Thursday, September 20, 2012

උසාවියෙන් ඇසුනා


අල්ලස් දීලා නඩු දිනාගන්න පුළුවන් කාලයක් එංගලන්තයෙත් තිබිලා තියෙනවා.  මේ බව කියලා තියෙන්නේ ශ්‍රීමත් ගාවි රෙන්ටුල් නම් මහේස්ත්‍රාත්තුමා විසින් ලියපු  “sometimes I think”නම් ග්‍රන්ථයේයි.  මේ කාලය ගෙවී ගියාට පස්සෙත් ඒ බව නොදැන එක්තරා මහළු ගොවියෙක් නඩුකාරතුමෙකුට අල්ලස් දීමට යාමේදී බිහිවූ හාස්‍ය ජනක කතාවක් පිළිබදව සදහන් වෙනවා. ඔන්න ඒ කතාව මෙහෙමයි.

නඩුව විභාගයට ගන්නට දින කිහිපයකට පෙර ඉහත කී මහළු ගොවියා තමා වෙනුවෙන් පනී ඉන්න නීතීඥවරයා හමුවෙන්නට ගියා.
 
“මහත්තයෝ නඩුව දිනාගන්න නම් හොද ක්‍රමයක් තියෙනවා...
“ඒ මොකද්ද? නීතීඥවරයා ගොවියාගෙන් කුතුහලය දැනවූ පැනය ඇසුවා.
“අපි නඩුකාරයාට තාරාවෝ ටිකක් යවමු..... ඒ පාර නම් නීතීඥතුමාගේ ඇස් දෙක විතරක් නෙවෙයි කටත් ඇරුනලු.

“පිස්සුද අයිසේ????? නීතීඥ තුමා තැතිගත් ස්වරූපයෙන්ම පැවසුවා. “එහෙම දෙයක් හීනෙකින්වත් හිතන්නවත් එපා.  තමුසෙගේ නඩුව පරාදවෙන්න  මොනවාම හරි දෙයක් කරගන්න තියෙනවා නම් ඒකට හොදම දේ තමා ඔය නඩුකාරතුමාට පගාව දෙන්න හදන එක.   ඉතින් තමාට කරපු අනතුරු ඇගවීම ඉතාමත්ම නිහතමානීව පිළිගෙන මේ ගොවි මහත්තයා නීතීඥ කාර්යාලයෙන් පිටවෙලා ගියාලු. 

පසුව මේ නඩුව විභාගයට ගත්තා.  මහළු ගොවියා නඩුවෙන් දිනුවා.  උසාවියෙන් එළියට එමින් සිටි ගොවියාට ඔහු වෙනුවෙන් පනී හිටපු නීතීඥතුමා ජයග්‍රහණය ගැන තමන්ගේ සතුට පළ කලා. 

“මම හිතුවා මම නඩුව දිනනවාමයි කියලා......ගොවියා සිනාසුනේ තමන්ගේ එක් ඇසක්ද වසා සිනාසෙමිනුයි.  “ඔබතුමා කොහොම කිවුවත් මම නඩුකාරයට තාරාවෝ ටිකක් යැවුවා.

“මොකක්????

“මම අර තරම් එපා කියලත් තමුසේ මාර මිනිහෙක්නේ.  නඩුකාරතුමාට තාරාවෝ යැවුවද?
“ඔව්... ගොවියා උත්තර දුන්නා.  “හැබැයි මම තාරාවෝ යැව්වේ මගේ විරුද්ධකාරයා යවන විදියට එයාගෙ නමිනුයි...
“ඔහ්හෝ....එහෙනම් ඒකයි මේ!!!!  ගොවියාගේ කපටි මොළය හා නඩුකාරතුමාගේ හැසිරීම් රටාව නීතීඥතුමාට තේරුම් ගියේ එවිටයි.

