රිතාන්‍යෙය් පුරා විද්‍යා අංශයට සොයා ගත හැකිවෙලා තිබුණා.  ඔවුන්ගේ විශ්වාසය වෙලා තිබුනේ ලෝකයේ පැරණිම පෙම් හසුන එය බවටයි.

තල්පත් මගින් පෙම් පණිවුඩ ලියූ  රසවත් කතාවන් අපේ සාහිත්‍යෙයන් සොයා ගත හැකියි.  කැළණිතිස්ස රජුගේ කාලයේදී ලියැවුන පෙම් පතක් නිසා මුහුද ගොඩ ගැලූ බවත්  එය ලංකා ඉතිහාසයේ බොහෝ වැදගත් සිද්ධීන් ගණනාවකටම මුල් වූ සිද්ධියක් බවත් රහසක් නොවෙයි.

ලේඛන කලාවේ ඉතිහාසය ගැන සොයාගෙන යනකොට පෙම්පතටත් ඒ තරම්ම දීර්ඝ ඉතිහාසයක් ඇති බවට සාධක දකින්න ලැබෙනවා.  ධනපති පංතියේ ඉදලා නිර්ධන පංතිය දක්වාම දිවි ගෙවන හා ගෙවූ තරුණ තරුණියන්ගේ සිත්ගත්ම අංගයක් තමයි පෙම් පත කියන්නේ.  විවිධ බාධාවන් නිසා ඔවුනොවුන් හමුවීමට නොහැකි අවස්ථාවන් වලදී පෙම්පත දිව්‍යමය ආශිර්වාදයක් වුනා. 

දුස්මන්ත රජු කෙරෙහි වසගවූ සකුන්තලාවන් මේ හේතුව නිසාම අසනීප වූ විටදී  ඇයගේ ආත්මීය වේදනාව සිය පෙම්වතා වෙත දැනුම් දුන්නේ නෙළුම්  පතක ලියූ පෙම් හසුනක් මගිනුයි.  මහා කවි කාලිදාසයන්ගේ මේඝදූතය සංස්කෘත සාහිත්‍යෙය් පමණක් නොවෙයි සිංහල සාහිත්‍යයටත් අලුතින් පිටුවක් එක් කල නිමැවුමක් වුනා.  ව්‍යාංගාර්ථයෙන් ලියන ලද පෙම්පතක් ලෙස මේඝදූතය සැලකිල්ලට ගන්න පුළුවන්.

මේඝදූතයට ප්‍රස්තුතය වී ඇත්තේ අලුතින් විවාපත් රකුසෙක් තමන්ගේ ප්‍රියාවිය කෙරෙහි ආලයෙන් වෙලී සිදුවූ ප්‍රමාදයන් නිසා රාජකාර්යයන් පැහැර හැරීමේ වරදට දඩුවමක් වශයෙන් සිරකරනු ලැබු අවස්ථාවේ වලාවක් අත ප්‍රියාවිය වෙත යැවූ පණිවුඩයයි.  

‍්එන්න මදනලේ ගොස් පවසන්න දුක මගේ
යන්නට හැකි ඔබට පමණි සිරගෙයට ඇගේ
දිවා රැයේ වැලපිලා දෑස ඈගේ රතු වෙලා
කියන්නකෝ මගෙ දුක ඇගේ කණට කොදුරලා.......

අපේ අගනා කලා කෘති අතරට ගැනෙන සීගිරි කුරුටු ගී අතරත් පෙම් හසුන් ඇතැයි සිතන්නට පුළුවන්.  සීගිරි රූපිකාවක් කෙරෙහි සිත බැදුනු කවියෙක් වලාවක් ආමන්ත්‍රණය කොට ඇයට දන්වන ලෙස හස්නක් පවසා ඇති බව සදහන් වෙනවා.  එක් එක් පුද්ගලයා තමන්ගේ හැකියාවන් සැලකිල්ලට ගෙන තමන්ගේ අදහස් ප්‍රකාශ කිරීමට පෙළඹෙනවා.  කවියන් කවිය මගිනුත්, ලේඛකයන් ග්‍රන්ථයන් මගිනුත්, චිත්‍ර ශිල්පීන් විවිධ කලා නිර්මාණයන් මගිනුත් මෙවැනි අදහස් ප්‍රකාශ කරනු ලබනවා.  ඉතින් මේ විදියට බලන කොට පෙම්වතා තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්නේ පෙම්පත මගිනුයි.  ඒ විදියට බලනකොට පෙම්පතත් එක්තරා කලා නිර්මානයක් තමයි.