...................................................................................................................................................................................................
උසාවියේදී කොතරම් දිවුරුම් දුන්නත් හැමෝම ඇත්ත සාක්ෂි දෙන්නේ නැහැනේ.  ඒක ඉතින් ලෝකෙ කොහෙත් එකම විදිය තමයි.  මම අර ඉහතින් සදහන් කල ග්‍රන්ථයේ ඒ බව සදහන් වෙලා තියෙනවාලු.  ඉතින් මේ විදියට නඩුවක් විභාග කරන්නට යෙදුනු අවස්ථාවේදී සාක්ෂි කූඩුවට නැගුන එක්තරා සාක්ෂි කරුවෙක් දිවුරුම් දුන්නා තමන් කියන්නේ සත්‍ය කරුණු බවට.  නමුත් ඔහු කියන්නේ අසත්‍ය ප්‍රකාශයක් බව විනිසුරුවරයාට තේරුම් ගොස් තිබුනා.

“තමා ඔය කියන කරුණු සියල්ල ඇත්තද?  විනිසුරුතුමා සාක්කිකරුගෙන් ඇසුවේ අවවාදයකුත් දෙන අතරතුරමයි.  නමුත් සාක්ෂි කරු බොහෝම තැන්පත් හඩින් කියා සිටියේ

“මම සත්‍ය සමග අතිනත ගත්තේ ඉතා ලාබාළ අවධියේදියි ස්වාමිනී....

“සත්‍ය සමග තමා අතිනත ගත්තේ ඉතා ලාබාළ අවධියේ වෙන්න පුළුවන්.  ඒත් කවද්ද තමන් දික්කසාද වුනේ? විනිසුරුතුමා ඇසුවේ මුළු සභාවම සිනා සයුරේ ගිල්වමිනුයි.

.................................................................................................................................................................................................
තවත් නඩුවකදී ඉතාමත් කටකාර කාන්තාවක් උසාවියේදී නඩුවකට පෙනී සිටියා.  ඇය ඉතා උස් හඩින් කියූ දේ සත්‍ය නොවන බව මනාව අවබෝධ වෙමින් තිබුණා. 

“තමුන් දන්නවද දිවුරුම් දීලා සාක්ෂි දෙනවයි කියන එකේ තේරුම?  විනිසුරුතුමා මේ කාන්තාවගෙන් ඇසුවා.

“මන් දන්නේ නැද්ද ස්වාමීණී, අපි මාළු මාකට් එකේ මිනිස්සුනේ.  ගැහැනිය කිසිම ගණනකට නැතිව කීවා.

(උසාවියේ තොරතුරු තව ටිකක් විතර තියෙනවා. ඉතිරිය හෙට කියන්නම්කෝ.  ගිහින් එන්නම්)

Wednesday, September 19, 2012

ඇවිත් හුගක් වෙලාද?


සිංහල ගැමි සමාජය දෙස විමසුම් ඇසකින් බලන කල ඔවුන්ගේ දුෂ්කර දිවි පෙවෙත වටා ගෙතී ඇති  හාස්‍ය රසයෙන්  යුතු ජනකතා රාශියක් අදත්  අසන්නට ලැබේ.  ඒවා වඩාත්ම රසවත් වන්නේ කතාවක් පමණක්ම නොවී සත්‍ය සිදුවීමක් වටා ගොඩනැගී ඇති නිසාවෙනි. 

අද මෙන් නොව එකල ගම්මාන මෙතරම් ජනාකීර්ණ නොවූ අතර මහා විශාල වනාන්තරයන්ගෙන් වැසීගත් පෙදෙස්වල දිළිදු ගම්වැසියන් පදිංචිව සිටියේ තරමක් ඈතට වන්නටය.  එක නිවෙසක සිට අනෙක් නිවෙස පෙනෙන තෙක් මානයේ පිහිටියේ ඉතාමත් කලාතුරකිනි.  වැවක්, කුඹුරක්, දිය කඩිත්තක් ආශ්‍රිතව පිහිටි ගම්වල වැසියන්ගේ ප්‍රධාන ජීවනෝපාය වූයේ ගොවිතැනයි.  එයිනුත් වැඩිපුරම දක්නට ලැබුනේ හේන් ගොවිතැනයි.  ඔවුන්ගේ හේනක් කොටන්නට පවුලේ සියල්ලෝම තම දාඩිය වගුරුවති.  ලොකු කුඩා භේදයක් ඔවුන් අතර නැත.  තමන්ට හැකි පමණින් උදව් කිරීම පවුලේ සියලු දෙනාගේම වගකීමක් හා යුතුකමක්වේ.  එය හිතන තරම් ලෙහෙසි කාරියක්ද නොවේ.

වැටකොළු, වට්ටක්කා, පුහුල්, කැකිරි, කුරහන්, , මිරිස්, මුං ආදිය එම හේන්වල වගාකරනු ලැබේ.  හේනක් අස්වැදීමෙන් පසුවද ගොවියාට වන සතුන් හා මහා සටනක් කරන්නට සිදුවන්නේ අස්වැන්න බේරා ගැනීම සදහාය.  වල් අලි, ඉත්තෑවෝ,  මුවෝ , වල් ඌරෝ වැනි සතුන්ගෙන් වන පීඩා අනන්තය.  දහවල් කාලයේදී වී කුරුළු, ගිරා, කොබෝ ආදී පක්ෂීන්ගෙන් හේන බේරා ගත යුතුය. දහවල් කාලයේදී හේන් බලාගන්නේ කුඩා දරුපැටවුන් හා ගෙවිලියන්ය.  මෙවැනි ඇතැම් පළාත්වල තම පවුල් පිටින්ම හේනේ පැලක ජීවත් වීම සිරිතක් කොටගෙන ඇත.  

අප රට ඉංග්‍රීසි ජාතිකයන් අතට පත්ව පැවති කාලයේදී උඩුදුම්බර කන්ද පහළ කොරළයේ ගුරුපොත නම් ගම ඉතාමත් දුෂ්කර පෙදෙසක්ව පැවතියේය.  ගුරුපොත ගමට ප්‍රසිද්ධ පාරක් හෝ අඩි පාරක් නොතිබූ අවදියෙකි ඒ.  මෙගම විසූ සියාතු අයියාත් හේන් ගොවිතැනින් තම ජීවිකාව ගෙන ගිය අයෙකි.  ඔහු තමන්ගේ හේන ආරක්ෂා කලේ දිවි දෙවැනි කොටයි.  අස්වැන්න වල් සතුන්ගෙන් බේරා ගන්නට ඔහු දිවා රෑ නොබලා කටයුතු කලේ අඹු දරුවන්ගේද සහයෝගය ඇතිවයි.  එහි ප්‍රථිපලයක් ලෙස ඔහුගේ බඩඉරිගු හේන පුරා ඉතා සරුවට කරල් සෑදී කිරි වැදී තිබුණි.  මේ හේන පිහිටියේ වනාන්තරයට තරමක් ආසන්නයේය.

සියාතු අයියා විසූ ගමට යාබද ගමේ විසූ පුද්ගලයෙකි කිරා.  ඔහුටද දරුමල්ලන් සිටියත්, කිසිම දිනෙක ගොවිතැනක් බතක් කිරීමට  ඔහුගේ උනන්දුවක් නොවීය.  එසේ වුවද කිසිදා ඔහුගේ දරුවන්ට කෑමෙන් හෝ බීමෙන් අග හිගයක් තිබුනේද නැත.  කිරාගේ  ප්‍රධාන ජීවනෝපාය වූයේ සතුන් දඩයමයි.  ඊට අමතරව සොරකමද සරුවට කරගෙන ගියේය.  හේන් වාරය ආ කල තමන්ගේ අඹු දරුවන්ට කන්නට නොසෑහෙන සේ එළවළු, බඩ ඉරිගු මුං ආදී අස්වැන්න නිවසේ ඇති පදම් තිබේ.  ඔහු කලේ අනුන් මහන්සියෙන් වගා කොට රැකගන්නා හේන්වලින් අස්වැන්න හොරකම් කිරීමයි.  