ඉස්සර කාලේ ඇතැම් විශේෂ පුද්ගලයන් අතින් ලියැවුන පෙම්පත් අද කෞතුක භාණ්ඩ විදියට සුරක්ෂිත කරලා තියෙනවා.  ඊට හේතුව ඒවායේ ඇති කලාත්මක භාවය වෙන්න ඇති.  ලෝක ප්‍රසිද්ධ පුද්ගලයෙක් වන නැපෝලියන් අධිරාජයා යුධ පිටියේදී පවා පෙම් හසුන් ලියූ බව සදහන් වෙනවා.  නැපෝලියන් විසින් ලියන ලද පෙම්පත් 8ක් 1931 දී ලංඩනයේ පැවති ප්‍රසිද්ධ වෙන්දේසියකදී රන් පවුම් හාරදහසකට විකිණී ඇති බව සදහන් වෙනවා.

රණශූරයෙකු ලෙස විශ්ව කිර්තියට පත්වෙච්ච නැල්සන් සාමිවරයාත් යුධ පිටියේදී පෙම්පත් ලියූ තයත් පෙම්වතෙක්.  යුධ පිටියේදී මිය ගිය ඔහු විසින් මියයන්නට දෙදිනකට පෙර හැමිල්ටන් නම් වූ සිය බිරිදට එවූ පෙම්පතක් අද බොහෝ විචාරකයින්ගේ ප්‍රශංසාවට ලක්වෙලා තියෙනවා.  යුධ බිමේ තත්වය හා තමන්ගේ අධිෂ්ටානය ගැන එම පෙම්පතෙහි සදහන් වෙලා ඇති අතර ඒ අදහස් දාර්ශනිකයෙකුගේ භාව ප්‍රකාශයන්ට බොහෝ දුරට සමාන බව එය කියවූ විචාරකයින්ගේ මතය  වී ඇති.

ශ්‍රේෂ්ට සංගීතඥයෙක් වන බිතෝවන් තමන්ගේ පෙම්වතිය වන ගිලටා ගයිසේරදි නම් සුරූපි  තරුණියට පෙම්පත් බොහෝමයක් ලියා ඇත්තේ කාව්‍යමය ශෛලියකින් බව පැවසෙනවා.  ඔහු විසින් ලියන ලද පෙම්පත් සමහරක් අද වනවිට ඉතාලියේ කෞතුක වස්තූන් බවට පත්වෙලා තියෙන්නේ ඒවායේ අන්තර්ගත වෙලා තියෙන කාව්‍යමය ලක්ෂණ නිසාලු. 

අටවැනි හෙන්රි රජු තමන්ගේ ප්‍රියාවිය වූ ඈන් බොලීන් කාන්තාව වෙත ලියන ලද පෙම්පතක් ලන්ඩනයේ කටු ගෙයක තැන්පත් කර ඇත.  එහි ඇති සාහිත්‍යමය වටිනාකම සැලකිල්ලට ගෙන එය කෞතුක භාණ්ඩයක් ලෙස නම් කර ඇති බව පැවසෙනවා.

එක්තරා අවස්ථාවකදී යුරෝපීය ජාතික දුප්පත් තරුණයෙක් අතින් ලියැවුනු  පෙම්පතක් හොරිස් හීලි නම් නයිට් වරයා අතට පත්වුනා.  එය කිවැවූ ඔහුගේ අදහස වුනේ තමන් මෙතෙක් කියවු පෙම්පත් අතුරෙන් ඉතාමත් රසවත් පෙම්පත එය බවයි.  නයිට්වරයා එය අනගි සාහිත්‍ය කෘතියක් ලෙස හදුන්වා දුන්නා. 
ඒවගේම තමයි ජෝර්ජ් බර්නාඩ් ෂෝගේ පෙම්පතක්ද ලෝකයාගේ අවදානයට ලක්වුනා.   උපහාස රසයෙන් යුතු එම පෙම්පත ජින්ජර් රොජර්ස් නම් නළගනක විසින් ෂෝ වෙත එවූවක් බව සදහන් වෙනවා.  