කෙසෙල් මුව සේ වටවූ පොල් මලක් පරිද්දෙන් දික්ව කිරිවැදීගෙන එන සියාතු අයියාගේ හේන දෙස කිරාගේ අවධානය යොමු වූයේ වරක් දෙවරක් නොවේ.  එසේ වුවත් සියාතුගේ දෑසට වැලි ගැසීම සිතන තරම් පහසු කාරියක් වූයේද නැත.  ඒ බව කිරා හොදින්ම දැන සිටියේය.  එබැවින් සියාතු අයියා හේනට නොඑන දිනයක් ගැන කල් යල් බලමින් ඉවසීමෙන් සිටින්නට කිරාට සිදුවිය.  මේ ඉන්නා අතර වාරයේදී  දිනක් සියාතු අයියාගේ දරුවෙකු අසනීපෙන් සිටි හෙයින් ඔහුට හේනට එන්නට නොහැකි බව කිරා දැනගත්තේය.  සියාතු අයියාගේ හේනට රිංගා ගැනීමට හොදම දිනය එදින බව කිරා තේරුම් ගත්තේය.  

අද කෙසේ හෝ බඩ ඉරිගු කඩා ගත යුතු යැයි සිතාගත් කිරා ඒ සදහා තමන්ට තවත් සගයෙකුගේද සහාය අවශ්‍ය බව තේරුම් ගෙන ඔහුගේ මිතුරෙකු වන උක්කුවාද මේ සදහා කැදවා ගැනීමට තීරණය කලේය.  උක්කුවාට කාරණාව කී කල ඉහටත් උඩින් කැමතිවූ ඔහු දෙදෙනා මුණ ගැහෙන තැනක් වෙලාවක් නියම කරගත්තේය.  එදා මාස පෝය දිනයක් වූයෙන් සොරකමට කියාපු දිනයක් විය.  

“ඕං එහෙනං අද රෑ මැදියමේ දඹගස් තැන්නේ ගල්දෙබොක්කාව ගාවදී හම්බ වෙමු...උඹ මුලින් ආවොත් දෙබොක්කාව ගාව තියෙන ගල්පොත්ත අයිනේ දඹ ගහේ වදුලේ හිටපන්.  මම කලියෙන් ආවොත් මාත් එතැනම ඉන්නං. කිරා උක්කුවාට කීවේය.  උක්කුවාද රාත්‍රියේ යෙදෙන වැඩේට සූදානම් විය.

පරිසරයේ කිසිදු හාවක් හූවක් නැත. කෑලි කැපිය හැකි ඝන අන්ධකාරයට සිය ඇස් හුරුකරගත් කිරා ගෝනියක් කරේ දමාගෙන මුවහත් පිහියත් ඉනේ ගසාගත්තේය.  අනෙක් අතට තුවක්කුවද රැගෙන හෙමින් දඹගස්තැන්නේ ගල්දෙබොක්කාව කරා ලගා විය.   අන්ධකාරයට දෑස හුරු කරගෙන සිටි හෙයින් දුර තියාම උක්කුවා ඇවිත් ගල් පොත්ත උඩ ඈදි ගෙන හිදින අන්දම දුටු කිරාගේ මුවට සිහින් සිනාවක්ද නැගුනි.  කවට කමක් කරන්නට සුදුසු වෙලාවක් නොවූයෙන් හිතට ආ සිතුවිල්ල සැනෙකින් යටපත් කල කිරා කුහුඹියෙකුටවත් නොදැනෙන සේ අඩි තබා උක්කුවා ලගට කිට්ටු වී ..“ඇවිත් හුගාක් වෙලාද? යි ඇසීය. 
ඒ සැනෙකින්ම ග්රරර්ර්ර් ග්රූ බ්‍රං යන ශබ්දයෙන් මිතුරා තමන්ගේ මුහුණට කඩා පැන්නේය.  එවිටය ඔහුට අවබෝධ වූයේ එතැන ඉදගෙන සිටියේ උක්කුවා නොව තඩි වලහෙක් බව.  වලහාගේ පැනීමේ වේගය නිසාත්, හිතේ පැවති බිය නිසාත්, පණ නැතිව ගිය කිරා බිම ඇද වැටුනේය.  වඩාත් රෞද්‍ර වූ වලසා කිරාගේ ඇග උඩට පැන්නේ ඔහුගේ අතේ රැදි තුවක්කුවද පසේකට විසි වෙන්නට හරිමිනි.  කෑකෝ ගසමින් වලහා සමග මාරාන්තික සටනක නිතරවූ කිරාට කරකියාගත හැකි දෙයක් නොවූයේ අසලක කිසිවෙකුත් නොසිටි නියාවෙනි.

ඔහුගේ ඉනේ ගසාගෙන සිටි පිහියද ඒ වන විට ගිලිහි ගොසිනි.  අතින් පයින් පමණක් වලහා සමග සටන් කර දිනන්නට නොහැකි බව ඒ වනවිටත් කිරාට ඒත්තු ගැන්වී අවසානය.  මරබියෙන් ඔහු කෑ මොර දෙද්දී එතැනට ලගා වූයේ උක්කුවාය.  තරමක් දුර තියාම උක්කුවාට කිරා කෑ ගසන ශබ්දය ඇසුනේය.  කාරණය වහා තේරුම්ගත් උක්කුවා කිරාගේ පිහිටට ආවේය.  අතපත ගා සොයාගත් පොල්ලකින් උක්කුවා වලහාට පහර දෙන්නට විය.  එසැනින්ම කිරාගෙන් මිදී ගත් වලස් තඩියා උක්කුවා දෙසට පැන්නේය.  වලහාගේ පැනීමෙන්ම බිම වැටුනු උක්කුවාට වලහාගෙන් ගැලවීමක් නොවූයේය.

එවේලේ නැගිටගත් කිරාට තමන් ගෙනා තුවක්කුව සිහිවී අදුරේම එය සොයා ගත්තේය.  ඒ මොහොතේ උක්කුවා වලහා සමග මාරාන්තික සටනකය.  වරක වලහා උඩු අතට සිටියද තවත් විටෙක උක්කුවා උඩු අතට සිටියේය.  මේ නිසා කිරාට හරි ඉලක්කයක් ගැනීමට කල් ගන්නට සිදුවිය.  මෙසේ ඉන්නා විට කිරා ගෝනිය තිබෙන්නේ කොහේදැයි බැලූකල එය අතට අසුවූයෙන් යටින් සිටින්නේ වලහා යයි සිතා තුවක්කුවෙහි කොකා ගැස්සුවේය.  ඒ වෙඩි හඩත් සමගම උක්කුවාගේ මරලතෝනිය ඇසෙන්නට විය.  බලන විට වෙඩිල්ල වැදී තිබුනේ වලහාට නොව උක්කුවාටය.  උක්කුවාගේ හඩින් බියපත් වූ වලහා පණ එපා කියා කැලෑව දෙවනත් කරමින් දිව ගියේය.  තමන්ගේ ඉලක්කය වැරදී උක්කුවාට වෙඩි වැදුනු බව තේරුම් ගත් කිරා වෙව්ලමින්ම අසල ගමට ඇහෙන්නට කෑ ගසන්නටත් හූ හඩ තලන්නටත් විය.