සාහිත්‍යමය වටිනාකම පමණක් නොවෙයි තමන් අතින් ලියැවුන පෙම්පත් ප්‍රමාණය ගැන සැලකිල්ලට ගනිමින්ද සමහර පෙම්වතුන් පෙම්වතින් ඉතිහාසයට එක්වෙනවා.  එක් අවස්ථාවක එක්සත් ජනපදයේ යුද සෙබළෙකුට එක්සත් ජනපද හමුදාවේ පෙම්පත් ලිවීමේ ශූරයා යන නාමයත් ලැබුණා.  එයට හේතුව වෙලා තිබුනේ සාම පහක් තුලදී තමන්ගේ පෙම්වතියට ආදර හසුන් හයසිය හැත්තෑ හයක් ලියා යැවීමයි.

චාකෝස්කි නම් රුසියානු කවියා නඩේජා වොන්මෙක් නම් වැන්දඹු කාන්තාවකට අවුරුදු 13ක් ඇතුළත පෙම්පත් පන්දහසකට අධික සංඛ්‍යාවක් ලියා ඇති බව සොයාගෙන තියෙනවා.

පොරොන්දු කඩ කිරීමේ චෝදනාවක් මත පැවරුනු නඩුවකදී විත්තිකරුවෙක් විසින් පෙම්පත් මිටි මත්සියයක් පමණ ඇමෙරිකාවේ අධිකරණය වෙත ඉදිරිපත් කලා.  මේ පෙම්පත් ගොන්න ඔහුගේ ඇත්වුන පෙම්වතිය විසින් ඔහුවෙත එවන ලද ඒවා බව සැලවුනා.  

තවත් අවස්ථාවකදී දික්කසාද නඩුවක් පැවරූ කාන්තාවක් පෙම්පත් එක්දහස් පන්සීයක් පමණ උසාවියට ඉදිරිපත් කරනු ලැබුවේ තමන්ගේ ස්වාමියා විසින් අනියම් බිරියන් දෙදෙනෙකු වෙත වරින් වර ලියන ලද ඒවා බව පවසමිනුයි.  ඉස්සර කාලේ පෙම්පත් තැපෑලෙදි නැතිවෙන බව සැලකිල්ලට ගෙන ඇතැම් පුද්ගලයින් තමන්ගේ පෙම් පණිවුඩ යැවීම සදහා පරවියන් පුරුදු පුහුණු කරගෙන සිටියා. 

බ්‍රසීල් ජාතික එක්තරා ධනවත් වෙළද ව්‍යාපාරිකයෙක් දුර බැහැර යනවිට තමන්ගේ පරවියන් දෙදෙනාත් කැටුව යනවා.තමන්ගේ පෙම්වතිය වෙත එවිය යුතු ලිපි හා තුටු පඩුරු ආදිය ඒ පරවියන් දෙදෙනා අත එවීම තැපෑලෙන් එවනවාට වඩා සුරක්ෂිත හා ඉක්මන් බව ඔහුගේ විශ්වාසය වී තිබුණා.  මෙසේ පරවියන් අත පෙම්පත් යවන්නට පුරුදු වෙලා හිටපු ජපානයේ චිත්‍ර ශිල්පියෙක් ගැනත් සදහන් වෙනවා.  ඔහු කිසිම දිනෙක පෙම්පත් තැපෑලෙන් යවා නැහැ.  ඒ වගේම තමයි ඔහුගේ පෙම්වතිය පවා සැම හසුනක්ම ඔහු වෙත එවීමට යොදාගෙන ඇත්තේද පරවියෙක්මයි.