මරලතෝනි දුන් උක්කුවා ඉන් පසු නිහඩ විය.  කැලෑව මායිමෙන් ඇසෙන හූ හඩින් අවදිවූ ගම්වැසියෝ හුළු එළි පත්තු කරගෙන ඒ දෙසට දිව ආවේය.  

“අපි දෙන්නා දඩයමේ ආවේ.  මග රැක උන්නු තඩි වලහෙක් මයේ ඇගට කඩාන පැනපි.  උක්කුවා ඒ වලස් තඩියාට පොල්ලෙන් පහර දුන්නම ඌ උක්කුවාව පෙරලා ගත්තා.  මම වලහායි හිතලා වෙඩි තිබ්බට වෙඩිල්ල වැදිලා තියෙන්නේ උක්කුවාට.  .....කිරා ගම් වැසියන්ට කරුණු පැහැදිලි කලේය.  ඔවුන් දෙදෙනා හොරකමේ ආ බවක් කීවේ නැත.  ගම් වැසියන් එක්ව තවමත් පණ රැදී ඇති උක්කුවාත් , ලේ පෙරෙමින් සිටි කිරාත් ඔසවාගෙන ගමට ගෙනාවෝය.  නමුත් සුළු මොහොතකින්ම උක්කුවා අවසන් හුස්ම හෙලීය.

ගමේ රෝහලක් නොතිබූ නිසා වෙද මහතෙකු ලවා ප්‍රතිකාර කිරීමෙන් පසු කිරා සුවය ලැබීය.  එහෙත් ඔහුට මිනී මැරීමේ චෝදනාවට මහනුවර උසාවියේ පෙනී සිටින්නට සිදුවිය.  අපරික්ෂාකාරී ලෙස තුවක්කුව පාවිච්චි කිරීමෙන් සිදුවූ මරණයක් යයි සලකා ඔහුට අවුරුද්දක සිර දඩුවමක් නියම විය.  අවුරුද්දකට පසු ඔහු හිරෙන් නිදහස ලබා ගෙදර ආ මුත් “ඇවිත් හුගාක් වෙලාද? කියමින් ගමේ කොලු කුරුට්ටන්ගේ උසුළු විසුළු වලට ලක්වීමට සිදුවිය.  මේ නිසා ආරවුල් ද නිතර ඇතිවූයෙන් ඔහු ගම අත්හැර අඹු දරුවන්ද සමග වෙනත් ගමක පදිංචියට ගියේලු!!!!!

Friday, September 7, 2012

ක්ලියෝපැට්රාගේ ඉදිකටුව


අප රටේත් ලෝකය පුරාමත් මිනිසත් බව ලබා කලක් හොදින් හෝ නරකින් ජීවත්ව මියගියවුන් අතර තමන්ගේ නම නොමියෙන අයුරින් රැන්දූ අය අතුරෙන් කෙනෙකි ක්ලියෝපැට්රා රැජින. ඇය ක්‍රි.පූ. පනස් එක් වැනි වසෙහි මියගිය දහතුන් වැනි ටොලමි රජුගේ සූරූපි දියණියයි.  ලෝක ශිෂ්ටාචාරයත් මානව සංවර්ධනයත් අතින් ප්‍රමුඛ තැනක් හිමිකරගත් මිසර ජාතික මහා රජ කෙනෙකුගේ ඉතාමත් සුරූපී දියණියයි. 

මහා රාජිනියක් සේම රජවරු දෙදෙනෙකුගේම බිසවක් ලෙසත් ඇය ප්‍රකටය.  මුළු ලොව පුරාම ඇගේ ජීවිතය අලලා තොරතුරු රැසක් කතා රැසක් ගෙතී ඇති අතර අය නමින් චිත්‍රපට පවා බිහිවිය.  ඇගේ ජීවියතය වගේම පුදුම සහගත කතාවක් ඇගේ ඉදිකටුව ගැනත් කියවේ. මම මෙහෙම ඉදිකටුවක් කිවුවට මොකද ඒක ඉදිකටුවක් නෙවෙයි කුළුණක්.