මේ අතර දුක්මුසු කතාපුවත් ද නැත්තේම නැහැ.  සර් ජෝර්ජ් රොඩ්නි නම් පුද්ගලයාගේ අවසානය සටහන් කරන්නේද පෙම්පතක සිද්ධියකිනුයි.  ඔහුගේ පෙම්වතිය ඔහුගේ සතුරෙක් විසින් විවාහ කරගන්නවා.  ඒ පුවත සැලවුන විට ඔහුට තමන්ගේ ජිවිතය එපා වෙනවා.  ඔහු තමන්ගේ පරාජිත ප්‍රේමය ගැන ගීතයක් තමන්ගේම රුධිරයෙන් ලියා ඇය වෙත යවා එය ඇයගේ නෙත ගැටෙනවාත් සමගම ගෙල සිද ගැනීම ඔහුගේ බලාපොරොත්තුව වුනා.  එය එසේම සිදුවුනා.  

රිචඩි ලව්ලේස් කවියෙන් තමන්ගේ සෑම පෙම්පතක්ම ලියා ඇත්තේ සිරගෙය තුලදීයි.  ඒ කවි සියල්ල එකතු කර ඔහු කවි පොතක්ද සකස් කලා.  එය නම් කර තිබුනේ  ‍්සිරගෙදරින් ඇල්කියාට... යනුවෙනුයි.  ලෝකයේ දිගම පෙම්පත ලියූ පෙම්වතා ලෙස දැනගන්නට ලැබෙන්නේ  පළමුවැනි එළිසබෙත් මහ රැජිනගේ ඇමතිවරයෙකි.  ඇරබෙලා වෝගන් නම් කුමරියක වෙත ඔහු ලියන ලද පෙම්පතේ පිටු ගණන හාරසිය ගණනකි.  මෙතෙක් ලියවී ඇති ලෝකයේ දිගම පෙත්පත ලෙස මෙය සලකනු ලබන අතර බ්‍රිතාන්‍ය කෞතුකාගාරයක එය තැන්පත් කර ඇත.

හෂගි කුකෝ නම් ජපන් තරුණයා බොහෝ කාලයක් ප්‍රේමයෙන් පසුවූ ඔහුගේ පෙම්පතිය අවසාන මොහොතේදී විවාහය ප්‍රතික්ෂේප කිරීම නිසා වේදනාවට පත්ව වචන පේළි හයදහසකින් යුත් විශාල පෙම්පතක් ඇය වෙත ලියා තියෙනවා. එය ලෝකයේ අතිශය ශෝචනීය පෙම්පත ලෙස වාර්තා වෙනවා. මෙය ලියා නිම කිරීමට වසරකට අධික කාලයක් ගතකොට ඇති අතර එය ලියා ඇත්තේද ඔහුගේම රුධිරයෙනි.  පෙම්පත ලියා අවසන් වනවිට ඔහුගේ සිරුරේ රුධිරය සිදීයාම නිසා ඔහුගේ මරණය සිදුව තිබෙනවා.

ඒවගේම තමයි නිදන් වස්තු බවට පත්වූ පෙම්පත් තියෙනවා මිසරයේ කරානිස් පෙදෙසේ නටබුන් සොයමින් හිටපු පුරා විද්‍යාඥයින් පිරිසකට පොළව යටින් පැරනි කරදාසි මිටියක් සොයාගැනීමට හැකිවෙලා.  ඒ කරදාසි මිටි ගැන සොයා බලද්දී ඒ අතර තිබුණ ලියුම් කිහිපයක්ද හමුවෙලා.  මිසර තරුණියක් යුදෙව් ජාතික පෙම්වතෙකුට ලියන ලද පෙම්පතක් ඒ අතර තිබී සොයාගෙන තිබුණා.

මුසෝලිනී විසින් කැලරීටා පැටවි නමැති තරුණියට ලියපු පෙම්පත් රැසක් ඊයම් පෙට්ටියක දාලා වළලා තිබියදී සොයාගෙන තියෙනවා.  ඒවා පුරා විද්‍යාඥයින් පිරිසක් විසින් සොයාගෙන ඇත්තේ කෝමෝ විල අසළ පොළව කැනීමේදීයි. 

අද කාලයේ නම් මේ තරම් නහින්න ඕන නැහැනේ නේද? ලාබම ලේසිම වැඩේ එස්.එම්.එස්.  හරියට නිකන් එසැනින් පුවත් වගේ තමයි....!!!!!!