ක්‍රි.පූ. 1450දී විතර මිසරයේ රජකලා තෝමස් නම් රජ කෙනෙක්.  මේ රජතුමාගේ අණ පරිදි  හෙලියෝපොලිස් නම් නගරයෙන් සැතපුම් 700ක් විතර දුරින් පිහිටි සෙයින් නම් ස්ථානයෙන් තමයි ඉහත සදහන් කල යෝධ කුළුණ ගෙනාවේ.   දිග අඩි 68 ½ක් විතර වුන මේ කුණන හදලා තිබුණේ මදක් රතු පැහැයට හුරු ගල් පර්වතයක් උපයෝගී කරගෙනයි.  මේ කුළුණේ අග උල්ව පිහිටන සේ නෙලා තිබුණ නිසා තමයි මේකට ඉදිකටුව කියලා නම් කලේ.

ටොන් දෙසීයක් විතර බර මේ ගල ඒ කාලයේ හිටපු දහස් ගණනක් වහල් මෙහෙකරුවන්ගේ ශ්‍රමයෙන් නයිල් ගග දිගෙ තමයි අරගෙන ඇවිත් තියෙන්නේ.  ඇත්තම කිවුවොත් පැරණි මිසර ඉංජිනේරුවන්ගේ විශ්මය ජනක දක්ෂකම මොනවට පැහැදිලි වෙනවා මේ තරම් බර ගලක් නොකැඩී සැතපුම් සිය ගානක් දුර ගෙවාගෙන ගෙනැවිත් කෙළින් කර සිටවිමම. 

ශතවර්ෂ 15කට විතර පස්සේ මේ කුළුණ “ඕගස්ටන් නම් රෝම අධිරාජයාගේ නියෝගයකට අනුව ඇලෙක්සැන්ඩ්රියා නගරයට ගෙනාවා.  ඔහුගේ මාලිගයට ආසන්නව අලංකාරය සදහා පිහිටවූ මේ කුළුණට එදා ඉදලා තමයි ක්ලියෝපැට්රාගේ ඉදිකටුව කියලා නම වැටුනේ.  ඉස්සර කාලේ මිසර ජාතිකයෝ තමන්ගේ ආදරණීය රැජින සිහිවෙන්නට මේ නම භාවිතා කරන්නය ඇති කියලා තමයි කවුරුත් හිතන්නේ.

මුහුද ගොඩගැලීම නිසා කාලයක් තිස්සේ ඇලවෙමින් තිබුණ මේ ඉදිකටුව පස්සේ කාලෙක බිම ඇද වැටුණා.  මේ විදියට කාලය ගතවෙනකොට තමයි හතරවෙනි ජෝර්ජ් රජ්ජුරුවෝ  එංගලන්තයේ රජවුනේ.  ඒ වෙනකොට මිසරයේ පාලකයා විදියට හිටියේ මොහොමඩ් අලි .  ඔහු ජෝරජ් රජ්ජුරුවන්ගේ මෞලි මංගල්‍යයට තෑග්ගක් විදියට මේ ක්ලියෝපැට්රාගේ ඉදිකටුව පිරිනැමුවා.  නමුත් ජෝර්ජ් රජතුමා මේ තෑග්ග පිළිගන්න කැමති වුනේ නැහැ.  ඉන්පස්සේ රජ වුන හතරවෙනි විලියම් රජුත් එය ප්‍රතික්ෂේප කරලා.  මේ අතරේ තමයි එංගලන්තයේ වැසියන් අතර මේ ගැන බොහෝම කුතුහලයක් ඇතිවුනා.  ඒ නිසාම ඔවුන් එය තමන්ගේ රටට ගෙන්වා ගැනීමට උත්සාහ ගත්තා.  ඒ වුනත් මේ කුළුණ එහෙමත් නැත්නම් ඉදිකටුව ගෙන්වීමට යන අධික වියදම නිසා ඒ අදහස ගැන තවපාරක් හිතන්නට සිදු වුනා.   

ඔන්න 1867 වර්ෂය වෙනකොට නම් මේ අපූරු ඉදිකටුව වැල්ලෙන් වැහිලා ගිහිනුයි තිබුණේ.  1875 දී ඉරැස්මස්  විල්සන් කියන මහාචාර්යවරයා මේ කුළුණ එංගලන්තයට ගෙන එන්නට යන වියදම දරන්නට ඉදිරිපත්වුනා.  1877 දී විල්සන් මහතා සර් ඇබර්ක්‍රොම්බි  කියන ගෘහ නිර්මාණ ශිල්පියා එක්ක එකතු වෙලා මේ වැල්ලෙන් වැසී ඇති ඉදිකටුව ගොඩගන්නට කටයුතු කලා.  අවුරුදු ගානක්ම මේ විදියට වැල්ලෙන් වැහිලා තිබුණ කුළුණ මුහුද හරහා එංගලන්තයට ගෙනයන්නේ කෙසේද කියලා සිතන්නත් සිදුවුනා.  මොකද දැන් වගේ ඒ කාලේ නවීන යන්ත්‍ර සූත්‍ර තිබිලා නැහැනේ.  ඉතින් කොහොම හරි මේ ඉදිකටුව දුම් නැවක ආධාරයෙන් ගෙනයන්නට කටයුතු සූදානම් කලා.  ඒත් අවාසනාවක මහත කියන්නේ අදාල දුම් නැව කුණාටුවකට අහුවෙලා ඉදිකටුව නැවතත් මුහුද මැද්දේ අතරමං වුනා.
මේ විදියට ඉතින් කාලයක් ගතවුනා.  ඔය අතරේ මහ මුහුදේ අරුම පුදුම වස්තුවක් පාවෙනවා දුටු එක් දුම් නැවක නැවියෙක් මේ ගැන එංගලන්තයට දැනුම් දුන්නා.  1878 ජනවාරි දෙවැනිදා යළිත් දුම් නැවක ආධාරයෙන් මේ ඉදිකටුව තේම්ස් නදිය දිගේ අරගෙන ආවා.  “තේම්ස් එම්බැන්ක්මන්ට්..කියන ස්ථානයේ 1878 සැප්තැම්බර් 12 වෙනිදා මේ යළිත් නගා සිටවූවා.

මේ අපූරු ඉදිකටුව පාමුල අලංකාර වෙන්න කියලා යෝධ නරසිංහ රූප දෙකක් ඉදි කරලා තියෙනවා.  මෙය තඹ වලින් සාදන ලද විශාලතම වස්තුවක් ලෙස සැලකෙනවා.  ඒ වකවානුවේ මිනිස් අතකින් කැපිලා, කෙටිලා, නෙලලා තිබූ විශාලතම ශෛලමය කුළුණ හැටියටත් ක්ලියෝපැට්රාගේ ඉදි කටුව ප්‍රසිද්ධලු. 

ශත වර්ෂ ගණනාවකට පෙර මිසර ජාතිකයන්ගේ මහත් ගෞරවාදරයට පාත්‍රවූ මේ මහාර්ඝ වස්තුව හිරු නොබසින අධිරාජ්‍යය ලෙස සැලකුන එංගලන්තයේ තේම්ස් එම්බෑන්ක්මන්ට් නම් ස්ථානයේ දිස්වේ. මේ පුදුම ඉදිකටුව ගැන මත කිහිපයක් ඇති බවත් දැනගන්නට ඇත.  අන්තර්ජාලයේ සැරිසරද්දී තැන් කිහිපයක ඇති ක්ලියෝපැට්රාගේ කුළුණ ගැන සදහන් වෙනවා. 

(පැරණි ලිපියක් ඇසුරිනි)